උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ලෙනගම්පල රජමහා වෙහෙර

සෝලියස් මැන්දිස් සිත්තරාගේ තවත් කාලාගාරයක්
ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙනෙන තරමේ වෙල් යායයි. එවන් වූ අසිරිමත් ගමක සිට අපි අද රජමහ වෙහෙරක කතාවෙන් ඔබව හමු වෙමු. මල්වාන නම් ඇසූ සැණින් මතකයට නැගෙන්නේ රඹුටන්ය. නමුත් ඒ හුරු පුරුදු මාතෘකාවෙන් බැහැරව මල්වානේ ලෙනගම්පල රජමහා විහාරයේ තොරතුරු සොයා අපි ඇවිද යමු.
ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරිනි. බියගමින් මල්වාන පාරේ පැමිණ එතැනින් මාපිටිගම පාරේ එන විට හමුවන සාරානන්ද මාවතෙන් හැරී මේ විහාරයට ළඟා විය හැකිය.
මල්වාන ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන්වී ඇත. කොස්කොළවත්ත, පිඩදියවත්ත, පාසල්වත්ත, ලෙනගම්පලවත්ත ඉන් කීපයකි. පුරාණ ගල් ලෙනක් විහාරයේ පිහිටි නිසා මේ ප‍්‍රදේශය මල්වානේ ලෙනගම්පලවත්ත නමින් හැඳින්වේ.
ජනප‍්‍රවාදය හා පුරාවෘත්ත කතාවලට අනුව මේ විහාරය එදා වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකි. අනුරාධපුරය සතුරු ආක‍්‍රමණයට පත් වෙද්දී එම ප‍්‍රදේශයෙන් පළා විත් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ආරක්ෂාව සලසාගෙන පසුව සේනා සංවිධානය කොට වළගම්බා රජු යළිත් රජවූ බව කියැවේ. රජු තම ආරක්ෂාව සඳහා රැඳී සිටි බොහෝ ස්ථාන පසුව විහාරාරාම බවට පත් විය. කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් සහිත ලෙනගම්පල රාජමහා විහාරය ද ඒ ඉතිහාස කතාවට නෑකම් කියයි. විශාල ගල් ලෙනට අමතරව තවත් කුඩා ගල් ලෙන් කිහිපයක්ම විහාර බිමේ දැකිය හැකි වේ.
එදා රජ දවසේ ලියැවුණු බව කියන පුරාණ සෙල් ලිපියක් විහාරයේ කලක් පැවැතියත් අද එය දක්නට නැත. ලෙනගම්පල රාජමහා විහාරය අනුරාධපුර යුගයෙන් පසු මහනුවර යුගයට එද්දී ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක හමු වේ. නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරය ඊට හොඳම සාධකයකි. එහි බිත්තියක ඝනකම අඩි හතරක් තරම් වේ. විහාරයේ පෞඪත්වය පූජනීයත්වය විදහාපාන  අයුරින් මේ විහාර ගෙට ඇතුළු වීමට දැවයෙන් කළ යෝධ දොර උළුවහු දෙකකි. මේ දොර උළුවහු දෙකම නුවර යුගයේ පැරණි ලී කැටයම්වලින් අලංකාරය. ලෙනගම්පල විහාරයේ ලී කැටයම් දෙස බලද්දී සිහියට නැගෙන්නේ ඇම්බැක්කේ ලී කැටයම්ය.
නමුත් විහාර මන්දිරය තුළ නුවර යුගයට අයත් යැයි සිතිය හැකි සිතුවම් හෝ බුදු පිළිම කිසිවක් දැකිය නොහැක. දැනට විහාර මැදුරේ ඇති බුදු පිළිම හා සිතුවම් පසු කාලයේ නිර්මාණය කරන ලද ඒවාය. ඒවා සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බව කියැවේ.
පසු කාලය වන විට නටබුන් බවට තිබූ මහනුවර යුගයේ බුදු පිළිම ඉවත් කර අලූතින් බුදු පිළිම හා සිතුවම් කරවන්නට ඇති බවට සිතිය හැකිය.
සෝලියස් මැන්දිස් චිත‍්‍ර ශිල්පියා ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ චිත‍්‍ර අඳින බව අසා එහි ගිය එදා කැලණිය රජමහා විහාරාධිපති හිමියන් සහ හෙලේනා විජයවර්ධන මැතිනිය ඔහු අජන්තාවට යවා වැඩි දුරටත් චිත‍්‍ර පුහුණු කර ගෙන්වා පසුව කැලණිය නව විහාර මන්දිරයේ සිතුවම් ඇඳීමට පෙර ලෙනගම්පල විහාරයේ සිතුවම් හා මූර්ති කරවූ බව පොල්ලමුරේ සිරි සීවලී හිමියෝ අපට පැවසූහ.
ඒ වන විට මේ විහාරය ද කැලණි රජමහා විහාරයේ භාරකාරත්වයේ පැවතිණි. දැනට විහාර මැදුර තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප‍්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් ආදිය පසු තලයේ දැකිය හැකි වේ.
පසුගිය දිනෙක ඔබ හමුවට රජමහා වෙහෙරක කතාවෙන් ගෙන ආ මැද්දෙපොල රජමහා විහාරයෙන් පසු සෝලියස් මැන්දිස් සිත්තරාගෙන් අලංකාර වූ තවත් කලාගාරයක් හැටියට මේ ලෙනගම්පල රජමහා විහාරය හඳුන්වා දිය හැකිය.
විහාර ගෙය ආසන්නයේම පිහිටි පැරණි විෂ්ණු දේවාලය ද විහාර ගෙය තරම්ම පැරණි බව පිළිගැනීමයි.
විහාර බිම අනෙක් බොහෝ අංග මෑත කාලයේ දී එක්වූ ඒවාය. එනමුත් චෛත්‍යය, ගලක නෙළා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව, දේවාල සමූහය, අටවිසි බුදු කුටි, ඝංඨාර කුළුණ විහාරයේ පැරණි බව තව දුරටත් ඉස්මතු කොට දක්වයි.
විහාරයට නුදුරින් ගල් තලාව ආසන්නයේ පිහිටි පැරණි බෝධිය හා සමකාලීන යැයි සිතිය හැකි නුග වෘක්ෂය ද ප‍්‍රදේශවාසීන්ගේ අපමණ පූජා භක්තියට පාත‍්‍ර වන බව පෙනේ.
ඓතිහාසික හා පූජනීය වශයෙන් වැදගත් මල්වාන ලෙනගම්පල රාජමහා විහාරය ලක්වැසි පොදු දනන්ගේ දහම් පිපාසාව නිවන තවත් එක් පින් බිමෙකි. ඉතිහාසය සොයා යන අයට, සිතුවම්, මූර්ති කැටයම් ගවේෂණය කරන කෙනෙකුට මේ සුවිශේෂී කඩඉමකි. මේ පුදබිම දැක බලා ගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා!
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 30  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


සෝලියස් මැන්දිස් ශිල්පියා ඇඳි දේව ප‍්‍රතිමාවක්

මහනුවර යුගයට අයත් දොරටුව    

සුනේත‍්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ

ගණේගම අරමුණපොළ රාජමහා විහාරය
රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැඳුනු මේ ගම් බිම්වල ඇත්තේ සැබෑකොටම ශාන්ත සුන්දර බවකි. සිරිපා අවාරයේ සුමන සමන් දෙවියන්ගේ දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කර ඇති සුප‍්‍රකට ගල්පොත්තාවල රජ මහා විහාරයට නුදුරින් පිහිටි ගණේගම අරමුණපොළ රාජමහා විහාරය හැටියට ප‍්‍රකට මේ විහාරය පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් දෙකක් පමණ රත්නුපර දෙසට වන්නට ප‍්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබේ.
ඓතිහාසික වශයෙන් සලකා බලන කල ගණේගම රාජමහා විහාරය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දුරාතීතයට විහිදේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සඳහන් වේ. නම් පොතේ දෙනවක විහාරය යැයි හඳුන්වන්නේ මේ විහාරයටය. ඉන් පසු කාලයේ විහාර ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ. එම ස්ථානය මෙතැන බවට දැන් විශ්වාස කෙරේ. මේ ද්‍රෝණය ඇති තැන විහාරය පිහිටි නිසා ද්‍රෝණවක්ක නමින් ද මේ ගණේගම විහාරය ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක හඳුන්වා තිබේ.
පළමුවන විජයබාහු රජ සමයේ බොහෝ දුරට ලක්දිව සම්බුද්ධ ශාසනය පිරිහී භික්ෂුන් වහන්සේලා දුර්ලභ කාලයක් උදාවී තිබිණි. විජයබාහු රජු එදා බුරුම දේශයට ගොස් එරටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවාගෙන මෙහි යළි බුද්ධ ශාසනය පිහිටුවීමට ප‍්‍රයත්න දරා ඇත. එසේ වැඩම කළ බුරුම හිමිවරු සිරිපා වඳින්නට යද්දී මේ ද්‍රෝණවක්ක විහාරය උන්වහන්සේලා නිතර නවාතැන් ගත් විහාරයක් විය. එකල ද ශ්‍රී පාදය ජන සමාජයේ අදවන්ව ප‍්‍රකටව, ගෞරවනීයත්වයෙන් පැවතී ඇත. බුරුමයේ ආරම්මන නම් දේශයෙන් වැඩි හිමිවරු එදා නිතර මේ විහාරයේ වැඩසිටි නිසා පසුව අරමුණපොළ විහාරය නමින් ප‍්‍රකට වූ බව වත්මන් විහාරාධිපති සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ.
පසු කාලීනව කෝටටේ යුගයේ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ.
එසේ විහාර කරවද්දී එතුමන් මේ විහාරයේ විහාරගෙයක් කරවා සුනේත‍්‍රා දේවිය නමට පින් අනුමෝදන් කර පූජා කර තිබේ. එය උඩරට පහත රට ගල් වඩුවන් යොදාගෙන ගල් කැටයම් සහිතව ඉතා රමණීයව ගොඩනැගූවකි. උඩරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් පහතරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් එකම තැනකදී දැක බලා ගන්නට ගණේගම අරමුණපොළ රාජමහා විහාරය කදිම තැනෙකි.
මේ විහාරය වටා ගල් කණු 27ක් කැටයමින් යුතුව කරවා තිබේ. බැලූ බැල්මට විහාරය මහල් දෙකකට පෙනුනත් එය දෙමහල් නොවේ. තනි බිත්තියෙන් ඉහළට නැගුනු මේ විහාර ගෙයි උඩුමහල යැයි සිතිය හැකි ප‍්‍රදේශයේ පිටතට පෙනෙන පරිදි විහාර ගෙය වටාම කලා කැටයම් දැකිය හැකිය. ඒවා විශ්ණු දෙවියන්ගේ ‘දස අවතාර’ බව කියැවේ. හයවන පරාක‍්‍රමබාහු රජ සමයේ දේව සංකල්පය ගැඹුරින් සමාජගතව පැවති බව සාක්ෂි ඇතිව තහවුරු කරන්නට ද මේ විහාරය කදිම තෝතැන්නකි.
විහාර ගෙය ආසන්නයේම ඇති කුඩා චෛත්‍යය ද එකලටම අයත් වේ. විශේෂයෙන් මේ විහාර ගෙයි වහළයේ රන් කොත් දෙකක් දැකිය හැකි අතර එනිසා ‘රන්කොත් වෙහෙර’ යැයි පසුකාලයක මේ ඉපැරණි වෙහෙර හඳුන්වන ලදී.
පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ. පසුව ගෙඟ් තිබී සොයාගත් අඩි හතරක් පමණ උසැති ඉපැරණි සමාධි බුද්ධ ප‍්‍රතිමාව විහාර ගෙයි අදත් දැකිය හැකිය. එසේම සුවිසල් සමාධි බුද්ධ ප‍්‍රතිමාව, පැරණි මකර තොරණ, ගල් උළුවස්ස, දකුණු ඉන්දීය ආභාෂය ගත් නාරිලතා රූප ද විහාරයේ කලාත්මක බව, පූජනීයත්වය සේම වටිනාකම ද දෙගුණ තෙගුණ කරන්නට සමත්ව තිබේ.සීගිරි සිතුවම්වල තාර ගෑ පසු යළි මතු කර ගත් ‘මරන්සි’ නම් විදෙස් චිත‍්‍ර ශිල්පියා මේ විහාරයේ ද මැකී ගිය චිත‍්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවාද සාක්ෂි සාධක වෙයි. එකලම මේ විහාරයේ තිබූ ඇත් දළ, රන් රිදී මුතු මැණික් ආදී බොහෝ දේ පෘතුගීසීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
එකල ලංකාවේ බුද්ධ ශාසනය පිරිහී පැවති අතර සිවුරු හැර සිල්වතුන් හැටියට වාසය කළ පිරිසක් ශාසනය සන්තක දේ ආරක්ෂා කර ගෙන ඇති බව කියැවේ. ගණින්නාන්සේලා හැටියට ප‍්‍රකටව ඇත්තේ මේ සිල්වතුන්ය. ඒ අය සිටි තැන් ගණේමුල්ල, ගණේලන්ද, ගණේගම, ගණේවත්ත ආදී කොට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබේ. මේ ස්ථානය ‘ගණේගම රජමහාවිහාරය’ යනුවෙන් හඳුන්වන්නේ එවැනි ගණින්නාන්සේලා මේ ප‍්‍රදේශයේ සිටි නිසාය.වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන් සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ලක්දිව යළි බුදුසසුන ස්ථාපිත කිරීමෙන් පසු පළමුවන රාජසිංහ රජු මේ ගණේගම අරමුණපොළ රජමහාවිහාරය ගම්වරද සමග අනෝමදස්සි නම් මහ තෙරනමකට පූජා කර තිබේ. උන්වහන්සේට වැලිගොඩපළින් හටන්ගල පාරේ කොට්ටමුල්ල නම් රාජමහා විහාරයක්ද රජු පූජා කොට තිබේ. එය වලගම්බා රජු විසින් කැරවූවකි.
80’ දශකය දක්වාම ඒ විහාර සම්ප‍්‍රදායට අනුව ගණේගම අරමුණපොළ විහාරයේ ද අයිතිය පැවතියේ කොට්ටිමුල්ල විහාරයටය. නමුත් දැන් එම විහාරය වෙනම විහාරයක් හැටියට කටයුතු සිදුකරගෙන යන බව සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ. ප‍්‍රධාන ගමන් මාර්ගයට දිස්වන ඉතා රමණීය අවුකන බුද්ධ ප‍්‍රතිමාවේ අනුරුව කරවා ඇත්තේ මේ විහාරයේ වැඩසිටි ගණේගම පියරතන නාහිමියන් විසිනි. එසේම මෑත භාගයේ ඉදිකළ පොළොන්නරු ගල් විහාර අනුරුවද මේ පින්බිමේ දී දැකගත හැකිය.
සෑම වර්ෂයකම රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව සිදුකෙරෙන පිරිත් කටයුතු සිදුකෙරෙන්නේ ද අරමුණුපොළ රාජමහා විහාරයෙනි. මේ විහාරයේ භාරකාර හිමියන් හැටියට ඌව සබරගමුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බදුලෙන රාජමහා විහාරාධිපති පාතකඩ විමලරතන නාහිමියෝ කටයුතු කරති.
පැල්මඩුල්ල නගරය හරහා වන්දනාවේ යන ඔබටත් ඉතා වටිනා ඓතිහාසික පසුබිමකින් පැවත එන ගණේගම අරමුණුපොළ රාජමහා විහාරය දැකබලා, වැඳපුදා, සතුටු සිත් ඇති කර ගන්නට පින් සිතිවිලි පහළ වේවා.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


                              දැව බුද්ධ ප‍්‍රතිමාව                                       

 සුනේත‍්‍රා දේවියට පින් පිණිස කරවූ විහාර ගෙය
 දෙතිස් ඵල බෝධිය


ඉපැරණි කුමර කුමරි බෝධීන් පිහිටි පිළිකුත්තුව රජ මහා වෙහෙර

ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරන ඓතිහාසික පුද බිමකට අපි අද ‘රජමහ වෙහෙරක කතාවෙන්’ ඔබ කැඳවාගෙන යමු.
ලක්දිව ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ පිළිකුත්තුව රජ මහා විහාරය මුල් තැනක් උසුලයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි මේ ඓතිහාසික පින්බිම පිහිටා තිබේ. ගම්පහ - කිරිඳිවැල (231) බස් මාර්ගයේ යක්කල හන්දියේ සිට විහාරයට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. පිළිකුත්තුව විහාර ඉතිහාසය ක‍්‍රි.පු. පළමු වැනි සියවසතෙක් දුරාතීතයට දිවේ. අනුරාධපුර යුගයේ මුල් සමයේ සිටම භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ස්ථානයක් හැටියට පිළිකුත්තුව හඳුනා ගත හැකිය. කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් මේ විහාරය අවට වනගත බිමේ පිහිටා ඇති අතර එයින් ගල් ලෙන් 82ක් දැනට සොයාගෙන තිබේ. මෙපමණ ගල් ලෙන් ප‍්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ දුර්ලභ ස්ථානයක් හැටියට පිළිකුත්තුව විශේෂ වෙයි.
මේ ලෙන්වල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. එසේම අනුරාධපුර, මිහින්තලය ආදී පෞරාණික වෙහෙර විහාරවල පැවතියාක් මෙන් විහාරාරාම සැලසුම් හා උද්‍යාන කලාවක් පිළිකුත්තුවේ පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අදහස් පළ කරති.
මේ ප‍්‍රදේශය පිළිකුත්තුව වූයේ කෙසේද? ඊට මත කිහිපයක් පවතී. අතීතයේ රජවරුන්ට ‘පිළි’ සැපයූ ගම්මානය නිසා පිළිකුත්තුව විනැයි එක් ජනප‍්‍රවාදයකි.
එසේම, පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතුව පිළි කොටුව වී පසුව පිළි කොත්තුව, පිළිකුත්තුව වූ බව තවත් මතයකි.
මේ විහාර ඉතිහාසයට සම්බන්ධ වළගම්බා රජුගේ බිසෝව පරිහරණය කළ පිළි හා රන්, රිදී මුතු මැණික් සඟවා තැබූ ගම ‘පිළි සැඟවූ ගම’ පිළිකුත්තුව වී ඇති බවද ජනප‍්‍රවාදයේ එන මතයකි.
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානම ගොඩනැගිල්ල ලෙන් විහාරයයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගීව වැඩ සිටි බවත් පසුව එය බුදු මැඳුරක් බවට පත්ව ඇති බවත් විශ්වාස කළ හැකිය. එය කටාරම් කෙටූ සුවිශාල ගල් ලෙනකි. මෙහි විශාල සැතපෙන පිළිමයක් සමාධි පිළිමයක්, හා හිටි පිළිමයක් දැකිය හැකිය. මෙහි නුවර යුගයට අයත් සිතුවම් රාශියකි. ඒ අතර වෙස්සන්තර, මහාකප්ප හා ධර්මපාල ජාතක කතා ප‍්‍රකටය.
විහාර ගෘහයට පිවිසෙද්දී දොරටුව අභියස ඇඳ ඇති දොරටු පාල රූප දකිද්දි පෘතුගීසි සමයේ සෙබළුන්ගේ ස්වරූපය සිහියට නංවයි. ක‍්‍රි.පු. පළමුවැනි සියවසට අයත් සෙල් ලිපියක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර මේ සෙල් ලිපි වලින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය. ඒ අනුව අතීතයේ පටන් මේ ප‍්‍රදේශයේ බුදු දහම පැතිරී පැවති බවට පැහැදිලි සාක්ෂි හමු වේ.
පැරණි විහාර ගෙට ආසන්නයේ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කළ කුඩා ස්තූපය නුවර යුගයට අයත් වූවකි. ඊට ඉදිරියෙන් ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිතය. එයින් එකක් ‘කුමර බෝධිය’ වශයෙනුත් අනෙක ‘කුමරි බෝධිය’ නමිනුත් හැඳින්වේ. මෙයින් කඳ මහත්ව තනි කෙළින් උසට වැඩුණු බෝධිය කුමර බෝධියයි. පහළින් අතු විහිද කුඩා බෝධිය ‘කුමරි බෝධිය’ යි.
පිළිකුත්තුව විහාරයේ අසල ගිරි ශිඛරයට නැගීමට ඇති කෙටි අඩි පාර පාමුල පිහිටි තවත් විහාර මන්දිරයකි. එය කරවා ඇත්තේ විහාරයේ වැඩ සිටි යාගොඩ ගුණරත්න හිමිගේ සමයේදීය.
පැරණි ධර්ම ශාලාව අසළින් පහළට ගිය විට කාල පරිච්ජේද තුනකට අයත් ආවාස ගෙවල් දැකිය හැකි දුර්ලභ විහාරයක් හැටියට ද පිළිකුත්තුව රජ මහා විහාරය හඳුනාගත හැකිය.
ඒවා ඉංග‍්‍රීසි පාලන සමය, මහනුවර රජ සමය හා  ඕලන්ද සමයට අයත් ය. ඒ ඒ කාල සමයන්වලට අදාළ විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඒවායින් දැකිය හැකිය.
මේ විහාරයේ ඇති ඉපැරණි කෞතුක වස්තූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පරිහරණය කළ දෝලාව විශේෂ වේ. උන්වහන්සේ ධර්ම දේශනයකට දෝලාවෙන් මෙහි වැඩම කර ඇති අතර ආපසු තිරික්කලයෙන් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත. එය අදත් දැකිය හැකිය. පැරණි පුස්කොළ පොත්, මහනුවර යුගයට අයත් දැව පාලමක්, තොප්පි ගල්ගෙය, මේ ඓතිහාසික විහාරය, නැරඹීට එන ඔබට දැක බලා ගැනීමට පිළිවන.
පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා ඇත්තේ වන ගහනයෙන් ගැවසී ගත් විශාල ගිරි ශිඛරයක් පාමුලය. මේ ස්වභාවික පිහිටීම නිසාම දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් හැටියට මෙය පැවැති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් හැටියටත් ප‍්‍රසිද්ධව තිබේ. දැනට පිළිකුත්තුව විහාරය පූජා නගරයක් කිරීමට කඩිනම් වැඩ කටයුතු සිදු කරගෙන යන බව විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ අපට පැවසූහ. දැනට වාහල්කඩ නිමාකර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිරි ශිඛරය නැගීමට පෙත්මග ඉදිකරමින්ය.
සුවිසල් ගල් කුළු නැග ඉහළට යද්දී යෝධ පුස්වැලද ඔබට දැකිය හැකිය. එසේම හොර, මිල්ල, වල් දෙල්, රුක් අත්තන, හුළං හික්, ගැඩුම, කොළොං, යකඩ මරං, හොර, කළුවර ආදී වටිනා දැව වර්ගද, මී, මාදං. නවාහන්දි, අහු, ඉරිවේරිය, ඇත් දෙමට, තොටිල්ල, මඟුල්කරද, බිං කොහොඹ ආදි වටිනා ඖෂධ වර්ග ද පැළද දැකිය හැකිය. වනගත භූමියක් නිසාම කුරුලූ වර්ග 80 ක් පමණ පිළිකුත්තුව අවට ප‍්‍රදේශයේ ජීවත් වන බව කියැවේ. විශේෂයෙන් පිළිකුත්තුව ප‍්‍රදේශයට ආවේණික ‘ඩුකුලා’ නම් පක්ෂියෙක් පිළිබඳව තොරතුරුද මෙහි ගිය විට ඔබට අසා දැක ගත හැකිය. ඌ හැඞීමෙන් නුදුරු කළදීම ප‍්‍රදේශයේ මරණයක් සිදුවේය යන්න අදත් ගම්වාසීහු විශ්වාස කරති.
පිළිකුත්තුව රාජ මහා විහාරය ඔබ දැක බලා ගත යුතුව, පාරිසරික, ඓතිහාසික අතින් වැදගත් පුද බිමෙකි. විශේෂයෙන් පාසල් දුවා දරුවන්ට, තරුණ ගවේෂකයන්ට පිළිකුත්තුව රජ මහා විහාරය හා ඒ අවට ගම්මානය කදිම තෝතැන්නකි. වඳින්නට, සොයන්නට, නරඹන්නට ඔබටත් පිළිකුත්තුව රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව උදා වේවා!
සටහන හා ඡායාරූප  - අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 යෝධ පුස්වැල


 
                                                                   පැරණි විහාර ගෙය




ඉපැරණි සිතුවම්
විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ සහ විහාරයේ භාරකාර හිමි
නුවර යුගයට අයත් දැව පාලම

දළදා වහන්සේ කලක් වැඩසිටි මඩුකන්ද ශි‍්‍ර දළදා විහාරය

අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙන්නේ මේ ගම්බිම්වල පය ගැසූ විටය. යුද්ධය ගැන ඔවුහු හොඳට දනිති. යුද බිය ඔවුහු හොඳට හඳුනති. ඒබාධක මැද උපන් ගම් හැර නොයා සිටි මිනිස්සු අද ජීවිතයේ සැනසුම් සුව විඳිති.
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අතරින් වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරය ප‍්‍රමුඛස්ථානයක් ගනී. මේ ඉපැරණි විහාරය වවුනියාව ත‍්‍රිකුණාමල ප‍්‍රධාන පාරේ මඩුකන්ද පොලිස් ස්ථානය අසළ පිහිටා තිබේ.
හේමමාලා සහ දන්ත කුමරු ශ්‍රී දළදාව රැුගෙන පැමිණියේ ලංකාපට්ටන නම් අප‍්‍රකට තොටුපළක් වෙතය. මේ ලංකා පට්ටන අප‍්‍රකට තොටුපල පිළිබඳ විවිධ මතවාද පවතී. කෝකිලායි කළපුවේ පිහිටි ලංකාපට්ටන තොටුපල මතවාද අතර සුවිශේෂී තැනකි. අතීතයේ මේ කෝකිලායි ප‍්‍රදේශය හැඳින්වූයේ කැකුළුගම නමිනි. එදා දළදා වහන්සේට කැකුළු මල් පූජාවක් කොට පිළිගත් නිසා මේ ප‍්‍රදේශය කැකුළුගම නමින් පසුව ප‍්‍රකට විය. එතැනින් පසු රුවන්මඩුව, සේම මඩුව, මාමඩුව හරහා දළදා වහන්සේ මඩුකන්ද විහාරය පිහිටි බිමට වැඩම කරවන ලදී. එතැන දළදා මැදුරක් කරවා දළදා වහන්සේ තැන්පත් කරවන්නට ද යෙදිණි. මේ ආකාරයට විමසා බලන කළ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි පූජනීය පෞරාණික පින් බිමක් හැටියට මඩුකන්ද විහාරය හඳුනා ගත හැකිය. මේ සිදුවීම් පෙළ සිදුවූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ලංකාධිපතිව සිටි සමයේය.
මෙතැන් සිට යළි දළදාව කුඩාගලේගම ශ්‍රී දළදා විහාරය, සාලියපුර ශ්‍රී දළදා විහාරය ආදී ස්ථානවලට වැඩම කරවමින් විවිධ ස්ථානවලදී පූජෝපහාර ගරු සත්කාර බුහුමන් දක්වා තිබේ.
එදා මඩුකන්ද ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දේව නම් සෙන්පතියෙකු විසිනි. ඒ සුවිසල් ගිරිශිඛරය විහාරයේ සිට බලද්දී ඉතා නුදුරින්ම පෙනේ. මඩු කන්දේ රජ උයන, රජ වත්ත වශයෙන් ඔහුගේ පහසුව සඳහා පිහිටි විවිධ ස්ථාන අදත් හඳුනා ගත හැකිය.
එදා දළදා වහන්සේ පිළිගන්නට මඩු බොහෝ ගණනක් පිහිටවූ නිසා මඩුකන්ද වූ බවට මතයක් පවතී. එසේම මණ්ඩලාකාර කන්දක් පිහිටි නිසා මණ්ඩලගිරි මඩුලූගිරි, මඩුකන්ද වූ බවටද මතයක් පවතී.
ප‍්‍රකට සෙල් ලිපියක් හැටියට නම් ලද ඓතිහාසික තෝනිගල ශිලා ලේඛනය පිහිටා ඇත්තේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ සිට සැතපුම් 3 ක් එපිටිනි. එදා එම ප‍්‍රදේශයේ විසුවෝ ධාන්‍ය වගාකර ධාන්‍ය රාජ්‍ය ගබඩාවේ තැන්පත් කළහ.
ධාන්‍ය නැවත ලබා ගැනීමේදී ලැබෙන පොලිය ඊට නුදුරින් පිහිටි විහාරයකට පරිත්‍යාග කරන ලද බව කියැවේ. එම විහාරය අනෙකක් නොව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයම බව කිව හැකිය.
දැනට මේ විහාර භූමියේ පිහිටි ඉපැරණි නටබුන් අතර ගලින් කළ විශේෂ ගොඩනැගිලි කැටයම් බොහෝ දක්නා ලැබේ. විහාර බිමෙහි විසිරී පැතිරී ගත් කාෂ්ඨක අව්වට වේලෙන ඒ නටබුන් දෙස බලන කල වවුනියාව වැනි ප‍්‍රදේශයක මෙවන් පෞරාණික පින් බිමක් දකින්නට හැකි වීමම ආඩම්බරයට කාරණයකි.
එදා ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කළ පෞඪ දළදා මාළිගය විවිධ ගල් කැටයමින් අලංකාරය. එසේම ගලින් කළ දැනට නටබුන්ව ඇති විශාල ශීත ශාලාවක්, පැරණි වාසල් දොරටු ගලින් කළ පැරණි පොකුණු හතරෙන් දෙකක් තවමත් මනරම්ව දැකිය හැකිය.
එසේම කැණීම් නොකළ ගොඩනැගිලි රාශියක නටබුන් ගල්කණු සඳකඩපහණ ආසන රාශියක් විහාර බිම පුරා තිබෙනු දැකිය හැකිය. එදා විහාරයට අයත්ව තිබූ පැරණි චෛත්‍යයක් නුදුරින් පිහිටි ගමෙකින් හමුව තිබේ.
දැනට විහාර බිම පිහිටි පැරණි චෛත්‍ය බෝධීන් වහන්සේ විහාර ගෙය වසර 500 කින් මෙපිට ඉතිහාසයක් උරුම ස්ථානයෝය. අතීතයේ මඩුකන්ද අවට ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ”ප‍්‍රාචීන කංගරාජ” යන නමිනි. මෙතැන උතුර හා දකුණ වෙන්වන කඩඉම හැටියට සැලකේ.
අතීතයේ මෑත ඉතිහාසයට එබී බලන කල වසර 30 ක් පැවැති දරුණු යුද්ධයෙන් හොඳටම බැටකෑවේ මේ ප‍්‍රදේශවල පිහිටි සිංහල ගම්මානය. මඩුකන්දද ඉන් එක් සිංහල ගමකි. ඊට අමතරව ඊරප්පෙරියකුලම, මාමඩුව, මහමයිලන්කුලම, කුඩා කච්චකොඩිය මේ අවට අනෙකුත් සිංහල ගම්මාන කිහිපයකි. යුද්ධයේ ගින්නට දැවෙමින් තැවෙමින් පැවැති ඒ යුගයේ කතාව මඳක් අපට සිහිපත් කරන්නට මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිකාරී මුවඇටගම ආනන්ද හිමියෝ අමතක නොකළහ.
”මේ යුද්ධය වවුනියාවට බලපෑවේ 1984 අවුරුද්දෙදි. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් ගුවන් හමුදා ජීප් එකකට බෝම්බ ගැහුවා. එදායින් පස්සෙ වවුනියාවෙන් සටන ඇරඹුණා. එයාලා ගහද්දී අපේ අයත් ගැහුවා. මේ වෙද්දි වවුනියාවෙ සිංහල ගම්මාන 35 ක් තිබුණා. අපි ඉන්න විහාරය අවට මාමඩුව, ඇටඹගස්කඩ, මාමයිලන්කුලම, මහකච්චකොඩිය, නැදුන්කුලම ගම්මානවල මිනිස්සු මේ යුද්ධය නිසා හොඳටම බැට කෑවා.
සමහර මිනිිස්සු මේ ගම් බිම් දාලා ගියා. එහෙම නොගිය අය ගමට ගහද්දි මේ පන්සලේ ඉස්කෝලෙ තියාගෙන අපි ග‍්‍රාමාරක්ෂකයො හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා ආරක්ෂා කළා. එහෙම පියවර නොගත්තානම් මේ මිනිස්සු අද ගම්වල නෑ. එක්කො දාල ගිහින් නැත්නම් යුද්දෙට හොඳට මැදිවෙලා. පන්සලට නම් එල්.ටී.ටී.ඊ. එකෙන් ගැහුවෙ නෑ.
අපිත් ස්වාමීන් වහන්සේලා හැටියට මේ ගමක් ගමක් ගානෙ ගිහින් මිනිස්සුන්ගෙ හිතට හයිය දුන්නා. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් මට වෙඩි තියන්න පපුවට පිස්තෝලෙ තැබුවා. එතන උන්න ත‍්‍රස්තවාදී නායකයෙක් ඒක වැළැක්වුවා. නිතරම එල්.ටී.ටී.ඊ. එකෙන් ග‍්‍රාමාරක්ෂකයෝ මරණවා. බෙලි කපල යනවා. පැහැරගෙන යනවා.  ඕව තමයි අහන්න දකින්න ලැබුණේ. මහකච්චකොඩියෙ එක තැනම මිනිස්සු 36 ක් මැරුවා. කොහොම වුණත් යුද්දෙ අවසන් වෙද්දි අපේ දායක ගම්වල ජීවත් වුණ අයගෙන් 250 ක් විතර යුද්දෙන් මිය ගියා.
මේ සඳහා දායක වුණ හැමෝටම අපි පින් දෙනවා. තව හය මාසයක් ප‍්‍රමාද වුණා නම් ඉතින් අහන්නම දෙයක් නෑ. සාම කාලෙ වෙද්දි සිංහල ගම්මාන 22 ට අඩුවුණා.
මේ වෙලාවෙ පුංචි ඉල්ලීමකුත් තියෙනවා. මේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරය වවුනියාවේ ඉතාම පැරණි පින් බිමක්. මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි.”
පිච්චෙන ගිනි ගහන අවුවේ මද්දහනද ගතවෙමින් තිබේ. ”කෑම ටිකක් කාලම යන්න  ඕනෑ” උන්වහන්සේගෙන් කාරුණික ආයාචනයකි. ඒ ඉල්ලීම පිළිගත් අපි තවදුරටත් කතාබස් කරමින් දිවා ආහාරය ගෙන යළි ආපසු ගමන කඩිනම් කළෙමු.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 මුවඇටගම ආනන්ද හිමි


 පැරණි දළදා මැදුර
 පැරණි මුරගල
 කොරවක් ගල