උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

පුරාවස්තු විනාශ කිරීමෙන් සිදුවන්නේ අපේ අනන්‍යතාව විනාශ කර ගැනීමක් - සිරිසමන් විජේතුංග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, හිටපු මාධ්‍ය උපදේශක (මධ්‍යම සංස්කෘතික අරමුදල) සිරිසමන් විජේතුංගගේ 12 වන ශාස්ත්‍රීය ග්‍රන්ථය වන ‘ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1’ හෙට (08) උදේ 9.30ට සමුද්‍ර ප්‍රකාශනයක් ලෙසින් කුරුණෑගල මහ නගර සභා සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනගත කිරීමට නියමිත ය. වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ, වයඹ පළාත් කලාප අධ්‍යක්ෂ සිරිමෙවන් ‍පොඩි නිළමේ, මිහිර ළමා පත්‍රයේ ප්‍රධාන කර්තෘ අජිත් ධර්මසිරි, සමුද්‍ර ප්‍රකාශන අධ්‍යක්ෂිකා සමුද්‍රිකා දයානි ද සිල්වා  ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිත ය. මේ ඒ සම්බන්ධයෙන් සිරිසමන් විජේතුංග මහතා සමග අප කළ සංකච්ඡාව යි.
* මේ ඔබේ දොළොස්වන ශාස්ත්‍රීය ග්‍රන්ථය?
2001 වර්ෂයේ දී ඉතිහාසය 
විෂය පාසල්වලින් ඉවත් කරන විට මමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කළා. ඒ කාලයේ ම තමා මම ළමා පුවත්පතකට ලංකාවේ ඉතිහාසය ගැන දිගට ම ලියන්න ආරම්භ කළේ. 1948 දක්වා වූ ඉතිහාසය එහි දී ලියා පළ කළා. නැවත ඒ ලිපි පෙළ 2004 දී ලියන්න පටන් ගත්තා. ඒ ලිපි පෙළ පුවත්පත් සඳහා රචනා කළා වුණාට, නැවත මුල සිට අකුරක් නෑර සකස් කළා. පුවත්පත් ලිපියක් සහ ග්‍රන්ථයක් කියන්නේ දෙකක්. 
* ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන විට ඔබත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක්?
ඔව්. ඉතිහාසය ළමයින්ගෙන් ඉවත් කිරීම නිසා වන මහා ව්‍යසනයෙන් 
ළමා පරපුර දුරස් කිරීම සඳහා තමයි මා ඒ ආකාරයෙන් හෝ උත්සාහක් දැරුවේ. එහෙත් අද ඒකට ජාතියක් වශයෙන් අපි වන්දි ගෙවමින් ඉන්නවා. අතීතයක් සහ රසවින්දනයක් නැති පරපුරක් නිදන් හාරනවා ඇරෙන්න වෙන මොනවා නම් කරන්න ද?
* ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම ඔබ දකින්නේ කොහොම ද?
වත්මන් සමාජ ඛිෙදවාචකයේ මූලික ම සාධකයක් තමා ඒක. ළමා අපචාර, කාන්තා දූෂණ ඇතුළු අනෙකුත් දේ සදාචාරාත්මක රටක ඛිෙදජනක සිදුවීම්. ඒවා ජාතියක පැවැත්මට හොඳ දේවල් නෙවේ. මේ රටේ වැඩිපුර ම ඉන්නේ සිංහල බෞද්ධ ජන කොටස. එයිනුත් අති බහුතරය සිංහල බෞද්ධ. අද වන විට පාසල් විෂය මාලාව තුළ රටේ ඉතිහාසය සීමිත වශයෙන් තියෙනවා.
* ඉතිහාසය වැනි ජාතික වැදගත්කමක් සහිත කෘතියක් ශාස්ත්‍රීය ව රචනා කිරීමේ දී ඕනෑ ම කතුවරයෙක් අතිශය සැලකිලිමත් විය යුතු යි?
මම මුල ඉඳලා ඉතිහාසය ලියාගෙන ගියා. ඒ සඳහා මහාවංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථ සහ ශිලා ‍ලේඛන උපයෝගී කර ගත්තා. විශේෂයෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළ 
පර්යේෂණ අතිශයින් ම වැදගත් වුණා. මේ රටේ ඉතිහාසය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සෙනරත් පරණවිතාන මහතා කළ සේවය ලියවිලා නෑ. එහෙත් මේ කෘතියේ ඒ සම්බන්ධයෙනුත් රචනා වී තිබෙනවා.
* ඉතිහාසය සහ පුරාවිද්‍යාව බොහෝ විට සමාන්තරව යෙදෙන වචන දෙකක් බවට පත් වෙලා?
ඉතිහාසය කියන්නේ ලිඛිත දේවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමක්. එය මෙසේ විය යන්න පිළිබඳ ලිඛිත දේ ආශ්‍රයෙන් කෙරෙන අධ්‍යයනයක්.  පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ පැරණි මිනිසා විසින් නිර්මාණය කරන ලද (ථචද ථචඤඥ), භාවිත කරන ලද යම් යම් වස්තු අවශේෂ අධ්‍යයනය කිරීමක්. මේ දෙක පැහැදිලිවම දෙකක් මිස එකක් නෙවේ.
ලංකාවේ මුල් ම ඉතිහාස ග්‍රන්ථය වෙන්නේ දීපවංශය. ලංකාවේ ඉතිහාසය විජය දක්වා  වෙනවා. එහෙත් පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ ඒ ‍ලේඛනයට එහා ගිය දේවල්. 1984 දී ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඒක කළා. ඔහු අනුරාධපුර ගෙඩිගේ භූමියේ අඩි තිහක් පමණ යට ස්ථාරානුකූල කැණීමක් කළා. එහි දී ලිඛිත ඉතිහාසයට වඩා අවුරුදු තුන් හාරසියයකට පෙර ශිෂ්ටාචාරයක් සොයා ගත්තා. ඒ තමා යකඩ භාවිත කිරීම, වී ගොවිතැන, සක‍පෝරුව කරකවා පුච්චා මැටි බඳුන් සෑදීමේ තාක්ෂණය, අශ්වයන් ඇති කිරීම ආදිය. එසේ ම එම මැටි බඳුන්වල ‘අනුරධ’ කියන බ්‍රාහ්මී අක්ෂර කොටා තිබෙන බවත් ඔහු පැවසුවා. ඔන්න ඔය වැනි දේවල් තමා මගේ මේ ‍පොතේ තියෙන්නෙත්. ඒවා ඉතිහාසයට එහා ගිය දේවල්.
* අපේ උරුමය තුළ ඉතිහාසයේ සහ පුරාවිද්‍යාවේ  භූමිකාව ගැන සඳහන් කළොත්?
අපට ඉතිහාසයෙන් විතරක් උරුමය හොයන්න අමාරුයි. අපි ඉතිහාසය අභිභවා යන්න ඕනෑ. අපේ ගල් ආයුධ ගැන කොහේවත් ලියවිලා නෑ. එ්වා ශිලා යුගයේ භාවිත කළ ආයුධ. 
ඉතිහාසය අපට පූර්ව සහ ප්‍රාග් ලෙස දෙකොටසකට බෙදන්න පුළුවන්. ඒ වාගේ ම උතුරයත් ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි ලෙස වර්ග කරන්න පුළුවන්.ස්පර්ශ කළ හැකි උරුමය තමා දැනට ඉතිර වෙලා තියෙන, උදාහරණයක් විදියට ගත්තොත් මුර ගලක්, එහෙම නැති නම් කලා සිතුවම් සියල්ල. මේවා අපට ස්පර්ශ කළ හැකි දේ. එහෙම නැත්නම් භෞතික අවශේෂ. ස්පර්ශ කළ නොහැකි දේ තමා ජනකතා, ජන සාහිත්‍ය වැනි දේ. ඒවා පරපුරින් පරපුරට එන සංස්කෘතික දායාද. වෙද හෙදකම් වෙන්න පුළුවන්. වෙනත් යම් යම් කරුණු කාරණා වෙන්න පුළුවන්. මේ කාරණා දෙක ම සමාජයකට අවශ්‍ය යි. 
අනෙක් අතින් ඉතිහාසයක් නැති ජාතියක් කියන්නේ සාක්කියක් නැති මරණයකට. ඉන්දීය ඉතිහාසය සලකා බැලුවත් තැනින් තැන කඩ වූවක් මිස අඛණ්ඩ ඉතිහාසයක් දැකිය නොහැකි යි. එහෙත් අපේ ඉතිහාසය අඛණ්ඩව ඇවිත් තියෙනවා. අකමැත්තෙන් හරි පිළිගන්න වෙන දේ තමා මේවා අපේ උරුමය කියන එක.
* ඔය කියන තත්ත්වය තුළ පුරාවිද්‍යාව ජාතික වැදගත්කමක් හිමිකර ගන්නේ කොහොම ද?
අපට අපේ ම කියා හැඳුනුම්පතක් තියෙනවානේ. ඒකේ තියෙන්නේ අපේ මුහුණුවර. ඒ වගේ ම තමයි අපේ ජාතිය හඳුනා ගැනීමේ මුහුණුවර තමයි පුරාවස්තු කියන්නේ. පුරාවස්තු විනාශ කරනවා කියන්නේ අප විසින් ම අපේ අනන්‍යතාව විනාශකර ගැනීමක්. අපි කවුරු කොහොම කිවුවත් ලෝකයේ අපේ අනන්‍යතාවය සටහන් කරන්නේ පුරා වස්තු. මේ රටට සංචාරකයන් එන්නේ මුදල් ගෙවලා ජොලි කරලා යන්න විතරක් ‍නෙවෙයි. මේ කියන අපේ පැරණි උරුමය බලන්න. සීගිරිය වගේ තැනක් ලෝකයේ වෙන කොතැනකවත් නෑ. අවශ්‍ය නම් සීගිරියෙන් පමණක් මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශය එක් ව ජාතික ප්‍රවර්ධන වැඩපිලිවෙළක් සකසන්න ඕනෑ.
2012 ජූනි 07 වෙනි බ්‍රහස්පතින්දා, ලක්බිම 
මධුරංග සී. නුවන්ප්‍රිය