උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

රටට ශාන්තිය ගෙනදෙන කපිල වස්තු ධාතු දැක්ම


තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ම නුවණින් අවබෝධ කරගත්තා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සියලු ලෝ සතුන් ගේ හිත සුව පිණිසම දේශනා කොට වදාළහ. පන්සාළිස් වසක් පුරා එසේ ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දහම් මඟ පෙන්වා දුන් උන්වහන්සේ අසූ වැනි වියෙහි දී පිරිනිවන් පා වදාළහ. ඒ දඹදිව කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයනේ දී ය.
අඩ සියවසකට ආසන්න කාලයක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය හා අභිධර්ම පිටකය නමින් වර්තමානයේ ව්‍යවහාරව පවතී. සූත්‍ර පිටකයේ මහා පරි නිබ්බාන සූත්‍රයේ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත්ය. මහා පරිනිබ්බාන සූත්‍රයෙත්, සුමංගල විලාසිනිය හා බුද්ධ වංශය වැනි මූලාශ්‍රවලත් සඳහන් වන තොරතුරුවලට අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය සැළ වූ වහාම දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ සේනා සහිතව කුසිනාරා නුවරට පැමිණ සර්වඥ ධාතූන් වහන්සේට සිය අයිතිය ප්‍රකාශ කරන්නට වූහ.
”භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්ෂත්‍රියයෝය. එබැවින් ධාතුන් වහන්සේ ගේ නියම හිමිකාරීත්වය අපටය.” යි රජ දරුවෝ සිය සුදුසුකම් ඉදිරිපත් කළහ.
”තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අප ග්‍රාමයේ ය. එහෙයින් උන්වහන්සේ ගේ ආදාහනයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේ ගේ අයිතිය අපටමය. අන් අයට දිය නොහැකිය” යි කුසිනාරාවේ මල්ල රජවරු කීහ.
”භාග්‍යවතුන් වහන්සේ අප ගේ ශ්‍රේෂ්ඨ ඥාතියෙකි. අපි ද උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන්ගෙන් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. අපි උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සවද කරන්නෙමු…” යි කපිල වස්තු ජනපදයේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට ලේ ඥාතීත්වයක් ඇති බව ප්‍රකාශ කර සිටියහ.
මෙසේ රජදරුවන් සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් සිය අයිතිය ප්‍රකාශ කරමින් සිටියදී සිදු වන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්ය තෙමේ
’පින්වත් රජවරුනි. මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. (සාමය අගය කළ උතුමෙක් වූහ.) ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේ ම ය.’ යි සියලු රජදරුවන් සමඟි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ.
රජ දරුවෝ තම තමන්ට ලැබුණු ධාතු ඒ ඒ පාලන ප්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළහ. මේ පිළිබඳ වැදගත් තොරතුරු ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.
මේ අනුව කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට ලැබුණු ධාතුන් වහන්සේ තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ. ‘කපිල වස්තු ධාතු’ නමින් මෙකල හඳුන්වන්නේ ඉහත විස්තර කළ පරිදි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ නම් බමුණා විසින් කපිල වස්තු ශාක්‍යයන්ට බෙදා දුන් ධාතුන් වහන්සේය. අදින් වසර 2400 ට පමණ පෙර කපිල වස්තුවේ රජදරුවන් විසින් ධාතුන් වහන්සේ තැන්පත් කර එසේ ඉදිකරන ලද චෛත්‍යය, කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබූ සම්බුද්ධ ධාතුන් වහන්සේ ය.
මෙම පූජනීය ධාතුන් වහන්සේ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහම් මහතාට ය. ඔහු ගේ මූලිකත්වයෙන් කළ පුරා විද්‍යා කැණීම්වලදී අදින් වසර 113 ට පමණ පෙර මේ ධාතුන් වහන්සේ සහිත කරඬුව හමුවිය. ඒ වර්තමාන බිහාරයේ (උත්තර ප්‍රදේශය) ‘පි‍්‍රපාවා’ නැමැති ස්ථානයෙනි.
වත්මන් ‘පි‍්‍රපාවා’ ප්‍රදේශය ඉතිහාසයේ කපිලවස්තුවයි. කපිල වස්තු නම් පුරාණ ජනපදයෙන් හමු වූ නිසාත්, කපිල වස්තු ශාක්‍යයන් විසින් මෙම ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකළ නිසාත් මෙම ධාතුන් වහන්සේ ‘කපිල වස්තු ධාතු’ නමින් ම හැඳින්වේ.
ලොව බොහෝ බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කළ ද ඇතැම් පිරිස් ‘මේ සර්වඥ ධාතුන් ම දැ’යි ඒ පිළිබඳ යම් යම් සැක පහළ කර ගන්නා බවද දක්නට ලැබේ. එහෙත් එම ස්ථානයේ දී හමු වූ ධාතු කරඬු පරීක්‍ෂා කිරීමේදී ඒවායේ වසර 2300 ක් තරම් පුරාණ බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචිත පද පේළි කීපයකින් සමන්විත ලිපියක් හඳුනා ගත හැකි විය.
මේ බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ විසූ දඹදිව ධර්මාශෝක රජුට අයත් බව ලෝ ප්‍රකට පුරාවිද්‍යා පර්යේෂකයෝ, සෙල්ලිපි පිළිබඳ උගත්තු නිවැරැදිව හඳුනා ගත් හ. බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපියේ සිංහල පරිවර්තනය පහත පරිදිය.
1. සුකිතිභතානං සභගි
2. නිකානං සපුතදලනං
3. ඉයං සලිල නිධනෙ
4. බුධස භගවතෙ සකියානං
ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු මෙහි තැන්පත් කර ඇති බව ‘ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානං’ යන කොටසින් තහවුරු වේ.
ඒ අනුව මෙම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම බව සමස්ත ලෝකයේම පුරාවිද්‍යාඥයින් විසින් ද පිළිගෙන අවසන් ය.
එම ‘කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ දැක බලා වන්දනා මාන කරගන්නට ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ද මහඟු අවස්ථාවක් උදාවේ. ඒ පසුගිය ඉන්දීය සංචාරයකදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවය.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙසේ ශ්‍රී ලංකාවට සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිතුදම ශක්තිමත් කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ද වනු ඇත.
මින් වසර 34 කට පෙර 1978 වසරේ දී මෙම කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවා කැලණිය රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කළ අවස්ථාවේ බුද්ධ රශ්මි මාලා විහිදවනු දුටු බව නැරඹූ ජනතාව අදටත් පවසති. එම අවස්ථාව බුදුරදුන් ගේ සිව්වැනි ලංකාගමනය ලෙස එකල පුවත්පත්වල මුල් පිටුවල පවා හඳුන්වා දී තිබුණි. මෙවර එම සුවිශේෂී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතක දී ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් ය.
ඒ අනුව ඉන්දීය සංස්කෘතික ඇමැතිවරිය ඇතුළු දූත පිරිසක් නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් සර්වඥ ධාතූන් වහන්සේ වඩමවා ගෙන අද (19) පෙරවරු 10.30 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන බව පසු ගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ පැවසූහ.
එහිදී තෛ‍්‍රනිකායික මහනාහිමිවරු ඇතුළු සියක් නමක් භික්ෂුන් වහන්සේ ගේ ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් සර්වඥ ධාතූන් වහන්සේ පිළිගනු ලබන අතර එහිදී සියලු ආගමික වතාවත් පවත්වනු ලැබේ. ඉන්පසුව කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ එදින පස්වරු 2.30 සිට 2600 ශ්‍රී සම්බුද්ධත්වය නිමිත්තෙන් කැලණිය මානෙල්වතු මහා විහාරස්ථානයේ ඉදිකළ කපිල වස්තුපුර මාලිගා පරිශ්‍රයේ දී සියලු බුද්ධෝපස්ථාන සහිතව මහ ජනහිත සුව පිණිස ප්‍රදර්ශනය කෙරේ.
මානෙල්වතු මහා විහාරාධිපති, ජාත්‍යන්තර ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තායිවානයේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය බෝදාගම ධර්ම කිර්ති ශ්‍රී චන්දිම හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහිදී සර්වඥ ධාතූන් වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.
22 වැනි දා උදෑසන 6.00 ට කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශන කටයුතු අවසන් කැරෙන අතර එදින උදෑසන බුද්ධ පූජාව පවත්වා එහි සිට ගුවනින් පැල්මඩුල්ල ක්‍රීඩාංගණය දක්වා සර්වඥ ධාතු වැඩමවීමට නියමිතය.
ක්‍රීඩාංගණයේ සිට රිය පෙරහරකින් පැල්මඩුල්ල රජමහා විහාරයට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ එහි දී මහජනතාවට ප්‍රදර්ශනය කැරෙනු ඇත. ඒ අනුව 19, 20, 21 යන දිනයන්හි කැලණිය මානෙල්වත්ත විහාරය, 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනි දින දහවල් 12.00 වනතුරු මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.
බුදුරජාණන් වහන්සේට සිදු කැරෙන ඉහළම පූජෝපහාරයක් ලෙස මෙහිදී මහා සංඝරත්නය විසින් අඛණ්ඩව පිරිත් සජ්ක්‍ධායනය සිදුකරන අතර තුන් වරු තේවාව, උදෑසන දහවල් බුද්ධ පූජාව, සවස ගිලන් පස පූජාව හා හේවිසි ශබ්ද පූජාවන් ගෙන් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වනු ඇත. බුදුරජාණන් වහන්සේ ද ධාතු පූජාව අනුදැන වදාළ බව අපදාන පාලියෙන් ද අනාවරණය වේ. සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු විස්තර වේ.
දීඝ නිකායේ සඳහන් වන්නේ බුදු, පසේබුදු, මහ රහත් හා සක්විති යන සිව් මහා පුද්ගලයන් ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපහාර දැක්වීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බවත් එය බොහෝ දෙනා ගේ හිත සුව පිණිස වන බවත් ය. මෙම අතිශය දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සර්වඥ ධාතුන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීම සඳහා දුර බැහැර සිට පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා තිබෙන අතර ජලය, ආහාර, සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ස්වේච්ඡා ආයතන රැසක් ඉදිරිපත්ව සිටී. දන්සැල් ද ඉදිවේ. ඒ ඒ විහාරස්ථානයන් හි නායක ස්වාමීන් වහන්සේ, දිසාපතිවරු, පළාත් සහ ප්‍රාදේශීය ප්‍රධානීන්, බෞද්ධ සංවිධාන හා සමඟ එක්ව මේ කටයුතු සංවිධානය කර තිබේ.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව සලකා සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාව උන්වහන්සේට දක්වන ගෞරවයක් ලෙස නිර්මාංශව සුදුවතින් සැරසී පැමිණීමත්, විනීතව හැසිරීමත් අපේක්ෂා කෙරේ. අද සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය කැරෙන ලබන මස 05 දා දක්වා සෑම බෞද්ධ නිවෙසකම, රජයේ සහ පෞද්ගලික ආයතනවල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙස ද ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ ඉල්ලා සිටිති.
තිස් වසරක් පුරා කුරිරු යුද්ධයේ ශාපයෙන් ඔද්දල් වූ සිතැති ලාංකේය ජනතාව දැන් නිදහස ලබා තිබේ. රටට සාමය උදා වී තිබේ. එවන් සාමකාමී යුගයක සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම ආශිර්වාදයකි. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් ගුණ තම තම නැණ පමණින් හෝ සිහිපත් කර උන්වහන්සේ වන්දනා කිරීම ද දුක්, බිය, ශෝක, සැක, සංකා, රෝග, දුර්භික්ෂාදියෙන් මිදීමට හේතු වන්නකි. බුදුගුණ වැඩීම නිර්වාණය පිණිස හේතු වන්නකි. ලොව ඉතා විශ්වාසනීයව හා විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කෙරුණු සර්වඥ ධාතූන් වහන්සේ ලෙස කපිල වස්තු ධාතු හඳුනා ගත හැකි බව ශිලා ලේඛනයන් ගෙන් මනාව ප්‍රත්‍යක්ෂ කළ හැකි අතර, සර්වඥ ධාතු ආගමනය සකල ශ්‍රී ලංකාවාසීන් ලද මහත් භාග්‍යයකි. එහි පුණ්‍යානුමෝදනාවත්, සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ගේ ගෞරව භක්ති ප්‍රණාමයත් ජනාධිපතිතුමාට හිමි විය යුතු ය.
(විශේෂ ස්තුතිය – මල්වතු මහා විහාරවාසී මැද මහනුවර ධම්මසිරි හිමියන්ට)

- රමණී සුබසිංහ

ශ්‍රී‍්‍ර ලංකාවේ භූගෝලීය පරිසරය තුළ නිර්මාණය වී ඇති ප්‍රධාන නගර අතර ප්‍රමුඛ වූ රමණීය මහනුවර පුරවරය තවත් සෝභාවත් වන්නේ ශ්‍රී දළදා මාලිගය නම් වූ මනස්කාන්ත මන්දිරය නිසා ය. 1984 වසරේදී මහනුවර පුරවරය ජීවමාන ලෝක උරුමයක් බවට නම් කෙරෙන්නේ මේ සුවිශේෂීතාවයන් නිසාමය.

උඩරට ස්වාධීන වූ රාජ්‍යයක් බවට පත් වන්නේ සෙංකඩගල අගනුවර කරගත් වික්‍රමාන්විත වික්‍රමබාහු (ක්‍රි.ව.1463–1483) රාජ්‍ය සමයේදී ය. එතැන් සිට විවිධ ආපදා බාධා මධ්‍යයේ වුව 1815 වනතෙක් මෙම රාජධානියේ පැවැත්ම වසර 352 ක් වැනි දිගු කලක් දක්වා අඛණ්ඩව පැවැත එයි.

එහෙත් මහනුවර රාජධානියේ නිරවුල් සේ සැලකිය හැකි දෙවන භාගයේ ප්‍රථම රජතුමා බවට අභිෂේක ලබන්නේ ධ් විමලධර්මසූරිය (ක්‍රි.ව.1592 – 1604 ) රජතුමා ය.
සතුරු උපද්‍රවයන්ගෙන් වහන්වී කුරුවිට දෙල්ගමුව රජ මහා විහාරයේ කුරහන් ගලක් යට අඳුරේ වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරවා තෙමහල් මන්දිරයක් සාදවා එහි තැන්පත් කළේ මෙම රජතුමා විසිනි.
මාලිගාව යනු රජතුමා වාසය කරන සියලු භෞතික සැප සම්පත් සපිරි සුපිරි මහා මන්දිරයකි. එහෙත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වසනා මාලිගාව අති ගෞරවනීය වූ මහා ධාතු මන්දිරයක් ලෙස පූජනීයත්වයට පත්ව තිබෙයි.
විමලධර්මසූරිය රජතුමා සෑද වූ දළදා මාලිගය පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කර දමන ලදී. එහි නටබුන් මත දැනට අපට දකින්නට ලැබෙන පැරැණි දෙමහල් ‘වැඩසිටින මාලිගාව‘ ඉදි කරනු ලැබුවේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1702 – 1735 ) රජතුමා විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747 – 1782 ) මෙහි දක්නට ලැබෙන දිය අගල කරවීය.
දළදා මාලිගයට ඉතා දැකුම්කළු පෙනුමක් දායා ද කළ අටපට්ටම් හැඩැති පත්තිරුප්පුව සාදවන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798 – 1815 ) රජතුමා විසිනි.
මෙම මනස්කාන්ත වූ පත්තිරිප්පුවේ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ උඩරට හන්දෙස්සේ දේවේන්ද්‍ර මූලාචාරය නමැත්තා ය. රජතුමා මෙය කරවන ලද්දේ මහ මළුවට පැමිණෙන ජනතාවගේ දුක් ගැනැවිලිවලට සවන්දීමටත්, විශේෂ අවස්ථාවල ජනතාව ඇමැතීමටත් දළාද පෙරහර මෙන්ම ‘කිරිමුහුද’ නැරඹීමටත් බව කියැවෙයි. අද මෙය භාවිතා වන්නේ ඉතා වටිනා ධර්ම පුස්තක සංරක්‍ෂණය කෙරෙනා පුස්තකාලයක් වශයෙනි.
නොයෙකුත් ප්‍රතිසංස්කරණයන් හා විවිධ ඉදිකිරීම් හමුවෙහි අද අප දකින දළදා මන්දිරය අංග රාශියකින් සමන්විත ඉතා අසිරිමත් දසුනක් මවන දර්ශනීය මහා මාලිගාවක්ම ය.
මහමළුව ඔස්සේ ප්‍රධාන වාහල්කඩින් ඇතුල්වූ විට ඒ අසල පාදමේ ඇති දර්ශනීය ශෛලමය සඳකඩ පහණත් පියගැට පෙළ දෙපස කළු ගලින් නිමකරන ලද ඇත් රූ සහිත පුවරු දෙකත් දැක ගැනීමට ලැබෙයි. මෙය අපගේ ඉපැරැණි සඳකඩපහණ ආකෘතියට වෙනස්වේ. සඳගලෙහි සත්ව රූප නොමැත.ඇත්තේ නෙළුම් මල් සහ ලියවැල් ය. එම ලාලිත්‍යමය රටා නිසා සඳකඩපහණ ඉතා අලංකාරවත් වෙයි.අද මෙම වස්තූන් කාගෙත් අවධානයට ලක්වී තිබෙන්නේ 1998 ජනවාරි 25 වැනි අභාග්‍යවත් දින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වී මෙම ස්මාරකයන් කැබලි වලට කැඩී විනාශ වූ නිසාය.
ඒවා නැවත නිර්මාණය කිරීමට විදේශයෙන් ශිල්පීන් ගෙන්වීමට සිදුවෙතැයි අපේක්‍ෂා කළ හ. එහෙත් පෙර රජ දවස පරිණත ගල්වඩු ශිල්පීන්ගේ ලේ නෑ කමට වගකියන අපේ කාලේ ගල් වඩු පරපුරෙහි සැඟවුණු විශ්මිත කුසලතාවයට පින්සිදුවන්නට නැවතත් මෙම නිමැවුම් ප්‍රතිනිර්මාණය වන්නේ කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව ය.
මාලිගාවේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන් පිරික්සීමේදි මාලිගාව වටා දිය අගලක් ද ඊට යාබදව දිය රැළි බැම්ම සහ වළාකුළු බැම්ම ද දකින්නට ලැබෙයි. මේවා මාලිගා සංකීර්ණයේ විචිත්‍රත්වයට මෙන්ම ආරක්‍ෂාවටත් යොදාගත් බවක් පෙනෙයි.
දකුණු පියගැටපෙළ නැග ගිය පසු මාලිගාවේ ප්‍රධාන දොරටුව දිස්වෙයි.මෙහි ශෛලමය උළුවස්ස ඉහල කොටසේ මකර රුව, සහ ලෑලි දොර පියන අලංකාරවත් ලෙස කැටයම් කර තිබේ. දොරෙන් ඇතුල් වූ පසු පිවිසිය හැක්කේ ‘අඹරාව‘ නම් වූ උමග වෙතය. එතැනින් ඉදිරියේ ඇත්තේ ‘හේවිසි මණ්ඩපය’ ය. තේවාව පැවැත්වෙන විට හේවිසි පූජාව පවත්වන්නේ මෙතැන සිට ය. හේවිසි මණ්ඩපය ඉදිරියෙන් ඇත්තේ දෙමහල් ‘වැඩ සිටින මාලිගාව‘ ය. හේවිසි මණ්ඩපයේ දෙපස පඩිපෙළ දිගේ උඩුමහලට පිවිසිය හැකි ය. එතැනදි ප්‍රථමයෙන් හමුවන්නේ ‘පිරිත් මණ්ඩපයයි’ මෙතන මලසුනක් තිබේ. දළදා වහන්සේ වෙනුවෙන් සැදැවතුන් මල් පූජා කරන්නේ මෙතැනට ය. මලසුනට ඉදිරියෙන් ඇති වැඩ හිඳින මාලිගාවේ උඩුමහල ය.
මහල් දෙකකින් සමන්විත බිම් මහල ‘පල්ලේ මාලිගාව‘ සහ උඩුමහල ‘වැඩ සිටින මාලිගාව‘ වශයෙන් නම් කර තිබේ. පල්ලේ මහලේ කාමර දෙකකි. පළමුව ඇත්තේ ‘දික්ගේ‘ යන කාමරය යි. දෙවැනුව හමුවන්නේ ‘මහ අරමුදල‘ නම් කාමරය යි. දළදා හිමියන් වෙත පූජා කෙරෙන වටිනා භාණ්ඩ පුද පඬුරු ආදිය ආරක්‍ෂාවට ගබඩා කර තැබෙන්නේ මෙහි ය. ගබඩා කාමරයේ දොර උළුවහු රිදී පටි හා ඵලක යොදවා අලංකාරවත්ව නිමවා තිබෙ යි.
වැඩ සිටින මාලිගාව ‘ගන්ධකුටිය’ නමින් ද හැදින්වෙයි. මහ අරමුදල කාමරය දොරින් පිවිසී පඩිපෙළ දිගේ පැමිණ ගන්ධකුටියට ඇතුල්විය හැක. පියගැට පෙළින් උඩුමහලට පිවිසිය හැක්කේ තේවාව භාර භික්‍ෂූන් වහන්සේට සහ විශේෂ අමුත්තන්ට පමණි. ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින ආරක්‍ෂක වීදුරු ආවරණයක් තුළ රිදියෙන් නිමවා රනින් ආලේප කළ ස්වර්ණාභරණ පැළඳ වූ වටිනා මුතු මැණික් යොදා අලංකාර කළ විශාල කරඬුව ගන්ධකුටියේ තැන්පත් කර තිබේ.
ඒ කරඬුව තුළ තවත් කරඬු හයක් ඇත. හත්වැනි කරඬුවෙහි ශශ්‍රී දන්තධාතුන් වහන්සේ සුරෂිතව වඩා හිදුවා තිබෙයි.
මෙම කරඬුව විවෘත කිරීමට අවශ්‍ය යතුරු මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම සහ ගිහි භාරකාර දියවඩන නිලමේතුමා භාරයේ පවතියි . කරඬුව විවෘත කිරීමට නම් මෙම තිදෙනාගේම සහභාගිත්වය අත්‍යවශ්‍ය වෙයි.
මහ කරඬුව දෙපස පෙරහර කරඬුව ද බුරුම කරඬුව ද තැන්පත් කර ඇත. පෙරහර කරඬුව ද වටිනා ස්වර්ණාභරණයෙන් විසිතුරු කර තිබේ. එය ඉන්දියාවේ තක්‍ෂිලාහී ධර්මරාජික ස්තුපයෙන් ලද ධාතුන් සමඟ ඉන්දියන් රජයෙන් ලැබුණූ පරිත්‍යාගයක් බව කියැවෙයි. අපගේ ඓතිහාසික උරුමයේ අති ප්‍රබල වූ ද ගාම්භීර වූ ද සද්ධාසම්ප්‍රයුක්ත වූ ද මහා පූජනීය සංකේතය බවට මෙම ශ්‍රී දළදා මාලිගය පත්ව තිබේ.
ලාංකේය බෞද්ධ ජන සමාජයේ පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවගේ ද මුදුන්මල්කඩ වෙමින් උත්තමාචාරයෙන් පිදුම් ලබන ශ්‍රී දළදා මාලිගය, ඉතිහාස ගමන් මගට විරාමයක් නොතබමින් වර්තමානය සහ අනාගතය ද එකට ඈඳා තබන සර්වකාලීන පූජනීය සිහිවටනයකි.
මවුබිමේ රාජ්‍ය වංශ කතාවේ අවසාන පරිච්ඡේදය ලියා තබන ඓතිහාසික මහනුවර පුරවරය එතැනින් නිමා නොවන්නේ මෙම සදාතනික බෞද්ධ උරුමය නිසාය. ලංකා මාතාවගේ ළය මත්තේ වැඩ වසනා සේ වූ මේ මහා ධාතු කරඬුව කෝටි සංඛ්‍යාත ලෝක බෞද්ධ ජනතාවගේ සිරස් මත තැබූ අති පූජනීය ලෙස වොරැඳෙන මහා ධාතු කරඬුවක්ම ය.
ජනක වෙත්තසිංහ

දළදා පෙරහරේ හාස්කම්

වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.
එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට ප‍්‍රධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ.
පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා ප‍්‍රදර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය.
මෙම ප‍්‍රාතිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය.
එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ.
කි‍්‍ර.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි ප‍්‍රාතිහාර්යන් සිදුව තිබේ.
රජුගේ ප‍්‍රධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්‍රීයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත.
මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ දී ශ්‍රී දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ ප‍්‍රදේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය.
ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්‍රී දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්‍රීකත්වය සෞභාග්‍ය ලබා දීමට හැකි වූ බවය.
කිත්සිරිමෙවන් රජ දවසත්, දෙවැනි පරාක‍්‍රමබාහු රජ දවසේදීත් ශ්‍රී දළදා වහන්සේ හා බැඳුණු තවත් ප‍්‍රාතිහාර්ය ජනක කත පුවතක් වනුයේ දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙන අවස්ථාවකදී දළදා වහන්සේ අහසට පැන නැඟ, ශ්වේත වර්ණ බුදුරැුස් මාලාවකින් ප‍්‍රතිහාර්ය පෑ බවය. මෙම ඓතිහාසික කරුණු පිළිබඳ දළදා පූජාවලියේත්, දාඨා වංශයේත් සටහන්ව ඇත.
දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි ප‍්‍රාතිහාර්යයක් වී ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය.
අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ.
කිත්සිරිමෙවන් රජුගේ අවදියේදී ආරම්භ කළ  ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ප‍්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවස කි‍්‍ර.ව. 310 දීය.
වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනුවක් තිස්සේ මහජනතාවට ප‍්‍රදර්ශනය කළ බව ද ඉතිහාසගතය.
කහවනු නවලක්ෂයක් වැයකොට පැවැත් වූ මෙම පෙරහර මංගල්‍ය නොකඩවා පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජු නියෝගයක් ද පනවා ඇත.
මෙම සෙංකඩගල ඇසළ පෙරහර සඳහා එදා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද විවිධ තරාතිරමේ ඉංග‍්‍රීසි නිලධාරීහුද සහභාගි වූහ. පැරැණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්‍ය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතුවය.
සෙංකඩගලපුර රාජධානියට ආවේණික ඇසළ පෙරහර මංගල්‍යය කි‍්‍ර.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අවදියේදී දෙවියන්ට සිදුකරනා පූජාවක් ලෙස සලකා ‘‘දේව පෙරහරක්ද’’ පෙරහරට එක්කර තිබේ.
වර්තමානයෙහි පවත්වන ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ ප‍්‍රවර උපාලි තෙරුන් වහන්සේගේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව කි‍්‍ර.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්‍යයකි. මෙම පෙරහර මංගල්‍යය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා රැුස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර විධි අදටත් එලෙසම පැවැත්වෙන ලොව එකම පෙරහර මංගල්‍යය නිසා විය හැක. වර්තමානයෙහි ක‍්‍රියාත්මක වන බොහෝ දළදා චාරිත‍්‍ර විධි කුරුණෑගල සිව්වැනි පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයෙහි ලියැවුනු ‘‘දාඨා ධාතු චරිනිත’’ නම් වූ දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන් 38 හි පෙරහර මංගල්‍යයක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් වේ.
ශ්‍රී දළදා පෙරහරට සහභාගිවන සියලූ දෙනා මසකට දෙකකට පෙරාතුව පේවීම සිදුවේ. පුළුටු ආහාර නොගෙන (මස්, මාළු, බිත්තර, බැදුම්) අපිරිසිදු කිලිවලට නොගොස් ඥාතියෙකුගේ වුවද මරණයක් සිදු වුවහොත් එයට සහභාගි නොවී දියනා පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහරට සූදානම් වේ.
භෞතිකමය වශයෙන් දින දහයකට පෙර දළදා වහන්සේ වැඩ සිටිනා මාලිගාව සෝදා පවිත‍්‍රකර, කොඩි සේසත් දමා අලංකාර කිරීමත් අපිරිසිදු දෑ ඉවත් කර වර්ණවත් කිරීමත් සිදුවේ. ශ්‍රී දළදා පෙරහර ගමන් කරන මාර්ගය ද මෙලෙස කහ දියර ඉස පිරිසිදු කෙරෙන අතර පසුව කොඩි, සේසත්, විදුලි බුබුළු යොදා වීදි අලංකාරය කෙරේ.
අතීතයේ සිට අද දක්වා ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දෛනික තුන්වරු පූජාවක්, සතිපතා බදාදා දිනයන්හිදී නානුමුර මංගලයත්, මාසිකව පුරපසළොස්වක පූජාවත්, දුරුතු පොහොය මුල්කොට පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යයත් නොකඩවා සිදු කෙරේ. බක්මාසයේ දී සිංහල අලූත් අවුරුදු මංගල්‍යයත් ඇසළ පෙරහර මංගල්‍යයත් ඉල් පෝය මුල්කොට යෙදෙන කාර්තික මංගල්‍යයත් ශ්‍රී දළදා මාලිගාවේ අදට ද මහත් භක්තියෙන් සිදු කෙරේ.
කිත්සිරිමෙවන් රජු ව්‍යවස්ථා ගත කර ඇති ආකාරයටත් කුරුණෑගල යුගයේ සිව්වැනි පරාක‍්‍රමබාහු රජ දවස ලියැවුණු දළදා සිරිත ග‍්‍රන්ථයේ දැක්වෙන ආකාරයටත් අදට ද දළදා පෙරහර පැවැත්වේ. ඉන් පසුව රට පාලනය කළ සෑම රජ කෙනෙක්ම ඒ අයුරින්ම පෙරහර පවත්වාගෙන ගොස් තිබේ.
මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව ආරම්භ කළ ශ්‍රී දළදා පෙරහර 1828 වසර වනතෙක් වීදි සංචාරය කර ප‍්‍රදර්ශනය කෙරුණ ද එම වසරින් පසුව, පෙරහරට සමගාමීව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම සිදුවී නැත. ඒ ආරක්‍ෂාව හේතුවෙනි. එතැන් පටන් සිදුව ඇත්තේ සාධාතුක ධාතූන් වහන්සේලා අඩංගු පෙරහර කරඬුව වැඩම කර අලංකාර පෙරහර පෙර පරිදිම පවත්වා චාරිත‍්‍ර ඉටුකිරීමය.
ශ්‍රී දළදා මාලිගාවේ අදට ද භාවිත කරන පෙරහර කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1753 දී පූජා කර ඇත. එම පෙරහර කරඬුව අලංකාර ලෙස සරසා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අග බිසවගේ මාල පළඳනාවන්ගෙන්ය.
දළදා සිරිතෙහි සඳහන් ආකාරයට දළදා පෙරහර හා බැඳුණු චාරිත‍්‍ර විදි තිස් අටක් පමණ ව්‍යවස්ථා ගතකොට තිබේ.
එහි සඳහන් ආකාරයට පෙරහර පැවැත්විය යුතු ආකාරයත්, ශ්‍රී දළදා වහන්සේ පිටතට වැඩම කළයුතු ආකාරයත්, ආපසු නැවත තැන්පත් කළ යුතු ආකාරයත්, කළ යුතු පූජා චාරිත‍්‍ර ආදී චිරානුගත සම්ප‍්‍රදායන් බොහොමයක් සටහන් වී ඇත.
ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටින්නාක් මෙන් අතිශය පූජනීයත්වයෙන් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන ස්ථානයක් ලෙසට මහනුවර දළදා මාළිගාව සැළකේ.
මහනුවර දළදා මාලිගාවේ රන් කරඬුවේ වැඩ සිටිමින් පුද සත්කාර ලබන දන්ත ධාතූන් වහන්සේ බුදුන් වහන්සේගේ යටි වම් දළදාව ලෙස සැලකේ.
ඉතිහාසය පුරාවටම දළදා විහාරය නොකියා දළදා මාලිගාව යනුවෙන් හඳුන්වා ඇත්තේ දළදා වහන්සේත් රාජ නිවසත් අතර පැවැති සම්බන්ධය නිසා බව ද කියැවේ.
(ලිපිය සකස් කිරීමට තොරතුරු ලබාදුන් ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ.මීගහකුඹුර මහතාටත්, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක‍්‍රිශාන්ත හිස්වැල්ල මහතාටත් විශේෂ ස්තුතිය)
සටහන : අසුන්තා එදිරිසූරිය
 2012 අගෝස්තු මස 05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


දළදා වැඩි ගමන් මග කුමක්ද

August 5, 2012 at 12:02 am | Lanka C News.


උදේනි රජ පුත් දන්ත කුමරු සහ ගුහසීහ රජ දුවණි ඛේමා (හේමා) කුමරිය යන දෙදෙන ලක්දිව ට පැමිණීමත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් දළදා වහණ්සේ වැඩමවීමත් ලංකා ඉතිහාසයේ අසිරිමත් සිදු වීමක් වෙයි. ඉන්දියාවේ රජවරු මේ මහාර්ඝ වස්තුව අත්පත් කර ගැනීමට යුධ වදින අවස්ථාවකදී එය ලක්දිවට එවන්නට තරම් එකළ දෙරට අතර ගොඩනැගී තිබූ සම්බන්ධය ද වැදගත් කොට සැලකිය හැකිය. ලංකාවේ දී දන්ත හේමමාලා යුවලට සහ දළදා වහණ්සේ ට ආරක්ෂාව නිසැකයෙන්ම හිමිවේ යයි යන විශ්වාශයද තිබීම එලෙසම වැදගත් විය. ‘ලක්දිව තවත් බෙහෝ සර්වඥ ධාතූන් වහණ්සේලා ද බොහෝ භික්ෂූන් ද වෙසෙන රටකි’. යනුවෙන් ගුහසීව රජුගේ මුවින් පිටවූ වදන් මගින් කියැවෙන්නේ එකළ ලක්දිව කෙරෙහි පැවති ආකල්පයයි.

දන්ත හේමා රැගත් යාත්‍රාව ඉන්දීය භූමියෙන් පිටත් වූයේ ත්‍රාමලිප්ත තොටුපළෙනි. එසේ පිටත් වීමට ප්‍රථම නාගයින් විසින් දළදා වහණ්සේ පැහැර ගෙන නාග ලෝකයට රැගෙන යාමත් මහුදු මැදදී සිදු වූ අතුරු අන්තරාවනුත් සලකා බලන කල්හි ලක්දිවට පැමිණිම පිළිබඳව තිබූ අවිනිෂ්චිත ස්වභාවය ද හෙළි වේ.දන්ත හේමමාල යුවළ රැගත් යාත්‍රාව පාවී අවුත් නැංගුරම් ලූයේ ලංකා පට්ටන නම් වරායටයයි සැලකෙයි. දැනට මේ වරාය ලෙසට හඳුනා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට පහළින් ඇති ලංකා පටුන කපොල්ලයි. සිට දළදා වහණ්සේ අනුරාධපුරය නගරය දක්වා ගෙන ගිය මාර්ගය කුමක්දැයි පිළිබඳව විද්වතුන් අතර මත භේදයක් ඇත. එයට හේතුව වවුනියා දිශාවේ මඩුකන්ද නම් ස්ථානයේ දළදා විහාරයක් පිහිටා තිබීමයි. මේ ගමනේ අතර මගදී මේ ස්ථානයේ දළදා වහන්සේ වඩා හිඳුවා සත්කාර කළ බවට සැලකෙන පුරා වෘත්තය බැහැර කළ නොහැකිය.කොටි ත්‍රස්තයින් ගේ ආධිපත්‍ය නිසා පසුගිය කාලයේ දී උතුරේ බොහෝ ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්ථානයන් ගැන නිවරදි ගවේශණයන් නොවීය. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණ විරුවන් ගේ අධීක්ෂණය යටතේ මේ ඇතැම් තැන් පිළිබඳව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කළ ගවේශණයන් රැසක් වෙයි. එහිදී හෙළි වී ඇත්තේ වවුනියාවට ඊශාන දිණාවෙන් දළදා වහන්සේ වැඩ සිටි තැන් රාශියක්ම දක්නට ලැබෙන බවයි.

රාජ්‍ය ලේඛණාගාරයේ 5/63/159/53 අංක දරන රඹුක්වැල්ලේ විත්ති පොත තුල මේ වැඩවීම සම්බන්ධව වෙසෙසි විස්තරයක් අඩංගු වෙයි.ඒ මෙසේය. සුගත තථාගත වර ධර්ම චක්‍රවර්තී වූ ජිනේද්‍ර උත්තමයානන් වහණ්සේ ගේ වර්ෂයෙන් සත්සිය තිස්හතට පැමිණි විට දන්ත කුමාරයාත් ඛේමා නම් කුමාරිකාවත් දළදා සාමීන් වැඩමවාගෙන මාවටු පටුනට ගොඩ බැස නාග කෝවිලට ධාතූන් වහණ්සේ වැඩමවා උතුම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ්ජුරුවන්ට පයිඬ යවා සැලකල තැනේදී අනුරාධපුරයට ධාතු වඩම්මාගෙන පැමිණියේය. දළදා සිරිතේ ද සඳහන් වන්නේ මෙසේමය. නමුත් දාඨාවංශය ඇතුලු අනෙකුත් මූලාශ්‍රයන්හි ලංකා පටුන යනුවෙන් දැක්වේ.

මාවටු පටුන නොහොත් මාතොට වරාය එකළ ජනාකීර්ණ නැවු තොටුපළකි. විදේශිය වෙළෙඳුන් නිති ගැවුසුන ප්‍රසිද්ධ වරායකි. මෙකල මහා විහාරය හා අභය ගිරිය අතර ද ශාසනික මත බේදයක් ද විය. ඒ තත්වය තුල ප්‍රසිද්ධ වරායකින් දළදා වහණ්සේ ලංකාවට වැඩවීම විශ්වාශයට ගත නොහැකි වන බව ඇතැම් විද්වතුන් ගේ මතය වෙයි. මේ නිසා ලංකා පටුන වරාය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරිමට ද සිදු වේ.නමුත් මේ වරයා පිහිටා තිබෙන්නේ එකළ ව්‍යවහාර වූ ගෝකන්ණ වරායට ද පහළිනි. ඒම ස්ථානයේ සිට නැවත වවුනියා ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයකින් දළදා වහන්සේ වැඩමවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැකිය. නැවත උතුරට ගොස් පුහුල් මොටේ ප්‍රදේශයෙන් රට ඇතුලට ගමන් ගැනීම වඩාත් දුෂ්කර කටයුත්තකි. එයට වඩා ලෙහෙසියෙන් සේරුවිල හරහා අනුරාධපුරයට පිවිසිය හැකිය.

කොටි ත්‍රස්තයින් සමග අවසාන සටන සිදුවූ වෙලේ මුල්ල මූලදීප කලාපය ද එකළ ප්‍රසිද්ධ තොටමුණකි. වත්මන් කොකිලායි කලපුව ( කොකලෙ ) ආසන්නය තුල මධ්‍යම තරමේ යාත්‍රා නවත්වා සිටිය හැකිය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස්සේ ද මෙයට වඩා මදක් පහළ වරයායකිනි. මේ නිසා මූලදීප පෙදෙස අපගේ අවධානයට ලක් විය යුතුය. ශ්‍රාස්තපති මුවඇට ගම ආනන්ද හිමියන් ගේ ගවේශණය කෙරෙහිද අවධානය යොමු කළ කල්හි මේ ගමන් මග ගැන ඉඟියක් අපට ලබා ගත හැකිය. එය වැටී තිබෙන්නේ කෝකිලායි කලපුව නෙදුන් කර්නි කොච්චයි සමලන් කුලම් කැලෑ බෝගස් වැව අරිය මඩු රුවන් මඩු පිරපපන් මඩු ඒරුපොතාන තපස් එළිය විමන් ගල මාමඩුව මඩු කන්ද හරහාය. දළදා වහණ්සේ රැගත් දන්ත හේමමාලා යුවළ පිලිගෙන සත්කාර කල පිළන්ද නම් වැද්දෙකු ගැනත් ජන ප්‍රවාදයේ සඳහන් වේ. ලංකා පටුන වරාය අසල මූදුකර වැද්දන්ට අදත් වාසස්ථාන වී ඇත. එසේම මූලදීප කලාපයේ ද වැද්දන් සිටි බවට සාක්ෂි හමු වේ. ඔවුන් ද වාකරේ වැද්දන් මෙන්ම දෙමළ භාෂා ව්‍යවහාරයන් නිසා ද්‍රවිඩී කරණය වී තිබේ.

පසුගිය දා මේ ප්‍ර දේශවල සංචාරය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. වෙසෙසින්ම නෙදුන්කර්නි හරහා වව්නියා මර්ගයේ පැමිණ කොච්චයි සමලන් කුලම නමැති ස්ථානයට සපැමිණීමට හැකිවීමු. එය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් ගස්කඩ යනුවෙනි. කඩාඬු සහිත විශාල බිඳි ගිය වැවක් එහි ඇත. දෙමලෙන් කොච්චයි යනු රාජකීය යන්නයි. මෙම ප්‍රදේශය රාජකීයන්ට වාස භවනය වී තිබූ පෙදෙසක් වශයෙන් එයින් හඳුනා ගත හැකිය. දන්ත හේමමාලා යුවල කළක් මෙහි නැවතී සිටි බවට ද මේ අවශේෂයන් සාධක දක්වති. එයට අමතරව මෙහි ඇත්තේ නටබුන් සහිත විශාල විහාර සංකීරණයකි. එය පවුරකින් වට කර තිබේ. නිදන් හොරුන් විසින් හාරන ලද මධ්‍යම තරමේ ස්ථූපයක් බුදු මැදුරක් සහ දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ මෙහි ඇත. මෙම ගොඩනැගිල්ල මෙලෙස තනා ඇත්තේ ඇයිදැයි කල්පනා කර බලන කල්හි එහි යම් කිසි අර්ථාන්විත ක්‍රියාවලියක් සිදුවී ඇතැයි සිතේ . දළදා වහන්සේ වැඩ සිටි බොහෝ තැන් වල ගොඩනැගිලි මෙසේය. දෙමහල්ව තනා ඇත. කෝට්ටේ යුගය වනතෙක් ම මෙම සම්ප්‍රදාය අනුගමනය කර ඇතැයි කල්පනා කළ හැකිය. ෙමම කළිගු දා විහාරය විහාරය පසු කරන කල්හි තවත් වැව් දෙකක් හමු වේ. එය එකම වැව් පද්ධතියේ කොටසකි. ඉන් අනතුරුව හමුවන්නේ කැලෑ බෝගස් වැවයි. එය මෑතක් වනතුරුම සිංහල පවුල් කීපයකට වාස භූමි වූ දැනට හමුදා කඳවුරක් ද පිහිට තිබෙන විශේෂ ස්ථානයකි. මෙහිද දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ දක්නට තිබේ. දළදා වහණ්සේ මෙහි වැඩ සිටින්නට ඇතිවාට නිසැකය.

දළදා වහන්සේ රැගත් දන්ත හේමාවන් දළදා වහන්සේ ගේ පලමු දළදාරක්ෂක තනතුර දැරූහ.දිනපතාම පුද පූජා පවත්වමින් ඇති කර ගත් ශ්‍රද්දාව දුටු ගුහසීව රජු තම දියණිය ද සරණ පාවා දී මේ තනතුර හිමිකර දුන බව සඳහන්ය. මේ දෙදන නගරයෙන් පිටමංව දකුණු දෙසට ගමන් කර මහා ගංගාවක් සමීපයට පැමිණ එහි වැලි දාගැබක් තනවා දළදා වහන්සේ එහි සඟවා තැබූ බව කියැවේ. නා රජු පැමිණ දළදාව පැහැර ලෙන ගියේ මෙම ස්ථානයේ දළදාව තැන්පත් කර තිබෙන විටයි. ලක්දිව සැපත් වූ මේ යුවල රජු විසින් නැවත දළදා රක්ෂක ධූරයට පත්කර බෙලි ගල් කෝරළයේ පදංචි කරවා තිබේ. වැලි ගොඩක් දාගැබක් තනවා දළදා වහණ්සේ එහි තැන්පත් කර වන්දනා මාන කළ බැවින් ඔවුන් ගේ පරපුර කීරවැලි පරපුර විය. පසුව ඔවුන් ස්ථිරව පදිංචි ස්ථානයද කීරවැලි පත්තුව වී ඇත.මෙම කීරවැල්ලේ පරපුරේ අන්තරාගාමීහු ක්‍රි.ව.1620 වන්තෙක්ම අඛණ්ඩවම දළදා භාරකාරත්වය දැරූහ. රජුට අගබිසෝ වරුන් සපයන ලද්දේ මේ සුලු වංශයෙනි. ඒ හෙයින් දළදා වහණ්සේත් රාජ්‍ය නායකත්වයත් අතර අවියෝජනීය සබඳතාවයක් පැවතිණ.1620 න් පසුව ප්‍රධාන රාජකීය පරපුරු සියල්ල ආරක්ෂාව පිණිස වන වැදීම නිසා දළදා භාරකාරත්වය කීරවැල්ලේ මව් පාර්ශවයට හිමිවිය. ඒ විස්තරය මෙසේය.සකල කලා වල්ලභ හා ඔහුගේ කීරවැලි බිසවගේ දුවක් චන්ද්‍ර වංශික ඌවේ රාළ හා විවාහ වූවාය. ඌවේ මහ රාළ නමින් ඒ දෙපළට මුණුපුරෙකු සිටියේය. වීර වික්‍රම සවුලු රජු ගේ මුණුපුරෙකු වූ දුම්බර දනව්වේ කුමාර බණ්ඩාර ට පත්මහාමි නමින් දුවක් සිටියාය. පත්මහාමි ඌවේ මහ රාළ හා විවාහ විය. ඔවුන් ගේ පුත් මහරාළට රඹුක්වැල්ල ගම ලැබුණි. ඔහුට යාපා රාළ නමින් පුතෙක් සිටියේය. යාපා රාළට ඒකනායක අප්පුහාමි නමින් පුතෙක් සිටියේය. දුම්බර රට ඌවේ දිශාව තනතුර දැරූ ඒකනායක අප්පුහාමි 1627 දී කීරවැලි මිත්තණිය ගේ උරුමය මත දියවඩන නිළයට පත් කෙරින. ඒකනායක අප්පුහාමි ගේ පුත් හාන්තු නායක අප්පහාමි (1642 දී සලු වඩන නිලමේ) ගේ පුත්‍රයා 1697 දී දියවඩන නිලමේ තනතුර දැරූ බව සඳහන්ය. හේ දුනුවිල කුමරියක් හා විවාහ විය. ඔහුගේ දරුවන් 1739 නායක්කර පාලනය නිසා මහවාසල උදහසින් තල්ලුවුනා යයි රඹුක් වැල්ලේ විත්ති පොතේ සඳහන්ය. නායක්කර් යුගයෙන් පසුව ඉංර්‍ගීසි යුගයේ දී විවිධ රදළයින්ට මේ තනතුර හිමි විය. බුද්ධාගමේ භාරකාරත්වය අත්හල ඉංග්‍රීසි පාලකයින් 1853 දී දළදා වහණසේ ගේ භාරකාරත්වය දියවඩන නිලමේට හා මහානායක ස්වාමීන් වහණ්සේලාට දෙනමට පවරා දෙන තෙක්ම දළදා භාරකාරත්වයට හිමිකම් කීවේ මහා සම්මත උරුමක්කාරයෙක්පමණකි.

දහනව වන සියවසේ දී මුල් භාගයේ දී මහා නායක පදවිය හෙබවූ අති පූජ්‍ය කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියෝ තමන් වහණ්සේ ගේ ගුරු පරපුරෙහි ගිහි පරපුර දළදා වහණ්සේ භාරගෙන සුරක්ෂිත කළ සූර්ය වංශික රාජකීයන් බව පෙත්සමක් මාර්ගයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා සිටියහ. කොබ්බෑකඩුව සන්නසේ ඒ පරපුර ගැන මෙසේ සඳහන් වේ. ‘ ශ්‍රී සේනා සම්මත වික්‍රමබාහු රජ දවස …..ශ්‍රීමත් මේණවර රත්න වල්ලිතෙර ස්වාමීන්ට …..වටනා පස දාන කේෂ්ත්‍ර කොට දෙවා වදාල හෙයින් ’සූර්ය වංශික මේණවර පෙලපත මෙරට අගරජ පදවිය හිමි වංශයයි.මේණවර රජුගේ මව හා බිසව දළදාව වැඩමවාගෙන පැමිණි කීරවැලි පරපුරට අයත්ය.ඒ සාධක මත කොබ්බෑකඩුව නාහිමියන් දළදා උරුමය ඉදිරිපත් කළ බව පැහැදිලිය .

- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot.com