උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව

තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම නව වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ ලබන මස 03, 04 සහ 05 යන දිනයන්හි පැවැත්වේ.
අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිට අග භාගය දක්වා විහිදෙන පෞරාණික උරුමයකට හිමිකම් කියන තන්තිරිමලය, සඟමිත් මහරහත් තෙරණින්ගේ පා පහස ලත්, සිරිමා බෝ සමිඳු එක් රැයක් වඩා හිඳුවාලූ ඓතිහාසික පුද බිමකි.
ප‍්‍රාග්ඓතිහාසික සිතුවම්, මහ රහතන් වහන්සේලා පරිහරණය කළ ස්වාභාවිකව නිර්මාණය වූ විශාල ජල පොකුණු, සෙල් පිළිම, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක රැුසකින් සමන්විත අක්කර දෙසිය පනහක මහා කළු ගල් තලාව පුරා විහිදෙන තන්තිරිමලේ පුද බිම ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික උරුමයකි.මහ කළු ගල් තලාව මුදුනේ විශ්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨමහාඵල බෝධීන් වහන්සේ මේ පුද බිමේ ආගමික වැදගත්කම මැනවින් කියා පායි. කළු ගලක් මුදුනේ මහ නියං සමයන්හි දී පවා කිසිදු උපද්‍රවයකින් තොරව අෂ්ඨඵල බෝධීන්වහන්සේ වැඩ හිඳීම ආශ්චර්යයක් බව බොහෝ අය පවසති. එපමණක් නොව තන්තිරිමලේ පුද බිම අලංකාරවත් කෙරෙන මහ කළු ගල් තලාව ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි.
රිටිගල කන්දෙන් ආරම්භ වන කදම්භ නදිය හෙවත් මල්වතුඔය අනුරාධපුර නගරය මැදින් කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව ගලා බැස, ඉන් අනතුරුව වයඹ දිසාගතව ගලා බැසීම නිසා නිර්මාණය වී තිබෙන තැනිතලා භූමියේ උස් ගල් තලාව මධ්‍යයේ ඓතිහාසික තන්තිරිමලේ පුද බිම පිහිටා තිබේ. ඉන් ඔබ්බට බටහිර දෙසින් ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි.
ඓතිහාසික තොරතුරු අනුව සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට ලක්දිවට වැඩම කරවූ දෙවැනි පෑතිස් රජුගේ පාලන සමයේ තන්තිරිමලය හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘තිවක්ක බමුණුගම’’ ලෙසිනි, සඟමිත් මහරත් තෙරණිය දඹදිව සිට ජය සිරි මහා බෝ අංකුරය වැඩමවා ගෙන ලක්දිවට පැමිණි ඓතිහාසික ගමනේ දී දඹකොළ පටුනේ දී නැවෙන් ගොඩ බැස, පෙරහරින් අනුරාධපුරයට පැමිණෙද්දී තන්තිරිමලේ පුද බිම පිහිටි සුවිශාල ගල් තලාව මත නැවතී රැයක් පහන් කළ බව එම ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.
එම අවදියේ වර්තමානයේ තන්තිරිමලේ ලෙස හඳුන්වන මේ ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දෙවැනි පෑතිස් රජුගේ හිතෛෂිවන්තයෙකු වූ තිවක්ක නම් බුමුණු තෙමේ විසිනි. එබැවින් එදා එම ප‍්‍රදේශය තිවක්ක බමුණුගම ලෙස හැඳින්විණි.තන්තිරිමලේ මහ ගල් තලාව මත රෝපණය කර තිබෙන අෂ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ පිළිබඳව ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙැවනි කථාවකි.
”සඟමිත් මහ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගෙන ආ ජය සිරි මහාබෝ අංකුරය අනුරාධපුරවරයේ මහමෙව්නා උයනේ උඩ මළුවේ දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් රෝපණය කරවන ලද අවස්ථාවේ ආශ්චර්යයක් ලෙසින් සිරිමා බෝ සමිඳුන්ගෙන් අංකුර අටක් පැන නැගී තිබිණ. ඉන් එක් බෝ අංකුරයක් දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් තම හිතෛෂිවන්ත තිවක්ක බමුණු තෙමේට ප‍්‍රදානය කර තිබිණ. ඒ, සිරිමා බෝ සමිඳුන්වහන්සේ දඹකොළ පටුනේ සිට වැඩමවා ගෙන අනුරාධපුරවරයට පෙරහරින් එන ගමනේ දී සඟමිත් මහරහත් තෙරණිය සහ සහපිරිවරත්, දෙවැනි පෑතිස් රජතුමන් ඇතුළු පිරිසත් තිවක්ක බමුණුගම දී මහත් හරසරින් පිළිගෙන මහ ගල් තලාව මත රැයක් පහන් කිරීමට පහසුකම් සලසා දී දැක්වූ ගරු සැලකිලි වෙනුවෙන් තිවක්ක බමුණු තෙමේට කෘතවේදීත්වය පළ කිරීම උදෙසායි.
බමුණු තෙමේ ද රජුගෙන් තමන්ට ලැබුණු බෝ අංකුරය මහත් හරසරින් පිළිගෙන පෙරහරින් තිවක්ක බමුණුගමට වැඩම කරවා කලින් අවස්ථාවේ සිරිමා බෝධීන් වහන්සේ රැයක් පහන් වන තුරු වැඩ සිටුවා තැබූ ගල් තලාව මත්තෙහිම බෝධි ප‍්‍රාකාරයක් තනවා එතැන රෝපණය කරන ලදී. අදත් ඇතතේ එදා ඒ රෝපණය කෙරුනු අෂ්ඨ මහාඵල බෝධීන් වහන්සේ බවට ජනතාව අතර විශ්වාසයක් පවතී.”
තන්තිරිමලය පුද බිමක් බවට පත් වන්නේ ඉන් අනතුරුව බවත් මහ රහතන්වහන්සේලා මේ පිං බිමේ භාවනානුයෝගීව වැඩ විසූ බවත් ඉතිහාසයේ සඳහන් වන අතර, අදත් මේ පින්බිමේ දක්නට ඉතිරිව තිබෙන නටඹුන් ඊට සාක්ෂි දරයි.
අෂ්ඨමහා පල බෝධීන් වහන්සේ වැඩ වසන මහ ගල් තලාවේ නැගෙනහිර බෑවුමේ නටඹුන්ව තිබෙන පබානසර භාවනායෝගී මහරහතන් වහන්සේලා මේ පිංබිමේ වැඩ විසූ බව සනාථ වන හොඳම සාක්ෂියයි. උන්වහන්සේලා පරිහරණය කළ කළු ගලින් නිමැවූ පොත් ගුල, ස්නානය කළ නෙළුම් මලින් පිරුණු ජල පොකුණ අදත් මේ පිංබිමේ දී දැකගත හැක.
බෝධීන් වහන්සේ වැඩවසන ගල් තලාවට පහළින් ඒ ආසන්නයේ දකුණු පැත්තෙහි ගල් කුලෙහි නෙළා තිබෙන සමාධි පිළිමය අඩි අටක පමණ උසින් යුක්තය. පිහිටි කළු ගල හාරා මතු කොට සැකසූ මෙය උන්නත නිර්මාණයකි.
සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපනය කර තිබේ. පිළිමයේ පසුපසින් අපූරු මකර තොරණක් නිර්මාණය කර ඇත්තේ එහි බර උසුලන ආකාරය දැක්වෙන සිංහ රූප දෙකක් ද සමගිනි.මෙම සමාධි පිළිමය අව්වෙන්, වැස්සෙන්, සුළගින් ආරක්ෂා කිරීම සඳහා පියස්සක් ඉදි කර තිබූ බවත් පෙනෙන්ට තිබේ. එහි සුවිශාල දොරටුවෙහි උළුවහු හා කුළුණු නිමවා ඇත්තේ කළු ගලෙනි. බොරදම් කැටයම්වලින් එම උළුවහු හා කුළුණු අලංකාරවත් කර තිබේ.
අෂ්ඨ මහාඵල බෝධීන්වහන්සේ වැඩ වසන මහ ගල් තලාවෙහි උතුරු බෑවුමේ පිහිටි කළු ගලෙන් මතු කර නෙලා තිබෙන අඩි 45ක් දිගින් යුතු සැතපෙන පිළිමය අනුරාධපුර යුගයේ විසූ අපේ පුරාණ ගල් කැටයම්කරුවන්ගේ කුසලතාවන් පිළිබිඹු කෙරෙන අපූරු නිර්මාණයකි.
මීට සියවස් දෙකකට පෙර නිධන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම සැතපෙන පිළිමයේ ශීර්ෂය ඇතුළු කොටස් පුරාවිද්‍යාඥයින්ගේ උපදෙස් මත පෙර පැවැති අයුරින්ම යළි සංරක්ෂණය කෙරුනේ මීට සතිි කිහිපයකට කළිනි. මහ ගල් තලාව මත කිරි බුබුලක් සේ දිස්වෙන මනරම් චෛත්‍යය ඉදි කර ඇත්තේ පුරාණයේ චෛත්‍ය ඉදි කර තිබුණු ස්ථානයේම බව පැවසේ. ඊට අමතරව මෑත භාගයේ ඉදි කෙරුණු විහාර මන්දිරයෙන් ද මෙම පිංබිමේ අලංකාරය තව තවත් වැඩි වෙයි.
ඓතිහාසික තන්තිරිමලේ පුදබිමට වරක් පැමිණි අයෙක් තවත් වරක් හෝ පැමිණෙන්නේ මේ පිංබිම ආගමික අතින් මෙන්ම ඓතිහාසික අතින් ද පාරිසරික අතින් ද ඉතා වැදගත් බැවිනි.
සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර
2012 මැයි මස 25  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 සැතපෙන බුදුරුව
ගල් තලාව