උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

රටට ශාන්තිය ගෙනදෙන කපිල වස්තු ධාතු දැක්ම


තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ම නුවණින් අවබෝධ කරගත්තා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සියලු ලෝ සතුන් ගේ හිත සුව පිණිසම දේශනා කොට වදාළහ. පන්සාළිස් වසක් පුරා එසේ ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දහම් මඟ පෙන්වා දුන් උන්වහන්සේ අසූ වැනි වියෙහි දී පිරිනිවන් පා වදාළහ. ඒ දඹදිව කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයනේ දී ය.
අඩ සියවසකට ආසන්න කාලයක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය හා අභිධර්ම පිටකය නමින් වර්තමානයේ ව්‍යවහාරව පවතී. සූත්‍ර පිටකයේ මහා පරි නිබ්බාන සූත්‍රයේ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත්ය. මහා පරිනිබ්බාන සූත්‍රයෙත්, සුමංගල විලාසිනිය හා බුද්ධ වංශය වැනි මූලාශ්‍රවලත් සඳහන් වන තොරතුරුවලට අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය සැළ වූ වහාම දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ සේනා සහිතව කුසිනාරා නුවරට පැමිණ සර්වඥ ධාතූන් වහන්සේට සිය අයිතිය ප්‍රකාශ කරන්නට වූහ.
”භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්ෂත්‍රියයෝය. එබැවින් ධාතුන් වහන්සේ ගේ නියම හිමිකාරීත්වය අපටය.” යි රජ දරුවෝ සිය සුදුසුකම් ඉදිරිපත් කළහ.
”තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අප ග්‍රාමයේ ය. එහෙයින් උන්වහන්සේ ගේ ආදාහනයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේ ගේ අයිතිය අපටමය. අන් අයට දිය නොහැකිය” යි කුසිනාරාවේ මල්ල රජවරු කීහ.
”භාග්‍යවතුන් වහන්සේ අප ගේ ශ්‍රේෂ්ඨ ඥාතියෙකි. අපි ද උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන්ගෙන් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. අපි උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සවද කරන්නෙමු…” යි කපිල වස්තු ජනපදයේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට ලේ ඥාතීත්වයක් ඇති බව ප්‍රකාශ කර සිටියහ.
මෙසේ රජදරුවන් සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් සිය අයිතිය ප්‍රකාශ කරමින් සිටියදී සිදු වන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්ය තෙමේ
’පින්වත් රජවරුනි. මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. (සාමය අගය කළ උතුමෙක් වූහ.) ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේ ම ය.’ යි සියලු රජදරුවන් සමඟි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ.
රජ දරුවෝ තම තමන්ට ලැබුණු ධාතු ඒ ඒ පාලන ප්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළහ. මේ පිළිබඳ වැදගත් තොරතුරු ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.
මේ අනුව කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට ලැබුණු ධාතුන් වහන්සේ තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ. ‘කපිල වස්තු ධාතු’ නමින් මෙකල හඳුන්වන්නේ ඉහත විස්තර කළ පරිදි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ නම් බමුණා විසින් කපිල වස්තු ශාක්‍යයන්ට බෙදා දුන් ධාතුන් වහන්සේය. අදින් වසර 2400 ට පමණ පෙර කපිල වස්තුවේ රජදරුවන් විසින් ධාතුන් වහන්සේ තැන්පත් කර එසේ ඉදිකරන ලද චෛත්‍යය, කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබූ සම්බුද්ධ ධාතුන් වහන්සේ ය.
මෙම පූජනීය ධාතුන් වහන්සේ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහම් මහතාට ය. ඔහු ගේ මූලිකත්වයෙන් කළ පුරා විද්‍යා කැණීම්වලදී අදින් වසර 113 ට පමණ පෙර මේ ධාතුන් වහන්සේ සහිත කරඬුව හමුවිය. ඒ වර්තමාන බිහාරයේ (උත්තර ප්‍රදේශය) ‘පි‍්‍රපාවා’ නැමැති ස්ථානයෙනි.
වත්මන් ‘පි‍්‍රපාවා’ ප්‍රදේශය ඉතිහාසයේ කපිලවස්තුවයි. කපිල වස්තු නම් පුරාණ ජනපදයෙන් හමු වූ නිසාත්, කපිල වස්තු ශාක්‍යයන් විසින් මෙම ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකළ නිසාත් මෙම ධාතුන් වහන්සේ ‘කපිල වස්තු ධාතු’ නමින් ම හැඳින්වේ.
ලොව බොහෝ බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කළ ද ඇතැම් පිරිස් ‘මේ සර්වඥ ධාතුන් ම දැ’යි ඒ පිළිබඳ යම් යම් සැක පහළ කර ගන්නා බවද දක්නට ලැබේ. එහෙත් එම ස්ථානයේ දී හමු වූ ධාතු කරඬු පරීක්‍ෂා කිරීමේදී ඒවායේ වසර 2300 ක් තරම් පුරාණ බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචිත පද පේළි කීපයකින් සමන්විත ලිපියක් හඳුනා ගත හැකි විය.
මේ බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ විසූ දඹදිව ධර්මාශෝක රජුට අයත් බව ලෝ ප්‍රකට පුරාවිද්‍යා පර්යේෂකයෝ, සෙල්ලිපි පිළිබඳ උගත්තු නිවැරැදිව හඳුනා ගත් හ. බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපියේ සිංහල පරිවර්තනය පහත පරිදිය.
1. සුකිතිභතානං සභගි
2. නිකානං සපුතදලනං
3. ඉයං සලිල නිධනෙ
4. බුධස භගවතෙ සකියානං
ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු මෙහි තැන්පත් කර ඇති බව ‘ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානං’ යන කොටසින් තහවුරු වේ.
ඒ අනුව මෙම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම බව සමස්ත ලෝකයේම පුරාවිද්‍යාඥයින් විසින් ද පිළිගෙන අවසන් ය.
එම ‘කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ දැක බලා වන්දනා මාන කරගන්නට ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ද මහඟු අවස්ථාවක් උදාවේ. ඒ පසුගිය ඉන්දීය සංචාරයකදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවය.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙසේ ශ්‍රී ලංකාවට සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිතුදම ශක්තිමත් කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ද වනු ඇත.
මින් වසර 34 කට පෙර 1978 වසරේ දී මෙම කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවා කැලණිය රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කළ අවස්ථාවේ බුද්ධ රශ්මි මාලා විහිදවනු දුටු බව නැරඹූ ජනතාව අදටත් පවසති. එම අවස්ථාව බුදුරදුන් ගේ සිව්වැනි ලංකාගමනය ලෙස එකල පුවත්පත්වල මුල් පිටුවල පවා හඳුන්වා දී තිබුණි. මෙවර එම සුවිශේෂී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතක දී ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් ය.
ඒ අනුව ඉන්දීය සංස්කෘතික ඇමැතිවරිය ඇතුළු දූත පිරිසක් නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් සර්වඥ ධාතූන් වහන්සේ වඩමවා ගෙන අද (19) පෙරවරු 10.30 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන බව පසු ගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ පැවසූහ.
එහිදී තෛ‍්‍රනිකායික මහනාහිමිවරු ඇතුළු සියක් නමක් භික්ෂුන් වහන්සේ ගේ ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් සර්වඥ ධාතූන් වහන්සේ පිළිගනු ලබන අතර එහිදී සියලු ආගමික වතාවත් පවත්වනු ලැබේ. ඉන්පසුව කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ එදින පස්වරු 2.30 සිට 2600 ශ්‍රී සම්බුද්ධත්වය නිමිත්තෙන් කැලණිය මානෙල්වතු මහා විහාරස්ථානයේ ඉදිකළ කපිල වස්තුපුර මාලිගා පරිශ්‍රයේ දී සියලු බුද්ධෝපස්ථාන සහිතව මහ ජනහිත සුව පිණිස ප්‍රදර්ශනය කෙරේ.
මානෙල්වතු මහා විහාරාධිපති, ජාත්‍යන්තර ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තායිවානයේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය බෝදාගම ධර්ම කිර්ති ශ්‍රී චන්දිම හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහිදී සර්වඥ ධාතූන් වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.
22 වැනි දා උදෑසන 6.00 ට කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශන කටයුතු අවසන් කැරෙන අතර එදින උදෑසන බුද්ධ පූජාව පවත්වා එහි සිට ගුවනින් පැල්මඩුල්ල ක්‍රීඩාංගණය දක්වා සර්වඥ ධාතු වැඩමවීමට නියමිතය.
ක්‍රීඩාංගණයේ සිට රිය පෙරහරකින් පැල්මඩුල්ල රජමහා විහාරයට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ එහි දී මහජනතාවට ප්‍රදර්ශනය කැරෙනු ඇත. ඒ අනුව 19, 20, 21 යන දිනයන්හි කැලණිය මානෙල්වත්ත විහාරය, 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනි දින දහවල් 12.00 වනතුරු මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.
බුදුරජාණන් වහන්සේට සිදු කැරෙන ඉහළම පූජෝපහාරයක් ලෙස මෙහිදී මහා සංඝරත්නය විසින් අඛණ්ඩව පිරිත් සජ්ක්‍ධායනය සිදුකරන අතර තුන් වරු තේවාව, උදෑසන දහවල් බුද්ධ පූජාව, සවස ගිලන් පස පූජාව හා හේවිසි ශබ්ද පූජාවන් ගෙන් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වනු ඇත. බුදුරජාණන් වහන්සේ ද ධාතු පූජාව අනුදැන වදාළ බව අපදාන පාලියෙන් ද අනාවරණය වේ. සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු විස්තර වේ.
දීඝ නිකායේ සඳහන් වන්නේ බුදු, පසේබුදු, මහ රහත් හා සක්විති යන සිව් මහා පුද්ගලයන් ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපහාර දැක්වීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බවත් එය බොහෝ දෙනා ගේ හිත සුව පිණිස වන බවත් ය. මෙම අතිශය දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සර්වඥ ධාතුන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීම සඳහා දුර බැහැර සිට පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා තිබෙන අතර ජලය, ආහාර, සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ස්වේච්ඡා ආයතන රැසක් ඉදිරිපත්ව සිටී. දන්සැල් ද ඉදිවේ. ඒ ඒ විහාරස්ථානයන් හි නායක ස්වාමීන් වහන්සේ, දිසාපතිවරු, පළාත් සහ ප්‍රාදේශීය ප්‍රධානීන්, බෞද්ධ සංවිධාන හා සමඟ එක්ව මේ කටයුතු සංවිධානය කර තිබේ.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව සලකා සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාව උන්වහන්සේට දක්වන ගෞරවයක් ලෙස නිර්මාංශව සුදුවතින් සැරසී පැමිණීමත්, විනීතව හැසිරීමත් අපේක්ෂා කෙරේ. අද සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය කැරෙන ලබන මස 05 දා දක්වා සෑම බෞද්ධ නිවෙසකම, රජයේ සහ පෞද්ගලික ආයතනවල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙස ද ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ ඉල්ලා සිටිති.
තිස් වසරක් පුරා කුරිරු යුද්ධයේ ශාපයෙන් ඔද්දල් වූ සිතැති ලාංකේය ජනතාව දැන් නිදහස ලබා තිබේ. රටට සාමය උදා වී තිබේ. එවන් සාමකාමී යුගයක සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම ආශිර්වාදයකි. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් ගුණ තම තම නැණ පමණින් හෝ සිහිපත් කර උන්වහන්සේ වන්දනා කිරීම ද දුක්, බිය, ශෝක, සැක, සංකා, රෝග, දුර්භික්ෂාදියෙන් මිදීමට හේතු වන්නකි. බුදුගුණ වැඩීම නිර්වාණය පිණිස හේතු වන්නකි. ලොව ඉතා විශ්වාසනීයව හා විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කෙරුණු සර්වඥ ධාතූන් වහන්සේ ලෙස කපිල වස්තු ධාතු හඳුනා ගත හැකි බව ශිලා ලේඛනයන් ගෙන් මනාව ප්‍රත්‍යක්ෂ කළ හැකි අතර, සර්වඥ ධාතු ආගමනය සකල ශ්‍රී ලංකාවාසීන් ලද මහත් භාග්‍යයකි. එහි පුණ්‍යානුමෝදනාවත්, සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ගේ ගෞරව භක්ති ප්‍රණාමයත් ජනාධිපතිතුමාට හිමි විය යුතු ය.
(විශේෂ ස්තුතිය – මල්වතු මහා විහාරවාසී මැද මහනුවර ධම්මසිරි හිමියන්ට)

- රමණී සුබසිංහ