උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි මහා සෑය


අද වන මැද සගවා ගත්... නීලගිරි මහා සෑය...

නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.

මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.

නීලගිරි සෑයේ ඉතිහාසය ක්‍රිස්තූ පූර්ව යුගය දක්වා විහිදෙන අතර ඒ වටා ඇති විහාර සංකීරණ නටබුන්වලින් කියාපාන්නේ ඈත අතීතයේ මෙහි වැඩසිටි මහරහතන් වහන්සේලා ප්‍රමූඛ මහා සංඝරත්නයට සෙවන දුන් අතී පූජනීය ස්තානයක් බවයි.

චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.

ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.

මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.

මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.

ස්තූපය පිහිටි බිමෙන් සිරිපතුල් ගල් විශාල ප්‍රමණය ක් හමුවී ඇත.

ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.

බොහෝ දෙනෙකුට අමතක වූ අපේ උරුමය ගැන මොහොතක් සිතන්න.
අපේ උරුමය