උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

අවුකන පිළිම වහන්සේ

ර‍ළු කළුගල සුමුදු කළ ඒ පා කමල යුවළ සිප වැළඳ ගනිමින් අප මාතෘ භූමිය සාඩම්බර කළ ප්‍රබල අභිමානවත් සළකුණක් පාමුල නැවතී සිටිමි.

කලා වැවේ වැව්ජල තලයේ හැපී හමනා ශීතල මද පවන් රැල්ල පහසේ ප්‍රබෝධය නිබඳ සිත වෙළයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන නම් ගමේ කලා වැවට මුහුණලා මීට වසර 1500 කට පමණ ප්‍රථමයෙන් ගොඩ නංවන ලද අවුකන බුදුපිළිම වහන්සේ පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ ලාංකේය බිම වර්ණවත් කළ, ඔදවත් කළ,තෙදවත්, කළ, සුචිත්‍රවත් කළ, බුදු පිළිම වහන්සේ නමක්ය.
Avukana Buddha statue - Wikipediaමෙය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ වරමින් ලද අසාමාන්‍ය නිර්මාණ ශක්තියෙන් ඔදවත් වූ ගල්වඩු මී මුත්තනුවන්ගේ දෑතින් නිම කරවමින් වැවයි දා ගැබයි අපගේ සංස්කෘතික ප්‍රදානයට නැවුම් සංකල්පයක් එක්කරමින් වැවයි, සම්බුදු පිළිමයයි නම් වූ නිර්මාණයෙන් අධ්‍යාත්මික හා ලෞකික දියුණුවේ ඒකාත්මිකතාවය සංකේතවත් කරවයි.
සිංහල බෞද්ධ, සංස්කෘතික දියුණුවේ සුසංයෝගය මෙයින් සංකේතවත් කරයි.
මෙය මහා පුරුෂ ලක්ෂණ වලින් යුතුබව වියතුන්ගේ පිළිගැනීමයි. පිටිපතුල් දෙක,පිටි අල්ල දෙක, උරහිස් දෙක හා කඳ පිරිපුන්ව තිබෙන බැවින් එය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් සත්තුස්සද ගුණය පිළිබිඹු කරයි. පිළිම වහන්සේගේ සුවිශේෂී ලක්‍ෂණයන් පිළිබඳ විග්‍රහයක යෙදෙන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා මෙසේ සඳහන්කරයි.
“ හිස මුදුනේ අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදුරැස් ය. එය හැඳින්වීමට අනුරාධපුර යුගයේදී භාවිතා කළ වචනය ‘රංසිපුඤ්ජ’ යන්නය. රංස පුඤ්ජයක් තිබුණේ අභයගිරි සම්ප්‍රදායට අයත් බුදු පිළිමවල බවට සාධක තිබේ. “
“අවුකන පිළිමයේ ආසනය පද්මාසනය හෙවත් පද්ම පීඨයයි. බෞද්ධ කලාවේ පද්මාසනය බුදුන් වහන්සේගේ ලොකෝත්තර බව සංකේතවත් කරන්නකි “ (අවුකන බුදුපිළිම – චන්ද්‍රා වික්‍රමගමගේ )
පද්මාසනයේ සට සිරස්පතය දක්වා පිළිම වහන්සේගේ උස මීටර් 11.36 කි. සමභංග ක්‍රමයට නෙළා ඇති බවෙන් අදහස් කරන්නේ ශරීරයේ බර දෙපාවලට සම සමව බෙදී යනසේ ශරීරය කෙලින් තබාගෙන සිටින ආකාරයට නිම වීම ය. ඔසවන ලද දකුණු හස්තයෙන් පෙන්නුම් කරන්නේ අභය මුද්‍රාව ය. වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලා ගෙන ඉන්නා ඉරියව්ව කටක මුද්‍රාවෙන් යුක්ත ය.

ඇඳුම, තනිපට සිවුර, අඳනය, සහපටිය යන තුනෙන් සමන්විත ය. සිවුරේ ඇත්තේ තනි රැල්ලක් නිසා මෙය අනුරාධපුර යුගයට අයත් පිළිම කලාවේ විශේෂ ලක්‍ෂණයක් බව පැවසෙයි.
සාමාන්‍යයෙන් ගෞතම බුදුන් වහන්සේ දහඅට රියන් බව පිළිගත් මතයවෙයි. මෙයින් අදහස් වන්නේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑ උස නොව බෞද්ධයාගේ සිත්හි අති බුදු හිමියන්ගේ පිළිබිඹුවේ උස බව චන්ද්‍ර වික්‍රමගමගේ මහතා පවසයි.
අවුකන බුදුපිළිමය රියන් 18 කට වඩා උස්වෙයි. දීපංකර බුදුන් වහන්සේ අසු අට රියනක් හෙවත් අඩි 176 ක් උසය. අවුකන බුදුපිළිම වහන්සේ ගෞතම බුදුන් වහන්සේට හිමි උසට වඩා උස බැවින් ද දීපංකර බුදුන් වහන්සේට හිමි උසට සමීප බැවින් ද දීපංකර බුදුන් වහන්සේට හිමි අභය මුද්‍රාවෙන් යුක්ත බැවින් ද එය දීපංකර බුදු පිළිමයක් බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතාගේ මතය වෙයි.
අවුකන බුදු පිළිම වහන්සේගේ මුද්‍රාව පිළිබඳව මහාචාර්ය අබය ආර්යසිංහ මහාත ඵල කරන්නේ වෙනත් මතයකි.
“බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසමින් පශ්චිම යාමයේ පිබිදී විනේය ජනයන් ආවර්ජන කිරීම මේ පිළිමයෙන් ගම්‍ය වෙයි. එහි දක්වා ඇති මුද්‍රාව ආශිර්වාද මුද්‍රාවයි. (අභය මුද්‍රාව යැයි අධම ජනයා මෙය හඳුන්වා දි තිබීම හාස්‍යයට කරුණකි.”
“බෞද්ධ ලෝකයේ කොතරම් නිර්මාණ තිබුණද හුදු කේවල බුදු පිළිමයක් වශයෙන් උත්තම ගණයේලා සැලකිය හැකි අවුකන පිළිම වහන්සේ සිංහල ජාතියට අපේ මුතුන්මිත්තන් විසින් උරුම කොට දී ඇති අමිල දායාදයකි. “
අවුකන බුදු පිළිම වහන්සේ පිළිබඳ ස්වදේශීය හා විදේශීය කාල විචාරකයන්ගේ අගැයීම් මහත් පොතක් ලිවීමට තරම් ප්‍රමාණාවත් වෙන බව ද ඔහු පවසයි.
මෙම පිළිමය කරවන ලද රජතමා ධාතුසේන රජතුමා බව පිළිගැනෙයි. එහෙත් රජතුමා සහ කාලය පිළිබඳ විවිධ විද්වත්හු වෙනස් මත පල කරති.
සෙනරත් පරණවිතානයන්ට අනුව මෙම පිළිමය ඉදිකරවා ඇත්තේ ධාතුසේන රජතුමා විසිනි.
මහාවංශයේ සඳහන් වන කාලසේල බුදුපිළිමය මෙය බව පරණවිතාන මහතා හඳුන්වා දෙයි. ධාතුසේන රජතුමා හැඳින්වුයේ දාසෙන් කැලිය යනුවෙනි. මෙහි කැලිය යන්න ධාතුසේන සඳහා යොදන ලද්දක් බව පරනවිතාණ මහතා හඳුනා ගනියි.මෙය රාජ්‍ය වර්ෂ පස්වන සියවසෙහි අගභාගයට අයත් බව ඔහු ප්‍රකාශ කරයි.
නමුත් බාරෝස් නම් ඉතිහාසඥයා සාඳහන් කරන්නේ මෙය දොළොස්වන සියවසෙහිදි මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවකි.
බරෝස්, ස්මිත්, හා කුමාරස්වාමි යන ලේඛකයන් දැක්වූ මතය අනුව අවුකන පිළිම ගෙයින් ලැබුණූ ශිලා ලිපිය ක්‍රි.ව. අටවන සියවසට අයත් බව ප්‍රකාශ කෙරේ.
මෙසේ විවිධ මත ප්‍රකාශ වුවද මෙය අසහාය නිර්මාණය ශිල්පියකුගේ විශ්මිත ප්‍රතිභාවේ ශක්තියේ අග්‍රඵලයක් බව නම් සක්සුදක් සේ අස්පනාපිට ඔප්පු කර හමාර ය.
ඇත්තෙන්ම වසර ගණනාවක් තිස්සේ දැඩි රළු මහා කළු ගල් තලාවක් මෙල්ල කර ගනිමින් අසමසම පිළිම වහන්සේ නෙළු නිවැවුම් ශිල්පීන් වැගිරූ දහඩිය කලා වැවේ ජල පරිමාව තරම් විය හැකි ය. ඔවුන්ගේ බාහු සවියේ මෙන්ම ප්‍රතිභා ශක්තියෙහි බලය මෙවන් ගල් තලාවක ශක්තිය අභිබවන සුළුය.
මේ නිර්මාණය පිළිබඳව පිටු දහස් ගණනක් පිරෙන තරමට ලියා පල කළ හැකි ය. දවස් ගණනක් බලා සිටිය ද හිතට හැඟෙනා වින්දනයේ කිසිදු අඩුවක් සිදු නොවනු ඇත.
බුදුන් දැක නිවන් දකින්නට නො හැකි වූ අප සැමට මෙවන් රළු කළු ගලක් වෙඬරු පිඬක් බවට පත් කළ ආශ්චචර්ය දැක හිතට හැඟෙන්නේ නිවන් දැක්කා වැනි අධ්‍යාත්මය වින්දනයට පත්කරනා සුවයක් නොවන්නේද?
ජනක වෙත්තසිංහ

බොදු දෑසට වසන් වූ දිවුල්වැවේ සමාධි පිළිම වහන්සේ



"සමාධි පිළිමය කියූ සැණින් ඕනෑම බෞද්ධයකුගේ සිහියට එන්නේ අනුරාධපුර මහමෙව්නා උයනේ සමාධි පිළිමය පිළිබඳවය. අනුරාධපුර සමාධි පිළිමයට සමානව පංචාවාස සහිතව නිසංසල රමණීය හුදකලා වූ පුදබිමක සමාධි පිළිමයක්‌ තිබෙන බව දන්නේ බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනාද?"

පළමුවන ඡේට්‌ඨතිස්‌ස මහරජතුමන් ක්‍රි.ව. 263-273 දී අනුරාධපුර ථූපාරාමයේ සිට ගෙනෙන ලද සෙල්මුවා බුදුපිළිමය එතුමා විසින් කරවන ලද පාචීන තිස්‌ස පබ්බත විහාරයේ මිහින්තලා මාර්ගයේ තැන්පත් කරවන ලද බව මහාවංශයේ සඳහන් වේ. එය නැවත එතුමාගෙ මරණයෙන් පසුව රජ පැමිණි මහසෙන් රජතුමා විසින් පාචීන තිස්‌ස පබ්බතයෙන් ගෙනැවිත් අභයගිරියේ පිහිටුවූයේ යෑයි මහා වංශයේ පවසන ලද පිළිමයක්‌ පිළිබඳව සිංහල බෞද්ධයන්ගේ මහත් විශ්වාසයක්‌ පවතී. මහ ගල් පිළිමය නොහොත් "උරුසිලාපට්‌ටා" නමින් මහා වංශයේ හඳුන්වනු ලබන එම පිළිමය දැනට අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයට අයත් බෝධිඝරයකට අයත්ව පිහිටි බැවින් එය ඉහත සඳහන් වන සමාධි පිළිමය විය හැකි බව ඓතිහාසික තොරතුරුවලට ද අනුව පිළිගෙන තිබේ.

ඉහත කාලයේදී මහමෙව්නා උයනේ සමාධි පිළිමය නමින් වර්තමානයේදී අභයගිරි විහාර සංකීර්ණයට අයත් බව තහවුරු කරගෙන ඇත.

සමාධි පිළිමය සොයාගන්නා ලද්දේ 1886 වසරේදීය. එවිට කැලෑවෙන් වැසී තිබුණ එම ප්‍රදේශයේ පිළිමය බිම පතිත වී තිබී ඇත. සුළු වශයෙන් කැඩී බිඳී තිබුණද බුදු පිළිමයට කලාත්මක වශයෙන් හානි සිදුවී නොමැති අතර සමාධි පිළිමයේ නාසය කැඩී ඇති ස්‌ථානය මාපලගම විපුලසාර හිමි විසින් බදාමයෙන් සකස්‌ කර ඇත.

සමාධි පිළිමය උසින් අඩි 07, අඟල් 09 කි. ධ්‍යාන මුද්‍රdවෙන් සහ වීරාසන ආසන ඉරියව්වෙන් යුතුව නෙළන ලද මෙම සෙල් පිළිමය බුදුරජාණන් වහන්සේගේ මහ කරුණාව හා සමාධි භාවනා ගුණය මතු කිරීමට එහි නිර්මාණ ශිල්පියා ගෙන ඇති උත්සාහය මනාව පිළිබිඹු වෙයි.

බෞද්ධ සංකල්පයත්, මහින්දාගමනයත් සමඟ අනුරාධපුර හා මිහින්තලාවේ බොහෝ ගෘහ නිර්මාණ අංග බිහි වී ඇත. 

මහාවංශයේ කියවෙන පරිදි අනුරාධපුර මිහින්තලා මාර්ගයේ දැනට කහටගස්‌දිගිලිය, කැකිරාව හන්දියෙන් හැරී ගලෙන්බිඳුණුවැව මාර්ගයේ යන විට දිවුල්වැව ඓතිහාසික පුදබිමේ සමාධි පිළිමය පිළිබඳව විමසිය යුතුව තිබේ.

දිවුල්වැව සමාධි බුද්ධ ප්‍රතිමාව ද මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවට සමානය. දිවුල්වැව බුද්ධ ප්‍රතිමාවේ නහය කැඩී ඇත. අන් සියලුම පිළිම ඉරියව් සමානය. මෙම ඓතිහාසික දිවුල්වැව පුදබිමේ පොහොය ගෙය, දාන ශාලාව, ධාතු මන්දිරය, ධර්මශාලාව, පිළිමගෙය, සක්‌මන්මළුව, ගල්තලාවේ පොකුණ, ගල් සොහොන්, බෝධි ඝරය, චෛත්‍යය, වැසිකිළි, කැසිකිළි ආදී විවිධ නටබුන් දක්‌නට තිබේ. මෙම ස්‌ථානය කලක්‌ වල් බිහි වී කැලෑවට යටවී තිබුණ අවදියේ හොරොව්පතාන හිටපු මන්ත්‍රී ඊ. එල්. බී. හුරුල්ලේ මහතා මැදිහත් වී යම් ප්‍රමාණයකට සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතුවලට පිළිසකර කර තිබේ.

ඉන්දියාවෙන් පැමිණි සොයුරු ගල්වඩු දෙපළක්‌ විසින් මෙම දිවුල්වැව පුදබිමේදී සමාධි පිළිම දෙක නෙලූ බවත් පසුව එක්‌ සමාධි පිළිමයක්‌ අනුරාධපුරයට වැඩම කළ බව ජනප්‍රවාදයේ එයි.

මෙවන් වූ දිවුල්වැවේ සමාධි පිළිමය සහිත පූජනීය ස්‌ථානය පිළිබඳව බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධියක්‌ නොමැත. 

එම පුදබිමේ මහ රහතන් වහන්සේලා වැඩ විසූ බවක්‌ යුග දෙකකට අයත් මෙම ස්‌ථානය දෙවන පෑතිස්‌ රජතුමා සහ වසභ රජතුමන් විසින් වැඩි දියුණු කර ඇති බව දිවුල්වැව විහාරස්‌ථානයේ වැඩ වසන කුරුණෑගල තපස්‌ස හිමියන් සඳහන් කරයි. මෙම ඓතිහාසික පුදබිම පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් කර වන්දනාමාන කටයුතුවලට පහසුකම් සලසාදීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වගකීමක්‌ හා යුතුකමකි.

කැකිරාව - සුදත් ඒකනායක
2013 දෙසැම්බර් 01 ඉරිදා දිවයින 

සිදුහත් කුමරා උපත ලද ලුම්බිණි සල් උයනේ අප්‍රකට තොරතුරු


සිදුහත් කුමරුගේ උපත ඉන්දියානු චිත්‍ර ශිල්පියකු සිතුවමට නගා ඇති අයුරු
භාරතයේ උත්තර් ප්‍රදේශ සිද්ධාර්ථ නගර් දිස්ත්‍රික්කයේ පිහිටි කකරනාවා නමැති නිසල කුඩා ග්‍රාමය ඉන්දු, නේපාල දේශ සීමාව තුළ භාරතයේ බර්ඩ්ප්‍රාර් (මෙම නාමය යොදා ඇත්තේ එම ප්‍රදේශය බර්ඩ් නමැති ඉංගී‍්‍රසි ජාතිකයකු සොයාගත් බැවිනි.) ග්‍රාමය ඔස්සේ නේපාලයට පිවිසිය හැකි ය. එම මාර්ගයේ දෙපස ඇත්තේ ඉතා කුඩා තේ පැන් කඩචායි සහ පාපැදි අලුත්වැඩියා කරන ස්ථාන පමණකි. එම පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් 10 ක් ගමන් කළ විට නේපාල රාජ්‍යයට පිවිසිය හැකිය. එවිට අති රමණීය ලුම්බිණි සල් උයන හමුවේ එය පිහිටියේ නේපාලයේ පදරියා දිස්ත්‍රික්කයේ ය.
හිමාලය කඳු වැටි පාමුල හිමාලය, ක්‍රි.පූ. 6 වැනි සිය වස සුද්ධෝදන රජතුමාගේ කපිල වස්තු රාජධානියේ අගනුවර වූ දැනට ලුම්බිණිය සිට උතුරට කිලෝමීටර් 26 ක් පමණ දුරින් පිහිටි දැනට නිලඋරාකොට් යන නාමයෙන් හඳුන්වන කපිල වස්තු ජනරජයේ අගනුවර විය.
ලුම්බිණියේ වර්තමානයේ ගොඩ නඟන ලද ලුම්බිණි ධර්මෝදය බුද්ධ විහාරය මායා දේවී විහාරය නුදුරේ ඇත. මෙහි බුරුම ජාතික එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් පරලෝ සැපත් යූ. තාන්ට් තුමා විසින් ඉදිකළ වන්දනා කරුවන් ගේ විශ්‍රාම ශාලාවද ඔහු ලුම්බිණිය වැඳ පුදා ගැනීමට 1967 දී පැමිණ සිට ඇත. ලුම්බිණියට ඈත අතීතයේ ලුම්බිණි මනික ලුම්බිණි උපවන සහ ලුම්බිණි චිත්ත ලමන යන නාමයන්ද ව්‍යවහාර වී ඇත. මතික යන නාමයෙන් පසක් වනුයේ මෙහි මාතෘ රෝහලක් ද තිබුණු බවකි.
ලුම්බිණි උද්‍යානයේ විශේෂයෙන් සල් වෘක්‍ෂ පමණක් සිටුවා තිබීම ගැන අවධානය යොමු කළ යුතුව ඇත. භාරතීය සල් වෘක්‍ෂයේ උද්භිද නාමය Shorea robus බව මෙම වෘක්‍ෂ අඩි 40 ක් පමණ උසට වැවෙන අතර එම වෘක්‍ෂය භාරතයේ ඇති ඉතාමත් ශක්තිමත් වෘක්‍ෂයකි. එහි අතු පතරවල ප්‍රණීත සුගන්ධයක් සහිත කුඩා කහ පාට පුෂ්පයන් හට ගනී. වෘක්‍ෂයේ කඳ මත පුෂ්පයන් හට ගන්නා ශ්‍රී ලංකාවේ සල් වෘක්‍ෂ භාරතයේ සල් වෘක්‍ෂ නොවේ. දැනට ඉන්දියාවෙන් සල් වෘක්‍ෂ බීජ ගෙනවිත් පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සල් වෘක්‍ෂ තවානක් සකසා ඇති අතර එම සල් වෘක්‍ෂ විහාරස්ථානවලට බෙදාදීමට ක්‍රියා කිරීමට ව්‍යාපෘතියක් අරඹා ඇත.
ඉන්දීය සල් වෘක්‍ෂයට “සාලභජ්නිකා” යන දේවතාවියක් සහ පුෂ්පවලට “පුෂ්පභජ්නිකා” දේවතාවියක් අරක් ගෙන සිටින බවත් මාතෘත්වයට පත්වීමට පසුවෙන කාන්තාවන් සහ දරුවන් නොමැති විවාහක කාන්තාවන් දැනුදු සල් වෘක්‍ෂය වෙත පැමිණ සත් වරක් වෘක්‍ෂය පැදකුණු කර වන්දනාමාන කර තම වම් පාදයෙන් වෘක්‍ෂයේ කඳපිරිමැදීමෙන් දරු ප්‍රසූතයට හා දරුවන් ලැබීමට එම දේවතාවියන් තමන්ගේ වම් පාදය ඔස්සේ ශරීරයේ වම්පස පිහිටි හෘද වස්තුවට ආරූඪ වී තමන්ගේ ප්‍රාර්ථනා සාක්ෂාත් කළ හැකි බැව් ඉන්දියාවේ පවත්නා පූජා ක්‍රමයකි. ඒ අනුව ඉන්දීය සල් වෘක්‍ෂය දරුඵල ලැබීමේ සංකේතයකි. (Fertility Cult)
මේ අනුව පෙනීයනුයේ තම කුළුදුල් දරුවා ලැබීමට චාරිත්‍ර වාරිත්‍ර අනුව සිය දෙමාපියන් වෙත විදේශ රාජ්‍යය සිය උපස්ථායික, බ්‍රාහ්මණ සහ අමාත්‍යවරු හා සිය බාල සොහොයුරිය සමඟ රාජ්‍ය පෙළහරකින් කපිල වස්තු හංසවතී රාජ මාලිගයේ සිට විදේහයට ගමන් කරන අතර සල්වෘක්‍ෂ පූජාව පැවැත්වීමට ද සුද්ධෝදන රජුගේ බිසව වූ මහාමායා දේවිය කටයුතු කළ බැව් විශ්වාස කළ හැකි ය. රජතුමා උද්‍යාන පාලකයන්ට ලුම්බිණි සල් උයන ධජ පතාක යොදා සරසන ලෙසත් අවශ්‍ය කටයුතු සලසන ලෙසත් නියෝග කරන්නට ඇත. එබැවින් මහා මායා දේවිය අතරමගදී සල් උයනට පිවිසියේ සල් වෘක්‍ෂ වතාවත් සම්පූර්ණ කිරීමට මිස අහම්බෙන් සිදු වූ කාර්යයක් නොවන බැව් ඉන්දීය සල් වෘක්‍ෂ වතාවත් අනුව පිළිගත හැක.
මේ අනුව එම සල්වෘක්‍ෂ චාරිත්‍රය සිදුකර සල් අත්තක් අල්වාගෙන සිය පුත්‍රයා බිහිකිරීමට පෙර අසල ඇති වට උද්‍යානයේ ශාක්‍ය පුස්කරීන් නැමැති දැනුදු ඇති පොකුණෙන් මහාමායා දේවිය ස්නානය කරන ලද්දී ය. ඉක්බිති රාජ්‍ය පෙළහරින්ම පෙරළා කපිල වස්තුවේ හංසවතී රජවාසලට තම පුත්‍රයාද රැගෙන පැමිණියා ය. භාග්‍යවතුන් වහන්සේ සල් වෘක්‍ෂයට ගෞරවයක් වශයෙන් කුසිනාරාව සල් වෘක්‍ෂ දෙකක් අතර පිරිනිවන් පෑ සේක. ලුම්බිණිය නම් ශුද්ධ භූමිය ශතවර්ෂ ගණනාවක් ජනතාවගේ අවධානයෙන් ගිලිහී පැවැති අතර නැවත අති ශුද්ධ පූජා භූමියක් බවට පත්වූයේ ක්‍රි.පූ. 03 වැනි සියවස අශෝක අධිරාජ්‍යයා සිය ගුරුවරයා වූ උපගුප්ත හිමියන් ද මහා මොග්ගලී පුත්ත තිස්ස හිමි, පාඨලි පුත්‍ර නගරයේ එම වකවානුවේදීම අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් පැවැති තෙවැනි බෞද්ධ සංගායනාවේ සභාපති අශෝක රජුගේ දුව වන චාරුමතී සමග නේපාලයට වන්දනා ගමනක යෙදුණි. එහිදී චාරුමති නේපාල ප්‍රභූවරයෙකු සමඟ විවාහ වී නේපාලයේම රැඳිණ.
එම වන්දනාවේදී අශෝක රජතුමා ලුම්බිණියේ මතු දැක්වෙන ශිලා ලේඛනය සහිත අශෝක කුළුණක් ඉදිකරන ලදී. දේවානම්පි‍්‍රය පි‍්‍රය දර්ශීන් අභිෂේකයට අනතුරුව විසි වැනි වර්ෂයේදී මෙහි පැමිණ බුද්ධ ශාක්‍යමුනි උපත ලද මෙම ස්ථානය බැවින් වැඳ පුදා ගනු ලැබීය. ඔහු අශ්වරූපයක් මුදුනත සහිත ශෛලමය කුළුණක් මෙහි ඉදිකරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහි උපත ලද බැව් සනිටුහන් කිරීමය. ඔහු ලුම්බිණි නමැති මෙම ග්‍රාමය අය බදු වලින් නිදහස් කළ අතර ඔවුනට ගෙවීම නියම කළේ තම භෝග වලින් අටෙන් එකක් පමණක් ය. (Epigraphia Indica) භාග්‍යවතුන් වහන්සේ නිශ්චය ලෙසම උපත ලද ස්ථානය කැනීම් වලදී පාද සටහනක් සහිත ගල් ලෑල්ලක් වර්තමාන මායාදේවි විහාරයේ මතුපිට පොළොවෙන් අඩි 15 ක් පමණ යට තිබී හමුවූ අතර එය දැනට මායාදේවි විහාරයේ ඇතුළත ප්‍රදක්‍ෂිණ පාතයේ සිට එය පහළින් ඇති එම ස්ථානය වැඳ පුදාගත හැකි ය.
තවද මෙම වන්දනා ගමනේ දී අශෝකරජතුමා සිය අංක 01 කුළුණේ ලේඛනයේ මෙසේ සඳහන් කරයි.” කෝනාගමණ බුදුන්ගේ ස්තූපය සිය අභිෂේකයෙන් අවුරුදු දහ හතරකට පසු එම ස්තූපයේ ප්‍රමාණය දෙගුණයකට විශාල කරන ලදී.” (ඡ්නඪඨපචනඩඪච ධ්දඤඪජච)තවද අශෝක රජතුමා නේපාලයේ ස්තූප තුනක් ද ගොඩනගන ලදී.
දැනට ලුම්බිණි අශෝක කුළුණ මත අශ්ව රූපය නොමැති අතර පසු කාලයකදී එහි පැමිණි බටහිර නේපාලයේ රජතුමකු වූ රිපූ මල්ල එම කුළුණේ අශෝක සෙල් ලිපියට පහළින් මෙම වැකිය යොදා ඇත. “ඕම් මනි පද්මේ හූම් ශ්‍රී රිපූ මල්ල චිරම් ජයතු” (රිපුමල්ලට චිරාගත ජය - ශාක්‍යමුනි පාදය වන්දනා කරමි) ලුම්බිණියට වන්දනාවට පැමිණි අන්තිම රජතුමා එතුමා වේ.
මෙම ලේඛකයා ලුම්බිණි සංවර්ධන අධිකාරියේ ප්‍රධාන පුරාවිද්‍යාඥ බසනත් බිදාරි මයා සමග කළ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළ සිටියේ 1893 දී භාරතයේ උත්තර් ප්‍රදේශ් ශ්‍රාවස්තිය අසල බල්රාමුපූර් පාලක ජස්කරන් සිං. එක්තරා ඉන්දීය ඉංගී‍්‍රසි පුවත්පතක තමා අශෝක සෙල් ලිපියක් සහිත අශෝක කුළුණක් ලුම්බිණියේ දුටු බවකි. මෙම ප්‍රවෘත්තිය ගැන පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු වූ අතර පල්පේ ප්‍රදේශයේ ආණ්ඩුකාර කඩ්ග සම්සීර් රනා සහ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥ (ඉන්දියාවේ නැගෙනහිර කැනීම් වල යෙදුනු) ආචාර්ය ඇන්ටන් පියරේතුමා ලුම්බිණිය කැනීම් වල යෙදුණි. ඉක්බිතිව ප්‍රධානතම පුරා විද්‍යාඥයන් වූ පී. සී. මූකර්ජී (1899). ජනරාල් කයිසර් සම්සීර් ජේ. බී. ආර් (1933 - 39) සහ දෙබාලා මිත්‍ර මිය (1962) ලුම්බිණි කැනීම්, හඳුනාගැනීම් හා ලේඛනගත කිරීම් වල නිරත වූහ. එම කැනීම් වලදී මායාදේවි විහාරයෙන් පාද සටහන් සහිත ගල් පුවරුව, සිදුහත් කුමරු උපත රැගත් මූර්තිය , රන් කරඬුවක්, මනුෂ්‍ය ඇටකැබලි යනාදී පුරාවිද්‍යා වස්තුන් ලබා ගැනීමට හැකිවිය.
එම මූලික ගවේෂණ වලින් පසුවද කාලයාගේ අඳුරු වලා පටලයෙන් ලුම්බිණිය ආවරණය විය. එනමුත් භාග්‍යයකට මෙන් 1956 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පරලොව සැපත් නේපාලයේ මහේන්ද්‍ර රජතුමා ලුම්බිණියට සැපත්වූ අතර ලුම්බිණි සංවර්ධන සැලසුම් සැකසීමට ඔහු නියෝග කරන ලදී. ඉක්බිතිව 1967 දී බුරුම ජාතික බෞද්ධයකු වූ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් යූ. බෙන්ට් මැතිතුමා ලුම්බිණියට පැමිණි අතර, ලුම්බිණිය බොදු පුද බිමක් බවට පත්කිරීමට ජපන් ජාතික මහාචාර්ය කන්සෝ ටැන්ගෝ මැතිතුමා විසින් සකසන ලද අති විශාල සැලස්මක් අනුව නේපාල රජය 1978 සිට ක්‍රියා කළ අතර 1986 දී ලුම්බිණි සංවර්ධන භාරකාරත්වය 1986 දී පිහිටුවන ලදී. ( Lumbini Development Trust ) දැනට ලුම්බිණිය එම රාජ්‍ය සංවිධානය පාලනය හා සංවර්ධනය සිදුකරන අතර වන්දනා පිරිස් ස්ථානයට පිවිසීමට මුදලක් ගෙවිය යුතු අතර එම අරමුදල් පූර්ණයෙන්ම සංවර්ධන කටයුතුවලට යොමු වෙති.
ලුම්බිණියේ අශෝක කුළුණට අමතරව ඉතාම වැදගත් ස්ථානය දැනට ජපන් ආධාර මත නිම කර ඇති අලංකෘත මායාදේවි විහාරය සහ මහාමායා දේවිය ස්නානය කළ පොකුණයි. මායාදේවි විහාර භූ®මිය කැනීම් වලදී ශතවර්ෂ ගණනාවක් තුළ නිර්මාණය වූ විහාර අත්තිවාරම් ක්‍රි.පූ. 3 වැනි සියවස සිට ක්‍රි.ව. 7 වැනි සියවස දක්වා හෙළිකර ගැනීමටද හැකිවිය. පසුව විහාරය නැවත ගොඩනගා නේපාලයේ රජු ගයනේන්ද්‍ර බීර් වික්රම් සභා දේව් විසින් 2003 දී උත්සවස්ශ්‍රීයෙන් විවෘත කරවන ලදී.
ලුම්බිණිය ගැන සුවිශේෂි විස්තර ලබාගත හැක්කේ චීන ජාතික දේශාටනයේ යෙදුණු භික්ෂූන් වහන්සේලා වන සැං සායි (ක්‍රි.ව. 4 වැනි සියවස) පාහියං (ක්‍රි.ව. 5 වැනි සියවස) සහ හියුං සෑං (ක්‍රි.ව. 7 වැනි සියවස) දැනට පළකර ඇති දේශාටන වාර්තා අනුසාරයෙනි. පාහියං හිමියන් සිය ඒ A Record of Buddhist Kingdoms නමැති සිය කෘතියේ මහාමායා දේවිය දරු උපතට පෙර ස්නානය කළ පොකුණ දුටු බවත් මායාදේවි විහාරයේ භික්ෂූන් වහන්සේලා පානයට එම පොකුණෙන් ජලය ලබාගත් බැව් දුටුබැව් සඳහන් කරයි. හියුං සෑං හිමියන් සිය Si - Yu- Ki Buddhist Records of the Western World  (ක්‍රි.ව. 7 වැනි සියවස) තමා ඉතා දීප්තිමත් පිරිසුදු ජලය සහිත පොකුණ දුටු බවත් ස්තූප විශාල සංඛ්‍යාවක් ද අශ්ව රූපයක් මුදුනක් සහිත අශෝක කුළුණ ලුම්බිණියේදී දුටුබවත් වාර්තා කරයි. අභාග්‍යයකට මෙන් ස්තූපයැයි විශ්වාස කළ හැකි පස් ගොඩවල් ලුම්බිණියේ තැනින් තැන ඇති නමුත් ලුම්බිණිය අවට එම පස් ගොඩවල් කැනීම් සිදුකිරීමක් අරඹා නොමැත.
රොහාන් එල්. ජයතිලක
නේපාලයේ සිට