උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව


විවිධ පෘෂ්ට


හෙළ බොදු සිතුවම් විවිධ තල නොහොත් පෘෂ්ට මත ඇඳ තිබේ. ගල්තලා හැරුනු විට විහාර මෙන්ම ආරණ්‍ය බිත්ති සහ වියන් පුරා කලාත්මක බොදු සිතුවම් නිමකර තිබේ. මේ හැර දොර ජනෙල් කුලූනු සහ වෙනත් දැව තල මතුපිට ද පිළිම සහ මකර තොරණ වැනි වෙනත් විහාරාශ‍්‍රිත ත‍්‍රිමාන ලක්‍ෂණ මත ද වර්ණ රේඛා මගින් විචිත‍්‍රවත් කර ඇත. දළදා මාලිගයේ හේවිසි මන්දිරයේ ඇති දැව තලයන්හි සිතුවම් සුන්දරත්වයෙන් ඉතා උසස් වූ කලා නිර්මාණ වේ. අස්ගිරි විහාරයේ දැකුම්කලූ මෝස්තරයන්ගෙන් අලංකාර කර ඇති දැව රාජ්‍ය ආසනය ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී බිහිවූවකි. වර්ණවත් ලෙස මෝස්තරයෙන් නිමකර ඇති මහනුවර කාලයේ දෝලාවක් රත්නපුර කෞතුකාගාරයේ ඇත. දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමයේ දැව තල මත දැකුම්කලූ ආකාරයට චිත‍්‍රගත කර තිබේ. මේ හැර, පුස්කොළ පොත්හි දැව කවර මනස්කාන්ත මෝස්තර සිතුවමින් අලංකාර කර ඇත. මේවා විශේෂයෙන් දඹදෙනිය, කෝට්ටේ, මහනුවර රාජධානී ආශ‍්‍රිත කාලයේ දී පුළුල් ලෙස බිහිවිය. සමහර දැවතල මත විශේෂයෙන් වියන් තලයන්හි මැටි බදාම යොදා ඒ මත අලංකාර සිතුවම් ඇඳ තිබේ.
දැවතල මත ඇඳි වර්ණවත් විසිතුරු වූ මෝස්තර සිතුවම් සැලකීමේ දී දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මාතර හිත්තැටිය රජමහා විහාරය වැනි විහාර කිහිපයක දැකිය හැකි පිරිත් මණ්ඩප සහ පෙට්ටගම් විශේෂ සැළකිල්ලට යොමුවිය යුතුවේ. මනස්කාන්ත මෝස්තර සිතුවමින් සැරසුණු මෙම පිරිත් මණ්ඩප සම්ප‍්‍රදාය දකුණටම සීමාවූ එකක් බව පෙනේ. මේ හැර පැතිකඩ නමින් හඳුන්වනු ලබන රෙදිමත ඇඳි විසිතුරු සිතුවම් ද වේ. ඉතා පැරණි කාලයක සිට පැතිකඩ සිතුවම් අඳිනු ලැබූ බවට ලිඛිත සාක්‍ෂි තිබේ. සමහර විහාරයන්හි බිත්ති බදාම කිහිපයක් දැකිය හැක. එක් කාලයක දී ඇඳි චිත‍්‍ර රැගත් තලය මත පසු කලක දී නව බදාම යොදා නව චිත‍්‍ර නගා ඇති ආකාරය සමහර පැරණි විහාරයන්හි දැකිය හැකිය. දඹුල්ල, හිඳහල හා දළදා මැදුරේ චිත‍්‍ර රැගත් බිත්ති තල ගණනාවක් ඇත. විවිධාකාර මැටි බඳුන් පැරණි කාලයේ සිට රජ මැදුරු, විහාර ආරාම සහ ප‍්‍රභූන් භාවිත කරනු ලැබීය. මේවා බොහෝවිට විචිත‍්‍රවත් වූ වර්ණ මෝස්තරයන්ගෙන් අලංකාර කර තිබිණි. පරසතුරු උවදුරුවලට ලක්වීම නිසා මෙම මැටි බඳුන් බොහෝ සෙයින් විනාශයට ගොදුරු විය. මහනුවර රාජධානි කාලයට අයත් ඉතා මනරම් වූ මෝස්තරයන්ගෙන් හෙබි මැටි බඳුන් ගණනාවක් මහනුවර කෞතුකාගාරයේ දැකිය හැක. මේවා දැකුම්කලූ අන්දමට හංසපූට්ටු, ලියවැල්, නාරිලතා මෙන්ම සංකීර්ණ වූ පලාපෙති මෝස්තර රටාවලින් විචිත‍්‍රවත් කර ඇත.

පුස්කොළ පොත් කවර සිතුවම්


මහනුවර කාලයේ දී බිහිවුණ විසිතුරු වූ පුස්කොළ පොත් දැව කවර නැතහොත් කම්බාවන්හි කලාත්මක මෝස්තර සිතුවම්කරණය දැකිය හැක. මින් සමහරක් දකුණු ලංකා විහාරයන්හි පොත්ගුල්වල ද එකතු වී තිබේ. මෙම සිතුවම්වල ශෛලිය මහනුවර සම්ප‍්‍රදායට අනුකූලය. පොත් කම්බාවල සහ පුස්කොළ පොත්වල ඇඳි රූ සටහන් දෙවර්ගයකි. කැටයම් රහිත පොත් කම්බාවන්හි විසිතුරු මල්, ලියකම්, වෘක්ෂලතා සහ ජ්‍යාමිතික මෝස්තරවලින් අලංකාර කර තිබේ. මෙලෙස සිතුවම් කළ පුස්කොළ පොත් දහස් ගණනක් කොළඹ කෞතුකාගාරයේ, ජාතික ලේඛණාගාරයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ, දළදා මාලිගා කෞතුකාගාරයේ, අස්ගිරි සහ මල්වතු විහාරවල, පැල්මඩුල්ල විහාරයේ, ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරයේ, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ මෙන්ම මහනුවර ප‍්‍රවීණ පුස්තකාලය සහ වෙනත් විහාර ගණනාවක ඇත. පොත් කම්බායේ ඇතුළු පැත්ත ද සිතුවම්කර ඇති අවස්ථා ද තිබේ. මේවාහි බුද්ධ චරිතය, අටමස්ථාන, සොලොස්මස්ථාන, ජාතක කතා, රජුන්ගේ රූපයන් සිතුවම්ගත කර ඇත. පුස්කොළවල රේඛා සිතුවම් ඇඳීම දක්‍ෂම ශිල්පීන් විසින් පන්හිඳෙන් කරනු ලැබ ඇත. මේවා ඉතා සූක්‍ෂ්ම අන්දමින් කර ඇති රේඛා සිතුවම් නිර්මාණ වේ.

වියන් සිතුවම්


විහාරයන්හි වියන් සිතුවම් ඉතා මනස්කාන්ත ලෙස නිමකර තිබේ. බොහෝවිට නෙළුම් මල පදනම්කරගත් විවිධ වූ මෝස්තර භාවිතය වියන් සිතුවම්හි නෙළුම් මල් මෝස්තර මෙන්ම වෙනත් විවිධ පුෂ්ප සහ වෙනත් ලතා උපයෝගී කරගත් විවිධාකාර වියන් මෝස්තර පද්ධතියන් දැකිය හැක. ජ්‍යාමිතික රටා මෙන්ම ජ්‍යොතිෂ සහ තාරකා විද්‍යාත්මක සංකේත පදනම් කරගත් විසිතුරු වූ මෝස්තර දකුණු ලංකාවේ සමහර විහාරයන්හි වියන් සඳහා යොදාගෙන තිබේ. පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මිරිස්ස සමුද්‍රගිරි රාජමහා විහාරය, වැලිගම පොල්වත්ත ගංගාරාමය වැනි විහාරයන්හි විසිතුරු වූ වියන් සිතුවම් මෝස්තර ඇත.

පැතිකඩ සිතුවම්


රෙදිවල අඳින ලද පෙතිකඩ නමින් හඳුන්වන මෙම චිත‍්‍ර පුරාණයේ සිට පැවැති බවට සාක්‍ෂි තිබේ. දැනට ඉතිරිව ඇති පෙතිකඩ චිත‍්‍ර රාශියකම වාගේ මහනුවර චිත‍්‍ර ශෛලිය මනාව පිළිබිඹු වේ. මින් සමහරක් කොළඹ කෞතුකාගාරයේ දැකිය හැක. පෙතිකඩ චිත‍්‍ර සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන විහාර අතර මාතලේ දැඹව, මහනුවර අසල පිහිටි හඟුරන්කෙත පිහිටි අරත්තන, බදුල්ලේ මුතියංගනය සහ මහනුවර දළදා මාලිගාව වැදගත් වේ. මෙම චිත‍්‍ර ධජ පතාක ලෙස පෙරහරවල ගෙනයනු ලැබීය. වියන් මත බදාම ආලේප කර රෙදි අලවා කළ සිතුවම් දෙගල්දොරුව, බඹරගල සහ දඹුල්ල වැනි ස්ථානයන්හි හමුවී තිබේ.

මහනුවර කාලයේ දී සිත්තරුන්


මහනුවර කාලයේ දී ප‍්‍රචලිත අය වන්නේ දෙවරගම්පළ සිල්වත්තැන, හිරිආලේ නයිදේ, දේවින්ද්‍ර මූලාචාරි, දෙවුන්දර අන්දිරිස් සිත්තරා, කටුවාන හිමි, නිලගම පටබැන්ද, හීමප්පු සිත්තරා. මහනුවර කාලයේ දී දකුණු ලංකාවේ විහාරාශ‍්‍රිත චිත‍්‍ර ඇඳීමේ දී මුල් වූ චිත‍්‍ර ශිල්පීන් අතර කටුවාන හිමිගේ ශිෂ්‍යයන් ගණනාවක් ද විය. දකුණු චිත‍්‍ර සම්ප‍්‍රදාය හා සම්බන්ධ වෙනත් සිත්තරු අතර වෑත්තෑවේ හිමි, හේරත්ගම රතනපාල හිමි, අහංගම ඩිංගිරන්අප්පු සහ වැලිතර හීන්අප්පු වෙති. මාතර ප‍්‍රදේශයේ සිතුවම් සම්බන්ධයෙන් ඩිංගිරන්අප්පු සහ හීන්අප්පු ප‍්‍රසිද්ධය.

දකුණේ සිතුවම්හි විශේෂතා


රටපුරා විහාරස්ථාන රාශියක මහනුවර සම්ප‍්‍රදාය දක්වන සිතුවම් ඇත. 19 වැනි සියවසේ මැද හා අවසන් කාලයේ දී දකුණු සහ බටහිර ලංකා සිතුවම් සම්ප‍්‍රදාය විකාශනය වෙමින් පැවතින. දිවයිනෙහි දකුණු සහ වෙරළාසන්න පහතරට ප‍්‍රදේශයන්හි එකල බිහි වූ චිත‍්‍රවල මහනුවර සිතුවම් සම්ප‍්‍රදායේ මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වී තිබුණ ද සිතුවම්හි විස්තර ලක්‍ෂණයන් සැලකීමේ දී පැහැදිලි වෙනසක් පෙනෙයි. දීප්තිමත් වර්ණ භාවිතය මේවාහි විශේෂ ලක්‍ෂණයකි. මේ කාලයේ දී බහුල වශයෙන් නිමකර ඇති මකර තොරණ සහ දේව රූපවල මෙම ලක්‍ෂණය විශේෂයෙන් පෙනේ. ඒ හැර සිතුවම් වඩාත් විස්තරාත්මකව දැක්වීමට ද දකුණේ චිත‍්‍ර ශිල්පීන් පෙළඹී ඇත. මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. විස්තර තොරතුරු කෙරෙහි දක්වනු ලැබූ දැඩි අවධානය ඉන් එකකි. මහනුවර යුගයේ උඩරට සබරගමු සහ වයඹ ලංකාවේ දියුණු වූ බිතුසිතුවම්වල මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වුව ද දකුණු නොහොත් පහතරට ලංකාවේ විකාශනය වූ සිතුවම් වෙන්කරගත හැක්කේ ඒවාහි පෙනෙන විස්තර ලක්‍ෂණ නිසාය.
ඒ හැර සිතුවම්හි හිස්තැන් නෙළුම් මල්, ඉර හඳ, ගංගා, වලාකුළු සහ වෙනත් පාරිසරික ලක්‍ෂණයන්ගෙන් පිරවීම ද දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණයක් විය. බටහිර නැතහොත් අපරදිග සිතුවම් සම්ප‍්‍රදායන්හි බලපෑම් දකුණු ලංකා බොදු සිතුවම්වල පැහැදිලිව දැකිය හැක. පෘතුගීසි,  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලක්‍ෂණ සිංහල ජන ජීවිතවලට ඇතුළත් වූ ආකාරය දකුණේ සිතුවම්වල දැකිය හැක. විශේෂයෙන්ම චිත‍්‍රවල දැකිය හැකි මුහුණුවල ස්වරූප ඇඳුම්, පැළඳුම්, ආභරණ, ගොඩනැගිලි, ගේදොර, බඩුමුට්ටු යුරෝපීය ලක්‍ෂණ දරයි. අවට පරිසර ලක්‍ෂණ වන ගස් කොලන්, පුෂ්ප, ලතා, සතුන් සහ පක්ෂීන් චිත‍්‍රවලට එකතුකිරීම ද දකුණේ සිදුවී තිබේ. විවිධ පුෂ්ප රෝස, පිච්ච මල් මෝස්තර සිතුවම් සම්බන්ධයෙන් යොදාගෙන තිබේ. මෙය වඩාත් දැකිය හැක්කේ දකුණු විහාරයන්හි දැකුම්කලූ අන්දමින් නිමකර ඇති වියන් සිතුවම් සහ දැවතල මත ඇදි සිතුවම්වලය. රතු, සුදු, කළු, කහ, නිල් වැනි සාම්ප‍්‍රදායික වර්ණ හැරනුවිට දකුණේ චිත‍්‍රයන්හි විවිධ වූ වර්ණ සංකීර්ණයක් යොදාගෙන ඇති ආකාරය පෙනේ. මේ අතර රෝස පැහැය, දම් පැහැය, දුඹුරු පැහැය දැක්විය හැකිය. ඒ හැර මූලික වර්ණයන්ගේ මිශ‍්‍රණයෙන් සාදාගත් විවිධ වර්ණ චමත්කාර ලෙස සම්බන්ධීකරණය කොට ඇති ආකාරය ප‍්‍රශංසනීයයි.

දකුණු සම්ප‍්‍රදාය දැක්වෙන විහාර

මහනුවර යුගයේ දී දකුණු ලංකාවේ ව්‍යාප්ත වූ සුවිශේෂී වූ චිත‍්‍ර සම්ප‍්‍රදාය දැක්වෙන විහාර රාශියක් ඇත. ඒ අතර විශේෂ වූ චිත‍්‍ර ප‍්‍රවේශ, ප‍්‍රභේද, ශිල්පීය ක‍්‍රම සහ ආභාස දැක්වෙන සිතුවම් සහිත විහාරස්ථාන අතර වඩාත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති තැන් ලෙස දැක්විය හැක්කේ මුල්ගිරිගල, දොඩංදුවේ ශෛලබිම්බාරාමය, කතළුව පූර්වාරාමය, තොටගමුවේ තෙල්වත්ත, මිරිස්සේ සමුද්‍රගිරි විහාරය, අළුත්ගම කන්දේ විහාරය, කුමාරකන්ද රජමහා විහාරය, කරගම්පිටියේ සුබෝධාරාමය, මාතර වෙහෙරගම්පිට විහාරය, මාතර ගොඩපිටිය ජේතවනාරාමය, මාතර කොටිකාගොඩවත්ත පුරාණ රාජමහා විහාරය සහ මාතර හිත්තැටිය විහාරය, ගලපාත විහාරය, කසාගල විහාරය, යටගල විහාරය, අම්බලන්ගොඩ සුනන්දාරාමය, වළල්ගොඩ විහාරය, කෝට්ටේ සහ කැලණි රාජමහා විහාරයන්ය.
මුලිගිරිගල රජමහා විහාරය දකුණු ලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රතාපවත් පැරණි බෞද්ධ ගල්ලෙන් විහාරයකි. මුල්ගිරිගල කලා රසිකයන් අතර ප‍්‍රකට වන්නේ එහි දක්නට ලැබෙන විසිතුරු වූ සිතුවම් නිසාය. ජනප‍්‍රවාදයට අනුව මෙම විහාරය වලගම්භා රජු කාලයේ දී කරන ලද්දකි. නමුත් මෙහි ඇති බිතු සිතුවම් සහ වියන් සිතුවම් 18 වැනි සියවසෙහි නැතහොත් මහනුවර යුගයේ දී නිමවූ ඒවාය. මේවා මහනුවර කාලයේ උඩරට චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන නමුත් ඊට වඩා පැහැදිලි වෙනස් ලක්‍ෂණයන්ගෙන් යුක්තයි. චිත‍්‍රවල ආකෘතිය සහ ශිල්පීය ක‍්‍රම මුල්ගිරිගලටම සුවිශේෂි වන බවට කලා විචාරකයන්ගේ අදහසයි. මෙම චිත‍්‍රවල පොදුවේ උසස් සෞන්දර්යාත්මක ගුණයක් ඇත. කොළ පැහැය සහ දුඹුරු පැහැය භාවිත කිරීමෙන් උඩරට දකින මහනුවර සිතුවම් සම්ප‍්‍රදායෙන් බැහැරවීමක් මෙම චිත‍්‍රවලින් පෙනේ. එය යුරෝපීය කලා සම්ප‍්‍රදායේ ආභාසයක් ලෙස සැලකිය හැකිය. මානව රූපය ඇඳීමේ දී පවා ශෛලගත ක‍්‍රමයට වෙනස් වූ ක‍්‍රමයක් අනුගමනය කර ඇත. මානව රූප වඩාත් ස්වාභාවිත අන්දමින් දක්වා ඇත. එමෙන්ම වෘක්ෂලතා නිරූපණය කිරීමේ දී මෙය කැපී පෙනේ. මහනුවර කාලයේ උඩරට සිතුවම්වල මෙන් නොව මුල්ගිරිගල මෙම චිත‍්‍රවල පසුබිම් විචිත‍්‍ර ලෙස සවිස්තරාත්මක ලෙස දක්වා තිබීම විශේෂත්වයකි.
මුල්ගිරිගල චිත‍්‍රයන්හි තේමාව ප‍්‍රධාන වශයෙන් ජාතක කතාය. වෙස්සන්තර සහ තේලපත්ත ජාතකය සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ. මුල්ගිරිගල චිත‍්‍ර අතර සුවිශේෂි වූ චිත‍්‍රයක් ලෙස සලකනු ලබන්නේ කාන්තාවක් විසින් සංගීත භාණ්ඩ විශේෂයෙන් පහතරට වාද්‍ය භාණ්ඩයක් වන යක්බෙරය වාදනය කරන අයුරු දැක්වෙන අලංකාර වූ සිතුවමයි. දොඩන්දුවේ ශෛලබිම්බාරාමය දර්ශනීය බෞද්ධ විහාරය පුරාණයේ දී වැදගත් ස්ථානයක් ඉසිලීය. බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේ දී සුප‍්‍රකට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැඩ විසූ ස්ථානය වශයෙන් ද මෙම විහාරය ප‍්‍රසිද්ධය. මෙහි බුදුගෙයි දක්නට ලැබෙන සිතුවම් අතිශය පියකරු වේ. දකුණු සම්ප‍්‍රදායේ මහඟු නිදසුනක් වශයෙන් මෙම චිත‍්‍ර සැලකේ. මේවායින් බොහෝමයක් දැනට විනාශවෙමින් පවතී.
ආචාර්ය  දයා හේවාපතිරණ
2012 ඔක්තෝබර් මස 28 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 බිතුසිතුවමක්
 මණ්ඩප සිතුවමක්

වියන් සිතුවමක්

සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන

මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,

නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො
චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ

ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි. ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය.
ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය. තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය.
අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්‍ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප‍්‍රාසාද තුනක් ප‍්‍රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප‍්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත‍්‍රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය.
ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත‍්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත‍්‍රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය.
මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ‍්‍රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි. බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප‍්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප‍්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක‍්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප‍්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය.
මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත.

පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු
සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා
නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං
ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු.

මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත. ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප‍්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප‍්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ‍්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග‍්‍රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී. මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත.
ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි
හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප‍්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප‍්‍රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප‍්‍රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප‍්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප‍්‍රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.
මෑත කාලයේ මෙම ප‍්‍රදේශය බොහෝ සෙයින් මානව ක‍්‍රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප‍්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත.


අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග
2012 ඔක්තෝබර් මස 21 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි.  දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ  සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.
2012 ඔක්තෝබර් මස 17 | අම්පාර වාර්තාකරු













අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය

අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයේ වූ දාගැබක කොටස් ඇතුළු නටබුන් ප‍්‍රදේශය පසුගිය දිනෙක මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් හදා තිබෙන ආකාරය සැබවින්ම කණගාටුදායක දසුනක් විය. අම්පාර නගරයේ සිට කිලෝමීටර් 26ක් ගිය තැන හමුවන අක්කරපත්තුව නගරයේ සිට දකුණු දෙසට වැටි ඇති සාගම පාරේ කිලෝ මීටර් තුන හතරක් යන විට මාර්ගයෙන් වම්පස කුඹුරුයායක් මැද ඓතිහාසික මොට්ටයාගල කන්ද හමුවෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් දෙකතුනක් උසැති මේ කඳුපාමුල මෙතෙක් කල් ස්වභාවික උපද්‍රවයන්ට පවා හසු වී, එහෙත් නොනැසී පැවති පුරා විද්‍යාත්මක නටබුන් මෙලෙස ඩෝසර් කර කුඹුරක් සෑදීම සැබවින්ම ප‍්‍රහේළිකාවකි.
කඳු පාමුල පිහිටි මේ පුරා විද්‍යා ස්ථානය ඈත අතීතය දක්වා දිවයන්නකි. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා මෙහි අතීතය දිව යන බව ඉතිහාසයේ කියැවෙයි. මෙම කඳු ගැටය අනුරාධපුර මුල් යුගයට අයත් ක‍්‍රි.පූ 1 සහ තුන යන සියවස් වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර වලින් සමන්විතය. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් විසින් රචිත Imscrittion of Ceylon Part - 01 හී ශිලා ලිපියේ මෙම ස්ථානය පිළිබඳව සටහන් වී ඇත.
කෙසේ නමුත් පසුගිය දිනෙක මෙම අපරාධය දැක බලා ගැනීමටත්, මහා සඟරුවන ගේ විරෝධතාව සහ සත්‍යග‍්‍රහය වාර්තා කිරීමටත් එහි ගිය අපට මෙම ස්ථානයේ ඇති බෞද්ධ ෙඓතිහාසික උරුමයේ වටිනාකම මැනවින් වැටහිණි. එක්තරා කාලයක ප‍්‍රභාකරන් සහ ඔහුගේ ත‍්‍රස්ත නඩය නිජබිම් සංකල්පයක් ගැන කීවේ බහුතර දෙමළ ජනතාවක් වෙසෙන කුඹුරු යායක් මැද පිහිටි මෙවන් බෞද්ධ උරුමයන්ද පෙනී පෙනී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ අති අමානුෂික එල්.ටී.ටී.ඊ පාලන සමයේදීවත් කඩා බිඳ විනාශ කර ගැනීමට නොහැකි වූ මෙම ස්ථානය වර්තමානයේ කඩා බිඳ ඩෝසර් කිරීම හද කම්පා කරවන්නකි. මේ දැවැන්ත මොට්ටයාගල කඳු මුදුනේ තවත් බෞද්ධ නටබුන් රැසක් විය. මෙහි කිසිදා නොසිඳෙන්නේ යැයි සැලකෙන දිය පොකුණකි. ගලින් කරන ලද පඩි පෙළකි. කඳු මුදුනේ චෛත්‍යයක් තිබූ බවට නටබුන්ය. කඳු මුදුනේ සිට අවට බැලූ විට පෙනෙන්නේ මනරම් දසුනකි. නැගෙනහිර මුහුදු තීරයත් ඒ අතරතුරින් පෙනෙන කුඹුරු යායත් කලාතුරකින් දක්නට ලැබෙන දර්ශනයකි.
රජසමයේ ඉතා සශ්‍රීකව මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් තෙදවත් වන්නට ඇතැයි සැලකෙන මේ භූමිය පිළිබඳව පුරා විද්‍යා නාම පුවරුවක්වත් අප යන විට එම ස්ථානයේ නොතිබිණි. මේ අතර මොට්ටයාගල කන්දේ එක් තැනක කෙටූ බුදුරුවකි. එතරම් පැහැදිලි නැති මේ බුදුරුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොතිබුණි.
මෙම ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු මුස්ලිම් පුද්ගලයකු වන අතර මෙම ඩෝසරයේ රියැදුරු දෙමළ ජාතිකයෙකි. මෙම මුස්ලිම් ඉඩම් හිමියා තම කුඹුරු පුළුල් කරනු වස් මෙය ඩෝසර් කර ඇත. මේ පිළිබඳව අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම්. එච්.සමන් මහතාට දැනගන්නට ලැබීමෙන් පසුව මාධ්‍යවේදීනට මේ බව දැනුම් දී ඇති අතර ඒ මඟින් අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ දැනුවත් කළේය.මේ අතර සමන් මහතා අක්කරපත්තුව පොලීසියත්, පුරාවිද්‍යා නිලධාරීනුත් වහාම දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව අක්කරපත්තුව පොලිසිය මගින් පුද්ගලයන් දෙදෙනා  උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000/- බැගින් දඩ නියම කර මුදා හැරියේය. මොට්ටයාගල කඳු මුදුනේ වූ චෛත්‍යයද නිධන් හොරුන් විසින් හාරා දමනුලැබ තිබුණු අතර කඳු පාමුල දාගැබේ නිධන්ද රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ. දාගැබේ ගඩොල්ද එතැන තිබූ ගල් කණුද ඩෝසරයට අසුවී කැඞී බීඳී විනාසවී ගොසිනි.
පසු ගියදා මෙම ස්ථානයට වැඩම කළ මහා සඟරුවන විරෝධතා ව්‍යාපාරයක සහ සත්‍යග‍්‍රහයක යෙදුනහ. අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් එම අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළේ මෙසේය. ‘‘අද මේ ප‍්‍රශ්නය පිළිබඳව සමහර නිලධාරීන් මුනිවත රකිනවා. අපි සාමාකාමී විරෝධතාවෙන් සත්‍යග‍්‍රහයෙන් පෙන්වා දෙන්නේ බෞද්ධ උරුමයන් රැුකගත යුතුයි කියලයි. උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ උරුමයන්ට අත්වෙලා තියෙන ඉරණම එතරම් හොඳ නෑ. අපි අන්‍ය ජාතීන්ට, අන්‍ය ආගම්වලට, අන්‍ය සිද්ධස්ථානවලට ගරු කරනවා. බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ. නමුත් සීගිරිය වැනි ස්ථානයක් නැගෙනහිර තිබුණානම් ඒකත් ඩෝසර් කරලා ඉවරයි. එහෙම නැත්නම් ඒක ගල්කෝරියක් බවට පත්වෙලා ඉවරයි.

ජනාධිපති තුමා තිස්වසරක යුද්ධය අවසන් කරලා මේ රටේ හැමෝටම නිදහස ලබා දුන්නා එසේ නම් පුරා විද්‍යා නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙවැනි ස්ථාන රැක ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. මේ විනාශ වූ දාගැබ අපේ ශිෂ්ටාචාරයේ වැදගත් සලකුණක්. අද ඒ සලකුණ නෑ. මේ ස්ථානය තවදුරටත් විනාශ වෙන්නට ඉඩ නොදී අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ මගින් අපේ උරුමය ඉරහඳ පවතින තුරා රැකගත යුතුයි.
මෙම අවස්ථාවේදී, ගල්මඩුකන්ද පුරාන රජ මහ විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥාන හිමියෝද අදහස් දැක්වුහ. වැඩම කළ සියලූම භික්ෂූන් වහන්සේලා පෝස්ටර් රැගෙන විරෝධතාවේ නියැළීමෙන් අනතුරුව සත්‍යග‍්‍රහයක්ද පැවැත්වූහ.

සටහන සහ සේයාරූ - දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල
2012 ඔක්තෝබර් මස 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 නොසිඳෙන පොකුණ



 විනාශ වූ ගල්කඳු හා නටබුන්
සත්‍යග‍්‍රහය

දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව

ලක්දිව පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැගී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුන් වහන්සේගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප්නංවමින් විචිත‍්‍රවත් වූ වර්ණ සහ රේඛා මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දර්ශනයෙන් චිත‍්‍ර ශිල්පීන් ලැබූ ආශ්වාදය සහ අභාසය හෙළ බොදු කලාව මගින් මනාව කැපී පෙනේ.
මෙවැනි දැහැමි පදනමක් මත ගොඩනැගුනු හෙළ දෘශ්‍ය කලා නිර්මාණ සුන්දරත්වයෙන් සහ සියුම් වූ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් ද යුක්ත වේ. විශේෂයෙන් පෞරාණික බෞද්ධ කලා නිර්මාණ වෙතින් දැක්වෙන්නේ ගැඹුරුවූත් උසස් වූත් රසාලිප්ත සෞන්දර්යාත්මක අගයන්ය. බොහෝ බොදු සිතුවම් කෙනකුගේ ඇතුළාන්තය කෙරෙහි දැඩි බලපෑමක් දක්වයි. නරඹන්නන් තුළ නිශ්චල, තියුණු සාරගර්භ හැඟුම් උපදවමින් හෘදයාභ්‍යන්තරයට වදියි. එමගින් උතුරායන කරුණා මෛත‍්‍රි ගුණය මෙන්ම මානසික සාමය ද උදාකිරීමට පොහොසත් වේ. පොදුවේ ගත්කල බොදු සිතුවම් කෙනෙකුගේ මනස සන්සුන් කරන්නා වූ බලපෑමක් ඇති කරයි. සිත් තුළ සියුම් වූ කලා රසවින්දනයක් සහ සතුටක් දැනවීමට ද බොදු සිතුවම් සමත් වේ. බොදු සිතුවම් බුදුන්ගේ ජීවිතය සහ ධර්මය පිළිබඳ විස්තර ප‍්‍රකාශ මෙන්ම කලා රසවින්දනය සහ බුද්ධාලම්භන ප‍්‍රීතිය දනවන මහඟු මාධ්‍යයකි.

හෙළ දෘශ්‍ය කලා ඉතිහාසය වසර 2200ක් ඉක්මවන කාලයක් පුරා විහිදේ. හෙළ බොදු සිතුවම් සැලකීමේ දී දැක්විය යුතු වැදගත් කරුණක් නම් ඉන්දියාවෙන් බැහැර ලොව ඇති පැරැණිතම බොදු සිතුවම් ඇත්තේ අප රටෙහි වීමයි. අප චිත‍්‍ර ශිල්පීන් ඉන්දියානු කලා නිර්මාණයන්ගෙන් ආශ්වාදය ලැබූව ද ඔවුන් ඉන්දියානු සම්ප‍්‍රදාය සහ සංකල්ප සම්පූර්ණයෙන් පිළිගත්තේ හෝ අනුගමනය කළේ නැත. තමන් සතු වූ ගැඹුරු බොදු ආධ්‍යාත්මික ගුණයන් සහ ගැඟීම් මගින් ලැබුවා වූ සංයමය ප‍්‍රයෝජනයට ගනිමින් තමනටම ආවේනික වූ සිතුවම් ප‍්‍රවේශ ක‍්‍රමය සහ සම්ප‍්‍රදාය දියුණු කරගත්හ. බාහිර ලෝකයෙන් ලැබූ ආභාසය තමන් තුළ පිහිටි බොදු සංයමයෙන් ඔපමට්ටම් කර ගනිමින් ඒ මගින් තමනටම සුවිශේෂ වූ විචිත‍්‍රවත් කලා නිර්මාණ බිහිකිරීමට අප සිත්තරන් පොහොසත් විය.
හෙළදිව උතුරේ, දකුණේ, නැගෙනහිර සහ බටහිර මෙන්ම මධ්‍යම කඳුකරයේ සහ වෙරළාසන්න ප‍්‍රදේශයන්හි විසිරී පැතිරී ඇත්තේ බොදු දෘශ්‍ය කලා නිමැයුම් සහිත ඓතිහාසික ස්ථාන රාශියකි. බොදු දෘශ්‍ය කලා වස්තූන් හෙළදිව සංස්කෘතික පරිසරය විචිත‍්‍රවත් කරන්නා වූ ලක්‍ෂණයි.
බොදු සිතුවම් වඩාත්ම දැකිය හැක්කේ රට පුරා ඇති විහාර සහ ආරාම ආශ‍්‍රිතවයි. මින් සමහරක් පැරැණි කල බිහි වූ ඒවාය. මේවා අතර අප පැරණි හෙළ රජ දරුවන්ගේ අනුග‍්‍රහයෙන් බිහි වූ රාජමහා විහාර සුවිශේෂි වේ. බොදු සිතුවමෙන් සැරසී ඇති විචිත‍්‍රවත් වූ පැරණි ස්ථාන රාශියක්ම ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර ඇතුළු පැරණි රාජධානි නගර ආශ‍්‍රිතවය. මේ නගරයන්හි ඇති උසස් කලා නිර්මාණ නිසාම මෙම ස්ථාන ‘‘ලෝක උරුමයන්’’ ලෙස යුනෙස්කෝ ආයතනය විසින් ලොවපුරා සැලකිල්ලට භාජනය කර තිබේ.
අප රට පැරණි බොදු සිතුවම් රාශියක්ම මෙකල දැකිය හැක්කේ ශේෂ වූ කොටස් වශයෙනි. පැරණි ගල් ලෙන් සහ ඓතිහාසික ස්ථානයන්හි මේවා දැකිය හැක. කොටස් වශයෙන් තිබුණ ද ඒ වෙතින් පවා එකල සිත්තරුන්ගේ කලා නිපුනත්වය සහ සෞන්දර්ය ඇගයීමේ හැකියාව මනා ලෙස දෘශ්‍යමාන වේ. 18 හා 19 ශත වර්ෂයන්හි දී මෙන්ම පසුකාලයේ දී බිහි වූ සිතුවම් රාශියක්ම ආරක්‍ෂා සහිතව පවතී. මේවා අතර සෞන්දර්ය රසය සහ ආධ්‍යාත්මික ගුණයෙන් පිරුණ නිර්මාණ රාශියකි.
බහුල වශයෙන් බොදු සිතුවම්හි තේමාව වී ඇත්තේ ගෞතම බුදුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා මෙන්ම ජාතක කතාය. ඒ හැර අප රට ශ්‍රේෂ්ඨ බෞද්ධ රජ දරුවන් සහ සිද්ධීන් සම්බන්ධ තේමා ද හෙළ බොදු සිතුවම්හි දැකිය හැක. ජාතක කතා තේමා වශයෙන් යොදාගත් සිතුවම් අතර වෙසතුරු ජාතකය විශේෂ අවධානයට ලක්වී තිබේ. බුදුරුව ඉතා විචිත‍්‍රවත් අයුරින් චිත‍්‍රගත කර තිබේ. එක් එක් ඉරියව් සහ හස්ත මුද්‍රා යොදා සංකේතාත්මකව බුදුරුව දක්වා ඇත. සීගිරි ලෙන් සිතුවම් පැහැදිලි තේමාවකින් තොර වූ ඒවා වුවත් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් යුක්ත වූ ඒවා ලෙස සැලකිය හැක. එක් එක් විද්වතුන් සීගිරි චිත‍්‍ර පිළිබඳව විවිධ මත සහ තේමා දක්වා තිබේ.
බොදු සිතුවම්හි පෙනෙන විවිධ සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණ සලකා අප රට සිතුවම් ඉතිහාසය කාල හතරකට බෙදා දැක්විය හැකිය.
1. අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානි අගනුවර ලෙස පැවති සම්මත වර්ෂ පූර්ව 3 වැනි සියවස සිට 13 වැනි සියවස දක්වා වූ සම්භාවනීය කාලය.
2. රාජධානී තැනින් තැනට සංක‍්‍රමණය වූ සියවස් 13 සිට 17 දක්වා කාලය.
3. මහනුවර රාජධානී සියවස් 18 සිට 19 කාලය.
4. නූතන කාලය වශයෙන් සලකන 20 වැනි ශතවර්ෂයෙන් ඇරඹෙන කාලය.
සමස්තයක් වශයෙන් ගත් කල හෙළ බොදු සිතුවමින් පෙනීයන්නේ මෙම නිර්මාණ එක් එක් කාලවල දී විවිධ වූ ප‍්‍රවේශ සහ ස්වරූප ගනිමින් විචිත‍්‍රවත් වූ මෙන්ම චමත්කාරජනක සම්ප‍්‍රදායන් බිහිකර ඇති ආකාරයයි. ඒ ඒ සිතුවම්හි රේඛා සැකසුම වර්ණ තේරීම සහ සම්බන්ධීකරණ ඇතුළු සිතුවම්හි යොදා ගනු ලැබූ සංකේත සහ මෝස්තර රටා වෙතින් හෙළ බොදු සිතුවම් පැහැදිලි අනන්‍යතාව දියුණු කරගෙන ඇත. සෞන්දර්ය ගුණයෙන් සපිරි ක‍්‍රමෝපාය උපයෝගී කරගෙන සිතුවමින් දක්වන තේමා මනස්කාන්ත අයුරින් විචිත‍්‍රවත් ලෙස පණගන්වා ඇති ආකාරය ප‍්‍රශංසනීයයි.
සම්භාවනීය කාලය වර්ෂ 1600 පමණ වන්නා වූ හෙළ සංස්කෘතිය සහ සභ්‍යත්වයෙහි උසස් වූ දියුණුවක් ඇතිවුණු අවදියයි. කලාත්මක බවින් ඉතා උසස් වූ සිතුවම් නිර්මාණ මේ කාලයේ දී බිහිවිණ. මිහින්තලේ සහ මහියංගනයේ පැරණි දාගැබ්හි ධාතු ගර්භයන්හි ඇඳි සිතුවම්, දිඹුලාගල, පුල්ලිගොඩ, හිඳගල, වෙස්සගිරිය, සිතුල්පව්ව, කරඹගල, තිවංක පිළිමගේ, කොටියාගලමායිල්ල, ලාහුගල, කොත්ගල්කන්ද, සාස්ත‍්‍රවෙල, කුඩිම්බිගල සහ කණ්ඩලම ගුහා පැරණි සිතුවම් කොටස් රැගත් ස්ථානවලින් කිහිපයකි.
සීගිරි සිතුවම් හැරුණු විට මේ කාලයේ දී බිහිවුණු සිතුවම් සියල්ලම බොදු තේමා සහිත බොදු හැඟීම් ජනිත කරන්නා වූ නිර්මාණ වෙයි. සෞන්දර්යාත්මක සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මෙකල සිතුවම් සම්ප‍්‍රදාය අප රට සංස්කෘතික අනන්‍යතාව මනාව පෙන්නුම් කරයි.
දැනට ආරක්‍ෂා වී ඇති සීගිරි සිතුවම් හැරුණු විට සම්භාවනීය කාලයේ බිහි වූ සිතුවම් රාශියෙන් දැනට ඉතිරිව ඇත්තේ සිතුවම්වල කොටස්ය. මෙකල පැවති දකුණු සහ නැගෙනහිර ඉන්දීය ද්‍රවිඩ පරසතුරු ආක‍්‍රමණ සහ උවදුරු නිසා අනර්ඝ සිතුවම් රැගත් ස්ථාන රාශියක්ම විනාශයට පත්විය. ඒ හැර කාලයාගේ ඇවෑමෙන් ද සමහර සිතුවම් විනාශ වී ඇත. පරසතුරු උවදුරු නිසා පැරණි රාජධානි අතහැර යෑමට සිදු වූ බැවින් කලාත්මක චිත‍්‍ර රැගත් රජමාලිගා විහාර සහ ආරණ්‍ය අතහැර දැමීමට ද සිදුවීම මෙකල බිහි වූ සිතුවම් විනාශ වී යෑමට හේතු විය.
රාජධානී සංක‍්‍රමණය වූ වසර 500ක් පමණ කාලය දේශපාලන වශයෙන් අස්ථාවර එකක් වූ බැවින් පොදුවේ කලා නිර්මාණ බිහිවීමට අවශ්‍ය වාතාවරණයක් නොතිබිණ. කලාකරුවන්ට අවශ්‍ය වූ රාජ්‍ය අනුග‍්‍රහය සහ භික්ෂූන්ගේ සහය සීමා වූ කාලයකි මෙය. එහෙත් මෙම අස්ථාවර කාලයේ දී පවා පෙතිකඩ සිතුවම් නැතහොත් රෙදි මත ඇඳි සිතුවම් සහ පුස්කොළ පොත් දැව කවර මත ඇඳි විචිත‍්‍රවත් වූ මෝස්තර සිතුවම් බිහිවිය. 13 සහ 17 සියවස්වල බිහිවූ මනස්කාන්ත මෝස්තර සිතුවම් රැගත් කම්බ සහිත පුස්කොළ පොත් රාශියක් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කර ඇත.
මෙම කාලයේ අවසාන කොටසේ දී පමණ අප රටට පැමිණි පෘතුගීසි සහ  ඕලන්ද ආක‍්‍රමණිකයන් විසින් ද සිතුවම් රැගත් විහාර ආරණ්‍ය රාශියකට විශාල වශයෙන් අලාභහානි සිදුවිය. 18 වැනි සියවසේ දී පැමිණි බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණිකයන් අතින් ද මේ සමාන විනාශ සිදුවීම නිසා පැරණි කල බිහි වූ විශිෂ්ට වූ බොදු සිතුවම් රැගත් විහාර රාශියක් විනාශයට පත්විය. මහනුවර රාජධානියක් බවට පත්වූයේ 17 සියවසේ ආරම්භයේ දී ය. මෙම ශතවර්ෂය පුරා පෘතුගීසි ආක‍්‍රමණ නිසා බෞද්ධ විහාර සහ බොදු කටයුතුවලට මහත් අවහිර සහ හානි සිදු විය. නමුත් 18 වැනි ශතවර්ෂය මුලදී පමණ වඩාත් ස්ථාවර වූ කාලයක් ගොඩනැගුනේ අප රට අවසාන සිංහල රජුන්වන ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභිෂේකයෙන් පසුය.
1747 දී නායක්කාර රජකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය උදාවිය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ආශ‍්‍රයෙන් මෙම රජු බෞද්ධාගම වැළඳගත් අතර මෙම හිමියන්ගේ අනුශාසනා පරිදි රට පුරා බෞද්ධ පුනරුත්ථාපනයක් සහ ප‍්‍රබෝධයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. විදෙස් ආක‍්‍රමණ නිසා විනාශ වී තිබුණු විහාර රාශියක් ප‍්‍රතිසංස්කරණය කර නව විහාර රාශියක් ද ඉදි කෙරිණි. සම්භාවනීය කාලයේ සිතුවම් සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණයන්ට බොහෝ සෙයින් වෙනස් වූ සම්ප‍්‍රදායක් මෙකල බිහිවිය. ශෛලිගත ලක්‍ෂණ දරන්නා වූ සංකේත භාවිතය බහුල වශයෙන් යොදා ඇති ස්වාධීන වූ සිතුවම් විශේෂයකි මෙකල බිහි වූයේ.
18 සහ 19 සියවස් හා සම්බන්ධ වූ මහනුවර රාජධානිය වශයෙන් පැවති කාලයේ දී විහාරාශ‍්‍රිත සිතුවම් කලාවේ සුවිශේෂි වූ දියුණුවක් ඇතිවිය. මෙම කාලයේ දී බිහි වූ කෘති පැරණි සම්භාවනීය ක‍්‍රමවේදයෙන් බැහැර වී ඇත. මුළුමනින්ම විලාසිතානුගත ශෛලිගත ආකෘතියකින් සමන්විත විය. මෙකල චිත‍්‍ර ප‍්‍රවීණ චිත‍්‍රශිල්පීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘පරිකල්පිත අනුභූතීන්’’ ලෙසටයි. අත්‍යන්තයෙන්ම ස්වාධීන වූ ද පෙර නොවූ විරූ වුව ද සංකල්පිත අපූර්ව මූල ලක්‍ෂණයන්ගෙන් අනූන වූ මෙම අලංකාර චිත‍්‍ර රුචිරූ සෞන්දර්යාත්මක ප‍්‍රවාහයක් ග‍්‍රහණයකොට ඇත. දිවයිනේ විවිධ පළාත්වල ඇති මෙම යුගයේ සිතුවම් විලාසිතානුගත විවිධත්ව රැසකට හිමිකම් කියයි. 19 වැනි සියවස මැදභාගයේ දී පමණ මහනුවර කාලයේ චිත‍්‍ර සම්ප‍්‍රදාය දකුණු සහ බටහිර ලංකා විහාරවලට පැතිරී ගිය ආකාරය පෙනේ. දකුණු හෙළ බිමෙහි විහාරයන්හි මෙකල බිහිවූ චිත‍්‍ර කැපී පෙනෙන සුවිශේෂී ආවේනික ලක්‍ෂණ පිළිඹිබු කෙරේ.
පොදුවේ ගත්කල මහනුවර කාලයට අයත් සිතුවම්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තේ ජාතක කතාය. මේවා තීරු මෙන් බිත්ති පුරා ඇඳීම විශේෂ ලක්‍ෂණයයි. තේමා කාලානුකූලව ඉදිරිපත් කර ඇති අතර චිත‍්‍ර යටින් සිංහලෙන් විස්තර තොරතුරු දැක්වීම ද මෙකල ලක්‍ෂණයකි. පොදුවේ ගත්කල මහනුවර සම්ප‍්‍රදායට අයත් චිත‍්‍ර පැහැදිලිවම ද්විමාන ලක්‍ෂණය ගැනීම විශේෂයෙන් සැලකිය යුත්තකි. ජාතක කතා අතර වඩාත් ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ වෙසතුරු ජාතකයයි.
ආචාර්ය  දයා හේවාපතිරණ
2012 ඔක්තෝබර් මස 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය




අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන

වාර්ෂිකව පොසොන් සමයේ මිහින්තලයට හා අනුරපුරයට රොක්වන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසගෙන් කීයෙන් කී දෙනකු මිහිඳු හිමියන් ආදාහනය කළ තැන ගැන විමසන්නේද. 13 සියවසේ දී රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු සියලූ පුරාණ ආරාමික ඉදිකිරීම් කෙතෙක් දුරට වන වැදී ගියේද මෙරට ඉංග‍්‍රීසි පාලන අවධිය වන විට අවම වශයෙන් මහා ස්තූප පැවැති අභයගිරිය හා ෙඡ්තවනයවත් හරිහැටි හඳුනාගත නොහැකිව අභයගිරිය ෙඡ්තවනය  ලෙසත් ඡේතවනය අභයගිරිය ලෙසත් ව්‍යවහාරයට පත්ව තිබුණි.
19 වැනි සියවසේ අග භාගයේ සිට ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා නටඹුන් ව පැවැති අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම ඇරඹුණ අතර 1860 න් පසු ඉංග‍්‍රීසි රජය විසින් මෙකී පුරාස්ථාන වාර්තා කිරීම සඳහා ඡායාරූප ගැනීමට ලෝටන්ද සැලසුම් ඇඳීමට ජේ ද ස්මිතර් ද කැනීම් හා සංරක්‍ෂණය සඳහා එච්.සී.පී. බෙඞ් ද පත්කරන ලදී. එකල්හි ජනවහරේ තිබූ පරිදි ස්මිතර් විසින් ඔහුගේ ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර ග‍්‍රන්ථයේත් බෙල් විසින් ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඇනුඇල් රිපෝර්ට් ග‍්‍රන්ථයේත් ථූපාරම ස්තූපයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් චෛත්‍යය සංඝමිත්තා සොහොන ලෙසත් හඳුන්වා දෙනලදී.
තව ද පසුගිය කාලයේ දී  ඡේතවන ව්‍යාපෘති බලධාරීන් විසින් ඡේතවන ස්තූප සලපතළ මළුව මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය ලෙස හඳුන්වාදී තිබුණි. එහෙත් මෙම ස්තූප සලපතළ මළුව සුපරීක්‍ෂාකාරී ලෙස මූලාශ‍්‍රය ලේඛන පිරික්සීමේ දී ඉහත කී හඳුනාගැනීම් සාවද්‍ය බව වැටහේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවන් වන මිහිඳු හිමියන් ආදාහනය කරන ලද නිවැරදි ස්ථානය සොයා ගැනීම මෙරට බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත් වන්නේය.
අර්හත් මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළිබඳව වඩාත් විස්තර හමුවන්නේ මහාවංශයේ ය. එහි ටීකාවේ හා අනිකුත් ග‍්‍රන්ථවල ඇති සඳහන්වල මහාවංශයට වඩා වෙනසක් නැත. පළමුව ඒ ථූපාරමය අසළ නොවන බවට ඇති සාධක විමසිය යුතුය. ථූපාරමය ඉදිකිරීම පිළිබඳව මහාවංශයේ හා ටීකාවේ සඳහන් විස්තරයේ එහි නිදන් කිරිම සඳහා සුමන සාමනේරයන් විසින් ගෙන එනලද සර්වඥ ධාතු සහිත කරඬුව පිට තබාගත් ඇතා ථූපාරාම ස්තූපය ඉදිකරන ස්ථානයට ගොස් ඇතුළේ උස ප‍්‍රමාණයට ස්තූපය බඳින තුරු ධාතු බිමට ගැනීමට ඉඩ නොදුන් බවත් ඇතා ස්තූපයට බටහිර දෙසින් බෝධිඝරය ඉදිවන ස්ථානයේ රැඳී සිටි බවත් දැක්වේ. මහාවංශය ඒ පිළිබඳව දක්වන්නේ හස්ති තෙම ථූපාරාම චෛත්‍යස්ථානයෙන් පිටුපස කරන ලද්දා වූ මහේජ වස්තු නම් දේවස්ථානයට ගොස් බෝධිස්ථානයේ නැවතී පෙරදිගට අභිමුඛව සිටි බවය.
මේ අනුව ථූපාරාමයේ බෝධිස්ථානය පිහිටා තිබී ඇත්තේ ථූපාරාම ස්තූපයට බටහිරිනි. සම සතරැුස්වූ ථූපාරාම භූමිය වටකොට පුරාණ ප‍්‍රාකාරයක් ඇති අතර ස්තූපයට බටහිරින් එම සීමාව තුළ ඇත්තේ නටඹුන්ව ගිය එක් ස්මාරකයක් පමණකි. ඊට අමතරව වෙනත් ස්මාරකයක් පිහිටීමට එහි ඉඩක් නැත.
මහාවංශයේ හා එහි ටීකාවේ දැක්වෙන පරිදි මහාමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් පසු හටගත් පළමු අටපල බෝධි අතුරින් එකක් සිටුවා ඇත්තේ ථූපාරාමයේය. ථූපාරාම භූමිය ඇතුළත වෙනත් බෝධිඝර දක්නට නැති නිසාත් මහාවංශයේ හා ටීකාවේ මෙම ස්ථානය බෝධිස්ථානය ලෙස නම් කර තිබීම අනුවත් මේ ස්මාරකය අස්ටඵල බෝධිය සිටවූ ස්ථානය ලෙස නිගමනය කළ හැකිය. ථූපාරම බෝධිඝරය අප විසින් කැනීම් හේතුවෙන්ද බෝධි පරීක්‍ෂිප්ත ව තිබූ වෘතාකාර ගඩොලූ බැම්ම ද ඒ වටා තැන්පත් කොට තිබූ සිරිපතුල් ගල්ද දැනට මතුපිට දක්නට ඇති මාලකයට යටින් වූ පැරණි බැම්මේම පනාබැම්ම වශයෙන් ගඩොලින් කළ මීටර් දෙකක් පමණ ගැඹුරැති බැම්මද හමුවිය. බෝධිය පිහිටි ස්ථානය හාරා ගැලවූ එහි බැම්මේ ගඩොළු කැබැලිවලින් වළ පුරවා තිබුණි. ලැබුණු සාධක සියල්ල අනුව ස්මිතර් දැක්වූ පරිදි මෙය මිහිඳු සොහොන නොවන බව තහවුරු විය.
මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළීබඳ මහාවංශයේ හා එහි ටීකාවේ සඳහන් වන්නේ දේහය මහා විහාරයට ගෙනවුත් එහි පැනඹ මළුවේ තබා තිබී ඉනික්බිති ව නැගෙනහිර දෙස තෙරුන්ගේ බද්ධමාලකයෙහි ආදාහනය කොට එහි චෛත්‍යයක් ද බඳවන ලද බවය. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයේ කළුරිය කළ ආර්යන්ගේ සිරුරු දවනු ලැබූ බවයි. එසේ නම් මිහිඳු හිමියන්ගේ සොහොන සෙවීමේ දී පුරාණ පැනඹ මළුව හා බද්ධමාලකය පිහිටි තැන් හඳුනා ගත යුතුය. තෙරුවන්ගේ බද්ධ මාලකයක් ගැන මහා වංශයේ හා එහි ටීකාවේ ද සඳහනක් ඇත. එනම් අරිට්ඨාදි භික්‍ෂුන් සඳහා උන් වහන්සේ විසින්ම තුම්බරු නම් වූ බද්ධ මාලකයක් බැඳ උපසම්පදා කිරීම සම්බන්ධවය.
ටීකාව එය දක්වන්නේ තමන් විසින් බඳනා ලද තුම්බරු නම් මාලකයෙහි පළමු වරට කර්ම වාක්‍යයෙන් උපසම්පදා කර්මය කළහ මිහිඳු හිමියන් මහමෙව්නාවේ (මහා විහාරයේ) වැඩ වාසය කළේ ශ්‍රී මහා බෝධිය අසළ රාජගෘහයේ බවද පසුව ඉදිකළ කාලපාසාදය එතැනට මඳක් උතුරින් වූ බවද වංශකථාවේ සඳහන් වේ. මහා විහාරය යනුවෙන් එකල අදහස් කර ඇත්තේ විශේෂයෙන් මිහිඳු හිමියන් වැඩ සිටි ආවාසය හා අවට ගොඩනැගිලිය.
ක‍්‍රි.ව. 411 දී පමණ ෆාහියන් හිමි මහා විහාරය පිළිබඳ ව විස්තර කිරීමේ දී තමා රහත් හිමි නමකගේ ආදාහන කටයුතු දුටු බවත් ආදාහනය කළේ විහාරයෙන් ලී 4-5 ක් නැනෙහිර දෙසින් බවත් දක්වයි. ෆාහියන් දේශාටන වාර්තාවේ විමල් බලගල්ල පරිවර්තනයේ එය වරදවා නගරයෙන් නැගෙනහිර යැයි සඳහන් කර ඇත. ලී 4-5 යනු කි.මීටර් එකක පමණ වේ. බොහෝ සෙයින් ෆාහියන් හිමි සඳහන් කරන්නේ මිහිඳු මිහියන් ආදාහනය කළ ආදාහන භූමිය වන විට මෙම ස්ථානය වෙනස් විය හැකි බැවිනි.
පැනඹමළුව යනු වංසකථා විස්තර අනුව මහාවිහාරයේ ලහබත්ගෙය පිහිටි ප‍්‍රදේශයයි. මිහිඳු හිමියන් මහා විහාරයේ පූජනීය ස්ථාන පිහිටන තැන් රජතුමාට දක්වමින් ලෝවාමහාපාය පිහිටන තැනට ගොස් අනතුරු ව ගියේ සලාකය ලබා දෙන ලහබත්ගෙය පිහිටන තැනටය. ලහබත් ගෙය ලෝවාමහාපායට ඉදිරියෙන් (බටහිර දෙසින්) පිහිටා ඇති නටඹුන් ගොඩනැගිල්ල බව මහා බෝධිවංශ ගැටපදයේ මහාවිහාරයේ පූජනීය ස්ථාන විස්තර කෙරෙන සිංහ වික‍්‍රාන්ති සැලැස්මේ පෙන්වා දෙයි. ඒ ශ්‍රී මහා බෝධියට උතුරු දෙස (රුවන්වැලි සෑය දෙසට) ඊට ආසන්නම තැනයි. දීපවංශය ද පැහැදිලිව පවසන්නේ තිස්සමහාරාමයෙන් (මහාවිහාරයෙන්) නැගෙනහිර දෙස තෙරුන් වහන්සේ ආදාහනය කළ වගයි.
තෙරුන්ගේ බද්ධමාලක යනු භික්‍ෂූන් වහන්සේලා පොහොය කිරීමට පෙර ඇවත් දෙසීම සඳහා යොදාගත් ස්ථානය විය යුතුය. දෙපෝයකට වරක් භික්‍ෂූන් වහන්සේලා එක් වී උපෝසථඝරයෙහි දී පාතිමොක්ඛය කියවන අතර විනයට අනුව ඒ සඳහා උපෝසථඝරයට ඇතුළු වීමට පෙර තමා අතින් වරදක් සිදු වී ඇත් නම් එය ප‍්‍රකාශ කොට පිරිසිදු වී ඇතුළු විය යුතුය. එහෙයින් මහාවිහාරයේ පොහොය ගෙය වූ ලෝවාමහාපාය අසළ බද්ධමාලකයක් තිබීම බොහෝ සෙයින් සිදුවිය හැකිය. මාලක යන්නට අර්ථ සපයන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් එය යම් කිසි පූජනීය කටයුත්තක් කරගෙන ගිය මළුවක් හෝ අවකාශයක් බව දක්වා තිබේ.
මේ අතර ෙඡ්තවන විහාර ව්‍යාපෘතියේ නිලධාරීන් විසින් ෙඡ්තවන ස්තූප සලපතළ මළුවේ කැනීම් කිරීමේ දී මීටර් එකක් පමණ ගැඹුරින් ගඩොලූ ප‍්‍රාකාරයක් හා අඟුරු හමුවූ බවත් එ නිසා එය මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය බවත් දක්වා ඇතත් එය පිළිගැනීමට අපහසු හා නිශ්චිත සාක්‍ෂ්‍ය මත නො පිහිටා කරන ලද ඉක්මන් ප‍්‍රකාශයක් බව පෙනේ. ඔවුන් තෙරුන් ආදාහනය කළේ නගරයට නැගෙනහිරින් යැයි සළකා ඇතත් වංශකථා අනුව එය සිදුවී ඇත්තේ නගරයට නොව මහා විහාරයට නැගෙනහිරින්ය.
පිහිටීම අනුව බලන කල ෙඡ්තවන ස්තූපය පිහිටා ඇත්තේ මහිවාහාර මූලස්ථානයට නැගෙනහිරින් නොවේ. ෆාහියන් හිමි රහතන් වහන්සේලා ආදාහනය කළ මළුව යනුයෙන් දක්වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබී ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහයන කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබි ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහනය කළ භූමි වසා දමා සලපතළ මළුවක් සැදුවේ නම් නිහඬව සිටියේ යැයි කිසිසේත් සැලකිය නොහැක්කේ මිහිඳු හිමි ආදාහයන කළ තැන උත්තිය රජු විසින් චෛත්‍යයක් ද ඉදිකොට තිබූ බව සඳහන් වීමෙන් එතැන අති පූජනීය තැනක් සේ සැලකී ඇති බැවිනි.
රජතුමා එසේ කළේ නම් එතුමා ගැන දොස් පවරා ලියා ඇති මහාවංස විස්තරයේ නිසැකවම එය සඳහන් කරනු ඇත. මහාවංශයෙන් දැක්වෙන්නේ එතුමාගේ ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳ සැබෑ මුහුණුවර නොවේ. වංසත්ථප්පකාසිනියේ සඳහන් පරිදි මහසෙන් රජතුමා දිවයින පුරා තිබූ මිසදිටු ආරාම බිඳ දමා ශිවලිංග විනාශ කළා පමණක් නොව ත‍්‍රීකුණාමලයේ (ගෝකණ්ණ) එවැනි දේවාල තුනක් බිඳ දමා ගෝකණ්ණ ආදි විහාර තුනක් ඉදිකළ බවද සඳහන්ය. (මේ අනුව පූජනීයත්වයට පත්ව තිබූ මිහිඳු සෑය පිහිටි ස්ථානය යටකොට ගිහියනගේ පයට පෑගෙන පරිදි සලපතල මළුවක් ඉදිකරන ලද්දේ යැයි සිතිය නොහැකිය.
මහා විහාර භූමියේ මධ්‍යස්ථානය වූයේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයයි. ඒ ශ්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ බටහිරින් පිහිටි රාජගෘහයයි. මේ අනුව විහාරයෙන් නැගෙනහිර යනු බොහෝ සෙයින් පැනඹමළුව තිබූ තැනින් නැතහොත් ශ්‍රී මහා බෝධිය පිහිටි තැනින් නැගෙනහිර විය යුතුය. ලෝවාමහාපායෙන් නැගෙනහිර කෙළින්ම යොමු වන්නේ මල්වතු ඔය බටහිර සීමාවටය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කර ඇත්තේ ලොවාමහාපායට පිටුපස එනම් නැගෙනහිර ස්ථානයක බවය.

අභයගිරි විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග
2012 ඔක්තෝබර් මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ථූපාරාම මහා සෑය
ලෝවාමහාපාය


සිංහල ජාතකකතා පොතේ මුල් පිටපත ඇත්කඳ විහාරයේ


බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට හා භක්තියට ලක්වූ ග‍්‍රන්ථ දෙක ලෙස සැලකෙන්නේ පිරුවානා පොත් වහන්සේ සහ ජාතක කතා පොත් වහන්සේය.
මෙතරම්වූ ගෞරවයක් සහ භක්තියක් ඊට හිමි වන්නේ එම ග‍්‍රන්ථ දෙක අසන, කියවන සෑම මොහොතකදීම බුදුන්වහන්සේ ජීවමානව සිටින සෙයක් බෞද්ධයන් හට දැනීම හේතුවෙන්ය.
මෙරට බෞද්ධයින්ගේ ඉහළම ගෞරවාදරයට ලක්ව තිබෙන සිංහල ජාතක කතා පොතේ මුල් පිටපත අදටත් සුරක්ෂිතව තිබෙන බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි. පාලි ජාතක කතාවේ සිංහල අනුවාදය වූ මෙය කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරයේ ඉතා සුරක්‍ෂිතව තැන්පත් කර තිබේ.
ජාතක කතා පොත් වහන්සේ තනි පුද්ගලයෙකුගේ කෘතියක් නොව එය පරිවර්තනයේ දී කර්තෘ මණ්ඩලයක් විසින් කර ඇතැයි සලකනු ලබයි. ජාතක පොතේ දිගම කතා ලෙස සලකන දස ජාතකවලින් එකක් වන උම්මග්ග ජාතකය හතර වැනි පරාක‍්‍රමබාහු රජුගේ ඇමැතිවරයකු වූ වීරසිංහ ප‍්‍රතිරාජ ඇමැතිවරයා විසින් පරිවර්තනය කරනු ලැබ ඇත. මෙම පොත් වහන්සේ පරිවර්තන කාර්යයේ දී කර්තෘ මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස වනරතන මේධංකර හිමියන් කටයුතු කර තිබෙන අතර, එය කෙරුණු ස්ථානය ලෙස ඇත්කඳ විහාරය සලකනු ලැබේ.
ලංකාවේ කුරුණෑගල ප‍්‍රසිද්ධියට පත් වූයේ දඹදෙණි රාජ්‍ය සමයේදීය. එවකට කුරුණෑගල දඹදෙණිය රාජධානියේ උපනගරයක් විය. මුල්ම රාජකීය සම්භවයක් ඇතිව පදිංචිවූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ දඹදෙණියේ රජ කළ පැරකුම්භා රජුගේ සහෝදර බුවනෙකබාහු කුමාරයාය. රජුගේ අවසරය මත බුවනෙකබාහු කුමරු  කුරුණෑගල නැවතී සිට නගරය දියුණු කළ බව ද, එහි දී ඔහු විසින් කරවන ලද විහාරය ඇත්කඳ විහාරය ලෙස ද සැලකේ.
කුරුණෑගල රාජධානි සමයේ සිදුවූ සුවිශේෂම සිද්ධිය ලෙස සැලකෙන්නේ පාලි ජාතක කතා පොත සිංහලට පරිවර්තනය කිරීමය. හතර වැනි පැරකුම්බා රජු මෙම කාර්යයේ පුරෝගාමියා බව සඳහන් වේ. ඔහු මෙම කාර්යය සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහාය ලබාගෙන ඇති බව ද, එහි දී මේධංකර හිමියන් පොතේ භාරකරු වශයෙන් සිටින බව ද සඳහන් වේ. මෙම මේධංකර හිමියන් දිඹුලාගල පරපුරට සම්බන්ධ බව පැවසේ. මේ අනුව ඇත්කඳ විහාරය සහ දිඹුලාගල අතර එකල සම්බන්ධයක් පැවති බව ද තහවුරු වෙයි.
අස්ගිරි තල්පතේ සඳහනට අනුව මහනුවර අස්ගිරි විහාරය ඇරඹුණේ ද හතර වැනි පරාක‍්‍රමබාහු රජ සමයේදීය. මේ නව විහාරය සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කරවා තිබුණේ ඇත්කඳ විහාරයේ සිට බව ද සඳහන් වේ.
මෙයින් පෙනී යන්නේ එකල ඇත්කඳ විහාරය ශාසනික වශයෙන් ප‍්‍රබල ස්ථානයක් තහවුරු කරගෙන සිටි බවය.
පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ වැනි රාජධානි සමයක් තරම්ම උසස් නොවුව ද කුරුණෑගල යුගය ද එක්තරා ප‍්‍රමාණයකට සාහිත්‍යයෙන් බැබලූණු යුගයක් සේ ප‍්‍රකටය.
විද්‍යා චක‍්‍රවර්ති, කවි චක‍්‍රවර්ති, කවිරාජ ශේඛර යන මෙරට පඬිවරුන් ලැබූ විද්‍යා උපාධි ගණයට ෂඞ් භාෂා පරමේශ්වර යන උපාධිය එක්වූ බව කියැවෙන්නේ කුරුණෑගල යුගයේදීය. එබැවින් මේ යුගයේ රචනාවූ සිංහල බෝධිවංශය, උම්මග්ග ජාතකය, දළදා සිරිත, සඳ කිඳුරුදාකව, දඹදෙණි අස්න, අනාගත වංශය, දළදා පූජාවලිය යන ග‍්‍රන්ථ ලිවීමේ දී ඇත්කඳ විහාරයේ විසූ මහ තෙරවරුන්ගෙන් යම් ආකාරයක සහායක් ලැබෙන්නට ඇති බව සැලකේ. එකල රජු තම ආගමික කටයුතු සඳහා ඇත්කඳ විහාරය භාවිත කළ බැවින් එම ග‍්‍රන්ථ සම්පාදනයේ දී රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්නට ඇතැයි ද සිතිය හැකිය.
නමුත් කුරුණෑගල යුගයට අයත් ඉතාම වැදගත් ග‍්‍රන්ථය ලෙස සැලකෙන්නේ ජාතක කතා පොතය. ජාතක කතා පොත මෙරට පැතිර ගියේ මිහිඳු හිමියන් රැගෙන ආ බුදු දහමෙන්ය. ඉන්දියාවේ පැරණි බෞද්ධයන් සේම මෙරට පැරණි බෞද්ධයන් ද ජාතක කතා පොත බොහෝ ගරු කොට සලකා ඇති බව පැවසේ.
පොළොන්නරු යුගය වන විට මෙරට විසූ පඬිවරුන් ජාතක කතා සාමාන්‍ය ජනයාට අවබෝධ කරවීම පිණිස උත්සාහ ගත් බව පෙනී යයි. එකල ලියන ලද සෑම ග‍්‍රන්ථයකම පාහේ ජාතක කතා සංග‍්‍රහයේ කොටසක් තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. එහෙත් මුළු ජාතක පොතම සිංහලෙන් නොලියවීම බරපතළ අඩුවක් ලෙස කුරුණෑගල යුගයේ දී ඉස්මතු වී ඇත. ඒ අනුව පාලි ජාතක කතා පොත සිංහලයට පෙරළීමේ උතුම් කාර්යයට හතර වැනි පරාක‍්‍රමබාහු රජු මූලිකත්වය ගෙන තිබේ.ඒ අනුව සාහිත්‍යමය අතින් කුරුණෑගල යුගයේ දී සිදුවූ වැදගත්ම කර්තව්‍යය මෙයවූ අතර, එකල මේධංකර හිමියන්ට භාරකාරත්වය පවරා තිබූ මෙම පොත් වහන්සේ එකල වාර්ෂිකව කුරුණෑගල නගරය වටා ප‍්‍රදක්ෂිණා කරවා ඇත. මෙම පොත සිංහලයට පරිවර්තනය කිරීමෙන් රට තුළ ඇතිවූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා ජාතක කතා සිතුවමට නැගීමටත් පෙතිකඩ චිත‍්‍ර ලෙස භාවිත කිරීමටත් කටයුතු කර තිබූ බව ද පෙනී යයි.
මේ අනුව සිංහලට පෙරළුණු ජාතක පොත් වහන්සේට බෞද්ධයන් කොතරම් ගරු කළා දැයි කිවහොත් ඊට පුද පූජා පවත්වා ඇත. එදා සිට අද දක්වාම ඇත්කඳ විහාරයේ තිබෙන මෙහි මුල් පිටපත වාර්ෂික කුරුණෑගල ශ්‍රී දළදා පෙරහරේ ඓතිහාසික අංගයක් ලෙස වැඩම කරවනු ලබයි.
‘‘සිංහල ජාතක පොත් වහන්සේ ඇතු පිට තබා වර්ෂයකට වරක් නගරයේ ප‍්‍රදක්ෂිණ කළ යුතුය’’ යනුවෙන් හතර වැනි පරාක‍්‍රමබාහු  රජු නියෝගයක් ද පනවා තිබේ. මෙම ඉපැරණි රාජ නියෝගය කුරුණෑගල ශ්‍රී දළදා පොසොන් පෙරහර පැවැත්වීමෙන් වාර්ෂිකව ඉටු කරයි.
මෙම ග‍්‍රන්ථය පිළිබඳ ජනතාවගේ විශ්වාසය, ගෞරවය කොතෙක් ද යත් අතීතයේ සිටම එය සාක්ෂි කරගෙන දිවුරුම් දී ඇති බව ද පෙනී යයි. පොලිස් උසාවියේ සහ කම්කරු ආරවුල් විසඳීම සඳහා ජාතක පොත මත අත තබා දිවුරුම් දීමේ රාජ නියෝගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ද ඇත්කඳ විහාරයට බලය පවරා තිබී ඇත.
අදටත් ඇතැම් අවස්ථාවල දී කුරුණෑගල තිබෙන අධිකරණවලින් ලබා දෙන නියෝග සහිතව දිවුරුම් දෙන්නේ ඇත්කඳ විහාරයෙහි සුරක්ෂිතව තැම්පත් කර තිබෙන ඉපැරණි ජාතක පොත් වහන්සේ සාක්ෂි කරගෙනය.
මෙරට බෞද්ධයන්ට මහා දායාදයක් බඳුවූ මෙම පොත් වහන්සේ ඉතා අලංකාර ලෙස සැකසූ කුඩා මේසයක සුරක්ෂිතව තැම්පත් කර තිබෙනු ඇත්කඳ විහාර මන්දිරයට පිවිසෙන  ඕනෑම අයකුට දැකගත හැකිම අනර්ඝ වස්තුවකි.
ඇත්කඳ රාජමහා විහාරයේ ඓතිහාසික වටිනාකම මෙම ග‍්‍රන්ථයෙන් මනාව කියාපායි. මෙහි විහාරාධිපති ධුරය දරන අස්ගිරි මහා විහාරයීය ලේඛකාධිකාරි ආණමඩුවේ ධම්මදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි මහසෙන්ගම පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ ඉපැරැණි ජාතක පොතේ වත්මන් භාරකරු ලෙස කටයුතු කරති.
මේධංකර හිමියන් මෙම පොත් වහන්සේ ග‍්‍රන්ථාරූඪ කරන ආකාරය දැක්වෙන ඉපැරැණි සිතුවමක් මේ වන විට ජර්මනියේ කෞතුකාගාරයක තිබෙන බව ද, එහි පිටපතක් මේ වන විට මහනුවර කෞතුකාගාරයේ තිබෙන බව ද පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ පැවසූහ. එම සිතුවමේ දැක්වෙන ආකාරයට දැනට විහාරස්ථානයේ පවතින ඉපැරණි ලෙන් විහාරයේ සිට ජාතක කතා පොත් වහන්සේ ලියන්නට ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
‘‘අපේ සිංහල සාහිත්‍යයේ වැදගත්ම ග‍්‍රන්ථය මෙයයි. සිංහල සාහිත්‍යය ජනතාව අතරට ගියේ මේ ග‍්‍රන්ථය නිසයි. උපදේශන සාහිත්‍යය කෘතියක් ලෙස ගත් විට ජාතක කතා පොත් වහන්සේ ඉතාම ඉහළ ස්ථානයක තිබෙනවා.’’
‘‘මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතා පවසා තිබෙනවා මෙය සම්පූර්ණයෙන්ම කියවූ අයකු සිටී නම් ඔහු වසර හාරසියයක් ජීවත්වූ අයකු ලෙස සලකන්න පුළුවන් තරම් පරිණත භාවයක් මෙයින් ලබා ගන්න පුළුවන් කියලා.’’
‘‘මෙම ග‍්‍රන්ථයෙන් සමාජයට උපදෙස් රැසක් ලැබෙනවා. උම්මග්ග ජාතකය ගතහොත් එයින් ප‍්‍රඥාව පිළිබඳව උපදෙස් රැුසක් සපයනවා. සමාජයේ ජීවත් විය යුතු ආකාරය මෙයින් මනාව කියා දෙනවා. ඒ නිසාම මේ පොත් වහන්සේ උතුම් ආගමික ග‍්‍රන්ථයකට වඩා උතුම් සාහිත්‍ය ග‍්‍රන්ථයක් ලෙස අපට සැලකීමට පුළුවන්,’’ යැයි පුක්‍ද්ක්‍දානන්ද හිමියෝ පෙන්වා දුන්හ.
ඉපැරැණි පුස්කොළ පොතක් ලෙස සුරක්ෂිතව තිබෙන ජාතක කතා පොත් වහන්සේට අමතරව තවත් ඉපැරණි පුස්කොළ පොත් රැසක්ම මෙම විහාරයේ සුරක්ෂිතව තිබීම ද විශේෂය. එබැවින් ඇත්කඳ විහාරස්ථානය මෙම සුරක්ෂිතතාව බෙහෙවින් ඇගැයීමට ලක් කළ යුතුය.
කුරුණෑගල නගරය පසුබිම් කරගෙන බිහිවී තිබෙන ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුත් බොහෝ දේ පිළිබඳව මෙතෙක් ප‍්‍රමාණවත් තරමට පර්යේෂණ හෝ අවධානයක් සිදු නොවීමෙන් මේ වන විට ඒවා විනාශයට ලක් වෙමින් පවතින ආකාරය දැකගත හැකිය. එවැනි යම් පර්යේෂණයක් සිදු වූවා නම් අදට ද සුරක්ෂිතව තිබෙන ජාතක කතා පොතේ මුල් පිටපත සේම සමාන තවත් වටිනා ඓතිහාසික තොරතුරු රැුසක්ම හෙළි කර ගැනීමට පුළුවන් වනු ඇත.
(මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් සහ පුරාවිද්‍යා කථිකාචාර්ය සී.ජී. කුමාරතුංග මහතා එක්ව රචිත ‘‘ඇත්කඳ රාජ මහා විහාරය’’ ග‍්‍රන්ථය ද මීට සහාය කර ගතිමි)
සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
2012 ඔක්තෝබර් මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඉපැරණි ලෙන් විහාරය
ඇත්කඳ රාජ මහා විහාරය
ජාතක කතා පොතේ සිංහල මුල් පිටපත
පුක්‍ද්ක්‍දානන්ද හිමි