උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ඒ වීතරාගී උතුමන් වහන්සේලා නිසා සිතුල්පව්ව සදා පූජනීයයි

ස්වකීය අධ්‍යාත්මයේ අතිශය පාරිශුද්ධත්වයට පැමිණියා වූ ඒ වීතරාගී රහතන් වහන්සේලා නිසා සිතුල්පව්ව වැනි අසිරිමත් පින්බිම් සදා පූජනීයයි. ඒ ඇසුරින් දස දහස් ගණනින් නොව ලක්ෂ කෝටි ගණනින් ආර්ය ජනතාවක් බිහි විණි. මනා පෞරුෂයකින් හෙබි රාජ්‍ය පාලකයන් බිහිවිනි. සෑම අතින්ම  සමෘද්ධිමත් වූ රටක්ද, ලෝකයේ අති උදාර ජාතියක්ද, ඒ ජාතියට උදම් විය හැකි ශ්‍රේෂ්ඨ  සංස්කෘතික අනන්‍යතාවයක්ද මතු විණි. අද පවා  ලොවක් මවිත කරන්නා වූ විස්මිත ශීල්ප ක්‍රමයන් තුළින් ඉදි  වූ මහා ජලාශ හා දාගැබ් මෙන්ම ගරා වැටුණ ගොඩනැගිලි පිළිබඳව අද අප උදම්  අනමින්  සිටින්නෙමු. ඒ උදම් අනන්නේ ඒකීය පුද්ගල සන්තානයක ඇතිවූ අධ්‍යාත්මික නොකිළිටි බව හෙවත් සත්‍යාවබෝධය ගැනම බව අපට නොතේරේ. මෙම යථාර්ථයට පිටුපා සුන්දර යැයි කියමින් අඳුරම වැළඳ ගෙන සිටින්නෙමු.
සිතුල්පව්ව අසිරිමත් පූණ්‍ය භූමිය නැවතත් ආර්ය භූමියක් බවට පත්කිරීමේලා සක්‍රීය දායකත්වයක් දීමට අප එකිනෙකා තමා තුළින් තමා දැක ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට ‍පොසොන් උත්සව සමයේ ඉටා ගනිමු. අතීතයේ සිතුල්පව්වේ වැඩ විසු රහතන් වහන්සේලා සම්බන්ධ කථා ප්‍රවෘත්ති තුළින් හා ඒ අසිරිමත් ජීවන පිලිවෙත් තුළින් මතුවන්නේ හුදු සංකල්පමය සැපයන්ට වසඟව ඒ පසුපසම හඹායමින් හෙම්බත් වූ තරගකාරී ලෞකිකත්වයේ ඇති නිරර්ථක නිස්සාරත්වය වේ.
දුර ඈත වන සෙනසුනක හුදකලා ගල්ලෙන්, පර්වත මුදුන් ආදිය ඇසුරු කොටගෙන, චණ්ඩ  වගවලසුන්, ඇළ, දොළ, ගංගා අබියස බියෙන් හා සැකෙන් තොරව, සංහිඳියාවට පත් සිත් සතන් සහිතව, දිවි ගෙවූ එවන් ආර්ය සඟ පරපුරක් බිහි කිරීමට යෝග්‍ය වූ සිතුල්පව්වක් අනාගතයේදී ද දැක ගැනීමට අඩිතාලමක් දමමු. ප්‍රතිපත්තිමය පූජාවන්ට යොමුවෙමින්  බොදු ජනතාව අභ්‍යන්තර ගවේෂණාත්මක ක්‍රියා පිළිවෙතකට යාමට සැබෑ මෛත්‍රී කරුණාවෙන් කල් ගෙවමු. සරාගී සිතින්, විවිධ රූප දකිමින්, මිහිරි හඬට  ලෝභ කරමින් ප්‍රිය ගතිය පමණක් අරමුණු කර ගැනීම නිසා උපදින  වේදනාවන්ද, ඒවාට අනුව දැඩි ලෝභයත්, දොම්නසුත් නිතර නිතර සිතට පීඩා නොදී සිහි නුවණින් ජීවිතයේ සත්‍යය සොයා යමු.
මායාකාරී මිනිස් විඥානයට තවදුරටත් පිහිටා  සිටීමට රූපයක් තමා තුළ නිර්මාණය නොකරන තත්ත්වයට පත්වූ පුද්ගලයා “මම” යන සංකල්පය අභිබවා  ගිය කෙනෙකු “ම” යනු ඉපදීම තුළම  මරණයට පත්වූ සංකල්පයක් පමණක් බවත්, දුකටම අයත් වූවක් බවත්, දන්නේ බුදුරාජාණන් වහන්සේ දේශනා කළ පමණින් නොව තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන්ම සාක්ෂාත් කළ යථාර්ථයක් වූ නිසාය. එය හුදු දැනුම, තර්කය, මතවාද, දෘෂ්ටීන් ඉක්ම ගියාවූ ස්වභාවයකි. නික්‍ලේෂි මහරහතන් වහන්සේලාගේ පා පහසින් අතිපාරිශුද්ධ වූ සුන්දර සිතුව් පව්වෙහි, ඒ නිකෙළෙස් සුන්දරත්වය වින්දනය කරන්නට නන් දෙසින් පැමිණෙන්නාවූ සියලු දෙනාටම විවෘතය. සැබෑ සමාජ  සේවාව යනු තමන්ගේම අධ්‍යාත්මික පිරිසිදු බව ඇති කර ගැනීමයි. සමාජය යනු මාගේම නෙරායාමකි. මාගේ අධ්‍යාත්මයේම පැතිරීමකින් සමාජයටද එය ගලායාමකී. එවිට පරිසරය හා ලෝකයටම අපගේ සිත, කය, වචනය තුලින්ම සමාජ සත්කාරයක් සිදුවේ. එය ආපසු ලබා ගැනීමට කරන්නා වූ සමාජ සේවාවක් නොවේ. ගැනීමකින් තොර උතුම්ම පරිත්‍යාගශීලීත්වයයි.

රාගෙන් මතුවන තෙත ගති නැති කළ
දෝසෙන නැග එන සිතිවිලි පහ කළ
පාපෙන් දුරුවුණ පින්පව් නැති කළ
නෑ දැන් වන බිය නිදිහළ අය තුළ 

අනවස්සුත චිත්තස්ස - අනන්වාහත ච්ෙතසො
පුඤ්ඤ පාප පහීනස්ය - නත්ථි ජාගරතො භයං
(චිත්තවග්ග ධම්මපදං)

රාගයෙන් තෙත්. නොවන්නේද, ද්වේෂයෙන්  ඒ දෙයෙහි නොගැටෙන්නේද, පිංපව් දුරු කළේ විද, කෙළෙස් නින්දේ නොනිදන්නේ ද ඒ රහතුන් වහන්සේලාට කෙළෙසුන් නිසා හටගන්නා බියක් නැත. මෙසේ සිතුල්පව් පුදබිම හුදු විනෝදකාමී සංචාරකයන් උදෙසා තොරතුරු සපයන  මධ්‍යස්ථානයක ඉක්මවා ගියා වූ, සතර මහ සතරඵල අවබෝධයක් සඳහා යෝග්‍ය වූත්, සත්‍ය ගවේෂණයට යොමු කරන්නාවුත් විශ්ව ධර්ම භාණ්ඩාගාරයකි.
ක්‍රි. පූ. 161 පෙර ආරම්භ වූ සිතුල්පව් විහාරය, ක්‍රිස්තු වර්ෂ 600 දක්වා කාලය අරහත්ත යුගයකි. මහරහතන්වහන්සේ දොළොස් දහස් පන්සියයක් වැඩ වාසය කළ බවට සඳහන් වෙතත් මාර්ගඵල ලාභි උතුමන් ලක්ෂ ගණනක් ඒ ආශිතව නිස්සරණ සුවයෙන් සිටිය බව පෙනේ. ලක්දිව ප්‍රධානතම අධ්‍යාත්මික බලකඳවුර සිතුල්පව්ව බව විසුද්ධි මාර්ගය, මනෝරථ පුරණිය, සුමංගල විලාසිනිය හා සම්මෝහ විනෝදනිය ආදී ග්‍රන්ථවලද සඳහන්වේ.  දීඝභාණුක අභය මහ රහතන්වහන්ස, මලියදේව, ධම්මදින්නා, විශාඛා ආදී මහ තෙරුන්  වහන්සේලා වැඩ සිටි සිතුල්පව්  පර්වත මණ්ඩලය ආශ්‍රිත පරිසරය අදටත් නිශ්චල වූ එම ගුණ සමුදාය, අවට සැමට සැමදා විහිදුවා සිටී.
චුලගල්ල විහාර කථා වස්තුවේ දැක්වෙන පරිදි මලියදේව මහ තෙරුන් වහන්සේ සමග දෙව්ලොව ගිය සුළුගල උපාසකතුමා සත්රුවන් පැළදි දිව්‍ය පුත්‍රයෙක් දැක ඔහුගෙන් අතීතභවයේ ඊට හේතු වූ කර්මය පිළිබඳව විමසා ඇත. එහිදි ඔහු සිතුල්පව් විහාරයේ ශාලාවක් කරවූ බවත්, ‍පොකුණක් ඉදිකිරීමේදී ඊට සහාය වූ බවත්  ඒ  පිනෙන් මේ දිව්‍ය යස ඉසුරු ලැබුණු බවත් විස්තර කර ඇත. එකල තිස්සමහාරාම මහ වෙහෙරෙහි ශාස්ත්‍රධර භික්ෂුන්වහන්සේලා  සිතුල්පව් මහ වෙහෙරෙහි ධර්මධර භික්ෂුන් වහන්සේලා අතර සමීප  සම්බන්ධතා පැවති බවද පෙනේ. මෙවැනි කථා හුදු කථාරසය පමණක් ගෙන විසිකරන තත්ත්වයට පත්ව ඇත්තේ පංචස්කන්ධ සැපයක් ලෙස ගෙන සිටින  අසත්‍යයේ ජීවත් වන බැවිනි. නිත්‍ය සුඛ හා ආත්ම වශයෙන්  ගෙන ජීවිතයේ “මතුපිට” පමණක් සළකා දිවි ගෙවන බැවිනි. ආර්ය උතුමන් විසින් පංච උපාදානස්කන්ධයාගේ නිරෝධය, සැපය ලෙස දකී. ඒ අනිත්‍ය, දුඃඛ අනාත්ම වශයෙන් පංච ස්කන්ධයාගේ සැබෑ ස්වභාවය දකිනා නිසාය.
ජීවිතය විඩාවට හා දුකට පත්කරන්නාවූ දොරගුළු විවර කොට, ඒ ශාන්ත, අමරණීය විමුක්ති සුවය අත්දකින්නට මේ මනුෂ්‍යත්වය යොදා ගැනීමේ  මහා සත්කාරය කරන්නට වර්තමාන සිතුල්පව් දායක සභාවට  විහාරාධිපති හා සමිඳුට හැකි යම් දෙයක් කළ හැක. ‍පොසොන් සමය ඊට හොඳම කාල පරිච්ජේදයකි. ජුනි 2, 3, 4, 5 යන දිනවලදී සිතුල්පව්ව ‍පොසොන් උළෙලට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු නිම වී  ඇත. මහා ෙචෙත්‍යයට චූඩාමාණික්‍යය 
පැළඳවීම මෙවර සුවිශේෂ පූජ්‍යවන්ත කාර්යයකි. අතිගරු  ජනාධිපතිතුමාගේ පූර්ණ අනුග්‍රහයද ලැබි තිබේ. සියලු පහසුකම් සලසා ඇත. ප්‍රතිපත්තිමය පූජාවට මුල්තැන දුන් මෙවර ‍පොසොන්  උත්සවය සිතුල්පව්ව පූජනීයත්වය යළි ලොවට  පෙන්වා දීමකි. 
පූජ්‍ය කොට්ටාවේ ඉසිරක්ඛිත හිමි
2012 ජූනි මස 03  | ලංකාදීප කර්තෘ මණ්ඩලය