උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

බුද්ධ ප්‍රතිමා විමර්ශනයක්

ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය 
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
බෞද්ධ මූර්ති ශිල්පයෙහි මූලිකවූත් අපූර්වතමවූත් නිර්මාණය බුද්ධ ප්‍රතිමාවයි. බෞද්ධ කැටයම් කලාවේ මුල්ම අවධියේ බුදුන්වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් මූර්තියකට නැගීම සිදුවූයේ නැත. බුදුන්වහන්සේ වැනි ලෝකෝත්තර තත්ත්වයට පත්වූ උතුමෙක් ප්‍රතිමාවකින් නිරූපණය කළ හැකිද? නැතහොත් උචිත ද යන ප්‍රශ්න මේ සඳහා හේතුවන්නට ඇතැයි සිතිය හැකිය. එබැවින් ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ දී පමණ ආරම්භ වූ බෞද්ධ කැටයම් කලාවෙහි බුදුන් වහන්සේ නිරූපණය කරන ලද්දේ ධර්මචක්‍රය, බෝධිය, ශ්‍රීපාදය, ස්තූපය, ආසනය වැනි සංකේත මගින්ය. සාංචි හා භාරුත් කැටයම් මේ සඳහා පැහැදිලි නිදසුන් ය.
ඉන්දීය බෞද්ධ කලාවේ ආරම්භයේ පටන්ම බුදුන්ගේ අතීත ජීවිත පිළිබඳ කතා හෙවත් ජාතක හා චෛත්‍යස්ථානවල කැටයම් කර තිබේ. එහිදී බෝසත්වරයෙක් වශයෙන් මනුෂ්‍ය මෙන්ම සත්ව ස්වරූපයෙන්ද කිසිදු පැකිලීමක් නැතිව මූර්තිමත්කර ඇත. එසේම සිදුහත් කුමරාගේ මාලිගයේ ජීවිතයද නිරූපණය කර ඇත. මහාමායා දේවිය ඇතෙකු දැකීම හා මවුකුස පිළිසිඳ ගැනීම පිළිබඳ සිද්ධියේ සිට කන්ථක අසුපිට නැගීගිය මහා අභිනිෂ්ක්‍රමණය දක්වා දර්ශන පැරැණි කැටයම්වල නිරූපණය කර ඇත. එහෙත් බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා සිදුවීම් දැක්වෙන සෑම අවස්ථාවකම බුදුන්වහන්සේ වෙනුවෙන් ඊට අදාළ සංකේතයක් යෙදීම සාංචි, භාරුත්, මථුරා ආදී පැරැණි කැටයම් සියල්ලෙහි සාම්ප්‍රදායික ලක්ෂණය වී ඇත.
ක්‍රි.පූ. 1 හා ක්‍රි.ව. 1 ශතවර්ෂ අතර ගන්ධාරයේ හෝ මථුරාවේ ආරම්භ වූ බව සිතිය හැකි වේගයෙන් ප්‍රචලිත වූ මානුෂික ස්වරූපයෙන් බුදුන් නිරූපණය කිරීමේ රූපයෙන් පෙන්වනු ලබන්නේ දෙවුරම සාටකයෙන් වැසුණු, හිස වටා ප්‍රභාමණ්ඩලයක් විහිදී ගිය ශ්‍රමණ රූපයකි. මෙය ගී‍්‍රක ප්‍රතිමා කලාවේ බලපෑම නිසා වූවක් බව සිතිය හැකිය.
බුදුන් වහන්සේගේ ශරීරය හා සම්බන්ධ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර ඉතාම වැදගත් අංගයක් වන උෂ්ණීෂය දිග රැළි සහිත හිස මුදුනේ ගැටගසන ලද කෙස් වලින්ද ඌර්ණාව නළල මැද කැරකී ගිය කෙස් රොදකින්ද මෙහි නිරූපණය කෙරේ. ගන්ධාර ප්‍රතිමාවන්ට වඩා මථුරාවේ බිහිවූ බුදුපිළිමවල දේශීය ලක්ෂණ ආරෝපණය වී තිබිණ. ගොළුබෙලි කටුවක ස්වරූපය ඇති උෂ්ණීෂය සරල, එහෙත් ප්‍රෞඪ පෙනුම, වම් උරහිස පමණක් වැසීගිය සිනිඳු සිවුර යන විශේෂ ලක්ෂණ එහි දක්නට ලැබෙන අතර එමගින් ගන්ධාර ප්‍රතිමාවල ඇති කුමාර ලීලාවට වඩා කේවල අධ්‍යාත්ම සුන්දරත්වය පිළිබිඹු කරයි. අමරාවතී නාගර්ජුනකොණ්ඩ යන ප්‍රදේශවල බිහි වූ ප්‍රතිමාවන්ද බෞද්ධ ග්‍රන්ථවල එන බුදුන්ගේ ශරීර ස්වභාවය අනුගමනය කිරීමට උත්සාහ දරා ඇත.
භාරතීය බුද්ධ ප්‍රතිමාවේ උච්චතම අවස්ථාව වශයෙන් සැලකිය හැක්කේ ඉන්දීය සංස්කෘතියේ ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වන ගුප්ත රාජ්‍ය සමයයි. මෙහි වඩාත් පරිනත වකවානුව වූ පස්වන සියවසේ මුල් යුගයත් මධ්‍යම යුගයත් අතර කාලයේ නෙළා ඇති කදිම රැළි සහිත නැවුම් පොටවල්වලින් පිරීගිය දෙඋරයම වඩාත් ඇඟට ඇලීගය සිනිඳු සිවුර සහිත තාත්වික බුදුපිළිමය විශේෂයෙන් සැලකිය යුතු ය.
මෙම ගුරුකුලයෙහි බුදු පිළිම නිසා ඉන්දියානු සම්භාව්‍ය ශෛලිය සම්පූර්ණත්වයට පත්වූ අතර, එහි බලපෑම් ඉන්දියන් උප අර්ධද්වීපයේ නොයෙකුත් ප්‍රදේශවලට මෙන්ම අග්නිදිග ආසියාවේ රටවලට කෙළින්මත් චීනය වැනි රටවලට අනියම්වත් ඇති වූ බව කිව හැකිය. බුදු සමය හා මූර්ති ශිල්පය ඉන්දියාවෙන් අග්නිදිග ආසියානු රටවලට පැතිරී ඉන්දීය සම්ප්‍රදායානුකූල බුදුපිළිම ජනතාව අතර ප්‍රචලිතවූ නමුත් ඒවායේ ඒ ජනවර්ගයාටම ආවේණික විශේෂ ලක්ෂණ ටිකෙන් ටික මතුවිය. හතරවන සියවසෙන් පසු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රාකලා සම්ප්‍රදායානුකූල කැටයම් ශ්‍රී ලංකාවේ අනුරාධපුරය අවට බිහිවිය. මේ ශෛලියේ සුවිශේෂ ලක්ෂණ මෙසේ ය.
ශරීරයේ හැඩය කැපී පෙනෙන සේ වම් උරහිස වැසෙන ශරීරයටම ඇලීගිය සිවුර හා එක්තරා ප්‍රමාණයක ඉඩක් තබමින් සිවුර පුරා විහිදී ගිය නැවුම් පොටවල් ය. 13 වන සියවසින් පසු ලෝකඩ හෝ වෙනත් එවැනි ලෝහ වර්ග ගල් වෙනුවට මූර්ති නිර්මාණය සඳහා භාවිතා විය. මේවායේ සිවුරු නැවුම් පොටවල් වඩාත් සියුම් ලෙස මතුකිරීමත්, බුදු පිළිමයේ ශීර්ෂයට උඩින් ගිනිජාලාවක් වැනි රැස් වළල්ලකුත් නිර්මාණය කිරීම වැනි ශෛලින් බිහිවිය. ශ්‍රී ලංකාවේ ථෙරවාද බුදුදහම වඩා ජනපි‍්‍රය වූයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගෞතම බුදුන් වහන්සේගේ පිළිම බොහෝ දුරට සරල සම්ප්‍රදායකින් නිර්මාණය වූ අතර අවලෝකිතේශ්වර වැනි මහායාන බෝධිසත්වවරුන් සහ තාන්ත්‍රික දෙව්වරුන්ගේ පිළිරූද නිර්මිත විය.
අග්නිදිග ආසියාවේ බෞද්ධ ප්‍රතිමාවන් අතර විශේෂයෙන් මධ්‍ය ජාවා සහ ඉන්දුනීසියා යන රටවලින් හමුවූ ඒවා වඩා ප්‍රසිද්ධය. ශෛලින්ද්‍ර රජු පාරම්පරික මහායාන රජවරුන්ගේ විශේෂ අනුග්‍රහය ලැබීම නිසා අටවන හා නමවන සියවස්වල එරට කලා ශිල්පවල විශේෂ දියුණුවක් ඇතිවිය. ඔවුන්ගේ මූර්ති ඉතා සෞන්දර්යාත්මක හා උසස් නිපුණතාවයක් පෙන්වන ඒවා විය. විශේෂයෙන් (වන්දි මෙන්ඩුට්වල) බෞද්ධ ප්‍රතිමාත්‍රය නියම පරිමාණයකින් යුත් උත්තුංග ශරීර ආකෘතියක් පෙන්වන අතර, ඒවා අග්නිදිග ආසියාවේ බුද්ධ ප්‍රතිමාවන් අතර උත්කෘෂ්ට නිර්මාණයන් හැටියට හැඳින්වීම නිවැරැදිය. බෝරෝබුදුර්හි ඇති විශාල ගල් කැටයම්ද විශේෂ අවධානයට ලක්විය යුතුය. විශිෂ්ට ගණයට අයත් ජීවමාන ශරීර ප්‍රමාණයේ ඉඳි පිළිම පන්සිය හතරක් මුල් අවධියේ බිහිවී ඇත. (ඩ්ධපඪභණජ) ආරාමයේ ඇති අශෝක ශෛලිය නියෝජනය කෙරෙන ශාක්‍යමුනි ප්‍රතිමා ත්‍රිත්වය ද මේ ශෛලියෙන් ආභාසය ලබා ඇත.
ජපානයට බුදුදහම හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රි.ව. 550 දී පමණ කොරියාවේ සිටය. බුදුදහම පැමිණීමෙන් පසු එරටට ආවේණික වූ විවිධ ලක්ෂණ ජපන් බුදුදහම තුළ සංවර්ධනය වූ අතර එය කලාශිල්ප කෙරෙහි ද බෙහෙවින් බලපෑ බව සඳහන් කළ යුතු ය. ජපාන බුදුපිළිම සැකසී ඇත්තේ එම වචනයේ අර්ථය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇතිව බෞද්ධයනට වන්දනා කරනු ලැබීමට සුදුසු වන පරිදිය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එයින් ධ්වනිත වන්නේ බුද්ධ නමින් හැඳින්වෙන බෞද්ධ ධර්මයේ නිර්මාතෘවර සිද්ධාර්ථ ගෞතම බුදුන්ගේ ඕනෑම මූර්තියකි. උන්වහන්සේ ‘ශාක්‍යමුනි’ නමින්ද ‘ෂකුසොන්’ නමින්ද හැඳින්වෙති. ෂකුසොන් යනු උන්වහන්සේට ගෞරවය සඳහා යෙදෙන පදයකි. මහායාන බුද්ධ ධර්මය තුළ විවිධ නිකායන්හි අනේක බුදුවරයන් පිළිබඳ ඉපැරණි සංකල්පයන්ගේ වර්ධනයත් සමඟ බෞද්ධ දේව විශ්වාසයට අමිතාහ ආදී තවත් බුදුවරු හඳුන්වා දෙනු ලැබූහ. බුද්ධ ප්‍රතිරූප ඒ අනුව මේ අලුත් තථාගතවරුන් සඳහා ද උපයුක්ත කරගන්නා ලදී.
බුද්ධ ප්‍රතිමා යන්නෙහි පෘථුල අර්ථයෙන් ගත්විට එයින් මේ තථාගතයන් වහන්සේලා පමණක් නොව බෝසත්වරු, විද්‍යාරාජවරු සහ දෙවිවරුද අනෙකුත් අල්පේශාක්‍ය දෙව්වරුද ධ්වනිත වෙති. බුද්ධ, තථාගත, බෝධිසත්ව, විද්‍යාරාජදේව, අලේප්ශාක්‍යදේව යන මේ සියලු සංකල්පවල විකාශනයන් ජපානයෙන් ආරම්භ වූ බව සිහි තබා ගත යුතු ය. එනිසා එය හැම විටම ඉන්දියානු ටිබැට් සහ ගිනිකොන දිග ආසියානු රටවල බුද්ධ ප්‍රතිමාවලට අදාළ නොවන බව කිව යුතු ය.