උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

බුදු දහමින් පෝෂණය ලද ලාංකික උත්සව හා පූජාවිධි

ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ අනුනායක 
මහාචාර්ය 
වරාගොඩ පේමරතන අනු නාහිමි

වංස කතාවලින් පැවසෙන පරිදි, මහින්දාගමනයට ශතවර්ෂ කීපයකට පෙර සිට ම ලාංකිකයෝ බුදුසමය ගැන යම් ප්‍රමාණයක හැඳිනීමක් ඇතිව සිටියහ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් ඒ හැඳිනීම රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවක් බවට පත්විය. බුදු දහම ලාංකික ජනතාවගේ නිත්‍ය ආගම වශයෙන් මෙන් ම ප්‍රධාන සංස්කෘතික බලවේගය වශයෙන් ද ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ එතැන් සිට ය. උත්සව සහ පූජාවිධි ලාංකික සංස්කෘතියෙහි විශේෂාංගයක් ලෙස වර්ධනය වන්නට පටන් ගත්තේ ද ඉන් පසුව ය.
ගත වූ ශතවර්ෂ විසිපහක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සංස්කෘතිය පෝෂණය වූයේ බුදු දහමේ අනුහසින් බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. ඒ බලපෑම කොතරම් ප්‍රබල වී දැයි කියතොත් ශ්‍රී ලංකා සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය යනු දෙකක් නොව එකක් ම යැයි පිළිගත යුතු තරම් ය. මේ කාරණය ලංකාවේ බෞද්ධ ජනයා විසින් වාර්ෂික හෝ වාරික වශයෙන් පවත්වනු ලබන උත්සව දෙස බැලුවත් පූජාවිධි දෙස බැලුවත් නිරායාසයෙන් ම තහවුරු වන කරුණකි.
උත්සව හා පූජාවිධි කෙරෙහි බුදුසමය කෙතෙක් දුර බලපා ඇද්දැයි ප්‍රකට කරන ලක්ෂණ කවරේදැයි විමසා බැලීම ලිපියේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් ය. ආචාර විද්‍යාත්මක පක්ෂයෙන් ගත් කල බුදු දහමේ පදනම අවිහිංසාව පෙරටු කොට ගත් ආත්ම සංවරයයි. සමාජ විද්‍යාත්මක වශයෙන් සතර බ්‍රහ්මවිහරණයයි. අධ්‍යාත්ම පක්ෂයෙන් කෙලෙස් නිවාරණය හා ආත්ම පාරිශුද්ධියයි. සාමූහික පිරිසක් හෝ තනි කෙනෙකු විසින් සිදුකෙරෙන යම් ක්‍රියාවක මේ ලක්ෂණ දැකිය හැකි නම් එය බුදු දහමට අනුරූප ව සකස් වූ ක්‍රියාවකැයි විවාදයකින් තොරව නිශ්චය කළ හැකිය. වර්ෂ දෙදහස් පන්සිය පණහක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවාසීන් විසින් පවත්වා ගෙන එනු ලබන උත්සව සහ පූජාවිධි සියල්ලෙහි ම පාහේ ඉහත කී ලක්ෂණ ඉස්මතු වී පෙනෙයි.
ලංකාවේ බෞද්ධයන් විසින් උත්කර්ෂවත් ලිලාවෙන් වාර්ෂික ව පවත්වා ගෙන එන ආගමික උත්සව කීපයක් ඇත. දුරුතු, වෙසක්, පොසොන්, ඇසළ යනු ඒ අතරින් ප්‍රධානත්වය දරන බෞද්ධ උත්සවයෝ වෙති. ඒ සියල්ල ම බෞද්ධ ඉතිහාසයේ යම් වැදගත් සිදුවීමක් මුල් කොට ගෙන ඇරඹුණා මෙන් ම, වෙසක් හැර ඉතිරි උත්සවවල කේන්ද්‍රස්ථානය වන්නේ ලංකාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. විශේෂයෙන් දුරුතු උත්සවයේ දී මහියංගනය විහාරය සහ කැලණිය විහාරය ප්‍රධාන වෙයි. බුදුන් වහන්සේ ලංකාවේ මහියංගනයට වැඩම කොට එකල මෙරට යක්ෂ නමින් ප්‍රසිද්ධව රට පාලනය කරමින් බලවත්ව සිටියවුන් මේ දිවයිනෙන් එළවා හරින ලද්දේත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ප්‍රදානය කළේත් දුරුතු පුරපසළොස්වක පෝය දවසක යැයි වංස කතාවලින් පැවසෙයි. දුරුතු පෝය දිනයේ දී මහියංගනය සහ කැලණිය බෞද්ධ බැතිමතුන්ගේ අවධානයට ලක් වන්නේ කවර හෙයින්දැයි මෙයින් වටහා ගත හැකිය.
බුදු සමය හැඳින ගැනීමෙන් පසු ලංකාවේ සිදුකෙරෙන විශාලතම උත්සවය වෙසක් යන නමින් ප්‍රසිද්ධය. බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන සිදුවීම් තුන ම එකම දිනයක දී හෙවත් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේ දී සිදු විණැයි ථෙරවාදී බෞද්ධයෝ අදහති. මෙහි එකම දිනය යන්නෙන් අදහස් වන්නේ ඒ සියලු සිදුවීම් එකම දවසක් තුළ දී සිදුවූ බව නොවේ. ක්‍රිස්තු පූර්ව 544 දී උපත ලැබූ බවත්, ඉන් වර්ෂ 35කට පසු (509 දී) බුද්ධත්වය ලත් බවත්, ඉනුත් වර්ෂ 45කට පසුව (464 දී) පිරිනිවන් පා වදාළ බවත් ය. දිනය එක නමකින් හැඳින්වෙන නමුත් සිද්ධි තුන වර්ෂ තුනකදී සිදු වූ බව සැලකිය යුතුය. කෙසේ වෙතත් ඒ සියල්ල ම බෞද්ධයාගේ සිතෙහි ගැඹුරු ලෙස කාවැදුණු අවස්ථාවෝ ය. වෙසක් පොහෝ දිනය බුදුන් වහන්සේ ගෞරවසම්ප්‍රයුක්ත ව අනුස්මණරය කිරීම සඳහා යොදා ගැනුනේ කවර කාරණා පෙරදැරි කර ගෙනදැයි දැන් පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ අරභයා නොයෙක් පුදපුජා පැවැත්වීමත් උන් වහන්සේ විසින් අනුදැන වදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් වෙසක් උත්සවයේ ප්‍රධාන ලක්ෂණය වෙයි.
ලාංකික බෞද්ධ ජනතාවගේ අවධානකයට යොමු වන ඊළඟ වැදගත් පෝය පොසොන් පුර පසළොස්වක දිනයයි. ධර්මාශෝක නමින් ඉන්දියාවේ පහළ වූ බලවත් ම මහාධිරාජයාගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ එවක රාජ්‍යය ඉසුළූ දේවානම් පියතිස්ස රජතුමා වෙත සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මදූත පිරිසක් ලෙසින් එවන ලද්දේ එදින ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ප්‍රධාන වශයෙන් රාජ්‍යතාන්ත්‍රික කාර්යයක් වූවා සේ ම රාජ්‍ය මට්ටමින් බුදු දහම මෙරටට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ද විය. ඒ නිසා ඒ සිද්ධිය ආගමික වශයෙන් හා ඓතිහාසික වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද විශේෂ වැදගත්කමක් උසුළයි. මිහිඳු මාහිමියන් වහන්සේ ආපසු ඉන්දියාවට නොවැඩ, එවක ලංකාවේ අගනුවර වූ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන සිය ධර්මදූත කාර්යය ක්‍රියාත්මක කරවූහ. එහෙයින් පොසොන් උත්සවයට කේන්ද්‍ර වන්නේ මිහින්තලය සහ අනුරාධපුරයයි.
බෞද්ධ දින දර්ශනයේ මීළඟට සටහන් වන වැදගත් උත්සව දිනය ඇසළ නම් වේ. ගෞතම බුදුපියාණන් වහන්සේ ජන්මලාභය ලැබූ දේශය වූ භාරතයේ ඒ කාලයේ පවා ඇසළ මාසය උත්සව සමයක් ව පැවැති බව බෞද්ධ පොතපතින් ප්‍රකාශ වේ. ඇසළ පොහොය පූජනීය දිනයක් වීමට තවත් හේතුවක් වූයේ බුදුන් වහන්සේගේ පළමු ම දේශනාව වූ ධම්මචක්කප්පවත්නන සූත්‍රය දෙසා වදාළේ එදින වීමයි. වෙනත් ලෙසකින් කියතොත් පස්වග මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ තවුසා රහත්භාවයට පත් කොට ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ දිනය වීමයි. ඊට අතිරේක වශයෙන් බෞද්ධ ඉතිහාසයේ තවත් සිදුවීම් කීපයක් ඇසළ උත්සවයට සම්බන්ධ වී තිබේ. සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය කිරීම, මාතෘ දේවියට අභිධර්මය දේශනා කිරීම පිණිස දෙව්ලොවට වැඩමවීම ආදිය ඉන් කීපයකි.
වර්ෂයේ අවසාන මාසයට යෙදෙන උඳුවප් පොහොය දිනය ද ආගමික වශයෙන් මෙන් ම ජාතික වශයෙන් ද වැදගත් වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ නායකත්වයෙන් යුත් භික්ෂුණී පිරිසක් විසින් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ උන්වහන්සේට සෙවණ සැපයූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට ගෙන ආ දිනයයි. ඒ දෙවනපෑතිස් රජුගේ යුගයේ සිට අද දක්වා ම රාජ රාජමහාමාත්‍යාදීන්ගේත් පොදු ජනතාව එකසේ පූජෝපහාරයට හා ගෞරවාදරයට ලක් වූ ශ්‍රී මහාබෝධිය අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටිති. ඒ තරමට ම වැදගත් වූ අනිත් සිද්ධිය ලංකාවේ භික්ෂුණී ශාසනය ප්‍රතිෂ්ඨාපනය වීමයි. මිහිඳු මහරහතන් වහන්සේගේ සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේත් මෙහෙයවීම යටතේ රජ පවුලට සමබන්ධ වූ කාන්තාවන් 50 වැඩි පිරිසක් භික්ෂූත්වයට පත්වීම ලංකා භික්ෂුණී ශාසනයේ ආරම්භය විය.
ඉහත විස්තර කළ සියලු දින වකවානු ලාංකික බෞද්ධයන් උත්සව පවත්වන දින ලෙස ඉතිහාසයට එක් වී ඇත. මෙහි මුල දී සඳහන් කළ පිරිදි ඒ උත්සව දිනවල දී ජන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අධ්‍යාත්මික පක්ෂයට නැඹුරුව ප්‍රතිපත්තිකාමි වීමයි. ඒ හැම පෙහොය දිනක ම සැදැහැත්තෝ ඒ අවස්ථාවවට වැදගත් වූ විහාරස්ථානවලට හෝ තම ගම්මානවල විහාරස්ථානවලට රැස්වී අටසිල් හෝ දසසිල් සමාදන් වෙති. බොහෝ පින්වත්හු දානය හා ගිලන්පස සපයමින් සිල් සමාදන්වූවන්ට සංග්‍රහ කරති. තරුණ – ලාබාල බොහෝ දෙනා රංචු ගැසී යම් යම් ප්‍රසිද්ධ විහාරස්ථාන නැරඹීම සඳහා වන්දනාවේ යති. සමහර පින්වත්හු එසේ වන්දනාවේ යන පිරිස් උදෙසා දන්සල් පවත්වති. සමහරු අංගවිකලවූවනට, ළමා නිවාසවලට මහලු නිවාසවල රෝහල්වල රෝගීන්ට නොයෙක් අයුරින් සංග්‍රහ කරති. මෙලෙසින් සාමාන්‍යයෙන් පොහොය දවස පින් රැස් කර ගැනීම සඳහා ම වෙන් වූ දිනය ලෙස සලකා, එදින ගොවිතැන් වෙළෙදාම් ආදී කටයුතු අත්හිටුවා ජනයා විවිධ ආගමික කටයුතුවල යෙදෙන්නට පුරුදු වී සිටිති.
ප්‍රධාන උත්සව අවස්ථාවල දී ධර්මාමිෂ පක්ෂයට නැඹුරුව ජාතක කතා, පූජිත මහෝත්තමයන්ගේ චරිත කතා, බුද්ධදේශනා ආදී උපදේශාත්මක කතා වස්තු මුල් කොට ගෙන විශාල තොරන් ඉදි කොට ඒවා විදුලි බලය ආධාරයෙන් ක්‍රියා කරවා ප්‍රදර්ශනය කරවති. කණ්ඩායම් වශයෙන් එක් රැස් වී අදාළ ප්‍රධාන සිද්ධිය අළලා භක්ති ගීත ගායනා කරවති.
මේ මාර්ගවලින් නරඹන්නන්ගේ හා ශ්‍රාවකයන්ගේ බුද්ධ ධර්මය පිළිබඳ දැනුම ද ශ්‍රද්ධාව ද දියුණු කෙරෙයි.
බෞද්ධ උත්සවවල විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් පෙරහර පැවැත්වීමයි. ඒ සිරිත ආරම්භ වූයේ දෙවනපෑතිස් රජතුමාගේ කාලයේ දී ම ය. සංඝමිත්තා මෙහෙණිනන් වහන්සේ ලංකාවවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ අවස්ථාව ඊට කදිම නිදසුනකි. ඉන්දියාවේ සිට ලංකාවේ දඹකොළපටුන නම් වූ මුහුදු තොටට වැඩම වූ බෝධින් වහන්සේ එතැන් සිට අනුරාධපුරය දක්වා වැඩමවන ලද්දේ පංචතුර්යනාදය සහ අනේකප්‍රකාර නෘත්‍ය - ගීත – වාදිතයන්ගෙන් සමන්විත වූ විසිතුරු පෙරහරකින් ය. කිත්සිරිමෙවන් රජු දවස දන්තකුමරු සහ හේමමාලා කුමරිය විසින් ආරක්ෂා සහිත ව වැඩමවන ලද දළදා වහන්සේ මුහුදු තොටේ සිට අනුරාධපුරය දක්වා වැඩමවා ගෙන ආවේ ද දර්ශනීය පෙරහරකින් බව වංශ කතා පවසයි. අද වන විට විවිධ ආගමික සිද්ධීන් නිමිති කොට ගෙන රටේ නොයෙක් තැන්වල පෙරහර පැවැත්වෙයි. ඒවා බොහෝ විට රටවාසීන්ගේ කලාකාමීත්වය සහ කලාකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපයෝගී වී තිබේ.
බුදු සමයේ බලපෑම ඔස්සේ දියුණු වී ගිය තවත් පූජා විධියකි, පිරිත් දේශනාව. එය එක් අතකින් ශාන්තිකර්ම විධියකි. පුද්ගලික ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පැන නගින අවශ්‍යතා පහසුවෙන් විසඳා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පිරිත භාවිතා වන බවට සාධක දක්නා ලැබේ. දරු ප්‍රසූතිය, දරුවෙකුට නම් තැබීම, පළමු වරට කෙස් කැපීම, අකුරු කියවීම, විවාහය, රෝගියෙකු වීම, අමනුෂ්‍යයන්ගෙන් බියජනක පරිසරයක් වීම, ආදී අවස්ථාවල දී පමණක් නොව, නිවසකට මුල්ගල් තැබීම, කුඹුරු වැපිරීම ආදී අවස්ථාවල දී ද පිරිත් අනිවාර්ය වී තිබේ. මෙයින් යන්නේ ජන ජීවිතයටත් ඔවුන්ගේ ආර්ථික හා ජීවනෝපායවලටත් පිරිත කොයිතරම් වැදගත් වේ ද යන්නයි.
බෞද්ධයන්ගේ චාරිත්‍ර අතර පිරිතට ලැබී තිබෙන ස්ථානය කොබඳුද යන්න පැහැදිලි කර ගැනීම සඳහා කෙටි විමසීමක් කිරීම වැදගත් ය. පිරිත් දේශනාවට ගන්නා කාලය මත එය වර්ග කර ඇත. සත් දිනක් පුරා නොකඩවා දෙසන පිරිත සතිපිරිත යනුවෙන් ද, තිස් පැය (සිංහල පැය දෙකහමාරක් ඉංග්‍රීසි පැය ලෙස ගණනය කෙරෙයි) තුනක් තිස්සේ පැවැත්වෙන දේශනාව තුන්තිස් පැයේ පිරිත යනුවෙන් ද , පැය කීපයක් තිස්සේ දෙසන පිරිත වරු පිරිත යනුවෙන් ද වරු (වේල්) පිරිත යෙනුවෙන් ද වර්ග කර ඇත. මෙහි නියමය වන්නේ රෝගයේ හෝ සිද්ධියේ බරපතළකම අනුව කාලය නියම වීමයි. අංගුලිමාල පිරිත සහ වැසිපිරිත ආදී වශයෙන් නම් කෙරෙන පිරිත් තනිකර එක සිද්ධියකට පමණක් සීමා වෙයි. මෙයින් පෙනී යන්නේ පිරිත. ජීවිතය හා ඉතා කාට්ටුවෙන් බැඳී පවතින බවයි. හින්දු ආගමේ ශාන්තාකර්වලට සමානත්වයක් දක්වන පිරිත් දේශනාව සත්‍යක්‍රියාවක ස්වරූපය දරන බව මේ අනුව නිගමනය කළ හැකි ය.
අධ්‍යයනය අතින් බැලුවොත් මාතෘකාව සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් කර තිබෙන නමුත් තව කළ යුතු බොහෝ දේ තිබේ. මේ ලිපියෙන් කර තිබෙන්නේ පර්යේෂණයක් නොව, අසම්පූර්ණ දළ විස්තරයක් ඉදිරිපත් කිරීම පමණි. මත්තෙහි දී වැඩි විස්තර දැන ගත යුතු වනු ඇත.