උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ලොව පරසිදු බුදු පිළිම, හය වැනි තැන ගල් විහාරෙට

බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල විවිධ ආකාරයේ බුදු පිළිම දක්නට ලැබෙයි. මේ අතර ලෝකයේ ම ප්‍රචලිතව ඇති බුදු පිළිම රාශියකි. එහි වඩාත් ප්‍රසිද්ධියට පත් බුදු පිළිම දහය අතරින් හයවැනි ස්ථානය පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිමයට හිමි වී ඇත.
1. ලේශන් බුද්ධ ප්‍රථිමාව
මෙම බුද්ධ ප්‍රථිමාව දැවැන්ත කන්දකින්  නිමවා ඇති අතර එය පිහිටා ඇත්තේ බටහිර චීනයේ සීචුන් ප්‍රදේශයේ ය. ක්‍රි.ව. 713 ඉදිකිරීම් ආරම්භ කැරිණි.  ක්‍රි.ව. 803 වන විටත් වැඩ නිම කිරීමට නොහැකි විය. ශෛලමය මූර්ති ශිල්පීන් දහසකට අධික පිරිසක් එය නෙළිමට එක් වුහ. අඩි 233ක් උසැති පිළිමයේ ඇඟිල්ලක දිග අඩි 11ක් පමණ වේ. චීනයේ ප්‍රසිද්ධ ම ස්ථානයක් වන අතර ලොව ප්‍රචලිත ම බුද්ධ ප්‍රථිමාවයි.

2. හරිතවත් බුදු පිළිමය
බැංකොක් හි වත් ප්‍රා කේව් විහාරස්ථානයේ මෙම හරිත වර්ණ පිළමය තැන්පත් කැර ඇත. ලොව පුරා ප්‍රචලිත සහ පැරණි ම බුදු පිළිම අතරින් එකකි. හරිත වර්ණ පාෂාණයකින් නිමවා ඇති අතර රත්‍රන් භාවිතා කරමින් අලංකාර කර ඇත. පුරාවෘත්ත  අනුව මෙය ඉන්දියාවේ පාඨලීපුත්‍ර ප්‍රදේශයේ දී නිමවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 43දී ය. හරිත වර්ණ බුද්ධ ප්‍රථිමාව තායිලන්තට වැඩම කරන්නේ 1779 වසරේදී ය.

3. කමාකුරාහි ප්‍රතිමාව
කොටෝකු ඉන් යනු ජපානයේ කමාකුරා නගරයේ පිහිටා ඇති තවත් එක් බෞද්ධ සිද්ධස්ථානයකි. එය වඩාත් ප්‍රචලිත වූයේ එහි ඇති විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. ලෝකඩ වලින් වාත්තු කැර  ඇති මෙය අඩි 40කට වඩා උසකින් හා ටොන් 93ක පමණ බරකින් යුක්තය.
1252 වසරේදී මෙම පිළිම වහන්සේ නිර්මා‍ණය කැර ඇත්තේ ජෝකෝ නම් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ අනුශාසනාව මත බව වාර්තා වේ. පහලොස්වැනි සියවසේ දී ඇති වූ සුනාමියකට හසු වීමෙන් පසු යළි ප්‍රතිසංස්කරණය කැර ඇත.

4. සැතපෙන පිළිම විහාරය
බැංකොක් පිහිටා ඇත. විශාල ප්‍රමාණයේ ගෘහස්ථ සැතපෙන බුදු පිළිමයකින් සමන්විත වේ. වසර 200ට වඩා පැරණිය. පිළිමය අඩි 150 දිගින් යුක්ත වන අතර උසින් අඩි 50ක් පමණ වේ. මෙම ප්‍රතිමාවේ පාද සහ ඇස් මුතු වලින් සරසා ඇත.

5. උෂිකු ඩයිබුට්සු
ජපානයේ උෂිකු හි පිහිටා ඇත. 1995 වසරේදී වැඩ අවසන් කරන අතර උසින් වැඩිම ශරීරය සහිත පිළිමයයි. අඩි 394ක් උසැතිය. අඩි 30ක් පළල හා අඩි 30ක් උසැති නෙළුම් මලක් වැනි පාදමක් ඇත‍. ලෝකඩ තහඩු යොදා නිමවා ඇත.

6.  ගල් විහාරය
ශ්‍රී ලංකාවේ පොළොන්නරුවේ පිහිටා ඇති ගල් විහාරය 12වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදී. ඉරි සහිත කළු ගලකින් නෙලන ලද විශාල ප්‍රමාණයේ බුදු පිළිම හතරක් දක්නට ලැබේ. ගලේ පිහිටි ස්වභාවික ඉරි සහ මුහුණුවල ඇති උපශාන්ත බව මේ පිළිම දකින්නන්ගේ නෙත් වශී කරවන්නට සමත්වෙයි.

7. අයූත්‍යා බුද්ධ ශීර්ෂය
තායිලන්තයේ ඉපැරණි නටඹුන් වූ ආරමයක ඇති මෙම ප්‍රතිමාවේ ශරීර කොටස මෙතෙක් සොයාගෙන නැත. මෙහි ඉතිරිව ඇති හිස කොටස වසාගෙන පැතිරෙන ගසක මූල පද්ධතිය හෙතුවෙන් මෙම පිළිම වහන්සේ ලොව ප්‍රචලිතය.

8. මොන්යවා බුදු පිළිම
මියන්මාරයේ චින්ඩ්වින් ගංගාවේ එක් ඉවුරක ඇති කඳු ගැටයක මුදුනේ මෙම බුදු පිළිම දෙක නිර්මාණය කැර තිබේ. එකක් සැතපෙන පිළිමයකි.  එය ලොව විශාලම සැතපෙන පිළිමයකි. දිගින් අඩි 300කි. හිස පමණක් අඩි 60ක් උසය. අනෙක හිටි පිළිමයකි.  උස අඩි 433කි. මේ පිළිම ඉදිකැර ඇත්තේ 1991 වර්ෂයේ දී ය.

9. ටියාන් ටෑන් බුද්ධ ප්‍රථිමාව
හොංකොංහි ඇති ලැන්ටු දූපතේ එක පිට එක නිර්මාණය කැර ඇති නෙළුම් මල් තුනක් මත මෙම විශාල ප්‍රථිමාව තැන්පත් කැර ඇත.  සම්පූර්ණයෙන්ම ලෝකඩ වලින් නිමවා ඇති පිළිමය නිමවා අවසන් වූයේ 1993 වසරේදී ය.  අඩි 110ක උසකින් යුක්තය.

10. හුසේයින් සාගර් බුද්ධ ප්‍රථිමාව
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර කෘත්‍රීම වැවක් මධ්‍යයේ මෙම විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත. තනි කළු ගලින් නිර්මාණය කැර ඇති මෙම ප්‍රථිමාව උසින් අඩි 56කි. බර ටොන් 320කි. 1992 වසරේදී පිළිමයේ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවෝ අටදෙනෙක් මිය ගියහ.
 2013 දෙසැම්බර් මස 31 | වේරගොඩගේ සජිව විජේවීර

බොදු සිතුවමින් කලාගාරයක් මැවූ ගල්බඩ සුනන්දාරාම පුරාණ විහාරය


පන්සලක් ගැන ලියන්නට ගිය අපට කලාගාරයක අසිරිය ලියන්නට සිදු විය. ගල්බඩ පන්සල පුරා මම ඇවිද ගියෙමි. විහාර මන්දිරය වටේ දෙතුන් වරක් ඇවිද්දෙමි. විහාර මන්දිරයේ දුටු දේ අදහා ගත නොහැකි තරමට සිත්කළුය. චිත්තාකර්ෂණීයය. රට පුරා පන්සල්වල ඇවිද ඇති මට මෙතරම් සුවිශේෂී විහාර මන්දිරයක් හමු වූවා මතක නැත. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගල්බඩ පන්සලේ විහාර මන්දිරය අද්විතීයය. සිතුවම් හා මූර්ති නිර්මාණ අතින් ද අද්විතීයය. ඒ විශිෂ්ඨත්වය අරුම පුදුමය. රට පුරා ඇවිද්දත් සොයා ගත නොහැකි අපූරු සිතුවම් බොහොමයක් මෙහි දැකිය හැකිය. විහාරයක් හැටියට ‘සුනන්දාරාමය’ වුවත් 

මේ පින් බිම රටම දැනගත යුත්තේ ‘හෙළ කලාගාරය’ හැටියටය. මේ සත්‍ය අසත්‍යතාව ඔබ ගොසින්ම නැරඹිය යුතුය. ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.
ගල්බඩ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍ය රන්සෑගොඩ කීර්ති ශ්‍රී තේජෝවර ධර්මදර්ශී හිමියන් ගල්බඩ විහාරය ආරම්භ කර තිබේ. නායිමන සුනන්ද හිමියන් 1862 විහාරාධිපතිත්වයට පත් වීමෙන් පසු විහාරය ‘සිරි සුනන්දාරාමය’ ලෙස නම් විය. උන්වහන්සේගෙන් පසු අපරැක්කේ සුමංගල හිමියන් ද, පසුව ශිෂ්‍ය වර පරවාහැර දේවානන්ද නාහිමියෝ ද විහාරාධිපතිත්වයට පත් වූහ.
සුනන්දාරාමය කලාගාරයක් කළේ උන්වහන්සේය. උන්වහන්සේගේ කලාත්මිකතාව යුග ගණනාවකට ඉතිරි කළ බව අපට හැෙඟ්. කැලණිය, දඹුල්ල, රිදී විහාරය ආදී විහාර සිතුවම් ලාංකීය සිතුවම් කලාවේ මුදුන් මල්කඩ වන් තැන් වෙයි. නමුත් ගල්බඩ සුනන්දාරාමයට පැමිණ බැලූවොත් එය ඊට දෙවැනි නොවේ.
ගල්බඩ සුනන්දාරාම විහාරාධිපති අපරැුක්කේ ධම්මානන්ද නායක හාමුදුරුවන් මම හමු වීමි.
‘කැලේට පායපු හඳක් වගේ නේද?’ ඒ වචන කීපය තුළ අර්ථය බොහෝ ගැඹුරු විය. වටිනාකම, සුන්දරත්වය දකින්නට, බලන්නට ඉන්නේ ගමේ උදවිය පමණකි. නියම වටිනාකම රටට ගොස් නැත.
විහාරය බොදු කලාගාරයක සිරි ගත්තේ කෙසේ ද යන්න මම පළමුව විමසීමි.
‘පරවාහැර දේවානන්ද නායක හාමුදුරුවො 1946 අවුරුද්දෙදි විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කළා. ඊට පෙර කුඩා විහාර මන්දිරය තිබුණා. එය නුවර යුගයට අයිතියි. තවමත් නුවර යුගයේ චිත‍්‍ර, සමාධි බුද්ධ ප‍්‍රතිමාව උසස් අයුරින් ආරක්‍ෂා වෙලා තියෙනවා. එම විහාර මන්දිරයත් ඇතුළත් කොට අලූත් විහාර මන්දිරයේ සැලසුම ඇන්දා නායක හැමුදුරුවන්ගේ අනුශාසනා මත වැලිගම සමාරිස් සිල්වා කියලා කෙනෙක්. ඒ අනුව තමයි මේ දර්ශනීය විහාර මන්දිරය ඉදි වුණේ. ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම පැතිකඩක් තමයි මේ. මෙවැනි විහාර මන්දිරයක් මා තවම දැකලා නෑ. වැලිතර පන්සලේ විහාර මන්දිරය මීට සමානකමක් තියෙනවා. හේතුව එකම ගෘහ නිර්මාණ ශිල්පියා වීම නිසා. ඇතුළෙ මාලයේ සිතුවම් ඇන්දෙ නුවරින් බාස් කෙනෙක් ඇවිත්. නව විහාර මන්දිරයේ බුද්ධ ප‍්‍රතිමාව සහ ආසනය, පසුබිම හරිම විශේෂයි. රන්සිවිගෙය, දම්සභා මණ්ඩපයේ වැඩ සිටින විදිහට තමයි ගොඩ නගලා තියෙන්නෙ. හරිම සියුම් චිත‍්‍ර කලාවකින් හැඩ වැඩ දමලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ ඥාති පිරිසක් ගල්බඩ හිටියා. එයා ඉඳහිට මෙහෙ යනවා එනවා. දවසක් පන්සලට ඇවිත් අලූත් විහාර මන්දිරය පුරා ඇවිද්දා. එයා මෙතැන විශේෂත්වය දැක්කා. ඊට පස්සෙ දේවානන්ද නායක හාමුදුරුවො මුණ ගැහුණා.

”හාමුදුරුවනේ මේ විහාර මන්දිරයේ එක එක්කෙනා ලවා චිත‍්‍ර අන්දන්න එපා. මෙතන අඳින්න සුදුසුම කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ගම්පොළ. ගිහින් කතා කරලා බලන්න. එයා ඇඳපු විහාරයකුත් තියෙනවා. එතනටත් ගිහින් බලන්න. ”ඒ අනුව ටික දවසකට පස්සෙ අප ගම්පොළ ගියා. අප මුලින්ම ගියේ චිත‍්‍ර ශිල්පියාගේ සිතුවම් තියෙන ගිරාඋල්ල පන්සලට. එදා රෑ දේවානන්ද නායක හාමුදුරුවොයි, මමයි ඒ පන්සලේ නැවතිලා ඉඳලා පසුවදා ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක චිත‍්‍ර ශිල්පියාගෙ ගෙදරට ගියා.

”ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවො එක්ක ආ නිසාත් දුර බැහැරක සිට හොයාගෙන ආ නිසාත් මානවසිංහ මහත්තයා මිත‍්‍රයෙක් නිසාත් බෑ කියන්නෙ කොහොම දැයි චිත‍්‍ර ශිල්පියා කිව්වා.

විහාරාධිපති හිමියන් ශිෂ්‍ය පිරිස සමඟ.

”ඒ අනුව 1957 අවුරුද්දෙදි චිත‍්‍ර කර්මාන්තය ආරම්භ කළා. චිත‍්‍ර ශිල්පියා ගම්පොළ ගොඩපොළ රාජකරුණා විජේසිංහ මහත්මා. විහාර ගෙයි සිතුවම් අඳින්න අවුරුදු පහක් ගත වුණා.”
ගල්බඩ සිරි සුනන්දාරාම විහාර මන්දිරයේ සිතුවම් අතර ලතා මණ්ඩප, මකර සෝපාන, ඇත් පෙරහර, දෙව් විමන්, බහිරව රූප, නාරිලතා, සිංහ, ගජ, හංස, මකර ආදී සත්ත්ව රූප, හංස පූට්ටු, භද්‍රගට, ගජසිංහ, නරසිංහ, නෙළුම් මල් ආදී පුෂ්පාලංකරණ, සප්ත නාරි පල්ලැක්කිය, නාරි රථය, ෂට්නාරි වළල්ල, චතුර්

අපරැක්කේ ධම්මානන්ද හිමි.
නාරි ස්වස්තිකය, මුගුරු පොරය, කඩු හරඹ, මල්ලව ලී කෙළිය, නාරි පූට්ටුව, ලිය වැල්, බෝඩර, මුතු වැල්, සෝමන්, නෙළුම් මල් මෝස්තර ආදී බොහෝ සිතුවම් වෙයි. ගල්බඩ ගමක් වශයෙන් ගත් කල ලංකාවේ පළමු ප‍්‍රාදේශීය ගම් උදාව ඇරඹුනේ මෙගමිනි. ඒ 1983 වර්ෂයේය. කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ක්‍දාණිස්සර නාහිමියන්ගේ අදහසකට අනුව අගමැති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගල්බොඩ ප‍්‍රාදේශීය ගම් උදාව ක‍්‍රියාවට නැංවීය.
ගල්බඩ `ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) උපන් ගම ගල්බඩය. උන්වහන්සේගේ පැවිදි වීම පිළිබඳව ද අපරැක්කේ ධම්මානන්ද නාහිමියෝ විස්තර කළහ.
පරවාහැර දේවානන්ද නායක හිමියන් සහ එදා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන් කල්‍යාණ මිත‍්‍රයෝ වූහ. ඒ නිසා ඉඳහිට වාචිස්සර නාහිමියෝ ගල්බඩ සුනන්දාරාමයට වැඩම කළහ. විහාර ගෙයි උළු සෙවිලි කරන උත්සවයට දෙවුන්දර වාචිස්සර හිමියන් වැඩම කළ අවස්ථාවේ ගංගාරාමයේ පැවිදි කිරීමට කොල්ලෙක් සොයා දෙන ලෙස දේවානන්ද නාහිමියන්ගෙන් ඉල්ලීය. ඒ අනුව නායක හිමියෝ දරුවෙක් සොයා බැලූහ. ගල්බොඩ `ක්‍දාණිස්සර නාහිමියන්ගේ මාපියන් පන්සලට ගෙන්වා කාරණය කිවූහ. ඒ අනුව මාපිය කැමැත්ත මත කුල කුමරුවා කොළඹට කැඳවාගෙන ආවේය. එදා මේ ගමනට වත්මන් සුනන්දාරාම විහාරාධිපති අපරැක්කේ ධම්මානන්ද හිමියෝ ද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පියා ද එක් වූහ.
ඉන් පසු කොළඹ ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ගල්බඩ `ක්‍දාණිස්සර නමින් පොඩි හාමුදුරුවෝ පැවිදි බිමට එළඹියහ.
උන්වහන්සේ ගල්බඩ සුනන්දාරාම විහාර දියුණුවට පුරෝගාමී වූ බව අපරැුක්කේ ධම්මානන්ද නාහිමියෝ අපට පැවසූහ. වතුර මෝටර් ලබා දීම, පරිගණක මධ්‍යස්ථානයක් ලබා දීම හා ටයිපින්, වෑල්ඩින්, ඩ‍්‍රයිවින්, විදුලි කාර්මික, ජුකී මැෂින්, මැහුම් ගෙතුම්වලින් සමන්විත අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කර දීම මෙහිලා කැපී පෙනේ.

පරවාහැර දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ගල්බඩ සිරි සුනන්දාරාම විහාරයේ පමණක් නොව තත් ග‍්‍රාම සංවර්ධනයේ ද නියමුවා වන්නේය.
උන්වහන්සේගේ දැක්ම, කලාත්මක හැකියාව ගල්බඩ සුනන්දාරාම විහාරයේ සිට ගම පුරා පැතිර ගියේය.
ලාංකීය බොදු සිතුවම් කලාවට විශිෂ්ඨ සන්ධිස්ථානයක් වන ගල්බඩ සුනන්දාරාම විහාරය චිත‍්‍ර කලාව, මූර්ති ශිල්පය හදාරන සෑම කෙනකුම පැමිණ දැක බලා ගත යුතු තැනක් හැටියට අපි විශ්වාස කරමු.

 2013 දෙසැම්බර් මස 29 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කතරගම දෙවියන් තවුතිසා දිව්‍ය ලෝකයේ ජීවත් වෙනවා

– කතරගම ප‍්‍රධාන කපු මහතා

එක්තරා ජ්‍යෙතීර්වේදියෙක් සිදුකළ ප‍්‍රකාශයක් නිසා පසුගිය දිනවල කතරගම දෙවියන් ජීවමානව දැකගත හැකි යන පුවත මාධ්‍යන් තුළ පළ වුණි.ඒ සමගම බොහෝ ජනයා කතරගම දෙවියන් ජීවමානව දැකබලා ගැනීම සදහා කතරගමට පැමිණුන අතර,ඒ හේතුවෙන් කතරගම පුරවරය දැඩි නොසන්සුන් බවක් උසුලනු ලැබීය.
ඒ පිළිබදව අපි කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු.
දෙවියන් ජීවමානව මිනිසුන්ට දකින්න පුළුවන්ද?
දෙවියන් ජීවමානව ලෙහෙසි පහසු කෙනෙකුට දකින්න අමාරුයි.ඒකට හේතුව දෙවියන් කියන්නේ මනුස්සයින්ට වඩා උසස් තත්ත්වයකින් ජීවත්වන අය වීමයි.දෙවියන් ජීවත් වෙන්නේ තවුතිසා දිව්‍ය ලෝකයේ.කතරගම දෙවියන් වුවත් වැඩ වාසය කරන්නේ එම දිව්‍ය ලෝකයේ.අපි කරන පුද පූජා වලට දිවැස් බලනඑක තමයි දෙවියන් සිදුකරන්නේ.අපි පිරිසිදුව වතාවත් වතාවත් කරනකොට උන්වහන්සේලා කරන්නේ දිවැස් බලන එක.දිවැස් බලනකොට අපිට අමුතු ආලෝකයක් තමයි බලාගන්න තියෙන්නේ.සමහරු දෘශ්‍යමාන වෙනවා හා ජීවමාන වෙනවා කියන්නේ එකක් කියලයි හිතන්නේ.දෘශ්‍යමාන වෙනවා කියන්නේ ජීවමාන වෙනවා කියන එකට නෙමේ.ඒ දෙක වෙනස්.දෙවියන් ජීවමාන තමයි. නමුත් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවියන් දැකගන්න බැහැ.සිහිනෙන් දෙවියන් දුටුවත්,අපට පේන්නේ ඒ දිව්‍ය ශරීර නොවෙයි.එක්කෝ සාමි කෙනෙක් වගේ,එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන්ගෙ කෙනෙක් වගේ.
රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ අවස්ථා තිබෙනවනේ. ඇසල මංගල්‍ය වගේ පෙරහර පටන්ගන්නා දවසට, දියකපන දවසට, එහෙම ඒ ස්ථානවල අමුතු ආලෝකයක් අපිට දැකගන්න පුළුවන්.එතකොට අමුතු සුවදක් එනවා.ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ දෙවියෝ දිවැස් බලනවා කියලා.
එහෙම දෙවියන් ජීවමාන වෙනවා යැයි පිළිගත හැනි අත්දැකීම් තියනවද?
පෞරාණික අත්දැකීමක් තියෙනවා. ඕලන්ද යුගයේදී මේ රෝහණ ජනපදය සම්පූර්ණයෙන්ම විනාශ කළානේ.පස්සේ මේවා ජනශූන්‍ය වුණා. ඒක තමයි මෙහෙ තාමත් තියෙන්නේ.අපේ තාත්තලා උපන්නේ මේ කටගමුවෙමයි.රුහුණු මහා කතරගම දේවාලයේ නිලපංගු,ප‍්‍රවේණි පංගු ලෙස පත්කර, පසුව ඒ ඒ කපුගොල්ලන්ට නින්දගමක් ලෙස දුන්නු ඉඩම් තමයි මේ කටුගමුව.මේ ගොල්ලන්ගේ කාර්යය තමයි ඇසල සමයේ දේව කටයුතු කිරීම.බැද්දේ කණු කැපීම, මණ්ඩපයේ කණු කැපීම, දෙවියන් වැඩම වීම කියන කාර්යය සදහා තමයි මේ නින්දගම දීලා තියෙන්නේ. ඕලන්ද ජාතිකයන් වැව් අමුණු පවා කඩලා රෝහණ ජනපදය විනාශ කළාට පස්සේ ගැටලූවක් ඇති වුණා.එදා තිබුණේ කෘෂිකාර්මික වටපිටාවක්. එතකොට තේ,රබර්,පොල් ආර්ථිකයට දායක වුණේ නෑ.ඒවා අඩපණ වුණාට පස්සේ ඇසළ උත්සවය කරන්නේ කොහොමද කියලා මේ අය කල්පනා කළා.වර්ථමාන බස්නායක නිළමේ නිලය එදා මහ බෙත්මේ කියලයි හැදින්වුයේ. මේ අය හිටියේ මාගම.මෙහේ හිටිය කපුගොල්ල ගිහින් ඒ අය එක්ක සාකච්ඡුා කළා ඇසළ උත්සවය කොහොමද පවත්වන්නේ කියලා.අවසානයේ තීරණය වුණා ඇසල උත්සවය නවත්වන්න.ඒ තීරණය ගන්නාවිටම මෙහි ඇති නිදන් ගල උඩ සුදු ඇදගත්ත අත්භූත පුද්ගලයෙක් මේ අය දැක්කා.ඊට පස්සේ මේ අය බැලූවා කවුද මේ අත්භූත පුද්ගලයා කියලා.එතකොට ඒ පුද්ගලයා ඇහුවා ‘මගේ මංගල්‍ය කරන්නේ නැද්ද කියලා’ එතකොට ඒ අය දැනගත්තා ඒ කතරගම දෙවියන් කියලා. දොහොත් මුදුන් දීලා වැදලා ‘ඔබ වහන්සේට පේන්නැද්ද අපට සිදුවී ඇති විනාශය’කියලා ඔවුන් ඇසුවා.දෙවියන් වහන්සේ එවිට කිව්වා ‘බයවෙන්න එපා මගේ මංගල උත්සවය කරන්න.මගේ මුළුතැන් මංගල්‍ය කරලා අවසර ගන්න සක්පිඹ වදිනවානේ.අන්න ඒ අවස්ථාවේ මේ හතර දික්භාගයෙන් මගේ පූජෝපහාර අලංකාර කරගැනීමට පැමිණෙන බැතිමතුන්ට සෙත් පතන්න කිව්වා.එවිට සාර්ථකව එය කරගෙන යා හැකියි’යනුවෙන්.ඒ චාරිත‍්‍රයතමයි අදටත්  පවත්වාගෙන යන්නේ.එදා දෙවියන් දෘෂ්‍යමාන වෙලා තිබුණා.
මෑතකදී එහෙම අත්දැකීමක් නැද්ද?
මෑතකදී එහෙම නෑ.එක්තරා ජ්‍යෝතීර්වේදියෙක් කියලා තිබුණා එහෙම දෘශ්‍යමාන වෙනවා කියලා.ඒ ප‍්‍රකාශයත් එක්ක තමයි මාධ්‍ය විසින් ඒ දේ හොයන්න ගත්තේ.
එහෙනම් දෙවියන් කියන්නේ සංකල්පයක් පමණද?
නෑ එහෙම වෙන්නේ බෑනෙ.බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වෙලා හිටියේ.ඒ රජතුමා සෝවාන් ඵලයට පත්වූ දවසෙම රාත‍්‍රී බුදුරජාණන් වහන්නේ බැහැදකින්න ජේතවනාරාමයට ගියා.බුදුරජාණන් වහන්සේ සංකප්ප නුවරට වඩින දිනයේදීම තමයි මහජනයාට අමුතු ආලෝකයක් දැකගන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.ඒ කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ එක්ක දෙවියන් පැමිණිලා තියනවා.
දුටුගැමුණු මහරජතුමා කතරගම දෙවියන්ට භාරවුණා යුද්දෙන් ජයගන්න ලැබුණොත් රන් උළු මාලිගාවක් හදල දෙන්නම් කියලා.දුටුගැමුණු රජතුම දිය කපන්න යද්දි තමයි කතරගම දෙවියන් දෘශ්‍යමාන වුණේ.
යුද්දෙන් ජයගත්තට පස්සේ රජතුමා වැඩිහිටි කන්දට ඇවිත් අධිෂ්ඨාන කළා.එවිට දෙවියන් දෘශ්‍යමාන වුණා.මම ඔබවහන්සේට භාරය ඉෂ්ඨ කරන්නම් කියලා කියනවිට ‘අනාගතයේ කළුවර කාලය කියලා කාලයක් එනවා.මේ කාලයේදී බිහිවන මිනිසුන් දෙමාපියන්ට සලකන්නේ නෑ.වැදගත් අයට සලකන්නේ නෑ.දෙවියන්ට සලකන්නේ නෑ.ඒ නිසා මට අපකීර්තියක් වෙනවා.රන් උළු මාලිගයක් නෙමේ,රන් කොත් මාලිගයක් හදලා දෙන්න’කියලා දෙවියක් කිව්වා.ඔබ වහන්සේ හදන තැන පෙන්වන්න කිව්වා.හීයක් විදින්න,ඒ හීය වැටෙන තැන හදන්න කියලා දෙවියන් කිව්වා.අන්න ඒ ස්ථානයේ තමයි දුටුගැමුණු රජතුමා දේවාලය ඉදිකළේ.ඉදිකරලා ඉරහ`ද පවතිනතුරු කරගෙන යන්න කියලා භාරවුණා.ඒ නිසා දෙවියන් සංකල්පයක් වෙන්නේ නෑ.
අතීතයේ ජීවමාන වෙලා තියෙනවා කියන්නේ,වර්තමානයේ එහෙම වෙලා නැද්ද?
වර්තමානයේ කතරගමට ජාති,ආගම් උස් පහත් භේදයකින් තොරව බැතිමතුන් පැමිණෙනවා.මේ තැනට මේ තරම් ජනකායක් ඇදී එන්නෙ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තියෙන නිසානේ.ඒ අය භාරවෙනවා.ඒවා ඉෂ්ඨ වෙනවා.එතකොට දෙවියෝ ජීවමානයිනේ.
ඔබ කියූ පරිදි දෙවියන් මනුෂ්‍යයන්ට වඩා උසස්.එහෙම නම් මනුෂ්‍ය ශරීරයකට දෙවිකෙනෙකු පැමිණිය හැකිද?
දෙවියන්ටනර සත්වයන්ගේ ගද යොදුන් සීයක් දැනෙනවලූ.එහෙම වුණහම දෙවියන් මනුෂ්‍යයින්ට කිට්ටු වෙයිද?එක එක්කෙනාට එක එක ආවේග තියනවනේ.සමහරුන්ට ආවේගයක් ආවම මොන තරම් දෙයක් කළ හැකිද?ආවේග ආවම කි‍්‍රයා කරන්නේ විවිධ අයුරින් (නටනවා,උඩපනිනවා) සමහර සාමිවරු ඇවිත් දෙවියන් විදිහට කතා කරනවා.ඒ මානසිකව සිදුකරන දේවල්.
දෙවියන් වෙනුවෙන් පහන තියන්න වෙලාවල් තියනවා නේද?
ඔව්.උදේ පාන්දර බ‍්‍රහ්ම මූර්තිය.හැන්දෑවේ හය පසුවුණාම වගේ මේ මූර්ත බලලා තමයි තියන්න  ඕන.දවල් දොළහ පහුවෙලා පහන් තියන්න හො`ද නෑ.? දොළහට ගමන් කරන්නේ යක්ෂ සේනාධිපතියන්.
කතරගම දේව භූමිය තුළ වුණත් පූජාවට්ටියේ තබන මුදලට ප‍්‍රමුඛතාවය හිමිවෙනවා නේද?
බුද්ධිමතෙක් වුණාම කල්පනා කරලා බලන්න  ඕන,අපිට මේ තත්ත්වය ලැබුණේ ඇයි කියලා.දහදෙනෙක් ගත්තම දහදෙනා දහ විදියක්.මම අදහන්නේ බුදු දහම.දහදෙනා දහ විදිහකට ඉන්නේ පෙර පිං නිසා.බුද්ධියක් නැති හරියට වැඩ කරන්න බැහැ.උගත්තු වැඩිම  ලංකාවේ.මේ දේවාල වලත් බුද්ධිමතුන් අඩුයි.ඒකයි එහෙම වෙන්නේ.ඒ අයට ස්වභාවදහමෙන්ම ද`ඩුවම් ලැබෙනවා. දැන් කිව්ව කතාව කතරගම දේවාලෙ වුණත් සිද්ධ වෙනවා.
ද්‍රවිඩ අය පුද පූජා පවත්වන්නේ වෙනස් විදියට.ආගම අනුව ඒ අයට ප‍්‍රධානම දේ තමයි සින්තෝරු,කපුරු පත්තු කරලා තියෙන එක.සේත් අරිච්චිනම් කියලා පූජාවක් දෙනවා.සේත් අරිච්චිනම් කියන්නේ පොලූයි,පලතුරුයි එක්ක දෙන පූජාවක්. විභූචි අරිච්චිනම් කියලා පූජාවක් තියෙනවා.ඒ පූජාවට සල්ලි දුන්නම ඒ අයගේ නම කියලා පූජාව කරනවා. බෞද්ධ සංස්කෘතියේ කාලි දෙවගනට බිලි පූජා පවත්වනවා.බෞද්ධ සංස්කෘතියේ කාලි දෙවගන සෝවාන් වෙලා. නමුත් පරණ පුරුද්දට සමහර අය බිලි පූජා පවත්වනවා.ඒක මනුෂ්‍ය ආකල්පයක්. දෙවියන්ට බිලි පුජා නෙමේ පලතුරු හා සුවද පුජා තමයි පැවැත්විය යුතු වෙන්නේ.
අද වෙනකොට මේ තත්ත්වයන් නැතිවෙලා ගිහිල්ලා.ගොඩක් අය මේ ක‍්‍රමවේදයන් පටලවගෙන,වරද්දගෙන.එක එකකෙනා එක එක මත ප‍්‍රකාශ කරනවා.

December 17, 2013 at 11:53 am | lanka C news

අනුරපුර උරුමය රම්‍ය අටමස්ථානය


වර්තමාන ශ්‍රී‍්‍ර ලංකාවේ උතුරුමැද පළාතේ අගනගරය “අනුරාධපුරය” යි . අනුරාධපුරයේ ආරම්භය ක්‍රි.පූ. සයවැනි සියවස තෙක් ඈත අතීතයට දිව යයි. විජය රජුගේ ඇමතිවරයෙක් වූ “අනුරාධ” නමැත්තා ස්වකීය නාමය මුල්කොටගෙන “අනුරාධගාම” නමින් ග්‍රාමයක් ඉදි කළේය.එයට වසර කිහිපයකට පසුව තවත් “අනුරාධ” නම් කුමරෙක් වාසස්ථානයක් හා වැවක් ද තනාගෙන එහිම විසුවේය.
අනුරාධ ග්‍රාමයේ ආරම්භය ගැන කරුණු දක්වන මහාවංසය අනුරාධ නම් කුමරුන් දෙදෙනෙකුට වාසභූමිවීම හා අනුරාධ නම් නැකතින් ඉදිකරවීම යන කරුණු සඳහන් කරයි. ඉතා කෙටි කාලයක් හැරුණුවිට ලක්දිව රාජ්‍යත්වයට පත්වූ සෑම රජෙකු ගේම වාසස්ථානය වූයේ අනුරාධපුරයයි . එබැවින් එදා එය ශ්‍රී‍්‍ර ලංකාවේ අගනුවර ද වූයේය.

ථූපාරාමය
ශ්‍රී ලංකාවේ නොයෙකුත් පළාත්වලින් අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් “ වඳින්න යන “ ස්ථාන හතකුත්, “බලන්න යන “ ස්ථානයකුත්, “අටමස්ථානය” වශයෙන් හැඳින්වෙයි. ඒ අනුව වඳින්න යන ස්ථාන වනුයේ ජය ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලංකාරාමය හා ථූපාරාමය යන සිද්ධස්ථාන හතයි. බලන්න යන ස්ථානය වනුයේ “ලෝවාමහාපාය”යි
ජය ශ්‍රී මහා බෝධිය
අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටෙන් පළමුවැන්න ජය ශ්‍රී මහා බෝධින් වහන්සේය. එය අනුරාධපුර මහමෙවුනා උයනේ ලෝවාමහාපාය අසල “උඩමළුව” නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටා තිබේ. අනුරාධපුරයේ පූජනීය වස්තූන් අතර ඓතිහාසික කීර්තියක් හා උරුමයක් ඇත්තා වූ පූජනීය වස්තුව ජය ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේය.
මෙම බෝධි ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේදී ය. දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි දඹදිව ධර්මාශෝක අධිරාජයා ගේ විශේෂ අනුග්‍රහය මත මෙය සිදුවුණි. සංඝමිත්තා මහරහතන් තෙරණිය විසින් වැඩමවන ලද මෙම බෝධි ශාඛාව රෝපණය කිරීම සඳහා සුදුසු ස්ථානය තීරණය කළේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.
පොළෝ මට්ටමෙන් උස්ව පිහිටි වේදිකා තුනකින් සමන්විත මළුවේ ඉහළම තලයෙහි ශ්‍රී මහා බෝධිය රෝපණය කොට තිබේ. බෝධිය වටකොට තනවා ඇති රන්වැට දක්නට ලැබෙන්නේ මෙම මළුව වටාය. තවත් පරිවාර බෝධි රැසක් මෙම භූමියේ රෝපණය කොට ඇත්තේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආරක්‍ෂාව සඳහාය.
රුවන්වැලි මහා සෑය

රුවන්වැලි මහා සෑය
සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ.
ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ. ස්තූපයේ කටයුතු අවසන් වීමට පෙර දුටුගැමුණු රජු අභාවයට පත්වූයෙන් සද්ධාතිස්ස රජ ස්තූපයේ ඉතිරි කොටස් නිම කළේය. ස්තූපය වටා තිබෙන ඇත් පවුර සාදවන ලද්දේ ද සද්ධාතිස්ස රජු විසිනි. ඉන්පසුව තවත් බොහෝ රජවරු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හා නව කර්මාන්ත කළහ.
මෑත යුගයේ සිදු කළ ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. විෂ්කම්භය අඩි 294 ක්. පරිමාව අඩි 942 ක් වන අතර රන් ආලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 කි. අක්කරපහක සතරැස් මළුවක් මත රුවන්වැලි සෑය පිහිටා ඇති අතර මළුවේ එක් පැත්තක දිග අඩි 465 කි. ඒ වටා තිබූ පුරාණ ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් තනවා ඇත.

ජේතවනාරාමය

අනුරාධපුර දාගැබ් අතර සෙසු හැම දාගැබකටම වඩා විශාල වූ ජේතවනාරාම දාගැබ මහා විහාරයට විරුද්ධව මහසෙන් රජු (ක්‍රි.ව. 276 – 304) විසින් කරවන ලද්දකි. මහා පරිමාණ ස්තූපයක් වන මෙය 12 වන ශත වර්ෂයේදි මහා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී. ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කොට ඇති ජේතවනාරාම ස්තූපයේ විෂ්කම්භය අඩි 370 කි. දැනට උස අඩි 231 ක පමණ උසින් යුක්ත වන අතර අතීතයේදී අඩි 400 ක් උස් වූ බව කියවෙයි.
දාගැබ් මළුව අක්කර 07 ක බිමක් වසා සිටියි. ස්තූපයේ වටා වාහල්කඩ සතරකුත් දාගැබ් මළුව වටා ඇත් පවුරකුත් තනවා තිබේ. බුදුරදුන් ගේ පටී ධාතුවෙහි කොටසක් මෙහි තැන්පත් කොට ඇති බව සඳහන් වේ.

අභයගිරිය


අභයගිරිය
ධම්මරුචි නිකායේ මූලස්ථානය වූ අභයගිරි විහාරයේ ප්‍රධාන ස්මාරකය මෙන්ම පූජනීය ගොඩනැගිල්ල වනුයේ “අභයගිරි ස්තූපය” යි ක්‍රි.පූ. 1 වැනි ශත වර්ෂයේදි යුද්ධයෙන් පරාජය වී පැන ගිය වළගම්බා රජුට ගිරි නිගණ්ඨයා විසූ ආරාමය අසලින් යාමට සිදුවිය. එහිදී එහි වාසය කළ අය “මහකලු සිංහලයා පැන යනවා ” යැයි, කියා රජුට විහිළු කළ බව මහාවංසයෙහි දැක්වෙයි. පසුකලෙක දී සතුරන් පලවාහැර ලක් සිහසුන නැවත හිමිකරගත් එතුමා එහි අභයගිරිය යැයි විහාරයක් කරවීය.
එය පූජා කළේ තමාට බොහෝ උපකාර කළ මහාතිස්ස හිමියන්ටය. දැනට අභයගිරි විහාරයේ දක්නට ලැබෙන්නේ 12 වන ශත වර්ෂයේදි මහා පරාක්‍රමබාහු රජු විසින් අඩි 350 ක් උසට ප්‍රතිසංස්කරණය කරවන ලද ස්තූපයයි. මෑත යුගයේ එනම් වර්ෂ 1890 දී යළිත් මෙය ප්‍රතිසංස්කරණය කරවීය. දැනට මෙහි උස අඩි 245 කි.විෂ්කම්භය අඩි 587 කි. සුප්‍රකට සමාධි පිළිමය පිහිටා ඇත්තේද අභයගිරි භූ®මි ප්‍රදේශයේය.
ඌරුගමුවේ අස්සජි හිමි

අනුරාධපුරේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

කෝන්වැවේ සුනන්ද හිමි

ධර්මාශෝක රජු ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරන්නේ කෙසේද? යන ප්‍රශ්නයට මැදිහත් වී සිටියදී මහාදේව නම්, බුද්ධිමත් ඇමැතිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ මොග්ගලීපුත්ත තිස්ස මහරහරතන් වහන්සේගෙන් විමසීය. එවිට රහතන් වහන්සේ දේශනා කරන්නේ, මසැස, දිවැස, පණැස සමතැස බුදු ඇස යන පසැස ඇති බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය රජුට කීහ.
මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කොට මහමෙවුනා උයන පිළිගත් දවසේම අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් බණ අසා පැහැදී බුදු සසුනෙහි පැවිද්ද ඉල්ලා සිටියහ. නමුත් භික්‍ෂූන් වහන්සේලා විසින් කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට, නුසුදුසු නිසා මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වය මත දඹදිව සිට සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට තීරණය කළහ. එහිදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ද වැඩම කරවීමට තීරණය කළහ. ඒ අනුව අරිට්ඨ ඇමැතිවරයා, මහණ කිරීමේ පොරොන්දුව මත අරිට්ඨ කුමරු පැළලුප්නුවර බලා පිටත් කරවීය.
ඔහු එහි ගොස් මෙහි රජුගේ හසුන ධර්මාශෝක රජුට දී අනතුරුව සංඝමිත්තා තෙරණියට ද දන්වා සිටියේ ය. සංඝමිත්තා තෙරණිය එය පිය රජුට දන්වා ශ්‍රී ලංකාදීපයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ද රැගෙන යෑමට සුදුසු බව කියා අවසර ලබාගත්හ.

ඉක්බිතිව ධර්මාශෝක රජු ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරන්නේ කෙසේද? යන ප්‍රශ්නයට මැදිහත් වී සිටියදී මහාදේව නම්, බුද්ධිමත් ඇමැතිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ මොග්ගලීපුත්ත තිස්ස මහරහරතන් වහන්සේගෙන් විමසීය. එවිට රහතන් වහන්සේ දේශනා කරන්නේ, මසැස, දිවැස, පණැස සමතැස බුදු ඇස යන පසැස ඇති බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය රජුට කීහ. එම අධිෂ්ඨාන මෙලෙස බෝධිවංශයෙහි දක්වයි. එනම් ධර්මාශෝක රජු දක්‍ෂිණ බෝධි ශාඛාව ගැනීමට යෑමේ දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ම දක්‍ෂිණ ශාඛාව සිදී ස්වර්ණ කටාහයෙහි පිහිටීම, එය පළමු අධිෂ්ඨානයයි. දෙවන අධිෂ්ඨානය නම් එහි පත්‍රවලින් හා ඵලයෙන් සවනක් රැස් විහිදීමයි. තෙවන අදිටන වන්නේ, මහ බෝධිය වලා ගැබට වැදි සතියක් තිස්සේ වැඩ සිටීමයි. හතරවන අදිටන වන්නේ, ථූපාරාම දාගැබෙහි දකුණු අකුධාතු පිහිටන දවසේ යමාමහ ප්‍රාතිහාර්ය කෙරේවා යන්නයි. පස්වන අදිටන වන්නේ, ලක්දිව රුවන්වැලිසෑයෙහි මාගේ ද්‍රෝණියක් පමණ ධාතු පිහිටන දවස සර්වඥ වේශය මවාගෙන ආකාශයට පැන නැගී යමක ප්‍රාතිහාර්ය කෙරේවායි යන්නයි.
මෙම අධිෂ්ඨාන පස අසා රජු පැහැදි ජය ශ්‍රී මහා බෝධි ශාඛාව (දැනට අනුරපුරේ වැඩසිටින) තැන්පත් කිරීම පිණිස ස්වර්ණ කටාහයක් සැකසීමට රත්තරන් වෙන් කරන විට ඒ වේලෙහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ නියෝගය පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ස්වර්ණීකාර වේශයක් මවාගෙන ධර්මාශෝක රජතුමා ඉදිරියෙහි පෙනී සිට එම රත්තරන් ගෙන තමාගේ ආනුභාවයෙන් අතින් ස්පර්ෂ කොට රියන් නවයක් වට ඇති පස්රියනක් උස ඇති රියන් තුනක් අඟුලක් ඇති ඇත් නාම්බෙකුගේ සොඬය තරම් මුව ඇති හිරු මඬලක් හා සමාන කටාහය මවා රජතුමාට දී අතුරුදහන් විය. ඉක්බිතිව භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වර්ණ කටාහය රැගෙන ශ්‍රී මහ බෝධීන් වහන්සේ සමීපයට අලංකාර පෙරහරකින් ගියහ. එහිදී වටතිර ඇද දොහොත් මුදුන් දී අසීමිත ශ්‍රද්ධාවෙන් රජු ඇතුළු පිරිස වන්දනා කරන විට ජය සිරි මහා බෝධීන් වහන්සේගේ කඳ හා දක්‍ෂිණ මහා බෝ ශාඛාව ද රියන් හතරක් පමණ තැන් හැර සෙයු තැන් නොපෙනී ගොස් ප්‍රාතිහාර්ය පෑ සේක. එම අසිරිමත් සිදුවීම රජු දැක පැහැදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මුළු දඹදිව පූජා කළහ. ඉක්බිතිව රජු විසින් දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ගනු කැමැතිව සත්‍ය ක්‍රියා කොට සර්ව රත්නමය පුටුවක් උඩ ස්වර්ණ කටාහය තබා රජු රන් හිණිමගෙන් රන් පුටුවට නැග රන් තැල්ලෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් දක්‍ෂිණ ශ්‍රී බෝධි ශාඛාව වෙන් කරනු වස් ඉරක් ඇඳ අදිටන් කරන්නේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිට විය යුතු නම් බෝධීන් වහන්සේම සිඳී ස්වර්ණ කටාහයෙහි පිහිටන සේක්වායි යනුවෙනි. එවිට ජය මහ බෝධීන් වහන්සේ එතැනින් සිඳී මුල් සියයක් ඇතිව, උසින් කඳ දස රියනක් පමණ ද, රියන් සතරක් පමණ ශාඛා පහක් ද, ඵල වශයෙන් පහකින් ද, කුඩා අතු දහසයකින් ද යුතුව ස්වර්ණ කටාහයෙහි වැඩ සිටි සේක. මෙම අවස්ථාවේදී පොළොවේ පටන් අකනිටා බඹලොව දක්වා සියලු දෙවියෝ සාධුකාර දී දිව්‍ය බෙරය ද නාද කළහ. දක්‍ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පඤ්ච ශාඛාවන්ගෙන් හා ඵලපත්‍රවලින් නීල පිතාදි වශයෙන් ෂඩ් වර්ණ රශ්මි ධාරාවන් ද බ්‍රහ්මලෝකය දක්වාම නික්මුණහ. මෙහිදී දක්‍ෂිණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසට පැන නැගී සතියක් තිස්සේ නොපෙනී සිට ප්‍රාතිහාර්ය පෑ සේක. මේ අතරතුර රජු නොනවත්වා බෝධි පූජා පැවැත්වූහ.
අනතුරුව ස්වර්ණ කටාහයෙහි පිහිට ජය ශ්‍රී බෝධීන් වහන්සේ පැළලුප්නුවරට වැඩම කොට තම දියණිය වූ සංඝමිත්තා තෙරණියට බාරදී ලක්දිවට වැඩම කරන ලෙස කීවේ ය. එහිදී විධුරින්ද නම් රජකුමරු කැඳවා වැඩම කරන ලද ජය ශ්‍රී බෝධීන් වහන්සේට ආරක්‍ෂාව සපයන ලෙසට ද දැනුම් දුන්නේ ය. එසේම කුල ලෙස රජ කළ අටක් සිටු කුල අටක්, බමුණු කුල අටක්, කෙළෙඹි කුල අටක්, කපු කුල අටක්, බලක් කුල අටක්, ඔසු දවටු කුල අටක්, සන්නාසි කුල, අරක්කැමි කුල, කඹුරු කුල, ලෝකුරු කුල, බෙරවා කුල ආදී කුල ද සූර්ය වංශයෙහි උපන් වේධිස දෙවියන්ගේ සහෝදර වූ රාජ කුමාරවරුන් අට දෙනාට ප්‍රධාන වූ සුමිත්ත හා බෝධිගුත්ත යන ශාක්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් සුමිත්ත රජකුමරුට කුලවාසීන් භාරදී බෝධිගුප්ත කුමරුට බෝධීන් වහන්සේ භාරදී බෝධීන් වහන්සේ ස්නානය කරනු පිණිස රාජවංශයෙන් බිසෝවරු හතර දෙනෙකුට ද භාරදී උඳුවප් මස පුරපෑලවියේ දී තාමුලිප් නම් නැව් තොටින් රජකුල ඇතුළු කුලයන් පිරිවරා ගෙන රජතුමා සමුද්‍රයේ කරවටක් ජලයට බැස, දක්‍ෂිණ  ජයශ්‍රී මහා බෝධිය හිස මුදුනින් වඩමවා නැවෙහි තැන්පත් කොට ඇති රන් පුටුවෙහි වඩා හිඳුවා සංඝමිත්තා තෙරණිය ද එහි නංවා සෙසු කුලවල අය ද සෙසු නැවකට නංවා අරිට්ඨ නම් ඇමැති රජු විසින් කැඳවා ‘දරුව මම දක්‍ෂිණ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේට දඹදිවම තුන්වරක් පූජා කොට කරවටක් පමණ සාගරයට බැස දක්‍ෂිණ ශාඛාව මාගේ යහළු වූ දෙවන පෑතිස් රජුට යැවීමි. ලක්දිව රජු ද එලෙසම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරත්වායි යනුවෙන් ලක්දිව රජුට හසුනක් ද දුන්නේ ය. මෙලෙස සතියක් මුළුල්ලේ නාගයන්ගේ වැඳුම් පිදුම් මැද ලක්දිව දඹුලු තොටට වැඩම කළහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේගෙන් එහි ඇති ආනුභාවය දැන සපිරිවර සහිතව පුද පූජා මැද ධර්මාශෝක රජු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් කළ අයුරින්ම ලක්දිව රජු සාගරයෙහි කරවටක් ගොස් හිස මුදුනින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිගත්තේ ය. අගනුවර දකුණු දොරෙන් වැඩම කොට තැන්පත් කරන විට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මි ධාරාවන් විහිදුවමින් අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ සේක. ඉක්බිතිව ස්වර්ණ කටාහයෙහි වැඩ සිටිසේක. මේ අතර ජනතාව බලා සිටියදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් එක් ඵලයක් ගිලිහී මිහිඳු මහ රහතන් වහන්සේගේ දික් කරන ලද ශ්‍රී හස්තයෙහි පිහිටියේ ය. එම බෝධි ඵලය ගෙන රෝපණය කරන ලෙස රජතුමාට දුන් සේක. රජු එම බෝධි ඵලය ගෙන රන් කටාහයෙහි තැන්පත් කළේ ය. ඒවෙලෙහිම සියලු දෙනාම බලා සිටියදීම සතර රියනක් පමණ ඇති තරුණ බෝ පැළ අටක් පැන නැංගේ ය. රජු එම ආශ්චර්ය දැක ලක්දිව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළේ ය. එම පැළ අට මෙලෙස රජු විසින් රෝපණය කළේ ය. එනම් දඹුලු තොටෙහි ද තිවක්ක බ්‍රාහ්මණ ගමෙහිද, ථූපාරාමයෙහිද, කසුන්ගිරි වෙහෙරෙහිද, ප්‍රථමක චෛත්‍ය ස්ථානයෙහි ද, සෑගිරියෙහි ද, රෝහණ ජනපදයෙහි කරදරගම ද සඳුන්ගම ද යන ස්ථාන අටයි. අනතුරුව ඉතිරි ඵල හතරෙන් ද අට අට බැගින් උපන් දෙතිස් ඵල රුහ ශාඛා බෝධීන් වහන්සේලා මල්වැස්ස වෙහෙර ද, තන්ත්‍රිමාල වෙහෙරද, මුහුදු බඩ මහා ජල්ලික නම් කෙවුල් ගමද, කොට්ටියාරාම ද, පොළොන්නරුවෙහි ද මාතලේ රයිගම ද, රුහුණු රට මාගමද, විල්වලද, මහියංගණයෙහි ද, සේරුවිල සමීපයෙහි ඇති නයින්ගේ විල්හම් වෙහෙර ද, සිතුල් පව්වේ ද, කටියාවෙහිද, කසාගලු වෙහෙර ද, බෙල්ලන්විල ද, වඳුරව ද, අඹලව රහත්ගල් වෙහෙර ද ආදී ස්ථාන තිස් දෙකක බෝධීන් වහන්සේලා රෝපණය කළහ. මෙලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු සමසතළිස් බෝධීන් වහන්සේලා රජු විසින් රෝපණය කොට ඒ වෙහෙර විහාරවලට ගම්බිම් ද පූජා කළේ ය. අනුරපුරේ වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීම පිණිස රාජ කුලවලට හා සෙසු කුලයන්ට තනතුරු හා රාජකාරි පැවරූහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පෙරහර කිරීම සඳහා ශාක්‍ය වංශිකයන්ට තනතුරු ලබා දුන්හ. එහි කුමාරවරු හතර දෙනෙකු ගැන කියැවේ. එනම් මිහිඳු කුමරුට සුඵලිය මහලේනා තනතුරු ද, කාශ්‍යප කුමරුට මහසිටුනා තනතුරු ද, විධුරින්ද කුමරුට පිරිසිදුනා තනතුරු ද සංඝමිත්‍ර කුමරුට සුළුසිටුනා තනතුරු ද දී ගම්වරද ඔවුනට දුන් බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
පෙර රජ දරුවන්ගේ පුද පූජා ලැබ දැනට අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන්වැට මැද විරාජමානව දෙවි බඹු නරන්ගේ වැදුම් පිදුම් ලබමින් තේජාන්විතව වැඩ සිටිති.

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා

 ප්‍රදර්ශනය කෙරෙන කොටහේන දිපදුත්තමාරාම තායි රජමහා විහාරය

වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් 1898 දී ලැබුණු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ පූජෝත්සවය සහ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 05, 06 සහ 07 යන තෙදින පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වා කොටහේන දීපදුත්තමාරාම තායි රාජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

සධාතුක කරඬුව
විහාරාධිපති ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් මෙහි සමාරම්භක අවස්ථාව දෙසැම්බර් 05 වන දින පෙරවරු 11.00 ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ උතුමාණන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.
එදා බුදුන්වහන්සේ කුසිනාරානුවර මල්ලව රජ දරුවන්ට අයත් උපවත්තන නම් සල් උයනේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ආදාහනය කොට සත් දිනකට පසු ධාතු බෙදීම සිදුවිය. එකල රජ දරුවන්ගේ අතිශය ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටි ද්‍රෝණ බමුණාගෙන් ධාතු බෙදීමේ වගකීම ඉටු වූයේ අවශ්‍යතම රජ දරුවන් ඉදිරිපිටදී ය. බුදුන් වහන්සේට හිමිකම් කිව හැකි ඥාති පිරිස කපිලවස්තුවේ සිට මෙම ස්ථානයට පැමිණ තමන්ට හිමි විය යුතු ධාතු කොටස් ලබාගෙන මහා පෙරහරින් පුද පූජා පවත්වමින් සිට නුවරට පැමිණ සෑයක් කොට නිදන් කළ බව ශාසන ඉතිහාසය කියයි. පසු කලෙක මෙම ස්තූපය තිබූ තැන යට වී වැසී ගොස් ඉඩකඩම් වෙන් වී ප්‍රදේශය සම්පූර්ණ පරිවර්තනයකට භාජනය වී තිබූ බව පෙනේ. මෙම වකවානුව වන විට මෙකී සෑය ඇතුළත් ඉඩමේ අයිතිකරු වූයේ ඇන්.වී. පෙප්පේ නම් ඉංගී‍්‍රසි වතු හිමියෙක් ය. ඔහු ද ශ්‍රී සුභූති නාහිමියන්ගේ මිත්‍රයකු වීම උන්වහන්සේගේ පූර්වභාග්‍යයක් සේ සැලකිය හැකි ය.ඉන්දීය පුරාවිද්‍යාඥයින් විසින් කැණිම් කටයුතු කරද්දී මෙම ස්ථූපය ද ඔවුන්ගේ දැඩි විමසිල්ලට භාජනය විය. ඔවුන් මෙය හැඳින්වූයේ ‘පිප්‍රාවා’ හෙවත් ‘පෙප්පේගේ ස්ථූපය’ නමිනි. මෙම ස්ථූපය කැණීමේ දී පළමුව විශාල ගල් පෙට්ටියක් හමු වූ බවත් එම පෙට්ටිය තුළ කුඩා කරඬු කීපයක් ධාතුන් වහන්සේලා සහිතව නිධන් කර තිබූ බව ද, එයින් එක් ගල් කරඬුවක් වටා “ඉයං සලීල නිධනේ බුධස භගවතෝ සකියානං සුකිති භතානං සභගිනි කාතං සසුන දලත” යනුවෙන් කොටා තිබූ බව වින්සන්ට් ස්මිත් පඬිවරයා සඳහන් කරයි. මෙම ශ්‍රී සුභූති හිමියන්ගේ සහාය ලබා පාලි භාෂාවට පරිවර්තනය කොට දක්වා ඇත. ඒ අනුව මෙම කරඬුවල තිබී හමු වූ ධාතුන් වහන්සේලා සත්‍ය වශයෙන් ම ප්‍රථම ධාතු බෙදීමේ දී ශාක්‍ය රජ දරුවන්ට හමු වූ සර්වඥ ධාතු කොටස බව සනාථ වන අතර, කපිල වස්තු හා ඒ අවට කැණිම් කොට අංග සම්පූර්ණ වාර්තාවක් සැපයූ පූර්ණ චන්ද්‍ර මුඛර්ජි මහතා මෙන් ම භාරතීය ඉතිහාසඥයෙකු වූ වින්සන්ට් ස්මිත් මහතා ද උක්ත මතය එකහෙලා පිළිගනී. මෙම ස්ථූපයෙන් ලැබුණු ධාතුන් වහන්සේලා සියම් මහරජුටත්, බුරුම මහරජුටත්, කොටස් දෙකක් යවා ඇති අතර, ශ්‍රී සුභූති මහනාහිමියන්ට වෙන්කර ශ්‍රී ලංකාවට එවූ කොටස පිළිබඳව 1898 අගෝස්තු 19 ඉතිහාසඥ වින්සන්ට් ස්මිත් මහතා ශ්‍රී සුභූති නාහිමියන්ට එවන ලද ලිපියකින් අනාවරණය වෙයි.

එදා මෙම ධාතුන් වහන්සේලා ඇතුළත් චෛත්‍ය පිහිටා තිබූ භූ®මිභාගයේ හිමිකරුව සිටි පෙප්පේ මහතා වසර ගණනාවක සිට තමන්ගේ ශ්‍රී ලාංකීය මිත්‍රයෙකු මෙන් ම ලෝකයේ උගතුන් පිළිගත් කුශාග්‍ර බුද්ධිමතෙකු වූ ශ්‍රී සුභූති මහනාහිමියන්ට ලිපියක් සමග පාර්සලයක් එවූ අතර, එයින් උන්වහන්සේ තුළ කාලයක සිට පැවති අදහස ඉටුකර ගැනීමට හැකි වූ බව පහත සඳහන් ලිපියෙන් මොනවට පැහැදිලි වේ.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි

වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නාහිමි

ශ්‍රී ජිනවරවංශ හිමි
දීපදුත්තමාරාම පුරාණ තායි රාජ මහා විහාරය කොළොම්පුර බටහිර ජාතීන්ගේ ග්‍රහණයට නතු වූ පසු වෙසෙසින් ජනාකීර්ණ හා දියුණු නගරයක් වුව ද අතීතයේ කැලණි පුදබිමේ සිට බෙල්ලන්විල පුදබිම අතර භූමි කලාපය තුළ බෞද්ධ විහාරස්ථානයක් නො වූ අතර විහාරයක් ඉදි කිරීමට තබා බුදු පිළිමයක් ඉදි කිරීමටවත් අධිරාජ්‍යවාදිහු ඉඩ නොදුන්හ. එකී පසුබිම තුළ කොළොම්පුරයේ ඉදි වූ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වූයේ දීපදුත්තමාරාමයයි. ‘රටගිය මුදියන්සේ’ නමින් ප්‍රකට සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජේසිරිවර්ධන මහා මුදලිතුමන් එවකට ඕලන්ද ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවසරයක් ගෙන තම වලව්වේ විහාරයක් පිහිටුවා ගත්තේ ය. ඔහු මුල් කාලීන ව සීනිගම ධම්මක්ඛන්ධ හිමියන් වැඩමවා ආගමික කටයුතු හා වස් වසවා ගැනීම ආදිය සිදුකළ අතර පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මෙහි ස්ථිර ආරාමයක් ආරම්භ කළහ. උන්වහන්සේගෙන් පසු ව ලෝක පූජිත වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් මෙකී විහාරයේ අධිපතීත්වයට පත්වූහ. උන්වහන්සේ මෙකී විහාරස්ථානයේ වැඩවසමින් සිදුකළ ජාතික, ආගමික මෙහෙවර නිසා ම මෙකී විහාරස්ථානය දෙස් විදෙස් සුපතල බෞද්ධ ආයතනයක් බවට පත් විය. පංච මහා වාදයට හා එකල බෞද්ධ ප්‍රබෝධයට මූලික වූ මූලස්ථානය, බෞද්ධ කොඩිය ප්‍රථම වරට ගුවනට එස වූ හා වෙසක් පොහොය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළ පින්බිම ලෙස මෙරට බොදු ජනතාවගේ හදවත් වල සදා නොමැකෙන මතකයක් දීපදුත්තමාරාමය පිළිබඳව සටහන්ව තිබේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගෙන් පසු ව උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා ඇතුළුව මෙම විහාරස්ථානය පවරා දී තිබුණේ ගුණානන්ද නාහිමියන්ගේ ජාතික මෙහෙවරට තම ඥාන ශක්තියෙන් සහය දැක්වූ උන්වහන්සේගේ සමීප යතිවරයකු වූ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට ය. ගුණානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියන් අකාලේ අපවත් වූ බැවින් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් විසින් තමන් යටතේ වස්කඩුව විහාරයේ පැවිදි වූ සියම් ජාතික රජ කුමරුවකු වූ පී.සී. ජිනවරංශ හිමියන් (Prince Prisdang Chumsai) හට මෙකී විහාරස්ථානය පවරා දෙනු ලැබීය.
උන්වහන්සේගේ යුගයේ දී ලෝකප්‍රකට රත්න චෛත්‍යය මේ විහාරස්ථානයේ ඉදි කළ අතර මෙම චෛත්‍යයේ තැන්පත් කරන ලද්දේ පූර්වයෙන් සඳහන් කළ කපිලවස්තුවෙන් රාජගුරු ශ්‍රී සුභූති හිමියන්ට ලද ධාතුන් වහන්සේලාගෙන් එක් නමකි. ගුණානන්ද නාහිමියන්ගේ ශ්‍රී නාමය වෙනුවෙන් කුමාර හිමියන් විසින් ‘ගුණානන්ද විද්‍යාලය’ බිහි කිරීම ද වැදගත් කාරණයකි. මුන්වහන්සේගෙන් පසුව මාදම්පිටියේ ජිනානන්ද නාහිමියන් මෙහි අධිපතීත්වයට පත් වූ අතර උන්වහන්සේ ධර්ම ශාලාව, පුස්තකාලය හා ධාතු මන්දිරය ඇතුළත් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කළ අතර විහාරයේ ප්‍රතිසංස්කරණයක් ද සිදු කළහ. කුමාර නාහිමියන්ගේ ශ්‍රී නාමය වෙනුවෙන් කුමාර විද්‍යාලය ද ආරම්භ කළ මුන්වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරයට ද පත් වූ සේක.
උන්වහන්සේගෙන් පසුව පින්වත්තේ ජිනරතන හිමියන් විහාරාධිපති ධුරයට පත් වූ අතර උන්වහන්සේගේ අකල් අපවත්වීමෙන් අනතුරු ව 1997 වර්ෂයේ දී මෙකී විහාරස්ථානය වර්තමාන අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ධුරන්දර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ භාරකාරත්වයට පත් විය. ගොඩනැගිලි කඩා වැටී ජරාවාස වීතිබූ මේ පින්බිම මුන්වහන්සේගේ අධිපතීත්වය යටතේ මේ වන විට ස්වර්ණමය යුගයකට ළඟා වෙමින් පවතී. කඩා වැටී තිබූ විහාර මන්දිරය හා ධාතු මන්දිරය, ධර්ම ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල මිලියන ගණනක වියදමින් ප්‍රතිසංස්කරණය, රත්න චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට නව බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීම හා තායිලන්ත රජ පවුලේ අනුග්‍රහයෙන් නව කොත්වහන්සේ නමක් පළඳවීම, දාන ශාලාව සහිත දෙස් විදෙස් භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණයට සුදුසු තෙමහල් සංඝාවාසයක් ද ඉදි කිරීම උන්වහන්සේගෙන් මෙතෙක් සිදු වූ සේවාවන්ගෙන් කොටසකි. ඊට අමතරව අප නාහිමියන් බිඳ වැටී තිබුණු ජාත්‍යන්තර සබඳතා නැවත ගොඩ නැංවීය.
ඒ නිසා ම 1997 න් පසු තායිලන්ත රජතුමාගේ දියණියන් දෙදෙනෙකු විහාරස්ථානයට සැපත් විය. (1999 දී චූලාබෝන් කුමරිය, 2013 දී මහාචක්‍රී සිරින්තෝන් කුමරිය) එමෙන් ම හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රා මැතිතුමා මෙන් ම වර්තමාන තායිලන්ත අගමැතිනි යින්ග්ලක් ෂිනවත්‍රා මැතිනිය ද විහාරස්ථානයට සැපත් විය. එමෙන් ම සෑම තායි තානාපතිවරයෙක් ම ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනීමෙන් පසුව ප්‍රථමයෙන් මෙම විහාරස්ථානයට පැමිණීම චාරිත්‍රයක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ පවත්වන රාජකීය තායි කඨින පින්කම වසර ගණනාවක් ම දීපදුත්තමාරාමය මූලික කරගෙන සිදු කර ඇති අතර තායිලන්ත රජ පවුලේ සාමාජිකයන් විහාරස්ථානයට සැපත් වීම සනිටුහන් කරමින් රෝපිත ශාකයන් අදට ද සුරැකි ව ඇත. වර්තමාන විහාරාධිපති මහින්දවංශ මහා නාහිමියෝ අතින් සිදු වූ තවත් උත්කෘෂ්ට සේවාවක් නම් බෞද්ධ පුනරුදය සිදුකළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ පිළිරුවක් කොටහේන නගර මධ්‍යයේ විවෘත වීමයි.
මේ උතුම් කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු දෙනාටම යහපතක් වේවා......!
ජනාධිපතිතුමාගේ ආගමික කටයුතු පිළිබඳ 
සම්බන්ධීකාරක ශාස්ත්‍රපති පණ්ඩිත 
ගලගම ධම්මරංසි හිමි

පඬුවස්නුවර

‘පඬුවස්නුවර’ නමින් වර්තමානයේ හඳුන්වන ඓතිහාසික පුරවරය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ ‘පරාක්‍රමපුරය’ නමිනි.
එහෙත් බහුතර ජනතාවගේ විශ්වාසය වන්නේ පඬුවස්නුවර පඬුවස්දෙව් රජතුමා විසින් ගොඩනංවන ලද ඓතිහාසික පුරවරය බවත් අපගේ වංශ කතාව විචිත්‍රවත් කළ උන්මාද චිත්‍රා කුමරිය සිරකර තැබූ එක්ටැම් ගෙය පිහිටියේ ද මෙපුරවරය තුළ බවත් ය.

එහෙත් අපට ‘බුදුසරණින්’ කතා කිරීමට සිදුව ඇත්තේ පඬුවස්නුවර ඇති ඓතිහාසික සිද්ධස්ථානය ප්‍රමුඛ කර ගනිමිනි. මෙම පුදබිම වෙත යන ගමනේදී හලාවත සිට වාරියපොළ දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 35 ක් පමණ මඟ ගෙවා පඬුවස්නුවරට සමීප විය හැකිය. මෙය කුරුණෑගල දිස්- ත්‍රික්කයේ දේවාහත්පත්තුවේ ගිරාතලාන කෝරළයේ පිහිටා තිබෙයි.
මෙහි ඇති සිද්ධස්ථානයේ පැරැණි බෝධින් වහන්සේ නමක් මෙන්ම ඓතිහාසික ගොඩනැගිල්ලක් මත පැරැණි වාස්තු විද්‍යා සම්ප්‍රදාය ගරු කර ගනිමින් වර්තමානයේ ඉදිකරන ලද ‘දළදා මන්දිරය’ නමින් හඳුන්වන ඉදිකිරීමක්ද දකින්නට ලැබෙයි.
විහාර භූ®මියේ ඇති අනෙකුත් ගොඩනැගිලි අතර ටැම්පිට විහාරය, පැරැණි පොත්ගුල, සංඝාවාසය, අලුත්පොත් ගුල ,නටබුන්, කොරවක්ගල්, ගල්කණු, පියගැටපෙළ ආදියද දැක ගැනීමට ලැබෙයි. ටැම්පිට විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය යුගයේ ගොඩනැංවන ලද්දක් බව කියැවේ. පොත්ගුල සහ සංඝාවාසය පැරැණි වුව ද ඒවා ශතවර්ෂයක පමණ කාලයක් තුළදී ඉදි කරන ලද ඒවා ය.
පඬුවස්නුවර පුරවරයේ ක්‍රමවත් කැණීම් කටයුතු සිදු කරන ලද්දේ 1947 පෙබරවාරි 10 වැනි දින සිට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අධීක්‍ෂණය යටතේය. එතුමා ගවේෂණයන්ගෙන් ලබා ගත් තොරතුරු සාධක මත මෙම සිද්ධස්ථානය හඳුනා ගන්නේ මෙසේ ය.
‘පුරාණ නටබුන් ගොඩනැගිලි මත ඉදිකර ඇති නූතන විහාරයේ බෝමළුවත් ධර්ම ශාලාවත් අතර ඇති ගරා වැටුණු ගොඩනැගිල්ල දළදා මාලිගාව වශයෙන් හඳුන්වනු ලබයි. ශෛලිය අතින් එය දොළොස්වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් බව පෙනේ. නව වැනි හෝ දහවැනි සියවසට අයත් බොහෝ සෙයින් කාලයාගේ පීඩනයට ගොදුරු වූ අකුරු කෙටූගල් කණු ගණනාවක් විහාර භූමියේ ඇත. ඒවා ඇත්තේ මුලින් පිහිටුවන ලද තැන්වලම නොවේ. ගොඩනැගිලිවලින් කැඩී බිඳී ගිය කොටස් ඒ ඒ තැන දමා ඇත.’

ඇතැමෙක් මෙය දේවානම්පියතිස්ස රාජ්‍ය සමය ට අයත් සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වති. මේ යුග පිළිබඳ ගැටලුව කෙසේ වෙතත් මහාචාර්ය පරණවිතානයන් පවසන්නේ
‘ඒ පුරය භික්‍ෂූන් සිය ගණනකගේ වාසය සඳහා ඉදි කරන ලද ආවාස වලින් සමන්විත විහාරාරාම පන්තීන්ගෙන් හොබනේ විය. පඬුවස්නුවර ඇතුළුනුවරට උතුරිනුත් දකුණිනුත් අති විශාල භූ®මි භාගයක් ආරාම ගොඩනැගිලි නටබුන් වලින් වැසී තිබේ. ‘ යනුවෙනුයි.
පඬුවස්නුවර යන නාමය ඈඳි ඇත්තේ ලාංකේය රාජ වංශයේ දෙවැනි රජතුමාගේ නමින් වන නිසා නිතැතින්ම ඒ හා බැඳෙන පුරාවෘත්තය සමඟ මෙහි ඉතිහාස කතාව නිර්මාණය වී තිබේ.
මෙහි රාජ මාලිගය, කොටු පවුර, දිය අගල, චක්‍රවාලය වැනි ගොඩනැගිලි හි ශේෂයන්ද දා ගැබ් කීපයක නටබුන් ද දැක ගැනීමට ලැබෙයි. මේවා ගවේෂණයෙන් තහවුරු කරගත් දත්තයන්ට අනුව මෙහි වූ ඉදිකිරීම් ගොඩ නංවා ඇත්තේ 12 වන සියවසේදි බව තහවුරු කරගෙන තිබෙයි.
මෙම ස්ථානයත් පඬුවස්දෙව් රජතුමාත් අතර සම්බන්ධයක් තිබූ බවට සාහිත්‍ය කෘතීන්ගෙන් වත් සාක්‍ෂි නොලැබෙන බවත් ජන කතාවෙහි එන පඬුවස්දෙව් රජතුමා නුවරක් ඉදිකළ බවක් කියා නැති බවත් සෙනරත් පරණවිතාන පවසයි. මහාවංශයට අනුවද එවැන්නක් සනාථ නොවෙයි. මෙහි ඇති මාලිගය ද කරවා ඇත්තේ 12 වැනි ශත වර්ෂයේදී ය. එතැනින් නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලේඛනයක්ද සොයා ගෙන තිබෙයි. වඩාත් පුළුල්ව ගවේෂණයෙන් කැණීම් කරමින් අවසානයේ පරණවිතානයන් පවසන්නේ ‘නුවරකැලේ’ හෙවත් පඬුවස්නුවර පිහිටා තිබෙන පුරය යථෝක්ත හේතු සාධක අනුව පරාක්‍රමපුරය විය යුතු යැයිද පරාක්‍රමබාහු රජතුමා දක්‍ඛිණ දේශයේ පාලකයාව සිටියදී තම පාලනයේ මධ්‍යස්ථානය මෙහි පිහිටුවා ගත්තේ යැයිද මම නිගමනය කරමි’ යනුවෙනුයි.
(උපුටා ගැනීම – පුරාවිද්‍යා පර්යේෂණ සෙනරත් පරණවිතාන)
දක්ෂිණ දේශයේ පාලකයා බවට පත්වූ පැරකුම් කුමරු දිවයිනේ සෙසු ප්‍රදේශවල වෙනත් රජවරුන් ජයගෙන ලක්දිව එක්සේසත් කරන අදහසින් සිය රාජ්‍යයේ ස්වභාවික සම්පත් යොදා කෘෂිකර්මාන්තය වේගවත් කරමින් වැව් වේලි ප්‍රතිසංස්කරණය කර ආගමික පසුබිමක්ද සහිතව බලගතු යුද සේනාවක් සංවිධානය කිරීමට යුහුසුළු විය. පඬුවස්නුවරට යාබදව අදත් පඬා වැව නමින් හැඳින්වෙන ඉතා විශාල ජලාශයක් ඇත. මෙය ප්‍රතිසංස්කරණය කරවා දකුණේ පරාක්‍රම සමුද්‍රය ලෙස ගොඩනංවන ලද්දේ පරාක්‍රමබාහු රජතුමා බව මහාවංශය කතාවෙන් නිගමනය කළ හැකි වෙයි. මෙම ‘පඬා වැව‘ නිසා මෙපුරවරය ‘පඬා නුරව‘ වී පසුව ‘පඬුවස්නුවර’ ලෙස නම් වූවා ද විය හැකිය. ‘පඬුවස්නුවර’ පුරාවෘතය හා බැඳි යුග ගමනේදි යම් කාල වකවානුවක මෙය වල් බිහිවී තිබී ඇත. ‘නුවරකැලේ’ යැයි මෙය වහරන්නේද ඒ නිසාය. එම වකවානු වලදී කාල විපතින් මෙන්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසු වී මෙහි බොහෝ සැමරුම් විනාශ වී තිබුණි. රජ මාලිගයේ තිබූ කැසිකිලියක අපවිත්‍ර ජලය එක් රැස් වූ වළක්ද නිදන් හොරුන් විසින් හාරා ඇත්තේ නිදන් සෙවීමේ මං මුළා වූ තණ්හාවෙනි. මීට වසර දහසකට පමණ ප්‍රථම එය ක්‍රියාත්මක වූ යුගයේ එම කැසිකිලිවල මහා ධන නිධානයක් යැයි සිතා හැරුවේ නම් නිධන් හොරුන්ට වටනා නිධාන නොමැති තැන හිතේ අමාරුවට බොන්නට වන්නේ මුත්‍රා දියරය. එය එවන් උන්ට දිය යුතු සුදුසුම පානයයි.මෙවැනි අගක් මුලක් නොදත් අමන නිධන් හොරු නිසා අදත් අපගේ වටිනා ජාතික උරුමයන්ට උදා වී ඇත්තේ ඒරාෂ්ඨක අපල කාලයකි.
පඬුවස්නුවර ජන හද අමන්දානන්දයට පත් කරවන ප්‍රබලම ස්මාරකය වන්නේ ජනප්‍රවාදය විසින් පෝෂණය කරනු ලැබූ උන්මාද චිත්‍රාවන් සිරකර තැබූ එක්ටැම්ගෙයයි. මේ පිළිබඳව මහාචාර්ය පරණවිතාන මෙසේ පවසයි.
‘උන්මාද චිත්‍රා පිළිබඳ කතාව ඉතිහාසයට නොව ජනකතා ගණයට වැටෙන්නකි. වෙනත් බොහෝ ජන කතාවල මෙන් සියලු බාධක බිඳලමින් සත්‍ය පේ‍්‍රමය ජයගත් අන්දමත්, ඉරණම වැළැක්විය නොහැකි වූ අන්දමත් ඔප්පු වූ ස්ථානයක් වශයෙන් මෙය හඳුන්වා දුන් විට එයින් සානුකම්පිත හැගීම් බොහෝ නරඹන්නන් සිත් තුළ ජනිතවීම පුදුම නැත. එසේ වුවත් පුරාතනවේදියාගේ කාර්ය වනුයේ මිනිස් අතින් නිමැවු කෘතීන් විධිමත් ලෙස පරීක්‍ෂාකර බලා යටගිය දවස සිදුවු දේ ආවරණය කරලීමය. එක්ටැම් ගෙය පිහිටි තැන ජනකතා අවධියට අයත් පෙම් ජවනිකා මැවුණු ස්ථානයක් බව නොව ලක් ඉතිහාසයේ ඊට වඩා මෑත කාලයක ආගමික හා දේශපාලන සිද්ධීන් සිහි ගන්වන ස්ථානයකි” මෙම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත්තේ උන්මාද චිත්‍රාවන් ජීවත් වූවා යැයි සැළකෙන කාලයට අවුරුදු එක්දහස් පන්සියයක් පමණ පසුව යැයි කිව හැක” (උපුටා ගැනීම – පුරා විද්‍යා පර්යේෂණ - සෙනරත් පරණවිතාන)
එක්ටැම්ගෙය පරණවිතානයන් හඳුන්වා දී ඇත්තේ ‘වලයාකාර කොටුව ’ නොහොත් ‘චක්‍රවාල කොට්ටය’ වශයෙනි. මෙහි ඉදිකිරීම් ද 12 වැනි සියවසට අයත් වෙයි.මෙය රජතුමා විසින් චක්‍රවර්තී විරුදනාමය සංකේතවත් කිරීම වෙනුවෙන් ආශිර්වාද පතා කළ අභිමානවත් සංකේතයක් බව පැවැසේ.
දීඝ ගාමිණි උන්මාද චිත්‍රා පේ‍්‍රම පුරාණය ඉතා ප්‍රබල ලෙස ජන හද බැඳගත් ඉතිහාසගත ජනකතා ප්‍රවෘත්තියක් මතින් ගොඩ නැගුණා විය හැකි ය. අපගේ වංශකතාව විචිත්‍රවත් කළ මේ ආදර වෘත්තාන්තයට පවතින්නට භූමියක් සැබැවින්ම තිබෙනවා දකින්නට අප කැමතිය. එම කැමැත්ත පඬුවස්නුවර හා බැඳෙන දීඝ ගාමිණී චිත්‍රා කතාව සමගින් පවතින්නට ඉඩ හරිනවා හැරෙන්නට ඉන් බැහැරවීමට අපේ සිත් අපට ඉඩ නොදෙන්නේ පාරම්පරිකව සිත කිඳා බැසගත් කියවීමක් සහිත යුගයක ලස්සන මැකී යනවා දකින්නට අප අකමැති නිසා ය. ඒ කෙසේ වුවත් රාජ තේජසින් අභිමානවත් වූ පඬුවස්නුවර පුරවරය ප්‍රේම වෘත්තාන්තය හා ආන්දෝලනාත්මක සංසිද්ධීන් මධ්‍යයේ සපැමිණ අදත් ගවේෂණයන් අත් නොහරිමින් ක්‍රියාත්මකව පවතියි. සෙනරත් පරණවිතානයන්ට සොයා ගැනීමට නොහැකි වූ උන්මාද චිත්‍රා දීඝ ගාමිණී පේ‍්‍රම වෘත්තාන්තය සැබෑවක් නම් වසර දෙදහස් ගණනකට පසුව හෙට හෝ මතු දිනක හෝ මේ සදාදරණීය පේ‍්‍රමවන්තයින් අපට හමුවනු ඇත. එය කෙසේ වෙතත් රජතුමා රට එකසේසත් කිරීමට යන ගමනේදි භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය අත්‍යාවශ්‍ය කරුණක් වූ බව පෙනේ. රාජ්‍යත්වය හා ආගමික සුසංයෝගයේ ප්‍රබලත්වය ඓතිහාසික පඬුවස්නුවර පුරවරයෙන් ද දැක ගැනීමට ලැබෙන්නේ ඒ නිසාය.
ජනක වෙත්තසිංහ

මහ වන මෑද හුදකලා වූ බුදුරුවගල

මහ වන මෑද හුදකලා වූ බුදුරුවගල.....
වෑල්ලවාය තිස්සමහාරාම මාර්ගයේ කිලෝ මීටර් 4 ක් පමණ ගියවිට හමුවන පාසැල අසලින් වමට විහිදී ඈති වනගත පාරේ තවත කිලො මීටර 4 ක් පමණ ගියවිට මෙම ස්ථානය කරා ලගාවිය හෑකිය.

අලියෙකු දනගසා සිටින අයුරින් ඈතට දිස්වෙන ගල් පර්වතයක් මත ක්‍රි.ව. 7-10 සියවස්වල ඉදිකරනු ලෑබ ඇතැයි සැලකෙන පිලිම 7 ක් මෙහි දක්නට ලැබෙයි. මධ්‍යයේ ඈති බුදුපිලිම වහන්සේ අභය මුද්‍රාව නිරූපනය කරනු ලබයි. මෙය උසින් අඩි51 ක් පමණ වන බැවින් ලන්කාවේ නෙලා ඈති වැඩිම උසකින් යුත් බුදු පිලිමය ලෙස සලකනු ලබයි.

දකුනුපස ඇති රූපයන් අවලෝකිතේශ්වර බෝසත් රුව, තාරා දෙවගන හා සුදන කුමරු මූර්තිමත් කර ඈත . වම් පසින් මෙයිත්‍රී බෝසතානන්, වජ්‍රපානී බොධිසත්වයන් සහ නිසියාකාරව හදුනානොගත් රූපයක් දක්නට ලෑබෙයි.

අලි ඈතුන් ගෑවසෙන මහ වනයක් මෑද හුදකලාව පිහිටා ඇති හෙයින් මෑතක් වනතුරුම පිවිසීමට අපහසු දුෂ්කර ස්ථානයක්ව පෑවතියත් මේ වනවිට වාහනයකින් පහසුවෙන් මෙහි ලගාවීමට පුලුවන.

මහේන්ද්‍ර විජේසූරිය,

දළදා හාමුදුරුවන්ට කුරුඳු පූජා කරන්නේ මෙහෙමයි!


ජීවමාන බුදුන්ට පූජාවක්‌ පවත්වනවාය කියන්නේ සුළුකොට තැකිය හැක්‌කක්‌ නොවේ. 

ජාති, ආගම්, කුලභේද, වර්ග, වර්ණ කිසිදු භේදයකින් තොරව මිනිස්‌සු විවිධ දාන මාන පිංකම් කරති. අබැටකින් පිදූවද, මහාමේරූ පර්වත සේ විශාලත්වයෙන් පිදූවද යහපත් සිතිවිල්ලෙන් නම් දානය මහානුභාව සම්පන්නය. 

එසේ මහානුභාව සම්පන්න දානමය පිංකමකි දළදා හිමියන් වෙත පිදෙන කුරුඳු පිංකම.

ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටින්නේ යෑයි සැලකෙන මහනුවර දළදා මැදුරේ වැඩ සිsටින දන්ත ධාතූන් වහන්සේ වෙත වසරක්‌ වසරක්‌ පාසා සුපිරිසිදු කුරුඳු ඖෂධයෙන් පුද පූජා පැවැත්වෙන්නේ සසීස්‌ පී. වැදිගේ මහතාගේ සුරතිනි. 

පූජාව පැවැත්වෙන්නේ වන්නිලෑ ඇත්තන්ගේ මී පැණි පූජාවට සමගාමීවය. එදිනම ඒ මොහොතේදීම පූජාව සිදු කෙරෙනුයේ දැනට වසර පහළොවක සිටය. 

"දළදා හිමියන්ගේ දිනපතා හීල් දානයට, දහවල් දානයට ගිලන්පසට එක්‌කාසු කිරීමට මගේ අතින්ම පිරිසිදු කෙරෙන කුරුඳු කාලයක්‌ සිට මා මුළුතැන්ගෙට පූජා කළා. ඖෂධීය ගුණයෙන් සපිරි කුරුඳු උත්සවශ්‍රීයෙන් දළදා හිමියන් අභිමුවට පූජා කිරීමට මට මහත් ආශාවක්‌ ඇති වුණා. අවුරුද්දක්‌ පුරා කුරුඳු තලන, අපේම දෑතෙන් පිරිසිදුව සැකසෙන කුරුඳු බේලයක්‌ බුදුන්ට පුදන්නට බැරිනම් අපි මිනිස්‌සුද කියලා මට හිතුණා. ඒ අනුව නායක හාමුදුරුවන්ගෙන් සහ දියවඩන නිලමේගේ අවසරයෙන් එදා සිට අදටත් මම කුරුඳු පූජා කරනවා."

සසීස්‌ පී. වැදිගේ ජීවත් වන්නේ බටපොල අම්බලන්ගොඩය. ඔහුගේ පියා වැදිගේ යසරත්නය. ඔහුගේ සීයා වැදිගේ අමදෝරිස්‌ය. මේ පරම්පරාවම කුරුඳු තලලා සුද්ද කරලා වෙළෙ¹ම් කරනවා පමණක්‌ නොවේ අක්‌කර ගණනක කුරුඳු වගා කරන්නෝය. 

කැෂියා, සිනමොන් ආදී වර්ග කිහිපයක්‌ අතරේ සැකසුණද කුරුඳු ප්‍රණීත පානයක්‌ සේම, මිහිරි අනුපානයකි. තිත්ත රස පැණි රස මුසුව අතිශය සුගන්ධයකින් හෙබි කුරුඳු රසකාරයක්‌ වශයෙන් යොදා ගනුයේ ආහාරපානවල සපිරි ගුණාත්මක සංඝටක මනුෂ්‍ය ශරීරයේ රුධිරයට මුසු කිරීමට උරා ගැනීමට ප්‍රබල පිටිවහලක්‌ ලබා දෙන්නට සමත් හෙයිනි. එය මිනිස්‌ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. 

එවන් ඖෂධයක්‌ පූජා පිණිස වෙන් කිරීමෙන් ලැබෙන කුසලය මහානුභාව සම්පන්නමය. 

වැදිගේ පූජාව පවත්වන්නේ බැති සිතින්මයි. හේ බුදු පුදට වෙන්කරන කුරුඳු දණ්‌ඩ කපන්නේද සුදු පිරුවටින් සැරසීගෙන මුකවාඩම් හිස්‌වැසුම් ජටා බැඳගෙනය. දෑත් දෙපා පිරිසිදු කරන්නේද කහ වතුරිනි. 

කුරුඳු දණ්‌ඩ සෝදා දියබේරා ඔකැත්ත (පිට පොත්ත) සූරා දමයි. පිත්තල පොල්ලකින් වටට තදින් තලා තුඩගකින් කැපුමක්‌ යොදා කුරුඳු පොත්ත පිට ගලවයි. එහිදී කොටසක්‌ හෝ ඇබින්දක්‌ හෝ බිම පතිත වුවහොත් ඒවා එසැණින්ම අහකට දමයි. "ඒවා බුදු පුදට අකැපය" ලෙස පවසන්නේ සසීස්‌ ය. 

අතිශය පිරිසිදුව සකසා ගන්නා කුරුඳු බේල් දළදා අභිමුව පූජාවටත්, මුළුතැන්ගෙයි පරිහරණය පිණිස වසරක්‌ පුරාවට අවැසි ප්‍රමාණයක්‌ වෙන් වෙන්ව සකසා කත් බැඳ පූජාව පිණිස ගෙන යයි. සැබැවින් එය උත්තම පූජාවකි. 

මිහිපිට වෙසෙන්නෝ දානමය පිංකම් පවත්වන්නේ කුසල් රැස්‌කිරීමේ අභිමථාර්ථයෙනි. වත්මන නම් බොහෝ උදවිය ඇඳිවත ද උකසට තබා ලෝකයා මවිත කරන්නට දානමාන මහා පිංකම් කරති. 

ඒ අතරේ තමන්ගේ ඩහදිය ශ්‍රමය කැපකොට නෙලන අස්‌වනු භක්‌තිවන්තව පේකොට පූජා කරන මෙවන් පුද්ගලයන් පැසසිය යුතුය.

දළදා පුද වෙනුවෙන් පූජා පිණිස වසරක්‌ පාසා වෙන්කරන "කුරුඳු කොටහ" උදෙසා පාරම්පරික උරුමයෙන් ආ කුරුඳු භෝග සහිත ඉඩමක්‌ වෙන්කොට තැබීමටත් ඔහුගෙන් පසුව ජීවත්ව සිටින ඊළඟ පරම්පරාව හරහා "කුරුඳු දානය" පවත්වාගෙන යැමටත් ඔහු කටයුතු සම්පාදනය කොට තිබේ.

එය උතුම් පුණ්‍ය ක්‍රියාවක්‌ සේම මනුස්‌ස්‌යෝත්පත්තියේ අපූර්වතම පැතිකඩක්‌ සේ දැකිය හැකිය. 

උපේක්‍ෂා වීරසේකර
2013 සැප්තැම්බර් 22 ඉරිදා දිවයින

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල


විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නාහිමියන්.
ගැටබරු රජ මහා විහාරස්ථානය
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී  ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.
මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී.
කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වේ.

කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ  ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැනක්’ ලෙස ද ප‍්‍රකටය.
දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කරුට දැකගත හැකි වූයේ ගල් ලෙනෙහි සිටින දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමයි.

ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායක හා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කරඬුව භාර දෙමින්...

එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය අපරිමිතය.
80 දශකයේ දී අභාවප‍්‍රාප්ත වූ මාතර දිස්ත‍්‍රික් අමාත්‍ය කීර්ති අබේවික‍්‍රම මහතා ද සුවිශේෂී මෙහෙවරක් මේ පූජා භූමියේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කර තිබේ. ඉන් පසු වර්තමානයේ ගැටබරු රජ මහ විහාරස්ථ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක නිරතව සිටින්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතායි. ඔහු ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි. මේ පූජා භූමියේ යටිතල පහසුකම් දියුණු කිරීම, පෙරහරේ සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා අනන්‍යතාව ප‍්‍රවර්ධනය කිරීම හා ගැටබරු පූජෝත්සවය සඳහා රුපියල් දෙකෝටියක ස්ථාවර අරමුදලක් ඇති කිරීම කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ මූලික ඉලක්කය වී තිබේ. ඔහු ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගනිමින් දැනටමත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.

ඓතිහාසික ගැටබරු රජ මහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි මංගල්‍යය අද (15) සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වේ. පළමු පේළි පෙරහර අද (15) සවස 2.00ට හිගුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ. දෙවැනි පේළි පෙරහර හෙට (16* සවස 2.00 වරල්ල උත්තරගිරි විහාරයෙන් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා ද තෙවැනි පේළි පෙරහර අනිද්දා (17) සවස 2.00 කොස්මෝදර සුබෝධා රාමයෙන් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා ද වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී හිගුරුපනාගල තේ සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ. දෙවැනි රන්දෝලි මහා පෙරහර ලබන 19 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී ගල්දොල මංසන්ධිය දක්වා ගොස් නැවතත් ගැටබරුව වෙත ගෙවදීමට නියමිතය. අලි ඇතුන් සහිතව උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර මංගල්‍යය අලංකාර වෙයි. එහි බස්නායක නිලමේවරයා ලෙස කිංස්ලි ලියනගේ මහතා කටයුතු කරයි.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චි ආඥාපති ආරක්ෂක මූලස්ථානය ඉදි කළ සම්බුද්ධ චරිතය රැගත් ඇසළ මහා තොරණ ද පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය පුරාවට ප‍්‍රදර්ශනය කෙරේ.මෙවර උත්සවයේ දේව තොවිලය ලබන 20 හා 21 යන දෙදින උඩමළුවේදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දින අලූයම ගිනි පෑගීමට ද නියමිතය. එදින දහවල් පැවැත්වෙන මහා දේව දානයෙන් අනතුරුව මෙවර ගැටබරු ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ. විශේෂයෙන්ම බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මොරවක් කෝරළයට පැමිණීමට නියමිතව ඇත.

ගැටබරු කන්දේ පඩි එකින් එක උඩට නැග යාම තරමක් දුෂ්කර බව බැලූ බැල්මට පෙනෙන්නට විය. මම ඒ පිළිබඳව ඒ අසල සිටි ගම්වාසියකුගෙන් විමසුවෙමි. එවිට ඔහු කීවේ ‘‘මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. ඔබතුමා බය නැතිව උඩට යන්න. කකුල් දෙක රිදෙන්නේ නැහැ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තියෙන් උඩට යන්න පුළුවන්’’ කියාය.
ඒ අනුව මා දේව භක්තිය මුල් කරගෙන මිතුරකු සමඟ ගැටබරු කන්ද උඩට නගිමින් සිටියේය. මා සමඟ ගිය මිතුරා අවට කැළෑවේ වෙන දේවල්, නිධන් වස්තු ගැන කට මැත දොඩවමින් කියන විට සංඝාවාසය වැඩ හිඳිනා මාලිගය, රජ්ජුරු බණ්ඩාර දේවාලය, විෂ්ණු කතරගම දේවාල හා චෛත්‍ය වැඳ පුදාගෙන අප නැවතත් පහළට බැස්සේය.
ගැටබරු දේවාල භූමියේ පඩිපෙළේ පහළටම එන විට මා සමඟ කට මැත දොඩවමින් ගිය මිතුරාගේ කකුල පෙරළී ආබාධිත තත්ත්වයට පත් විය. අවසානයේ ඔහුගේ උරහිසින් අල්ලා නිවස වෙත එක්කරගෙන යාමට සිදු විය. එම අවස්ථාවේදී මෙම දේව අඩවියේ බලය කොපමණ දැයි මනාව පැහැදිලි විය.
ඉන් පසු දින වන විට මාගේ කකුල් දෙක ද රිදෙන්න ඉඩ ඇතැයි සිතුවත් එය එසේ නොවීය. සුළු හෝ රිදීමක් ඇති නොවීය. එහෙත් වෙනත් කන්දක් උස් ස්ථානයකට ඒ ආකාරයට ගියේ නම් පහුවදා වන විට කකුල් දෙකට යම් වේදනාවක් ඇති වේ. එහිදී කිසිදු වේදනාවක් ඇති නොවීමෙන්ද පෙනී ගියේ ගැටබරු දෙවියන්ගේ භක්තිය කොපමණ ද කියාය.

ඒ ආකාරයට මුළු මහත් මොරවක් කෝරළය පුරා බලය තේජස විහිදුවන ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තිය මෙපමණයි කියා විස්තර කළ නොහැකිය. ඒ තරමටම දෙවියන් බලගතුය. හොඳට හිටියොත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් ආශිර්වාද කරන අතර නරකට හිටියොත් දඬුවමක් මිස සමාවක් ලබා නොදෙයි. ඒ ගැටබරු දෙවියන් යුක්තිය ඉටු කරන අයුරු ය.
(විශේෂ ස්තූතිය - ගැටබරු ඇසළ උත්සව සංවිධායක කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ මහතාට.)
2013 සැප්තැම්බර් මස 15 | ලංකාදීප කර්තෘ මණ්ඩලය