උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

විසිපස්‌ වසරකට පෙර නික්‌ම ගියත්...

දෙනෝ දාහකගෙන් පිදුම් ලබන පූජනීය ඇතා

භාග්‍යවත් බුදුරදුන්ගේ දළ¹ වහන්සේ වැඩසිටින කුටියේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව රන්සිවිගෙයක තැන්පත්කොට, ගජකුම්මත රඳවා දස දහස්‌ ගණනක්‌ ජනානුරංජනය කරමින්, බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන සාධු නාදය මධ්‍යයේ වසර පනහක්‌ පුරා සෙංකඩගල දළදා පෙරහැරේ තේජස්‌ ලීලාවෙන් ගමන් ගත් එකම ඇතා රාජාය.

විෂම වූ මිනිස්‌ සිතිවිලි, හැඟීම්, ආවේග සැනින් හදුනාගනිමින් අවස්‌ථානෝචිත ප්‍රඥවෙන්, ඉවසීමෙන්, නිතිපතා ක්‍රියාකළ හොඳ නරක දුක සතුට වෙන්කොට අවබෝධ කරගත්, සත්ත්ව ලෝකයේ, ඥණාන්විත සත්ත්වයා රාජාය.

බොදුගුණ හේවිසි තේවා හඬ මධ්‍යයේ අනේකවිධ ගරු බුහුමන් පුද සත්කාර වැඳුම් පිදුම් ලබමින් ජීවත්වූ, මියගියද දස දහසක්‌වූ මිනිසුන්ගේ වැඳුම් පිදුම් ගෞරව බහුමානයන්ට පාත්‍රවෙමින් තවදුරටත් ජීවමාන හැඩපෙන්වමින් දළදා වහන්සේගේ පහස විඳිමින් ලොව ප්‍රකට එකම සත්ත්වයාද රාජාමය.

රාජාගේ දෛවය දොහොතින් ගෙන රාජයෝගය ලියෑවූයේ මුස්‌ලිම් ජාතික උමේරු ලෙබ්බේ වීම විශේෂයෙකි. ඒ වසර 1925 දීය. උමේරූ ලෙබ්බේ අලි අල්ලා වංශක්‌කාරයන්ට විකුණා මුදල් සොයන්නෙකි. ඔහු එරාවුර් කැලයේදී අඩි 4 ක්‌ සහ අඩි 3 ක්‌ උසින් යුතු ඇත් පොව්වන් දෙදෙනකු අල්ලා ගත්තේය. දෙදෙනාම මහනුවර ගිරාගම ටිකිරි බණ්‌ඩා මාම්පිටිය දිසාවේට විකිණුවේය. මාම්පිටිය දිසාව 1925 දෙසැම්බර් 11 වැනිදා අංක 1318 දරන බලපත්‍රය මගින් රුපියල් 3300 ක්‌ ගෙවා ඇත්පොව්වන් ලබාගත්තේය.

එහිදී අඩි 4 අඟල් 5 ක්‌ වූ ඇත්පොව්වා රාජා විය. අඩි 3 ක්‌ වූ ඇත්පොව්වා කන්දා විය. වලව්වේ ආදර කරුණා උපස්‌ථානයෙන් පිදුම් ලබමින් සැපසේ වැඩුණු රාජාත් කන්දාත් පසුකාලීනව රැකබලාගැනීම උදෙසා වගකිවයුතු අයෙකුට භාරදිය යුතුම බව මාම්පිටිය දිසාවේට හැඟී ගියේ, ඔහු වයසට යැමත් සමඟය.

එහෙයින්ම මාම්පිටිය දිසාවේ 1937 ජූලි මස 31 වැනි පුරපසලොස්‌වක පෝදා එවකට දියවඩන නිලමේ වූ ටී. බී. රත්වත්තේ මහතා රාජාත් කන්දාත් දළදා මාළිගාවට භාර ගත්තේ, හොඬවැල් දෙක දියවඩන නිළමේගේ අත්ල මත තබා රන්කෙණ්‌ඩියෙන් දියපොදක්‌ වත්කරමින් මහා ජනකායකගේ සාධුකාර හඬ මධ්‍යයේය.

සාධු කාර නදින් කිලිපොලා ගිය හදවතින්ම මාම්පිටිය දිසාවේ වෙන්වීමේ දුක්‌ඛදායි සන්තාප කඳුළු බිදු හෙළද්දී, හිමිකර ගැනීමේ පිරිපුන් සොම්නස්‌ කඳුළු වැගිරුවේ ටී. බී. රත්වත්තේ දියවඩන නිලමේතුමන්ය. එය එසේ වූයේ ඒ මොහොතේ රාජාත් කන්දාත් දළදා මැදුර අභිමුවේ මහමලුවේ වරෙක ඔබ මොබ දඟලමින්, වරෙක උපශාන්ත ඉරියව්වෙන් නොසැලී තම උරුමයන් වෙත ආ විලාසයෙනුත්, වරෙක හේවිසි හඬට කම්පොට ගසා තාලයට පාද තැබීමට වෙර දරන අයුරුත් විදහා දැක්‌වූ නිසාවෙනි.

සැබෑවකි රාජා සිය උරුමය වෙත පා තබා තිබේ.



රාජා 1937 වසරේදීම ශ්‍රී දළ¹ වහන්සේ ඇසළ පෙරහරේ වැඩම්ම වූයේය. සිය හැකියාව මනාලෙස ඔප්පු කොට තැන්පත් නුවණින්, උපශාන්ත ගමනින්, සන්සුන් මනසින් යුතුව ගාම්භීර විලාසයෙන් රාජා පෙරහරේ ගමන් ගත්තේ ආඩම්බරයෙනි.

රාජා තීක්‍ෂණ බුද්ධියෙන් හෙබි කරුණාබර ඇතෙකු බව සපථ කිරීමට ඉවහල්වන කරුණු එමටය.

වසර 1955 ඇසළ පෙරහරේදී රාජා කරඬුව වැඩමවාගෙන යන අතරතුර රැජිණ හෝටලය අසල ඉද්ද ගැසුවාක්‌ මෙන් නතර විය. ඇත්ගොව්වා කොතෙක්‌ ඇවිටිලි කළත් පිණ්‌සෙන්ඩු වූවත් රාජා පය සෙලවූයේම නැත. පෙරහැර දුරින්ද වෙනස්‌වීය. රාජා ඉදිරියේ හිස්‌ ඉඩපරතරයද බොහෝ සේය. 



මේ කලබැගෑනිය දුටු එවකට හුන් නුගවෙල දියවඩන නිළමෙතුමා රාජා අසලට ගොස්‌ කතා කළේය. රාජා සිහින් ලෙස කෙඳිරිගෑවේය. ඇත්ගොව්වන් ලවා රන්සිවිගෙයි පටි පරීක්‍ෂා කර බැලීය. ඒ වනවිට එහි ලණු පටි කැඩී ගොස්‌ තිබිණි. රාජා එක්‌ පියවරක්‌ හෝ ඉදිරියට එසවූයේ නම් රන්සිවි ගෙය සහිත කරඬුව නියත වශයෙන්ම බිම පතිත වන්නේය. ලණුපට යළි ගැටගැසූ පසුව රාජා ශාන්ත ලීලාවෙන් ගමන් ගත්තේය.

රාජා තමන් ඉදිරිපිට එළන පාවාඩය එළන්නට මදක්‌ පමා වුවහොත් සිය විමසුම් ඇසින් පාවාඩය එළන අය දෙස පා නොසොල්වා බලා සිටී. ඒ බව තේරුම්ගත් පාවාඩ එලන්නෝ කඩිනමින් එළති. එවිට පා තබා රාජා ගාම්භීරව ගමන් කරයි.

සෑම වසරකම පෙරහර නිමාවේදී රාජා ගේ පිටමතින් රන්සිවිගෙය ඉවත් කරද්දී රාජා කඳුළු වගුරවයි.

හෙන්ඩු කෙවිට රාජාට අරහංය. සෑම අවස්‌ථාවකම ඇත්ගොව්වා රාජා මෙල්ල කරන්නේ ආදරය කරුණාව පිරි වචන වලිනි.

රඹුක්‌කන දාවිත් සිඤaෙඤda රාජාභාර ඇත්ගොව්වා ලෙස කටයුතු කළ 1975 වසරේදී රාජා කුලප්පු විය. දාවිත් සිඤaෙඤda රාජා මෙල්ල කළේ ආදරයෙන් කතා කිරීමෙනි. ඒ දුටු ජනයා එවරද සාදුකාරදෙමින් විශ්මය පල කලහ.

මෙරට පෙරහර ඉතිහාසයේ විශාලතම අලි කුලප්පුව 1959 වසරේ සිදුවූ බව දන්නෝ දනිති. එම අලි කුලප්පුවේදී ධාතු කරඬුව වැඩම කරමින් සිටි රාජා නිසොල්මන්ව සිටි අතර සෙසු අලි ඇත්තුද නැට්‌ටුවෝද බෙරකරුවෝද ප්‍රේක්‍ෂක ජනතාවද හිස්‌ලූලූ අත දිව ගියහ. රාජා ඒ කිසිවක්‌ ගණනකටවත් නොගෙන නොසෙල්වී සිටියේය.

තවත් විටෙක කටුගස්‌තොට දී රාජා මදි කිපී පෙරළි කරමින් මහපාරේ දිව ගියේය. ඒ දුටු ජනයා තැන නොතැන බලා දිවූහ. මහමග පාර හරහා මාරුවෙමින් සිටි අන්ධ පුද්ගලයකුට මේ කාලගෝට්‌ටිය ඇසී කෑ ගසා "අනේ අප්පා මට මොකුත් කරන්ට එපා දෙයියෝ" කියා කෑ ගැසීය. කලප්පු වී සිටි රාජා අන්ධ මිනිසා ශාන්ත ලෙස ඔසවා පාර අයිනේ ආරක්‍ෂාකාරී තැනක තබා දිව්වේ කවුරුත් පුදුම කරමිනි.

මහවැලි ගඟේ දියනෑමට ගොස්‌ කුලප්පු වූ රාජා කැලයට වැදිණි. රාජාට මහත්සේ ආදරය කළ එවකට දියවඩන නිළමේතුමන් වූ නෙරංජන් විඡේරත්න මහතා, ලේවැල්ලට ගොස්‌ රාජා..... රාජා..... කියා කිහිප විටක්‌ කතා කළේය. රාජා කීකරු ළදරුවකු සේ ඔහු හමුවට ආවේ දනන් පුදුම කරවමිනි.

රාජා ජනයා මවිත කළ අවස්‌ථා බොහෝය. වසර 1986 වන විට වයස්‌ගත වූ රාජා ලංකාවාසී ප්‍රභූන් සැමගේත් ගෞරවාදරයට පාත්‍රව සිටියේය. "රාජා නැතිව කරඬුව වැඩම වන්නේ කවුද?" යන උභතෝකෝටිකය සියල්ලන්ටම දැනෙන්නට වූයේ 1988 ජූලි 16 වැනිදා පෙරවරු 10.16 ටය. වසර 63 කට වැඩි සිය ජීවිත කාලයේදී තමන්ට පැවරුනු වගකීම් යුතුකම් සියල්ල ඉටුකරමින් සිටි හස්‌තීන් අතර රාජාධි රාජ රාජා ලොකය හැර දමා ගියේය.

පාද හොඬවැල වලිගය සහ ලිංගය අංග සියල්ලන් භූමිය ස්‌පර්ශය කරනා මංගල හස්‌ති රාජයකු වූ රාජාගේ රූපකාය මතුපරපුරට දැකගනු පිණිස යළි සකසා ශ්‍රී දළ¹ මාළිගා පරිශ්‍රයේ කෞතුකාගාරයේ සිංහාසන මන්දිරයේ තැන්පත් කළේ, 1989 දෙසැම්බර් 2 දිනය. 1986 අගෝස්‌තු 20 දිනදී ජාතික වස්‌තුවක්‌ ලෙස නම්කරන ලද රාජා ජාතික උරුමයකි. මෙවන් ජාතික උරුමයක්‌ ලද සිංහලයෝද වාසනාවන්තයෝය. එහෙත් ජාතියේ අරුමය අදටද රාජාගේ අඩු පුරවාලීමට සමත් හෝ ඊට සමානකම් පාන ඇත් රජකු තවම පහළ වී නැතිවා සේය.

උපේක්‍ෂා වීරසේකර
2013 ජුලි  28 ඉරිදා දිවයින