උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි මහා වන මැද ගල් පුවරු සහිත නටබුන් සමූහයක්....

  • බුහුමනින් යුතුව වැඳුම් පිදුම් කළ ස්ථානයක්ද?
සිහිල් අරුණෝදය හැඩ ඔය නිම්නයට බැලුම් හෙලුවේ සිනා රැල්ලක් පරිද්දෙනි. පුරාවිද්‍යා වාඩියේ ටාටා කැබ් රථය හරියටම
උදේ අටේ කණිසමට අපේ නඩය නීලගිරි සෑය අබියසට ගෙනවුත් දැමුවේය. ගමනට පැමිණි සම්පත් සහ පාලිත සෑය අසල දී තරුණයින් දෙදෙනකු අපට හඳුන්වා දුන්හ. 
ඉන් එක් අයකු තරංග සංජීවය. අනෙකා අමිල චන්දික ප්‍රසන්නය. ඔවුන් දෙදෙනාම ලාහුගල ගමේ පදිංචිකරුවන්ය. 
“මේ දෙන්නා අපිත් එක්ක වැඩ කරනවා. දෙන්නාටම කැ‍ලේ හොඳට පුරුදුයි.” සම්පත් පැවසුවේ ඔවුන් දෙදෙනා අපට හඳුන්වා දෙමිනි. වන මැද පිහිටි නීලගිරි කන්ද නැග එහි ඇති ලෙන් ගුහා නිරීක්ෂණය කිරීම අපේ ගමනේ ඉලක්කය විය. 
අපේ නඩය කුඩා එකකි. ඊට අයත් වූයේ මම, ප්‍රෑන්ක්, බණ්ඩාර, සම්පත්, පාලිත, සහ ගමේ තරුණයන් දෙදෙනා පමණය. වන දෙවියන්ට කොළ අත්තක් කඩා එල්ලා අපි එය අසලින් වනයට පිවිසියෙමු. වනයට පිවිසි විගස තරංගත් අමිලත් අපට එක් පැත්තක් මැනවින් උල්කළ හැරමිටි සාදා දුන්හ. ඒ සඳහා තියුණු ‍පොරොව කෙටි සහ ලොකු පිහියා ඔවුන් ගෙනැවිත් තිබුණි. පැත්තක් හොඳින් උල්කළ හැරමිටි කුමට දැයි විමසුවද තරුණයෝ පිළිතුරු නොදුන්හ. 
“මේ කැ‍ලේ වලස්සු ඉන්නවා. ‍පොරොවයි. උල්කරපු හැරමිටි ගෙනියන්නේ ඒකයි.” සම්පත් මට ළංවී රහසින් මෙන් කීය. එහෙත් ඒ කතාව තරුණයන් දෙදෙනාට ඇසුණි. 
“චී මහත්තයා ඔය වචන මේ කැ‍ලේදී කියන්ඩ එපා. “හතුරෝ” ඉන්නවයි කියන්ඩ” එක් තරුණයකු නොරිස්සුමින් මෙන් අපට කීවේය.
හැඩඔය නිම්නයේ වෙසෙන මිනිස්සු වනය දකින්නේ බොහොම ගොරබිරම් ලෙසිනි. ඒ නිසා ඔවුන් වනයේදී භාවිතා කරන්නේ ගමේ සමාජයේ දී භාවිතා නොකරන වෙනස් වචන මාලාවකි. විශේෂයෙන්ම වන සතුන් හැඳීන්වීම සඳහා ඔවුන් භාවිත කරන්නේ වෙනම වචන සමූහයකි. ඒ අනුව වනයේදී හමුවන දිවියා “හපුවා” ය. වන ඌරා “හොට බරියා”ය. වන අලියා “බොට කඳා” හෝ “මහ බෝලා”ය. නැතිනම් “මහ එක්කෙනා”ය. වඳුරා “ගස් ගෝනා” වන අතර මී මින්නා “යකඩයා”ය තළගොයා “කෑරැස්සා” ය. ඔවුන් වනයේදී වලහා හඳුන්වන්නේ “හතුරා” හෝ “පරියා” යන නමිනි. තරුණයන් දෙදෙනා කැ‍ලේ “හතුරො” ඉන්නවා යැයි අපට කීවේ මේ හේතුව නිසාය. මින් ඇතැම් වචන වනාන්තර ආශ්‍රිත ගම්වල ජන වහරේද ආදි වාසී ගම්මානවල ජන වහරේද එයි. කොයි හැටි වෙතත් අපි ලාහුගල තරුණයන්ගේ බසට අවනත වූයෙමු. 
නීලගිරි සෑයේ සිට නීලගිරි කන්දට ඇති දුර දළ වශයෙන් සැතපුම් තුනාහමාරක් පමණ වේ. ඒ දුර ගමන් කළ යුත්තේ වන සතුන් ගැවැසෙන හරිහැටි වැටුණු අඩි පාරක්වත් නැති  මහ වනය මැදිනි. ගමන යා යුත්තේද අමුතුම ක්‍රමයකටය. අප ගමන ඇරඹුවේ නීලගිරි සෑයට පිටුපාගෙනය. එවිට ඉදිරිපස බොහෝ ඈතින් නීලගිරි කන්ද සෙන්පයෙකු සේ නැගී සිටිනු පෙනෙයි. එහි මුදුනේ ඇති යෝධ ගල් බැම්ම ඈතට දිස්වෙන්නේ කඳු මුදුන වටා බැඳි තලප්පාවක් පරිද්දෙනි. සෑයට පිටුපා කන්ද දෙස බලා ගෙන ගමන් කළ විට නීලගිරි කන්දට පිවිසෙන මහා ගල්තලාව අබියසට යා හැකිය. ආපසු එන විට කන්දට පිටුපා ඉදිරිපස බලාගෙන ගමන් කළ විට සෑය අබියසට පැමිණිය හැකිය. 
“මේ බලන්ඩ කැ‍ලේ හැමතැනම ‍පොටරි කෑලි තියෙනවා.” වියැලී ගිය එක් පාරක් අසල බිම විසිර තිබුණු ඉපැරණි මැටි බඳුන් කැබලි අහුරක් අහුලා අපට පෙන්වමින් පාලිත අත්තනායක මහතා කීවේය. සැබෑවකි. වන බිමෙහි මතුපිට වැටී ඇති කොළ රොඩු තට්ටුව ඉවත් කළ විට මැටි බඳුන් කැබැලි සහ පැරණි ගඩොල් කැබලි විසිර ඇති සැටි දක්නට ලැබේ. ඒ සමගම ගල්කණු, හතරැස් ගල්, සඳකඩ පහන්, මල් ආසන බඳු ගල් පුවරු වැනි දේවල්ද ඇස ගැටේ. “කැ‍ලේ පුරාවට අපි දකින වෙනසක් තියෙනවා. ඒ මේ වගේ නටබුන් බහුලවීමයි. මේක අතීතයේ දී අති විශාල බෞද්ධ ජනපදයක් වෙන්න ඇති.” සම්පත් ගුරුසිංහ මහතා පැවැසීය.
වන මැද ගමන ලෙහෙසි නොවීය. වරෙක “කටුව” හෙවත් කටු පඳුරු සහිත වන බූටෑව අතරින් රිංගමින්ද ගස් අතු අතරින් නැමී රිංගා යමින්ද, වල් ඌරන්ගේ කෙළිබිම් සහිත මඩවගුරු මග හරිමින්ද, වල් අලි ගමන් කළ හුදකලා මාවත් ඔස්සේ ඇවිදිමින්ද, වියළී ගිය දිය මං ඔස්සේ ගාටමින්ද නීලගිරි කන්ද හමුවනතුරු ගමන් කළ යුත්තේය. අපට පියමං වන වනයෙහි ද විශේෂත්වයක් දැනුණි. ඒ වනය ඇතුළත විශාල වනස්පතීන් දක්නට නොවීමය. බොහෝ කලකට පෙර ඒවා ලී මෝල් කරාගිය බවට සලකුණු හෙවත් කපා හෙලූ ගස්වල මුල්කොටස් තැනින් තැන හමුවිණි. ඒවා ඉවත්වූ පසුව ලොකු මහත්වුණු දහස් ගණන් කනිටු වනස්පතිහු අද මේ වනය සරසන්නාහ. 
ගමනට පැය එකහමාරක් පමණ ගත වෙද්දී නීලගිරි කන්ද පාමුලට පැමිණීමට අපට හැකි විය. කන්ද පාමුල යැයි කීවාට එය අති විශාල ගල් පර්වත සමූහයකින් සැදුම්ලත් භූමියකි. එහි අතරමැද කොටස් පවා සිහිල් වනරොදින් සජ්ජිතය.  ගල් පර්වත සමූහය ක්‍රමයෙන් උස්ව නැගීගෙන ගොස් කඳු ගැටයක් බවට පත්ව ඇති සැටි දැන් අපට පෙනෙයි. ඒ උස් කඳු මුදුන නීලගිරි කන්දය. අප සිටි ස්ථානයේ ගල් පර්වතයට නැගීමට ග‍ලේම කපා ඉදිකළ පියගැට පෙළකි. ඒ දෙපස හාරා තිබුණු කුඩා වළවල් අතීතයේ දී එහි අත්වැටක් හෝ පියැස්සක් පැවැති බවට අපට ඉඟි කළේය. 
“මෙතැනින් නැගලා උඩට ගියාම වැදිචිත්‍ර තියෙන ලෙන බලන්ඩ පුළුවන්.” තරංග සහ අමිල කීවෝය. 
ඒ අතර සම්පත් සහ පාලිත පර්වතයට පහළ වනයේ ඇවිදිමින් යමක් සොයන ආකාරය දැකගත හැකි විය. “වැදිචිත්‍ර ලෙනට යන්ඩ කලින් තව බලන්ඩ දෙයක් තියෙනවා. එතෙන්ට යන ඉසව්වයි අපි හෙව්වේ. අපිත් එක්ක එන්ඩ” ඔවුහු කීහ. 
අපි ඔවුන් පසුපස වැටී, කන්ද පාමුලින්, කන්දට සමාන්තරව ඇවිදගෙන ගියෙමු. අපේ කලබලය නොඉවසූ වඳුරු රැළක් කෑගසමින්ඉවතට පැන ගියහ. විනාඩි විස්සක් පමණ ඇවිදගෙන ගිය අප පිවිස සිටියේ වන මැද පිහිටි තැනිතලා භූමියකටය.   මේ බලන්ඩ. මේ ගැන මොකද හිතෙන්නේ?” තැතිතලා භූමියෙහි ගස් කොළන් අත විසිර තිබුණු නටබුන් සමූහයක් පෙන්වමින් සම්පත් ඇසීය. 
තැනිතලා භූමියේ මැදට වන්නට කවාකාරව පිහිටු වූ ගල් පුවරු සමූහයකි. සමාන්‍යයෙන් අඩි හතරක් පහක් වත් උස එබඳු පුවරු විශාල සංඛ්‍යාවක් තාප්පයක් හෝ වැටක් පරිද්දෙන් කවාකාරව සිටුවා තිබුණේය. අඩි 150ක් පමණ දිගට ඒවා විහිද ඇති අයුරු අපට පෙනුණි. ගල් පුවරුවලින් වට කළ භූමිය මැද චතුරශ්‍රාකාරව සිටවූ ගල්කණු සමූහයකි. ඉන්එක් කණුවක් අඩි පහක්වත් උසය. ගල්කණු සිටුවා තිබුණේද පේළි කිහිපයකටය. “මෙතැන ගල්කණු 19ක් තියෙනවා. පින්තූර ගැනීම පිණිස එහි ගිය ප්‍රෑන්ක් කෑ ගසා කීවේය. ගල් කණු සමූහය මැද කෙටි ගල් කණු කිහිපයක් ද විය. අපි මවිතයට පත්වීමු. 
,මේක මොකක් හරි ඉතා සුවිශේෂ ගොඩනැගිල්ලක් බව පේනවා. මැද තියෙන ගල් කණු මොකක් හරි මණ්ඩපයක වගේ. එහි මැද ආසනයක් වගේ දෙයක් තියෙන්න ඇති. පිටත ගල්පුවරු විශාල සංඛ්‍යාවක් තියෙන්න ඇති. සමහර පුවරු බිමට පෙරළිලා. සමහර ඒවා පසින් වැහිලා ඇති. මේ තරම් ආරක්ෂා සහිතව බුහුමන් සහිතව හදලා තියෙන්නේ සමහරවිට ධාතු මන්දිරයක් වගේ එකක්ද කියලා සැක කරන්න වෙනවා.” පාලිතත් සම්පතුත් කීවෝය. 
2012 මැයි 28 වෙනි සදුදා, ලක්බිම