උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

දළදා මාලිගාවේ ‍දෛනික තේවාවන් සිදුවන්නේ මේ විදිහටයි

දළදා මාලිගාව දිවමන් බුදු       හිමියන් වැඩ වසන ස්ථානය       හැටියටයි බෞද්ධයින් සලකන්නේ. ඒ, බුදුන් වහන්සේගේ දන්ත ධාතු හෙවත් ශාරීරික ධාතු වැඩ හිඳින බැවින්. මේ නිසා දළදා වහන්සේ උදෙසා දිනපතා ගෞරව දක්වනවා. එය හඳුන්වන්නේ 'දළදා තේවා' ලෙසිනුයි. දිනපතා දළදා හාමුදුරුවන්ට සිදුකරන තේවාවන් 'ෙදෙනික දළදා සේවා' ලෙසින් ද හඳුන්වනවා.
මෙය පුරාතන සිරිත් අනුව සිදු කිරීමත් විශේෂයි. ඒ අනුව ෙදෙනිකව දළදා හාමුදුරුවන්ට තේවාවන් තුනක් සිදු කළ යුතුයි. උදෑසන 5.30 ත් 7 ත් අතර පවත්වන්නේ අලුයම තේවාවයි. මේ වෙලාවන් වෙන්කර තිබෙන්නේ සිංහල පැය ක්‍රමයටයි. පළමුව දළාදා තේවාවේ නිරත භික්ෂූන් වහන්සේලා ගන්ධ කුටියට ඒ කියන්නේ දළදා හිමියන් වැඩ සිටින කුටියට පිවිසීමත් සමගම දොරවල් අරිනවා. ඒ බව දන්වන්ට 'ගෙඩිය ගහනවා'. එනම් ගණ්ඨාව නාද කිරීමයි. ඒ සමගම දළදා මලසුනේ තිබෙන පරමල් ඉවත් කරනවා. එවිටම දළදා වහන්සේට බොලපැන් පූජා කරනවා. ඒ ශ්‍රී මුඛය සෝදා ගැනීම සංකේතවත් කරන්නටයි. ඊගාවට දැහැටි පිරිනමනවා. යළිත් ශ්‍රී මුඛය දෝවනය කරන්නට බොලපැන් පුදනවා. එම චාරිත්‍ර අවසන් කර උදෑසන හීල් දානය පිරිනැමෙනවා. ඒ සමගම දළදා හිමියන් උදෙසා සුදු සමන් පිච්ච මල් පූජාවද සිදුකරනවා. දළදා පූජාවට තැබූ බඳුන් සියල්ල ඉවත් කිරීම හා අලුයම තේවාව අවසන් කිරීම උදෑසන 7 වන විට සිදුවන නිසා යළිත් දොරවල් වසා යතුරු පයින්ඩ කිරීම කරනවා.
දවල් ආහාර පූජාව හඳුන්වන්නේ 'නව පෑ පූජාව' ලෙසින්. එය පෙරවරු 9.30 ත් 11 ත් අතර සිදුවෙයි. මෙය චිරාගත පිළිවෙත් අනුව සිදුවන්නක්. එහිදී දළදා මලසුනේ සුදු මල් අතර සුදු ඇතිරිල්ලක් එලා ඒ මත රන් බඳුන්වලට දානය පිරිනමනවා. මෙහි දී හාල් සේරු 32 ක බතක්, එළවළු වර්ග 32 ක්, හා කැවිලි වර්ග පිරිනමනවා. මේ දානය රැගෙන එන්නේ හේම කදකයි. එසේම දන් පිළිගන්වන විට වයන බෙරපද වෙනස්.
සවස ගිලන්පස පූජාව සවස 6.30 ආරම්භ වී සවස 7.45 ට අවසන් වෙනවා. මෙහිදී අලුත්  සමන් පිච්ච මල් පූජා කිරීම හා ගිලන් පස හා පැන් පූජා කරනවා. සවස ගිලන් පස පූජාව  අවස්ථා දෙකකදී සිදු කිරීම විශේෂත්වයක්. පළමු ගිලන් පස පූජාව සවස 7 ට සිදු කරන අතර දෙවන ගිලන්පස පූජාව සවස 7.30 ට සිදු කරනවා. සවස 8 පසුව දොරවල් වසා 'යතුරු රාජකාරි කරනවා'. දළදා මාලිගාවේ දොරවල් වසා යතුරු දැමීම යතුරු රාජකාරි හැටියටයි හඳුන්වන්නේ.
මේ ආකාරයට දළදා මාලිගාවේ ෙදෙනික පූජාවන් සිදුකරන විට ඊට සහභාගී වන්නේ තේවාබාර රාජකාරිකරුවන් පමණයි. එසේම ගදකුටියේ තිර ඇදීමෙන් එය පිටට පෙනීම වළක්වනවා. ඒ වගේම තමයි දළදා වහන්සේ වැඩ හිඳින ගන්ධ කුටියයට තිබෙන 'හේවිසි මණ්ඩපයේ' සිට පණික්කිරාලවරුන් හේවිසි පූජා පවත්වනවා. ඒ ඒ වතාවත් වලදී අනුගමනය කළ යුතු හේවිසි පද වෙනස් වෙනවා. මේ සියල්ලටම හේතුව නම් දිවමන් බුදු හිමියන්ට ඇති ගෞරවයයි. ඒ වගේමයි මහනුවර රජවරුන් අනුගමනය කළ රාජකීය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අද දවසේදීත් අනුගමනය කිරීමයි. එය දළදා පූජා සම්ප්‍රදායක් ලෙසින් හඳුන්වනවා.

2012 ජූනි 24 වෙනි ඉරිදා, ලක්බිම 
මහින්ද කුමාර දළු‍පොත 

හලාවත මුන්නේශ්සරම වැලලූ බොදු උරුමය

හින්දු ආගමිකයින්ගේ පූජනීය වූ ශිව දෙවියන්ගේ අනසක පවතින කෝවිලක් හැටියට පුද සැලකිලි ලබන එහෙත් ඔවුන්ට පමණක් සීමා නොවූ බෞද්ධයින් පවා වදින පුදන තැනක් ලෙස හලාවත මුන්නේශ්වරම දේවාලය හදුන්වා දිය හැක. මේ මහා දේවලය පිහිටා ඇත්තේ හලාවත නගරයේ සිට කිලෝ මිටර් 02 ක් පමණ කුරුණෑගල දෙසට වන්නටය. සරුසාර කෙත්යායකින් හා හලාවත ප‍්‍රදේශයම සරු කිරීමට සමත් රජ දරුවන් තැනූ මහා වැව් පද්ධතියකින් සෝභා සම්පණ්න වූ මනරම් වටපිටාවකය. හිනන්ගේ අදහස් අනුව මේ මහා දේවාලයේ ඉතිහාසය රාම-රාවණා කාලය දක්වා දිව යයි. නමුත් මෙහි පවතින නිර්මාණ එතරම් පැරණි නොවන බව පෙනේ. මෑතකදී මෙහි කළ අනවසර කැණීමකදී දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියසින් පුරාණ සදකඩ පහනක් මතු විය. මිට පෙර ද දේවාල භූමිය අභ්‍යන්තරයේ පසෙකට දමා තිබූ මුරගල් යුගලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  පැමිණ පරීක්ෂා කරන ලදුව මෙම මුරගල් යුගලය අනුරාධපුර යුගයට අයත් කලා ලක්ෂණ වලට නෑකම් කියන මුරගල් යුගලයක් බව තහවුරු කළහ. දේවාලයේ වර්තමාන පාලකයින්ගෙන් මේ පිළිබදව විමසීමේදී දැනට දශක 03 කට පමණ පෙර මෙම මුරගල් යුගලය දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස පැවති බවත් පසුව ඒවා ගලවා ඉවත් කළ බවත් එය අසළ පැවති අර්ධ කවාකාර ගල් පුවරුවක් සිමෙන්ති දමා වසා දැමූ බවත් ඔවුන් පැවසීය. මෙසේ මෙම අනවසර කැණීම් වලදී මතු වූයේ එම දශක 03 කට පමණ පෙර වසා දැමූ සදකඩ පහනයි.
හින්දු දේවාලයක මුරගල් හා සදකඩ පහන්් පවතින්නේ කෙසේද? මෙම දේවාලයට බෞද්ධ සබදතාවයක් ඇත්ද? යන ප‍්‍රශ්නය මේ ඔස්සේ ජනිත වන දහසකුත් එකක් ප‍්‍රශ්න අතරින් කිහිපයකි. එයට පිළිතුර නම් ඔව් යන්නයි. මුන්නේස්වරම දේවාලයේ දැනට පවතින භූමියේ අතීතයේ පැවතියේ  බෞද්ධ විහාරයකි. එනම් මුලසෝ වෙහෙර හෙවත් තුමුලසෝම පිරිවෙනයි. මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දිව යයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී අනුරාධපුර විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී පැණ නැගි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ එක් නමක් මෙම භූමියේ රෝපණය කළ බව ජනප‍්‍රවාදයේ ස`දහන් වේ. අදටත් මුන්නේශ්වරම දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම පුරාණ බෝධීන් වහන්සේ වැඩ වෙසේ. අතීතයේ මෙම ස්ථානයේ බුදු පිළිමද පැවති බව ප‍්‍රදේශයේ පැරැුණ්නන් පවසයි. දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේදී ආරම්භ වූ මෙම විහාරය මුලසෝ වෙහෙරයි. තුමුලසෝම විහාරය, මුල්ආශ‍්‍රම විහාරය ආදී නම් වලින්ද මෙම විහාරය හැ`දින්වීණි. දැනට ව්‍යවහාර වන මුන්නේශ්වරම යන නාමය මෙම බෞද්ධ මුල් ආශ‍්‍රමය එසේ නොමැති නම් මුලසෝ වෙහෙර යන නාමයෙන් බිදී ආවෙකැයි සිතිය හැකිය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු රජ පැමිණ සද්ධාතිස්ස රාජ්‍ය යුගයේ දී මෙම ස්ථානය  තව දුරටත් දියුණු විය. අනුරාධපුර යුගයෙන් පසු පැමිණි පොළොන්නරු යුගයේදීද ( 13 වන හා 14 වන සියවස් වලදී) ශ‍්‍රී ලංකාව අවලෝකිතේශ්්වර නාථ නමැති ආරෝග්‍ය දෙවියන් වැඩ විසූ (බෝසතාණන් වහන්සේ) දිවයින ලෙස ජාත්‍යන්තර කීර්තියක් ඉසිලීය. අතීතයේ හලාවත ද ප‍්‍රසිද්ධ නැව් තොටකි . නැව් තොටවල් ආශ‍්‍රිතව වරායන්ගේ් පාලක දෙවියන් ලෙස නාථ දේවාල ඉදිවිය. මෙම යුගයේදී මෙම මුලසෝ වෙහෙරට ද නාථ දෙවියන්ගේ බැල්ම වැටුණි. එනම් මුලසෝ වෙහෙරේ නාථ දේවාලයක් ඉදිවීමයි. එකල ලංකාව යම් කිසි මට්ටමක මහායාන බුදුදහමේ බලපෑමකට ලක් වෙමින් පැවතුණි. පොළොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා දැනට දේවාලය ඉදිරිපිට දක්නට ලැබෙන මුන්නෙශ්වරම් මහ වැව ඉදි කළ බව ස`දහන් වේ. එතුමාණන්ගේ අනුග‍්‍රහය ද මුලසෝ විහාරයට ලැබුණි.
ඉන් පසු පැමිණි දඹදෙනි යුගයේදී දඹදෙනි රාජධානියේ රජ කළ පණ්ඩිත පැරකුම්බා රජතුමාගේ පුත‍්‍රයාට චර්ම රෝගයක් සෑදුනි. කුමන පිළියම් යෙදුවද සුව කිරීමට නොහැකි විය. මේ අතරවාරයේ ලක් දිවට පැමිණ සිටි බමුණන් කීප දෙනෙකු ගේ මාර්ගයෙන් රජතුමාට උපදෙසක් ලැබුණි. එනම් මුලසෝ විහාර, දේවාලයේ භාරයක් වන ලෙසයි. රජතුමා ඔවුන් කැ`දවා දේවාලයේ යාගයක් පවා කරවීය. ආශ්චර්යයක් ලෙස රජතුමාගේ පුත‍්‍රයාගේ රෝගය සුව විය. මෙම කරුණ සනාථ කරමින් අද පවා චර්ම රෝග උදෙසා මුන්නේස්සරම දේවාලයට බාර හාර වීම් සිදු කරයි. රජතුමා මෙයට කළගුණ සැලකීමක් වශයෙන් දේවාලයේ පුද පූජා පැවැත්වීම්    බ‍්‍රාහ්මණයන්ට පැවරීය. හලාවත ප‍්‍රදේශයේ ඇති බ‍්‍රාහක්මණ ද`ඵව ග‍්‍රාමය ඔවුන් ලද ගම් වරයකි. අද දක්වාම මුන්නේශ්සරම දේවලයේ පූජා පැවැත්වීමේ අයිතිය පමණක් මොවුන්ට එසේ හිමි විය.
මෙසේ කෝට්ටේ යුගය වනතුරුම බලපෑම් මධ්‍යයේ වුවද මුලසෝ වෙහෙර නිරුපද්‍රිතව පැවතුණි. කෝට්ෙටි රාජධානිය මුල් කරගෙන ලක් රජය මෙහෙය වූ 6 වන ශ‍්‍රී පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලයට ගම් බිම් පුද කළ බව වර්තමාන මුන්නේශ්සරම දේවාලය උතුරු කෙළවරේ බිත්තියට සවි කොට ඇති ගල් සන්නසක සදහන් වේ. සංස්කෘතයෙන් ලියා ඇති එම ගල් සන්නසේ මෙසේ සදහන් වේ. ”උත්තම ශ‍්‍රී සංඝබෝධි පරපුරෙන් පැවත එන සයවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයන් රාජාභිෂේක ලත් තිස්වන අවුරුද්දේ බක් මස සදනැග එන දස වන දිනයේදී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ආරාධනා කරන ලදුව තම්පියර් නම් පූජකයන් අතුරින් උගත් බ‍්‍රාහක්මණ පණ්ඩිතයා සම`ග සාකච්ජා කරනුයේ දේවාලය ගැන ප‍්‍රශ්න කරන ලදුව කලින් පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්සරම දිස්ති‍්‍රක්කයේ ඉඩම්  ශ‍්‍රද්ධා නාමයෙන් දෙවියන්ගේ ඉඩම් වශයෙන් පවරා දෙන ලදී. ඉලිදෙනියේ පිහිටි කුඹුරු අමුණු 30 ක් ද තික්කදායි අමුණු 8 ක්ද මීට යාව පිහිටි ජනාකීර්ණ පෙදෙස් හා කැළෑ ඉඩම් ද උවමනායි නම් ප‍්‍රධාන පූජකයින්ට දෙන ලදී. දිනපතා පිදීම සදහා සහල් එළව`ඵ සුව`ද වර්ග ඉර හද පවත්නා තෙක් පරම්පරාවට අයත් වන පරිද්දෙන් පවරා දෙන ලදී. යමෙක් මෙම ඉඩම් වලට අනතුරක් කරන්නේ නම් හේ පංචමහා කර්මයට හසුවන්නේය. මේ කැළෑ රක්නා තැනැත්තෙක් දේවාශිර්වාද ලබන්නෝය. පරාක‍්‍රම බාහු රජතුමා විසින් ඥානයට සාගරයක් බදු අනේක විද දෙවිවරුන්ගේ ස්වාමි වූ මුන්නේස්සරම දෙවි උතුමන් වෙනුවෙන් මේ නියෝගය පනවන ලදී.”
යනුවෙනි. කෝට්ටේ යුගයේදී ඉරුගල් පරිවේනාධිපතිගේ කෝකිල සන්දේශය ද මෙම  මුන්නේශ්සරම් දේවාලය ගැන සදහන් ව තිබේ. එයින් පවා පැහැදිලි වන්නේ එවකට මෙම විහාරයේ දෙවොල දියුණුවෙන් හා ප‍්‍රසිද්ධියෙන් යුක්ත වවක්ූ බවයි.
පෑල දිගු වෙනුර සරහන කොතබු මිණි ලෙසින්
දිලි රිවි බිඩු බබළන වෙසෙස සහ                රසින්
දළ ස`ද පිහිටි මුන්නේස්සරම දැක              තොසින්
ලෙළතුබු තුරෙක වැ`ද සැතපෙව සිතු            විලසින්
යනුවෙනි. කෝකිල සන්දේශයේ ද මෙම දේවාලය ගැන ස`දහන් වේ. කෝට්ටේ 8 වන වීර පරාක‍්‍රම බාහු රජ දවස හලාවත මාදම්පේ ප‍්‍රදේශය පාලනය කළ තනියවල්ලභ රජු ද මෙම දේවාලයට ගම් බිම් පුද කළ බව ද මෙම රාජ්‍ය යුගයේදී  ම සිදු වූ මුක්කර හටනේදී රජුගේ සහයට පැමිණි උඩුගම්පල සිටි සොහොයුරු සකල කලා වල්ලභ ප‍්‍රාදේශීිය රජුද සටන නිම වී යළි ගම් බිම් බලා යන අතර තුරදී මුන්නේශසරම දේවාලය කෙරෙහි පැහැදී ගම් බිම් පුද කළ බවද පැවසේ. 1505 දී ලක් දිවට පැමිණි පෘතුගීසි න් 1597 දී හලාවත අල්ලා ගැනීමෙන් පසු 1605 ඔක්තෝම්බර් 22 මුන්නේශ්සරම විහාරය හා පිරිවෙන (තුමුලසෝම) විනාශ කොට දේවාලය දේපළ කොල්ලකෑ අතර දේවාලයට අයත් ගම්බිම් 64 ක් ද කොල්ල කන ලදී. එයින් නොනැවතුන ඔවුන් දේවාලය පිහිටි තැන ඔවුන්ගේ දේවස්ථානයක් ඉදි කළහ. දේවාලයේ වස්තුව හා කොල්ලකෑ ගම් 64 හලාවත ජේසු නිකායේ පූජකයින්ට පැවරීය. දේවාලයට අයත් ගම් 64 ප‍්‍රධාන වූයේ දේවාලය පිහිටි මුන්නේශ්සරමටයි. නැගෙනහිරින් සේනා නම් දේවමැදි කෝරළය කුසල නම් ගම ද දකුණින් සිරතලබෝ නම් වැවද මීට මැදි වූ බව සදහන් වේ. පෘතුග‍්‍රීසි යුගය වන විට දේවාලයට අයත් ගම් 64 සිට 106 දක්වා වර්ධනය විය. 1617 නිකපිටිය බණ්ඩාරගේ පිරිස් විසින් මෙහෙය වන ලද කැරලිකාර පිරිස දේවාලය කඩා ඒ මත සාදන ලද පල්ලිය විනාශ කරන ලදී. නමුත් ටික කලක නිහැඩියාවෙන් පසු යළිත් ඔවුන් තම දේවස්ථානය ඉදිකරන්නට විය. නමුත් මෙවරද උඩරට රාජධානිය නායක්කාර වංශික විජය රාජසිංහ රජුතුමා 1745 දී යළි එම පල්ලිය විනාශ කරවීය. රජු විසින් මුන්නේශ්සරම දේවාලය යළි ඉදිකරනු ලැබීය. අද දක්නට ලැබෙන්නේ  හින්දු ආභාෂයක් පැවති මෙම රජු විසින් ගොඩනැගූ දේවාලයයි. මෙහිදී පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගෙය සම්ප‍්‍රදායෙන් නව දෙව් මැ`දුර ඉදිවිය. අද දක්නට ලැබෙන හින්දු ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ වලට මූලික අඩිතාලම වැටුණේ එපරිදිය. ඉන් පසුව මහනුවර රජ පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමන්ලා විසින් දේවාලයේ උන්නතිය උදෙසා කටයුතු යෙදීය. ක‍්‍රි.ව. 1755 රජ පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් දේවාලයේ මහා ප‍්‍රතිසංස්කරණයක් සිදු කර වීය.
අතීතයේ මුලසෝ විහාර වර්ණාව නම් පද්‍ය සංග‍්‍රහයක් තිබී ඇති අතර එහි ඇති එක් පiයක මෙසේ සදහන් වේ.
බුද්ධ රත්නයේ වැඩ හි`දිනා නිවන්         පුරෙන්
ධම්ම ධාතු වැඩියා වජිරා               පව්වෙන්
නිවන් මගට මග පෑ මහ නුවන්           තොටින්
මුලසෝමෙට එති රොඩියෝ දැදුරු        තොටින්
මෙම පද්‍යයේ සදහන් ධම්ම ධාතු වැඩම කිරීම සිදු වූයේ අනුරාධපුර යුගයේ ශිලා කාල රජු දවසය. මෙම ධම්ම ධාතු මුල් වරට වැඩම කෙරුවේ මුලසෝ වෙහෙරටද? මෙසේ වරින් වර හැල හැප්පීම් මැද මුලසෝ විහාරය වෙනස් විය. මෙහි ඇති බෞද්ධ උරුමය සියැසින් දුටු පුද්ගලයින් අද පවා මෙහි වෙසේ. මෙහි අද දක්නට ලැබෙන හින්දු ගෘහ නිර්මාණයේ මෑතකදී නිර්මාණය වූ ඒවාය. එම නිර්මාණයන් අවුරුදු 100 කට වඩා අඩු ඉතිහාසයකට නෑකම් කියන නිර්මාණයන්ය. 1988 ගරු හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ආණමඩුව ගම් උදාව පැවති අවධියේ මුන්නේශ්සරම දේවාලයද අවට සංවර්ධනය කොට අවට ප‍්‍රදේශය පූජා භූමියක් බවට පත් කරවීය. මේ යටතේ පැරණි පොකුණ ප‍්‍රතිසංස්කරණය බෝධීන් වහන්සේට රන් වැටක් ඉදි කිරිම හා පැරණි නටබුන් මතු කර ගැනීම ආදී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරිම සැලසුම් විය.  මේ දක්වා එම සැලසුම ක‍්‍රියාත්මක නොවන අතර මෙම පූජා භූමිය වැඩ පිළිවෙළ හෝ බෞද්ධ උරුමය නොතකා වර්තමාන පාලන අධිකාරිය විසින් අනවසර ඉදිකිරීම් ඉදිකෙරෙමින් පවතී. 2009.01.25 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ 106 පිටුව 47 වන වගන්තියට අනුව ”වයඹ පළාතේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ හලාවත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අංක 568 මුන්නේශ්සරම ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටි මුන්නේශ්සරම් ශිව දේවල භූමියට අයත් ගර්භ ගුහය, අන්තරාලය, මණ්ඩපය සහිත ශිව දේවාල ගොඩනැගිල්ල ගෝපුරය සහිත ශිව දේවාලය වට වූ ප‍්‍රකාරය, පැරණි ළි`ද, පුරාවිiා වටිනාකම් සහිත පැරණි පොකුණ”
යන වගන්තිය උල්ලංඝනය කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භූමිය අනවසර ඉදි කිරිම් කිරිමට සූදානම් වූ මොහොතක වැලලූණ බොදු උරුමය සදකඩ පහනක් ම`ගින් මතු විය. මෙම සදකඩ පහන පමණක් නොව මෙම භූමයේ තවදුරටත් ගවේෂණ කටයුතු සිදුකළහොත් තවත් බොදු උරුමය මතු වනු ඇත. ඉතිහාසයේ කුමක් කෙසේ සිදු වුවද වැදගත් වනුයේ ඉතිරිව ඇති එම උරුමයන් රැුක අනාගත පරපුරට දායාද කිරීමයි. සැමදෙනා පිළිගත යුත්තේ මෙම භූමියට බෞද්ධ උරුමයක් ද පවතින බවයි. නමුත් ඔවුන් කලබල විය යුතු නැත. මක් නිසාද යත් ඉන්දියාවේ අයෝධ්‍යාවේ මුස්ලිම් පල්ලියක් අරභයා මුස්ලිම් හා හින්¥න් අතර ඇති වූ ගැටුමක් මෙන් ගැටුමක් බෞද්ධයින් හින්¥න් හෝ වෙනයම් ආගමික කණ්ඩායමක් සම`ග මේ අරබයා ගැටුම් ඇති නොවන බවයි. බෞද්ධයන් කිසි දා අන්‍යආගමික ස්ථාන මත තම ආගමික ස්ථාන ඉදි කර නොමැත. එය බෞද්ධයින් බුදු දහම තුළින් ලැබූ බෞද්ධ ශික්ෂණයයි. බෞද්ධයින් වශයෙන් අප ඉල්ලා සිටින්නේ අපට සාධාරණයක් පමණි.
- හලාවත ඬේවිඞ් ගයාන් ඉන්දික

(ධර්මාචාර්ය/ Dip. Buddhism/stu.Buddhist and pali university/ ලේඛක හා හලාවත ඉතිහාස පුරාවිද්‍යා ගවේෂණ) 

සත් සියවසක්‌ සපුරන අස්‌ගිරි මහ විහාර පාර්ශවය


සියම් මහ නිකායේ අස්‌ගිරි විහාර පාර්ශ්වය සෙංකඩගල (මහනුවර) පුරවරයෙහි පිsහිටුවා සත් සියවසකි. (වසර 700 කි) එකී සත් සියවස්‌ පූර්ණ රාජ්‍ය උත්සවය අස්‌ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහ නායක මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති "ත්‍රි සිංහලාධීශ්වර" මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් මේ මස 12 වැනි දින එනම් (අද දින) මහනුවර අස්‌ගිරි මහ විහාර භූමියේ අභිනවයෙන් ස්‌ථාපිත කළ "ප්‍රා. උපාලි" මහතෙර අනුස්‌මරණ මන්දිරයේදී සිදුකෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

වත්මන් ශ්‍රී ලංකාවේ කිසිදු වෙනත් විහාර පාර්ශ්වයකට හෝ භික්‍ෂු වංශයකට නොමැති ඓතිහාසිකත්වයක්‌ මූලාශ්‍ර මගින් සනාථ කිරීමට අස්‌ගිරි පාර්ශ්වීය භික්‍ෂූන්ට හිමිවී තිබේ. "අච්ඡ" යන්නෙහි අර්ථය වලසා යන්නයි. එහෙත් "අච්ඡ" යන පදයෙන් අස්‌ ලෙස බිඳී පසුව එයට අශ්ව යන අර්ථය ගෙනදී නැවත අශ්ව යන වචනයට පාලි අශ්ව වාචි "හය" වචනය යොදා අස්‌ගිරි පාලියට නැඟුණු පසු හයගිsරි යන භාවිතය ගෙන වර්තමානයෙහි අපේ සන්නස්‌ ලියවිලිවල පවා මෙම යෙදුම දැකිය හැකිය.

අස්‌ගිරි යනු වලස්‌ගල යන්නයි. දකුණු පළාතෙහිද ක්‍රි.පූ. යුගයට ගැනෙන වලස්‌ගල නම් විහාරයක්‌ ඇත. එහෙත් යාපහු රාජධානි සමයෙහි ආරම්භ වන මූලාශ්‍රය මඟින් සනාථවන පරිදි ක්‍රි.ව. 1236 දී හෙවත් බු.ව. 1779 දී ආරම්භ වන හෙයින් එම දකුණු පළාතේ වලස්‌ගල නොවන බව පැහැදිලිව පෙන්වාදී තිබේ.

1236 දී සිදුවූ මාඝ ආක්‍රමණයෙන් පසු දිඹුලාගල වැඩි දීපංකර තෙරුන් ප්‍රධාන විදර්ශනා ධුරිත භික්‍ෂු පිරිසක්‌ මතු ශාසනයේ ආරක්‍ෂාව පතා යාපහුවේ වලස්‌ගලටත්, තවත් එම පරපුරේ ග්‍රන්ථ ධුරිත භික්‍ෂු පිරිසක්‌ දඹදෙණියටත් වැඩම කළහ. මේ සමග යාපහුවේ වලස්‌ගල හෙවත් අස්‌ගිරි සෙනසුන ක්‍රි.ව. 1236 දී ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ අස්‌ගිරි විහාරයේ ආරම්භය වන්නේය. මේ අනුව අස්‌ගිරි මහ විහාරයේ ආදි කර්තෘවරයා වන්නේ දිඹුලාගල දීපංකර තෙරුන් වහන්සේය. යාපහුවේ සුභ සෙනෙවි ප්‍රාදේශික රජකු ලෙසින් දඹදෙණියේ වත්හිම් විජයබාහු හෙවත් හතරවන විජයබාහු ලංකාවේ රජු ලෙසත් මෙවක රට පාලනය කළේය.

මේ රජුගෙන් පසු ෂ වන බුවනෙකබාහු ඔහු තම අවසාන කාලය යාපහුවේ ගත කරමින් එය ශ්‍රී ලංකාවේ තවත් රාජධානියක්‌ බවටද පත් කළේය. මේ රජුගෙන් පසු ආර්ය චක්‍රවර්තී නම් පඬිරජ ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ පැහැරගෙන පඬි රටට ගිය අතර ඉන් අනතුරුව දඹදෙණිය රාජධානිය බවට පත්කර ගනිමි. එහි රජවූ තෙවන පරාක්‍රමබාහු පඬි රජුගෙන් දළදාව ලබාගෙන දඹදෙණියට වැඩමවා ගත්තේය. ඔහුගෙන් පසුව යාපහුවේ අවසාන කාලය ගත කරමින් එය රාජධානිය කරගත් අතර ඉන්පසුව කුරුණෑගල හතරවන පරාක්‍රමබාහු හෙවත් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302-1326) රජවිය.

අස්‌ගිරි තල්පත (ක්‍රි.ව. 1753 වසරේ පමණ ලියෑවී තිබේ) අස්‌ගිරි උපත හෙවත් අස්‌ගිරි විහාර උත්පත්ති කතා ප්‍රකරණය ක්‍රි.ව. 1807 පමණ ලියෑවී තිබේ. මෙම තල්පත් අනුව හතරවන පරාක්‍රමබාහු රජු යටතේ සෙංකඩගල පුරයෙහි ප්‍රාදේශික පාලනය කරගෙන ගිය ඔහුගේ සිරිවර්ධන නම් සෙනෙවියාගේ ඇරයුම පරිදි යාපහුවේ වලස්‌ගල විසූ විදර්ශනාධුරිත භික්‍ෂූන් සය නමක්‌ එහි සිට මහ පෙරහැරින් බු.ව. 1850 දී හෙවත් ක්‍රි.ව. 1312 වෙසක්‌ පුර පොහෝ දිනට පෙර පිටත් කරවා රාත්‍රි ඇත්කඳ විහාරයෙහි ලැඟුම් ගන්වා වෙසක්‌ පොහෝ දින සවස්‌ භාගයේදී වර්තමාන "ත්‍රිත්ව විද්‍යාලය" භූමියට වැඩමවා එහි මහනුවර අස්‌ගිරි විහාරය විදර්ශනා ධුරිත භික්‍ෂූන් වහන්සේලාගේ සෙනසුනක්‌ ලෙස ආරම්භ කරන ලදී.

මෙසේ මහනුවර අස්‌ගිරි විහාරය ආරම්භ කිරීමට සිරිවර්ධන සෙනෙවියාගේ ඇරයුම පරිදි වැඩම කරවනු ලැබූ භික්‍ෂූන් වහන්සේලා සය නමක්‌ ගැන තල්පත් දෙකෙහිම සඳහන් වේ. එහි එන නම් දෙකක්‌ පිළිබඳව සුළු වෙනස්‌කම් දෙකක්‌ දක්‌නට ඇතත් එය අදාළ ප්‍රවෘත්තීන්හි ඓතිහාසිකත්වයට බාධාවක්‌ නොවේ. එහි සඳහන් හය නම වන්නේ දඹදෙණියේ වනරතන, මීගස්‌වැවේ මේධංකර, හිරිපිටියේ කස්‌සප, කෝන්ගස්‌වැවේ ධර්ම කීර්ති, වලස්‌වැවේ උපතිස්‌ස, වේරවල කෝලිත යනුවෙනි (අස්‌ගිරි උපතේ දඹදෙණියේ වනරතන වෙනුවට පලාබත්ගල වනරතන හිමි, කෝලිත සාමණේර වෙනුවට මහවල මංගල කියාද සඳහන් වෙනත් සාමණේර බවක්‌ නොකියවේ.) මෙසේ මහනුවර අස්‌ගිරි විහාරය ආරම්භ කරන එහි නායකත්වය දැරූ දඹදෙණියේ වනරතන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවස වැඩ විසූ උපාලි මහ රහතන් වහන්සේගේ පටන් 142 දෙවන පරපුරේ නායකයාණන් බවද සඳහන් වීම විශේෂයෙන්ම මෙම අස්‌ගිරි තල්පතින් ප්‍රකාශ වේ.

ඓතිහාසිකත්වය ගතහොත් එමෙන්ම වර්තමාන අස්‌ගිරි විහාරයේ පිහිටීම සලකන විට ගෙඩිගේ විහාරය, උඩහපරණ විහාරය ඇතුළත්ව විජයසුන්දරාරාමය (පහළ පන්සල) හෙවත් වර්තමාන සීමා මාලකය පවත්නා පන්සල් සංකීර්ණය වශයෙන් ප්‍රමුඛතාව පෙළ ගැස්‌විය හැකිය. ඉතිහාසයෙන් උරුම වූ විහාර පදවි හයකි. එනම් මහියංගන පදවිය, මුතියංගන පදවිය, දඹුල්ල, බිම්බාව, පැටියගනේ, සුදුහුම්පොළ විහාර පදවිය වේ. ග්‍රන්ථ හා විදර්ශන වශයෙන් පැහැදිලි අධ්‍යාපන සම්ප්‍රදාය දෙකක්‌ පැවතීම හා ඒ අනුව ප්‍රධාන පදවි පත් කිරීම සිදුකෙරේ.

ආරම්භයේ සිට අස්‌ගිරි විහාර පාර්ශ්වය මහනාහිමිවරුන් 19 දෙනකුගෙන් සමන්විත වූ අතර වර්තමානයේ වැඩ වසනුයේ 20 වන මහනාහිමියන්ය. මේ ගත වනුයේ අස්‌ගිරි විහාර පාර්ශ්වයේ ස්‌වර්ණමය යුගයයි. 1999 වසරේදී වර්තමාන මහනායක ධුරන්දර අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ධම්මදස්‌සි රතනපාල බුද්ධරක්‌තාභිධාන මහනාහිමියන් සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ මහ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ මහ නායක ධුරයට පත්වූ දින සිට මේ දක්‌වා සුවිශේෂ වූ සිදුවීම් රාශියක්‌ සිදුවී තිබේ. මෑතකාලීනව මහ නායක ධුරය දැරූ අතිපූජ්‍ය ගොඩමුන්නේ ශ්‍රී නාගසේන මහ නාහිමි, අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්ද්‍රdනන්ද මහ නාහිමිවරුන් අපවත් වීමෙන් පසුව අස්‌ගිරි විහාර පාර්ශ්වයේ විසිවන මහ නායක ධුරයට පත්වූ අභිනව මහ නාහිමි ඉතාමත්ම මහජන ප්‍රසාදයට පත්වූ මහ තෙරුන් වහන්සේ නමකි.

උන්වහන්සේ මහනායක ධුරයට පත්වීමෙන් පසුව ප්‍රාදේශීයව පවතින විවිධ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය සංඝ නායක හිමිවරුන් හා මහෝපාධ්‍යය නාහිමිවරුන්ද සිව් වතාවක්‌ මහ විහාරයට රැස්‌කොට ඔවුනොවුන්ගේ ගැටලු සාකච්ඡා කොට සාමගි්‍රයෙන් ඒ සඳහා විසඳුම් ලබාදීමටද ක්‍රියා කළහ. සත්සිය වසක්‌ සමඟින් අස්‌ගිරි විහාර පාර්ශ්වයේ ප්‍රබෝධයක්‌ ඇතිවිය. අස්‌ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ගේ නායකත්වය යටතේ චන්දානන්ද බෞද්ධ විද්‍යාලය සාර්ථකව පවත්වාගෙන යැමත් අස්‌ගිරි මහ විහාර පරිශ්‍රය දිවයිනේ ශේ්‍රෂ්ඨතම පරිවේණස්‌ථානය වන මහ විහාර පිරිවෙන කාරක සංඝ සභික ශාස්‌ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් යටතේ ශිෂ්‍ය භික්‍ෂූන් 300 ක්‌ පමණ භික්‍ෂු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ඉතාම සාර්ථකව විනයානුකූලව පවත්වා ගෙන යැමද සුවිශේෂී කර්තව්‍යයකි.

ප්‍රාදේශීය වශයෙන්ද අස්‌ගිරි විහාර පාර්ශ්වයේ නව ප්‍රබෝධයක්‌ ඇති වෙමින් පවතී. ඒ අනුව උතුර, නැගෙනහිර, දකුණ ආදී ප්‍රදේශයන්හීද වෙහෙර විහාර ඉදිවෙමින් පවතී. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට අය-වැය මගින් අස්‌ගිරි විහාර පරිශ්‍රයේ සංවර්ධනයට ලක්‍ෂ සියයක ආධාර මුදලක්‌ පරිත්‍යාග කිරීමද ඓතිහාසික සිදුවීමකි. එහි ගෞරවය අතිගරු මහ නාහිමියන්ට හිමිවිය යුතුය. ඒ මගින් මේ වන විට විහාර පරිශ්‍රයේ විශාල වූ සංවර්ධන ක්‍රියාවලියක්‌ සිදුකොට ඇත.

විසිනමකගෙන් යුත් අස්‌ගිරි විහාර කාරක මහා සංඝ සභාව දැන උගත් මහ යතිවරයාණන් වහන්සේලාගෙන් සමන්විත වූ සංඝ සභාවකි. අග්ගමහ පණ්‌ඩිත, සාහිත්‍ය චක්‍රවර්තී ආදී ගරු නාම සම්මුතීන්ගෙන් පුදලද අතිගරු මහ නාහිමියන් සංඝ සභාවට නායකත්වය ලබාදෙන අතරතුර "පරම ධම්ම සභා" නම් වූ විධායක කාරක මහා සංඝ සභාවේ අනුනායක ධුරය ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති රාජකීය පණ්‌ඩිත අතිගරු ගලගම ශ්‍රී අත්ථදස්‌සි අනුනාහිමියන් විසින්ද, මහ ලේඛකාධිකාරි ධුරය අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යාපනපති අතිගරු ආණමඩුවේ ශ්‍රී ධම්මදස්‌සි නාහිමියන් විසින්ද උසුලමින් සංඝ සභාවේ ජීවනාලීන් බවට පත්වෙමින් සිටිති.

අඛණ්‌ඩ ඓතිහාසික අස්‌ගිරි විහාර පාර්ශ්වයේ 700 වන සැමරුම් රාජ්‍ය උත්සවය අද දින අතිඋත්කර්ෂවත් අයුරින් මහනුවර අස්‌ගිරි මහ විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ස්‌ථාපිත කළ "ප්‍රා. උපාලි" ථෙර අනුස්‌මරණ මන්දිරයේදී අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්‌සි රතනපාල බුද්ධරක්‌තාභිධාන අස්‌ගිරි මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති "ත්‍රිසිංහලාධීශ්වර" මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සම්භාවනීය සහභාගීත්වයෙන් පස්‌වරු 3.00 ට සිදුකෙරේ.

අස්‌ගිරි විහාර පාර්ශ්වයේ 
දකුණු පළාතේ 
ප්‍රධාන සංඝනායක,
ශාස්‌ත්‍රවේදී මිගෙට්‌ටුවත්තේ 
සුමිත්ත නාහිමි.
2012 ජුනි 12 අගහරුවාදා දිවයින

උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම

ශ්‍රී ලංකාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජවරුන් අතුරින්  උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක‍්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක‍්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන්  අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක‍්‍රමබාහු  කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප‍්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ.
සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක‍්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව  ඕලන්ද ජාතික පූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග‍්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක‍්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක.
සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන්  පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් අති විශාල භූමි ප‍්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ‍්‍රිත මුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි  ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා ”විල්ලූ” බවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධ ආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී  ගිය සශ‍්‍රික කූඹුරු යායකි. සියළු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොල රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්‍ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකුද බව සනාථ කරන සාක්‍ෂි බොහොමයකි. අත්තනගලූ ඔයේ අතු ගංඟාවක්වන කුඩා ඔය හරස් කොට ඔහු කරවූ දැවැන්ත වේල්ලක නටබුන් දැනුදු මිනුවන්ගොඩ, වෑගොව්ව ප‍්‍රදේශයේදී දැකිය හැක. ඒ හැරුණු කොට එතුමන් විසින් කරවන ලද තවත් වාරි කර්මාන්ත බොහොමයකි. වර්තමාන උඩුගම්පොල ආදාහනාගාරයට යාබද පතහ නම් ස්ථානයේ ප‍්‍රදේශයේ එතුමන් පරිහරණය කළ ජල උද්‍යානයේ නටබුන් අද ද දැකිය හැක.
කොට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන්ද මේ රජුම බව කියති. රජතුමන් මුත්තු රාජ් නම් ද්‍රවිඩ වාරි ඉංජිනේරුවරයෙකුගේ සැලසුමක් මත අස්වද්දන ලද නිසා එම සුවිසල් කුඹුරු යාය මුතුරාජවෙල වශයෙන් හැඳින්වෙන බව ඇතැමෙක් කියති. නමුත් මුතුවන් සහල් ලබාදුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට මුතුරාජවෙල යන නම පටබැඳුණු බව වඩාත් ප‍්‍රචලිත මතයයි.
මුතුරාජවෙලට අමතරව උඩුගම්පොල රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප‍්‍රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ  ආශ‍්‍රිතව ඇති ”විට” යන්නෙන් නිමා වන ග‍්‍රාම නාමවලින් පැහැදිලිය. රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලූ ප‍්‍රදේශ ඒ හරහා ගලා යන ජල මූලාශ‍්‍රාධාරයෙන් අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ. වර්තමානයේ බොහෝ දෙනෙකු නොදන්නා මුත් මේ අතුරින් ”සම්බාගම” නමින් හැඳින්වුණු අක්කර සිය ගණනක විශේෂිත කුඹුරු යායක් රජතුමන් ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ප‍්‍රදේශය හරහා ගලා බසින ඌරුවල් ඔය ජල මූලාශය දඟර සහිත වීම නිසා වඩාත් සශ‍්‍රීක බවක් පළ කළ මෙම ”සම්බාගම” ට හිමි වූ ග‍්‍රාම නාමය පසුව ”හම්බාගම” වී මීට දශක හතර පහක පමණ සිට මුලූමනින්ම අභාවයට ගොසිනි. වත්මන් ගණේමුල්ල ප‍්‍රදේශයට අයත් මෙම ගම්මානය අද හොරගොල්ල සහ තිබ්බටුගොඩ ලෙස ගම්මාන දෙකක් බවට පත්ව තිබේ.
වරක් මෙම පැරණි සම්බාගමට යාබද ප‍්‍රදේශයක කෘෂි සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීමට ගිය රජතුමා මුහුද පෙනෙන තරම් උසට වී කන්දක් ගැසීමට තරම් වී අස්වැන්නක් එම ප‍්‍රදේශයේ කුඹුරුවලින් අපේක්‍ෂා කරන බව එහි වගා කටයුතු බාරව කටයුතුකළවුනට පවසා ඇත. එහෙත් එහි කෘෂි අස්වැන්න නෙළන කාලයේ යළි එම ප‍්‍රදේශයට ගිය රජතුමා තමන් අපේක්‍ෂාකළ ප‍්‍රමාණයට එහි අස්වැන්න නොතිබීමෙන් නොසතුටට පත්ව සුරතට වී අහුරක් ගෙන බොල් අතේ යනුවෙන් පවසා තිබේ. ඒ තම අරමුණ ව්‍යර්ථ වූ බව පැවසීමටය. රජතුමාගේ එම ප‍්‍රකාශය අවට ප‍්‍රදේශවාසීන්ගේ සිත් තුළට කොතරම් තදින් කා වැදුණේද යත් අද ද එම ප‍්‍රදේශය හැඳින්වනුයේ බොල්ලතේ, බොල්ලත යනුවෙනි. කුඩා බොල්ලතේ සහ  බොල්ලතේ යන මෙම ගම්මාන ඇත්තේ පැරණි  සම්බාගමට නොදුරිනි.
සකල කලා වල්ලභ රජතුමා මෙම සම්බාගම කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් වී ඇත්තේ එහි තිබූ පත්තිනි දේවාලයයි. සන්නාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා දේශයේ සිට මෙහි පැමිණි බ‍්‍රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනෙකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප‍්‍රවාදවලින් හෙළිවේ.
සම්බාගම අස්වැද්දෙන කුඹුරු බැලීමට සපැමිණි රජතුමන් ඒ කුඹුරු යායට ඉහලින් වූ උස් භූමි භාගයක පිහිටි වත්මන් ගණේමුල්ල, තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාම භූමියෙහි වාඩිලා සිටි බව පැරණි ජනප‍්‍රවාදවලින් පැවසේ. එමෙන්ම රජතුමා වාඩිලා ගත් බව පැවසෙන තවත් ස්ථානයක් අද ද හැඳින්වෙනුයේ ”වාඩිය වත්ත” ලෙසිනි.
අතීතයේ නා වදුලකින් වැසී තිබූ අතිශයින් දැකුුම්කළු උස් බිමක පිහිටි පුරාණ ශ්‍රී සුගතාරාම විහාර භූමියේ සිට අදත් ගම්පහ ඒකල ආදී ප‍්‍රදේශ දක්වා වන අක්කර දහස් ගණනක කුඹුරු යායක් ඉතා පහසුවෙන් දැක බලා ගත හැක. එමෙන්ම අන්ද්‍රා දේශයෙන් පැමිණි බ‍්‍රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප‍්‍රදේශය අදත් ”පත්තිනිපිටිය” යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග‍්‍රීසි පාලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වලදී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ කුඩා බොල්ලත නම් යාබද ගම්මානයට අයත් ලෙසින් කැඞී වෙන්ව ගොස් තිබේ. නව භාරකාරිත්වයක් යටතේ අද වන විට ද එහි පූජා චාරිත‍්‍ර සිදුකෙරේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන්ගෙන් පැවැත ආ ඊළඟ පරපුර  තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැර කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී තිබේ. නමුත් සන්නාසි වේශයෙන් අන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගෙන් පැවැත එන බව පැවසෙන ආඬිගේ සහ සේනාසිගේ (සන්‍යාසිගේ) යන පෙලපත් නාම අදත් මෙම ගම්මානවල පාරම්පරික ගැමියන්ගේ නම් වලට ඈඳී තිබේ. එය මේ සැඟවුණු අතීතය මානව විද්‍යාත්මකව මනාව කළ එළි දක්වන්නකි.
කෝට්ටේ යුගයේ දී අතිශය සශ්‍රීකව පැවැති මෙම කෙත් වතු රජ දහන කේන්ද්‍ර කරගනිමින් බැබලූණු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ ශ්‍රී පුරාණ සුගතාරාමය ගම්පහ ප‍්‍රදේශයේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත්ම සිද්ධස්ථාන  අතුරින් එකකි.
මාහැඟි බිතු සිතුවම් සහිත මහනුවර යුගයට අයත් පැරණි විහාර මන්දරය අතීතයේ මෙහි ගැමියන්ගේ ආගමික, සංස්කෘතික සහ සදාචාරාත්මක සංවර්ධනයේ කැඩපතක් බඳුය. නමුදු මේ වන විට එහි පැරණි බිතු සිතුවම් අභාවයට ගොස් ඇති අයුරක් පෙනෙයි.
විසිවැනි සියවසේ මැද භාගයේ දශක කිහිපයක් පමණක් අභාවයට ගොස් තිබූ මෙම පුරාණ ශ්‍රී සුගතාරාමය දැනට දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ එහි වත්මන් විහාරාධිපති ශාස්ත‍්‍රවේදී පූජ්‍ය හෝමාගම ආනන්ද නාහිමියන්ගේ විහාරාධිපතිතීත්වය යටතේ නව පුනරුදයකට පත්වෙමින් තිබේ.
ක‍්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක‍්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක‍්‍රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු  වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක‍්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ.
එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක‍්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග‍්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත.
ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. සුප‍්‍රකට මාදම්පේ දේවාලය ඉදිව ඇත්තේ එම දෙවිඳුන් නමිනි. එසේම සුවිශේෂ රණශූරයකු සේම කෘෂි කර්මයෙහි හසල දැනුමක් තිබූ ගොවි රජකු  ද වන උඩුගම්පොල සකල කලා වල්ලභයන් මරණින් මතු ඔහු විසින් ඉදි කළ අස්වාන වේල්ලේ නමින්ම අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත්ව තිබේ. ඒ නිසාම පත්තිනිපිටිය පුරාණ දේවාලයේත්  තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතරාමයේත් පැරණි ආගමික චාරිත‍්‍රවලදී එම අස්වානේ දෙවියන්ට පින් පෙත් පැමිණවීම අනිවාර්යයෙන්ම සිදු කොට ඇත.
සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා
2012 ජූනි මස 10  | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 තිබ්බටුගොඩ පුරාණ ශ්‍රී සුගතාරාමය
 කුඩා බොල්ලත පුරාණ පත්තිනි දේවාලය
සකලකලාවල්ලභ (අස්වාතේ දෙවි) ප‍්‍රතිමාව

පුරාවස්තු විනාශ කිරීමෙන් සිදුවන්නේ අපේ අනන්‍යතාව විනාශ කර ගැනීමක් - සිරිසමන් විජේතුංග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, හිටපු මාධ්‍ය උපදේශක (මධ්‍යම සංස්කෘතික අරමුදල) සිරිසමන් විජේතුංගගේ 12 වන ශාස්ත්‍රීය ග්‍රන්ථය වන ‘ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1’ හෙට (08) උදේ 9.30ට සමුද්‍ර ප්‍රකාශනයක් ලෙසින් කුරුණෑගල මහ නගර සභා සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනගත කිරීමට නියමිත ය. වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ, වයඹ පළාත් කලාප අධ්‍යක්ෂ සිරිමෙවන් ‍පොඩි නිළමේ, මිහිර ළමා පත්‍රයේ ප්‍රධාන කර්තෘ අජිත් ධර්මසිරි, සමුද්‍ර ප්‍රකාශන අධ්‍යක්ෂිකා සමුද්‍රිකා දයානි ද සිල්වා  ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිත ය. මේ ඒ සම්බන්ධයෙන් සිරිසමන් විජේතුංග මහතා සමග අප කළ සංකච්ඡාව යි.
* මේ ඔබේ දොළොස්වන ශාස්ත්‍රීය ග්‍රන්ථය?
2001 වර්ෂයේ දී ඉතිහාසය 
විෂය පාසල්වලින් ඉවත් කරන විට මමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කළා. ඒ කාලයේ ම තමා මම ළමා පුවත්පතකට ලංකාවේ ඉතිහාසය ගැන දිගට ම ලියන්න ආරම්භ කළේ. 1948 දක්වා වූ ඉතිහාසය එහි දී ලියා පළ කළා. නැවත ඒ ලිපි පෙළ 2004 දී ලියන්න පටන් ගත්තා. ඒ ලිපි පෙළ පුවත්පත් සඳහා රචනා කළා වුණාට, නැවත මුල සිට අකුරක් නෑර සකස් කළා. පුවත්පත් ලිපියක් සහ ග්‍රන්ථයක් කියන්නේ දෙකක්. 
* ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන විට ඔබත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක්?
ඔව්. ඉතිහාසය ළමයින්ගෙන් ඉවත් කිරීම නිසා වන මහා ව්‍යසනයෙන් 
ළමා පරපුර දුරස් කිරීම සඳහා තමයි මා ඒ ආකාරයෙන් හෝ උත්සාහක් දැරුවේ. එහෙත් අද ඒකට ජාතියක් වශයෙන් අපි වන්දි ගෙවමින් ඉන්නවා. අතීතයක් සහ රසවින්දනයක් නැති පරපුරක් නිදන් හාරනවා ඇරෙන්න වෙන මොනවා නම් කරන්න ද?
* ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම ඔබ දකින්නේ කොහොම ද?
වත්මන් සමාජ ඛිෙදවාචකයේ මූලික ම සාධකයක් තමා ඒක. ළමා අපචාර, කාන්තා දූෂණ ඇතුළු අනෙකුත් දේ සදාචාරාත්මක රටක ඛිෙදජනක සිදුවීම්. ඒවා ජාතියක පැවැත්මට හොඳ දේවල් නෙවේ. මේ රටේ වැඩිපුර ම ඉන්නේ සිංහල බෞද්ධ ජන කොටස. එයිනුත් අති බහුතරය සිංහල බෞද්ධ. අද වන විට පාසල් විෂය මාලාව තුළ රටේ ඉතිහාසය සීමිත වශයෙන් තියෙනවා.
* ඉතිහාසය වැනි ජාතික වැදගත්කමක් සහිත කෘතියක් ශාස්ත්‍රීය ව රචනා කිරීමේ දී ඕනෑ ම කතුවරයෙක් අතිශය සැලකිලිමත් විය යුතු යි?
මම මුල ඉඳලා ඉතිහාසය ලියාගෙන ගියා. ඒ සඳහා මහාවංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථ සහ ශිලා ‍ලේඛන උපයෝගී කර ගත්තා. විශේෂයෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළ 
පර්යේෂණ අතිශයින් ම වැදගත් වුණා. මේ රටේ ඉතිහාසය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සෙනරත් පරණවිතාන මහතා කළ සේවය ලියවිලා නෑ. එහෙත් මේ කෘතියේ ඒ සම්බන්ධයෙනුත් රචනා වී තිබෙනවා.
* ඉතිහාසය සහ පුරාවිද්‍යාව බොහෝ විට සමාන්තරව යෙදෙන වචන දෙකක් බවට පත් වෙලා?
ඉතිහාසය කියන්නේ ලිඛිත දේවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමක්. එය මෙසේ විය යන්න පිළිබඳ ලිඛිත දේ ආශ්‍රයෙන් කෙරෙන අධ්‍යයනයක්.  පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ පැරණි මිනිසා විසින් නිර්මාණය කරන ලද (ථචද ථචඤඥ), භාවිත කරන ලද යම් යම් වස්තු අවශේෂ අධ්‍යයනය කිරීමක්. මේ දෙක පැහැදිලිවම දෙකක් මිස එකක් නෙවේ.
ලංකාවේ මුල් ම ඉතිහාස ග්‍රන්ථය වෙන්නේ දීපවංශය. ලංකාවේ ඉතිහාසය විජය දක්වා  වෙනවා. එහෙත් පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ ඒ ‍ලේඛනයට එහා ගිය දේවල්. 1984 දී ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඒක කළා. ඔහු අනුරාධපුර ගෙඩිගේ භූමියේ අඩි තිහක් පමණ යට ස්ථාරානුකූල කැණීමක් කළා. එහි දී ලිඛිත ඉතිහාසයට වඩා අවුරුදු තුන් හාරසියයකට පෙර ශිෂ්ටාචාරයක් සොයා ගත්තා. ඒ තමා යකඩ භාවිත කිරීම, වී ගොවිතැන, සක‍පෝරුව කරකවා පුච්චා මැටි බඳුන් සෑදීමේ තාක්ෂණය, අශ්වයන් ඇති කිරීම ආදිය. එසේ ම එම මැටි බඳුන්වල ‘අනුරධ’ කියන බ්‍රාහ්මී අක්ෂර කොටා තිබෙන බවත් ඔහු පැවසුවා. ඔන්න ඔය වැනි දේවල් තමා මගේ මේ ‍පොතේ තියෙන්නෙත්. ඒවා ඉතිහාසයට එහා ගිය දේවල්.
* අපේ උරුමය තුළ ඉතිහාසයේ සහ පුරාවිද්‍යාවේ  භූමිකාව ගැන සඳහන් කළොත්?
අපට ඉතිහාසයෙන් විතරක් උරුමය හොයන්න අමාරුයි. අපි ඉතිහාසය අභිභවා යන්න ඕනෑ. අපේ ගල් ආයුධ ගැන කොහේවත් ලියවිලා නෑ. එ්වා ශිලා යුගයේ භාවිත කළ ආයුධ. 
ඉතිහාසය අපට පූර්ව සහ ප්‍රාග් ලෙස දෙකොටසකට බෙදන්න පුළුවන්. ඒ වාගේ ම උතුරයත් ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි ලෙස වර්ග කරන්න පුළුවන්.ස්පර්ශ කළ හැකි උරුමය තමා දැනට ඉතිර වෙලා තියෙන, උදාහරණයක් විදියට ගත්තොත් මුර ගලක්, එහෙම නැති නම් කලා සිතුවම් සියල්ල. මේවා අපට ස්පර්ශ කළ හැකි දේ. එහෙම නැත්නම් භෞතික අවශේෂ. ස්පර්ශ කළ නොහැකි දේ තමා ජනකතා, ජන සාහිත්‍ය වැනි දේ. ඒවා පරපුරින් පරපුරට එන සංස්කෘතික දායාද. වෙද හෙදකම් වෙන්න පුළුවන්. වෙනත් යම් යම් කරුණු කාරණා වෙන්න පුළුවන්. මේ කාරණා දෙක ම සමාජයකට අවශ්‍ය යි. 
අනෙක් අතින් ඉතිහාසයක් නැති ජාතියක් කියන්නේ සාක්කියක් නැති මරණයකට. ඉන්දීය ඉතිහාසය සලකා බැලුවත් තැනින් තැන කඩ වූවක් මිස අඛණ්ඩ ඉතිහාසයක් දැකිය නොහැකි යි. එහෙත් අපේ ඉතිහාසය අඛණ්ඩව ඇවිත් තියෙනවා. අකමැත්තෙන් හරි පිළිගන්න වෙන දේ තමා මේවා අපේ උරුමය කියන එක.
* ඔය කියන තත්ත්වය තුළ පුරාවිද්‍යාව ජාතික වැදගත්කමක් හිමිකර ගන්නේ කොහොම ද?
අපට අපේ ම කියා හැඳුනුම්පතක් තියෙනවානේ. ඒකේ තියෙන්නේ අපේ මුහුණුවර. ඒ වගේ ම තමයි අපේ ජාතිය හඳුනා ගැනීමේ මුහුණුවර තමයි පුරාවස්තු කියන්නේ. පුරාවස්තු විනාශ කරනවා කියන්නේ අප විසින් ම අපේ අනන්‍යතාව විනාශකර ගැනීමක්. අපි කවුරු කොහොම කිවුවත් ලෝකයේ අපේ අනන්‍යතාවය සටහන් කරන්නේ පුරා වස්තු. මේ රටට සංචාරකයන් එන්නේ මුදල් ගෙවලා ජොලි කරලා යන්න විතරක් ‍නෙවෙයි. මේ කියන අපේ පැරණි උරුමය බලන්න. සීගිරිය වගේ තැනක් ලෝකයේ වෙන කොතැනකවත් නෑ. අවශ්‍ය නම් සීගිරියෙන් පමණක් මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශය එක් ව ජාතික ප්‍රවර්ධන වැඩපිලිවෙළක් සකසන්න ඕනෑ.
2012 ජූනි 07 වෙනි බ්‍රහස්පතින්දා, ලක්බිම 
මධුරංග සී. නුවන්ප්‍රිය

නීලගිරි පාමුල හඳුනා නොගත් ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයක දොරටුවක්

නීලගිරි කන්ද පාමුල පිහිටි ගල්තලාව, දරණලා ගත් නාගයකු පරිද්දෙන් කන්ද වටා පැතිර පවතිනු පෙනෙයි. වඳුරු බුකු බුකුවක් ඈතින් ඇසෙයි. ගල් තලාවේම කෙටූ ඉපැරණි පියගැට පෙළ නැග අපි ගල් තලාවේ ප්‍රථම කොටසට පිවිසියෙමු. මඳක් ඈතින් දිස්වන සුවිසල් ගල් පියැස්ස වනගත පරිසරයට එක් කළේ චමත්කාරයකි. කන්දේ මැදින්ද ගල් තලාවේ කොටස් ඇසේ ගැටුණු අතර, එහි වැවී තිබුණු කැලය තද කොළ පැහැයෙන් යුතුවිය. කන්ද මැද ඇති ‘ගල් කෙම්’ ඒවාට දියවර සලසතියි අපි සිතුවෙමු.

‘මේක තමයි වැදි චිත්‍ර තියෙන ලෙන’ දුරින් පෙනුණු ගල් පියැස්ස දක්වමින් පුරාවිද්‍යා මිතුරෝ කීහ. අපි එහි ගියෙමු. එය ගල් තලාවෙන් මතුවූ වහලයක් බඳු ගල් තැල්ලකි. දහයක් දොළහකට නොතෙමී සිටින්නට හැකි තරම් පුළුල් ඉඩක් සලසමින් එය පියැස්සක් සේ නැගී සිටියේය. දෙපසින් බැඳි ගඩොල් බිත්තිවල ගරාවැටුණු කොටස් නිහඬව කියා පෑවේ අතීතයේදී එහි යමෙකු වාසය කරන්නට ඇති බවයි. ලෙන් බිත්තියේ කිහිප තැනකම වැදි ජනයා (ආදිවාසීන්) ඇන්දා යැයි සැක කළ හැකි චිත්‍ර සටහන් විය. ඒවායෙහි දක්වා තිබුණේ සතුන්ගේ රූ සටහන්ය. එක් ලෙන් බිත්තියක ගුරුගල් වර්ණයෙන් ඇඳි නෙළුම් මලක රූපයක්ද විය. වැදි චිත්‍ර ඇඳ ඇත්තේ අළු බදාම මත ගස් මැලියම්වලින් වියහැකි යැයි පාලිත අත්තනායක මහතා කීවේය.

“මේ ලෙන වැදි යුගයේ පටන් ඓතිහාසික යුගය දක්වා එහෙම නැතිනම් අනුරාධපුර යුගය දක්වා පාවිචිචි වුණාය කියලා සිතන්න පුළුවන්. මේක කටාරම් කෙටූ ලෙනක්. බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපියකුත් තියෙනවා. ඒකේ ‘සහෂ’ කියන වචනය කියවන්නත් පුළුවන්. ඔය සෙල්ලිපිය. කටාරම් කෙටීම වගේ දේවල් අයත් වන්නේ ඓතිහාසික යුගයටයි. මේ ලෙන ඇත්තටම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ඓතිහාසික යුගය දක්වාම පාවිචිචි වුණාද? කියලා සැකයක් මතුවෙනවා’ සම්පත් ගුරුසිංහ මහතා කීය.

දිවා හිරු රැස් කමෛන් කමෛන් සිය කෝපය මුදාහරින්නට පටන් ගත්තේය. ගල් තලාව රත්වේගෙන එයි. අපි ඉන් පල්ලම් බැස යළිත් ගමන් ඇරඹීමු. හැඩ ඔය නිම්නය අරක් ගත් වියළි කලාපීය වනපෙත බොහොම සුන්දර දසුන් මැව්වේය. බුරුත, මිල්ල, පළු, වීර, ඇටඹ ආදී වනස්පතීහු හිරුරැස් මුවා කරමින් වියනක් මෙන් සෙවණ සැලසීය. වන සතුන් නිතර යන එන අප්‍රකට වන මං අපේ ගමනටද මාවත විය. පා පියැවිල්ලෙහි තැනින් තැන බිංකොහොඹ, ඇත් අඩි සහ තවත් විවිධාකාර වන ඔසු පැළෑටි දක්නට ලැබිණි. එරමිණියා සහ වෙනත් කටු පඳුරු වරින්වර අපේ ගමනට බාධා ඇති කළේය. 

වැදි චිත්‍ර සහිත ලෙනෙන් පිටත්ව පැය එක හමාරක් පමණ ගමන් කළ විට දළ බෑවුම් සහිත භූමියකට පිවිසියෙමු. 

“ඔන්න ඉතින් තැනට ආවා” තරංග සංජීව සිය උරමල්ල ගල් තලාවක් මත තබමින් පැවැසීය. භූමිය පුරාවට වැටී ඇති රූස්ස ගස් කොළන්, බොහෝ ඉහළින් පෙනුණු ගිරි ශිඛර සමූහයට ආරක්ෂාව සලසනු වැන්න. අප සිටින දළ බෑවුම් සහිත භූමිය, නීලගිරි කන්දේ පාමුලය. එහි එක් උස්බිමක් ඉතා කුඩා තැනිතලාවක් බඳුය. එතැන්  සිට ඉහළ බැලූ විට වනයෙන් වසන් වී ඇති ගිරි ශිඛර සමූහය. ලෙන් ගුහා සංකීර්ණයක් බව පසක් වෙයි. එහි ගමන් කිරීමට අතීතයේ ඉදිකළ ෙශෙලමය පියගැට පෙළ ගරා වැටී ගොසිනි. උස්බිමක පිහිටි ඉතා කුඩා තැනිතලා භූමියේ මුරගල් සහ සඳකඩ පහන්ද තවත් ගලින් කළ නිමැවුම් රාශියක්ද ඇති බව ඇස ගැටෙයි. අප දැන් පය ගසා සිටින භූමිය තවම හරිහැටි හඳුනා නොගත් ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයකට පිවිසෙන දොරටුවක් වැන්න
අපි කන්ද පාමුල සිට පුදුමයෙන් බලා සිටියෙමු. ‘හරියට රිටිගල වගේ නේද?’ සම්පත් ඇසීය. ඔහු කියන්නේ ඇත්තකි. දැන් අප ඉදිරියේ තිබෙන ෙශෙලමය පියගැට පෙළ සහ අනෙකුත් නිර්මාණ, අනුරාධපුරයේ රිටිගල කන්දේ ඇති සුවිසල් ෙශෙලමය පියගැට පෙළවල් සහ නැවතුම් මළු සිහිපත් කරවන්නේය. අතීත රූසිරිය ගරා වැටි තිබුණද එකල මෙහි පැවති අසිරිය සිතා ගන්නට පුළුවන. මේ තරම් විශාල නටබුන් භූමියක් වන මැද කෙසේ සැඟවී තිබුණාදැයි සිතෙන තරම්ය.
ලෙන් සංකීර්ණය නැරඹීමට නම් ගරාවැටුණු පියගැට පෙළ ඔස්සේ තවත් මීටර් 100කට වඩා ඉහළට නැගිය යුතුය. එබැවින් අපි ගල් ඇන්දක් මතට වී මඳක් ගිමන් හැරියෙමු. වේලාව දැන් දහවල් 1.00ට පමණ වී තිබිණි. ‘අපි පාන් ටික කාලා ඉම්මු’ පාලිත කීවේය. පාන්, රතු ලූනු සහ අමුමිරිස් එදා දහවල් රජ බොජුනක් බවට පත්විණි.
අපේ කලබලය ඇසුණු වඳුරු රැලක් ගස් මතින් පැන ඈතට වී බලා උන්හ. වන වැසි කුරුල්ලෙක්, ‘හොරෙක් හොරෙක්’ යැයි වරින්වර හඬ නැගීය. පාන් කන අතරතුර බණ්ඩාර ඇසුවේ ‘ඌ කොහොමද හරියටම දැන ගත්තේ’ කියාය. ‘කලාඳුරු වදයක්’ ඇවිස්සී ගොස් අපට පහර දුන් අතර ගස් කිණිතුල්ලෝ ‍ලේ උරා බොන්නට උත්සාහ කළහ. අපි යළිත් ගමන් ඇරඹීමු. ගරාවැටුණු ෙශෙලමය පියගැට පෙළ නැගිය යුත්තේ මහත් අසීරුවෙනි. 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීලගිරි කන්ද ගවේෂණය කරන්නට පටන් ගත්තේ නීලගිරි සෑය කැණීමේ ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. එහිදී සෑය ආශ්‍රිත වනගත භූමියෙහි ඇති පුරාවස්තු සහිත ස්ථාන බොහොමයක් ‍ලේඛනගත කෙරිණි. කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන සම්පත් ගුරුසිංහ සහ පාලිත අත්තනායක යන නිලධාරීන් දෙපළ ගවේෂණය සඳහා නායකත්වය දුන්හ. ගවේෂණයේදී ඔවුන්ට නීලගිරි කන්දෙන් ගල්ලෙන් 12ක් හමුවී තිබේ. එයින් ලෙන් 10කම බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපි තිබෙන බවද සොයා ගැනිණි. ඒවා දළ වශයෙන් ක්‍රිස්තු වර්ෂ 01 සහ 02 වැනි සියවස්වලට අයත් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ 
පිළිිගැනීමයි. ශිලා ලිපි බොහොමයකින් කියැවෙන්නේ මේ ලෙන් ගුහා සිවු දිගින් පැමිණි නොපැමිණි බොදු මහ සඟනට පූජා කර ඇති බවයි.
ගරාවැටුණු ෙශෙලමය පියගැට පෙළ පටන් ගන්නේ මුරගල් සහ සඳකඩ පහන් ආදියෙනි. පියගැට පෙළ නගින කෙනෙකුට ගිමන් හරින්නට මෙන් තැනින් තැන ඉදිකළ චතුරශ්‍රාකාර මළුද, ඒ දෙපස හිඳ ගැනීමට සැකසුවාක් බඳු ගල් පුවරුද තිබෙනු පෙනෙයි. පියගැට පෙළ ගරාවැටී පෙරළී ගොසිනි. අතරින් පතර වැවුණු ගස් කොළන්වල එල්ලෙමින් අපි ගිරි ශිඛරය ඉහළට නැගුණෙමු. අතරමඟ හමුවන කටාරම් කෙටූ ගල් ලෙන් එකල ගඩොල් බිත්තිවලින් ආවරණය කර තිබූ බව ගරා වැටුණු ගඩොල් කැබලි අපට කියයි. ඒවා ඉතා 
පුෂ්ටිමත් පැරණි ගඩොල් බව බැලූ බැල්මට පෙනෙයි. පැයක පමණ කාලයක් වෙහෙසවීමෙන් පසුව ගිරිකුළෙහි ප්‍රථම මාලයේ ලෙන් සංකීර්ණය පිහිටි ඉසව්වට ළඟාවීමට අපට හැකිවිය.
ගමන අතරතුර හමුවන සෑම ගිරි ලෙනක්ම තියුණු ලෙස පරීක්ෂා කිරීමට සම්පත් සහ පාලිත දෙපල අමතක නොකළෝය. ඔවුහු ඒවායෙහි ඡායාරූපද ගත්හ. 1965 සහ 1981 යන වර්ෂවල මෙහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන්ද ලෙන් සංකීර්ණයට නැග ඇත්තේ මහත් අසීරුවෙනි. ඒ බව උන්වහන්සේ ලියූ ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කෘතියෙහිද සඳහන් කර තිබේ.
අප ඇස ගැටුණු ඇතැම් ගල් ලෙන් නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුව ඒවායෙහි ගෙබිම් වනසා ඇති සැටි දුටුවෙමු. නිදන් සොරුන් සිතන්නට ඇත්තේ වනගතව පවතින ලෙන් ගුහාවල මහාර්ඝ වස්තු සම්පත් තැන්පත්කර ඇතැයි කියාය. මේවා එකල බෞද්ධ භික්ෂූන් වැඩ සිටි ලෙන් ආරාම බව බැලූ බැල්මටම පෙනේ. ලෞකික ජීවිතය පිළිකෙව් කළ පැවිද්දන්ට මහාර්ඝ වස්තු සම්පත් කුමටද?
‘අන්න අර පේන්නේ චිත්‍ර සටහන් තියෙන ගල් ලෙන’ ගිරි ශිඛරය ඉහළ කොටසේ වූ එක්තරා ලෙනක් පෙන්වමින් සම්පත් අපට කීවේය. වනයට පුරුදුකාරයන් වූ තරංග සංජීවත්, අමිල චන්ද්‍රික ප්‍රසන්නත් ඒ වනවිටත් ලෙනට පිවිස එහි ඉදිරිපස වූ පටු ගල්තලාව මත වාඩි වී ගිමන් හරිමින් සිටියහ. එහෙත් අප තවම සිටින්නේ ඔවුන්ට මීටර් 10-15ක් පමණ පහළිනි.
ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා 

2012 ජූනි 04 වෙනි සදුදා, ලක්බිම, 
ක්‍රිෂ්ණා විජේබණ්ඩාර

ගලමැටියාව වැව පහළින් කිරිගරුඬ බුදු පිළිමයක්

අප මේ සිටින්නේ ගල්මැටියාවේ වැව් බැම්ම මතය. අක්කර අඩි හත් දහස් හත්සියයක ජල ධාරිතාවක් රඳවා ගත් මේ සුන්දර වැව් කොමලිය වියළි කලාපයේදී මා දුටු සුන්දරම වැව යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම හිත පැහැර ගන්නා අන්දමේ අපූර්වත්වයක් මේ ගල්මැටියාවේ වැව සතුය.
වාන් දොරටුව තිබෙන තැනට වැව මැදින් ගියවිට හිතට දැනෙන්නේ අපූරු මිහිරියාවකි.
‘‘මෙතැන අඩි හතළිස් පහක් ගැඹුරුයි’’
මංජුල කුමාර නමැති තරුණයා පවසන්නේය.
අඩි හතළිස් පහක් යනු එසේ මෙසේ ගැඹුරක් නොවේ. ඉකුත් වූ වස්සානයේ දී රැුයක් දවාලක් නැතිව ඇදහැලූණු මහා වර්ෂාවෙන් එක් රැස් වූ වතුර කඳ සුළු පටු නොවන බව ඉන් පැවසේ.
”මේ වැවේ එකතුවෙන්නේ තනිකරම වැහි වතුර.”
මංජුල කියන්නේ අපේ හිතේ උපන් විමතිය තවත් වැඩි කරමිනි. වේලාව සවස හතරට පමණය. හිරු බටහිර අහසේ සිතිජයට කිට්ටු කරමින් සිටින්නේ හොර ගල් අහුලමිනි.
ගලාඑන්නේ සෞම්‍ය රශ්මියකි. ඒ රැස් වැවට වැටී පරාවර්තනය වෙයි. හිරු රැස සෞම්‍ය වුවද නෙත ගැටෙන ඒ පරාවර්තිත හිරුරැුස නෙතට අමාරුය.
මම ඈත බලමි. ඈතින් පෙනෙන්නේ කන්දකි. ඒක තමා විහාර කන්ද කියන්නේ. ඔය කන්දෙ හැංගිලා නටබුන් තියෙනවා. ගල්කණු ගොඩනැගිලි වල පාදම්වගේ ඒවා.
”වැවේ වතුර අඩුකාලෙට අපේ ගමේ කට්ටිය ඔය විහාරකන්දට යනවා. හැබැයි ඉතින් වල් අලින්ගේ විමානෙ.’’
මංජුල කියන්නේ අපි විහාර කන්දටත් යමුදැයි මා අසතැයි බියෙන් මෙනි.
‘‘මේ හරියෙත් අලි ඉන්නවද ඒ කියන්නෙ..?’’
”ඉන්නවා ඉන්නවා.. මෙලහටත් වැව් පිටියට අලි බැහැල ඇති. අලි තිහක හතළිහක රංචුවක් නිතරම වගේ වැව් පිටියට බහිනවා.”
එහෙත් වැව් පිටිය තිබෙන්නේ අපේ නෙත් වලට හමුනොවන තරම් දුරකය. ඉදිරියෙන් පෙනෙන විහාර කන්දට ඉදිරියේ ඇති අනෙක් කන්දෙනුත් එහා පැත්තේය. ඒ ඉසව්වට යා යුත්තේ වෙනත් මගකිනි. අපි මේ ගල්මැටියාව වැවට ආවේ වැවට එන අලි බලන්නට නොවේ.වැව පාමුල ඇති පන්සල සතු කිරිගරුඬ බුදු රුව දැකීමේ අරමුණිනි. එබැවින් අපි වැව් බැම්මෙන් බැස පන්සල දෙසට පියමං කළෙමු.
පැරැණි රජමහා විහාරය ලෙස නම් කරන ලද මේ පන්සල පළමු වැනි පරාක‍්‍රමබාහු රජසමයේ ඉදිකරන ලද්දකි. යළි නිශ්ශංක මල්ල රජ සමයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද්දකි. එහෙත් නැගෙනහිර බොදු උරුමයට මුහුණ දෙන්නට සිදුවූ සියළු වි්‍යසන වලට මේ විහාරයටද මුහුණ දෙන්නට සිදුවිය. දොළොස්වැනි සියවසේදී එල්ල වූ චෝල ආක‍්‍රමණ හමුවේ මේ පෙදෙස්වල විසූ ජනතාව රුහුණට පලා ගියහ. පන්සල් නටබුන් වූ අතර ඒවා වනයෙන් වැසී ගියේය.
එසේ වැසීගිය පන්සල් බොහොමයකට යළි ජීවය ලැබුණේ ලංකාවට නිදහස ලැබුණායින් පසුවය.
”කැඩිලා බිඳිලා ගිහින් තිබුණු ගල්මැටියාව වැව ප‍්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. 1967 අවුරුද්දෙදී වැව් බැම්ම හදන්න අවශ්‍ය පස් හෑරුවෙ පන්සල් ගොඩැල්ලෙන්. ඔහොම පස් හාරනකොට බැකෝ එකේ කුල්ලට අහුවෙලා මතුවුණේ සුදු පාට බුදු පිළිමයක්. කුල්ලට අහුවුණු අත කොටස කැඩුනත් ඉතුරු කොටස පරිස්සමට අරගන්න පුළුවන් වුණා. අන්න ඒ බුදු පිළිමෙ තමා, අදටත් මේ පන්සලේ තියෙන විශේෂම අංගය. ඒක කිරිගරුඬ බුදු පිළිමයක්.’’ගල්මැටියාව පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ජයපුර ජිනරතන හිමියෝ කියති.
අපි මේ බුදුරුව බලන්නට ගියෙමු. බෝ මලූවට මදක් ඔබ්බෙන් පිහිටි කුඩා බුදු ගෙයක තැන්පත් කර ඇති බුදුරුවෙන් පෙනෙන්නේ අඩක් පමණි. මා සිතුවේ එහි ඉතිරි කොටස කැඞී බිඳී විනාශ වී ගොස් ඇති බවකි.
එහෙත් ජිනරතන හිමි කියන්නේ බුදු රුවෙහි ආරක්ෂාව උදෙසා එහි අඩි හතරක පමණ කොටසක් සිමෙන්තියෙන් ආවරණය කර ඇති බවකි.
1967 දී වැව් බැම්මට පස්ගත් කොටස අද පස් පියුමෙන් සැදි වැවකි. වියළි කාලයට අලි ඇතුන්ගේ පිපාසය පවා නිවාලන මේ පොකුණ අවට භූමියෙහි ඉපැරණි නටබුන් බුදු පිළිම සිරිපතුල්ගල් ගල් කණු ආදී බොහෝ දේ සැඟව තිබේ.
නිසි පරිදි කැණීමක් කළහොත් ඒ නටබුන් ද මතුකරගෙන ගල්මැටියාවේ පන්සලටත් වටිනාකමක් එකතුකරන්න පුළුවන.
මේ පන්සල ගොඩනගන්න ඇප කැපවුණේ කිතුල්ගොල්ලේ ජිනානන්ද හාමුදුරුවෝ. ඒත් කොටි කලබල කාලේ උන්වහන්සේට මෙතන ඉන්න බැරිවුණා. ඒ කාලේ මේ හැමතැනක්ම තිබුණේ කොටින්ගේ පාලනය යටතේ. ජිනරතන හිමියෝ කියති. උන්වහන්සේ මේ පන්සලට වැඩම කළේ 2001 වසරේදීය.
එවකට ජිනරතන සාමණේර හිමියන්ගේ වයස අවුරුදු 14 කි. ඒ කාලෙ අපි හිටියේ කඩාවැටුණු. මඩුවක... හරියකට ආහාරයක්වත් නැතුව මෙතනම වගාකරගන්නා දෙයකින් තමා ජීවත්වුණේ.
ජිනරතන හිමියෝ අතීතය සිහිපත් කරති.
අද වුණත් මේ හාමුදුරුවන්ට සැප පහසුකමක් නැත. පන්සල වටේටම තිබෙන්නේ අන්‍යාගමික නිවෙස්ය. අදටත් පන්සල අවට ගොවි පොළකි. ඒ ගොවිපළ කියන්නේ මේ හාමුදුරුවන්ට පිටතින් ආහාරයක් ලැබෙන්නේ ඉඳහිට බවයි.
කෙසේ වෙතත් උන්වහන්සේ මේ ඉපැරැුණි පුදබිම රැක බලාගනිමින් කරන්නේ උදාර ශාසන සේවයකි. කවදාහරි දවසක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි කැණීම් කළහොත් ඉන් මතුවන අපේ බෞද්ධ උරුමයන්ට විශාල වටිනාකමක් තිබෙන බවනම් කිව යුතුය.
මේ විදිහට අපිව බලල යන්න ආපු එකත් ලොකු පිනක්. ත‍්‍රිකුණාමලේ පැත්තේ එන බෞද්ධ පින්වතුන්ට කියන්න අපේ පන්සලටත් ඇවිල්ල යන්න කියලා. ජිනරතන හාමුදුරුවෝ ඉල්ලීමක් කරති.
ශාන්ත කුමාර විතාන - සේයා රූ ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 ජූනි මස 03 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 සිරිපතුළ
 කිරිගරුඬ බුදුරුව
 පන්සලේ ඇති පොකුණ
ජිනරතන හිමි

ඒ වීතරාගී උතුමන් වහන්සේලා නිසා සිතුල්පව්ව සදා පූජනීයයි

ස්වකීය අධ්‍යාත්මයේ අතිශය පාරිශුද්ධත්වයට පැමිණියා වූ ඒ වීතරාගී රහතන් වහන්සේලා නිසා සිතුල්පව්ව වැනි අසිරිමත් පින්බිම් සදා පූජනීයයි. ඒ ඇසුරින් දස දහස් ගණනින් නොව ලක්ෂ කෝටි ගණනින් ආර්ය ජනතාවක් බිහි විණි. මනා පෞරුෂයකින් හෙබි රාජ්‍ය පාලකයන් බිහිවිනි. සෑම අතින්ම  සමෘද්ධිමත් වූ රටක්ද, ලෝකයේ අති උදාර ජාතියක්ද, ඒ ජාතියට උදම් විය හැකි ශ්‍රේෂ්ඨ  සංස්කෘතික අනන්‍යතාවයක්ද මතු විණි. අද පවා  ලොවක් මවිත කරන්නා වූ විස්මිත ශීල්ප ක්‍රමයන් තුළින් ඉදි  වූ මහා ජලාශ හා දාගැබ් මෙන්ම ගරා වැටුණ ගොඩනැගිලි පිළිබඳව අද අප උදම්  අනමින්  සිටින්නෙමු. ඒ උදම් අනන්නේ ඒකීය පුද්ගල සන්තානයක ඇතිවූ අධ්‍යාත්මික නොකිළිටි බව හෙවත් සත්‍යාවබෝධය ගැනම බව අපට නොතේරේ. මෙම යථාර්ථයට පිටුපා සුන්දර යැයි කියමින් අඳුරම වැළඳ ගෙන සිටින්නෙමු.
සිතුල්පව්ව අසිරිමත් පූණ්‍ය භූමිය නැවතත් ආර්ය භූමියක් බවට පත්කිරීමේලා සක්‍රීය දායකත්වයක් දීමට අප එකිනෙකා තමා තුළින් තමා දැක ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට ‍පොසොන් උත්සව සමයේ ඉටා ගනිමු. අතීතයේ සිතුල්පව්වේ වැඩ විසු රහතන් වහන්සේලා සම්බන්ධ කථා ප්‍රවෘත්ති තුළින් හා ඒ අසිරිමත් ජීවන පිලිවෙත් තුළින් මතුවන්නේ හුදු සංකල්පමය සැපයන්ට වසඟව ඒ පසුපසම හඹායමින් හෙම්බත් වූ තරගකාරී ලෞකිකත්වයේ ඇති නිරර්ථක නිස්සාරත්වය වේ.
දුර ඈත වන සෙනසුනක හුදකලා ගල්ලෙන්, පර්වත මුදුන් ආදිය ඇසුරු කොටගෙන, චණ්ඩ  වගවලසුන්, ඇළ, දොළ, ගංගා අබියස බියෙන් හා සැකෙන් තොරව, සංහිඳියාවට පත් සිත් සතන් සහිතව, දිවි ගෙවූ එවන් ආර්ය සඟ පරපුරක් බිහි කිරීමට යෝග්‍ය වූ සිතුල්පව්වක් අනාගතයේදී ද දැක ගැනීමට අඩිතාලමක් දමමු. ප්‍රතිපත්තිමය පූජාවන්ට යොමුවෙමින්  බොදු ජනතාව අභ්‍යන්තර ගවේෂණාත්මක ක්‍රියා පිළිවෙතකට යාමට සැබෑ මෛත්‍රී කරුණාවෙන් කල් ගෙවමු. සරාගී සිතින්, විවිධ රූප දකිමින්, මිහිරි හඬට  ලෝභ කරමින් ප්‍රිය ගතිය පමණක් අරමුණු කර ගැනීම නිසා උපදින  වේදනාවන්ද, ඒවාට අනුව දැඩි ලෝභයත්, දොම්නසුත් නිතර නිතර සිතට පීඩා නොදී සිහි නුවණින් ජීවිතයේ සත්‍යය සොයා යමු.
මායාකාරී මිනිස් විඥානයට තවදුරටත් පිහිටා  සිටීමට රූපයක් තමා තුළ නිර්මාණය නොකරන තත්ත්වයට පත්වූ පුද්ගලයා “මම” යන සංකල්පය අභිබවා  ගිය කෙනෙකු “ම” යනු ඉපදීම තුළම  මරණයට පත්වූ සංකල්පයක් පමණක් බවත්, දුකටම අයත් වූවක් බවත්, දන්නේ බුදුරාජාණන් වහන්සේ දේශනා කළ පමණින් නොව තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන්ම සාක්ෂාත් කළ යථාර්ථයක් වූ නිසාය. එය හුදු දැනුම, තර්කය, මතවාද, දෘෂ්ටීන් ඉක්ම ගියාවූ ස්වභාවයකි. නික්‍ලේෂි මහරහතන් වහන්සේලාගේ පා පහසින් අතිපාරිශුද්ධ වූ සුන්දර සිතුව් පව්වෙහි, ඒ නිකෙළෙස් සුන්දරත්වය වින්දනය කරන්නට නන් දෙසින් පැමිණෙන්නාවූ සියලු දෙනාටම විවෘතය. සැබෑ සමාජ  සේවාව යනු තමන්ගේම අධ්‍යාත්මික පිරිසිදු බව ඇති කර ගැනීමයි. සමාජය යනු මාගේම නෙරායාමකි. මාගේ අධ්‍යාත්මයේම පැතිරීමකින් සමාජයටද එය ගලායාමකී. එවිට පරිසරය හා ලෝකයටම අපගේ සිත, කය, වචනය තුලින්ම සමාජ සත්කාරයක් සිදුවේ. එය ආපසු ලබා ගැනීමට කරන්නා වූ සමාජ සේවාවක් නොවේ. ගැනීමකින් තොර උතුම්ම පරිත්‍යාගශීලීත්වයයි.

රාගෙන් මතුවන තෙත ගති නැති කළ
දෝසෙන නැග එන සිතිවිලි පහ කළ
පාපෙන් දුරුවුණ පින්පව් නැති කළ
නෑ දැන් වන බිය නිදිහළ අය තුළ 

අනවස්සුත චිත්තස්ස - අනන්වාහත ච්ෙතසො
පුඤ්ඤ පාප පහීනස්ය - නත්ථි ජාගරතො භයං
(චිත්තවග්ග ධම්මපදං)

රාගයෙන් තෙත්. නොවන්නේද, ද්වේෂයෙන්  ඒ දෙයෙහි නොගැටෙන්නේද, පිංපව් දුරු කළේ විද, කෙළෙස් නින්දේ නොනිදන්නේ ද ඒ රහතුන් වහන්සේලාට කෙළෙසුන් නිසා හටගන්නා බියක් නැත. මෙසේ සිතුල්පව් පුදබිම හුදු විනෝදකාමී සංචාරකයන් උදෙසා තොරතුරු සපයන  මධ්‍යස්ථානයක ඉක්මවා ගියා වූ, සතර මහ සතරඵල අවබෝධයක් සඳහා යෝග්‍ය වූත්, සත්‍ය ගවේෂණයට යොමු කරන්නාවුත් විශ්ව ධර්ම භාණ්ඩාගාරයකි.
ක්‍රි. පූ. 161 පෙර ආරම්භ වූ සිතුල්පව් විහාරය, ක්‍රිස්තු වර්ෂ 600 දක්වා කාලය අරහත්ත යුගයකි. මහරහතන්වහන්සේ දොළොස් දහස් පන්සියයක් වැඩ වාසය කළ බවට සඳහන් වෙතත් මාර්ගඵල ලාභි උතුමන් ලක්ෂ ගණනක් ඒ ආශිතව නිස්සරණ සුවයෙන් සිටිය බව පෙනේ. ලක්දිව ප්‍රධානතම අධ්‍යාත්මික බලකඳවුර සිතුල්පව්ව බව විසුද්ධි මාර්ගය, මනෝරථ පුරණිය, සුමංගල විලාසිනිය හා සම්මෝහ විනෝදනිය ආදී ග්‍රන්ථවලද සඳහන්වේ.  දීඝභාණුක අභය මහ රහතන්වහන්ස, මලියදේව, ධම්මදින්නා, විශාඛා ආදී මහ තෙරුන්  වහන්සේලා වැඩ සිටි සිතුල්පව්  පර්වත මණ්ඩලය ආශ්‍රිත පරිසරය අදටත් නිශ්චල වූ එම ගුණ සමුදාය, අවට සැමට සැමදා විහිදුවා සිටී.
චුලගල්ල විහාර කථා වස්තුවේ දැක්වෙන පරිදි මලියදේව මහ තෙරුන් වහන්සේ සමග දෙව්ලොව ගිය සුළුගල උපාසකතුමා සත්රුවන් පැළදි දිව්‍ය පුත්‍රයෙක් දැක ඔහුගෙන් අතීතභවයේ ඊට හේතු වූ කර්මය පිළිබඳව විමසා ඇත. එහිදි ඔහු සිතුල්පව් විහාරයේ ශාලාවක් කරවූ බවත්, ‍පොකුණක් ඉදිකිරීමේදී ඊට සහාය වූ බවත්  ඒ  පිනෙන් මේ දිව්‍ය යස ඉසුරු ලැබුණු බවත් විස්තර කර ඇත. එකල තිස්සමහාරාම මහ වෙහෙරෙහි ශාස්ත්‍රධර භික්ෂුන්වහන්සේලා  සිතුල්පව් මහ වෙහෙරෙහි ධර්මධර භික්ෂුන් වහන්සේලා අතර සමීප  සම්බන්ධතා පැවති බවද පෙනේ. මෙවැනි කථා හුදු කථාරසය පමණක් ගෙන විසිකරන තත්ත්වයට පත්ව ඇත්තේ පංචස්කන්ධ සැපයක් ලෙස ගෙන සිටින  අසත්‍යයේ ජීවත් වන බැවිනි. නිත්‍ය සුඛ හා ආත්ම වශයෙන්  ගෙන ජීවිතයේ “මතුපිට” පමණක් සළකා දිවි ගෙවන බැවිනි. ආර්ය උතුමන් විසින් පංච උපාදානස්කන්ධයාගේ නිරෝධය, සැපය ලෙස දකී. ඒ අනිත්‍ය, දුඃඛ අනාත්ම වශයෙන් පංච ස්කන්ධයාගේ සැබෑ ස්වභාවය දකිනා නිසාය.
ජීවිතය විඩාවට හා දුකට පත්කරන්නාවූ දොරගුළු විවර කොට, ඒ ශාන්ත, අමරණීය විමුක්ති සුවය අත්දකින්නට මේ මනුෂ්‍යත්වය යොදා ගැනීමේ  මහා සත්කාරය කරන්නට වර්තමාන සිතුල්පව් දායක සභාවට  විහාරාධිපති හා සමිඳුට හැකි යම් දෙයක් කළ හැක. ‍පොසොන් සමය ඊට හොඳම කාල පරිච්ජේදයකි. ජුනි 2, 3, 4, 5 යන දිනවලදී සිතුල්පව්ව ‍පොසොන් උළෙලට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු නිම වී  ඇත. මහා ෙචෙත්‍යයට චූඩාමාණික්‍යය 
පැළඳවීම මෙවර සුවිශේෂ පූජ්‍යවන්ත කාර්යයකි. අතිගරු  ජනාධිපතිතුමාගේ පූර්ණ අනුග්‍රහයද ලැබි තිබේ. සියලු පහසුකම් සලසා ඇත. ප්‍රතිපත්තිමය පූජාවට මුල්තැන දුන් මෙවර ‍පොසොන්  උත්සවය සිතුල්පව්ව පූජනීයත්වය යළි ලොවට  පෙන්වා දීමකි. 
පූජ්‍ය කොට්ටාවේ ඉසිරක්ඛිත හිමි
2012 ජූනි මස 03  | ලංකාදීප කර්තෘ මණ්ඩලය

රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටුවරයා

එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.
ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.
”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.
ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.
ඇත්තටමද අප්පුහාමි ඔහේ ඒ දරුවන්ට ලක්‍ෂ දෙකහමාරක් ලියා ගන්න කිව්වේ? මිතුරා සැදැහැවතා අමතා ඇසීය.
අද මේ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අටසිල් සමාදම් වෙලා මේ උතුම් රුවන්වැලි සෑ මළුව ඉඳගෙන බොරු කියනවද මම? ඇත්තටම රුළහාමි ඔහේගෙ ඔළුවෙ අමාරුවක් තියෙනවාද? සැහැදැවතා සිනාසෙමින් තම මිතුරා ගෙන් ඇසීය.
ඒ දරුවෝ නම් ඔහේගෙ කථාව තඹේකට විශ්වාස කළේ නෑ. ඒ නිසා ඔහේ ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම දන්න මමවත් ඒ වචන විශ්වාස කළේ නෑ අප්පුහාමි. මිතුරා යළිත් කීවේය.
රුවන්වැලි සෑ මළුව ඇතුළු මුළු ප‍්‍රදේශය පුරා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ඒ මොහොතේ නිවේදනයක් නිකුත් විය.
තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතු නිදන් කර ලංකාවාසී සැදැහැවත් ඔබ සැමට නිවන් පුර රුවන් දොර විවර කැරදීම සඳහා එදා අපේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ රජාණන් විසින් ඉදි කරන ලද්දාවූ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ වන විට තරමක් අබලන් තත්ත්වයකට පත්ව ඇති බැවින් වහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුණ්‍යකාමී සැදැහැවත් ඔබ සැමගෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආධාර අපේක්‍ෂා කෙරේ. සංසාර ගමන් මග කෙටි කැර ගෙන නිවන් දැකීමේ අරමුණ පෙරදැරි කැරගෙන මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා මේ රුවන්වැලි සෑ පින්බිමේ අටසිල් සමාදම් වී සිටින සැදැහැවත් ඔබ සැම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් මේ උත්තම පුණ්‍යකර්මය සඳහා තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දායක වන ලෙස අපි ඔබ සැමට කාරුණිකව ආයාචනා කරමු.
ශ‍්‍රද්ධා සම්පන්න ඔබේ නොමසුරු ආධාර භාර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමියේ පිහිටුවා ඇති කාර්යාලයේ නිලධාරී මහත්වරු සූදානම්ව සිටින බැවින් මේ උදාරවූ පුණ්‍ය කර්මයට දායකවී සුවදායිවූ මරණයක් කෙළවර අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කැර ගන්නා ලෙස සැහැදැහැවත් ඔබ හැමට අපි ගෞරවපූර්වකව ආයාචනා කරමු. මේ එම නිවේදනයයි.
”අප්පුහාමි ඔහේට ඇහුනැයි? අපි යමුද ඔහේගෙ අර ලක්‍ෂ දෙකහමාර දෙන්න? මට නම් ලක්‍ෂ ගණන් නැති වග ඔහේ දන්නවනේ? මම බොහොම අර පිරිමැස්මෙන් ඉතිරි කර ගනිපු රුපියල් පන්සීයක් තියෙනවා. මගේ මිය පරලොව ගිය මාපියන්ට පින් සිද්ධ වෙන්න කියල මම ඒක පූජා කරනවා. මිතුරා එකී සැදැහැවතාට කීවේය.
කොටමින් සිටි බුලත් විට අතට හලා එය දත් නැති මුව තුළ රුවාගත් හෙතෙම තම කුඩා පිත්තල වංගෙඩිය ශුද්ධ පවිත‍්‍ර කැර ගමන් මල්ල තුළට දමාගෙන නැගී සිටියේය. ”යමු රාළහාමි යමු” හේ පෙරමුණ ගනිමින් මිතුරා ඇමතීය.
දෙමිතුරෝ රුවන්වැලි සෑ කාර්යාලය භූමිය වෙත පැමිණෙද්දී එහි දිගු පෝලිමකි. එහි සිටි හැමෝම රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහත් ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් දායක වෙනු පිණිස පැමිණියෝ වූහ. ඒ දෙමිතුරෝද පෝලිමේ අගට එකතු වූහ. රුපියල් දාහට වැඩි විශේෂ ආධාර දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පෝලිමේ සිටීනම් කරුණාකර පෝලිමෙන් ඉවත්වී කාර්යාලය තුළට පැමිණෙන්න. සංවිධායකවරු ශබ්ද විකාශන යන්ත‍්‍රය හරහා තවත් නිවේදනයක් නිකුත් කළහ.
පෝලිමේ සිටි ගරු ගාම්බීර මහේශාඛ්‍ය පෙනුමෙන් යුතු ප‍්‍රභූවරු රැුසක් පෝලිමෙන් වෙන්වී කාර්යාලය තුළට ගියහ.
”අන්න අප්පුහාමි... ඇහුණ නේද ඔහේට? ඔහේත් යන්න කාර්යාලය ඇතුළට. මිතුරා කීවේය.
අප්පුහාමි කාර්යාලය තුළට ඇතුළු විය. සල්ලිකාර ප‍්‍රභූවරුන් විස්සක් තිහක් පමණ එම කුඩා කාර්යාලය තුළ තෙරපෙති. දුප්පත් ගැමියකුගේ පෙනුම ප‍්‍රදර්ශනය කළ අප්පුහාමි ඒ හැමට විහිළුවක් උපහාසයක් වූ සෙයකි. ඔවුන් අප්පුහාමි නොරුස්නා සෙයක්ද මොනවට ප‍්‍රදර්ශනය විය. අප්පුහාමි ඔවුන් දෙපසට කරමින් ඉදිරියට ගියේය.
”ඔන්න මහත්තයා ලියාගන්න මගෙන්.....” අප්පුහාමිට සිය වාක්‍යය නිම කරන්නට ඉඩ නොදෙමින් එහි සිටි ප‍්‍රභූවරයෙක් කථා කළේය.
”ශත දහයක්” ඔහුගේ බහට එහි සිටි ප‍්‍රභූවරු සැවොම උපහාසාත්මක ස්වරයෙන් උස් හඬින් සිනාසෙන්නට වූහ.
”නෑ ශත විසි පහක්” අප්පුහාමි ඊටත් වඩා උස් හඬින් කීවෙන් ප‍්‍රභූවරු යළිත් සිනාසෙන්නට වූහ.
”ඔය මහත්තයා යන්න අර පෝලිමට. මෙතැන ලියන්නෙ රුපියල් දාහට වැඩි විශේෂ ආධාර” සංවිධායකයෙක් කීවේය.
”මහත්තයෝ ලියාගන්නකො විසි පහ ලියල දාන්න ඒකට අගට තව බිංඳු හතරක් අප්පුහාමි උස් හඬින් කියා ආඩම්බර ලීලාවෙන් වට විට බැලූවේය.
”මොනවා? ශත දෙලක්‍ෂ පනස්දාහක්? අපබ‍්‍රංශයක්නෙ?” සංවිධායකයා විමතියෙන් ඇසීය.
”පිස්සෙක්... ඔල්මාද කාරයෙක්.... අංගොඩ ඉඳලා ගෙදර යන ගමන්” ප‍්‍රභූවරු මුමුනන්නට වූහ.
”ශත දෙලක්‍ෂ පණස් දාහක් නොවෙයි. රුපියල් දෙලක්‍ෂ පනස් දායක්” අප්පුහාමි යළිත් උස් හඬින් කීවේය. නිලධාරියා අප්පුහාමි දෙස පරීක්‍ෂාවෙන් බැලීය. පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාත් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාත් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් බැලීය.
”නම කොහොමද උපාසක මහත්තයෝ? නිලධාරියා ඇසීය.
දොන් හෙන්ද්‍රික් සිටුගේ..... ගම අකුරැුස්ස හේනෙගම අප්පුහාමි පෙරටත් වඩා උස් හඬින් කීවේය.
නිලධාරියා එම විස්තර ලියා ගත්තේය. තම ගමන් මල්ලෙන් චෙක් පොතක් හා පෑනක් එළියට ගත් අප්පුහාමි වටපිට බැලූවේය. ”ආ..... මේ පුටුවෙ වාඩිවෙලා ලියන්න” නිලධාරියා සිය අසුනින් නැගී සිටිමින් කීවේය.
”අද අපට උච්ඡුාසයන අකැපයි නේ මහත්තයෝ. අද අපි අටසිල් සමාදම් වෙලා නොව. චැක් කඩදාසිය ලියලයි තියෙන්නෙ. අත්සන් කරන්න විතරයි ඇත්තෙ. ”කී හෙතෙම තම චෙක් පොත නිලධාරියාගේ මේසය මත තබා අදාළ චෙක් පතෙහි අත්සන් කළේය.
සැදැහැවතා දෙස උපහාසයෙන් බැලූ, ඔහුට සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ එහි සිටි ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ උරහිස් වලට ඉහළින් එබෙමින් චෙක්පත දෙස බලන්නට වූහ. ඒ ඔහු සැබැවින්ම එහි සඳහන් කැර ඇත්තේ රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්දැයි සැක හැර දැන ගැනීමටය. එහි සැබැවින්ම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් ලියා තිබිණි.
බොරු කාරයෙක්... වංචා කාරයෙක්.... කපටියෙක්.... පිස්සෙක්..... කාගෙ හරි චෙක් පොතක් අහුලලා වෙන්නැති. ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ සවන් වලට මුහුණන්නට වූහ. සිය චෙක්පත අත්සන් කළ හෙතෙම එය පරෙස්සමෙන් පොතෙන් වෙන් කැර දෑතින්ම ගෙන නිලධාරියාට පිළිගැන්වීය.
”පින් සිද්ධ වෙච්චාවෙ උපාසක මහත්තයෝ.” නිලධාරියා අසුනින් නැගිට දෑතින්ම එය පිළිගනිමින් කීවේය.
”පින් තමයි මහත්තයෝ  ඕනෑ. සල්ලි නම් කොච්චර තිබුණත් කිසි පලක් නෑ. යන කොට එක ශතයක් අරගෙන යන්න පුළුවන්ද? පින් නම් කොච්චර තිබුණත් කාරි නෑ. තියෙන තරමක් අරගෙන යන්න පුළුවනි.” සිනාසෙමින් කී හෙතෙම එළියට බැස රුවන්වැලි සෑය දෙසට හැරී දොහොත් මුදුන් තබා මහ හඬින් ”සාධු සාධු සාධු” කියා වැන්දේය. ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ ප‍්‍රභූවරු නිහඬව බිම බලාගත්හ. ඔවුන් එවේලේ පරිත්‍යාග කළේ දහස දෙදහස දෙදහස් පන්සීය යනාදී වශයෙනි. එකම ප‍්‍රභූවරයෙක් පමණක් රුපියල් පන් දහසක් පරිත්‍යාග කැර තිබිණී.
අකුරැස්ස, හේනෙගම විසූ දොන් හෙන්ද්‍රික් සිටුගේ අප්පුහාමි උපාසක මහතා රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළ අති විශාල වූ එම පරිත්‍යාගය පිළිබඳව එම පින් බිම පුරා තැන තැන සවිකැර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා එවෙලේ පටන් පසු දින තෙක් සිය වරක් ප‍්‍රචාරය විය. එසේම පසුදින හිමිදිරියේ අටසිල් පවාරණවී සිය සුපුරුදු අත් දිග මේස් බැනියමෙන් හා කළු කබාෙයෙන් සැරසුණු ඔහුගේ සේයාරුවක් විශේෂයෙන්ම එහි ගෙන්වන ලද ඡායාරූප ශිල්පියකු ලවා ලබා ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.
මෙම ලිපිය සමග පළ කැර ඇත්තේ එදා ගන්නා ලදුව අදද අටමස්ථාන කාර්යාලයේ තැන්පත් කැර ඇති එම දැවැන්ත සේයාරුවේ කුඩා පිටපතකි.
1912 වසරේදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක් යනු අද කාලයේ නම් මිලියන ගණනාවකි. මන්ද? එම වකවානුවේ කම්කරුවෙකුගේ දෛනික වැටුප වූ කලී ශත 05ක් බැවිනි.
අකුරැුස්ස, පරදුව ග‍්‍රාමයේ උපත ලද දොන් හෙන්ද්‍රික් සිටුගේ නම්වූ හෙතෙම ළමාවිය ඉක්මවීමත් සමගම එකල ”පුංචි එංගලන්තය” නමින් විරුදාවලි ලැබ තිබූ දෙනියාය තේ වතු අධිරාජ්‍යයේ පිහිටි තානායමේ සහකාර කෝකියකු ලෙසින් සේවයට බැඳුණේය.
ඉඳහිට ගමේ එන අතරතුරු වත්මන් පොලීසිය පිහිටුවා ඇති ගොඩනැගිල්ලේ එවකට විවෘතව තිබූ අකුරැස්ස තානායමටත් ගොඩවී කථා බහ කැර යාම ඔහුගේ පුරුද්දක් විය. එසේ පැමිණි වාරයකදී දැන හඳුනාගත් සුදු ජාතිකයෙක් ඔහු හා කුළුපග විය.
ඔහු සියරට බලා නික්ම යන අවසන් අවස්ථාවේදී තම බූදලය තරුණ දොන් හෙන්ද්‍රික් සිටුගේට පැවරීය. එම මුදල් වලින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරැඹීමේ අදහසින් පසුවූ ඔහුට කදිම අදහසක් පහළ විය. ඒ එම ප‍්‍රදේශයේ ගම් රැසක සිට අකුරැස්ස නගරයට පැමිණෙන සිය ගණන් වූ ජනතාව නිල්වලා ගෙඟන් එගොඩට මෙගොඩ කිරීමය. හෙතෙම ඒ සඳහා විශාල පාරුවක් තැනවීය. ඒ මගින් ඔහු එක් මගියෙක් එගොඩ හෝ මෙගොඩ හෝ කිරීමට ඔහු අය කළ මුදල ශත භාගයකි. නැතහොත් සල්ලියකි. පාරුව පැදවූ  තොටියාට ඔහු එකල ගෙවූ දෛනික වැටුප ශත පහක් විය.
1887 වසරේදී රජය විසින් එම ස්ථානයේ දැවැන්ත පාළමක් ඉදි කරවීමත් සමගම ඔහුගේ පාරු සේවය නිමවිය. නමුත් ඔහු ඒ වනවිට එමගින් විශාල මුදලක් උපයා ගෙන ඉතිරි කැරගෙන තිබිණි.
සිය සුදු ජාතික මිතුරාගෙන් සොයා ගත් මුදල හා තමා උපයාගත් මුදල් යොදා හෙතෙම අකුරැස්ස, හේනෙගම, කියාඬුව යන ප‍්‍රදේශවලින් ඉඩම් අක්කර ගණනාවක් මිලයට ගත්තේය. (එකල ඉඩම් අක්කරයක මිල රුපියල් සියයක් විය.)
ඒවායේ පැඟිරි වගා කළ හේ ඒවායින් පැඟිරි තෙල් සිඳ අලෙවි කළේය. එකල පැඟිරි තෙල් බෝතලයක මිල රුපියල් තුනක් පමණ විය.
දිනෙන් දින පොහොසත්වූ මේ උත්සාහවන්ත තරුණයා පසුව හේනේගම, ගොරගොඩ යන ගම්මාන වලින් ඉඩම් අක්කර සිය ගණනක් මිලයට ගැනීමට සමත්විය. එම ඉඩම් වල තේ වගාකළ හෙගෙම තේ වත්තෙ අප්පුහාමි යන නමින් ප‍්‍රසිද්ධ විය.
අකුරැස්ස ප‍්‍රදේශයේ තේ වගා කිරීමේ ආදි කර්තෘවරයා අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් විය.
ඇල්ගිරිය ප‍්‍රදේශයේ විසූ ප‍්‍රභූ පවුලක් වූ ජයවර්ධන පවුලේ කුල කුමරියකවූ ජයවර්ධන ලියනගේ ලැවැරස්තිනා හාමි නම් ඇය සමග විවාහ විය. එම යුවළ දුවරුන් සතර දෙනෙකු හා එක් පුතකු ලැබූහ. තමන්ට හරිහමන් අධ්‍යාපනයක් ලැබීමට නොහැකිවූ නමුදු තම දුවා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට ඔවුහු උත්සුක වූහ.
1915 දී ඇතිවූ සිංහල - මුස්ලිම් කෝලාහලවලදී දකුණ පුරා පෙදෙස් රැසක විසූ සල්ලිකාර තරුණයන් රැසක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. දොන් හෙන්ද්‍රික්ගේ එකම පුත‍්‍රයාද ඒ අතර විය. ඔහු නිදහස් කරවා ගැනීමට හෙතෙම නොගත් උත්සාහයක් නැත. ඔහුගේ බරට බර මුදල් වියදම් කැර ඔහු නිදහස් කැර ගැනීමට අවසන ඔහු සමත් විය.
අවාසනාවක මහත. නිදහස් කරගෙන විනාඩි 15 කට පමණ පසු ඔහු මිය ගියේය. ඔහුට මාරාන්තික විෂ සහිත එන්නතක් ලබාදී තිබූ බව කියැවිණි. එසේම ඔහුට නිර්දය ලෙස පහරදී විවිධ කුරිරු වධ බන්ධන පමුණුවා තිබුණේලූ. මේ හැම කරුණු කාරණා හේතුවෙන් ඔහු මිය ගියා විය හැක.
දොන් හෙන්ද්‍රික්ගේ මියගිය පුත‍්‍රයාට දරුවෝ තිදෙනෙක් වූහ. එනම් පුතුන් දෙදෙනකු හා එක් දුවකි. එම දුව විවාහවී සිටියේ එවකට දෙහිවල පිහිටි සුප‍්‍රකට විලියම් බිස්කට් ආයතනයේ අයිතිකරු සමගය.
අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් අප්පුහාමි යටකී 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කිරීමෙන් පසුව දොන් හෙන්ද්‍රික් සිල්වා සිටුගේ නමින් ප‍්‍රසිද්ධ විය.
ඒ දැවැන්ත පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහුට ශ්‍රී මහා බෝධි අංකූර දෙකක් ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරිණි. ඔහු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අලි ඇතුන් සහිත මහා පෙරහරකින් එම බෝධීන් වහන්සේලා අකුරැුස්සට වැඩමවාගෙන විත් අකුරැස්සේ තෙපුදෙණිය හා කියාඬුව යන ගම්මානවල තමන්ට අයත් ඉඩම් දෙකක රෝපණය කළේය. ප‍්‍රදේශවාසී බොදු බැතිමතුන්ගේ වන්දනාමානයන්ට ලක්වූ එම බෝධීන් වහන්සේලා සහිත ඉඩම් ඒවායේ පසුකාලීන අයිතිකරුවන්වූ (අකුරැස්ස සෙම්ඩොල් වත්ත හා තේ කම්හලේ අයිතිකරු) පී.එල්. බුද්ධදාස මහතා හා (වත්මන් වැලියන් නෙප්චූන් තේ කම්හලේ අයිතිකරු) පී. හේවාකුරුප්පු මහතා විසින් සසුනට පූජා කරන ලදුව අද සංවර්ධිත විහාරස්ථාන දෙකකි. එනම් තෙපුදෙනිය බෝධිරාජ විහාරය සහ කියාඬුව දස මහා බෝධි සෙනසුනයි.
කම්කරුවකුගේ දෛනික වැටුප ශත 05ක් වූ 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පරිත්‍යාග කළ මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයා සතුව තිබූ අක්කර දහස් ගණන් වූ ඉඩම්වල අද දස දහස් සංඛ්‍යාත ජනතාවක් නිවෙස් තනාගෙන ජිවත් වෙති. එසේම අකුරැුස්ස රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටුවා ඇත්තේ එකී ඉඩම්වලය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්ය පණ්ඩුල ලැබුනුහේවා මහතාට අපේ ගෞරවනීය ස්තුතිය
සටහන හා ඡායාරූප සැපයුම අතුරලිය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන
2012 ජූනි මස 03  | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 එදා රුවන්මැලි සෑය
 රුවන්මැලි සෑය ප‍්‍රතිසංස්කරණයට පෙර
 දොන් හෙන්ද්‍රික් සිටුගේ
ඔහුගේ අවසන් නිවාසය