උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි සෑය ‘මහානාග’ ගේද? ‘භාතිකාභය තිස්ස’ ගේද?

  • සත්‍ය අසා දැන ගන්නට මෙහි සිටි ‘උත්තුංග වනස්පතිවරු’ අද කොහිද
එළඹෙන සෑම හිමිදිරියක්ම, පුරාවිද්‍යා වාඩියට බෙහෙවින් කලබලය. පිරිසක් කුස්සියට වැද ආහාර පිසිති. තවත් පිරිසක් කැණීම් භූමියට ගෙන යන ආයුධ-උපකරණ සූදානම් කරති. දවසේ වැඩ ‍ලේඛනය පෙරළා ගෙන නම් ලකුණු කිරීමත් මේ අතර සිදුවෙයි. උදේ හය හමාර පමණ වන විට, මුළු වාඩියම නොසන්සුන්කමින් පීරී යන්නේ ය. කැණීම් වැඩට ලාහුගල ගමෙන් බඳවා ගත් පිරිස හැඩ ඔය තරණය කරමින් වාඩියට එක්රැස් වීම, ඊට හේතුවයි. ඔවුන් එහි එන්නේ බත් ගෙඩි දෙකක් ද බැඳ ගෙන ය. ඉන් එකක් වාඩියේ දීම අනුභව කරති. අනෙක, දවාලට ය.
හැඩ ඔය සැර පරුෂ වන්නට පෙර මෙගොඩට (වාඩියට) කොටුවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටාටා කැබ් රථය, දැන් කාට කාටත් මහාර්ඝ සම්පතකි. කවදාක හෝ ගඟ බසින තුරු එය මිනිස් වාසයකට ගෙන යන්නට පුළුවන්කමක් නැත. එබැවින් වාඩියේ සිට නීලගිරි සෑ මළුවට කැණීම් කණ්ඩායම ප්‍රවාහනය කිරීම එයට පැවරී තිබේ. එහි රියදුරු වන ඩබ්ලිව්. ඊ. එම්. උපාලි මහතාට, දැන් මහ වනය මැදින්, අලි මංකඩවල් පසු කරමින් රිය පැද වීම හොඳට හුරු පුරුදු ය. කැණීම් භූමිය පිහිටියේ, වාඩියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරිනි. උදේ කාලයට ඒ අතරතුර නිතරම පාහේ වන අලි ගැවසෙති. 
‘දවසක් අපි දවල්ට කන්න ඇවිත් ඔන්න ආපහු සෑයට යනවා. පාරේ එක වංගුවක් අයිනේ අලියෙක්. වංගුව හින්දා ඔහොම-මෙහෙම ළඟට එනකල් ඌව දැක්කේ නෑ. දැන් වාහනේ නවත්වන්නත් බෑ. ආපු වේගෙන්ම අනිත් පැත්තට කපලා අපි ගියා. තව ඩිංගෙන් ඌ අපට ගහනවා’, උපාලි සිය කැලෑ අත්දැකීම් මුවට නංවන්නේ, අසන අය තුළ යම් භීතියක් ද ඇති කරවමිනි.
සාමාන්‍යයෙන්, උදේ හත හමාර වන විට කැණීමට යන සියල්ලන්ම නීලගිරි සෑය පාමුල ය. ඉක්බිතිව ඔවුහු වැඩ පටන් ගනිති. කැණීම් භූමියෙහි ෙදෙනිකව 40 කට අධික පිරිසක් සේවයෙහි යෙදෙති. ‘උදේ පාන්දරම, මම වාඩියේ ඉඳලා ට්‍රිප් දෙකක් විතර ගහනවා’, උපාලි කියන්නේ ය.
පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීලගිරි සෑයේ කැණීම් කරන්නට පැමිණියේ 2011 වසරේ ජූලි මාසයේ ය. ඒ, ඊට පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා නීලගිරියට පැමිණ කළ ගවේෂණයෙන් පසුව ය. නීලගිරි සෑය පර්යේෂණ කැණීම් ව්‍යාපෘතියෙහි ස්ථාන භාර නිලධාරියා වශයෙන් පත් කෙරුණු සම්පත් ගුරුසිංහ මහතා, මුලින්ම එහි පැමිණියේ තනිවම ය. 
‘මං මුලින්ම තනිවම ලාහුගලට ආවා. ඊට පස්සේ ලාහුගලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩට සම්බන්ධ වෙලා ඉන්න පද්ම ශාන්ත (ප්‍රාදේශීය සභා මන්ත්‍රී) මහතාත් සමග, ගඟෙන් එතෙර වෙලා පයින්ම නීලගිරියට ආවා. කැණීම් වැඩ පටන් ගන්නේ කොහොම ද?, වාඩිය ගහන්නේ කොහේ ද?, වගේ තොරතුරු මුලින්ම සොයලා බැලුවා. නීලගිරි සෑය ළඟ බොන්නවත් වතුර ටිකක් නෑ. ඉතින් එතැන වාඩියක් ගහන්න බෑ.  පස්සේ අපි මෙතැන ගඟ ඉවුරේ උස තැනක් තෝරා ගෙන වාඩිය ගහන්න තීරණය කළා. මම මුලින්ම එන කොට සෑය වටේටම කැලෑව. අපි ඒවා එළි-පෙහෙළි කරලයි වැඩ පටන් ගත්තේ’, සම්පත් කියයි.
ඉන් පසුව, දකුණු පළාත් පුරාවිද්‍යා ගබඩාවෙන් ලබා ගත් යකඩ බට, ආදිය යොදා, හැඩ ඔය ඉවුරේ වනය මැද වාඩිය ඉදි කෙරුණි. එය ටකරන් වාඩියකි. එහි ඇතුළත ඇත්තේ, බූරු ඇඳන් ය. ලාහුගල ගමට නම් විදුලිය තිබේ. නීලගිරි සෑය ඉසව්වට ඒ පහසුකම් නැත. එබැවින් පුරාවිද්‍යා වාඩියේ රාත්‍රී ආලෝකය පැටේ‍රා්මැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් ය. ඉකුත් පෙබරවාරි මාසයේ පමණ වාඩියේ අයට හරි ඇබැද්දියක් සිදු විය. ඒ, එක් වැහිබර රාත්‍රියක උන් හිටි ගමන් හැඩ ඔය පිටාර ගලා, පුරාවිද්‍යා වාඩිය සහ අවට භූමිය ජලයෙන් යට වීමයි. එදා වාඩිය ඇතුළේ ද අඩි දෙකක් පමණ උසට පිටාර වතුර ය. වාඩියේ ඇත්තෝ, එහි තිබුණු යකඩ බට දමා මැස්සක් සාදා ගෙන, සීතලෙන් හැහෙමින්, මදුරුවන් තලමින් රැය පහන් කළහ. ඉක්බිති ජලය බැස යන තුරු දින කීපයක්ම කැණීම් නතර කිරීමට සිදු විය.
එළඹුණු හිමිදිරිය වන සියොතුන්ගේ කූජනයෙන් ඇළලී ගොසිනි. අපේ මාතලී බණ්ඩාර උදේ පාන්දරින්ම කඹයේ එල්ලී හැඩ ඔයෙන් එතෙරව, එගොඩ ඉවුරේ ගාල්කර තිබුණු වෑන් රථය බලා ආවේ ය. රාත්‍රියේ වන අලි සැරිසැරූ බවට අඩි සලකුණු ඔය ඉවුරේ දක්නට ලැබිණි. ‘මෙතැනත් අලි මංකඩක්. රෑට වල් අලි මෙතැනින් ගඟට බහිනවා. ඒත් අපි ආවාට පස්සේ උන් මීට එහායින් ගඟට බහින්නෙ’, වාඩියේ අයෙක් අප හා පැවසී ය.
හැඩ ඔය දෙපස සරුවට වැවී ඇති ළපටි තණ පත් හා ළදළු, වන අලින්ට නම් රසැති ආහාර ය. එහෙත් මිනිස් වාසයක් නැති, මහ වන මැද තැනූ වාඩියක වෙසෙන මිනිසුන්ට රස මසවුළු කොයින් ද? ඒ කාරණය කෙසේ වුවත්, වාඩියේ හැදෙන ආහාර දිව බොජුන් බඳු ය. එදා උදේ අපි ඒ අත්දැකීම ලැබුවෙමු. ් වන මැද දී නම්, ආහාර පිළිබඳ කාරණාව තරමක් බැරෑරුම් ය.
‘ක්‍රිෂ්ණ, අපි උදෙන්ම ගිහිල්ලා ආපහු එනකොට දවල් දෙක වත් පනී. වාඩියට ඇවිල්ලා දවල්ට කමු. එතකල් ගමන් බඩගින්නට පාන් අරන් යමු’, සම්පත්  යෝජනා කළේ ය.
පෙරදා දහවල් කවුදෝ ගෙනා පාන් ගෙඩි කිහිපයක් ගමනට සූදානම් කෙරිණි. අපි ඔවුන් සමග උදේ ආහාරය ගතිමු. කැකුළු හා‍ලේ බතට, හාල්මැස්සන් මුසු අල කිරි හොද්දකින් ද, කට්ට සම්බලයකින් ද, පුරාවිද්‍යා වාඩියේ ප්‍රණීත උදේ ආහාරය සමන්විතව තිබිණි. ප්‍රථමයෙන්ම නීලගිරි සෑය කැණීම් භූමියටත්, ඉන් පසුව වන මැදින් ගොස් නීලගිරි කන්දේ ගල් ලෙන් නිරීක්ෂණයත් අපේ ගමනේ ඉලක්කය විය.
නීලගිරි සෑයට යාම පිණිස අපට ලැබි තිබුණේ පුරාවිදයා කැබ් රථයේ තෙවැනි ගමන් වාරයයි. පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් වන ආර්. ඒ. ආරියවංශ, සහ රංජන් පුෂ්පකුමාර යන මහත්වරුද අප සමග වූහ. රියදුරු අසුනට අමතරව, රථයේ ඇති එකම අසුනට නිමල් පෙරේරා මහතා නැංවූ අපි, කැබ් රථයේ පසුපසට ගොඩ වීමු. ‘මග දී අලි ඉඳීවි. පරිස්සමෙන්’, පර්යේෂණ සහකාර, පාලිත අත්තනායක මහතා රියදුරු උපාලිට කීවේ ය.
කැබ් රථය දැන්, ඩෝසර්කර හැදූ බොරළු පාර දිගේ වන මැදට ඇදෙයි. වනය මහ අරුම පුදුම ය. එහි රූස්ස ගස් නැත. මිටි පඳුරු සහ කුඩා ගස් කොළන් උදා සුළඟින් නැහැවෙමින් අප දෙස බලා සිටිනු පෙනුණි. වනයේ විසූ රූස්ස වනස්පතිවරු, යුද්ධය පැවති සමයේ අතුරුදන් වූ බව, කැණීම් භූමියට යමින් සිටි ලාහුගල වැසියෙක් රහසින් මෙන් තෙප‍ලේ ය. වනය අතරින් බලන බලන තැන ඇත්තේ, අතීතයෙන් ශේෂ වූ ගල් කණු හෝ වෙනත් ෙශෙලමය නටබුන් ය. ‘මේ පැත්තේ ගල් කොරි කීපයකම නටබුන් තියෙනවා. නීලගිරි සෑය බෞද්ධ ආරාම සංකීර්ණයේ සවි කරන්න, ගල් කණු, සඳකඩ පහන්, මුරගල්, ෙශෙලමය පේසා ආදිය හදලා තියෙන්නේ ඒ ස්ථානවල වෙන්න ඇති’, අවට පරිසරයේ විසිතුරු පෙන්වමින් පාලිත අත්තනායක මහතා කියයි.
කැබ් රථය කමෛන් වනයට ඇදුණ ද, තවම නීලගිරි සෑය නො පෙනෙයි. එහෙත් අතීතයේ පටන්ම, බොහෝ ඈතින් ප්‍රතාපවත්ව නැගී සිටින ‘නීලගිරි කන්ද’ දැන් ඉතා හොඳින් දිස් වෙයි. කන්ද මුදුනේ, හරස් අතට ඉදි කෙරුණු මහා ප්‍රාකාරයක රූපකාය, ඇස ගැටෙන්නේ අඳුරු පැහැ රේඛාවක් පරිද්දෙනි. එය කොතෙක් විශාල ද යත්, කිලෝ මීටර් පහ-හයක් ඈත ලාහුගලට ද දිස්වෙයි. ප්‍රාකාරය කුමක් පිණිස ඉදි කළා ද යන්න තවම කිසිවෙක් නො දනිති.
‘මෙතැන තමයි කොට්ට පැදුරු ගල’, රථය, කොඳු නාරටියක් බඳු ගල් ඇන්දක් නැග, අසීරුවෙන් යන ගමන් කෙනෙක් අපට හඳුන්වා දෙයි. 
‘එතකොට මේක පුරාවිද්‍යා කට්ටිය නිදා ගන්න තැනක් ද?’, අපේ ඡායාරූප ශිල්පී ප්‍රෑන්ක් අසයි. 
‘කොට්ට පැදුරු අරන් මෙහේ ආවොත් ඉතින් වල් අලියි, වලස්සුයි එක්ක තමයි නිදියන්ඩ වෙන්නේ’, තවෙකෙක් හිනැහෙමින් පිළිතුරු දෙයි. නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.
පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 - ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ.  නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.
කැබ් රථය නීලගිරි සෑ මළුවට සේන්දු විය. වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් අප ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. එහි පාමුලට එක් වූ පුරාවිද්‍යා සේවකයෝ යුහුසුළුව කැණීම් කරමින් සිටියහ. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම්  විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. කැණීම් කරන පිරිස දිස් වූයේ කුඩා දරුවන් පරිද්දෙනි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.


2012 මැයි 07 වෙනි සදුදා, ලක්බිම 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර