උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

කුමන වන මැද සැතපෙන බුදුරුව

අලි ඇතුන්, කුළු මීමුන්, වල් ඌරන්, වලසුන්, දිවියන් වැනි භයානක වන සතුන් රජයන මහා වනාන්තරයයි. බැලූ බැලූ හැම අතකම පෙනෙන්නේ අහසට අත් දිගු කරගත් විසල් ගස් කොළන්ය. පල බරින් යුත් මොර, පලූ වැනි ගස්ද නම් නොදන්නා තවත් විවිධ වනගත ගස් වලින්ද පිරුණු මේ සොඳුරු වනගහනය සැඳෑ හිරුගේ කිරණින් නැහැවෙමින් පවතී.

කුමන නම් ගත් මේ සොඳුරු වන ගහණය මැද ඇති ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානය දැක බලා ගැනීමට යෑම අපේ අරමුණය. වන ජීවි නියාමක නිශාන් සුරවීර ඒ ගමනට අප කැටුව යෑමට සූදානම්ව හිඳියි.
වියැළි ගුරුපාරේ දුවිලි අවුස්සමින් ඉදිරියට යන අපේ වාහනය කුමන වනමැදට වූ ප‍්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරවුණි.
වසර 250කට පෙරාතුව පැවැති නාග පබ්බත සේනාසනය එවකට රෝහණ රාජධානියට අයත් ප‍්‍රමුඛ පෙළේ සිද්ධස්ථානයකි. රටේ නන් දෙසින් එන බැතිමතුන්ගේ වන්දනා මානයට ලක් වූ මේ පුද බිමේ එදා හිමිවරු සිය ගණනක් බවුන් වැඩූහ. අක්කර හතළිහක තරම් වපසරියක පිහිටි ගල්ලෙන් සිය ගණනක් තුළ වාසය කළ මේ හිමිවරු තම බණ භාවනා කටයුතු නිදහසේ කරගෙන ගිය බව කියති.
එහෙත් ඒ සශ්‍රීකවත් රෝහණ රාජධානිය කලෙක විනාශ වී ගියේ සියලූ පුදබිම්ද වනගහණයේ ගිල්වාලමිනි. එබඳු පුදබිම් රෝහණය පුරා විසිර පැතිර පවතී. මේ පුදබිම් අතර මුහුදු මහා විහාරය, නීලගිරි සෑය, මඟුල් මහා විහාරය ඇතුළු තවත් විහාරාරාම රැසක නටබුන් මතුකරගෙන පිළිසකර කර තිබේ.
එහෙත් නාග පබ්බත සේනාසනය නම් තවමත් වන මැද හැංගුනු නටබුන් ගොඩක් පමණි. එදා රහතුන් වැඩ සිටි ගල්ලෙන් වල අද වාසය කරන්නේ වලසුන් සහ දිවියන්ය.
වනගත මාවත කෙමෙන් රූස්ස ගස් වලින් ගහණ විය. ඒ සමඟ අහසට නැගුණු විසල් ගල් කුළු රැසක් දර්ශනය වෙමින් තිබිණි.
ඔය පේන්නේ බමරගස්තලාව තමා.
අපේ මග පෙන්වන්නා කීවේය.
එකකට එකක් නුදුරෙන් පිහිටි මේ උස් ගිරි ශිඛර වලින් වැඩිකොටසක් රූස්ස ගස්වලින් වැසී පවතී.
වාහනයකට යා හැකිව තිබූ අන්තිම ඉසව්වට ගිය අපි වාහනයෙන් බැස්සෙමු. අපේ රියැදුරු වාහනය ආපසු හරවා ගත්තේය.
‘‘අලියෙක්වත් ආවොත් ඇරදාලා යන්න එපාය’’
ඔහු කීවේ සිනාසෙමිනි.
නිෂාන් වාහනයෙන් බැස්සාට පසුව අපිද ඉන් බැසගත්තෙමු.
එහෙත් ඔහු අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. හිටිවනම සිටිමත් හාත්පස නෙත් යැවූ ඔහු බලන්නට ඇත්තේ වන මෘගයකු කොතැනක හෝ සැඟවී සිටියිද කියා විය යුතුය. අලි, කොටි, වලසුන් වල් ඌරන් හා කුළු හරක් මේ වන ගැබෙහි ජීවත් වෙති. සැරිසරති. උන්ගේ බැල්මෙන් අපේ සිරුරු මඟ හරවාගත යුතුය.
පසෙක වැටී තිබූ ගසකින් අත්තක් කඩාගත් නිෂාන්, ළඟම තිබූ ගසක කඳකට තට්ටු කළේය. ඉන් නැඟුණු හඬ අවට පරිසරයේ වැදී දෝංකාර දුන්නේය.
මොහොතක් නිහඬව ගෙවී ගියේය.
නිෂාන් අතවු දණ්ඩ දෙවැනි වතාවටත් ගසක කඳක පතිත විය.
නැවත වතාවක් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය.
අපි පසෙක වූ අඩිපාර දිගේ ඉදිරියට ගියේ තවත් මිනිත්තු කිහිපයකට පසුවය. වන මෘගයකු සිටියේ නම් ඌට පලායන්නට හොඳටම ඉඩකඩ තිබේ.
අඩිපාර යොමු වූයේ කන්දකටය. මිනිත්තු හතර පහකින් පමණ අපි එක්තරා ගල්කුලක් පාමුලට පිවිසුනෙමු. ඒ ගල්කුල පාමුල විසල් ලෙනකි. ඒ ලෙන තුළ සැතපෙන බුදු රුවකි.
කුමන වන මැද බඹරගස්තලාව ලෙස අද හැඳින්වෙන එදා ශ්‍රී නාග පබ්බත සේනාසනය වූ මෙතැනදී අපට දැනුනේ සංවේග වේදනාවකි. සැතපෙන බුදුරුවෙහි සිරස මුළුමනින්ම කඩා බිඳ දමා තිබිණි. සිරස සුන් බුදු පිළිමයෙහි  බඳ කොටස හාරා තිබිණි. එසේම එහි පාද යුග්මයද කැඞී ගොසිනි.
‘‘නිදන් හොරු කඩා දාලා...’’
නිෂාන් කීවේය. රෝහණ රාජ්‍යය විනාශ කළ සතුරන් අතින්වත් නොකැඩුණු ශ්‍රී නාග පබ්බත සේනාසනයේ සැතපෙන බුදුරුව, අපේම මිනිසුන් විසින් කඩා බිඳ දමනු ලැබීම මොනතරම් ඛේදජනකද? මේ බුදු පිළිම අභ්‍යන්තරයේ වටිනා වස්තු තැන්පත් කර ඇතැයි නිදන් හොරු සිතුවත් එවැනි වටිනා කිසිවක් මේ බුදු පිළිම තුළ නැත.
බුදු පිළිමයක් යනු මෙරට බෞද්ධ ජනතාවට වටිනාකමක් ගිනිය නොහැකි තරමේ පූජනීය වස්තුවකි. එහෙත් අපේ නරුම මිනිසුන් වස්තු තණ්හාව නිසාම ඒ වටිනා බුදු පිළිමද කඩා බිඳ දමති. මේ සැතපෙන බුදුරුව විනාශ කර ඇත්තේද වස්තු තණ්හාවෙන් මැඩුණු නිදන් හොරුය.
ගල්ලෙන කටාරම් කෙටුවකි. මහා වැස්සකදී වූවත් එක වතුර පොදක්වත් මේ පිළිමයට නොවැටෙන පරිදි ඒ කටාරම් කොටා තිබේ. පිළිමය වටවන්නට යෙදු ගඩොල් බිත්තිද, අද නටබුන් ව ගොස්ය.
අවට තවත් ගල් ශිඛර ගණනාවකි. එදා ඉසුරුබර වූ නාග පබ්බත සේනාසනයට අයත් ආකාස චෛත්‍යය තිබූ ගල් ශිඛරය පසෙකය. එහි මුදුනෙහි චෛත්‍යයක නටබුන් මොනවට පෙනෙයි.
අවට තවත් ගල් ශිඛර කිහිපයකි. අපි ඉන් එකකට ගොඩවුණෙමු. කුමන වන උයනේ බොහෝ තැන් මොනවට පෙනෙයි. එදා මෙහි පැමිණි බැතිමතුන් මොනතරම් නම් චිත්ත තෘප්තියක් ලබන්නට ඇත්දැයි මට සිතෙයි. අවටින් පෙනෙන දසුන ඒ තරමටම මනරම්ය. වෙන එකක් තබා කුමන මුහුද පවා මෙතැනට යම්තමින් වුව පෙනෙයි.
මේ හුඟාක් ලෙන් වල වැද්දන්ගේ චිත‍්‍ර තියෙනවා. ඒකෙන් තේරෙන්නේ හුඟාක් ඉස්සර කාලෙක මේ ලෙන්වල වැද්දෝ ජීවත් වුණු බව.
නිෂාන් කියන්නේය.
එකල විසූ වැදි ජනතාව ඔවුන් දුටු බොහෝ දේ ගල් ලෙන් බිත්තිවල ඇඳ තැබුවේ හුදු  විනෝදයට විය යුතුය. අනාගත ලෝකයට ආදි කල්පිත වැදි ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්නට නම් නොවේ. එහෙත් අපි අද එදා වැදි චිත‍්‍ර ඔස්සේ ඔවුන්ගේ සංස්කෘතිය තේරුම් ගැනීමට සමත්ව සිටිමු.
තවත් කිවයුත්තකි. සුප‍්‍රකට ලේනම වැදි පරපුර වාසය කළේද මේ බඹරගස්තලාවේ කිට්ටුවය. එමගින් ද මේ ලෙන් වැදි ජනතාවගේ වාසභවනව තිබූ බව ඔප්පු වෙයි.
එසේම ඓතිහාසික රෝහණ රාජධානියේ සෞභාග්‍යය පිළිබඳවද අපි යමක් තේරුම් ගත්තෙමු.
අන්ධකාරය කෙමෙන් වනපෙතට පාත්වන්නට විය. ඉතින් අපි මේ ඉපැරණි පුණ්‍ය භූමියෙන් නික්මුනෙමු.
මේ සේනාසනය අක්කර 42ක් පුරාවට පැතිරීලා තියෙනවා. හැමතැනම ගල්ලෙන්. ඒ කාලේ රෝහණ රාජධානියට අයිති ප‍්‍රධාන පෙළේ පුදබිමක් තමා මේ.
වන ජීවියේ නිෂාන් කීවේ ආපසු වාහනය වෙත පිවිසෙමිනි. ඒ අපේ ආපසු ගමන පිණිසය.
ස්තූතිය,
කුමන වනෝද්‍යාන පාලක,
සුරංග රත්නායක මහතාට
2011 නොවැම්බර් මස 13  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 කුමන වැව
 සිරස කඩා දමා ඇති බුදු පිළිමය

ආකාස චෛත්‍යය

වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය

ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.

මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.
ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.
විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.
ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.
මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.
පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.
විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ. රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම  ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ.
දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ.
ඉතිහාසය, සොබා සුන්දරත්වය, අපූරු ලෙස එකට එකතු වූ අපේ රටේ පිහිටි ඓතිහාසික පුද බිමක් හැටියට ආඬිගල රාජමහා විහාරය හඳුනාගත හැකිය. මේ සුන්දර පින්බිම දැකබලා ගන්නට, ගවේෂණය කරන්නට ඔබටත් අවස්ථාව උදාවේවා.
සටහන අසංක ආටිගල
2011 දෙසැම්බර් මස 04  | ලංකාදීප කර්තෘ මණ්ඩලය







කැටකාලේ උපරතන හිමි

ලෙනගම්පල රජමහා වෙහෙර

සෝලියස් මැන්දිස් සිත්තරාගේ තවත් කාලාගාරයක්
ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙනෙන තරමේ වෙල් යායයි. එවන් වූ අසිරිමත් ගමක සිට අපි අද රජමහ වෙහෙරක කතාවෙන් ඔබව හමු වෙමු. මල්වාන නම් ඇසූ සැණින් මතකයට නැගෙන්නේ රඹුටන්ය. නමුත් ඒ හුරු පුරුදු මාතෘකාවෙන් බැහැරව මල්වානේ ලෙනගම්පල රජමහා විහාරයේ තොරතුරු සොයා අපි ඇවිද යමු.
ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරිනි. බියගමින් මල්වාන පාරේ පැමිණ එතැනින් මාපිටිගම පාරේ එන විට හමුවන සාරානන්ද මාවතෙන් හැරී මේ විහාරයට ළඟා විය හැකිය.
මල්වාන ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන්වී ඇත. කොස්කොළවත්ත, පිඩදියවත්ත, පාසල්වත්ත, ලෙනගම්පලවත්ත ඉන් කීපයකි. පුරාණ ගල් ලෙනක් විහාරයේ පිහිටි නිසා මේ ප‍්‍රදේශය මල්වානේ ලෙනගම්පලවත්ත නමින් හැඳින්වේ.
ජනප‍්‍රවාදය හා පුරාවෘත්ත කතාවලට අනුව මේ විහාරය එදා වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකි. අනුරාධපුරය සතුරු ආක‍්‍රමණයට පත් වෙද්දී එම ප‍්‍රදේශයෙන් පළා විත් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ආරක්ෂාව සලසාගෙන පසුව සේනා සංවිධානය කොට වළගම්බා රජු යළිත් රජවූ බව කියැවේ. රජු තම ආරක්ෂාව සඳහා රැඳී සිටි බොහෝ ස්ථාන පසුව විහාරාරාම බවට පත් විය. කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් සහිත ලෙනගම්පල රාජමහා විහාරය ද ඒ ඉතිහාස කතාවට නෑකම් කියයි. විශාල ගල් ලෙනට අමතරව තවත් කුඩා ගල් ලෙන් කිහිපයක්ම විහාර බිමේ දැකිය හැකි වේ.
එදා රජ දවසේ ලියැවුණු බව කියන පුරාණ සෙල් ලිපියක් විහාරයේ කලක් පැවැතියත් අද එය දක්නට නැත. ලෙනගම්පල රාජමහා විහාරය අනුරාධපුර යුගයෙන් පසු මහනුවර යුගයට එද්දී ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක හමු වේ. නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරය ඊට හොඳම සාධකයකි. එහි බිත්තියක ඝනකම අඩි හතරක් තරම් වේ. විහාරයේ පෞඪත්වය පූජනීයත්වය විදහාපාන  අයුරින් මේ විහාර ගෙට ඇතුළු වීමට දැවයෙන් කළ යෝධ දොර උළුවහු දෙකකි. මේ දොර උළුවහු දෙකම නුවර යුගයේ පැරණි ලී කැටයම්වලින් අලංකාරය. ලෙනගම්පල විහාරයේ ලී කැටයම් දෙස බලද්දී සිහියට නැගෙන්නේ ඇම්බැක්කේ ලී කැටයම්ය.
නමුත් විහාර මන්දිරය තුළ නුවර යුගයට අයත් යැයි සිතිය හැකි සිතුවම් හෝ බුදු පිළිම කිසිවක් දැකිය නොහැක. දැනට විහාර මැදුරේ ඇති බුදු පිළිම හා සිතුවම් පසු කාලයේ නිර්මාණය කරන ලද ඒවාය. ඒවා සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බව කියැවේ.
පසු කාලය වන විට නටබුන් බවට තිබූ මහනුවර යුගයේ බුදු පිළිම ඉවත් කර අලූතින් බුදු පිළිම හා සිතුවම් කරවන්නට ඇති බවට සිතිය හැකිය.
සෝලියස් මැන්දිස් චිත‍්‍ර ශිල්පියා ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ චිත‍්‍ර අඳින බව අසා එහි ගිය එදා කැලණිය රජමහා විහාරාධිපති හිමියන් සහ හෙලේනා විජයවර්ධන මැතිනිය ඔහු අජන්තාවට යවා වැඩි දුරටත් චිත‍්‍ර පුහුණු කර ගෙන්වා පසුව කැලණිය නව විහාර මන්දිරයේ සිතුවම් ඇඳීමට පෙර ලෙනගම්පල විහාරයේ සිතුවම් හා මූර්ති කරවූ බව පොල්ලමුරේ සිරි සීවලී හිමියෝ අපට පැවසූහ.
ඒ වන විට මේ විහාරය ද කැලණි රජමහා විහාරයේ භාරකාරත්වයේ පැවතිණි. දැනට විහාර මැදුර තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප‍්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් ආදිය පසු තලයේ දැකිය හැකි වේ.
පසුගිය දිනෙක ඔබ හමුවට රජමහා වෙහෙරක කතාවෙන් ගෙන ආ මැද්දෙපොල රජමහා විහාරයෙන් පසු සෝලියස් මැන්දිස් සිත්තරාගෙන් අලංකාර වූ තවත් කලාගාරයක් හැටියට මේ ලෙනගම්පල රජමහා විහාරය හඳුන්වා දිය හැකිය.
විහාර ගෙය ආසන්නයේම පිහිටි පැරණි විෂ්ණු දේවාලය ද විහාර ගෙය තරම්ම පැරණි බව පිළිගැනීමයි.
විහාර බිම අනෙක් බොහෝ අංග මෑත කාලයේ දී එක්වූ ඒවාය. එනමුත් චෛත්‍යය, ගලක නෙළා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව, දේවාල සමූහය, අටවිසි බුදු කුටි, ඝංඨාර කුළුණ විහාරයේ පැරණි බව තව දුරටත් ඉස්මතු කොට දක්වයි.
විහාරයට නුදුරින් ගල් තලාව ආසන්නයේ පිහිටි පැරණි බෝධිය හා සමකාලීන යැයි සිතිය හැකි නුග වෘක්ෂය ද ප‍්‍රදේශවාසීන්ගේ අපමණ පූජා භක්තියට පාත‍්‍ර වන බව පෙනේ.
ඓතිහාසික හා පූජනීය වශයෙන් වැදගත් මල්වාන ලෙනගම්පල රාජමහා විහාරය ලක්වැසි පොදු දනන්ගේ දහම් පිපාසාව නිවන තවත් එක් පින් බිමෙකි. ඉතිහාසය සොයා යන අයට, සිතුවම්, මූර්ති කැටයම් ගවේෂණය කරන කෙනෙකුට මේ සුවිශේෂී කඩඉමකි. මේ පුදබිම දැක බලා ගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා!
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 30  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


සෝලියස් මැන්දිස් ශිල්පියා ඇඳි දේව ප‍්‍රතිමාවක්

මහනුවර යුගයට අයත් දොරටුව    

සුනේත‍්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ

ගණේගම අරමුණපොළ රාජමහා විහාරය
රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැඳුනු මේ ගම් බිම්වල ඇත්තේ සැබෑකොටම ශාන්ත සුන්දර බවකි. සිරිපා අවාරයේ සුමන සමන් දෙවියන්ගේ දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කර ඇති සුප‍්‍රකට ගල්පොත්තාවල රජ මහා විහාරයට නුදුරින් පිහිටි ගණේගම අරමුණපොළ රාජමහා විහාරය හැටියට ප‍්‍රකට මේ විහාරය පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් දෙකක් පමණ රත්නුපර දෙසට වන්නට ප‍්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබේ.
ඓතිහාසික වශයෙන් සලකා බලන කල ගණේගම රාජමහා විහාරය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දුරාතීතයට විහිදේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සඳහන් වේ. නම් පොතේ දෙනවක විහාරය යැයි හඳුන්වන්නේ මේ විහාරයටය. ඉන් පසු කාලයේ විහාර ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ. එම ස්ථානය මෙතැන බවට දැන් විශ්වාස කෙරේ. මේ ද්‍රෝණය ඇති තැන විහාරය පිහිටි නිසා ද්‍රෝණවක්ක නමින් ද මේ ගණේගම විහාරය ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක හඳුන්වා තිබේ.
පළමුවන විජයබාහු රජ සමයේ බොහෝ දුරට ලක්දිව සම්බුද්ධ ශාසනය පිරිහී භික්ෂුන් වහන්සේලා දුර්ලභ කාලයක් උදාවී තිබිණි. විජයබාහු රජු එදා බුරුම දේශයට ගොස් එරටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවාගෙන මෙහි යළි බුද්ධ ශාසනය පිහිටුවීමට ප‍්‍රයත්න දරා ඇත. එසේ වැඩම කළ බුරුම හිමිවරු සිරිපා වඳින්නට යද්දී මේ ද්‍රෝණවක්ක විහාරය උන්වහන්සේලා නිතර නවාතැන් ගත් විහාරයක් විය. එකල ද ශ්‍රී පාදය ජන සමාජයේ අදවන්ව ප‍්‍රකටව, ගෞරවනීයත්වයෙන් පැවතී ඇත. බුරුමයේ ආරම්මන නම් දේශයෙන් වැඩි හිමිවරු එදා නිතර මේ විහාරයේ වැඩසිටි නිසා පසුව අරමුණපොළ විහාරය නමින් ප‍්‍රකට වූ බව වත්මන් විහාරාධිපති සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ.
පසු කාලීනව කෝටටේ යුගයේ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ.
එසේ විහාර කරවද්දී එතුමන් මේ විහාරයේ විහාරගෙයක් කරවා සුනේත‍්‍රා දේවිය නමට පින් අනුමෝදන් කර පූජා කර තිබේ. එය උඩරට පහත රට ගල් වඩුවන් යොදාගෙන ගල් කැටයම් සහිතව ඉතා රමණීයව ගොඩනැගූවකි. උඩරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් පහතරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් එකම තැනකදී දැක බලා ගන්නට ගණේගම අරමුණපොළ රාජමහා විහාරය කදිම තැනෙකි.
මේ විහාරය වටා ගල් කණු 27ක් කැටයමින් යුතුව කරවා තිබේ. බැලූ බැල්මට විහාරය මහල් දෙකකට පෙනුනත් එය දෙමහල් නොවේ. තනි බිත්තියෙන් ඉහළට නැගුනු මේ විහාර ගෙයි උඩුමහල යැයි සිතිය හැකි ප‍්‍රදේශයේ පිටතට පෙනෙන පරිදි විහාර ගෙය වටාම කලා කැටයම් දැකිය හැකිය. ඒවා විශ්ණු දෙවියන්ගේ ‘දස අවතාර’ බව කියැවේ. හයවන පරාක‍්‍රමබාහු රජ සමයේ දේව සංකල්පය ගැඹුරින් සමාජගතව පැවති බව සාක්ෂි ඇතිව තහවුරු කරන්නට ද මේ විහාරය කදිම තෝතැන්නකි.
විහාර ගෙය ආසන්නයේම ඇති කුඩා චෛත්‍යය ද එකලටම අයත් වේ. විශේෂයෙන් මේ විහාර ගෙයි වහළයේ රන් කොත් දෙකක් දැකිය හැකි අතර එනිසා ‘රන්කොත් වෙහෙර’ යැයි පසුකාලයක මේ ඉපැරණි වෙහෙර හඳුන්වන ලදී.
පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ. පසුව ගෙඟ් තිබී සොයාගත් අඩි හතරක් පමණ උසැති ඉපැරණි සමාධි බුද්ධ ප‍්‍රතිමාව විහාර ගෙයි අදත් දැකිය හැකිය. එසේම සුවිසල් සමාධි බුද්ධ ප‍්‍රතිමාව, පැරණි මකර තොරණ, ගල් උළුවස්ස, දකුණු ඉන්දීය ආභාෂය ගත් නාරිලතා රූප ද විහාරයේ කලාත්මක බව, පූජනීයත්වය සේම වටිනාකම ද දෙගුණ තෙගුණ කරන්නට සමත්ව තිබේ.සීගිරි සිතුවම්වල තාර ගෑ පසු යළි මතු කර ගත් ‘මරන්සි’ නම් විදෙස් චිත‍්‍ර ශිල්පියා මේ විහාරයේ ද මැකී ගිය චිත‍්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවාද සාක්ෂි සාධක වෙයි. එකලම මේ විහාරයේ තිබූ ඇත් දළ, රන් රිදී මුතු මැණික් ආදී බොහෝ දේ පෘතුගීසීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
එකල ලංකාවේ බුද්ධ ශාසනය පිරිහී පැවති අතර සිවුරු හැර සිල්වතුන් හැටියට වාසය කළ පිරිසක් ශාසනය සන්තක දේ ආරක්ෂා කර ගෙන ඇති බව කියැවේ. ගණින්නාන්සේලා හැටියට ප‍්‍රකටව ඇත්තේ මේ සිල්වතුන්ය. ඒ අය සිටි තැන් ගණේමුල්ල, ගණේලන්ද, ගණේගම, ගණේවත්ත ආදී කොට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබේ. මේ ස්ථානය ‘ගණේගම රජමහාවිහාරය’ යනුවෙන් හඳුන්වන්නේ එවැනි ගණින්නාන්සේලා මේ ප‍්‍රදේශයේ සිටි නිසාය.වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන් සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ලක්දිව යළි බුදුසසුන ස්ථාපිත කිරීමෙන් පසු පළමුවන රාජසිංහ රජු මේ ගණේගම අරමුණපොළ රජමහාවිහාරය ගම්වරද සමග අනෝමදස්සි නම් මහ තෙරනමකට පූජා කර තිබේ. උන්වහන්සේට වැලිගොඩපළින් හටන්ගල පාරේ කොට්ටමුල්ල නම් රාජමහා විහාරයක්ද රජු පූජා කොට තිබේ. එය වලගම්බා රජු විසින් කැරවූවකි.
80’ දශකය දක්වාම ඒ විහාර සම්ප‍්‍රදායට අනුව ගණේගම අරමුණපොළ විහාරයේ ද අයිතිය පැවතියේ කොට්ටිමුල්ල විහාරයටය. නමුත් දැන් එම විහාරය වෙනම විහාරයක් හැටියට කටයුතු සිදුකරගෙන යන බව සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ. ප‍්‍රධාන ගමන් මාර්ගයට දිස්වන ඉතා රමණීය අවුකන බුද්ධ ප‍්‍රතිමාවේ අනුරුව කරවා ඇත්තේ මේ විහාරයේ වැඩසිටි ගණේගම පියරතන නාහිමියන් විසිනි. එසේම මෑත භාගයේ ඉදිකළ පොළොන්නරු ගල් විහාර අනුරුවද මේ පින්බිමේ දී දැකගත හැකිය.
සෑම වර්ෂයකම රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව සිදුකෙරෙන පිරිත් කටයුතු සිදුකෙරෙන්නේ ද අරමුණුපොළ රාජමහා විහාරයෙනි. මේ විහාරයේ භාරකාර හිමියන් හැටියට ඌව සබරගමුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බදුලෙන රාජමහා විහාරාධිපති පාතකඩ විමලරතන නාහිමියෝ කටයුතු කරති.
පැල්මඩුල්ල නගරය හරහා වන්දනාවේ යන ඔබටත් ඉතා වටිනා ඓතිහාසික පසුබිමකින් පැවත එන ගණේගම අරමුණුපොළ රාජමහා විහාරය දැකබලා, වැඳපුදා, සතුටු සිත් ඇති කර ගන්නට පින් සිතිවිලි පහළ වේවා.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


                              දැව බුද්ධ ප‍්‍රතිමාව                                       

 සුනේත‍්‍රා දේවියට පින් පිණිස කරවූ විහාර ගෙය
 දෙතිස් ඵල බෝධිය


ඉපැරණි කුමර කුමරි බෝධීන් පිහිටි පිළිකුත්තුව රජ මහා වෙහෙර

ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරන ඓතිහාසික පුද බිමකට අපි අද ‘රජමහ වෙහෙරක කතාවෙන්’ ඔබ කැඳවාගෙන යමු.
ලක්දිව ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ පිළිකුත්තුව රජ මහා විහාරය මුල් තැනක් උසුලයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි මේ ඓතිහාසික පින්බිම පිහිටා තිබේ. ගම්පහ - කිරිඳිවැල (231) බස් මාර්ගයේ යක්කල හන්දියේ සිට විහාරයට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. පිළිකුත්තුව විහාර ඉතිහාසය ක‍්‍රි.පු. පළමු වැනි සියවසතෙක් දුරාතීතයට දිවේ. අනුරාධපුර යුගයේ මුල් සමයේ සිටම භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ස්ථානයක් හැටියට පිළිකුත්තුව හඳුනා ගත හැකිය. කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් මේ විහාරය අවට වනගත බිමේ පිහිටා ඇති අතර එයින් ගල් ලෙන් 82ක් දැනට සොයාගෙන තිබේ. මෙපමණ ගල් ලෙන් ප‍්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ දුර්ලභ ස්ථානයක් හැටියට පිළිකුත්තුව විශේෂ වෙයි.
මේ ලෙන්වල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. එසේම අනුරාධපුර, මිහින්තලය ආදී පෞරාණික වෙහෙර විහාරවල පැවතියාක් මෙන් විහාරාරාම සැලසුම් හා උද්‍යාන කලාවක් පිළිකුත්තුවේ පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අදහස් පළ කරති.
මේ ප‍්‍රදේශය පිළිකුත්තුව වූයේ කෙසේද? ඊට මත කිහිපයක් පවතී. අතීතයේ රජවරුන්ට ‘පිළි’ සැපයූ ගම්මානය නිසා පිළිකුත්තුව විනැයි එක් ජනප‍්‍රවාදයකි.
එසේම, පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතුව පිළි කොටුව වී පසුව පිළි කොත්තුව, පිළිකුත්තුව වූ බව තවත් මතයකි.
මේ විහාර ඉතිහාසයට සම්බන්ධ වළගම්බා රජුගේ බිසෝව පරිහරණය කළ පිළි හා රන්, රිදී මුතු මැණික් සඟවා තැබූ ගම ‘පිළි සැඟවූ ගම’ පිළිකුත්තුව වී ඇති බවද ජනප‍්‍රවාදයේ එන මතයකි.
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානම ගොඩනැගිල්ල ලෙන් විහාරයයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගීව වැඩ සිටි බවත් පසුව එය බුදු මැඳුරක් බවට පත්ව ඇති බවත් විශ්වාස කළ හැකිය. එය කටාරම් කෙටූ සුවිශාල ගල් ලෙනකි. මෙහි විශාල සැතපෙන පිළිමයක් සමාධි පිළිමයක්, හා හිටි පිළිමයක් දැකිය හැකිය. මෙහි නුවර යුගයට අයත් සිතුවම් රාශියකි. ඒ අතර වෙස්සන්තර, මහාකප්ප හා ධර්මපාල ජාතක කතා ප‍්‍රකටය.
විහාර ගෘහයට පිවිසෙද්දී දොරටුව අභියස ඇඳ ඇති දොරටු පාල රූප දකිද්දි පෘතුගීසි සමයේ සෙබළුන්ගේ ස්වරූපය සිහියට නංවයි. ක‍්‍රි.පු. පළමුවැනි සියවසට අයත් සෙල් ලිපියක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර මේ සෙල් ලිපි වලින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය. ඒ අනුව අතීතයේ පටන් මේ ප‍්‍රදේශයේ බුදු දහම පැතිරී පැවති බවට පැහැදිලි සාක්ෂි හමු වේ.
පැරණි විහාර ගෙට ආසන්නයේ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කළ කුඩා ස්තූපය නුවර යුගයට අයත් වූවකි. ඊට ඉදිරියෙන් ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිතය. එයින් එකක් ‘කුමර බෝධිය’ වශයෙනුත් අනෙක ‘කුමරි බෝධිය’ නමිනුත් හැඳින්වේ. මෙයින් කඳ මහත්ව තනි කෙළින් උසට වැඩුණු බෝධිය කුමර බෝධියයි. පහළින් අතු විහිද කුඩා බෝධිය ‘කුමරි බෝධිය’ යි.
පිළිකුත්තුව විහාරයේ අසල ගිරි ශිඛරයට නැගීමට ඇති කෙටි අඩි පාර පාමුල පිහිටි තවත් විහාර මන්දිරයකි. එය කරවා ඇත්තේ විහාරයේ වැඩ සිටි යාගොඩ ගුණරත්න හිමිගේ සමයේදීය.
පැරණි ධර්ම ශාලාව අසළින් පහළට ගිය විට කාල පරිච්ජේද තුනකට අයත් ආවාස ගෙවල් දැකිය හැකි දුර්ලභ විහාරයක් හැටියට ද පිළිකුත්තුව රජ මහා විහාරය හඳුනාගත හැකිය.
ඒවා ඉංග‍්‍රීසි පාලන සමය, මහනුවර රජ සමය හා  ඕලන්ද සමයට අයත් ය. ඒ ඒ කාල සමයන්වලට අදාළ විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඒවායින් දැකිය හැකිය.
මේ විහාරයේ ඇති ඉපැරණි කෞතුක වස්තූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පරිහරණය කළ දෝලාව විශේෂ වේ. උන්වහන්සේ ධර්ම දේශනයකට දෝලාවෙන් මෙහි වැඩම කර ඇති අතර ආපසු තිරික්කලයෙන් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත. එය අදත් දැකිය හැකිය. පැරණි පුස්කොළ පොත්, මහනුවර යුගයට අයත් දැව පාලමක්, තොප්පි ගල්ගෙය, මේ ඓතිහාසික විහාරය, නැරඹීට එන ඔබට දැක බලා ගැනීමට පිළිවන.
පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා ඇත්තේ වන ගහනයෙන් ගැවසී ගත් විශාල ගිරි ශිඛරයක් පාමුලය. මේ ස්වභාවික පිහිටීම නිසාම දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් හැටියට මෙය පැවැති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් හැටියටත් ප‍්‍රසිද්ධව තිබේ. දැනට පිළිකුත්තුව විහාරය පූජා නගරයක් කිරීමට කඩිනම් වැඩ කටයුතු සිදු කරගෙන යන බව විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ අපට පැවසූහ. දැනට වාහල්කඩ නිමාකර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිරි ශිඛරය නැගීමට පෙත්මග ඉදිකරමින්ය.
සුවිසල් ගල් කුළු නැග ඉහළට යද්දී යෝධ පුස්වැලද ඔබට දැකිය හැකිය. එසේම හොර, මිල්ල, වල් දෙල්, රුක් අත්තන, හුළං හික්, ගැඩුම, කොළොං, යකඩ මරං, හොර, කළුවර ආදී වටිනා දැව වර්ගද, මී, මාදං. නවාහන්දි, අහු, ඉරිවේරිය, ඇත් දෙමට, තොටිල්ල, මඟුල්කරද, බිං කොහොඹ ආදි වටිනා ඖෂධ වර්ග ද පැළද දැකිය හැකිය. වනගත භූමියක් නිසාම කුරුලූ වර්ග 80 ක් පමණ පිළිකුත්තුව අවට ප‍්‍රදේශයේ ජීවත් වන බව කියැවේ. විශේෂයෙන් පිළිකුත්තුව ප‍්‍රදේශයට ආවේණික ‘ඩුකුලා’ නම් පක්ෂියෙක් පිළිබඳව තොරතුරුද මෙහි ගිය විට ඔබට අසා දැක ගත හැකිය. ඌ හැඞීමෙන් නුදුරු කළදීම ප‍්‍රදේශයේ මරණයක් සිදුවේය යන්න අදත් ගම්වාසීහු විශ්වාස කරති.
පිළිකුත්තුව රාජ මහා විහාරය ඔබ දැක බලා ගත යුතුව, පාරිසරික, ඓතිහාසික අතින් වැදගත් පුද බිමෙකි. විශේෂයෙන් පාසල් දුවා දරුවන්ට, තරුණ ගවේෂකයන්ට පිළිකුත්තුව රජ මහා විහාරය හා ඒ අවට ගම්මානය කදිම තෝතැන්නකි. වඳින්නට, සොයන්නට, නරඹන්නට ඔබටත් පිළිකුත්තුව රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව උදා වේවා!
සටහන හා ඡායාරූප  - අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 යෝධ පුස්වැල


 
                                                                   පැරණි විහාර ගෙය




ඉපැරණි සිතුවම්
විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ සහ විහාරයේ භාරකාර හිමි
නුවර යුගයට අයත් දැව පාලම