උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

කපිලවස්‌තු ධාතු විස්‌තරය

කිඹුල් වත් පුරය නොහොත් කපිල වත්ථුව කපිල නම් ඉසි වරයෙකුට වාස භූමිය ව තිබී පසුව ඔක්‌කාක රජ පරපුරේ ශාක්‍ය කුමාරවරුන් විසින් මහා නගරයක්‌ බවට පත් කරන ලද්දකි. රෝහිණි නදිය අසබඩ පිහිටා තිබූ මේ මනරම් නගරය විශාල කෙත්වතුවලින් සපිරි සෞම්‍ය දේශගුණයක්‌ ඇති ප්‍රදේශයක්‌ බව වර්තමානයේ දී පවා පැහැදිලි වේ. ශාක්‍ය යන නාමය ද මේ නගරය මූලික කර ගෙන ඇති වූවකි. එයට හේතුව මෙහි තේක්‌ක ගස්‌ බහුල වීමයි. ශාකයාන යන්නෙන් හැඳින්වෙන්නේ තේක්‌ක ගස්‌ බව කියෑවෙයි. මේ ඔක්‌කාක පරපුරේ සිංහහනු කුමාරයාට පුත්‍රයින් සතර දෙනෙක්‌ විය. ඉන් පළමුවැන්නා වූ සුද්ධෝදන කපිල වත්ථුවේ රජ වීමෙන් පසුව ඒ පෙදෙස මහා සමෘද්ධිමත් රාජ්‍යයක්‌ බවට පරිවර්තනය විය.

සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරා අවසානයේ තුසිත දෙව්ලොව වැඩසිටි බෝසතාණන් මනුලොව ඉපදීමට ප්‍රථම දීපයත් දේශයත් පරපුරත් නිශ්චිතව නුවරින් විමසා දැන සිටියේය. මහාමායා කුසින් මෙලොව බිහි වීමට තුසිතයෙන් චුත වීමට බෝසතාණන් අදිටන් කරගන්නේ සියල්ල තීරණය කිරීමෙන් පසුවයි. බුදුන්වහන්සේ ගේ මව කෝලිය වංශයට අයත්ය. එතුමියගේ ජාත ග්‍රාමය පිහිට තිබුණේ ද රොහිණි නදියට නුදුරින් එහෙත් කපිල වත්ථුවට මදක්‌ ඈතිනි. ගැබ් ගැනීමෙන් පසුව මාස නවය අවසානයේ දරු ප්‍රසූතිය සඳහා සිය මව්පිය දෙපළ වෙත යන්නට මහාමායා දේවියට සිදු විය. නමුත් ගමන අවසාන වන්නට මත්තෙන් ලුම්බිණි සල් උයනේ දී දරු ප්‍රසූතිය සිදු විය. මේ පෙදෙස අද නේපාල රාජ්‍ය සීමාවේ දක්‌නට හැකිවෙයි.

උප්පත්තියෙන් පසුව සිද්ධාර්ථ යනුවෙන් නම් තැබුණු මේ අසිරිමත් කුමරා හට දිව්‍ය සම්පත් අනුභව කරන්නට හැකි මාළිගා තුනක්‌ සකස්‌ කර දීමට සුද්ධෝදන රජු උනන්දු විය. එයට හේතුව ගිහි සැපය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණයට උනන්දු වේ යයි බියෙනි. එහෙත් රජුගේ බලාපොරොත්තුව ඉටු නොවීය. සතර පෙර නිමිති යනුවෙන් හැඳින්වෙන අසුභ ලක්‌ෂණයන් මුල් වරට දැකීමෙන් සිද්ධාර්ථ කුමරු ගිහි සැප ගැන කලකිරි මහණ දම් පිරීමට අනෝමා ගංතෙරෙන් එතෙර වූයේ සම්බුද්ධත්වයට පත් නොවී ආපසු නොඑන බවට අධිෂ්ඨාන කරමිනි. සියලු කෙලෙස්‌ ප්‍රහීන කොට ගයා ශිර්ෂයේ දී බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් රජගහ නුවර වේලුවනාරාමයේ වැඩසිටින බව ආරංචි වූ කල සුද්ධෝදන රජුට සිය පුතු දැක ගැනීමේ ආශාවක්‌ ඇති විය. ඇමති ගණයා අත පණිවුඩ පනත් යෑවුණද පණ්‌වුඩය නොපවසාම සියලු දෙන පැවිදි විය. අවසානයේ කාලුදායි ඇමතිවරයා පමණක්‌ මුලින් පැවිදිව පසුව පිය රජු ගේ වුවමනාව සැළ කර සිටියේය. ඒ අනුව සැට යොදුනක්‌ ගෙවා අවසානයේ බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩියේ බුද්ධත්වයට පත් වී දෙවනි වසරේ දීය. නිග්‍රෝධ කුමරුට අයත් උයනක්‌ මෙම කපිල වස්‌තු පුරයේ විය. එහි විහාරයක්‌ තනවා බුදුන් වහන්සේට පූජා කළ රජතුමා එය නීග්‍රාධාරාමයයි නම් කළේය. බුදුන්වහන්සේ පසළොස්‌ වන වස්‌ කාලය ගත කළේ මෙහිදීය. එසේම මහා සමය සූත්‍රය දේශනා කළේද මෙහිදීය. කපිල වස්‌තු නගරය මෙන්ම ශාක්‍යයන් ද විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි.

ශාක්‍යයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය. මේ විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ අවසානයේ දී එය වැලැක්‌වීමට ඉදිරිපත් නොවීය. ශාක්‍ය සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග ලක්‌දිවට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී මේ ප්‍රදේශවල තිබූ සිද්ධස්‌ථාන දියුණු විය. නමුත් මේ කපිල වස්‌තු නගරය හා එහි සමෘද්ධිය ක්‍රමයෙන් අභාවයට පත් විය. බුද්ධ පරිනිර්වානයෙන් වසර 942 ක්‌ පමණ ගත වූ පසු ඉන්දියාවට පැමිණි ෆාහියන් නම් චීන භික්‌ෂූන් වහන්සේ විසින් මේ ස්‌ථානය සියෑසින් දැක බලා ගන්නා ලදී. එහි සියලුම ගොඩනැගිලි අතහැර දමා ගොස්‌ තිබූ බව උන්වහන්සේ වාර්තා කර ඇත. එහි පදිංචිව සිටියේ භික්‌ෂූන් වහණ්‌සේලා කීප නමක්‌ පමණකි. සාමාන්‍ය පවුල් විස්‌සක්‌ පමණ අවට ගම් වල සිටියහ. මේ ආකාරයට චීන ජාතික හියුංෂාන් භික්‌ෂුව ද තම දේශාටන වාර්තාවේ කපිල වස්‌තුවේ පරිහාණිය විස්‌තර කර දී තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත් වූවායින් පසුව මේ වන්දනීය ස්‌ථානයන් හා පුරාවස්‌තු කැණීමේ උනන්දුවක්‌ ඇති විය. ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ස්‌ථාන සොයා ගැනීම ඇරඹිණ. බුද්ධගයා ශ්‍රාවස්‌තිය ආදී බුද්ධ චරිතයේ සුවිශේෂි තැන් ගණනාවක්‌ මෙහිදී මතු කර ගත හැකි විය. ක්‍රි. ව. 1896 දී ඒ µqරේ මහතා බුදුන් වහන්සේ ගේ උප්පත්තිය සිදු වූ ස්‌ථානය වන ලුම්බිණිය තහවුරු කරන ලද්දේය. ඒ අශෝක රජතුමා විසින් පිහිට වූ ස්‌ථම්භය සොයා ගැනීමෙනි.

1898 වර්ෂයේ දී ඉංග්‍රීසි ඉඩම් හිමියකු වූ ඩබ්. සී. පෙප්පේ මහතා ලුම්බිණියෙන් කි. මී. දහතුනක්‌ පමණ දුරින් දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිපරහවා නමැති ගමෙහි ගරා වැටුණු ස්‌ථූපයක්‌ යයි සැක කළ හැකි ස්‌ථානයක්‌ හාරා ගෙන පතුලට බැසීමේ දී විශාල ගල් පෙට්‌ටියක්‌ හමු විය. එහි භෂ්මාවශේෂ තැන්පත්ව තිබුණි. එසේම මෙම ගල් පෙට්‌ටියේ කරඬු කීපයක්‌ ද විය. කපිල වස්‌තුව ගැන වැඩි උනන්දුවක්‌ ඇති වූයේ මේ සොයා ගැනීමෙනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ගයාවේ හා බරණැස ඉසිපතනාරාමයේ සිට දියත් කරන ලද බෞද්ධ ව්‍යාපාරය මගින් හින්දූන් විසින් ආක්‍රමණය කරන ලද සිද්ධස්‌ථාන රාශියක්‌ම හඳුනා ගන්නා ලදී.

එතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සිංහල භික්‌ෂූන් වහණ්‌සේලා මෙම ස්‌ථාන වලට වැඩමවන ලදහ. ඡේතවනාරාමයේ තිබෙන ලංකාරාමය කපිල වස්‌තුවේ ඇති මහින්දාරාමය සංකස්‌ස නුවර විහාරය බරණැස මූලගන්ධකුටි විහාරය ආදී වශයෙන් වර්තමානයේ විහාරස්‌ථාන රාශියක්‌ ඉඳිව තිබෙන්නේ මේ ව්‍යාපාරය නිසාවෙනි. ධර්මපාල තුමාගේ අභාවයෙන් පසුව පූජ්‍ය මැටිවල සංඝරක්‌ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය එම ව්‍යාපාරයන්ට මූලිකත්වය දෙමින් දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් වෙනුවෙන් මහා කැපකිරීමක්‌ කර ඇත. කපිල වස්‌තු නගරය කුමක්‌දැයි හරිහැටි තීරණය කර නොතිබූ අවස්‌ථාවේ දී ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියට කරුණු කියා පෑ මේ ස්‌වාමීන් වහන්සේලා පුරාවිද්‍යා අවධානය නැවතත් ඇති කරවන ලදී. ඒ අනුව 1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී කේ. එච්. වාස්‌තවා මහතාගේ මූලිකත්වයෙන් පිපිරහවා නගරයේ කැණිම් කටයුතු ආරම්භ විය. එහිදී මුල්වරට කපිල වත්ථු භික්‌ඛු සංඝ නම්වූ මැටි මුද්‍රිවකාවක්‌ සොයා ගන්නා ලදී . එය හමු වූයේ කණිෂ්ක රජු කරවූ සංඝාවාස ගොඩනැගිල්ලෙනි. කපිල වස්‌තු නගරය කුමක්‌ දැයි හරිහැටි නිගමනය කරන ලද්දේ මෙම කැණිමෙනි. එසේම ජනවාරි මස විසි නවවන දා කපිල වස්‌තුවේ තිබෙන ස්‌ථූපයේ පතුලටම නැවතත් කැනීම් කරන ලද අවස්‌ථාවේ දී සර්වඥ ධාතු අඩංගු තවත් මංජුසාවක්‌ සොයා ගන්නා ලදී. මෙම මංජුසාවේ මෙසේ සඳහන් විය. සුකිති භතීනං සහගිනිකානං සපුතදලනං – ඉයං සලිල නිධානෙ බුදස භගවතෙ සකියානං

ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයින් විසින් කරන ලදී යන්න මෙහි අර්ථයයි. මෙම ධාතුන් වහන්සේලා අඩංගු මංජුසාව ජේතවනාරාමය අසල ලංකාරාමයට වැඩම කරවා එහි විහාරධිපති පූජ්‍ය මැටිවල සංඝ රක්‌ඛිත හිමියන් ඉදිරියේ දී විවෘත කරන ලදී. මෙහිදී විශාල ධාතු කොටස්‌ විසිහයක්‌ වෙන් කර සීල් තබන ලදී. අනෙක්‌ කොටස්‌වලින් කීපයක්‌ සංඝරක්‌ඛිත හිමියන් භාරයේ තබා ගන්නා ලදී. හින්දූන් මෙම ධාතු කොටස්‌වලට අයිතිය කියා පෑ අතර මේවා සුකිති නම් ශාක්‍ය කුමාරවරුන් විසින් තැන්පත් කරන ලද බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු යයි සැක හැර කීමට ලාංකික භික්‌ෂූන් වහන්සේලාට හැකි විය. ඒ අනුව1974 වර්ෂයේ දී සංඝ රක්‌ඛිත හිමියන් ගේ මූලිකත්වයෙන් හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පි. ජයසූරිය මහතා ගේ ඥාතිවරයෙකු අත කපිල වස්‌තු ධාතූන් වහන්සේලා කීප නමක්‌ මල්වත්තේ අනුනායක හැරමිටිගල ධීරානන්ද දළදාවත්ත නායක හිමියන් වෙත පිටත්කර එවන ලද්දේය. උන්වහන්සේ දළදා වැඩමවූ පරපුරේ බැවින් එය එලෙස ආරක්‌ෂා විය. පසුව ලංකාවේ සිටින රජ පරපුරේ ආරක්‌ෂාව මත අදත් එම කපිල වස්‌තු ධාතූන්වහන්සේලා වැඩ සිටී. 1978 වර්ෂයේ දී පෙර සඳහන් කළ මුද්‍ර තබන ලද සර්වඥ ධාතු කොටස්‌ විසිහය ලංකාවට වැඩම කර ලදී. එම කොටස්‌ සියල්ල දැනට තැන්පත් කර තිබෙන්නේ නව දිල්ලියේ කෞතුකාගාරය තුළයි. කපිල වස්‌තු ස්‌ථූපය අවස්‌ථා කීපයකදී තනවන ලද්දකි. මුල් වරට එය ක්‍රි. පූ. පස්‌වන සියවසේ දී ඉදි කර ඇති බව කැණිම් වලදී තහවුරු විය. ඉන් අනතුරුව ක්‍රි.ව.යෙන් පසු තෙවන සියවස දක්‌වා කරන ලද ඉඳිකිරීම් මෙම ස්‌ථුපය මත තිබේ. එකක්‌ මත එකක්‌ වශයෙන් ස්‌ථූපය ඉදි කර ඇත. අවසාන ස්‌ථූපය තරමක්‌ විශාලය. මෙම ස්‌ථුපය ඇතුලුව කණිෂ්ක රජු විසින් කරන ලද සංඝාවාසයද මෙම ස්‌ථානයට කිලෝ මීටරයක්‌ පමණ ඈතින් තිබෙන සුදොවුන් රාජ මාළිගයද දැනට තහවුරු කොට හොඳ තත්වයේ තිබේ. එහෙත් වන්දනා කරුවන් ගේ ස්‌ථිර වන්දනාවට ලක්‌ වන්නේ මීට නුදුරින් ඇති ජේතවනාරාමයයි. නමුත් කපිල වස්‌තුව හා එහි ඓතිහාසික වැදගත්කම සැදැහැති බෞද්ධයින් ගේ සිත් සතන් තුළින් ඈත් නොවන බව පැහැදිළිය. එයට හේතුව කපිල වස්‌තු සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබද මතකයයි.

- මතුගම සෙනෙවිරුවන්

September 13, 2012 at 12:04 am | Lanka C News.

බුදුන් වහන්සේගේ චීවර ධාතුව කැලණියේ දාගැබක


බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය අඟහරුවාදා කැලණි රජමහා විහාරයට වැඩම කරවීම සමහරුන් සලකුණ ලබන්නේ උන්වහන්සේ තෙවැනි වරටත් කැලණියට වැඩම කිරීමක් ලෙසය. මීට පෙර 1978 දී කැලණි රජමහා විහාරයට කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඩම කළහ.
බුදුන් වහන්සේ ජීවමානව කැලණියට වැඩියේ බුද්ධත්වයෙන් අටවැනි වසර වෙසක් පුන්පොහෝදිනකය. මහා රහතුන් වහන්සේලා පන්සිය නමක් සමග අහසින් වඩින සර්වඥයන් වහන්සේ දුටු දේවතාවන් උන්වහන්සේ මෙසේ කවර නම් දෙව් ලොවකට වඩනේදැයි, අපගේ ලොවට වඩන්නේදැයි සැක උපදවා ගත්තද උන් වහන්සේ දේව සමූහයාද පිරිවරාගෙන කැලණියට වැඩි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙන් දිය ස්නානය කළහ. එවකට කැලණි ගඟ ඉතා පටුය. සැඩපරුෂ නොවූ ගංගාවේ පතුලේ බුදුන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනයක්ද තබන ලද්දේ මණිඅක්ඛික නා රජුගේ ඉල්ලීම මතය. උන් වහන්සේ කැලණි ගඟට බැස ස්නානය කරන විට චීවරය ගළවා තබන ලද්දේ ගඟ අසබඩ ඇති කළුගලක් මතය. අදටත් එම ‘‘චීවර ගල” කැලණි රජමහා විහාරභූමියේ සංරක්ෂණය කොට තිබෙනු දක්නට ලැබේ.
කැලණි ගෙඟ් ස්නානය කිරීමෙන් අනතුරුව ගම්වාසීන් බුදුන් වහන්සේට මනිපිට්ටු හා කිරිහොදි ඇතුළු ආහාර මුල්කොටගත් දානය පිරිනැමූ බවද ජනප‍්‍රවාදයේ එයි. මණිඅක්ඛික නා රජුගේ අතින්ම පිළියෙළ වූ ආහාර බුදුන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට පිරිනැමීමෙන් අනතුරුව බුදුන් වහන්සේ ස්වල්ප මොහොතක් සැතපී සිටියහ. පසුව නා රජුගේ ඉල්ලීම මත දහම් දෙසුම සඳහා ආරාධනා කළේය. බුදුන් වහන්සේ මැණික් මණ්ඩපයේත්, මහා සඟරුවන ඒ අවට පනවා තිබූ අසුන්හිත් වැඩ උන්හ. එහිදී රජු ඇතුළු පිරිසට නිර්වාණ ධර්මය නොහොත් නිර්වාණ සංඛ්‍යාත අමා ඵල සහිත දහම දෙසූ බවද ශාසන ඉතිහාසයේ කියැවේ.
බුදුන්වහන්සේ මහ රහතන් වහන්සේලා සමග වැඩහිඳ දහම් දෙසූ තැන උන්වහන්සේ වැඩසිටි මැණික් පුටුව නිධන් කොට මණිඅක්ඛික නා රජු විසින් කැලණි චෛත්‍යය ඉදිකළේය. තරමක් කුඩාවට ඉදිකළ කැලණි චෛත්‍යය පසුව ක‍්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ දී යඨාලතිස්ස රජු විසින් සැටරියන් උසට ඉදිකරන ලදී. එහි වට ප‍්‍රමාණය අඩි එකසිය අසූවකි.
බුදුන් වහන්සේ කැලණියට වැඩම කර ගෙඟ් ජලස්නානය කළ අවස්ථාවේ හැඳසිටි සිවුර, තැන්පත්කර මණිඅක්ඛික රජතුමා විසින් තවත් දාගැබක් ඉදිකළේය. එය ‘‘සිවුරුදාගැබයි’’ මෙය මංගල මහා ස්තූපය ලෙසද හැඳින්වේ. මෙම චෛත්‍ය පුළුල් කොට ක‍්‍රි.ව 301 සිට 328 දක්වා අනුරාධපුරය රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් කරවන ලද නිසා අද එය හඳුන්වන ලබන්නේ ‘‘කිත්සිරි මෙවන් විහාරය’’ යනුවෙනි.
කිත්සිරිමෙවන් විහාරයේ එදාසිටම පැවැති චෛත්‍යය කුමන දෙයක් නිධන්ගත කොට තනන ලද්දක්දැයි හඳුනාගත නොහැකි ව තිබුණද දැනට වසර කිහිපයකට පෙර කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවූ දහවැනි සියවසට අයත් ටැම්ලිපිය අනුව බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගැබත් මිථ්‍යාවක් නොවන බවට සනාථ වී තිබේ.
එම සෙල්ලිපියේ ‘‘උදකස්දා’’ යනුවෙන් තිබූ වැකිය කියවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන
ශූරීන් එහි අර්ථය වශයෙන් දක්වා ඇත්තේ ‘‘දියනෑම සඳහා භාවිත කළ චීවර ධාතුව’’ යනුවෙනි. එහි මෙසේද සඳහන් වේ.
‘‘වදාළ හෙයින් කැලණි රජමහා වෙහෙ උදකස්දා නින්දා මඟුල් දා ගැබිහි බද මුල් ගුණ සමමෙ වෙහෙර් සෙනෙවිරද් පදිය වසමට දෙනුකොට ඉසා’’එහි අර්ථය වන්නේ
රජතුමා නියම කළ බැවින් කැලණි රජමහා විහාරයෙහි ජල සාටිකා ධාතුව (දියනෑමට භාවිත කළ සිවුර) නිධන් කල මංගල මහාස්තූපයෙහි පහන් පූජාව පැවැත්වීම පිණිස රුවන්වැලි සෑයට අයත්ව මුලසිට පැවැති ප‍්‍රදේශය මෙම විහාරයෙහි සෙනෙවිරත් පදවියේ ප‍්‍රදේශ පාලනයට දෙනු පිණිස’’ යන්නයි.
එගොඩ කැලණිය හා මොගොඩ කැලණිය වශයෙන් කැලණි විහාරය හා කිත්සිරිමෙවන් විහාරය කැලණි ගංගාවෙන් වෙන්ව තිබුනද අදවනවිට ගඟ මතින් ඉදිවූ ගුවන් පාලමකින් එම ස්ථාන යාකොට තිබේ. එහෙත් පුරාණ කාලයේ මේ ස්ථාන දෙකම එකම ස්ථානයක පිහිටා තිබූ බවත් ගඟ ඉතා සිහින්ව පසෙකින් ගලා ගිය බවත් කියැවේ.
කිත්සිරිමෙවන් විහාරයේ ඇති නුවර යුගයේ එක් චිත‍්‍රයකින් පෙනෙන්නේ එකල ගංඟාවේ තිබූ ‘‘පටු’’ කමයි. විහාරස්ථානය අසලින් ගලායන පටු ඇළ මාර්ගයක් ලෙස එම චිත‍්‍ර වලින් කැලණි ගංඟාවේ එදා තත්ත්වය පෙන්නුම් කරවයි.
කිත්සිරිමෙවන් විහාරයේ විහාරාධිකාරී කුණන උපනන්ද හිමියන් ප‍්‍රකාශ කළේ එහි ඇති චෛත්‍යයේ චීවර ධාතුවට අමතරව ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නිය ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවයි. බුදුන් වහන්සේ කැලණි ගංඟාවේ දිය ස්නානය කළ ස්ථානයේ පිහිටවනු ලැබූ බව කියන ශ්‍රී පාද ලාංඡනය අනුස්මරණය කිරීම සඳහා පසුකාලීනව මෙම විහාරයේ දායකයින් විසින් අනුස්මරණ ශ්‍රී පතුලක් කළු ගලක නිර්මාණය කොට වන්දනාමාන කරන බවත්,බොහෝ දෙනා අදත් විහාරස්ථානයට පැමිණ එම ශ්‍රී පාද ලාංඡනය වෙත නොයෙකුත් බාරහාර වී පුද පූජා පවත්වන බවත් උන් වහන්සේ කීහ.
මේ ගල අද්දවා කැලණි රජමහා විහාරයේ ඉදිරිපස මළුවේ තබා තිබුණද අදවනවිට එය බොහෝ දෙනාගේ ඇස නොගැටෙන විභීෂණ දේවාලයේ පිටුපස භූමියේ තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත් කැලණිය යනු ලක්දිව පැරණිතම නගරයකි. විභීෂණ කැලණිය තම රාජධානිය වශයෙන් තෝරාගෙන ලක්දිව පාලනය කළේ බුද්ධ කාලයටත් පෙරය. ඉන් අනතුරුව කැලණියේ පාලකයා වන්නේ මණිඅක්ඛික නා රජුය. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුවූ නාගදීපයේ චුල්ලෝදර මහෝදර සටනේදී බුදුන් වහන්සේගේ දහම් අසා පැහැදීමෙන් පසුව මණිඅක්ඛික නා රජු කැලණියට වැඩම කරන ලෙස කළ ආරාධනයෙන් පසුව බුදුන් වහන්සේ කැලණියට වැඩම කළහ.
කාලිංග මාඝගෙන් ආරම්භ වූ විදෙස් ආක‍්‍රමණත්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසින්ගෙන් කැලණි විහාරය විවිධ ආක‍්‍රමණවලට ලක්විය. සතුරුසේනා දහස් ගණන් පැමිණ කැලණි විහාරය විනාශ කිරීමට නොහැකි වී අදත් විරාජමානව බැබලෙන්නේ බුදුන් වහන්සේගේ මහා අනුහස් අදටත් පවතින නිසාය.
දොම්පේ අජිත් මදුරප්පෙරුම
2012 සැප්තැම්බර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කැලණි චෛත්‍යය

සෙල් ලිපිය

බුදුහිමියන් කැලණි ගෙඟ් ස්නානය කළ බව සැලකෙන ස්ථානය

කුණන උපනන්ද හිමි

අන්තවාදයෙන් වැනසුන සෙනවිරත් පිරිවෙන

September 9, 2012 at 12:05 am | Lanka C News.
නව වන දසවන සියවස ආසන්න කාලයේ රජරට ශිෂ්ඨාචාරයේ ඇතිවූ දියුණුව සනිටුහන් කරන සළකුණු දක්නට හැකි එක් ස්ථානයක් වන්නේ පදවිය වාහල්කඩ ප්‍රදේශයයි. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන පදවිය උතුරු මැද පළාතේ මහා වාරි සංස්කෘතිය පණ ගැන්වූ අසම සම නිර්මාණයකි. එකළ එයට මහා සාගරය යන නාමය ද භාවිතා වූ බව පෙනේ. එම වැවට දකුණු පසින් වාහල් කඩ වැව පිහිට ඇත. මෙයට ව්‍යවහාර වූ නාමය බෑන සාගරයයි. වම් පසින් ඇත්තේ නම්බකඩ වැවයි. මෙය මති සාගරය යනුවෙන් හඳුන්වනු ලැබීය. මේ මහා වාපී ත්‍රීත්වය විසින් පණ ගන්වනු ලැබූ කෘෂිකාර්මික සභ්‍යත්වය ඒ යුගයේ හැටියට ලංකාවේ සමෘද්ධිය ප්‍රකට කරවන්නක් විය.

අනුරාධපුර යුග අවසාන භාගයේ ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණයන් රාශියකි. නමුත් ඒ සියලු ආක්‍රමණයන් පරදවා රට සෙමෙහි තබන්නට පාලකයින්ට හැකි විය. මේ යුගයේ දී පදවිය වැවට භාවිතා කළ නාමය වූයේ පදොන්නරු යන්නයි. වාහල්කඩ වැවට සුලින්නරු යන නාමය භාවිතා කළ බවට සාධක සපයන තාමර වැව ටැම් ලිපිය ඉතිහාසයේ සමෘධිමත් කාලවකවානුවක පැතිකඩක් විවර කර දෙයි.මෙම ලිපියට අමතරව රඹෑව හා ඊරිපින්නියාව ටැම් ලිපි දෙකම පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවට ඉස්මත්තේය. එම ලිපි දෙකේම සඳහන් වන පරිදි මේ ප්‍රදේශයට සුලින්නරු ගම යන නාමය භාවිතා කර තිබේ. මෙයින් පළමු තාමර වැව ලිපිය දෙවන සේන යුගයට අයත්ය.( ක්‍රි.ව. 853-887) රඹැව ලිපිය දෙවනි උදය කාලයට (ක්‍රි.ව. 887 – 898 ) අයත්ය. ඊරිපින්නියාව ලිපිය ද දෙවනි උදය කාලයට අයත් යයි රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ සඳහන්ය.

මේ ලිපි තුනේම සඳහන් පරිදි අනුරාධපුරයේ මහා විහාර පාලනයේ නියුතු සෙන් සෙනවිරද් නම් ප්‍රභූවරයෙකු මේ සුළින්නරු ගමේ සෙනවිරද් නම් පිරිවෙනක් සකස් කර එහි භික්ෂූන් වහණ්සේලා ගේ අධ්‍යාපන පහසුව උදෙසා ඒ ප්‍රදේශයේ ගම්බිම් පවරා දුන් බව සඳහන්ය. වත්මන් වාහල් කඩ ඉස්මත්තේ එයට පෝෂක වන ප්‍රදේශයේ තවලම් හල්මිල්ලෑව කපු ගොල්ලෑව තාමර වැව ආදී ග්‍රාමීය වැව් රාශියක් පිහිට ඇත. වාහල් කඩ වැවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තවලම්හල් හල්මිල්ලෑව ඔය නියන් කාලයට සිඳි යයි. ඒ නිසා මාස් කන්නයේ වර්ෂා කාලයට ජලය එක් රැස් කර ගැනීමේ පහසුව පිණිස පැරණි රජවරු වාරි මාර්ග රාශියක් මේ පෙදෙසේ කර ඇත. පදවිය වැවට ජලය සපයන මොර ඔය ආරම්භ වන්නේ කුංචුට්ටු කෝරළයෙනි. කුංචුට්ටු යනු පුංචි උල්පත් ප්‍රදේශයයි. මේනිසා මොර ඔය යම් පමණකින් ජලයෙන් පිරී පවතී.

මේ සුළින්රු ගම සෙනවිරද් පිරිවෙනට පවරා දෙන අවස්ථාවේ දී මේ ගම් වල කුඹූරු රිසි සේ අස්වැද්දීමට අවශ්‍ය වාරිමාර්ග පහසු කම් සැපයීමට ද රජවරු උනන්දු වී ඇත. ඊරිපින්නියාව ටැම් ලිපියේ සඳහන් වන්නේ මොර ඔය හරස් කර තැනූ අමුණෙන් ජලය හරවා වාහල් කඩ වැවට ගෙන ගිය ආකාරයයි. එහි සෙල් ලිපි පාඨයේ පෙර සිරත් පෙකුර් වසා හොය කොඩ් බද් බනුවත්තට් පොසොවුනල්ලට් මහමඩ්ලියෙන් වන් දොලොස් කිරියැ නොගන්නා කොට් ඉසා යනුවෙන් සඳහන් වන විට එයින් වෙසෙසි කාරණයක් ඉස්මතු වෙයි. මහසෙන් යුගයේ ආරම්භ වුවද ඉන් පසුව නවවන සියවස වන විට ද පෙර සිරිත පිලිබඳව සැලකිලිමත් වීම මෙම වෙසෙසි කාරණයයි. ඒ මතුද නොව සෙනවිරත් පිරිවෙනට මෙම ගම පූජා කළ හෙයින් දොලොස් කිරියක ධාන්‍ය බදු ද නොගත යුතු යයි සඳහන්ව තිබීම ඒ යුගයේ සම්ප්‍රදාය කුමක්දැයි කිය පෙන්වන්නකි.

මෙම ඇළ මාර්ගය වැටී ඇත්තේ වාහල් කඩ වැවට වම් පසිනි. තාමර වැව පසුකර වැව් දෙකක් පෝෂණය කරමින් අවසානයේ රඹෑවට වැටී ජලකඳ පාත් වන්නේ වාහල් කඩටයි. වාහල් කඩ වාන් දමන කල්හි රඹෑව පැත්තෙන් තිබෙන ආඬියා වැව පත්තෑව යන වැව් දෙකට වැටුණු ජලය පදවිය වැවට එකතු වුණු බව පැරණියන් පවසති.මේ සම්ප්‍රදාය මගින් ජලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනීයයි. එහෙත් වර්තමාන වාරි ඉංජිනේරුවන් මේ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත. එම ඇලේ නටබුන් තාමර වැව පාසල් වත්ත හරහා වැටී තිබෙන ආකාරය දැනට දක්නට හැකිය. මේ ඇළ මාර්ගය පණ ගැන්වීමට උත්සාහ නොකිරිම නිසා මාවත වැව ආදී බොහෝ වැව් ගණනාවකට අද ජලය අහිමි වී තිබේ.මේ නිසා මේ ප්‍ර දේශ කැලෑවට යට කර වන දෙපාර්තමේනතුවට පවරා දී ඇත. තවලම් හල්මිල්ලෑව ඔයෙන් එගොඩ පිහිටා තිබෙන්නේ පුංචි කුලම නොහොත් කුංචි කුලමයි. වීර සෝලේ වැවද එයට යාබදව පිහිටා ඇත. පුංචි කුලම වැවේ ඉස්මත්තේ වැදගත් පුරාවිද්‍යාස්ථානයක් පිහිටා තිබේ. දැනට හඳුනා ගත හැකි ආකාරයට මේ ස්ථානයේ පැරණි සෙනවිරත් පිරිවෙන් පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මේ තත්වය එසේ වුවද කුංචි කුලම පිහිටුවා තිබෙන අත්තාණි ලිපියේ සඳහන් වන පරිදි පෙර මහා විහාරයට පවරා දී තිබූ මේ පිරිවෙන උදය රජුගේ සෙහොයුරු කසුප් රජ කාලයේ දී අභයගිරි මහ වෙහෙරට පවරා දුන් බව තහවුරු වෙයි. අනුරාධපුර සිදු වූ ශාසනික වෙනස් කම් මෙයට බලපාන්නට ඇත. කෙසේ වෙතත් මේ සියලු ශිලා ලිපි මෙන්ම එයට අදාල පුරාවිද්‍යා ස්ථානයන්ද ලංකාවේ ඉතිහාසයට අතිශයින් වැදගත් බව නොකිවමනාය. නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ප්‍රදේශ එක් කලකදි ජනශූන්‍ය විය. පොලොන්නරු යුගයෙන් පසු සිදුවූ ද්‍රවිඩ ආකුමණයන් මීට තදින්ම බලපෑ බව පෙනේ. නමුත් නුවර යුගයේ දී පවා නැවතත් මේ ස්ථාන සංවර්ධනය වී සිංහල ජනතාව පදිංචිව සිටි ආකාරය පෙන්නුම් කළ හැකිය. එම යුගයේ දී මේ පළාත කරවීමට විදානේ වරයෙක් පත් කොට ඇති අතර වන්නි වරුන් අතරින් තෝරා ගත් හුරුල්ලේ ඉලංගසිංහ කුමාරසිංහ මෙහිදී හුරුලු විදානේ ලෙසින් පත්කර තිබුණි. මොහු ගෙන් පසු ඔහුගේ පරපුර ඒ පළාතේ රටේ මහත්තැන් තත්වයට පත් කර තිබේ. ඒ අනුව සියුලු වැව් ගම්මාන ඔහුගේ නින්දගම් ලෙසින් භාවිතා කර ඇති බව පෙනේ.

1915 මුස්ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුල පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක් තෝරාගත් මේ රටේ මහත්මයා ඒවායේ මුස්ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්ඩියේ සිටි මේ පිරිස ආරක්ෂාව පතා තාවකාලිකව එසේ පදිංචි කළ බව පෙනේ. ඒ අනුව වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්ලිම් වරු පදිංචි වී තිබේ.නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්ථීර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්තයින් ගේ අඩන්තේට්ටම වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරත් පිරිවෙන හා අත්තානි කණු වලට වූයේ කුමක්දැයි සෙවීම මගේ අරමුණ විය. එහිදී අපට දක්නට හැකිවූයේ ඓතිහාසික සෙනෙවිරත් පිරිවෙන් භූමිය ඩෝසර කර ඇති බවයි. වීරසෝලේ ගමේ මුස්ලිම් වරු 2010 වසරේ දී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්තු රාශියක් පොකුණකට දමා පස් පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.

මේ ප්‍රදේශයේ සංචාරය කරන විටදී මේ සහාසික අපරාධය සියැසින්ම දැක ගන්නට ලැබුණි. ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්නට නැත. පිරවෙන භූමියේ එක් පැත්තක් සහමුලින්ම ඩෝසර කර ඇත. පැරණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැගිල්ලක අවශේෂ දක්නට තිබී ඇත.එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය.මෙම විනාශය සිදු වන අවස්ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්වාමීන්වහණ්සේ එම ස්ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්ද රැගෙන වුත් විහාරස්ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්ගන්නට හැකිවුණි. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික උරුමය නොදත් ඇතැම් සිංහල නිළධාරින්ගේ පිහිටෙන් දැන් මේ මුස්ලිම් වරු බලවත් වී තිබේ.එයට හොඳම උදාරහරණය පුරාවස්තු වලින් පිරි වීරසෝලේ කඳුවැටියේ ගල් වලක් දැමීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අවසර පත් ලබා දීමයි.

- මතුගම සෙනෙවිරුවන්