උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි සෑ රදුන්ගේ විභූතිමත් අතීතය කියන රන් කරඬු හා සිරිපතුල් ගල් හමුවේ

“ඔය රන් කරඬු දෙක අඩු තරමින් අවුරුදු දාහක් හමාරක් වත් ඔතැන පස් යට තියෙන්න ඇති.” පර්යේෂණ සහකාර පාලිත අත්තනායක සෑ ගොඩැල්ල දෙස බලාගෙන තෙපළේය. 

අපි කැණීම් භූමියට එපිටින් පස් ගොඩැල්ලක් මත ඇන බා ගෙන කතාවට වැටී සිටියෙමු. ටිකක් ඈත සිට බලන විට, නීලගිරි සෑ රදුන්ගේ විභූතිමත් අතීත දර්ශනයක් සිතින් මවා ගත හැකිය. එහෙත් ඒ සමගම අනුරාධපුරයේදී හෝ ‍පොළොන්නරුවේදී හෝ සිතට වැටුණු දසුන් පෙරළී විත් සිත අබියස පෙනී සිටියි. එහෙත් ඇත්තේ  නීලගිරි සෑ රදුන් නොව, එක්කෝ රුවන්වැලි මහ සෑයයි. නැතහොත් ජේතවනය හෝ අභයගිරියයි. එසේ වුවද මේ අඩවිය, රුහුණ හෙවත් රෝහණයයි. එහි හැඩ ඔය නිම්නයයි. එහි ඉදිකෙරුණු වන්දනීය නීලගිරි සෑයයයි. රටේ ඉතිහාසයට පෞරාණික වුවද, මේ සෑරදුන් අපට නම් අලුත් දසුනකි. මේ දැනුත් අපට අනුරාධපුරය  සිතට මැවෙන්නේ. ඒවා අනාදිමත් කාලයක් මුළුල්‍ලේ අපේ දෑස් පතුලෙහි තිරසාරවම ඇඳී ඇති නිසාවෙනි. 

නීලගිරි සෑ රදුන් දුටුමතින්ම අනුරාධපුරයේ වියළි විහාරාරාම සිහිවීම පිටුපස ඇත්තේ සුවිශේෂ කාරණයකි. ඒ මතුපිටින් ඇසට හසුකර ගත හැකි නොවුවද, අනුරාධපුරයේ තරම්ම වන්දනීය විහාරාරාම  සහ අනෙකුත් මහා ස්මාරක රැසක නටබුන් සම්භාරයක්ම, මේ නිම්නයෙහි වැළලී තිබිමයි. ඉපැරණි මාගම්පුරය පැවති බව කියන තිස්සමහාරාමය පසෙක තිබියේවා මේ සාර වන භූමියෙහි මහා ස්මාරක කොතෙක්  වෙත්ද?
ලාහුගල මඟුල් මහා විහාරය, කුඩුම්බිගල ආරණ්‍ය සංකීර්ණය, කින්නරගල ආරාම සංකීර්ණය, පාගම, ශාස්ත්‍රවෙල වෙහෙර, ‍පොතුවිල් මුහුදු මහා විහාරය, බඹරගස්තලාව ආරාම සංකීර්ණය, තරුලෙන්ගල ආරණ්‍යය. දීඝවාපිය, ආදිය ඉන් කිහිපයකි. මෙම බෞද්ධ ආරාමයෝ, විසල් පිළිම, විසල් දාගැබ්, කටාරම් කෙටූ ගල්ලෙන්, විහාර ගෙවල්, සහ තව නොයෙකුත් මහා ගොඩනැගිලි  ආදී පෞරාණික නටබුන් සම්භාරයකින්ම සජ්ජිතයහ. අලි, දිවි වගවලසුන්ට නිවහන් වූ  වන වදුල අතර සැඟවෙමින් ඒවා එදා මහානාග කුමරුන් ගොඩනැගූ රෝහණය මතුකෙරෙන තුරු නිහඬව හිඳිනු වැන්න.
පුරා විද්‍යා නිලධාරීන් සිය මුල් කැණීම් කළේ, නීලගිරි සෑයේ ගරා වැටුණු එක් පැතිකඩක් පාදා ගන්නටය. එතැන තිබුණේ එහි ගර්භයෙන් ගරාවැටුණු පස් තට්ටුය. 2011 වසරේ අගෝස්තු මාසයේදී  ඔවුන්ට සධාතුක රන් කරඬු දෙකක්ම හමු විණි. අතීතයේදී සාමාන්‍යයෙන් සර්වඥ ධාතු තැන්පත් කරන කරඬු බහාලන්නේ පාත්තරයක් බඳු සුවිශේෂ හැඩයක් ඇති මැටි බඳුන්වලය. ඒවා ඇතුළත ඇති දැව, ගල් හෝ ඛනිජමය කරඬුවක් තුළ සර්වඥ ධාතු තැන්පත් කිරීම පැරණි සිරිතයි. නීලගිරයෙන් හමුවූ රන් කරඬුද පසුව හමුවූ පළිඟු කරඬු දහසද බහා තිබුණේ එබඳු මැටි බඳුන්වලය.
“රන් කරඬු දෙක හදලා තිබුණේ ඉතාමත් තුනී රන් පත්තීරුවලින්. හරියට ඒවා තුනී කඩදාසියක් වාගෙ. කරඬු ඇතුළේ සර්වඥ ධාතුන් වහන්සේලා හත් නමක් තැන්පත් කරල තිබුණා.” පුරා විද්‍යා නිලධාරීහු කීහ. එය අසිරිමත් සොයා ගැනීමකි. රන් කරඬු දෙක, අනුරාධපුර, රුවන්වැලි මහ සෑයේ උතුරු වාහල්කඩ කැණීමෙන් හමුවුණු රන් කරඬුවලට සමාන බව, ඔවුහු කීහ. ඒවා එකල කාලනිර්ණය කෙරුණේ අදින් වසර 1800 ක් හෙවත් ක්‍රි. ව.02 වැනි සියවසටය.
“ඒ කියන්නේ නීලගිරි සෑයට රන් කරඬු තැන්පත් කරලා තියෙන්නේ රුවන්වැලි සෑය හදාපු කාලෙද?” අපි ඇසුවෙමු.
“ඒක හරියට කියන්න බෑ.” පුරා විද්‍යා නිලධාරීහු පිළිතුරු දුන්හ.
දැන් ඔවුන් සෑයෙහි ඉපැරණි අවධියකට අයත් ෙශෙලමය පේසාවන් දෙකක කොටස්ද, ගඩොල් පේසාවක්ද මතුකරගෙන  තිබේ. කැණීම් සේවකයෙක් සමග එක්වුණු සම්පත් ගුරුසිංහත් පාලිත අත්තනායකත් සියුම් බුරුසු ආධාරයෙන් ගල් පේසා දෙකෙහි මතුකළ කොටස් පිස දමා පිරිසිදු කළහ. ඒවායෙහි  වූයේ අතිශයින්ම සුමට නිමාවකි 
අපිද එහි ගොඩ වී වසර සිය දහස් ගණනක් මුළුල්‍ලේ 
‍පොළොවෙහි සැඟව තිබූ ෙශෙලමය පේසා කොටස් අත ගා බැලුවෙමු. 
“සිනිඳුයිනේ?” සම්පත්ලා ඇසූහ. ගලින් තනා තිබුණද ඒවා බොහොම මටසිළිටිය.
“මේ වගේ ඉස්තරම් නිමාවක් තියෙන ගල් පේසා වළලු අනුරාධපුරයේ රුවන් වැලි සෑයෙන්වත්, ජේතවනයෙන්වත් හමුවෙලා නෑ”, නිමල් පෙරේරා මහතා පැවසීය.  අත්ලට දැනෙන ෙශෙලමය පේසාවේ ස්පර්ශය, ගාම්භීර අතීත විභූතියක සොම්නස් තිගැස්මක් සිතට එක් කළේය. කටාරම් කෙටූ ලෙනක “චතුදිශ සගශ’ හෙවත් සිවු දිගින් පැමිණි  නොපැමිණි මහ සඟනට පිදුවාක් පරිද්දෙන්, අතීත ශිල්පාචාරීහුද සිවු දිගින් පැමිණ සෑය ඉදිකරන්නට ඇතැයි ඒ සමගම සිතට දැනුණි. අත්ලට දැනෙන ස්පර්ශය ඔස්සේ ඔවුන්ගේ රළු දෑතෙහි පහස අත්විඳින්නටද පුළුවන.
කැණීම් නිලධාරීහු, නීලගිරිසෑරදුන්ගේ තවත් විශේෂත්වයක් මතුකර ගෙන සිටිති. ඒ “සිරිපතුල් ගල්”ය. මනාව ඔපමට්ටම් කළ මතුපිටක බුදුරදුන්ගේ සිරිපා සටහන කෙටූ ගල් පුවරු (ගල් කුට්ටි) විශාල සංඛ්‍යාවක් හමුවීම  ඒ විශේෂත්වයයි. සිරිපතුල් ගල් හමුවී ඇත්තේ සෑය පාමුල කෙරෙන කැණීම්වලින්. මේ වන විට ඔවුන් සිරිපතුල් ගල් 25 ක් පමණ සොයාගෙන් තිබේ. අතීතයේදී ඒවාසෑය වටාම රඳවා තබන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. බුදුරදුන් සිරිපතුල් සටහන තැබූ සමනොළ  කන්ද පිහිටියේ බොහෝ දුරිනි. එබැවින් බුදුන් වැඳීමේ කටයුතු සඳහා සිරිපතුල් සටහන් ගලින් නෙලීමේ සිරිතක් අතීතයේදී පැවතිණි. මීට පෙරද රටේ විවිධ බෞද්ධ  සිද්ධස්ථාන කැණීමේදි සිරිපතුල් ගල් හමු වී තිබේ.
“ඒත් මේ තරම් විශාල සිරිපතුල් ගල් සංඛ්‍යාවක්, එක ස්ථානයකින් මීට පෙර හමුවෙලා නෑ. ඒක නිසා නීලගිරි සෑයේ සිරිපතුල්  ගල් හමුවීම විශේෂයි. ඇතැම් විට ඒ කා‍ලේ කවුරුහරි රජ කෙනෙක් හරි ප්‍රභූවරයෙක් හරි සිරිපතුල් ගල් තියලා මෙතැන වෙනම පූජාවක් කළාද කියලා සැකයක් මතුවෙනවා.” නියෝජ්‍ය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසූයේ අපේ කුතුහලය අවුස්සමිනි.
ඉතිහාසඥයන් පවසන අන්දමට, භාතිකාභය තිස්ස  (ක්‍රි. පූ. 22 ක්‍රි. ව. 07) රජ්ජුරුවෝ බොහෝ විදේශ සබඳතා තිබූ රජ කෙනෙකි. ඔහුගේ බිසව වූ චූල සීවලී දේවිය, නීලගිරි සෑයට කළ පූජාවක් ගැන සඳහන් සෙල් ලිපියක්ද සෑයට ආසන්නයෙන් හමුවූ බව මීට පෙර ලිපියකද සඳහන් කළෙමු. එකල මේ බෞද්ධ ආරාම  සංකීර්ණය, උත්තර සීවලී  පබ්බත විහාරයයි. මේ කතාවෙහි තේරුම, භාතිකාභය තිස්ස රජුගේ යුගයේදීත් නීලගිරි සෑය බෞද්ධ ආරාම සංකීර්ණය පැවතුණාය යන්නයි. අනෙක එය රජුගේ අවධානයටද ලක්ව තිබූ බවයි.
“ඔය කතාවලට ගෑවෙන පුරාවස්තු කීපයක් අපට කැණීම්වලින් හමුවුණා. ඒ විදේශීය පබළු කැණීම්වලදී කානේලියන් පබළු සහ වීදුරු පබළු අපට හමුවුණා. ඒවා විදේශීය දේවල්. මේ සෑය සමග බැඳුණු පිරිස්, කිසියම් විදේශීය සබඳතාවල, ගනුදෙනුවල සිටි අය බව එයින් පේනවා.” පර්යේෂණ සහකාර පාලිත අත්තනායක මහතා කීවේය.
ඒවාට අමතරව ඔවුන්ට දේශීයව නිපැයූ පළිඟු පබළුවල කොටස් ද හමු ව තිබිණි.

2012 මැයි 21 වෙනි සදුදා, ලක්බිම
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර, ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා