උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ශ්‍රී දළදා මාලිගාවේ සිව් මහා මංගල්‍යය

අස්ගිරි මහාවිහාර පිරිවෙනේ ආචාර්ය මල්වතු මහා විහාරවාසී

ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි

ශ්‍රී ලාංකික ජනසමාජය වෙනස් කළ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය තුනකි. ඉන් පළමු වැන්න සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පණිවුඩය රැගත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයයි. එය මහින්දාගමනය ලෙස අපි කවුරුත් හඳුන්වන්නෙමු. එයින් සිංහල ජන සමාජයට නිර්මල දහමක් මෙන්ම නව සංස්කෘතියක් ද එක්විය. දෙවැන්න සඟමිත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන ආ ලංකා ගමනයයි. එය දුමින්දාගමනය ලෙස හඳුන්වන්නෙමු. එයින් අප සංස්කෘතියට මෙන්ම සමාජයට විවිධ අංශ එකතුවෙමින් ඒ හා බැඳුන නව සංස්කෘතියක් මෙන්ම ක්‍රමිකව හැඩගැසුණු ආගමික පරිසරයක්ද නිර්මාණය විය.තෙවැන්න දන්ත කුමරු හා හේමමාලා කුමරිය සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ රැගෙන ලංකාවට පැමිණීමයි. එය දළදාගමනය ලෙස අපි හඳුන්වන්නෙමු. එහි බලපෑම කෙතරම් ද යත්, දළදා වහන්සේගේ හිමිකාරිත්වය ශ්‍රී ලාංකීය රාජ්‍යත්වයේ සංකේතය බවට පත්විය.
මෙම ලංකාගමනයන් ත්‍රිත්වයම සිදු වූයේ භාරත දේශයේ සිටය. එබැවින් අපේ සංස්කෘතිය හැඩගැසුනේ භාරත සංස්කෘතිය ගුරු තැන්හි තබාගෙනය. අප සංස්කෘතිය සංවර්ධනයෙහිලා මෙම ආගමන ත්‍රිත්වයෙන් ලැබුණු පිටුබලය ඉමහත්ය. අපේ සංස්කෘතිය අපේ සාහිත්‍ය, අපේ කලාව යන මේ සියල්ලම ආගමත් සමඟ බද්ධ වී ඇත්තේ මේ නිසාය. මහින්දාගමනයෙන් අපි නිර්මල බුදුදහමේ කොටස්කරුවන් වු අතර දුමින්දාගමනයෙන් මෙන්ම දළදාගමනයෙන් ද අපට විශේෂ වූ සංස්කෘතියක් මෙන්ම සාහිත්‍යයක්ද ගොඩනැඟිනි. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ එම සංස්කෘතිය හෝ සාහිත්‍ය ගැන සාකච්ඡා කිරීම නොව වර්තමානය වන විට ශ්‍රී දළදා වහන්සේ හා සබැඳිව දළදා සංස්කෘතියට එක් වූ දළදා මාළිගාවේ පැවැත්වෙන සිව් මහා මංගල්‍යයන් පිළිබඳ විමසා බැලීමක් සිදුකිරීමටයි.
ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා ශ්‍රීමත් දළදා වහන්සේ මුල් කරගමිනින් සිදුකරන විවිධ පුද චාරිත්‍රයන් මෙන්ම මංගල්‍යයන් ද අප සංස්කෘතියට දායාද වී ඇත. ඒ අනුව ශ්‍රීමත් දළදා වහන්සේ මුල් කරගනිමින් වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රධාන මංගල්‍යය හතරක් වෙයි. ඒවා මෙසේය.
01. අලුත් සහල් මංගල්‍යය 
02.අලුත් අවුරුදු මංගල්‍යය 
03. කාර්තික මංගල්‍යය හා 
04. පෙරහර මංගල්‍යය යනුවෙනි.

අලුත් සහල් මංගල්‍යය
නරේන්ද්‍රසිංහ රජතුමා ගුරුදෙණියේ කෙත අස්වද්දවා අස්වැන්න ලබාගෙන පළමුවරට අලුත් සහල් මංගල්‍යය නමින් මෙම උත්සවය ආරම්භ කොට ඇත. දළදා මාලිගාවේ සහ දේවාලවල මූලාදෑනිහු අලුත් සහල් මංගල්‍යයට පෙරදා සවස ගුරුදෙණියේ දේවාලය ළඟට අලි ඇතුන් සහිත පෙරහරකින් නික්ම යති. පෙරහර ළඟාවන විට වී සහල් සූදානම් කොට තැබීම සිරිතය. දළදා මාලිගාවේ සහ දේවාලවලට මුලාදෑනින්ට එහි දී කෑමබීම වලින් සංග්‍රහ කරනු ලැබේ. ඊට පසු ගෝනිවලට වි පුරවා අලි ඇතුන් සහිත පෙරහරින් මහනුවර නාථ දේවාලයට ගෙන එනු ලැබේ. අවට ඇති විහාරවලින් හා දේවාලවලින් නාථ දේවාලයට හේම කත් යැවේ. පසුව එහි දී කියවනු ලබන නම් ලැයිස්තුවකට අනුව වී සහල් බෙදාදීම සිදු කෙරේ.
ප්‍රථමයෙන් දළදා මාලිගාවේ කිරිබඩ පාත්‍රයට සේරු 80 ක් වෙන් කෙරේ. ඉන් පසු තේවකාරක භික්ෂූන්ටත්, උභය විහාරයටත්, සතර දේවාලයටත් පිළිවෙලින් නියමිත කොටස් බෙදා වෙන් කරයි. අස්ගිරි විහාරයට ලැබෙන කොටසින් ආදාහන මළුවටත් අලුත් විහාරයටත් පංගු බෙදාදීම සිරිතකි. ඒ හැර මහනුවර අවට ඇති සුදුහුම්පොළ ,නිත්තවෙල,ඇඹල, ගංගාරාමය,අම්පිටිය යනාදි පුරාණ විහාරවලටද කොටස් බෙදා දෙයි.
දළදා මාලිගාවේ කිරිබඩ පාත්‍රයට වෙන් කෙරෙන හාල්වලින් කිරිබත් උයා කිරිබඩ පාත්‍රය පුරවති. මෙය බුදුරජාණන් වහන්සේගේ, මහාසංඝයාත් අරභයා රජු විසින් කරන ලද පූජාවක් හැටියට සැලකේ. අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබන්නේ රජු විසින් ලංකාවේ සියලු සිද්ධස්ථානවලට කරන ලද පරිත්‍යාග සිහිපත් කිරීමක් වශයෙනි. ඉහත ලැයිස්තුවේ නම් සඳහන් සිද්ධස්ථානයකින් යමෙකු පැමිණ නොසිටියහොත් එම කොටස හිමිවන්නේ දළදා මාලිගාවටය. මෙම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබන්නේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේය.
අලුත් අවුරුදු මංගල්‍යය
රජවාසල සේවයේ නියුක්තව සිටි නැකැත් මොහොට්ටාල දළදා මාලිගාවේද රාජකාරි කටයුතු කරයි. එබැවින් වාර්ෂිකව උත්සව සතර පැවැත්වීමට සුදුසු සුබ වේලා සහ ඒ හා සබැඳි වෙනත් සියලු කාර්යයන් කළ යුතු සුබ නැකැත් නියම කිරීම ඔහුගේ කාර්යයයි. මේනිසා ඔහු දළදා මාලිගාවේ නැකැත්කරුවා ලෙස හඳුන්වයි. අලුත් අවුරුදු දවසේ බුද්ධ පූජාව කළ යුතු සුබ වේලාවන් නියම කිරීමද මේ මොහොට්ටාල සතු කාර්යයකි. ඔහු විසින් නියම කරනු ලබන වේලාව අනුව බුද්ධ පූජාව පැවැත්වීම සිංහල අවුරුදු දා දක්නට ලැබෙන විශේෂත්වයකි. ඒ නිසා සාමාන්‍ය දිනයන් හි තේවාකරන වේලාවට වඩා සුළු වෙනසක් සිංහල අවුරුදු දා සිදුවෙයි. ලිප් ගිනි මෙළවීම, කිරිබත් පිසීම, කණ්ඨස්නානය කිරීම වැනි විශේෂ පූජා සමුදායක් මේ යටතේ සිදු කරනු ලබයි. අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව විශේෂයෙන් සැරසීම ද චිරාගත චාරිත්‍රයකි.
කාර්තික මංගල්‍යය
නොවැම්බර් මසට යෙදෙන ඉල් පොහෝ දින කාර්තික මංගල්‍යය පවත්වනු ලැබේ. කාර්තික යනු ඉල්මසට නමකි. මෙනමින් කඳ කුමරුද හඳුන්වන නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් මෙම මංගල්‍යය සිදු කරනු ඇතැයි සමහරු විශ්වාස කරති. කෙසේ වෙතත් ඉන්දියානු සංස්කෘතියේද මෙම කාර්තික උත්සවය දක්නට ලැබේ. ඒ අනුව බලන විට ඈත සමයක පටන්ම කාර්තික උත්සවය ලාංකිකයන් විසිනුදු අනුගමනය කර ඇතැයි සිතිය හැක.
මේ උත්සවයේදී පුරාණ විහාරවලින් නියෝජිතයෝ නාථ දේවාලයට රැස්වෙති. නාථ දේවාලයේදී පිළියෙළ කරන ලද ලැයිස්තුවක් අනුව එසේ රැස්වූවන්ට එක් එක් විහාරයකට තෙල් නැළිය බැගින් ලැබෙන සේ තෙල් බෙදාදීම සිදු කෙරේ. මේ තෙල් නාථ දේවාලයට සපයන්නේ ශ්‍රී දළදා මාලිගාවෙනි. තෙල් ලබාගත් අය පෙරහර පවත්වා ඒ තෙල් තමතමන්ගේ ස්ථානවලට ගෙන ගොස් රජු වෙනුවෙන් පහන් පූජා කළ යුතුය. උත්සව දිනයේ දී ශ්‍රී දළදා මාලිගයත් අස්ගිරියේ අලුත් විහාරය හා ගෙඩිගේ විහාරයත් කාර්තික පූජෝත්සවයට සහභාගි වන අනෙක් විහාරස්ථානත් සැරසිය යුතුවේ. එදින දළදා මාලිගාවේ කරඬුව වැඩමවන පෙරහරත් දේවාල පෙරහරත් වීථි සංචාරය කරයි. අනෙක් මංගල්‍යයන්ට වඩා මෙහි ඇති විශේෂත්වය නම් පෙරහර පැවැත්වීමයි.
පෙරහර මංගල්‍යය
මේ සිව් මහා මංගල්‍යයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත් මෙන්ම විශාලම මංගල්‍යය වන්නේ පෙරහර මංගල්‍යය හෙවත් ඇසළ මංගල්‍යයයි. මෙය ශි‍්‍රමත් දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන පූජා චාරිත්‍ර අතර සුවිශේෂි තැනැක් ගනී. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටි ප්‍රාග් බෞද්ධ වැසියෝ නිසිකලට වැසි ඵල ලබා ගැනීමේ අටියෙන් අව්වැසි ආදිය දේවත්වයෙන් සළකා නොයෙක් පූජාවන් පැවැත්වීමට පුරුදු වී සිටියහ. බුදුදහම මෙරටට හඳුන්වා දීමත් සමඟ එකී ප්‍රාථමික විශ්වාස බුදු දහම සමඟ මිශ්‍ර වී විකාශනය වී ගිය බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ මෙරටට වැඩම වීමත් සමඟ දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව තුළින් නිසිකල වැසි ඵල ලබා සිය ගොවිතැන් බත් කටයුතු සාර්ථක කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ. අතීතයේ සිටි පැරැණ්නෝ ඇසළ මාසය දෙවියන් උදෙසා කැප කළ මාසයක් සේ සැලකූහ. දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබනු වස් ඇසළ මාසය තුළ පෙරහර පැවැත්වීමට ඔවුහු උත්සුක වූහ. මහනුවර රාජධානි සමය වන විට දේවාල පෙරහරට පමණක් සීමාවී තිබූ මෙම ඇසළ පෙරහර ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම සඳහා සියම් රටින් මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන්ගේ සහ උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ගේ මග පෙන්වීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහර ද ඊට එකතු කොට වර්තමාන පෙරහර සමාරම්භ කළ බව පිළිගැනේ. සතර දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් වර්තමාන පෙරහරේ සමාරම්භය සිදුවන අතර දින 05 ක් කුඹල් පෙරහර ද දින 05 ක් රන්දෝලි පෙරහරද පවත්වා දිය කැපීමේ මංගල්‍යයෙන් මෙකි ඇසළ පෙරහර නිමාවට පත්වේ.
මේ අන්දමට දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ පටන්ම දළදා වහන්සේ උදෙසා ආරම්භ වූ මෙකි පුද පූජා විධි අද දක්වාම නොනැසි පැවතීම මෙහිලා දැකිය හැකි විශේෂත්වයයි. දළදා වහන්සේගේ වත්මන් භාරකත්වය දරන උභය මහා විහාරයේ අතිපුජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමත් දියවඩන නිලමේතුමාත් එමෙන්ම අඛණ්ඩව සේවා කටයුතුවල නියැලෙන (මුර මාරු ක්‍රමයට) උභය මහා විහාරය මහා සංඝ රත්නයත් උත්සුක වන්නේ මෙම පෞරාණික චාරිත්‍ර විධින් ආරක්ෂා කර ගනිමින් එදා රාජකීයයන් විසින් දළදා වහන්සේ උදෙසා ඇති කළ මෙම පුජා විධින් මතුවටත් ආරක්ෂාකර තැබීමටයි.