උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

අටසැටලෙනින් ඇරැඹි මෙරට ලෙන් පූජාව

ශ්‍රී ලංකා ද්වීපයෙහි සම්බුද්ධ ශාසන ආරම්භය සිදු වූයේ ක්‍රි. පූ. 236 වැන්නේ දී දඹදිව ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිසේ ආගමනය සහ මිහින්තලා පර්වත භූමිය ද මුල්කර ගෙනය. ගල් සහ පස්‌ මිශ්‍ර වීමෙන් සෑදුන උස්‌ බිම යන අර්ථයෙන් මේ ස්‌ථානය මිස්‌සක පබ්බත යන වෙනත් නමකින්ද හැඳින්වේ. අනුරාධපුරයේ සිට සැතපුම් අටකට පමණ දුරින් නැගෙනහිර දිසාවේ කාලයන්හි දී දේව කූට, සුමණ කූට, සුභ කූට, පිලය කූට යන නම් වලින් හැඳින්වුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය.

බුදු සමය පැමිණි සමයේ මෙරට රජ කළ දේවානම් පියතිස්‌ස රජු හමුවීමට මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස සෘද්ධි බලයෙන් මෙ ස්‌ථානයට වැඩම කළ බවට මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ 18.19.20 යන පාලි ගාථාවන්ගෙන් ප්‍රකාශ වේ. පොසොන් පුන් පොහොය දිනක මිහිඳු මාහිමියෝ ඉට්‌ඨිය, උත්තිය, භද්දසාල, සම්බල යන තෙරුන් වහන්සේලා සිව් නමද සුමණ සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ද සමඟ සෘද්ධි බලයෙන් පිලයකූටය නම් වූ අබ්බස්‌ තලයෙහි වැඩසිටියේ යෑයි එකී ගාථාවල සඳහන්ය.

මිත්‍ර රජු විසින් තමා හමුවට එවන ලද දූත පිරිස හඳුනාගෙන ගෞරව සහිතව පිළිගත් දෙවන පෑතිස්‌ රජු එම පිරිසට තාවකාලිකව ලැඟුම් ගැනීමට සිය මගුල් ඇත්හල වහා පිළියෙල කර දුන් අතර පිරිසට වස්‌ විසීමට අවශ්‍ය වූ අවස්‌ථාවේ ඒ සඳහා මිහිඳු මාහිමියන්ගේ අනුශාසනය පරිදි මිහින්තලයේ පිහිටි අටසැටලෙන් වස්‌ විසීමට සුදුසු වන සේ සකස්‌ කර පූජා කළ බවටද සඳහන්ය. මේ අන්දමට එදා ලක්‌දිව ආරම්භ වූ ලෙස්‌ පූජාව සතර දිසාවෙහි ම පැතිර ගියෙන් ශ්‍රද්ධා සම්පන්නයෝ භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා උදෙසා ස්‌වභාවික පිහිටි ගල්ලෙන් කටාරම් කොටා පූජා කළහ. ඒ බවට රට පුරා ඒ ඒ ප්‍රදේශයන්ගෙන් හමුවන සාධක අති මහත්ය.

මිහිඳු මාහිමියන් මෙරටට ගෙන ආවේ සම්බුද්ධ ශාසනය පමණක්‌ම නොවේ. ඒ සමඟ එවකට දඹදිව පැවැති බ්‍රාහ්මී අක්‍ෂර මාලාවද මෙරටට ලැබිණි. එම කාලසීමාව තුළම උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ශ්‍රීමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ද සිදුවිය. එම ගමනේ දී දහඅට කුලයක කර්මාන්ත කරුවන්ද මෙහි පැමිණි බවට ද සඳහන්ය. ගල්වඩු, හීවඩු, කුඹල්, 

ලොහොකම් ආදියෙහි නිපුණ වූ ඔවුහු මෙහි පැමණීම සමඟම මෙරට විශාල සමාජ පෙරළියකට ලක්‌ වී ඇත. මේ නිසා සංඝයාට ලෙන් පිදීමේ දී ද වැඩි ප්‍රමාණයක ලෙන්හි පූජා කළ අයගේ නම් ගොත් ආදිය සඳහන් වන ලෙස අකුරු කොටා දක්‌වා ඇත.

වැසි දිය ලෙස තුළට කාන්දුවීම වැළැක්‌වීමට ලෙනෙහි උඩ කොටසේ කටාරම් කොටා ලෙන ඉදිරි පසින් වැටි බිතක්‌ (ගල් කැබලි සහිත වැටි යොදා) තනා වාසය සඳහා සැකසූවේ ලෙන් කලාතුරකින් අවස්‌ථාවක දී එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවක්‌ දක්‌නට ඇතත් බොහෝ අවස්‌ථාවන්හි "අගත අනගත චතුදිස සගස දිනේ" (ආවාවුද නොආවාවූද සතර දිහාවෙහි සංඝයාට පූජා කරන ලදී) යන පාඨය ලෙනෙහි කොටා ඒ අනුව සතර දිසාවෙහිම භික්‍ෂු සංඝයාට පූජාවක්‌ ලෙස පූජා කර ඇත. සොලීS බලය මුලිනුපුටා දමා යළි රාජ්‍යත්වයට පත් වීමට වලගම්බාවනට සහාය වූ මහා තිස්‌ස තෙරුනට අභයගිරි විහාරයද එලෙසම කොහොන්තිස්‌ස නම් තෙරුනට මහසෙන් රජු ඉදිකළ ඡේතවන විහාරයද එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවට සඳහන් වෙනත් ගල්ලෙන් පූජා කිරීමේදී සඟ පුරපුරටම පූජා කිරීම සම්ප්‍රදායක්‌ බවට පත්ව තිබිණි. එසේ වී මුත් එකී සම්ප්‍රදාය ඉක්‌මවා එක්‌ භික්‍ෂුවක්‌ මුල්ගොට ගල්ලෙන් පූජා කළ අවස්‌ථාද කලාතුරකින් දැකිය හැකිය. එබඳු අවස්‌ථාවක්‌ ලෙස "සමන බරචද සිලික නගරියන" (බරචන්ද නම් ශ්‍රවණයන් වහන්සේට සිලික නගරවාසීන් විසින් පූජා කරන ලදී) යන බ්‍රාහ්මි අක්‍ෂර කෙටූ ගල් ලෙනක්‌ තිස්‌සව කෝරලේ බැද්දේගමට සමීප ස්‌ථානයක පිහිටා ඇත. මෙහි තවත් විශේෂත්වයක්‌ නම් ඒ සමයෙහි මෙහි "සිලික" නම් වූ නගරයක්‌ තිබීම සහ සමූහයක්‌ එක්‌වී ලෙස සකස්‌ කර පූජා කිරීමත් ය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේම ඉබ්බාගමුව ආසන්නයේ රංකිරිමඩ නම් වූ රජමහා විහාර භූමියෙහි පිහිටි ගල්ලෙනක වෙත... උපතිසහ... හා අබනගරි යන ... සගස... (උපතිස්‌ස භික්‍ෂුවගේ ගුහාව අබනගරි වැසියේ සංඝයාට පූජා කරන ලදී) 

යනුවෙන් සඳහන් ව ඇති පාඨයෙන් ද මෙරට පිහිටි "අබ" නම් වූ නගරයක්‌ ගැන සඳහන් වේ.

මෙරටට බුදු සමය පැමිණි සමයේ දී සඟ සතු කර ගල්ලෙන් පිදීම ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුකර ඇති බව ද සාධක හමුවේ. "උති අයහ ජිතහ උපශික තිශස ලෙණෙ" (උතිය නම් කුමරුගේ දියණිය තිස්‌සාගේ ලෙන) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගලම් සිට පොල්පිතිගමට යන ප්‍රධාන මාර්ගයේ පිහිටි කබලෑලෙන (දාගම) විහාර භූමියේ පිහිටි ලෙනක "ගම්කමිතපලස ජිත රේවතී සමතිය ලෙණේ" (මිත්තපාල නම් ගම් ප්‍රධානියාගේ දුව රේවතී විසින් පූජා කළ ලෙන) ආදී වශයෙන් සඳහන් වීමෙන් ස්‌ත්‍රී පක්‍ෂයද ලෙන් පූජාවේදී මුල්වී කටයුතු කළ බවක්‌ දැකිය හැකිය.

නගරවාසීන් උපාසක උපාසිකාවන්, ගම් ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නායකාදීන්ද විශේෂයෙන් ම සෙන්පතියන්ද ලෙන් සකස්‌ කර සඟසතු කර පූජා කළ බව දක්‌නට ඇත. එවැනි අවස්‌ථාවක්‌ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නයින්දන්නාව (පැරණි සංගමු විහාරය යෑයි සිතන) රජමහ විහාර භූමියෙන් හමුවේ. මහාචාර්ය එම්. ඩබ්. විමල් විඡේරත්න මහතා ලියූ මලියදේව මහතන් වහන්සේ වැඩ විසූ මණ්‌ඩලාරාම මහා විහාරය යන පොතෙහි එම ලෙන් ලිපිය ගැන මෙසේ වූ විස්‌තරාත්මක සඳහනකි. "ගෝඨඉම්බර යෝධයාගේ ලෙන්ලිපි ඔහුගේ නිජබිම වූ රෝහණ රාජධානියේ අගනුවරව පැවැති මාගමට නුදුරින් සිතුල්පව්වෙන් හැරුණ විට ඔහුගේ ලෙන්ලිපි යළි හමුවන්නේ පෞරාණික දක්‍ෂිණ දේශයට අයත් කුරුණැගල දිස්‌ත්‍රික්‌කයේ ඔහුගේ බිරිඳගේ උපන්ගම වූ භෝක්‌කන්ත ග්‍රාමය සේ මෙහි හඳුනාගෙනු ලැබූ ගොකරැල්ලේ සිට කි.මී. 14.4 ක්‌ (සැ. 09 ක්‌) පමණ වයඹ දිගින් පිහිටි නයින්දන්නාව විහාරයෙනි. එහි ලෙන් ලිපිය මෙසේය. "පරුමක මහතිස පුත චුඩ අයිමරහ ලෙණෙ අයිමරහ පවතහි" මෙහි සඳහන් චුඩ අයිමර (චූල අතිම්බර) ගෝඨඉම්බර යෝධයා ලෙස හෙන්රි පාකර් මහතා ද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද හඳුනා ගනිති".

මහා සංඝයා උදෙසා පූජා කරන ලද ඇතැම් ලෙන්හි එකී ලෙනේ නම හැර අන් කිසිවක්‌ සඳහන් නොකළ අවස්‌ථා ද දක්‌නට ඇත. සුදසන, සිහපණ, නගහෙටි (නාගසොණ්‌ඩ) මුලසුදසන, තිබ, මහසුදසන, වනපසදන එබඳු අවස්‌ථා ලෙස දැක්‌විය හැකිය.

පැරණි භික්‍ෂු සමාජයේ ප්‍රධාන තම කාර්යය වූයේ භාවනා කිරීම සහ දේශනා කීරිමය. භාවනානුයෝගීව සිටීමට නම් ඒ සඳහා යෝග්‍ය පරිසරයක්‌ තිබීම අත්‍යවශ්‍ය කරුණකි. භාවනානුහෝගී භික්‍ෂුන්ට ලෙන් පූජා කළවුන් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වී ඇත. පූජාවට සකස්‌ කරන ලෙන මිනිස්‌ වාසයෙන් වඩාත් දුර හෝ මිනිස්‌ මාසයට වඩාත් සමීප නොවිය යුතුය. අවට පරිසරය ගස්‌ කොළන් මලින් යුක්‌ත සාන්ත පරිසරයක්‌ විය යුතුය. උස්‌ ස්‌ථානයක පිහිටිය යුතුය. මෙබඳු ලක්‍ෂණ සහිත ස්‌ථානයක පිහිටි ලෙන් පරිහරණය කළ භික්‍ෂුහු මාර්ගඵල ලාභීහු බවට පත්ව සසරින් එතෙර වූහ.

අල්පේච්ඡ බව ගල්ලෙන්වල විසූ භාවනානුයෝගීන්ගේ සුවිශේෂී ලක්‍ෂණයකි. දැඩි අධිෂ්ඨානයෙන් නොපසුබට වීර්යයෙන් ක්‍රියා කළ උන්වහන්සේලා බොහෝ විට දැඩි වෘත සමාදන්ව සිටියහ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ලියූ එක්‌ ග්‍රන්ථයක ඒකාසන වෘතය (නිදීම හිඳීම ආදී ඉරියව් සඳහා එකම අසුනක්‌ පරිහරණය කිරීම) ගත පච්චාගත වෘතය (භාවනා අරමුණකින් යම් ස්‌ථානයකට වඩින විට අරමුණ වෙනස්‌ වී නම් ආපසු ගොස්‌ නැවත අරමුණෙහි පිහිට යළි ගමන ආරම්භ කිරීම) පිණ්‌ඩපාතික වෘතය (පිඬු සිඟා ගැනීමෙන් පමණක්‌ම යෑපීම) ආදී වූ දැඩි වෘත ගැන සඳහන්ය. මහනුවර යුගයෙන් වැඩවිසූ සරණංකර සංඟරාජ මාහිමියන් වහන්සේ ද මෙම පිණ්‌ඩපාතිකව ජීවත් වීමේ මතය සමාදන් වී සිය ජීවිත කාලය පුරාවටම එය ආරක්‍ෂා කළ බවට පොත්වල සඳහන්ය.

අරන්කෙලිය හෙවත් ආරණ්‍ය ක්‍රීඩාව යනු කලින් සඳහන් කළ ලෙස වන 

සෙනසුනක පිහිටි ගල්ලෙනකට වැඳ තනිව භාවනානුයෝගීව විසීමය. සිංහල සාහිත්‍යයෙහි දහම්ගැට යනුවෙන් හැඳින්වෙන පද්‍ය විශේෂයෙකි. ඒ අතරින් එකකි.

පෙර එක්‌ දෙමස්‌සෙක්‌ 

දන්දීලාම සමණේ

දැන් සතරක්‌ ලද්දු 

වරෝරන් කෙළියට දැරියනේ

මෙහි වචනාර්ථය ඉක්‌ම යන වෙනත් අරුතක්‌ ද ඇත. පෙර මස්‌ඇස්‌ දෙකක්‌ දන් දුන් බෝසතාණෝ පසුව උතුම් වූ ශාස්‌තෲ පදවිය ලැබුනා බුද්ධිමතුනි ආරණ්‍ය ක්‍රීඩාවට හෙවත් ආරණ්‍යගතව භාවනා කිරීමට යොමුවන්න යනු එහි සැබෑ අරුතය. මෙකල ද රුවන්ගිරිකන්ද, නාථගනේ, මාලිගාතැන්න, දිඹුලාගල ආදී ස්‌ථානහන්හි භාවනානුයෝගී භික්‍ෂුහු වැඩවාසය කරති.

ඩී. ඒ. ටී. බී. දේවසිංහ

විශ්‍රාමික විදුහල්පති