උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

උඩරට රාජධානියටත් වඩා පැරණි අස්ගිරි මහා විහාරයට සත් සියවසයි

මහනුවර යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර වාරිය‍පොළ ශ්‍රී සුමංගල මාවතේ ගමන් කළ විට අප පිවිසෙන්නේ මහනුවර රාජධානියටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන පූජනීය විහාර සංකීර්ණයකටය. ඒ අස්ගිරි විහාරයයි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මූලස්ථානය පිහිටා ඇත්තේ මෙම විහාරයේය. මෙම පුදසුන විහාර කිහිපයකින් සැදුම් ලත් විහාර සංකීර්ණයකි. එහෙත් මහනුවරට පැමිණෙන වන්දනාකරුවන් සහ සංචාරකයන් අතරින් මෙතරම් ශාසනික හා ඓතිහාසික මෙහෙවරක් ඉටු කළ මෙම පුදබිම දැකබලා ගැනීමට යන්නේ කලාතුරකින් කෙනෙකි. අස්ගිරි විහාරයේ ආරම්භය කුරුණෑගල රජ පැමිණි හතර වන පරාක්‍රමබාහු (1312-1335)  රජ දවස දක්වා දිවෙන බව ඉතිහාසයෙන් පැවැසේ. ඒ රජුගේ බෑණනුවන් වූ සිරිවර්ධන සේනාධිපති විසින් අස්ගිරි විහාරය ඉදිකළ බව අස්ගිරි තල්පත නම් පැරණි ‍ලේඛනයේ සඳහන්ය. සිරිවර්ධන සේනාධිපති සෙංකඩගල නුවර බලකොටුවක් බැඳ නව නගරය ශ්‍රී සෙංඛණ්ඩ ෙශෙලාභිධාන වර්ධන පුරය නමින් හඳුන්වා නගරයේ සම්පූර්ණවීම සඳහා ආරණ්‍ය සේනාසනයක්ද කරවා ඇත. එම ආරණ්‍ය සේනාසනය නගරයේ උතුරු හෝරා වාහල්කඩට නුදුරුව ඉදිකර තිබේ. එම ස්ථානය දැනට ත්‍රිත්ව විද්‍යාලය සහ රාම විහාරය පිහිටා ඇති උඩවත්ත කැ‍ලේ භූමි භාගයෙහි පිහිටා තිබුණි. සියලු අංගයන්ගෙන් පරිපූර්ණ මෙම ආරණ්‍යයට භික්ෂූන් ලබාදෙන ලෙස ඔහු හතර වන පරාක්‍රමබාහු රජුගෙන් ඉල්ලා ඇත. ඉතා ප්‍රසාදයට පත් රජු යාපහු නුවර අච්චගිරි (වලස්ගල)  සෙනසුණෙන් ප්‍රධාන සද්ධිවිහාරික මහ තෙරුන් පස් නමක්ද එක් සාමණේර නමක් ද සිරිවර්ධන සෙංකඩගල පුරයට වැඩම කර ක්‍රි.ව. 1312 (බුද්ධ වර්ෂ 1855) වෙසක් මස මැද ‍පොහෝ දිනයෙහි සීමා සම්මත කොට ආරණ්‍ය සේනාසනය පූජා කරන ලදී. ඒ අනුව මේ වන විට අස්ගිරි විහාරය සියවස් හතක් තිස්සේ උඩරටට ධර්ම ශාසනික සේවාවක් ඉටුකර ඇත.

ඊට පසුව අස්ගිරියේ වැඩි දියුණුවට කටයුතු කළ බව දැක්වෙන්නේ ක්‍රි.ව. 1354 (බු.ව. 1897)දී ගම්පළ රජ වූ තුන්වන වික්‍රමබාහු රජුය. ඔහු උඩවාසල වත්තේ මංකඩද අස්ගිරි සේනාසනය වෙන් කළ කුමාර බැම්ම ද ඇතුළු සතර කඩයිම් තුළ සීමා පවුරු කරවා සුන්බුන් හරවා ස්වකීය මව් දේවිය සඳහා මාලිගාවක්ද ඒ ළඟ ටැම්පිට පිළිම ගෙයක්ද කරවා ඇති අතර එම පිළිම ගෙය තලගහ මුල කරවූ නිසා තලගහමුල විහාරය නමින් ප්‍රසිද්ධ විය.

අස්ගිරි විහාරයේ ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ කීර්ති ශ්‍රී රාජසිංහගෙන් පසුව මහනුවර රජ කළ බොහෝ නායක්කර් රජවරු මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බවයි. එමෙන්ම වියවුල් කාලවලදී දන්ත ධාතුන් වහන්සේට රැකවරණය ලබාදීමටද අස්ගිරියේ භික්ෂූන් වහන්සේ කැපවී ක්‍රියාකර ඇත. 1815 දී ඉංග්‍රීසි සමග උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි ධජය එසවීමට ක්‍රියා කරද්දී එය ගලවා දමා සිංහල ධජය එසවූයේ අස්ගිරි පාර්ශ්වයට අයත් වාරිය‍පොළ ශ්‍රී සුමංගල හිමි විසිනි. 1818 දී දන්ත ධාතුන් වහන්සේ සඟවාගෙන ගොස් එය කැප්පෙටි‍පොළ දිසාව භාරයට පත් කරන ලද්දේ මේ හිමි බව සඳහන්ය. උඩරට ගිවිසුමෙන් පසු 1815 මාර්තු 10 දා  ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අස්ගිරි විහාරයේ නායක ධුරයට මාවතගම නායක උන්නාන්සේ සහ අනුනායක පදවියට තුඹගොඩ උන්නාන්සේ පත්කර ඇත.

අස්ගිරි විහාර සංකීර්ණය විහාරස්ථාන කිහිපයකින් යුක්තය.  එනම්, අස්ගිරි ගෙඩිගේ විහාරය සහ ආදාහන මළුව, හයගිරි විජයසුන්දරාරාමය (පැරණි විහාරය සහ අලුත් විහාරය), මැද පන්සල, පහළ පන්සල, මහා විහාරය වේ.

හයගිරි විජයසුන්දරාරාමය
සියම් උපසම්පදාවෙන් පසු සංඝරාජ හිමියන් විසින් සියම් භික්ෂූන් උදෙසා මෙහි සීමාවක් ඉදිකෙරුණි. එහෙත් අස්ගිරි විහාරයේ උපසම්පදා විනය කර්මය ආරම්භ කර ඇත්තේ ඉන් 12 වසරකට පසු 1765දීය. ඊට පසු වාර්ෂික උපසම්පදා උත්සවය පවත්වා ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජ කල සියම් උපාලි හිමියන් පැමිණ සිදුකළ උපසම්පදාවේදී උපසම්පදාවට පත් කළ දෙවැනි යතිවරයා වූයේ උරුලෑවත්තේ ධම්මසිද්ධි හෙරුණුන් වේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ හතර කෝරළේ දිසාපති පදවිය දැරූ පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා මහ නිලමේ විසින් බහිරව කන්ද පාමුල නියඳගල හේනේ බස්නාහිර දිසාවෙන් ඉදිකර වූ මේ විහාරය උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියන්ට පූජා කර ඇත. එවක පටන් මේ විහාරය විජයසුන්දරාරාමය නම් විය.
මෙම කුඩා විහාරය අඩි 3ක් පමණ උස කළුගල් පීඨිකාවක් මත ඉදිකර තිබේ. එය දිගින් අඩි 27 අඟල් 7ක්ද, පළලින් අඩි 13 අඟල් 7ක්ද වේ.  විහාර පියස්ස මහනුවර යුගයේ ආකාරයට කොත් දෙකකින් යුක්තව පෙති උලු සෙවිලි කිරීමෙන් තනා ඇත. විහාර ගර්භය තුළ මකර තොරණ යට හිඳි බුද්ධ ප්‍රතිමාවකි. මෙම මකර තොරණ ඉතා අලංකාරවත්ය. මකර තොරණට ඉහළින් දේව රූපය. ඒ අතර නාථ දේව ප්‍රතිමාවක් සහ සමන් දේව ප්‍රතිමාවක්ද වේ. විහාර වියන ද සිත්තම්වලින් යුක්තය. සූවිසි විවරණය මෙහි ඇති සිතුවමකි. මෙම චිත්‍ර කරවා ඇත්තේ දැනට සියවසකට පමණ පෙර ගලගෙදර ගුණරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
විජයසුන්දරාරාම භූමියේ පැරණි ‍පෝය සීමාව (උ‍පෝසථඝරය)
සංඝරාජ සාධු චාරියාවේ සඳහන් අයුරින් මල්වතු විහාරයේ ‍පෝය සීමාව නියම කිරීමෙන් පසු මෙහි ‍පෝය සීමා නියම කර ඇත. මෙය ඉදිකරවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ පිළිමතලව්වේ දිසාව විසින් බව පැවැසේ. ශිලාමය පීඨිකාවක් මත ඉදිකළ සෘජුකෝණාස්‍ර ශාලාවකි. 
ජරාවාස වී පැවැති මෙම ගොඩනැගිල්ල මෑතකදී සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කෙරුණි.
අලුත් විහාරය
පරණ විහාරය අසලම දැකගත හැකිය. මෙය තරමක් විශාල ගොඩනැගිල්ලකි. මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් අගනුවර ඉදිකළ අවසාන විහාර ගොඩනැගිල්ල වශයෙන් වැදගත්ය. ගංගාරාම විහාරයේ මෙන් මෙහිදී විහාරයේ පසුපස බිත්තිය ස්වභාවික ගල් පර්වතයකට සම්බන්ධ කර තිබේ.
මෙම විහාර කර්මාන්තය පිළිබඳව දළදා විත්තිය නම් පුස්කොළ ‍පොතේ මෙසේ සඳහන් වේ. බයගිරි විහාරයෙහි අභිනව කරවන ලද දිග වඩු තෙවිසිරියන් පුළල නවරියන්, උස සත්රියන් සිලාමය භික්ති ස්කම්භ සහිත දැව පරාල පන්තිකා උළු වවෛනි ආදීන් විසිතුරු  කොට කළ ප්‍රතිමාගෘහයෙහි පශ්චිම දිගින් ගේ දිගට බැඳී පද්මාසනේ පිට සිංහ සේ‍යාවෙන් සැතපෙන ඉරියව්වට ෂලක්ෂණ කොට කළ ෙශෙලමට බුදුරුව ඇතුළුව හුන් හොත් සිටි පිළිම දසනමක් හා මෛත්‍රී නාථ දෙවිවරු දෙනම දෙවියන් භික්ති සිතුවම් ආදියට සූවිසිවිවරණය හා සත්සතිය ද ආදී වශයෙනි (දළදා විත්තිය සංස්: පුංචි බණ්ඩාර සන්නස්ගල පිට 5)
1955 දී පමණ ඒ වන විට අබලන්ව පැවති විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරවා ඇත්තේ යටවත්තේ ධම්මදින්න හිමියන්ගේ  මූලිකත්වයෙනි. මෙම පිළිසකර කිරීමේ දී පුරාවිද්‍යා  මූලධර්මවලින් බැහැරව පැරණි දුර්වර්ණ වූ බිතුසිතුවම් යළිත් ප්‍රතිනිර්මාණය කිරීම නිසා ඒවායේ පෞරාණික වටිනාකම අහෝසි වී තිබේ. පරණ විහාරය හා සසඳන විට විශාලත්වයෙන් වැඩි මෙම විහාර ගොඩනැගිල්ල මහනුවර යුගයේ අවසාන භාගයේ ලක්ෂණ පළ කරයි. දේශීය ලක්ෂණවලට වඩා  විදේශීය ලක්ෂණවල බලපෑම පෙන්නුම් කරයි. ග්‍රීක රෝම ලක්ෂණ පළ කරමින් උසින් වැඩි කැටයම් රහිත හතරැස් කුළුණු විහාරය වටා ප්‍රදක්ෂිණා පථයේ ඉදිකර තිබේ.
විජයසුන්දරාරාම විහාරයේ ඇති පුරාවස්තු අතර පැරණි දැව පුටුව වැදගත් වේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙහි පැමිණි විට හිඳගත් පුටුව සේ සැලකේ. පැරණි පුස්කොළ ‍පොත් රැසක් ද මෙහි දැකගත හැකිය.
මෙම විහාරය පූජා කරන ලද්දේ උරුලෑවත්තේ සංඝ පරපුරට ය. විහාරය වටා ගොඩ මඩ ඉඩම් පූජා කිරීම පිළිබඳව ගල් සන්නසේ සඳහන් වේ. මෙම සන්නස විහාරයට බටහිර  පැත්තේ ඇති බිත්තියේ (විහාරයේ පිටුපස කොටසේ) දැකගත හැකිය. විජය සුන්දරාරාම විහාරය අස්ගිරි මහා නායක පාර්ශ්වයෙන් පාලනය වේ.
මැද පන්සල
විජයසුන්දරාරාමයේ සිට මහනුවර දෙසට එන විට මාර්ගයේ වම්පස මැද පන්සල පිහිටා තිබේ. එය අයත් වන්නේ හිඳවලුගොඩ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරටය. මුංවත්තේ දිසාව විසින් මෙය ඉදිකරවා ඇත. මෙහි විහාර මන්දිරයේ හිඳි බුද්ධ ප්‍රතිමාවකි. ඒ දෙපස නාථ සහ සමන් දේව ප්‍රතිමාය.
පහළ පන්සල
මැද පන්ස‍ලේ සිට මහනුවර දෙසට එන විට ශ්‍රී සුමංගල මාවත ආරම්භයේ පිහිටි ගාමිණී දිසානායක මාවතේ මඳ දුරක් යන විට මෙම විහාරය හමුවේ. අස්ගිරි පාර්ශ්වයේ උපසම්පදාව  සිදු කරන සීමා මාලකය පිහිටා ඇත්තේ මෙහිය. එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහනායක  හිමියන්ගේ ආරාමයද මෙම භූමියේ පිහිටියේය. රාජාධිරාජසිංහ රජ සමයේ මහනුවර මහා මාර්ග සෘජු කරන විට විහාරයේ පැරණි ගොඩනැගිලි කඩා දැමීමට සිදුව ඇත. ඒ සමග නව විහාරස්ථානය එවකට උඩමඩ ‍පොත නමින් හැඳින් වූ මෙම භූමියේ ඉදිකෙරුණ බව පැවැසේ.
අස්ගිරිය ගෙඩිගේ විහාරය
මහනුවර නගරයේ පිහිටි අස්ගිරිය ගෙඩිගේ විහාරය මහනුවර නාථ දේවාල ගොඩනැගිල්ල හැරුණ විට ඇති දෙවැනි පැරණිතම ගොඩනැගිල්ල වශයෙන් වැදගත් වේ. මෙම විහාරය  ආරම්භය ගම්පල යුගය දක්වා දිව යයි. ගම්‍පොළ යුගයේ රජ කළ තුන්වන වික්‍රමබාහු රජු (1356-1374) සිය මව වූ චන්ද්‍රවතී දේවිය වෙනුවෙන් මෙම විහාරය ඉදිකළ බව ජන විශ්වාසයයි. ඒ නිසා චන්ද්‍රවතී විහාරය යන නමද මේ දක්වා භාවිත වේ.
මෙම විහාරය ගෙඩිගේ නමින් හඳුන්වන්නේ එය ඉදිකර තිබෙන්නේ ගෙඩිගේ සම්ප්‍රදායය අනුව නිසාය. කළුගල් කුට්ටි උපයෝගි කරගෙන පියස්ස ද කලුගලින් ම වන සේ තැනීම ගෙඩිගේ සම්ප්‍රදායයි. මෙම ගොඩනැගිල්ල පැත්තක දඟ අඩි 21 ක් බැගින් වූ සමචතුරස්‍රාකාර ස්වරූපයක් ගනී. ගර්භයේ සිට ඉදිරියට නෙරාගිය කොටස දිගින් අඩි 14 ක් සහ පළලින් අඩි 10 කි. ගර්භ ගෘහය ඇතුළතින් පැත්ක දිග අඩි 12කි. ඉදිරිපස ප්‍රවේශවීමේ මණ්ඩපය ඇතුළතින් අඩි 7 1/2 ක් දිග සහ පළලින් අඩි 6 1/2 ක් වේ. ගොඩනැගිල්ල ශිඛරය දක්වා උසින් අඩි 35 කි. මෙම ගොඩනැගිල්ලට පිටතින් නිර්මාණය කර ඇති ව්‍යාජ කුලුණු සහ බොරදම් මෝස්තර ගඩලාදෙණිය ප්‍රතිමා ගෘහයට සැමතින් ම සමානය. ගෙඩිගේ කොටසට ඉහළින්  පසුකාලීනව තැනූ පියස්සක්ද, ඉදිරියෙන් ඉදිකළ දැව කැටයම් කුලුණු සහිත දික්ගේ මණ්ඩපයකින් ද විහාරය සමන්විතය. විහාර මන්දිරය පිහිටා ඇත්තේ ගෙඩිගේ කොටසේය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සියමෙන් මෙරටට උපසම්පදාව රැගෙන ආ උපාලි මහතෙරුන් වහන්සේගේ ආදාහන කටයුතු සිදු කර ඇත්තේ ද මෙහිදීය. දැනට උන්වහන්සේ ස්මරණය පිණිස තායිලන්තයේ අනුග්‍රහයෙන් කළුගල් ස්මාරකයක් තනවා ඇත.
අතීතය හෙළිදරව් කරමින් මෙහි තිබූ රාජකීය ආදාහන මළුවේ සොහොන් කොත් කිසිවක් අද දැකගත නොහැකි පරිදි විනාශ වී ඇත. ඉංග්‍රීසි පාලන සමයේ දී නොසැලකිල්ල නිසා ඒවා කොල්කරුවන් විසින් කඩා බිඳ දමා ඇති බව සඳහන් වේ. 1878 දී ආදාහන මලුව යටින් මාත‍ලේ  දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ දී උමං මඟක් ඉදි වූ අතර එහිදී අවසාන සොහොන් කොත් කිහිපය ද වනසනු ලැබුණි. ඉංග්‍රීසිහු තම නිලධාරීන්ගේ සොහොන් මහනුවර ගැරිසන් සුසාන  භූමියේ  ආරක්ෂා කරන අතර (අද පවා දැකගත හැකි අයුරින්) මෙලෙස අපේ අතීතය විනාශ කිරීම හිතාමතා කළ එකක් බව පෙනේ.
විහාරයේ ප්‍රතිමා ගෘහය තුළ කලාත්මක මකර තොරණක් යට තිබෙන කුඩා බුද්ධ ප්‍රතිමාව කළුගලින් නිමකර බදාම ආ‍ලේප කළ එකකි. බිත්තිවල මහරහත් රූප සහ මල් මෝස්තර ආදී බිතුසිතුවම් කිහිපයකි. ඒ අතරින් දොරටුව අසල ඇති වික්‍රමබාහු රජුගේ රූපය වැදගත්ය. විහාර ද්වාරය අලංකාර මකර තොරණක් සහිතය. දෙපස ගජසිංහ දොරටුපාල රූප දෙකකි.
නගරය තුළ පිහිටා ඇති නිසා විහාරය වටාම දක්නට ලැබෙන්නේ තදබදයෙන් යුත් වටපිටාවකි. විහාර භූමිය තුළ ද පෞරාණිකත්වයට හානි වන පරිදි අනවශ්‍ය ලෙස අලුතෙන් ගොඩනැගිලි ඉදිකර තිබේ.
වත්මන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ මූලිකත්වයෙන් අස්ගිරි විහාරය අදත් ධර්ම ශාස්ත්‍රිය ඥානය පතුරුවන මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියා කරයි.

2012 මැයි 23 වෙනි බදාදා, ලක්බිම කුසුම්සිරි විජයවර්ධන




ශ්‍රී ලාංකික ථෙරවාදී භික්ෂු පරපුරේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය අවුරුදු හත්සීයක ඉතිහාසයකට හිමිකම් කියයි.
මේ විහාර ඉතිහාසය අනුරාධපුර යුගයේ ආරම්භය තෙක් දිවයයි. ථූපාරාම මහා විහාර භික්ෂු පරපුරෙන් මෙය පැවත එන බව ඉතිහාස ගත සාධක මත සනාථ වේ. ඉන් අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ද යාපහුවේ වලස්ගල ආරණ්‍ය සේනාසනය ද පලාබද්දල ආරණ්‍ය සේනාසනය ද හා වත්මන් සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරය දක්වා අඛණ්ඩව ඉදිරිට ගමන් කැර ඇත.

ගෙඩිගේ විහාරයේ විහාර මන්දිරය

එම භික්ෂු පරපුර විසින් ග්‍රන්ථ ධූරයට මෙන්ම විදර්ශනා ධූරයට ද ප්‍රමුඛස්ථානය ලබාදී තිබේ. භික්‍ෂුවකගේ භික්ෂූත්වය ආරක්‍ෂා කිරීම සඳහා සිංහල පාලි සංස්කෘත භාෂාවන්ට අමතරව දෙමළ හින්දි බුද්ධාගම තර්ක ශාස්ත්‍රය දර්ශනය ආදි විවිධ විෂයන් ඔස්සේ සිදු කළ ශාස්ත්‍රි පර්යේෂණ ග්‍රන්ථ කරණය කටයුතු සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන් අවස්ථා ගණන අපමණ ය. ඊට සමගාමීව අධ්‍යයන හා අධ්‍යාපන කටයුතු ද පිරිවෙනේ කේන්ද්‍රස්ථානය තබා ගෙන සාර්ථක අයුරින් ඉෂ්ඨ සිද්ධ කළ බව ලේඛණගතව තිබේ.
මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ වැඩ සිට අපවත් වී වදාළ භාෂා විශාරද දිඹුලාගල මහා කාශ්‍යප නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ව්‍යාප්ත වූ අස්ගිරි (අච්ඡගිරි) මහා විහාර සඟ පරපුර එදා ඒ යුගයේ ආගමික සාමාජික මෙහෙවර අතිශයෙන්ම මහා වෘක්ෂයක් සේ ව්‍යාප්ත වූහ.
වරින් වර පැන නැගුණු සතුරු ආක්‍රමණ මධ්‍යයේ සෙංකඩගලපුර උඩවාල වත්ත මූලස්ථානය තබා ගෙන ඉදි කළ රාම මහා විහාරය අස්ගිරි විහාරය විය. කාලයාගේ ඇවෑමෙන් එය නටබුන් බවට පත්විය. එය පසුව සෙංකඩගලපුර ආදාහන මළුව, ගෙඩිගේ විහාරය හා අස්ගිරි විජයසුන්දරාරාම මහා විහාරය දෙක ආශි‍්‍රතව පුණ්‍ය භූමියක් සේ ස්ථාපිත විය. එකළ භික්ෂුවගේ භික්ෂූත්ව මෙන්ම සඟ පරපුරේ පරිහානිය කරා ගමන් කරන ලක්ක්‍ෂණ පහළ වූ බව පැවැසේ.
ඒ යුගයේ උපසම්පදා ලාභී භික්ෂූවක් සොයා ගැනීම දුෂ්කර කාර්යක් බවට පත්විය. එය මහනුවර යුගයේ ආරම්භයත් සමඟ සිදු වූවකි. ක්‍රිස්තු වර්ෂ 1687 සිට 1707 දක්වා සෙංකඩගල පුර රජ පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජු යැවූ ධර්මදූත පිරිස සියමේ රක්ඛංග දේශයට ගොස් උපසම්පදාලාභී භික්ෂූන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහ. එම පිරිස පළමු උපසම්පදා විනය කර්මය පේරාදෙණිය ගැටඹේ මහවැලි ගංතෙර කේන්ද්‍රීය කැරගෙන සිදු කළ බව සඳහන් වේ.
එකළ ජාතියේ පිනට පහළ වූ අපවත් වී වදාළ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිගේ ඉල්ලීම පරිදි රාජ අනුග්‍රහය ඇතිව මහනුවර පෝයමළු විහාරය (මල්වත්ත) පළමු පෝය සීමා මාලකයේදී සියම් රටේ උපාලි මහා ස්වාමින්ද්‍රයාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කළහ.
එකළ අස්ගිරි මහා විහාර සඟපරපුර නියෝජනය කළ නාවින්නේ නාහිමියෝ පළමු අධිශීල සංඛ්‍යාත උපසම්පදාලාභී භික්ෂුව බවට පත්වූහ.

මහනුවර යුගයේ සිතුවමක්
සියම් දේශයේ උපාලි හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි ගෙඩිගේ විහාරස්ථ බද්ධ සීමා මාලකයේදි අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සඟරුවනගේ උපසම්පදා විනය කර්ම පසුව සිදු කළ බව සඳහන්වේ. ඊට අමතරව අස්ගිරි විජය සුන්දරාරාමය ආශි‍්‍රත පිහිටි නව පෝය සීමාමාලකයේදී උපසම්පදා විනය කර්ම වරින්වර සිදු කැර තිබේ.
වර්තමානයේද දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන විහාර ස්ථානයන්හි සාමණේර භික්ෂූන් ගේ උපසම්පදා විනය කටයුතු මේ පෝය සීමාමාලකයේ දී සිදුවේ.
පෞරාණික විහාරංගයන් ගෙන් පරිපූර්ණ විහාර මන්දිර දෙකක් අස්ගිරි විහාර භූ®මිය කේන්ද්‍රීය කැරගෙන පවතියි. එය ගෙඩිගේ විහාර (ආදාහනමළුව) හා අස්ගිරි විජේසුන්දරාරාම විහාරය වේ. එහි ඇති විශේෂත්වය ඉන්දීය ආභාෂය ලත් ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම අනුගමනය කළ දැකුම්කළු විහාරය මන්දිරයක් නිමවීමය. විජේසුන්දරාමස්ථ පැරැණි විහාරයේ චිත්‍ර නිර්මාණ හා ශිලා ලේඛණ මහනුවර යුගයට හිමිකම් කියයි.
දන්ත ධාතුන් වහන්සේ සමග බැඳුණ සුවිශේෂී සම්බන්ධතා රැසක්ම අස්ගිරි මහා විහාර සඟපරපුර අතර ප්‍රචලිත ය. එදා රත්නපුර කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරස්ථානයේ වැඩ සිටි දන්තධාතුන් වහන්සේ මහනුවරට වැඩම කැරගෙන විත් ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර අස්ගිරි මහා විහාර පූජා භූමියේ තැන්පත් කැර තේවා කටයුතු සිදු කළ බව සඳහන් වේ.
එම සුවිශේෂ සිදුවීම සිහි කැඳවමින් අදත් ඇසළ පෙරහැරේ වැඩම කැරුවණු ලබන දළදා කරඬුව අස්ගිරි ගෙඩිගේ විහාරය මන්දිරයේ තැන්පත් කැර ආගමික වතාවත් අස්ගිරි විහාර වාසි මහා සඟරුවන විසින් දිගු කාලයක සිටම සිදු කැරති.
ඈත අතීතයේ පරසතුරන් කන්ද උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී දන්තු ධාතුන් වහන්සේ බේරා ගැනීම සඳහා අපවත් වී වදාළ වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියෝ දන්තධාතුන් වහන්සේ රැගෙන වනගත වූහ.එසේම 1815 දී ඉංගී‍්‍රසි කොඩිය මහනුවර මහ මළුවේ ඔසවා තැබීමට තැත් කළ මොහොතේ ඊට එරෙහි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියෝ ජාතික කොඩිය ඔසවා අස්ගිරි මහා විහාර සගපරපුරේ වීරත්වය විදහා දැක්වූහ.

අස්ගිරි මහා විහාර උපෝසථාගාරය

වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ අළුවිහාරයේ සඟ පරපුර අස්ගිරි විහාරය ගනයට අයත් වේ.
පොළොන්නරු යුගයේ කථිකාවත සංස්කරණය කළ දිඹුලාගල මහ කාශ්‍යප මාහිමියෝද දඹදෙණි කථිකාවත සැකසු දිඹුලාගල මේධංකර නා හිමියෝද මේ ගනයට අයත් වූහ.
ඉතිහාස පුරා විද්‍යාත්මක වටිනාකමින් සැදුම් ලත් පෞරාණික රාජ මහා විහාරස්ථාන 4800 ක් පමණ විහාර විශාල සංඛ්‍යාවක් අස්ගිරි මහ විහාරය සතුවේ.
ඊට අමතරව රටේ සෑම ප්‍රදේශයකම මෙයට අයත් විහාර රාශියක් තිබේ.
සිංහල රජ දවස සිට මේ දක්වා අස්ගිරි මහා විහාරයට රාජ්‍ය අනුග්‍රහය අඛණ්ඩව හිමිවි තිබීම මහඟු ආශිර්වාදයකි.එදා රාජසිංහ රාජ්‍ය සමයේ ආරම්භ කළ විංශත් වර්ගික කාරක සංඝ සභාව අදත් ඒ අයුරින් ක්‍රියාත්මක වේ. රාජ්‍ය අනුග්‍රහය ඇති මහා නායක අනුනායක පදවි ප්‍රාප්තිය පත්වීමේ උත්සව සංවිධානය හා සන්තස් පත්‍ර ප්‍රදානය රාජ්‍ය නායකයාගේ සහභාගිත්වය සිදුවේ.
පළාත් බද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නායක පදවි විංශත් වර්ගික කාරක සංඝ සභාවේ පූර්ණ අනුමැතිය ඇතිව වරින්වර ප්‍රදානය කෙරේ. විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයට අවවාද අනුශාසනා කිරීමට හා ආශිර්වාද කිරීමට මහා විහාර මහ නායක අනුනායක මාහිමිවරු නිරන්තරයෙන්ම කැපවී සිටිති.
අස්ගිරි මහා විහාර මහා නායක පදවියෙන් පිදුම් ලබන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශි‍්‍ර ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත භිධාන මහානායක හිමියෝ දෙස් විදෙස් ගිහි පැවිදි උතුමන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවීම ජාතියේ ඉදිරිගමනට මහඟු ආශිර්වාදයක් වෙයි.
උන්වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභාව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා සිදුකරන ජාතික ආගමික මෙහෙවර අගය කරමින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයේ විශේෂ අවධානයට යොමුවී මිලියන 100 ක පමණ විශාල මුදලක් අස්ගිරි මහා විහාර සංවර්ධන කටයුතු සඳහා ලබාදි ඇත.
උදාවෙන වෙසක් පුන්පොහෝ දිනට අස්ගිරි විහාරය සතු ඉඩම් අත්පත් කරගනිමින් දර්ශනීය පූජා භූමියක් බවට පත්
කැරලීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේක්‍ෂා කෙරේ.
ඒ අනුව දැනට මහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ග අතුරුමාර්ග මකර තොරණ සියලුම සංඝාරාම වල ජලපහසුකම් වෙනත් අංගෝපාංග ඇතිව කලාත්මක අයුරින් සංවර්ධනය කැර මහා සඟරුවනට පූජා කෙරේ.අවුරුදු හත්සීයක් මුළුමහත් ජාතියටම ආශිර්වාදයක් බඳු අස්ගිරි මහා විහාර පුණ්‍යභූමිය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.