උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි පාමුල හඳුනා නොගත් ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයක දොරටුවක්

නීලගිරි කන්ද පාමුල පිහිටි ගල්තලාව, දරණලා ගත් නාගයකු පරිද්දෙන් කන්ද වටා පැතිර පවතිනු පෙනෙයි. වඳුරු බුකු බුකුවක් ඈතින් ඇසෙයි. ගල් තලාවේම කෙටූ ඉපැරණි පියගැට පෙළ නැග අපි ගල් තලාවේ ප්‍රථම කොටසට පිවිසියෙමු. මඳක් ඈතින් දිස්වන සුවිසල් ගල් පියැස්ස වනගත පරිසරයට එක් කළේ චමත්කාරයකි. කන්දේ මැදින්ද ගල් තලාවේ කොටස් ඇසේ ගැටුණු අතර, එහි වැවී තිබුණු කැලය තද කොළ පැහැයෙන් යුතුවිය. කන්ද මැද ඇති ‘ගල් කෙම්’ ඒවාට දියවර සලසතියි අපි සිතුවෙමු.

‘මේක තමයි වැදි චිත්‍ර තියෙන ලෙන’ දුරින් පෙනුණු ගල් පියැස්ස දක්වමින් පුරාවිද්‍යා මිතුරෝ කීහ. අපි එහි ගියෙමු. එය ගල් තලාවෙන් මතුවූ වහලයක් බඳු ගල් තැල්ලකි. දහයක් දොළහකට නොතෙමී සිටින්නට හැකි තරම් පුළුල් ඉඩක් සලසමින් එය පියැස්සක් සේ නැගී සිටියේය. දෙපසින් බැඳි ගඩොල් බිත්තිවල ගරාවැටුණු කොටස් නිහඬව කියා පෑවේ අතීතයේදී එහි යමෙකු වාසය කරන්නට ඇති බවයි. ලෙන් බිත්තියේ කිහිප තැනකම වැදි ජනයා (ආදිවාසීන්) ඇන්දා යැයි සැක කළ හැකි චිත්‍ර සටහන් විය. ඒවායෙහි දක්වා තිබුණේ සතුන්ගේ රූ සටහන්ය. එක් ලෙන් බිත්තියක ගුරුගල් වර්ණයෙන් ඇඳි නෙළුම් මලක රූපයක්ද විය. වැදි චිත්‍ර ඇඳ ඇත්තේ අළු බදාම මත ගස් මැලියම්වලින් වියහැකි යැයි පාලිත අත්තනායක මහතා කීවේය.

“මේ ලෙන වැදි යුගයේ පටන් ඓතිහාසික යුගය දක්වා එහෙම නැතිනම් අනුරාධපුර යුගය දක්වා පාවිචිචි වුණාය කියලා සිතන්න පුළුවන්. මේක කටාරම් කෙටූ ලෙනක්. බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපියකුත් තියෙනවා. ඒකේ ‘සහෂ’ කියන වචනය කියවන්නත් පුළුවන්. ඔය සෙල්ලිපිය. කටාරම් කෙටීම වගේ දේවල් අයත් වන්නේ ඓතිහාසික යුගයටයි. මේ ලෙන ඇත්තටම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ඓතිහාසික යුගය දක්වාම පාවිචිචි වුණාද? කියලා සැකයක් මතුවෙනවා’ සම්පත් ගුරුසිංහ මහතා කීය.

දිවා හිරු රැස් කමෛන් කමෛන් සිය කෝපය මුදාහරින්නට පටන් ගත්තේය. ගල් තලාව රත්වේගෙන එයි. අපි ඉන් පල්ලම් බැස යළිත් ගමන් ඇරඹීමු. හැඩ ඔය නිම්නය අරක් ගත් වියළි කලාපීය වනපෙත බොහොම සුන්දර දසුන් මැව්වේය. බුරුත, මිල්ල, පළු, වීර, ඇටඹ ආදී වනස්පතීහු හිරුරැස් මුවා කරමින් වියනක් මෙන් සෙවණ සැලසීය. වන සතුන් නිතර යන එන අප්‍රකට වන මං අපේ ගමනටද මාවත විය. පා පියැවිල්ලෙහි තැනින් තැන බිංකොහොඹ, ඇත් අඩි සහ තවත් විවිධාකාර වන ඔසු පැළෑටි දක්නට ලැබිණි. එරමිණියා සහ වෙනත් කටු පඳුරු වරින්වර අපේ ගමනට බාධා ඇති කළේය. 

වැදි චිත්‍ර සහිත ලෙනෙන් පිටත්ව පැය එක හමාරක් පමණ ගමන් කළ විට දළ බෑවුම් සහිත භූමියකට පිවිසියෙමු. 

“ඔන්න ඉතින් තැනට ආවා” තරංග සංජීව සිය උරමල්ල ගල් තලාවක් මත තබමින් පැවැසීය. භූමිය පුරාවට වැටී ඇති රූස්ස ගස් කොළන්, බොහෝ ඉහළින් පෙනුණු ගිරි ශිඛර සමූහයට ආරක්ෂාව සලසනු වැන්න. අප සිටින දළ බෑවුම් සහිත භූමිය, නීලගිරි කන්දේ පාමුලය. එහි එක් උස්බිමක් ඉතා කුඩා තැනිතලාවක් බඳුය. එතැන්  සිට ඉහළ බැලූ විට වනයෙන් වසන් වී ඇති ගිරි ශිඛර සමූහය. ලෙන් ගුහා සංකීර්ණයක් බව පසක් වෙයි. එහි ගමන් කිරීමට අතීතයේ ඉදිකළ ෙශෙලමය පියගැට පෙළ ගරා වැටී ගොසිනි. උස්බිමක පිහිටි ඉතා කුඩා තැනිතලා භූමියේ මුරගල් සහ සඳකඩ පහන්ද තවත් ගලින් කළ නිමැවුම් රාශියක්ද ඇති බව ඇස ගැටෙයි. අප දැන් පය ගසා සිටින භූමිය තවම හරිහැටි හඳුනා නොගත් ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයකට පිවිසෙන දොරටුවක් වැන්න
අපි කන්ද පාමුල සිට පුදුමයෙන් බලා සිටියෙමු. ‘හරියට රිටිගල වගේ නේද?’ සම්පත් ඇසීය. ඔහු කියන්නේ ඇත්තකි. දැන් අප ඉදිරියේ තිබෙන ෙශෙලමය පියගැට පෙළ සහ අනෙකුත් නිර්මාණ, අනුරාධපුරයේ රිටිගල කන්දේ ඇති සුවිසල් ෙශෙලමය පියගැට පෙළවල් සහ නැවතුම් මළු සිහිපත් කරවන්නේය. අතීත රූසිරිය ගරා වැටි තිබුණද එකල මෙහි පැවති අසිරිය සිතා ගන්නට පුළුවන. මේ තරම් විශාල නටබුන් භූමියක් වන මැද කෙසේ සැඟවී තිබුණාදැයි සිතෙන තරම්ය.
ලෙන් සංකීර්ණය නැරඹීමට නම් ගරාවැටුණු පියගැට පෙළ ඔස්සේ තවත් මීටර් 100කට වඩා ඉහළට නැගිය යුතුය. එබැවින් අපි ගල් ඇන්දක් මතට වී මඳක් ගිමන් හැරියෙමු. වේලාව දැන් දහවල් 1.00ට පමණ වී තිබිණි. ‘අපි පාන් ටික කාලා ඉම්මු’ පාලිත කීවේය. පාන්, රතු ලූනු සහ අමුමිරිස් එදා දහවල් රජ බොජුනක් බවට පත්විණි.
අපේ කලබලය ඇසුණු වඳුරු රැලක් ගස් මතින් පැන ඈතට වී බලා උන්හ. වන වැසි කුරුල්ලෙක්, ‘හොරෙක් හොරෙක්’ යැයි වරින්වර හඬ නැගීය. පාන් කන අතරතුර බණ්ඩාර ඇසුවේ ‘ඌ කොහොමද හරියටම දැන ගත්තේ’ කියාය. ‘කලාඳුරු වදයක්’ ඇවිස්සී ගොස් අපට පහර දුන් අතර ගස් කිණිතුල්ලෝ ‍ලේ උරා බොන්නට උත්සාහ කළහ. අපි යළිත් ගමන් ඇරඹීමු. ගරාවැටුණු ෙශෙලමය පියගැට පෙළ නැගිය යුත්තේ මහත් අසීරුවෙනි. 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීලගිරි කන්ද ගවේෂණය කරන්නට පටන් ගත්තේ නීලගිරි සෑය කැණීමේ ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. එහිදී සෑය ආශ්‍රිත වනගත භූමියෙහි ඇති පුරාවස්තු සහිත ස්ථාන බොහොමයක් ‍ලේඛනගත කෙරිණි. කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන සම්පත් ගුරුසිංහ සහ පාලිත අත්තනායක යන නිලධාරීන් දෙපළ ගවේෂණය සඳහා නායකත්වය දුන්හ. ගවේෂණයේදී ඔවුන්ට නීලගිරි කන්දෙන් ගල්ලෙන් 12ක් හමුවී තිබේ. එයින් ලෙන් 10කම බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපි තිබෙන බවද සොයා ගැනිණි. ඒවා දළ වශයෙන් ක්‍රිස්තු වර්ෂ 01 සහ 02 වැනි සියවස්වලට අයත් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ 
පිළිිගැනීමයි. ශිලා ලිපි බොහොමයකින් කියැවෙන්නේ මේ ලෙන් ගුහා සිවු දිගින් පැමිණි නොපැමිණි බොදු මහ සඟනට පූජා කර ඇති බවයි.
ගරාවැටුණු ෙශෙලමය පියගැට පෙළ පටන් ගන්නේ මුරගල් සහ සඳකඩ පහන් ආදියෙනි. පියගැට පෙළ නගින කෙනෙකුට ගිමන් හරින්නට මෙන් තැනින් තැන ඉදිකළ චතුරශ්‍රාකාර මළුද, ඒ දෙපස හිඳ ගැනීමට සැකසුවාක් බඳු ගල් පුවරුද තිබෙනු පෙනෙයි. පියගැට පෙළ ගරාවැටී පෙරළී ගොසිනි. අතරින් පතර වැවුණු ගස් කොළන්වල එල්ලෙමින් අපි ගිරි ශිඛරය ඉහළට නැගුණෙමු. අතරමඟ හමුවන කටාරම් කෙටූ ගල් ලෙන් එකල ගඩොල් බිත්තිවලින් ආවරණය කර තිබූ බව ගරා වැටුණු ගඩොල් කැබලි අපට කියයි. ඒවා ඉතා 
පුෂ්ටිමත් පැරණි ගඩොල් බව බැලූ බැල්මට පෙනෙයි. පැයක පමණ කාලයක් වෙහෙසවීමෙන් පසුව ගිරිකුළෙහි ප්‍රථම මාලයේ ලෙන් සංකීර්ණය පිහිටි ඉසව්වට ළඟාවීමට අපට හැකිවිය.
ගමන අතරතුර හමුවන සෑම ගිරි ලෙනක්ම තියුණු ලෙස පරීක්ෂා කිරීමට සම්පත් සහ පාලිත දෙපල අමතක නොකළෝය. ඔවුහු ඒවායෙහි ඡායාරූපද ගත්හ. 1965 සහ 1981 යන වර්ෂවල මෙහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන්ද ලෙන් සංකීර්ණයට නැග ඇත්තේ මහත් අසීරුවෙනි. ඒ බව උන්වහන්සේ ලියූ ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කෘතියෙහිද සඳහන් කර තිබේ.
අප ඇස ගැටුණු ඇතැම් ගල් ලෙන් නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුව ඒවායෙහි ගෙබිම් වනසා ඇති සැටි දුටුවෙමු. නිදන් සොරුන් සිතන්නට ඇත්තේ වනගතව පවතින ලෙන් ගුහාවල මහාර්ඝ වස්තු සම්පත් තැන්පත්කර ඇතැයි කියාය. මේවා එකල බෞද්ධ භික්ෂූන් වැඩ සිටි ලෙන් ආරාම බව බැලූ බැල්මටම පෙනේ. ලෞකික ජීවිතය පිළිකෙව් කළ පැවිද්දන්ට මහාර්ඝ වස්තු සම්පත් කුමටද?
‘අන්න අර පේන්නේ චිත්‍ර සටහන් තියෙන ගල් ලෙන’ ගිරි ශිඛරය ඉහළ කොටසේ වූ එක්තරා ලෙනක් පෙන්වමින් සම්පත් අපට කීවේය. වනයට පුරුදුකාරයන් වූ තරංග සංජීවත්, අමිල චන්ද්‍රික ප්‍රසන්නත් ඒ වනවිටත් ලෙනට පිවිස එහි ඉදිරිපස වූ පටු ගල්තලාව මත වාඩි වී ගිමන් හරිමින් සිටියහ. එහෙත් අප තවම සිටින්නේ ඔවුන්ට මීටර් 10-15ක් පමණ පහළිනි.
ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා 

2012 ජූනි 04 වෙනි සදුදා, ලක්බිම, 
ක්‍රිෂ්ණා විජේබණ්ඩාර