උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

මඟුල් මහා විහාරය


මොනරාගල පොතුවිල් ( ඒ – 4 ) මාර්ගයේ ගමන් කළවිට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී තවත් කි. මී. 1/2ක් පමණ ගිය විට මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානයට ළඟාවීමට පුළුවන.

මෙහි ඉතිහාසය පිරික්සීමේදී සියයට සියයක් නිවැරදි පදනමක් උඩ සිට නිශ්චිත නිගමනයකට පැමිණීමට මෙතෙක් පුළුවන්කමක් ලැබී නොමැත.
එහෙත් ඓතිහාසික සන්සිද්ධීන්, ඇතැම් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සටහන්, මෙන්ම කාලාන්තරයක් තිස්සේ ජනප්‍රවාදයේ පැවත එන කතා අනුසාරයෙන් මෙම විශේෂ ස්ථානය පිළිබඳව වඩාත් විශ්වාසනීය කථිකාවතක් ගොඩ නැඟීමට හැකියාව තිබෙයි.
විවිධ කාල වකවානු යටතේ දැනට මතුවී ඇති පැරැණි නටබුන් මතින් එදවස විශේෂිත විහාර සංකීර්ණයක්ව පැවැති බව සනාත කරගත හැකි මෙය ලංකාවේ පැරැණි බෙදීම් අනුව රුහුණු ප්‍රදේශයට අයත්ව තිබූ ප්‍රමුඛ විහාර සංකීර්ණයක් වශයෙන් පැවත ආ බව නිගමනය කළ හැකිය.
මෙයට මඟුල් මහා විහාරය යන නම පටබැඳී ඇත්තේ එදවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණේ මෙතැනදී බවත් ඔවුන් පෝරුවේ චාරිත්‍රය සිදුකළ ඒ සදානුස්මරණීය මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් අනාදිමත් කාලයක සිට බහුතර ජනතාව අතර ප්‍රබල මතයක් ගොඩ නැඟී ඇති නිසා ය. එය එසේම සිදුවුණේ නම් ආගමික පරිසරයක සංහිඳියාව මධ්‍යයේ ඒ අසිරිමත් විවාහ චාරිත්‍රාදිය මේ සැනසිලිදායක සොඳුරු බිම අපූරු පීඨයක් මැද සිදු කළා ද විය හැක.
මෙතන ආරාම සංකීර්ණයක ලකුණු පැහැදිලිව දැක ගැනීමට ලැබෙන නිසා පුරාණයේ කාවන්තිස්ස - විහාර මහා දේවී සරණ මංගල්‍යය පූජනීය බිමක ගෞරවනීය සුපේසල භික්‍ෂූන් වහන්සේලාගේ සෙවණ යට සිදුවන්නට බොහෝ සේ ඉඩ තිබූ බව සිතීම අසාධාරණ නොවේ. ප්‍රදේශයේ බොහෝ ස්ථානයන්හි කාවන්තිස්ස රජතුමාගේ නම සම්බන්ධ ඓතිහාසික තොරතුරු හමුවීම නිසාද ඉහත මතයට යම් සාධාරණත්වයක් ලබාදිය හැකි වෙයි.
යුග ගණනාවක් තිස්සේ ජන ජන මුව රැඳෙමින් ආ ඒ ජනප්‍රවාදය මුල් බැස ගැනීමට තරම් ප්‍රබල මතයක් ගොඩ නැගීම ද සැනෙන් බැහැර කළ නොහැකි ය.
එදා රුහුණු මහා විහාරය ව පැවැති ම¼ගුල් මහා විහාරයේ අද අප දකින නටබුන් මත එදා පැවති අසිරිය පිළිබඳ අපූරු සොඳුරු චිත්‍රයක් සිත් සතන්හි ඇඳ ගැනීමට සමත් සාධක අද වන විට ද යම් තරමකට හෝ ඉතිරිව පවති යි.
පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසගත සාක්‍ෂි සටහන් මත කරුණු විමසීමේ දී මෙම විශේෂ ස්ථානයේ ඉතිහාසය ක්‍රි. පූර්ව යුගය දක්වා දිවෙන බවට සාධක පිරික්ෂීමෙන්, විශ්වාසය තැබිය හැකි වෙයි. එහෙත් දැනට ඇති නෂ්ටාවශේෂ බොහෝමයකින් හෙළි වන්නේ රාජ්‍ය වර්ෂයෙන් පසු යුගයට අයත් සාධක ය.
වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. ලාහුගල මඟුල් මල් විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙ යි.
මෙම සෙල් ලිපිවල ලියැවී ඇති කරුණු අනුව ධාතුසේන රජතුමා කළ රූණු මහා විහාරය නමින් වූ සිද්ධස්ථානය අද අප හඳුන්වන මඟුල් මහා විහාරයම බව සනාථ වේ යැයි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි පවස යි. සෙල් ලිපිය පිහිටුවන අවධියේ විහාරස්ථානය වල් බිහිවී තිබූ අතර නැවත එය පිළිසකර කරවන ලද්දේ විහාර මහා දේවිය නම් වූ වෙනත් බිසවක විසිනි. ඇය පැරකුම්බා රජ දරුවන් දෙදෙනෙකුගේ අගමෙහෙසිය වූ බව ලිපියෙහි සඳහන්ව තිබේ.
මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ මතය නම් මෙහි සඳහන්ව ඇති පැරකුම්බා දෙබෑයන් යනු ගම්පොල යුගයේ සිටි පස්වන පරාක්‍රමබාහු සහ හතරවන බුවනෙකබාහු යන රජවරුන් බව ය.
මහාවංශය සහ පූජාවලියට අනුව 1 වන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කළ බව සඳහන් වෙයි.
මෙම නම් ගම්, ලිඛිත සාක්‍ෂි, ජනශ්‍රැති, ඉතිහාසගත කරුණු, පුරාවිද්‍යාත්මක සාක්‍ෂි පරීක්‍ෂණයට බඳුන් කිරීමේදී විවිධ මත ගැටුම් පැණ නැගී තිබේ. ගැටලු ලිහා දිග හැර සැක හැර අවසන් නිශ්චිත තීන්දුව දීමේ විනිශ්චය ඒ ඒ අදාළ ක්‍ෂෙත්‍රයන්හි වියතුන්ගේ වගකීම වෙයි.
දැනට ඇසට හසුවන නටබුන් පරීක්‍ෂා කිරීමේදී මෙය ප්‍රබල විහාරාරාමයක් වශයෙන් පැවැති බව නම් ස්ථිරය.
ඉතා පැරැණි ස්තූපයක නෂ්ටාවශේෂ, විශේෂිත වූ බෝධි ඝරයක්, ධාතු ගෘහයක්, දම් සභා මණ්ඩපයක්, දාන ශාලාවක්, පිළිම ගෙයක්, පෝය සීමා මාලකයක් සහ පොකුණු - සඳකඩපහන්, මුරගල් ආදිය මේ අතර විශේෂ වෙයි.
මෙහිදී හමුවී ඇති සඳකඩපහණ ලංකාවේදී මෙතෙක් හමු වී ඇති එම ස්වරූපයේ එකම සඳකඩපහණ බව කියැවෙයි. පුද බිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙයයි.
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසැඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැලකෙන මුල්ම මළුව ලෙස හඳුන්වන්නේ මෙයයි. සමස්ත බෝධිඝරයම පද්මාකාර ආකෘතියකින් නිමකර ඇත. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩනැගී ඇති මඟුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය හා සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතියි.
මෑතදී සිදුවූ ත්‍රස්තවාදී උවදුරේ භිෂණයෙන් දැඩිව පීඩා විඳි පරිසරයක මරණ බයෙන් තැතිගත් අසරණ ජීවිත හඬා වැටෙනා විටෙක හුදකලාවූ තවත් එක් අනාරක්‍ෂිත පුදබිමක් වූ මඟුල් මහා විහාරය නම් පුරාවිද්‍යාත්මක ස්මාරකය සුරැකුනේ දිවි දෙවනුව ද ජාතික බොදු උරුමයන් පළමුව ද තැකූ භික්‍ෂූන් වහන්සේටත් ඒ ප්‍රයත්නයට ශක්තියක් වූ අපගේ වීරෝදාර රණවිරුවන්ටත් පින් සිදුවන්නට ය. දැයේ පූජෝපහාරය මෙවන් උරුමයන් සුරැකූ සැබෑ මානවයන් වෙත පිදිය යුතුම ය.
බොදු උරුමයක අනන්‍යතාවය යටතේ රාජ වංශ කතාවට චමත්කාරයක් එක්කළ ලාහුගල මඟුල් මහා විහාර සංකීර්ණයේ තවත් ඉතිහාසගත තොරතුරු රාශියක් තවමත් රහස් වශයෙන් මේ විසිරුණු පස්ගොඩැලි යට සඟවා ගෙන සිටිනවා විය හැක. මඟුල් මහා විහාරයේ නියම මංගල්‍යය සිදුවන්නේ කටු කොහොල් හැර එම රහස් ගබඩාවේ සියලු දොරගුළු විවර කළ දාට ය.
ජනක වෙත්තසිංහ

රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමය

වසර 250 වඩා පැරණි සංඝාවාසය


හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති. රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත.

පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය.

එහි දී රැස් කරගත් පින කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත. ඒ පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ්‍රී තේජවර යන ගෞරව නාමය ප‍්‍රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ.



දර්ශනීය පෙරහරකින් රත්නපුර හරහා එන අතරතුර දී හමුවූ විජේරිය නින්දගම ධම්මදස්සී නාහිමියන්ට පූජා කළ බව ද ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි. උන්වහන්සේ වැඩම කරවීම සඳහා පෙරහරට උපයෝගී කර ගත් දෝලාව, දවුල්, තම්මැට්ටම් පල්ලැන්නිය ආදී පූජා භාණ්ඩ අද ද එම විහාරස්ථානය වෙත ගිය විට දැකගත හැකිය.

රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට ලැබුණු ගෞරව නාමය මුල් කරගෙන පල්ලාවෙල විහාරස්ථානය කීර්ති ශ්‍රී තේජෝවරාරාමය ලෙස නම් කොට තිබේ.

මාතර නගරයේ සිට හක්මන හරහා මුලටියන මාර්ගයේ කිලෝමීටර් 32ක දුරක් ගිය විට මෙම විහාරස්ථානය හමු වෙයි. සුන්දර කුඹුරු යායක් මැද එය පිහිටා ඇත.

විහාර ගෙට පිවිසීමට ඇත්තේ දර්ශනීය මකර තොරණක් මැදිනි. විෂ්ණු හා කතරගම දේවාල දෙකක් දෙපසින් පිහිටා තිබේ.

බුද්ධ මන්දිරය තුළ විශාල හිඳි පිළිම දෙකක් නිර්මාණය කොට තිබේ. ඊට අමතරව සත් සතිය, අසූ මහා ශ‍්‍රාවකයින් හා අටවිසි බුදු පිළිම වහන්සේලා ද දැක ගත හැකිය.ටැම්පිට විහාරස්ථානයේ තිබූ බවට සැක කෙරෙන ලීවලින් තනන ලද නුවර සම්ප‍්‍රදායට අයත් පිළිමයක් ද එහි ප‍්‍රදර්ශනය කොට ඇත.

වෙනත් විහාරවල තිබෙන සතර පෙරනිමිති වෙනුවට මෙම විහාරයේ දැකගත හැකි වන්නේ තුන් පූර්ව නිමිතිය. පැවිදි වීමට හේතුව ලෙස මහල්ලෙක්, ලෙඩෙක් හා මළමිණියක් දක්වා තිබුණ ද පැවිදි රුව නිර්මාණය කර ඇත්තේ වළාකුළුවල පෙනෙන නොපෙනෙන ආකාරයටය. යටත් විජිත සංකල්පය නිරූපනය කරන  ඕලන්ද යුගයට අයත් සියවටුක යක්ෂ රූප ද මෙම විහාරයේ දැකගත හැකිය.
වසර 300කට වඩා පැරණි බෝ ගස විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිඹිඹු කරයි. රංසෑගොඩ ධම්මදස්සී සිල්වතුන් වහන්සේ එහි යට බණ භාවනා කළ ස්ථානය තවමත් දැකගත හැකියි.

වසර 250කට වඩා පැරණි සංඝාවාසය ද වසර 110ක් පැරණි පොත් ගුල ද අතීත ශ්‍රී විභූතිය මනාව පෙන්නුම් කරයි. පැරණි පුස්කොළ පොත් සිය ගණනක් එහි තැන්පත් කොට තිබේ.

පැරණි තේක්ක අල්මාරියක්, චීන කැටයම්වලින් යුතු ටීපෝවක් හා යුග පුටුව ආදී අලංකාර ගෘහ භාණ්ඩ රැසක් ද එහි දැකගත හැකිය.

බුද්ධ වර්ෂ 2430 දී ඉදි කළ ධර්ම ශාලාවේ ලීවලින් සාදන ලද පිරිත් මණ්ඩපය දැකුම්කළු නුවර යුගයේ කැටයම් එහි ඇති අතර දැනට ද වාර්ෂික කඨින පිංකම පැවැත්වෙන අවස්ථාවේ පිරිත් කීමට යොදා ගන්නේ එම පිරිත් මණ්ඩපයයි.

රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ගෙන් ආරම්භ වූ මෙම විහාරස්ථානය නගා සිටුවීම සඳහා සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්මකීර්ති ගුණරතන, රංසෑගොඩ සුමන, අපරැක්කේ සරණපාල යන නාහිමිවරු විශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. එම නිසාම උන් වහන්සේලා පිළිඹිඹු කෙරෙන චිත‍්‍ර බුදු මැදුරෙහි මනාව නිරූපනය කර තිබේ.

විහාරාධිපති වැලිහේනේ සාරානන්ද හිමි


අනතුරුව විහාරාධිපති තනතුරට පත්වූ කැටියපේ ශ්‍රී සංඝානන්ද රංසෑගොඩ සරණතිස්ස හා පල්ලාවෙල සිරිනිවාස යන නාහිමිවරුන් ද විහාරස්ථානය දියුණු කිරීමට නොගත් වෙහෙසක් නොමැත.

වර්තමානයේ කීර්ති ශ්‍රී තේජෝවරාරාමයේ දියුණුවට පුරෝගාමී වී කටයුතු කරන්නේ එහි විහාරාධිපති හා මුලටියන සමථ බල මණ්ඩලයේ සභාපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ය. උන් වහන්සේ මාතර මන්තින්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති හිමියෝ ද වෙති.


විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියෝ මෙසේ කීහ.
1974 වසරේ ඉඳලයි මම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. 1995 මැයි මස 25 වැනිදායි විහාරාධිපති තනතුරට පත් වුණේ. මේ ඓතිහාසික විහාරස්ථානය මගින් මුළු ප‍්‍රදේශයම ආලෝකමත් වෙලා තිබෙනවා. වසර 300කට වඩා පැරණි විහාරස්ථානය තුළ දැක බලා ගැනීමට වටිනා ගොඩක් දේ තිබෙනවා. ශ්‍රී සංඝානන්ද දහම් පාසල මගින් දරු දැරියන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙනවා. ශ්‍රී ගුණාලංකාර පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය ද ජනතාව අතර ජනප‍්‍රිය වී තිබෙනවා. ප‍්‍රදේශයට ආගමික, ශාසනික හා සමාජීය සේවා රැසක් ඉටු කරන මේ ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන උතුම් පුණ්‍යකර්මයක් වෙනවා.

කෙසේ වෙතත් පල්්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීමේ මහෝත්සවය මෙම 13 වැනි දින සවස 2.00ට අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ලීවලින් සෑදු  පිරිත් මණ්ඩපය


ඒ සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දායක සභාවේ අනුශාසක හා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ හා මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.


 පැරණි භාජන
 පෞරාණික උපකරණ

මාතර - ක‍්‍රිෂාන් ජීවක ජයරුක්  /  මුලටියන - එස්. බාලසූරිය

2013 පෙබරවාරි මස 10 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සඟරජ හිමි සොයා ලග්ගලට ගියෙමු


දුම්බර වනපෙත සිසාරා නිරිත දිග මෝසම් වැස්‌ස පතිත වෙමින් පැවතුණි. අහස සිඹින උස්‌ කඳු මුදුන් සියල්ල මීදුමින් හා වැසි වලාකුළෙන් වැසී ගොසිනි. මාතලේ සිට රත්තොට හරහා දිවෙන ලග්ගල මාර්ගයේ දුෂ්කර, පටු, කඳු සහ බෑවුම් අතරින් අප ගමන් කරමින් සිටියේ ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ ස්‌වර්ණමය සංසිද්ධියක ආගිය තොරතුරු සොයා යැමේ තිර අදිටනි.

කාලගුණික හා දේශගුණික හිරිහැර පරදවා ලග්ගල උඩසියට ළඟාවීමත් ඓතිහාසික ඇටන්වල ගම්මානයට පා තැබීමත් අඩියෙන් අඩිය දුෂ්කර වූයේ එගම වෙත වැටී ඇති මාර්ගය එහෙම පිටින්ම කැඩී බිදී විනාශ වී තිබූ හෙයිනි.

දුම්බර කඳුකරය පූර්ණවශයෙන්ම සුන්දර බිම්කඩකි. ගලාහැලෙන රිදී දිය දහරා දසතින් දිස්‌වෙයි. නේකවර්ණ වනපියස ක්‍ෂතිජය තෙක්‌ පැතිරයයි. ඒ අතර දුරින් දුරින් ඇටන්වල, රත්නිංද, පිටවල, මහලකොටුව යන ගම්මාන දැකගත හැකිය. රත්තොට පසුකොට ලග්ගලට පිවිසෙන දොරටුව ඇත්තේ රිවස්‌ටන් මුදුනේය. එය මුහුදු මට්‌ටමේ සිට අඩි 3000 කටත් වඩා වැඩියෙන් උසය. එහි සිට දිවෙන වංගු ගැසුණු කුඩා 18 වංගුවක්‌ වැනි මාර්ගයේ ගමන් කිරීම අසිරිමත් ජීවන අත්දැකීමකි.

නමුත් එගම් වැසියන්ගේ ජීවිත එතරම් සුන්දර නැත, කටුකය. ජන ජීවිතය විසිතුරු නැත, දුක්‌ සහිතය, ජීවන මාර්ගයන්ද පහසු නැත, දුෂ්කරය.

අපේ ගමනාන්තය වූයේ ඇටන්වල ගම්මානයයි. එය පිහිටියේ රත්නිංද ගමට ඔබ්බෙනි. ඒ සියලු ගම්මාන වෙත යා යුතුව ඇත්තේ දණ බිම ඇණෙන හතිවැටෙන කදු පල්ලම් හෙල් අතරිනි.

මහනුවර රජ සමයේ වැඩ වාසය කරමින් සම්බුද්ධ ශාසනයේත්, භික්‍ෂු ශාසනයේත්

උන්නතිය උදෙසා විශිෂ්ඨ මෙහෙවරක්‌ සිදුකළ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අතිශය අප්‍රකට දිවි පෙවෙතින් බිඳක්‌ පිළිබඳ ජනශ්‍රැතිමය සාධක සොයා යැම අපගේ අරමුණ විය. එය මෙතෙක්‌ මේතාක්‌ කිසිම මාධ්‍යයකින් සිදු නොකළ ගවේෂණයකි. එබැවින් "ඉරිදා දිවයින" පාඨක ඔබවෙත ඒ ඓතිහාසික සංසිද්ධිය මෙලෙස ගෙන එන්නේ ඉමහත් සතුටකිනි.

කෙසේ වුවද වර්තමාන ශාසනික පුනරුදයේ පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනෙකු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ට ඉතිහාසය තුළ හිමිවිය යුතු ගෞරවය හා ස්‌ථානය ලැබෙන්නේ ද යන්න අදටත් ගැටලුවකි. උන්වහන්සේගේ ලග්ගල වංහුං සොයායැමට ප්‍රථම වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි පිළිබඳව යමක්‌ මෙම ලිපියට එක්‌කළ යුතුයෑයි හැගෙයි.

ශතවර්ෂ ගණනාවක්‌ පුරා ගොඩනැගුණු සිංහල බෞද්ධ සංස්‌කෘතික උරුමය මහනුවර රාජ්‍ය සමයේදී කෙමෙන් බිඳ වැටුණි. බුදු දහම යටකොට දේව බලය පැතිරිණි. භික්‍ෂු ශාසනය පිරිහී ගණින්වහන්සේලා විසින් පන්සලේ පවුල් ජීවිත ගතකරන, භික්‍ෂූත්වය කහරෙදි කඩකට සීමාවූ යුගයක්‌ බිහිවිය. එකී තත්ත්වයෙන් ශාසනය මුදවා රාජ්‍යත්වයත්, ජාතිකත්වයත්, ඔප් නංවා ථෙරවාද මහ සංඝ සම්ප්‍රදායත්, මෙරට බෞද්ධ අධ්‍යාපනයත් සුරක්‍ෂිත කිරීමේ මාහැඟි කාර්යභාරය ඉටුකළේ වැලිවිට සංරණංකර සඟරාජ හිමියන් විසිණි.

මහනුවර සුරියගොඩ විහාරය මුල්කොට උන්වහන්සේගේ සේවය රට පුරා ව්‍යාප්තව පැවතුණි. අගනා ශාස්‌ත්‍රීය හා ආගමික ග්‍රන්ථ රැසක්‌ රචනා කළ උන්වහන්සේ මෙරට උපසම්පදා පුණ්‍යකර්මය නැවත ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවරටද උරදුන්හ.

1698 ජුනි 18 දින තුම්පනේ වැලිවිටදී උපත ලද උන්වහන්සේ පැවිදි දිවියට එළඹෙන්නේ ක්‍රි. ව. 1714 දීය. ඒ සුරියගොඩ විහාරවාසී සූරියගොඩ ස්‌වාමි හෙවත් කිත්සිරිමෙවන් රාජසුන්දර මාහිමියන් වහන්සේ ඇසුරේය. උන්වහන්සේගේ විස්‌තර ඇතුලත් පද්‍ය, ගද්‍ය පොත පත රාශියක්‌ පළවී ඇත්තේ සංඝරජ මාහිමියන් ශ්‍රී ලාංකීය ශාසනික වංශකථාවේ අසිරිමත් තෙර නමක වූ බැවිනි.

මේ ලිපියට මුල්වූ ලග්ගල ගමන යෙදෙනුයේ උන්වහන්සේ සහ නරේන්ද්‍රසිංහ රජු අතර ඇතිවන මත ගැටුමකින් පසු සරණංකර හිමි ඇතුළු පිරිසක්‌ ලග්ගලට පිටුවහල් කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව ඇති සඳහකට අනුවය.

වැලිවිට අසරණ සරණ සරණංකර සාමනේර හිමි විසින් සිල්වත් සමාගම පිහිටුවා පිණ්‌ඩපාතයෙන් යෑපෙමින් ශාසනික ප්‍රතිපදාවන් පිළිපඳිමින් යළිත් සැබෑ ශාසනයක්‌ රටතුළ ඇති කිරීමට උත්සාහ ගනිද්දී එවක උභය විහාරවාසී ගණින්නාන්සේලා ඊට විරුද්ධ වූහ. ඔව්හු රජුට කේලාම් කියූහ. එසේම රජු වටා සිටි ගොන්සාල්වෙස්‌ වැනි බටහිර ජාතිකයන්ගේ බලපෑමද ඊට අනුබලයක්‌ වී තිබේ. අවසානයේ රජු විසින් සරණංකර හිමි ඇතුළු පිරිස ලග්ගලට පිටුවහල් කර ඇත. මහනුවර ඔස්‌සේ අතිශ්‍ය දුෂ්කර වනගත ගමනකින් පසු එම පිරිස වර්තමාන ලග්ගල මැතිවරණ කොට්‌ඨාසයේ ලග්ගල උඩසිය ගම් ප්‍රදේශයට වැඩම කොට ඇත.

මාතලේ සිට ලග්ගල මාර්ගයේ කිලෝමීටර් 35 පමණ ගියතැන හමුවෙන ගම්මානය වර්තමානයේ පවා හැඳින්වෙන්නේ "පිටවල" නමිනි. ඒ අසලම ඇති රත්නිංද ගම සංඝරාජ මාහිමිටත්, පිරිසටත් එකල උවටැන් කළ පිරිසටත් නිංදගම් ලෙස ලබා දී තිබේ. අද එය දුම්බර වනපෙතට මායිම්වු සුන්දර ගම්මානයකි.

මහනුවරින් පිටුවහල් කළ සංඝරාජ මාහිමියන් ඇටන්වල ගම්මානයේ කැලෑබද ගල් ලෙනක පළමුව වාසය කොට ඇත. එය දුටු ගැමියෙකු මාහිමි සිය නිවසට කැඳවාගෙන වුත් නවාතැන් සලස්‌වා ඇත. එදා සිට අද දක්‌වාම එය පන්සලේ ගෙදර නම් විය. එකී වාසගම සහිත ඇත්තෝ අදත් ලග්ගලත් ඉන් ඔබ්බෙත් වාසය කරති.

ඇටන්වල ගැමියෝ අදත් එනම් සරණංකර මාහිමි වැඩ සිටීමෙන් වසර 300 පමණ ගතවුවද උන්වහන්සේ ඇසුරු කළ ස්‌ථාන වලට ගෞරව දක්‌වති. "උන්වහන්සේ දියනෑ වල", උන්වහන්සේ "වැඩසිටි ලෙන", "උන්වහන්සේ වැඩ සිටි ගෙදර" ආදී දේ ඔවුනගේ කථාබහ අතර සුලබය. අපේ අරමුණ වූයේ මේ සියලු තොරතුරු සොයා යැමය. ඇටන්වලට පාතැබූ අපට පළමුව මුණගැසුණේ ඇටන්වල පුරාණ විහාරාධිපති කඹරව සමිත හිමියන්ය. පැරැණි පොතපත පවා ගෙනහැර දක්‌වමින් උන්වහන්සේ අපට තොරතුරු රැසක්‌ පෙන්වා දුන්හ.

මේක තමයි සංඝරාජ හිමියන් සැඟව සිටි ගම්මානය. ඒ කතාවට සීහෙන ස්‌ථාන කීපයක්‌ම මෙහෙ තියෙනවා. ඒත් කිසිමදාක වගකිවයුත්aතෙක්‌ හරි, පොත්පත් ලියන ඈයො හරි මේ ගැන හොයලා බලලා නම් නැහැ. මේ ගම්මානය රාවණා කාලේ තමයි ඇරඹිලා තියෙන්නේ. දැං හරි සංඝරාජ මාහිමිගෙ චරිතයට වැදගත් වන තැන් ගැන හොයලා බලලා රටට හෙළි කරනවා නම් ඒක හරි වටිනවා." උන් වහන්සේගෙන් සමුගත් අපි කඳුහෙල් ලදු කැලෑ දිය කඩිති පීරමින් සංඝරාජ හිමියන්ට සම්බන්ධ ස්‌ථාන සොයා වන වැදුණහ.

රත්නිංදේ ගම්වාසියෙකු මෙන්ම හිටපු කෘෂි අධිකාරියේ නිලධාරියෙකු වූ නිශ්ශංක කෝණාර රත්නිsංද මහතා ඒ සඳහා අපට මඟ පෙන්වීය.

උන්වහන්සේ දිය නෑ ස්‌ථානයත්, දිවා විහරණය කළ ගල් කුහරයත් අපට පළමුව දැකගත හැකිවිය. එය පිහිටා ඇත්තේ දුම්බර වනපෙතත් කිරිගල්පොත්ත කඳු මතින් පැන නඟින තෙල්ගමුඔයේ ඉහත්තෑවේය.

"මෙතැන තමයි උන්වහන්සේ දිය නෑ ස්‌ථානය. මේ ළඟම තියෙන්නේ දිවා විහරණය කළ ගල් කුහරය. ඒක හරිම අපුරු තැනක්‌. ගැමියො මෙතනට උන්වහන්සේට දාන මාන හේමත් ගෙනත් දීලා තියෙනවා." කෝණාර මහතා විස්‌තර කළේය. මේ කඳුයාය මැද තමයි තිබුනෙ වල්පොලමුල්ල කියන පැරැණි ගම. ඒක 2011 අවුරුද්දෙ ඇවිරුණා (මිනිසුන් ගම අතැර ගියා) වල්පොලමුල්ලෙ හිටියා මාපාහාමි. එයත් නරේන්ද්‍රසිංහ රඡ්ජුරුවෝ එක්‌ක ඉන්න බැරිවයි ගම් වැදිලා හිටියෙ. ඒ මග ඔස්‌සේ තමයි වැලිවිට සංරණංකර හිමියොත් මේ පළාතට ඇවිත් තියෙන්නේ." හේ වැඩිදුරටත් කියා සිටියේය.

තෙල්ගමුඔය දිගේ පහළට පැමිණි කල වැද්දාපැණි ඇල්ල නම්වු අතිශය සුන්දර දිය ඇල්ලක්‌ හමුවෙයි. ඒ අසලම ඇති ගල්කුළු කීපයකින් යුත් ස්‌ථානය සංඝරාජ හිමියන් නිතර රැඳී සිටි භූමිභාගය බැව් අපට පෙන්වා දුන්නේද කෝණාර මහතාමය.

එතැන් සිට මෑතක වැඩි දියුණු කළ කුඩා මංපෙත ඔස්‌සේ රළු නැග්මකින් අනතුරුව රත්නිංද ගමට ළඟාවිය හැකිය. එහි වූ පටු පාරවල් ද දැන් දැන් සිමෙන්ති කැටවලින් සැකසී තිබේ. ඒ ඔස්‌සේ මද දුරක්‌ ගිය තැන ඉපැරැණි ගම්මැද්ද හමුවෙයි. කෝණාර මහතාගේ කැඳවීමෙන් ඒ අවට ගම්වැසි ඥතීන් කීපදෙනෙකුම මුණගැසීමට අපට හැකිවිය.

"මෙන්න මෙතැන තමයි පංසලේ ගෙදර තිබුණෙ. සරණංකර හාමුදුරුවො ලග්ගලට ඇවිත් මුල්කාලෙ කැලෑවෙ ගල්ලෙන්වලයි වාසය කරල තියෙන්නෙ. මේ පැත්ත වැස්‌ස, සුළඟ, සතා සරුපයා වගේම ඇඟ හීගඩු පිපෙන සීතලෙන් මාස කීපයක්‌ම පවතිනවා. ඉතිං මේ ගෙදර හිටිය මාම කෙනෙක්‌ තමයි කැලේ හිටපු හාමුදුරුවෝ මෙහෙ එක්‌කරගෙන ඇවිල්ලා ආවතේව කරලා තියෙන්නේ. දැනුත් මේක පංසලේ ගෙදර ඒ වාසගම තියෙන අයත් බොහොමයක්‌ ඉන්නවා. මේවා අපේ අප්පච්චිලා ආතලා ඒකාලෙ අපිට කියා දීලා තියෙනවා" ඔව්හු මහත් සතුටින් සිහි පත්කරමින් අපි මුලින් සොයා ගත් කරුණු තහවුරු කළහ. රත්නිංදේ ඩබ්. ඒකනායක, පී. පී. කළුබණ්‌ඩා, ඩබ්. ජී. දිසානායක යන ඔව්හු අපට මහා ලෙංගතු කමකින් කරුණු කියා පෑහ.

අනතුරුව මාහිමි සහ ඒ සමඟ පැමිණි සාමනේර හිමිවරුන් වරින් වර වැඩ සිටි ගල්ලෙන් කීපයක්‌ නැරඹීම අපගේ අපේක්‍ෂාව විය. ඒ ගමනට වල්පොලමුල්ලේ පදිංචිකරුවකු ද වර්තමානයේ ගුරුභවතකුද වන වල්පොළමුල්ලේ දසනායක මහතාද එක්‌විය. එයද දුෂ්කර ගිරිදුර්ග තරණයකි.

පිටවලත්, රත්නිංද ගම්මානයත් හමුවන මායිමේ වූ රුදුරු බෑවුමකට යාබදව තිබූ ගල්ලෙන් සියල්ල දැක ගැනීමට අපට හැකිවිය. "ආදිම කාලෙ මේ පළාතේ ආදී වාසීන් වාසය කරලා තියෙනවා. මේ ගල්ලෙන් සියල්ල ඒ අය මුලින් හොයාගන්න ඇති. වැද්දාපැණි ඇල්ල කියන්නෙත් වැදි තරුණයකු මීපැණි කදක්‌ අරගෙන එනවිට දිය ඇල්ලට වැටිලා මැරුණු නිසාලු. ඇටන්වල කියන්නෙත් වැද්දන් කාපු සතුන්ගේ ඇටකටු තිබුණු නිසාලු. දසනායක මහතා ඒ පළාත ගැන තවත් තොරතුරු අපට කියා දුන්නේය.

සරණංකර හිමිගේ ශාස්‌ත්‍රීය හා ආගමික සේවාවන් වැඩිදියුණු වන්නේත්, උපසම්පදාව මෙරටට ලැබෙන්නේත් සංඝරාජ පදවිය මෙන්ම රාජගුරු පදවිය හිමිවන්නේත් ලග්ගල අවධියෙන් පසුවය. ඊට මග පෑදුණු කථාපුවතද අපුරු එකකි.

ඉන්දියාවෙන් පැමිණි ආඬිගුරෙකු සරල සංස්‌කෘත ශ්ලෝකයක්‌ නරේන්ද්‍රසිංහ රජුට ඉදිරිපත්කොට මෙය තෝරාදීමට සමතෙක්‌ වේනම් ඉදිරිපත් කරන්නැයි අභියෝග කර ඇත. රජු ඒ සඳහා සුදුසු උගතකු සොයා මහත් වෙහෙස වී තිබේ. එහෙත් අවසානයේ එතරම් දෙයක්‌ හෝ දන්නා අයෙකු නොමැති බව දැන කණස්‌සල්ලෙන් සිට ඇත. එම ශ්ලෝකය විස්‌තර කළ හැකි එකම තැනැත්තා සරණංකර හිමියන් බව තොරතුරු රජුට සැලවී තිබේ. රජුගේ ඇරයුමෙන් මගුල් මඩුවට පැමිණි සරණංකර සාමනේර හිමි එය විස¹ දී ඇත. ඉන් අසීමිතව පැහැදුණු රජතුමා සරණංකර හිමිගේ සේවය අගයා ශාස්‌ත්‍රීය හා ශාසනික සේවය සඳහා නොමඳ සහාය දක්‌වා ඇත. අනතුරුව රජ පැමිණි විජය රාජසිංහ රජු මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්aගේද ආශිර්වාදයෙන් මෙරට නැවත භික්‍ෂු ශාසනය නඟා සිටුවාලූ උන්වහන්සේ පොත්පත් රැසක්‌ රචනා කරමින් ද පොත්පත් සියගණනක්‌ රචනා කිරීමට සමකාලීන උගත් භික්‍ෂු සංඝයා වෙත හා ගිහි උගතුන්ට පවරමින්ද විසල් සේවයක්‌ සිදු කරන ලදහ.

ඒ සියල්ල සඳහා ලග්ගල ගත කළ කෙටි කාලය තුළ උන්වහන්සේ අත්පත්කරගත් චිත්ත ධෛර්යය, පාරිසරික විමුක්‌තිය මෙන්ම ලග්ගල ගැමියන් කෙරෙන් ලද අප්‍රමාණ ගෞරව භක්‌තියද ඇප උපස්‌ථානද ඉවහල් වූවාට සැක නැත.

ගහකොළ, ඇළදොළ, කඳුවැටි, ගල්ලෙන් හා නාම මාත්‍රික සිහිවටන හැර අන් කිසිදු සාධකයක්‌ ලග්ගල නැතත් ලග්ගල ඇත්තන්ගේ ජනශ්‍රැති ජනකවි, හා ජනමතක, අතර උන්වහන්සේ පිළිබඳ අප්‍රමාණ මතක සටහන් රැසක්‌ තැන්පත්ව ඇති බව ලග්ගල ගමනින් අපට හොඳටම පසක්‌ විය. සියම් දේශයෙන් පැවිදි උපසම්පදාව මෙරටට ගෙන ඒමේ මහා සද්කාර්ය ඇතුළු ශාසනික සේවාවන් ගැන පැහැදුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නස්‌ පත්‍රයකින් ශ්‍රී පාදස්‌ථානය පවා උන්වහන්සේට පූජාකළ බවද පොතපතෙහි සඳහන්ය.

වර්තමාන ලෝකයේ ථෙරවාදී බෞද්ධ රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ලබා ඇති කීර්තිනාමය පිටුපස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දායකත්වය අපරිමිත භක්‌ත්‍යාදරයෙන් සඳහන් වනු නිසැකය. උන්වහන්සේගේ චරිතය හා සැබැඳි බොහෝ තොරතුරු සුරියගොඩ පංසලේ මෙන්ම පොත්පත් රැසකද සනිටුහන් වී තිබේ. ඒ අතර සඳහන් වන ගල්ගල ගත කළ සමය පිළිබඳ තොරතුරු සොයා යැම සියම් රටෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා වසර 260 ක්‌ ගත වන මේ මොහොතේ උන්වහන්සේ වෙනුවෙන් කළ පූජෝපහාරයක්‌ බඳුය.

නිමල් කණහැරආරච්චි
2013 පෙබරවාරි 10 ඉරිදා දිවයින