උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.
කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.
උණුවතුර ළිං පුරාවිද්‍යාවට අයත්වන්නේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නකාරී විය හැකිය. හේතුව මෙතැන භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් තිබීමය. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම තිබේ.
රජමහා වෙහෙර ගැන කියන්නට කලින් අපි උණුවතුර ළිං බලන්නට යායුත්තෙමු. ප‍්‍රවේශපත‍්‍ර කවුළුව ආසන්නයේ ඇත්තේ අපූරු වෘක්ෂයකි. එය ගස් පහක එකතුවකින් සැදුණු අපූරු වෘක්ෂයකි. ඇහැටු, බෝ, නුග, සියඹලා සහ පලූ යන ගස් සියල්ලම එක ගුලියට හැදී වැඞී ඇත්තේ එක ගසක් පරිද්දෙනි. මෙම ගස පාමුල තබා ඇති බුදු පිළිමයට වඳින මිනිස්සු උණුවතුර ළිං කරා යති. චර්ම රෝග ඇතුළු විවිධ රෝගාබාධයනට ඖෂධයක් වන බව කියන මේ වතුර, උණු වන්නේ කෙසේදැයි අපට ප‍්‍රශ්නයක් විය. ළිං හතටම ගොස් එකින් එකෙහි වතුර ගෙන මුහුණු සෝදාගත් විට ඒ වතුර ළිං හතේ උණුසුමේ වෙනස අවබෝධ විය.
”මුළු ත‍්‍රිකුණාමලයටම විශාලම උල්පත් වතුර ළිං තියෙන්නෙ මෙතන. මේ උල්පත් වතුර හුණුගල් සහ ගෙන්දගම් අතරින් මතුවෙන නිසා තමයි උණුසුමට දැනෙන්නෙ.
අපට පැහැදිලි කළේ පන්විල තැන්නේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ භාතික තිස්ස රජමහා විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරති.
භාතික තිස්ස රජමහා විහාරයට අද ඇත්තේ බුදු පිළිමයක් සහ කුඩාම කුඩා ආවාස ගෙයක් පමණකි.
අපි උන්වහන්සේ සමග කතා බහකට එළඹුනෙමු.
”මේ ප‍්‍රදේශයේ ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල කොටි පාලන කාලෙදි ඉවත් කරලා. දැනට ඉතිරි වෙලා තියෙන්නෙ මේ චෛත්‍යය තියෙන ගොඩැල්ල විතරයි. හැබැයි කැනීම් කළොත් තවත් හුඟාක් දේවල් මේ බිමෙන් හම්බවේවි. හාමුදුරුවෝ කියති.
උණුදිය ළිංවලට ඔබ්බෙන් ඇත්තේ තරමක කඳු ගැටයකි. කන්තලේ ප‍්‍රදේශය තෙක්ම විහිදෙන මේ කඳුගැටය ආශ‍්‍රිත වනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී ඔවුන්ගේ කඳවුරු තනාගෙන සිටි මේ කන්ද මුදුනට මුළු මහත් ත‍්‍රිකුණාමලයම අපූරුවට පෙනෙයි.
”රාවන රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලම මේ උණුදිය උල්පත් තිබිල තියෙනව. ජනප‍්‍රවාදෙට කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ අම්මට හැදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් විදිහට රාවන රජ්ජුරුවො මේ ලිං මැවුවයි කියලයි. ඒවගේම වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ කාලෙදි එහි වැඩම කරන භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං හැදුව කියලත් කතාවට කියැවෙනවා.
ඉන්දරතන හාමුදුරුවෝ සඳහන් කරති.
උණු දිය ළිං බලන්නට විශාල පිරිසක් කන්නියාවට එති. කොටි සහ එජාප රජය අතර සාමය පවතිද්දී මාද මෙම උණුවතුර ළිං බලන්නට පැමිණියෙමි. එකල උණුවතුර ළිඳකට ළංවීමටත් දිගු පෝලිමක් තිබිණි.
”දැනුත් සති අන්තෙට හොඳ සෙනගක් එනවා. පුරාවිද්‍යාව ටිකට් කඩන්න පටන්ගත්තට පස්සෙ සෑහෙන මුදලක් හොයාගන්න ඇති. ටිකට් පතේ මුද්‍රණය කරල තියෙන්නෙ ලැබෙන ආදායම මෙතන සංවර්ධනයට යොදවන බව. ඒත් තවම නම් කිසිම දෙයක් කරල නැහැ. වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරු කරන්න පහසුකම් නැහැ. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.
ඉන්දරතන හිමියෝ අවධාරණය කරති.
මේ උණුවතුර ළිං වල හැමතිස්සෙම වතුර තියෙන නිසා සෙවෙල බැඳෙනවා. සතියකට සැරයක් පොලොව සුද්ද කරන්නෙත් අපි. මෙතැන ආරක්ෂා කරන රණවිරුවො එහෙම සුද්ද නොකළොත් මෙතැනට එන අය ලිස්සලා වැටෙනවා.
කි‍්‍ර.ව. 143 - 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරය යළිදු අපට දැකගැනීම සඳහා කැණීම් කටයුතු ඇරඹේ නම් එය ලොකු වාසනාවකි. ඒ පැතුමත් ඇතිව අපි වෙල්ගම් රජමහා විහාරය බලායනු පිණිස පිටත්වූවෙමු.
ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.
2012 මාර්තු මස 25  | ලංකාදීප කර්තෘ මණ්ඩලය



ලොව පළමු චෛත්‍යයට වන්දනා ගමනක්

හිරු අවර ගමනට සැරසේ...එහෙත් වැව් දිය පිසගෙන එන සුළෙඟ් සුවදායි බවත් හාත්පස වැඩුණු අනන්ත තුරු සමූහයත් නිසා ගිනිගත් හිරුගේ සැඩ රැස් දහර ගත දාහයෙන් තෙත බරිත කරන්නේ නැත.

වස්සානය අවසාන වූ බැවින් පරිසරයේ ඇත්තේ කර්කශ වියළි බවක් බව සැබවි. එහෙත් පෙරද කී ලෙසින් සුළඟ ගත නිවාලයි.
සිතද නිවේ. අප මේ පැමිණ සිටින්නේ ලෝකයේ පළමුවැනි චෛත්‍යය පාමුලට බැවිනි.
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.
ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.
සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.
මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......
එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.
අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය.
ගිරිහඬුසෑයේ වත්මන් විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණෝය. අප ගිරිහඬුසෑය වන්දනාවට යන විට එහිමියෝ ත‍්‍රිකුණාමලයේ ආනන්දාරාමයට වැඩම කර සිටියහ. එබැවින් අප සමඟ කතාබහට පිවිසියේ පොඩි හාමුදුරුනමකි.
ගිරිහඬුසෑය ගැන කොතෙකුත් ලිපි පළවෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් පුවත්පත් ලිපියක් ලියනවනම් එහි ලියැවිය යුත්තේ මෙන්න මේ කරුණුයැයි උන්වහන්සේ කතාබහ ආරම්භ කළහ. අපි ඒ කරුණු මෙහි සටහන් කර තබමු.
අග‍්‍රබෝධි රජ්ජුරුවො මේ චෛත්‍යය විශාල කරල හදල රන් ආලේප කරල මැණික් ඔබ්බල වටදාගෙයක් හදල පියස්සක් හදල තිබ්බේ. අද ඒ සියල්ල ගරා වැටිල. අපට  ඕනෙ තිබ්බ විදිහටම මේ චෙත්‍යය හදල රන් අලේප කරන්න. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැමති චෛත්‍යය දැන් තියෙන විදිහට ගඩොල් ගොඩක් වගේ තියන්න. ඒත් රුවන්වැලිිසෑය ලස්සනට හදන්න දීලා තියෙනවා. අපේ ඉල්ලීම ගිරිහඬු සෑයත් හදන්න ඉඩ දෙන්න කියන එක විතරයි. අපේ බෞද්ධ ජනතාව ඒ සඳහා අවශ්‍ය මුදල් අපට පරිත්‍යාගකරයි.
ශාන්ත කුමාර විතාන / සේයා රූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 මාර්තු මස 11  ලංකාදීප කර්තෘ මණ්ඩලය

නිතුපත්පාණ වැව