උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

මඟුල් මහා විහාරය


මොනරාගල පොතුවිල් ( ඒ – 4 ) මාර්ගයේ ගමන් කළවිට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී තවත් කි. මී. 1/2ක් පමණ ගිය විට මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානයට ළඟාවීමට පුළුවන.

මෙහි ඉතිහාසය පිරික්සීමේදී සියයට සියයක් නිවැරදි පදනමක් උඩ සිට නිශ්චිත නිගමනයකට පැමිණීමට මෙතෙක් පුළුවන්කමක් ලැබී නොමැත.
එහෙත් ඓතිහාසික සන්සිද්ධීන්, ඇතැම් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සටහන්, මෙන්ම කාලාන්තරයක් තිස්සේ ජනප්‍රවාදයේ පැවත එන කතා අනුසාරයෙන් මෙම විශේෂ ස්ථානය පිළිබඳව වඩාත් විශ්වාසනීය කථිකාවතක් ගොඩ නැඟීමට හැකියාව තිබෙයි.
විවිධ කාල වකවානු යටතේ දැනට මතුවී ඇති පැරැණි නටබුන් මතින් එදවස විශේෂිත විහාර සංකීර්ණයක්ව පැවැති බව සනාත කරගත හැකි මෙය ලංකාවේ පැරැණි බෙදීම් අනුව රුහුණු ප්‍රදේශයට අයත්ව තිබූ ප්‍රමුඛ විහාර සංකීර්ණයක් වශයෙන් පැවත ආ බව නිගමනය කළ හැකිය.
මෙයට මඟුල් මහා විහාරය යන නම පටබැඳී ඇත්තේ එදවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණේ මෙතැනදී බවත් ඔවුන් පෝරුවේ චාරිත්‍රය සිදුකළ ඒ සදානුස්මරණීය මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් අනාදිමත් කාලයක සිට බහුතර ජනතාව අතර ප්‍රබල මතයක් ගොඩ නැඟී ඇති නිසා ය. එය එසේම සිදුවුණේ නම් ආගමික පරිසරයක සංහිඳියාව මධ්‍යයේ ඒ අසිරිමත් විවාහ චාරිත්‍රාදිය මේ සැනසිලිදායක සොඳුරු බිම අපූරු පීඨයක් මැද සිදු කළා ද විය හැක.
මෙතන ආරාම සංකීර්ණයක ලකුණු පැහැදිලිව දැක ගැනීමට ලැබෙන නිසා පුරාණයේ කාවන්තිස්ස - විහාර මහා දේවී සරණ මංගල්‍යය පූජනීය බිමක ගෞරවනීය සුපේසල භික්‍ෂූන් වහන්සේලාගේ සෙවණ යට සිදුවන්නට බොහෝ සේ ඉඩ තිබූ බව සිතීම අසාධාරණ නොවේ. ප්‍රදේශයේ බොහෝ ස්ථානයන්හි කාවන්තිස්ස රජතුමාගේ නම සම්බන්ධ ඓතිහාසික තොරතුරු හමුවීම නිසාද ඉහත මතයට යම් සාධාරණත්වයක් ලබාදිය හැකි වෙයි.
යුග ගණනාවක් තිස්සේ ජන ජන මුව රැඳෙමින් ආ ඒ ජනප්‍රවාදය මුල් බැස ගැනීමට තරම් ප්‍රබල මතයක් ගොඩ නැගීම ද සැනෙන් බැහැර කළ නොහැකි ය.
එදා රුහුණු මහා විහාරය ව පැවැති ම¼ගුල් මහා විහාරයේ අද අප දකින නටබුන් මත එදා පැවති අසිරිය පිළිබඳ අපූරු සොඳුරු චිත්‍රයක් සිත් සතන්හි ඇඳ ගැනීමට සමත් සාධක අද වන විට ද යම් තරමකට හෝ ඉතිරිව පවති යි.
පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසගත සාක්‍ෂි සටහන් මත කරුණු විමසීමේ දී මෙම විශේෂ ස්ථානයේ ඉතිහාසය ක්‍රි. පූර්ව යුගය දක්වා දිවෙන බවට සාධක පිරික්ෂීමෙන්, විශ්වාසය තැබිය හැකි වෙයි. එහෙත් දැනට ඇති නෂ්ටාවශේෂ බොහෝමයකින් හෙළි වන්නේ රාජ්‍ය වර්ෂයෙන් පසු යුගයට අයත් සාධක ය.
වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. ලාහුගල මඟුල් මල් විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙ යි.
මෙම සෙල් ලිපිවල ලියැවී ඇති කරුණු අනුව ධාතුසේන රජතුමා කළ රූණු මහා විහාරය නමින් වූ සිද්ධස්ථානය අද අප හඳුන්වන මඟුල් මහා විහාරයම බව සනාථ වේ යැයි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි පවස යි. සෙල් ලිපිය පිහිටුවන අවධියේ විහාරස්ථානය වල් බිහිවී තිබූ අතර නැවත එය පිළිසකර කරවන ලද්දේ විහාර මහා දේවිය නම් වූ වෙනත් බිසවක විසිනි. ඇය පැරකුම්බා රජ දරුවන් දෙදෙනෙකුගේ අගමෙහෙසිය වූ බව ලිපියෙහි සඳහන්ව තිබේ.
මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ මතය නම් මෙහි සඳහන්ව ඇති පැරකුම්බා දෙබෑයන් යනු ගම්පොල යුගයේ සිටි පස්වන පරාක්‍රමබාහු සහ හතරවන බුවනෙකබාහු යන රජවරුන් බව ය.
මහාවංශය සහ පූජාවලියට අනුව 1 වන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කළ බව සඳහන් වෙයි.
මෙම නම් ගම්, ලිඛිත සාක්‍ෂි, ජනශ්‍රැති, ඉතිහාසගත කරුණු, පුරාවිද්‍යාත්මක සාක්‍ෂි පරීක්‍ෂණයට බඳුන් කිරීමේදී විවිධ මත ගැටුම් පැණ නැගී තිබේ. ගැටලු ලිහා දිග හැර සැක හැර අවසන් නිශ්චිත තීන්දුව දීමේ විනිශ්චය ඒ ඒ අදාළ ක්‍ෂෙත්‍රයන්හි වියතුන්ගේ වගකීම වෙයි.
දැනට ඇසට හසුවන නටබුන් පරීක්‍ෂා කිරීමේදී මෙය ප්‍රබල විහාරාරාමයක් වශයෙන් පැවැති බව නම් ස්ථිරය.
ඉතා පැරැණි ස්තූපයක නෂ්ටාවශේෂ, විශේෂිත වූ බෝධි ඝරයක්, ධාතු ගෘහයක්, දම් සභා මණ්ඩපයක්, දාන ශාලාවක්, පිළිම ගෙයක්, පෝය සීමා මාලකයක් සහ පොකුණු - සඳකඩපහන්, මුරගල් ආදිය මේ අතර විශේෂ වෙයි.
මෙහිදී හමුවී ඇති සඳකඩපහණ ලංකාවේදී මෙතෙක් හමු වී ඇති එම ස්වරූපයේ එකම සඳකඩපහණ බව කියැවෙයි. පුද බිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙයයි.
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසැඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැලකෙන මුල්ම මළුව ලෙස හඳුන්වන්නේ මෙයයි. සමස්ත බෝධිඝරයම පද්මාකාර ආකෘතියකින් නිමකර ඇත. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩනැගී ඇති මඟුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය හා සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතියි.
මෑතදී සිදුවූ ත්‍රස්තවාදී උවදුරේ භිෂණයෙන් දැඩිව පීඩා විඳි පරිසරයක මරණ බයෙන් තැතිගත් අසරණ ජීවිත හඬා වැටෙනා විටෙක හුදකලාවූ තවත් එක් අනාරක්‍ෂිත පුදබිමක් වූ මඟුල් මහා විහාරය නම් පුරාවිද්‍යාත්මක ස්මාරකය සුරැකුනේ දිවි දෙවනුව ද ජාතික බොදු උරුමයන් පළමුව ද තැකූ භික්‍ෂූන් වහන්සේටත් ඒ ප්‍රයත්නයට ශක්තියක් වූ අපගේ වීරෝදාර රණවිරුවන්ටත් පින් සිදුවන්නට ය. දැයේ පූජෝපහාරය මෙවන් උරුමයන් සුරැකූ සැබෑ මානවයන් වෙත පිදිය යුතුම ය.
බොදු උරුමයක අනන්‍යතාවය යටතේ රාජ වංශ කතාවට චමත්කාරයක් එක්කළ ලාහුගල මඟුල් මහා විහාර සංකීර්ණයේ තවත් ඉතිහාසගත තොරතුරු රාශියක් තවමත් රහස් වශයෙන් මේ විසිරුණු පස්ගොඩැලි යට සඟවා ගෙන සිටිනවා විය හැක. මඟුල් මහා විහාරයේ නියම මංගල්‍යය සිදුවන්නේ කටු කොහොල් හැර එම රහස් ගබඩාවේ සියලු දොරගුළු විවර කළ දාට ය.
ජනක වෙත්තසිංහ