උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ලංකාදීප ආලෝකයෙන් එළියවෙන තන්තිරිමලේ පුද බිම

තන්තිරිමලේ පුද බිමේ සුන්දරත්වය අපූරුවට පෙනෙන්නේ ලස්සනට හඳ පායන දවස්වල රැටයි. අක්කර දෙසීයකට වඩා භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරී තිබෙන විවිධ හැඩයන්ගෙන් යුත් මහ ගල්තලාව මතට නැඟ අවට පරිසරය දිහා දෑස් යොමද්දී තමයි ඇත්තටම තන්තිරිමලේ පුදබිම කොයිතරම් සුන්දරයි ද කියලා හිතෙන්නෙ.
තන්තිරිමලේ චන්දරතන නාහිමි
මහ වනාන්තරය තමයි, හැම පැත්තෙන්ම ඈතින් කළුවට දිස්වෙන්නෙ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තමයි බටහිර පැත්තෙ ඉඳන් වයඹ පැත්තට පෙනෙන්නෙ. වන සතුන් බොහෝ ගැවසුණත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය ?ට හරිම නිසංසලයි. ඒ නිසංසලකම යම් තරමකට හෝ බිඳෙන්නෙ රැහැයියෙක් හරි කිරළෙක් හරි කෑගහද්දී තමයි.
මේ පොසොන් පොහොය සමයේ සඳ එළියෙන් නැහැවුණු තන්තිරිමලේ පුද බිම ”ලංකාදීප” පොසොන් ආලෝක පූජාවෙන් ඒකාලෝක වුණාම ඒ ලස්සන දෙගුණ තෙගුණ වී විචිත‍්‍රවත්ව මැවෙන්නෙ හරිම සුන්දර දර්ශනයක්. ඒ දසුනින් සිත් පහන්වූ සැදැහැවතුන් සාධු නාද පවත්වද්දී ඒ හඬ තන්තිරිමලේ මහ ගල්තලාවේ හැපී දෝංකාර දෙද්දී සවනට දැනෙන මිහිර වචනයෙන් කියන්න බැරි තරම්.
මේ පින් බිමට ඓතිහාසික අතින් හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. මහා වංශයේ සඳහන් වෙන අන්දමට දෙවැනි පෑතිස් මහ නිරිඳුන් අනුරාධපුරයේ සිට රජකළ සමයේ සඟමිත් මහ තෙරණිය දඹදිව සිට සිරිමා බෝ සමිඳුන් ලක්බිමට වැඩම වූ කථා පුවතේ තන්තිරිමලේ ගැන සඳහන් වෙන්නෙ සුවිශේෂී ලෙසයි.
දඹදිව සිට සිරිමා බෝ සමිඳුන් වැඩමවාගෙන සහපිරිවර සමග නැවෙන් පැමිණ දඹකොළ පටුනෙන් ලක් බිමට ගොඩ බට සඟමිත් මහතෙරණිය ඉමහත් ගෞරවයෙන් පිළිගත් දෙවැනි පෑතිස් මහ නිරිඳුන්, ඒ පිරිස අනුරාධපුරය බලා පෙරහරෙන් කැඳවාගෙන පැමිණෙද්දී තන්තිරිමලේ මහ ගල්තලාව මත රැුයක් පහන් කළ බවයි මහා වංශයේ සඳහන් වෙන්නෙ.

එදා තන්තිරිමලේ ප‍්‍රදේශය හැඳින්වුනේ තිවක්ක බමුණු ගම ලෙසයි. ඒ එවකට එම ප‍්‍රදේශය ”තිවක්ක” නම් බමුණකු විසින් පාලනය කළ නිසයි. ප‍්‍රාදේශීය පාලකයකු වූ මේ තිවක්ක බමුණා, දෙවැනි පෑතිස් මහ නිරිඳුන්ගේ ඉතා සමීපතමයකු ලෙසයි ජනප‍්‍රවාදයේ සඳහන් වන්නෙ.
ඒ නිසයි, සිරිමා බෝ සමිඳුන් වැඩමවාගෙන පැමිණි සඟමිත් මහ තෙරණිය ඇතුළු පිරිසට අනුරාධපුරය බලා පැමිණෙන ගමනේදී රැයක් පහන් වනතුරු ආරක්ෂාවත් නවාතැන් පහසුකම් සැලසීමටත් එදා තිවක්ක බමුණාගේ පාලනය යටතේ පැවැති ස්වභා සුන්දරත්වයෙන් අතිරමණීය වූ මේ පින්බිම දෙවැනි පෑතිස් මහ නිරිඳුන් තෝරාගන්නට ඇත්තෙ.
සිරිමා බෝ සමිඳුන් අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමළුවේ රෝපණය කෙරුණු රාජ්‍ය උත්සවයේදීත් තිවක්ක බමුණු තෙමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ප‍්‍රභූවරයෙක්. මහාවංශයේ සඳහන් පරිදි ඒ බව සනාථ වෙන කරුණක් තමයි, දෙවැනි පෑතිස් මහ නිරිඳුන් සිරිමා බෝධීන් වහන්සේ උඩමළුවේ රෝපණය කළ අවස්ථාවේ බෝධීන් වහන්සේගෙන් පැනනැගුණු අංකුර අටෙන් එක් බෝ අංකුරයක් තිවක්ක බමුණු ගමේ රෝපණය කිරීම සඳහා බමුණු තෙමේට භාරදීම.


අදටත් තන්තිරිමලේ මහ ගල් තලාව මත වැඩවසන බෝධීන් වහන්සේ එදා තිවක්ක බමුණා විසින් මහමෙව්නාවෙන් රැුගෙනවිත් රෝපණය කළ සිරිමා බෝධීන් වහන්සේගෙන් පැන නැඟුණු බෝ අංකුර අටෙන් එකක් බවයි ජනප‍්‍රවාදයේ සඳහන් වෙන්නෙ. සැදැහැවතුන් අෂ්ඨඵල බෝධීන් වහන්සේ ලෙස එම බෝධිය හඳුන්වන්නෙ ඒ නිසයි.
පුරා විද්‍යාත්මක අතිනුත් තන්තිරිමලේට හිමිවන්නෙ සුවිශේෂී ස්ථානයක්. ස්වභාවිකව පිහිටි කළුගලේ නෙළා තිබෙන සමාධි පිළිමයට වගේම සැතපෙන පිළිමයටත් තන්තිරිමලේට පැමිණෙන කාගේත් අවධානය යොමුවෙන්නෙ එම පිළිමවල සුවිශේෂත්වය නිසයි.
තන්තිරිමලේ නැගෙනහිර දෙසින් ඇති ගල්තලාවට පහළින් තිබෙන ජලය පිරුණු පොකුණ නෙළුම් මල් වලින් පිරිලා තිබෙන නිසා හරිම අලංකාරයි. මේ පුදබිමේ අලංකාරය තව තවත් වැඩි කෙරෙන ස්වභාවික නිර්මාණයක් තමයි මේ පොකුණ.
පොකුණට ඉහළින් ඇති ගල මත ගලින්ම ඉදිකරන ලද කුඩා ගොඩනැගිල්ල හඳුන්වන්නෙ පොත් ගුල ලෙසයි. මෙම පොකුණ ළඟ අතීතයේදී භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩවසන්නට ඇති බව විශ්වාස කළ හැකි සාධකයක් තමයි, ඒ අසල ගල් තලාවේ නටබුන් වී තිබෙන පටානඝරය. පුරාවිද්‍යාඥයිනුත් මේ අදහසම දරනවා.
තන්තිරිමලේ පුද බිම අවට ප‍්‍රදේශ වලිනුත් මේ වන විට ආගමික අතින් වැදගත් නටබුන් බොහෝමයක් හමුවී තිබෙනවා. බුද්ධ ප‍්‍රතිමා, ගල්කණු, සෙල්ලිපි, ගරාවැටුණු දාගැබ් ඒ අතරින් ප‍්‍රධානයි. මේවා බොහෝමයක් නිදන් හොරුන් විසින් විනාශකර තිබීම ඉතා ඛේදජනකයි.
තන්තිරිමලේ ලෙන් කීපයක අදටත් දක්නට ඉතිරිවී තිබෙන විවිධ හැඩයන්ගෙන් යුත් චිත‍්‍ර සටහන් ගල් යුගයේ ජීවත්වූවන්ගේ බවටයි විශ්වාස කරන්නෙ. ඒ අනුව තන්තිරිමලේ ගල් යුගයේ සිට මිනිස් වාසයක්ව පැවැති බව තහවුරු වෙන බවයි පුරාවිද්‍යාඥයින්ගේ මතය. කොහොමටත් තවමත් මෙම ලෙන් චිත‍්‍ර ගැන ගැඹුරින් පර්යේෂණයක් කර නොමැති බවයි පැවසෙන්නෙ.
අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු පසු බොහෝ කලක් වන ගතව පැවැති ඓතිහාසික තන්තිරිමලේ පුද බිම හා ඒ අවට ප‍්‍රදේශය අද පවතින තත්ත්වයට දියුණු කිරීමට තන්තිරිමලේ රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කුඩා කෝන්ගස්කඩ විමලඤාණ නායක හාමුදුරුවෝ තමයි මූලික වුණේ. අනපේක්ෂිත මොහොතක සිදුවූ උන්වහන්සේගේ අපත්වීමත් තිස් වසරකට ආසන්න කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ තර්ජනත් නිසා තන්තිරිමලේ දියුණුවට යම් යම් බලපෑම් ඇති වුණත් රජයේ සහ ආරක්ෂක අංශවල සහයෝගය මත සුන්දර පරිසරයක් රැුකගෙන දවසින් දවස දියුණුව කරා ගමන් කිරීමට වත්මන් විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන් දරන්නෙ අප‍්‍රතිහත ධෛර්යයක්.
තන්තිරිමලේ පුද බිමත්, ප‍්‍රදේශයත් අද වන විට ලබා තිබෙන්නෙ විශාල දියුණුවක්. චන්දරතන නාහිමියන් පවසන්නේ ඒ දියුණුව උදාවන්නට ප‍්‍රධාන වශයෙන්ම මීට දසවසරකට පෙර විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්මාණන්ගේ මඟ පෙන්වීම යටතේ එම පුවත්පත් සමාගම ආරම්භ කළ ”ලංකාදීප තන්තිරිමලේ පොසොන් අලෝක පූජාව” බලපෑ බවයි.


තන්තිරිමලේ පුදබිම ගැන ලක්වාසී බොදු බැතිමතුන්ගේ පමණක් නොව ලෝකවාසී බොදු බැතිමතුන්ගේත් අවධානය යොමුවූයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව තුළින් ලැබුණු ප‍්‍රචාරය නිසා බවයි උන්වහන්සේ පවසන්නෙ. රාජ්‍ය අනුග‍්‍රහය මේ තරමින් ලැබෙන්නටත් ආලෝක පූජාව බෙහෙවින් බලපෑ බව උන්වහන්සේ සිහිපත් කරන්නේ කෘතවේදීත්වය පළකරමිනුයි. නොකඩවා දසවසරක් තිස්සේ පවත්වන ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් බැබළුනු තන්තිරිමලේ පුදබිම තවත් චිරාත් කාලයක් එලෙසින්ම බැබලෙනු ඇතැයි යන්න තන්තිරිමලේ නාහිමියන්ගේ අපේක්ෂාවයි.
පොසොන් සමයේදී ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් විචිත‍්‍රවත්ව සදහම් සිසිලෙන් නැහැවෙන තන්තිරිමලේ පින් බිම පොසොන් සමයේදී මෙන්ම වසර පුරාම සැදැහැවතුන් වන්දනා කිරීමට පැමිණෙන්නෙ තම ජීවිත කාලය තුළ වරක් හෝ දැකගත යුතු පුදබිමක් ලෙස ඔවුන් සලකන නිසයි. ඒ වගේම වරක් පැමිණි කෙනෙක් නැවත වරක් තන්තිරිමලේට පැමිණෙන්න, මේ ඓතිහාසික පුදබිමේ ස්වභාවික සුන්දරත්වය ද හේතුවන බව නොඅනුමානය.
  

සටහන හා සේයාරූ අතුල බණ්ඩාර

2013 ජූනි මස 23 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කටුවයි මිටියයි කළුගලට පණ දෙයි

අනුරාධපුර, පොළොන්නරුව යුගයෙන් පසුව ශී‍්‍ර ලංකාවේ වන්දනාවට ලක්වෙන දැවැන්තම බුදුරුව රම්බඩගල්ල මොණරාගල විහාරයේ නිර්මාණය වෙමින් පවතී.


මහමෙවුනාවේ සමාධි බුදු පිළිමය, තොලූවිල බුදුපිළිමය හා ගල්විහාරයේ සමාධි පිළිමය ට පසුව අවුරුදු අටසිය ගණනකට පසු ඉදිවන රම්බඩගල්ල සමාධි පිළිමය දැවැන්ත කළුගලක් තුළින් මතුවන අයුරු දකින්කට ඹබේ දෙනෙත් පිංකර ඇත.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රම්බඩගල්ල ග‍්‍රාමයේ පිහිටි විහාරය මොණරාගල නම් නම ලදුයේ මෙහි ඇති කළුගල් ශිඛරය මත මොණරුන් ඉගිලවිත් වසා සිටිනා බැවිනි.  හාත්පස දිස්වෙන නීලවර්ණයෙන් යුත් කදු වළල්ලත් වනලැහැබත් දකින්නන්ගේ ගත සිත සමාධියට පත්කරනු නිසැකය.
 මේ මනස්කාන්ත වටපිටවෙන් පිය මැන ගල්තලාව මතට ගිය විට සිදුවනදේ දැකීමෙන් ඔබ සැබැවින්ම මවිතයට පත්කරණු නිසැකය.  කටුව, මිටිය හා ග‍්‍රයින්ඩරයෙන් මතුවන මහා කටෝර ශබ්දයත් ඒ තුළින් නැගඑන දුහුවිල්ලත් දැඩි අව් රශ්මියත් ඔබ මොහොතකුදු පීඩාවට පත් නොකරනු ඇත.  මන්ද යත් මහා කාරුණිකයානන් වහන්සේගේ නොසැලෙන, සෘජු ශී‍්‍ර බුද්ධකාය ගල්කුළින් තුළින් මතුව ඇති හෙයිනි. 
2001 වසරේදී ඇප්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ බුදුපිළිම විනාශය දුටු අපගේ දෙනෙතින් කදුළු වැගිරිණි.  එම පාපතරයින්ගේ කි‍්‍රයාවෙන් තැතිගත් ළමා පිරිසකගේ සිත් තුළ හටගත් පියුම අද මහා ගල් කුළ මත විකසිත වී ඇත.
උස අඩි 67.5 කින් යුත් ආසියාවේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ නෙලීමේ මහා සද්කාර්ය සොයා බලා නිරතුරු අනුශාසනා කරන්නේ විහාරාධිපති ශාස්ත‍්‍රපති  එගොඩමුල්ලේ අමරමෝලි ස්ථිවිරයන් වහන්සේය. 
ප‍්‍රධාන ශිල්පියා දකුණු ඉන්දියානු ශිල්පී පද්ම ශ‍්‍රී, ශිල්ප කලාමණී ඇම්.ඇම්.ස්ථපතිතුමාය.
ප‍්‍රදේශ වාසීන් මෙන්ම සතර දෙසින් පැමිණෙන්නවුන් මෙපින්බිම තුළ තම ශ‍්‍රමය, දහඩිය, කදුල හෙලන්නේ අද දින තම යුතුකම මෙන්ම වගකීම ඉටුකිරීමටය.
2013 ජූනි මස 04 ලංකාදීප | ජානක ගලප්පත්ති