උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ

මෙරට ඉංගී‍්‍රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය  සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම  ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.
පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින්  වර ථූපාරාම භූමියට  වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී  ග‍්‍රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක‍්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක‍්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය.

ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ
චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා
සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත.

විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ
දක්ඛිණෙ චතුරොථූපා  චතුබුද්ධාන සාසනෙ

සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග‍්‍රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ  පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ.
අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන  ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය.  කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය.
සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි  බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින්  ථූපාරාමයට නැගෙනහිරින්  ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය.

ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච
ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී

මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු  රජුගේ බෞද්ධ ප‍්‍රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය.

ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප  දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට  පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන  අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ  ථූපාරාම දාගැබ් භූමියට උතුරින්  ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී‍්‍රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප‍්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ  පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය. 20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්‍ෂය බොහොමයක් ඇත.  උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.
අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග
2012 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


කුච්චවේලි කඳුගැටයේ අසිරියත් නරඹමු...



ඔබ තනිවම මුහුදු වෙරළක ඇවිද ගොස්‌ තිබේද...? අලුත් දිය රැල්ලකින් තෙත බරියන් වී මනාව සැකසුණු වැලිතලාව මත ඇවිද යන ඔබට ආපසු හැරී බලනවිට පෙනෙන්නේ කුමක්‌ද?...


ඈතට ඈතට විහිදී පුංචි වී නොපෙනී යන ඔබේම පිය සටහන් ඔබට පෙනේවි. තවත් මොහොතකින් ඇදී එන ඊළඟ දළ රැල්ලෙන් ඒ පියසටහන් සේදී මැකී නොපෙනී යාවි...
වැල්ලේ පියසටහන් අන්න එහෙමය. සදාකාලික නැත. සැණෙකින් මැකී නොපෙනී යන සුළුය...

එහෙත් මතකයේ ඇඳුණු පියසටහන් එසේa මැකී නොපෙනී යා හැකිද...?

බොහෝවිට මතකයේ පියසටහන් ඇඳෙන්නේ යළි නොමැකෙන්නටය. නිsතරම අතීතය වෙත අප රැගෙන යන්නේ මතකයේ නොමැකී රැඳී තිබෙන ඒ පියසටහන්ය...

ඒ අයුරින් මම පසුගිය දිනක මතකයේ රැඳි පියසටහන් වැලක්‌ ඔස්‌සේ ත්‍රිකුණාමලයේ සිට නිලාවැලි පසුකර කුච්චවේලි ප්‍රදේශය දක්‌වා ඇවිද ගියෙමි....

මතකය නිවැරදි නම් ඒ ගමන මම මුලින් ගොස්‌ තිබුණේ 2000 කාලවකවානුවේදී හෝ ඊට පෙරය. එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව රාජකාරි කළේ කවදත් අපට හිතවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකි. ඒ වූ කලී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරුන් ලෙස සේවය කළ ප්‍රේමලාල් රණගල හා සරත් පෙරේරාය.

අද රණගල කොළඹ දකුණ ප්‍රදේශය භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාය.

මේ දෙදෙනා ත්‍රිකුණාමලය උතුර භාරව සිටි, යුද්ධය තරමක්‌ සැර බාල වී තිබූ වටපිටාවක මමත් සංඛ ගාල්ලගේත් තව මිතුරන් කිහිපදෙනකුත් ත්‍රිකුණාමලයට ගියේ ඒ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය හා යුදමය පරිසරයක්‌ විසින් යටපත් කරවමින් තිබූ සුන්දරත්වය පිළිබඳ සොයා බලා පුවත්පතට ලිපි කිහිපයක්‌ ලිවීමේ අරමුණ ඇතිවය.

මේ ගමනේදී ත්‍රිකුණාමලය නගරයේ තිබූ පොලිස්‌ අධිකාරී නිවස්‌නයේ සිට කුච්චවේලියට අප රැගෙන යාමේ වගකීම භාරව සිටියේ එවකට කුච්චවේලි පොලිසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුටය. ඔහු ලෑන්ඩ් රෝවර් වර්ගයේ විවෘත ජීප් රථයකින් අපව එම ගමන රැගෙන ගියේය.

ඒ කාලයේ අඩියෙන් අඩියට සෝදිසි කිරීමේ මාර්ග බාධක තිබිණි. උප්පුවේලි පොලිසියද පසුකොට අපි, මුලතිව් දක්‌වා දිවෙන මුහුදුබඩ මාර්ගයේ උතුරු දෙසට ඉදිරියට ඇදීයද්දී එක තැනක සිටියේ පොලීසියයි. තවත් තැනක සිටියේ හමුදාවයි. ඒ හැරුණවිට බොහෝ තැන්වල සිටියේ නාවික හමුදාවය. පොලිස්‌ ජීප් රියකින් ගියත් නාවික හමුදාව හා යුද හමුදාව අප අත හැරියේ නිසි සෝදිසි කිරීම් හා ප්‍රශ්න කිරීම් වලට අනතුරුවය. 

ඒ ආකාරයේ කදිම අත්දැකීම් විඳිමින් බිය සැකය හා ත්‍රාසය එකට මුසුවූ එම ආගන්තුක අසීරු පාර දිගේ අපි ඉදිරියට ගියෙමු. අප රැගෙන ගිය ජීප් රිය පැදවූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වේගවත් ධාවනයට වළ ගොඩැලි පෙනුනේම නැත. දෙපසම විවෘත විල්ලු භූමි හා තැනිතලා බිම් හරහා ඔහු පවනට බඳු වේගයෙන් ජීප් රිය පදවාගෙන ගියේ උදේ ආහාරයට ගත් බත් ඇට නහයෙන් පනින තරමට ගැස්‌සෙද්දීය.

''කොටි ස්‌නයිපර් කාරයෝ ඈත ඉඳන් එම් එක ගන්නවා. එහෙම ගන්න බැරිවෙන විදියට තමයි අපි වාහන ගෙනියන්නේ...'' ඔහුගේ වේගවත් ගමනට හේතුව ලෙස ඔහු ඉදිරිපත් කළ ඒ කාරණාව එදා අපේ බොකු බඩවැල් ගිනියම් කර දැමුවා මතකය...

අපි නිලාවේලි ගම පසුකර තව තවත් ඉදිරියට ගියෙමු. ඒa යන ගමනේදී ඔහු අපට මග දෙපස නටඹුන්ව ගිය ගෙවල් හා වෙළඳ සල් පෙන්වමින් අතීතයේ ඒ ඒ තැන්වල සිදුවූ අවාසනාවන්ත සිදුවීම් විස්‌තර කරන්නට පටන් ගත්තේය. නාවික හමුදාවේ බස්‌ රථ වලට හා යුද හමුදාවේ ට්‍රක්‌ රථවලට ප්‍රහාර එල්ල වූ අයුරු ඔහු විස්‌තර කළේය. ඒ සෑම ප්‍රහාරයක්‌ම පැති බෝම්බ නිසා සිදුවූ බව ඔහු අපට විස්‌තර කළේය...

මේ පහුගිය කාලේ තිබුණ භයානකම තර්ජනය තමයි පැති බෝම්බ තර්ජනය. කාලයක්‌ තිබුණේ බිම් බෝම්බනේ. ඊට පස්‌සේ අපේ හමුදාව හැමදාම උදේ පාන්දර ''රෝඩ් ක්‌ලියර්" ටීම් එක දාල බිම්බෝම්බ සර්ච් කරලා අයින් කරනවා. ඊට පස්‌සේ කවුරුවත් නොහිතපු විදියට තමයි කොටි පැතිබෝම්බ ඇටෙව්වේ. පාර අයිනේ ගහක ගස්‌ දෙබලක හෝ කාණුවක බෝම්බය බැඳලා වාහනයක්‌ ඒ ළඟින් යනකොට රිමෝට්‌ එකකින් බෝම්බය බ්ලාස්‌ට්‌ කරනවා. දැන් අපේ අය සර්ච් කරන්නේ බිම විතරක්‌ නොවෙයි. පාර දෙපැත්තේ ගසුයි - උඩයි - බිමයි හැම තැනම දැන් සර්ච් කරනවා...

මිනිස්‌ පුළුටක්‌ නැති පාළුවට ගිය ලඳු කැලෑවලින් පිරි තැනිතලා බිම් විල්ලු හා දෙමළ ජනතාව එක්‌ රැස්‌ව සිටි ගම්මාන ඔස්‌සේ අපි කුච්චවේලියට ලඟා උනෙමු. කුච්චිවේලිය වූ කලී එදා මුළුමනින්ම දෙමළ ජනතාව වාසය කළ දෙමළ ගම්මානයකි. ඊට කලකට පෙර එහි සිංහල ගැමියෝද බොහෝ සේ වාසය කළ බවට කරුණු ඇත. අයහපත් යුද වාතාවරණය මධ්‍යයේ සිංහලයෝ ගම්බිම් ඉඩකඩම් අතහැර පලාගොස්‌ තිබිණි. එහෙත් මේ මුළු භූමි භාගයම බොහෝ ඈත අතීතයේ ප්‍රෙෘඩ ඉතිහාසයක්‌ හා සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ සහිත බිම්කඩක්‌ව තිබූ බවට සාක්‍ෂි එදාත් හැම තැනකම ඇති තරම් ඉතිරිව තිබිණි. ඒ සාක්‍ෂි කොටි ත්‍රස්‌තවාදීන් හා අනෙකුත් බලවේග විසින් අකා මකා දමන්නට කොතරම් වෙර දමා තිබුණත් ඒ කිසිවක්‌ සාර්ථක වී තිබුණේ නැත.

ප්‍රධානම සාක්‍ෂිය වූයේ කුච්චවේලියේ පිහිටා තිබූ කුච්චවේලි මහා විහාරයයි. මෙය ලංකාවේ දකුණේ හා නැගෙනහිර පිහිටා තිබූ මුහුදු මහා විහාර වලින් ඉතා මනරම් විහාරයක්‌ වන කණිකාරවෙල්ලි විහාරය බව හඳුනාගෙන තිබිණි.

කුච්චවේලි පොලිසිය පිහිටා තිබුණේ පාර අද්දරය. එහි සිට මුහුදු වෙරළට මීටර් 75 ක පමණ දුරක්‌ යා යුතුව තිබිණි. පොලිසියේ පිටුපස කම්බි වැට කෙලවර වූයේ කුච්චවේලි නාවික හමුදා කඳවුරෙනි. වෙරළ අද්දරට යාමට නම් නාවික හමුදා කඳවුර හරහා යනවා මිස වෙන ක්‍රමයක්‌ නොවීය.

කුච්චවේලි විහාරය හෙවත් කණිකාරවෙල්ලි විහාරය ඒ මුළු ප්‍රදේශයම වසාගෙන පැතිර තිබූ බවට පැහැදිලිව පෙනෙන සාක්‍ෂි ගණනාවක්‌ම තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පොලිසියට හා නාවික හමුදාවට අතරමැදි භූමියේ පිහිටා තිබූ මහා විහාර ගොඩනැගිල්ලේ නටබුන්ය. විහාරගෙයි පාදම පසුකලෙක කරන ලද කැණීම් වලින් මතුකරගෙන තිබූ අයුරු එදා ද අපි දුටුවෙමු. ඒ කැණීම් වලින් සොයාගන්නා ලද බුදුපිළිම කිහිපයක්‌ හා ඓතිහාසික වස්‌තු කිහිපයක්‌ තැන්පත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිකර තිබූ ශාලාවක්‌ එදා ද ඒ බිමේ තිබිණි. එය ඉදිරියේ හතර පැත්තට පැරණි හෙළ බසින් ලියන ලද අත්තානි කණුවක්‌ද තිබිණි. ඒ සියල්ල එදා මා දුටු අයුරින්ම මේ නොබෝදා ගිය ගමනේදී ද දැක බලා ගත්තෙමි. වෙනසකට තිබුණේa එතනට එදා තිබූ පොලිස්‌ ආරක්‍ෂාව හෝ නාවික හමුදා ආරක්‍ෂාව අද එහි නොවීමය. මා මෙවර ගිය වේලේ දුටුවේ එම සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බාරව සිටි එකම එක නිලධාරියෙක්‌ පමණි. ඒ හැරුණවිට බලු පුළුටක්‌ අද ඒ බිමෙහිම නැත. මුළු භූමියම පාළුවට ගොස්‌ සේය.

පොලිසියට යාබදව තිබූ විහාරගෙයි නටබුන් හැරුණ විට කුච්චවේලි විහාරයේ වැදගත්ම කොටස තිබුණේ නාවික හමුදාව භාරයේ තිබූ භූමියේය. එතනට යාමට නම් අපිට නාවික හමුදා කඳවුරේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතුව තිබිණි. නාවික හමුදාවේම එවකට සිටි පත්ම ශ්‍රී තුෂාර නම් මගේ මිතුරකුගේ හැඳුනුම්කමක්‌ කියාගෙන මම නාවික හමුදා ප්‍රධානියා හමුවන්නට ගියෙමි. එහි සිටියේ මගේ මිතුරාගේ නිලයේම වූ ඔහුගේ හිතවතෙකි. නමින් ලුතිනන් දසනායක වූ ඔහුද මාතර ප්‍රදේශයේ පුද්ගලයකු වූ බැවින් අප සමග මිතුරුවන්නට විනාඩි දෙකතුනක්‌ ගතවූයේ නැත.

කුච්චවේලියේ තිබෙන වැදගත්ම කොටස වන වෙරළාසන්නයේ පිහිටි කඳුගැටය එවක පිටස්‌තර අමුත්තන්ට තහනම් ප්‍රදේශයක්‌ විය. එසේ වූයේ එදා එහි සවිකොට තිබූ යුදමය මෙවලම් කිහිපයක්‌ නිසාය. මුළු ත්‍රිකුණාමලය ප්‍රදේශයේම මුහුදේ සංචාරය කරන සතුරු හා මිතුරු යාත්‍රා සියල්ල පැහැදිලිව හඳුනාගත හැකි රේඩාර් යන්ත්‍රය එදා සවිකොට තිබුණේ එතැනය. ඒ සමගම එබඳු සතුරු යාත්‍රාවලට නිවැරදි ඉලක්‌කයට පහරදිය හැකි වටිනා බර අවියක්‌ද ඒ කඳු ගැටයේ තිබිණි. එවකට සිටි නිලධාරියා අපට එය පෙන්වූයේ ඒ සම්බන්ධව වචනයක්‌වත් එදා අපේ වාර්තාවලට ඇතුළත් නොකරන පොරොන්දුව පිටය.

අතීතයේ ඒ කඳු ගැටය මත කණිකාරවෙල්ලි විහාරයේ සුදොaසුදු සෑ රජු ඉදිකර තිබෙන්නට ඇත. අද ඇත්තේ ඒ ස්‌ථූපයේ නටබුන්ව ගිය එක්‌තරා කොටසක්‌ පමණි.

දකුණු පළාතේ සිට නැගෙනහිර ඔස්‌සේ වෙරළ දිගේ උතුරට යන විට මුහුදට දර්ශනය වන සේ අතීතයේ ඉදිකරන ලද මෙබඳු ස්‌ථූප බොහෝමයකි. වළවේ ගං මෝයේ පිහිටි ගෝඨ පබ්බතයෙන් පටන්ගෙන බූන්දල කිරින්ද ඕකන්ද ශ්‍රාස්‌ත්‍රවෙල පොතුවිල් පානම මූදු විහාරය, සංගමන්කන්ද, ලංකා පටුන, කෝකන්න, කණිකාරවෙල්aලි, ආදී විහාරවල ස්‌ථූප එදා ඈත සාගරයේ යන එන නැව් වලට පවා මේ රට බෞද්ධ දීපයක්‌ම බව සාඩම්බරයෙන් කියාපාන්නට ඇත.

මෙම කඳුගැටය පිහිටියේ මේ මිහිපිට දැකගත හැකි සුන්දරම වෙරළ තීරයක යෑයි කිවහොත් නිවැරදිය. එතැන්පටන් ආරම්භ වන සුදොaසුදු වැලිතලාව නිලාවේලි ප්‍රදේශයටම විහිද ඇති අපූරුව කඳුගැටට මතට ලස්‌සනට දර්ශනය වේ.

මේ කඳුගැටය වටා පිහිටි ගල්වල කැටයම් කපා ඇති අයුරුද දැක ගත හැක. ස්‌ථූප ලාංඡනය සහිත කැටයමක්‌ අදටත් එහි පාදමේ ඇති ගල්වල ඉතිරිව ඇත. ගල යට විශාල ගුහාවක්‌ අද වැලි වලින්ම යටවී ඇත. ගල්වලින් ගැවසීගත් කඳුගැටය වටාම ඇත්තේ අන් කිසි තැනක දැකගත නොහැකි සුවිශේෂතාය.

ඒ සුවිශේෂතා එදා අපට දකින්නට ඉඩක්‌ නොතිබුණේ හමුදා වටපිටාව හා ඔවුන්ගේ දැඩි ආරක්‍ෂාව නිසාය. එහෙත් අද ඒවා රකින්නට එහි කිසිවෙක්‌ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහතකී නිලධාරියා හැරුණවිට තව කිහිප දෙනෙකුගේ ඇල්ම බැල්ම පමණක්‌ මේ බිමෙහි ඉතිරිව ඇතුවාට සැක නැත. එහෙත් ඒ සෑම තැනකම කුමක්‌දොa අඳුරු ගුප්ත හැඟීමක්‌ රජයන බව මට වැටහිනි. 

අතීත පියසටහන් ඔස්‌සේ පිය නැගුමට කුච්චවේලියේ අඳුරු ගුප්ත එහෙත් අති සුන්දර පරිසරයේ පාරිසරික හා පුරා විද්‍යාත්මක සුන්දරත්වය විඳ දරා ගත හැකිවිය. එහෙත් ගවේෂණයට ලක්‌විය යුතු තවත් බොහෝ තැන් ඒ අවට තිබේ. දැන් ඒ අවස්‌ථාව ඔබටද උරුමව ඇති බව කියන්නේ සතුටිනි. මාර්ග පහසුකම්ද අද ඉතා දියුණුය. ත්‍රිකුණාමලයට ගිය විටෙක නිලාවේලි මුහුදු තීරයේ දිය සනහනවාට අමතරව කුච්චවේලියේ ඓතිහාසික සුන්දරත්වය දැකගන්නත් ඔබේ නෙතට ඉඩ හරින්න.

බුලිත ප්‍රදීප් කුමාර
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින

දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව


විවිධ පෘෂ්ට


හෙළ බොදු සිතුවම් විවිධ තල නොහොත් පෘෂ්ට මත ඇඳ තිබේ. ගල්තලා හැරුනු විට විහාර මෙන්ම ආරණ්‍ය බිත්ති සහ වියන් පුරා කලාත්මක බොදු සිතුවම් නිමකර තිබේ. මේ හැර දොර ජනෙල් කුලූනු සහ වෙනත් දැව තල මතුපිට ද පිළිම සහ මකර තොරණ වැනි වෙනත් විහාරාශ‍්‍රිත ත‍්‍රිමාන ලක්‍ෂණ මත ද වර්ණ රේඛා මගින් විචිත‍්‍රවත් කර ඇත. දළදා මාලිගයේ හේවිසි මන්දිරයේ ඇති දැව තලයන්හි සිතුවම් සුන්දරත්වයෙන් ඉතා උසස් වූ කලා නිර්මාණ වේ. අස්ගිරි විහාරයේ දැකුම්කලූ මෝස්තරයන්ගෙන් අලංකාර කර ඇති දැව රාජ්‍ය ආසනය ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී බිහිවූවකි. වර්ණවත් ලෙස මෝස්තරයෙන් නිමකර ඇති මහනුවර කාලයේ දෝලාවක් රත්නපුර කෞතුකාගාරයේ ඇත. දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමයේ දැව තල මත දැකුම්කලූ ආකාරයට චිත‍්‍රගත කර තිබේ. මේ හැර, පුස්කොළ පොත්හි දැව කවර මනස්කාන්ත මෝස්තර සිතුවමින් අලංකාර කර ඇත. මේවා විශේෂයෙන් දඹදෙනිය, කෝට්ටේ, මහනුවර රාජධානී ආශ‍්‍රිත කාලයේ දී පුළුල් ලෙස බිහිවිය. සමහර දැවතල මත විශේෂයෙන් වියන් තලයන්හි මැටි බදාම යොදා ඒ මත අලංකාර සිතුවම් ඇඳ තිබේ.
දැවතල මත ඇඳි වර්ණවත් විසිතුරු වූ මෝස්තර සිතුවම් සැලකීමේ දී දකුණු ලංකාවේ පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මාතර හිත්තැටිය රජමහා විහාරය වැනි විහාර කිහිපයක දැකිය හැකි පිරිත් මණ්ඩප සහ පෙට්ටගම් විශේෂ සැළකිල්ලට යොමුවිය යුතුවේ. මනස්කාන්ත මෝස්තර සිතුවමින් සැරසුණු මෙම පිරිත් මණ්ඩප සම්ප‍්‍රදාය දකුණටම සීමාවූ එකක් බව පෙනේ. මේ හැර පැතිකඩ නමින් හඳුන්වනු ලබන රෙදිමත ඇඳි විසිතුරු සිතුවම් ද වේ. ඉතා පැරණි කාලයක සිට පැතිකඩ සිතුවම් අඳිනු ලැබූ බවට ලිඛිත සාක්‍ෂි තිබේ. සමහර විහාරයන්හි බිත්ති බදාම කිහිපයක් දැකිය හැක. එක් කාලයක දී ඇඳි චිත‍්‍ර රැගත් තලය මත පසු කලක දී නව බදාම යොදා නව චිත‍්‍ර නගා ඇති ආකාරය සමහර පැරණි විහාරයන්හි දැකිය හැකිය. දඹුල්ල, හිඳහල හා දළදා මැදුරේ චිත‍්‍ර රැගත් බිත්ති තල ගණනාවක් ඇත. විවිධාකාර මැටි බඳුන් පැරණි කාලයේ සිට රජ මැදුරු, විහාර ආරාම සහ ප‍්‍රභූන් භාවිත කරනු ලැබීය. මේවා බොහෝවිට විචිත‍්‍රවත් වූ වර්ණ මෝස්තරයන්ගෙන් අලංකාර කර තිබිණි. පරසතුරු උවදුරුවලට ලක්වීම නිසා මෙම මැටි බඳුන් බොහෝ සෙයින් විනාශයට ගොදුරු විය. මහනුවර රාජධානි කාලයට අයත් ඉතා මනරම් වූ මෝස්තරයන්ගෙන් හෙබි මැටි බඳුන් ගණනාවක් මහනුවර කෞතුකාගාරයේ දැකිය හැක. මේවා දැකුම්කලූ අන්දමට හංසපූට්ටු, ලියවැල්, නාරිලතා මෙන්ම සංකීර්ණ වූ පලාපෙති මෝස්තර රටාවලින් විචිත‍්‍රවත් කර ඇත.

පුස්කොළ පොත් කවර සිතුවම්


මහනුවර කාලයේ දී බිහිවුණ විසිතුරු වූ පුස්කොළ පොත් දැව කවර නැතහොත් කම්බාවන්හි කලාත්මක මෝස්තර සිතුවම්කරණය දැකිය හැක. මින් සමහරක් දකුණු ලංකා විහාරයන්හි පොත්ගුල්වල ද එකතු වී තිබේ. මෙම සිතුවම්වල ශෛලිය මහනුවර සම්ප‍්‍රදායට අනුකූලය. පොත් කම්බාවල සහ පුස්කොළ පොත්වල ඇඳි රූ සටහන් දෙවර්ගයකි. කැටයම් රහිත පොත් කම්බාවන්හි විසිතුරු මල්, ලියකම්, වෘක්ෂලතා සහ ජ්‍යාමිතික මෝස්තරවලින් අලංකාර කර තිබේ. මෙලෙස සිතුවම් කළ පුස්කොළ පොත් දහස් ගණනක් කොළඹ කෞතුකාගාරයේ, ජාතික ලේඛණාගාරයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ, දළදා මාලිගා කෞතුකාගාරයේ, අස්ගිරි සහ මල්වතු විහාරවල, පැල්මඩුල්ල විහාරයේ, ගල්ලෙන්ගොල්ල පොත්ගුල් විහාරයේ, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ මෙන්ම මහනුවර ප‍්‍රවීණ පුස්තකාලය සහ වෙනත් විහාර ගණනාවක ඇත. පොත් කම්බායේ ඇතුළු පැත්ත ද සිතුවම්කර ඇති අවස්ථා ද තිබේ. මේවාහි බුද්ධ චරිතය, අටමස්ථාන, සොලොස්මස්ථාන, ජාතක කතා, රජුන්ගේ රූපයන් සිතුවම්ගත කර ඇත. පුස්කොළවල රේඛා සිතුවම් ඇඳීම දක්‍ෂම ශිල්පීන් විසින් පන්හිඳෙන් කරනු ලැබ ඇත. මේවා ඉතා සූක්‍ෂ්ම අන්දමින් කර ඇති රේඛා සිතුවම් නිර්මාණ වේ.

වියන් සිතුවම්


විහාරයන්හි වියන් සිතුවම් ඉතා මනස්කාන්ත ලෙස නිමකර තිබේ. බොහෝවිට නෙළුම් මල පදනම්කරගත් විවිධ වූ මෝස්තර භාවිතය වියන් සිතුවම්හි නෙළුම් මල් මෝස්තර මෙන්ම වෙනත් විවිධ පුෂ්ප සහ වෙනත් ලතා උපයෝගී කරගත් විවිධාකාර වියන් මෝස්තර පද්ධතියන් දැකිය හැක. ජ්‍යාමිතික රටා මෙන්ම ජ්‍යොතිෂ සහ තාරකා විද්‍යාත්මක සංකේත පදනම් කරගත් විසිතුරු වූ මෝස්තර දකුණු ලංකාවේ සමහර විහාරයන්හි වියන් සඳහා යොදාගෙන තිබේ. පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාමය, මිරිස්ස සමුද්‍රගිරි රාජමහා විහාරය, වැලිගම පොල්වත්ත ගංගාරාමය වැනි විහාරයන්හි විසිතුරු වූ වියන් සිතුවම් මෝස්තර ඇත.

පැතිකඩ සිතුවම්


රෙදිවල අඳින ලද පෙතිකඩ නමින් හඳුන්වන මෙම චිත‍්‍ර පුරාණයේ සිට පැවැති බවට සාක්‍ෂි තිබේ. දැනට ඉතිරිව ඇති පෙතිකඩ චිත‍්‍ර රාශියකම වාගේ මහනුවර චිත‍්‍ර ශෛලිය මනාව පිළිබිඹු වේ. මින් සමහරක් කොළඹ කෞතුකාගාරයේ දැකිය හැක. පෙතිකඩ චිත‍්‍ර සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන විහාර අතර මාතලේ දැඹව, මහනුවර අසල පිහිටි හඟුරන්කෙත පිහිටි අරත්තන, බදුල්ලේ මුතියංගනය සහ මහනුවර දළදා මාලිගාව වැදගත් වේ. මෙම චිත‍්‍ර ධජ පතාක ලෙස පෙරහරවල ගෙනයනු ලැබීය. වියන් මත බදාම ආලේප කර රෙදි අලවා කළ සිතුවම් දෙගල්දොරුව, බඹරගල සහ දඹුල්ල වැනි ස්ථානයන්හි හමුවී තිබේ.

මහනුවර කාලයේ දී සිත්තරුන්


මහනුවර කාලයේ දී ප‍්‍රචලිත අය වන්නේ දෙවරගම්පළ සිල්වත්තැන, හිරිආලේ නයිදේ, දේවින්ද්‍ර මූලාචාරි, දෙවුන්දර අන්දිරිස් සිත්තරා, කටුවාන හිමි, නිලගම පටබැන්ද, හීමප්පු සිත්තරා. මහනුවර කාලයේ දී දකුණු ලංකාවේ විහාරාශ‍්‍රිත චිත‍්‍ර ඇඳීමේ දී මුල් වූ චිත‍්‍ර ශිල්පීන් අතර කටුවාන හිමිගේ ශිෂ්‍යයන් ගණනාවක් ද විය. දකුණු චිත‍්‍ර සම්ප‍්‍රදාය හා සම්බන්ධ වෙනත් සිත්තරු අතර වෑත්තෑවේ හිමි, හේරත්ගම රතනපාල හිමි, අහංගම ඩිංගිරන්අප්පු සහ වැලිතර හීන්අප්පු වෙති. මාතර ප‍්‍රදේශයේ සිතුවම් සම්බන්ධයෙන් ඩිංගිරන්අප්පු සහ හීන්අප්පු ප‍්‍රසිද්ධය.

දකුණේ සිතුවම්හි විශේෂතා


රටපුරා විහාරස්ථාන රාශියක මහනුවර සම්ප‍්‍රදාය දක්වන සිතුවම් ඇත. 19 වැනි සියවසේ මැද හා අවසන් කාලයේ දී දකුණු සහ බටහිර ලංකා සිතුවම් සම්ප‍්‍රදාය විකාශනය වෙමින් පැවතින. දිවයිනෙහි දකුණු සහ වෙරළාසන්න පහතරට ප‍්‍රදේශයන්හි එකල බිහි වූ චිත‍්‍රවල මහනුවර සිතුවම් සම්ප‍්‍රදායේ මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වී තිබුණ ද සිතුවම්හි විස්තර ලක්‍ෂණයන් සැලකීමේ දී පැහැදිලි වෙනසක් පෙනෙයි. දීප්තිමත් වර්ණ භාවිතය මේවාහි විශේෂ ලක්‍ෂණයකි. මේ කාලයේ දී බහුල වශයෙන් නිමකර ඇති මකර තොරණ සහ දේව රූපවල මෙම ලක්‍ෂණය විශේෂයෙන් පෙනේ. ඒ හැර සිතුවම් වඩාත් විස්තරාත්මකව දැක්වීමට ද දකුණේ චිත‍්‍ර ශිල්පීන් පෙළඹී ඇත. මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. විස්තර තොරතුරු කෙරෙහි දක්වනු ලැබූ දැඩි අවධානය ඉන් එකකි. මහනුවර යුගයේ උඩරට සබරගමු සහ වයඹ ලංකාවේ දියුණු වූ බිතුසිතුවම්වල මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වුව ද දකුණු නොහොත් පහතරට ලංකාවේ විකාශනය වූ සිතුවම් වෙන්කරගත හැක්කේ ඒවාහි පෙනෙන විස්තර ලක්‍ෂණ නිසාය.
ඒ හැර සිතුවම්හි හිස්තැන් නෙළුම් මල්, ඉර හඳ, ගංගා, වලාකුළු සහ වෙනත් පාරිසරික ලක්‍ෂණයන්ගෙන් පිරවීම ද දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණයක් විය. බටහිර නැතහොත් අපරදිග සිතුවම් සම්ප‍්‍රදායන්හි බලපෑම් දකුණු ලංකා බොදු සිතුවම්වල පැහැදිලිව දැකිය හැක. පෘතුගීසි,  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලක්‍ෂණ සිංහල ජන ජීවිතවලට ඇතුළත් වූ ආකාරය දකුණේ සිතුවම්වල දැකිය හැක. විශේෂයෙන්ම චිත‍්‍රවල දැකිය හැකි මුහුණුවල ස්වරූප ඇඳුම්, පැළඳුම්, ආභරණ, ගොඩනැගිලි, ගේදොර, බඩුමුට්ටු යුරෝපීය ලක්‍ෂණ දරයි. අවට පරිසර ලක්‍ෂණ වන ගස් කොලන්, පුෂ්ප, ලතා, සතුන් සහ පක්ෂීන් චිත‍්‍රවලට එකතුකිරීම ද දකුණේ සිදුවී තිබේ. විවිධ පුෂ්ප රෝස, පිච්ච මල් මෝස්තර සිතුවම් සම්බන්ධයෙන් යොදාගෙන තිබේ. මෙය වඩාත් දැකිය හැක්කේ දකුණු විහාරයන්හි දැකුම්කලූ අන්දමින් නිමකර ඇති වියන් සිතුවම් සහ දැවතල මත ඇදි සිතුවම්වලය. රතු, සුදු, කළු, කහ, නිල් වැනි සාම්ප‍්‍රදායික වර්ණ හැරනුවිට දකුණේ චිත‍්‍රයන්හි විවිධ වූ වර්ණ සංකීර්ණයක් යොදාගෙන ඇති ආකාරය පෙනේ. මේ අතර රෝස පැහැය, දම් පැහැය, දුඹුරු පැහැය දැක්විය හැකිය. ඒ හැර මූලික වර්ණයන්ගේ මිශ‍්‍රණයෙන් සාදාගත් විවිධ වර්ණ චමත්කාර ලෙස සම්බන්ධීකරණය කොට ඇති ආකාරය ප‍්‍රශංසනීයයි.

දකුණු සම්ප‍්‍රදාය දැක්වෙන විහාර

මහනුවර යුගයේ දී දකුණු ලංකාවේ ව්‍යාප්ත වූ සුවිශේෂී වූ චිත‍්‍ර සම්ප‍්‍රදාය දැක්වෙන විහාර රාශියක් ඇත. ඒ අතර විශේෂ වූ චිත‍්‍ර ප‍්‍රවේශ, ප‍්‍රභේද, ශිල්පීය ක‍්‍රම සහ ආභාස දැක්වෙන සිතුවම් සහිත විහාරස්ථාන අතර වඩාත් ප‍්‍රසිද්ධියක් ලබා ඇති තැන් ලෙස දැක්විය හැක්කේ මුල්ගිරිගල, දොඩංදුවේ ශෛලබිම්බාරාමය, කතළුව පූර්වාරාමය, තොටගමුවේ තෙල්වත්ත, මිරිස්සේ සමුද්‍රගිරි විහාරය, අළුත්ගම කන්දේ විහාරය, කුමාරකන්ද රජමහා විහාරය, කරගම්පිටියේ සුබෝධාරාමය, මාතර වෙහෙරගම්පිට විහාරය, මාතර ගොඩපිටිය ජේතවනාරාමය, මාතර කොටිකාගොඩවත්ත පුරාණ රාජමහා විහාරය සහ මාතර හිත්තැටිය විහාරය, ගලපාත විහාරය, කසාගල විහාරය, යටගල විහාරය, අම්බලන්ගොඩ සුනන්දාරාමය, වළල්ගොඩ විහාරය, කෝට්ටේ සහ කැලණි රාජමහා විහාරයන්ය.
මුලිගිරිගල රජමහා විහාරය දකුණු ලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රතාපවත් පැරණි බෞද්ධ ගල්ලෙන් විහාරයකි. මුල්ගිරිගල කලා රසිකයන් අතර ප‍්‍රකට වන්නේ එහි දක්නට ලැබෙන විසිතුරු වූ සිතුවම් නිසාය. ජනප‍්‍රවාදයට අනුව මෙම විහාරය වලගම්භා රජු කාලයේ දී කරන ලද්දකි. නමුත් මෙහි ඇති බිතු සිතුවම් සහ වියන් සිතුවම් 18 වැනි සියවසෙහි නැතහොත් මහනුවර යුගයේ දී නිමවූ ඒවාය. මේවා මහනුවර කාලයේ උඩරට චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන නමුත් ඊට වඩා පැහැදිලි වෙනස් ලක්‍ෂණයන්ගෙන් යුක්තයි. චිත‍්‍රවල ආකෘතිය සහ ශිල්පීය ක‍්‍රම මුල්ගිරිගලටම සුවිශේෂි වන බවට කලා විචාරකයන්ගේ අදහසයි. මෙම චිත‍්‍රවල පොදුවේ උසස් සෞන්දර්යාත්මක ගුණයක් ඇත. කොළ පැහැය සහ දුඹුරු පැහැය භාවිත කිරීමෙන් උඩරට දකින මහනුවර සිතුවම් සම්ප‍්‍රදායෙන් බැහැරවීමක් මෙම චිත‍්‍රවලින් පෙනේ. එය යුරෝපීය කලා සම්ප‍්‍රදායේ ආභාසයක් ලෙස සැලකිය හැකිය. මානව රූපය ඇඳීමේ දී පවා ශෛලගත ක‍්‍රමයට වෙනස් වූ ක‍්‍රමයක් අනුගමනය කර ඇත. මානව රූප වඩාත් ස්වාභාවිත අන්දමින් දක්වා ඇත. එමෙන්ම වෘක්ෂලතා නිරූපණය කිරීමේ දී මෙය කැපී පෙනේ. මහනුවර කාලයේ උඩරට සිතුවම්වල මෙන් නොව මුල්ගිරිගල මෙම චිත‍්‍රවල පසුබිම් විචිත‍්‍ර ලෙස සවිස්තරාත්මක ලෙස දක්වා තිබීම විශේෂත්වයකි.
මුල්ගිරිගල චිත‍්‍රයන්හි තේමාව ප‍්‍රධාන වශයෙන් ජාතක කතාය. වෙස්සන්තර සහ තේලපත්ත ජාතකය සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ. මුල්ගිරිගල චිත‍්‍ර අතර සුවිශේෂි වූ චිත‍්‍රයක් ලෙස සලකනු ලබන්නේ කාන්තාවක් විසින් සංගීත භාණ්ඩ විශේෂයෙන් පහතරට වාද්‍ය භාණ්ඩයක් වන යක්බෙරය වාදනය කරන අයුරු දැක්වෙන අලංකාර වූ සිතුවමයි. දොඩන්දුවේ ශෛලබිම්බාරාමය දර්ශනීය බෞද්ධ විහාරය පුරාණයේ දී වැදගත් ස්ථානයක් ඉසිලීය. බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේ දී සුප‍්‍රකට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැඩ විසූ ස්ථානය වශයෙන් ද මෙම විහාරය ප‍්‍රසිද්ධය. මෙහි බුදුගෙයි දක්නට ලැබෙන සිතුවම් අතිශය පියකරු වේ. දකුණු සම්ප‍්‍රදායේ මහඟු නිදසුනක් වශයෙන් මෙම චිත‍්‍ර සැලකේ. මේවායින් බොහෝමයක් දැනට විනාශවෙමින් පවතී.
ආචාර්ය  දයා හේවාපතිරණ
2012 ඔක්තෝබර් මස 28 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 බිතුසිතුවමක්
 මණ්ඩප සිතුවමක්

වියන් සිතුවමක්

සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන

මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,

නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො
චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ

ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි. ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය.
ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය. තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය.
අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්‍ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප‍්‍රාසාද තුනක් ප‍්‍රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප‍්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත‍්‍රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය.
ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත‍්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත‍්‍රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය.
මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ‍්‍රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි. බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප‍්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප‍්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක‍්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප‍්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය.
මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත.

පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු
සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා
නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං
ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු.

මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත. ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප‍්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප‍්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ‍්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග‍්‍රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී. මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත.
ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි
හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප‍්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප‍්‍රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප‍්‍රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප‍්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප‍්‍රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.
මෑත කාලයේ මෙම ප‍්‍රදේශය බොහෝ සෙයින් මානව ක‍්‍රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප‍්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත.


අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග
2012 ඔක්තෝබර් මස 21 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්

ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි.  දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ  සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.
2012 ඔක්තෝබර් මස 17 | අම්පාර වාර්තාකරු













අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය

අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයේ වූ දාගැබක කොටස් ඇතුළු නටබුන් ප‍්‍රදේශය පසුගිය දිනෙක මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් හදා තිබෙන ආකාරය සැබවින්ම කණගාටුදායක දසුනක් විය. අම්පාර නගරයේ සිට කිලෝමීටර් 26ක් ගිය තැන හමුවන අක්කරපත්තුව නගරයේ සිට දකුණු දෙසට වැටි ඇති සාගම පාරේ කිලෝ මීටර් තුන හතරක් යන විට මාර්ගයෙන් වම්පස කුඹුරුයායක් මැද ඓතිහාසික මොට්ටයාගල කන්ද හමුවෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් දෙකතුනක් උසැති මේ කඳුපාමුල මෙතෙක් කල් ස්වභාවික උපද්‍රවයන්ට පවා හසු වී, එහෙත් නොනැසී පැවති පුරා විද්‍යාත්මක නටබුන් මෙලෙස ඩෝසර් කර කුඹුරක් සෑදීම සැබවින්ම ප‍්‍රහේළිකාවකි.
කඳු පාමුල පිහිටි මේ පුරා විද්‍යා ස්ථානය ඈත අතීතය දක්වා දිවයන්නකි. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා මෙහි අතීතය දිව යන බව ඉතිහාසයේ කියැවෙයි. මෙම කඳු ගැටය අනුරාධපුර මුල් යුගයට අයත් ක‍්‍රි.පූ 1 සහ තුන යන සියවස් වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර වලින් සමන්විතය. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් විසින් රචිත Imscrittion of Ceylon Part - 01 හී ශිලා ලිපියේ මෙම ස්ථානය පිළිබඳව සටහන් වී ඇත.
කෙසේ නමුත් පසුගිය දිනෙක මෙම අපරාධය දැක බලා ගැනීමටත්, මහා සඟරුවන ගේ විරෝධතාව සහ සත්‍යග‍්‍රහය වාර්තා කිරීමටත් එහි ගිය අපට මෙම ස්ථානයේ ඇති බෞද්ධ ෙඓතිහාසික උරුමයේ වටිනාකම මැනවින් වැටහිණි. එක්තරා කාලයක ප‍්‍රභාකරන් සහ ඔහුගේ ත‍්‍රස්ත නඩය නිජබිම් සංකල්පයක් ගැන කීවේ බහුතර දෙමළ ජනතාවක් වෙසෙන කුඹුරු යායක් මැද පිහිටි මෙවන් බෞද්ධ උරුමයන්ද පෙනී පෙනී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ අති අමානුෂික එල්.ටී.ටී.ඊ පාලන සමයේදීවත් කඩා බිඳ විනාශ කර ගැනීමට නොහැකි වූ මෙම ස්ථානය වර්තමානයේ කඩා බිඳ ඩෝසර් කිරීම හද කම්පා කරවන්නකි. මේ දැවැන්ත මොට්ටයාගල කඳු මුදුනේ තවත් බෞද්ධ නටබුන් රැසක් විය. මෙහි කිසිදා නොසිඳෙන්නේ යැයි සැලකෙන දිය පොකුණකි. ගලින් කරන ලද පඩි පෙළකි. කඳු මුදුනේ චෛත්‍යයක් තිබූ බවට නටබුන්ය. කඳු මුදුනේ සිට අවට බැලූ විට පෙනෙන්නේ මනරම් දසුනකි. නැගෙනහිර මුහුදු තීරයත් ඒ අතරතුරින් පෙනෙන කුඹුරු යායත් කලාතුරකින් දක්නට ලැබෙන දර්ශනයකි.
රජසමයේ ඉතා සශ්‍රීකව මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් තෙදවත් වන්නට ඇතැයි සැලකෙන මේ භූමිය පිළිබඳව පුරා විද්‍යා නාම පුවරුවක්වත් අප යන විට එම ස්ථානයේ නොතිබිණි. මේ අතර මොට්ටයාගල කන්දේ එක් තැනක කෙටූ බුදුරුවකි. එතරම් පැහැදිලි නැති මේ බුදුරුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොතිබුණි.
මෙම ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු මුස්ලිම් පුද්ගලයකු වන අතර මෙම ඩෝසරයේ රියැදුරු දෙමළ ජාතිකයෙකි. මෙම මුස්ලිම් ඉඩම් හිමියා තම කුඹුරු පුළුල් කරනු වස් මෙය ඩෝසර් කර ඇත. මේ පිළිබඳව අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම්. එච්.සමන් මහතාට දැනගන්නට ලැබීමෙන් පසුව මාධ්‍යවේදීනට මේ බව දැනුම් දී ඇති අතර ඒ මඟින් අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ දැනුවත් කළේය.මේ අතර සමන් මහතා අක්කරපත්තුව පොලීසියත්, පුරාවිද්‍යා නිලධාරීනුත් වහාම දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව අක්කරපත්තුව පොලිසිය මගින් පුද්ගලයන් දෙදෙනා  උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000/- බැගින් දඩ නියම කර මුදා හැරියේය. මොට්ටයාගල කඳු මුදුනේ වූ චෛත්‍යයද නිධන් හොරුන් විසින් හාරා දමනුලැබ තිබුණු අතර කඳු පාමුල දාගැබේ නිධන්ද රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ. දාගැබේ ගඩොල්ද එතැන තිබූ ගල් කණුද ඩෝසරයට අසුවී කැඞී බීඳී විනාසවී ගොසිනි.
පසු ගියදා මෙම ස්ථානයට වැඩම කළ මහා සඟරුවන විරෝධතා ව්‍යාපාරයක සහ සත්‍යග‍්‍රහයක යෙදුනහ. අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් එම අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළේ මෙසේය. ‘‘අද මේ ප‍්‍රශ්නය පිළිබඳව සමහර නිලධාරීන් මුනිවත රකිනවා. අපි සාමාකාමී විරෝධතාවෙන් සත්‍යග‍්‍රහයෙන් පෙන්වා දෙන්නේ බෞද්ධ උරුමයන් රැුකගත යුතුයි කියලයි. උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ උරුමයන්ට අත්වෙලා තියෙන ඉරණම එතරම් හොඳ නෑ. අපි අන්‍ය ජාතීන්ට, අන්‍ය ආගම්වලට, අන්‍ය සිද්ධස්ථානවලට ගරු කරනවා. බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ. නමුත් සීගිරිය වැනි ස්ථානයක් නැගෙනහිර තිබුණානම් ඒකත් ඩෝසර් කරලා ඉවරයි. එහෙම නැත්නම් ඒක ගල්කෝරියක් බවට පත්වෙලා ඉවරයි.

ජනාධිපති තුමා තිස්වසරක යුද්ධය අවසන් කරලා මේ රටේ හැමෝටම නිදහස ලබා දුන්නා එසේ නම් පුරා විද්‍යා නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙවැනි ස්ථාන රැක ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. මේ විනාශ වූ දාගැබ අපේ ශිෂ්ටාචාරයේ වැදගත් සලකුණක්. අද ඒ සලකුණ නෑ. මේ ස්ථානය තවදුරටත් විනාශ වෙන්නට ඉඩ නොදී අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ මගින් අපේ උරුමය ඉරහඳ පවතින තුරා රැකගත යුතුයි.
මෙම අවස්ථාවේදී, ගල්මඩුකන්ද පුරාන රජ මහ විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥාන හිමියෝද අදහස් දැක්වුහ. වැඩම කළ සියලූම භික්ෂූන් වහන්සේලා පෝස්ටර් රැගෙන විරෝධතාවේ නියැළීමෙන් අනතුරුව සත්‍යග‍්‍රහයක්ද පැවැත්වූහ.

සටහන සහ සේයාරූ - දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල
2012 ඔක්තෝබර් මස 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 නොසිඳෙන පොකුණ



 විනාශ වූ ගල්කඳු හා නටබුන්
සත්‍යග‍්‍රහය

දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව

ලක්දිව පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැගී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුන් වහන්සේගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප්නංවමින් විචිත‍්‍රවත් වූ වර්ණ සහ රේඛා මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දර්ශනයෙන් චිත‍්‍ර ශිල්පීන් ලැබූ ආශ්වාදය සහ අභාසය හෙළ බොදු කලාව මගින් මනාව කැපී පෙනේ.
මෙවැනි දැහැමි පදනමක් මත ගොඩනැගුනු හෙළ දෘශ්‍ය කලා නිර්මාණ සුන්දරත්වයෙන් සහ සියුම් වූ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් ද යුක්ත වේ. විශේෂයෙන් පෞරාණික බෞද්ධ කලා නිර්මාණ වෙතින් දැක්වෙන්නේ ගැඹුරුවූත් උසස් වූත් රසාලිප්ත සෞන්දර්යාත්මක අගයන්ය. බොහෝ බොදු සිතුවම් කෙනකුගේ ඇතුළාන්තය කෙරෙහි දැඩි බලපෑමක් දක්වයි. නරඹන්නන් තුළ නිශ්චල, තියුණු සාරගර්භ හැඟුම් උපදවමින් හෘදයාභ්‍යන්තරයට වදියි. එමගින් උතුරායන කරුණා මෛත‍්‍රි ගුණය මෙන්ම මානසික සාමය ද උදාකිරීමට පොහොසත් වේ. පොදුවේ ගත්කල බොදු සිතුවම් කෙනෙකුගේ මනස සන්සුන් කරන්නා වූ බලපෑමක් ඇති කරයි. සිත් තුළ සියුම් වූ කලා රසවින්දනයක් සහ සතුටක් දැනවීමට ද බොදු සිතුවම් සමත් වේ. බොදු සිතුවම් බුදුන්ගේ ජීවිතය සහ ධර්මය පිළිබඳ විස්තර ප‍්‍රකාශ මෙන්ම කලා රසවින්දනය සහ බුද්ධාලම්භන ප‍්‍රීතිය දනවන මහඟු මාධ්‍යයකි.

හෙළ දෘශ්‍ය කලා ඉතිහාසය වසර 2200ක් ඉක්මවන කාලයක් පුරා විහිදේ. හෙළ බොදු සිතුවම් සැලකීමේ දී දැක්විය යුතු වැදගත් කරුණක් නම් ඉන්දියාවෙන් බැහැර ලොව ඇති පැරැණිතම බොදු සිතුවම් ඇත්තේ අප රටෙහි වීමයි. අප චිත‍්‍ර ශිල්පීන් ඉන්දියානු කලා නිර්මාණයන්ගෙන් ආශ්වාදය ලැබූව ද ඔවුන් ඉන්දියානු සම්ප‍්‍රදාය සහ සංකල්ප සම්පූර්ණයෙන් පිළිගත්තේ හෝ අනුගමනය කළේ නැත. තමන් සතු වූ ගැඹුරු බොදු ආධ්‍යාත්මික ගුණයන් සහ ගැඟීම් මගින් ලැබුවා වූ සංයමය ප‍්‍රයෝජනයට ගනිමින් තමනටම ආවේනික වූ සිතුවම් ප‍්‍රවේශ ක‍්‍රමය සහ සම්ප‍්‍රදාය දියුණු කරගත්හ. බාහිර ලෝකයෙන් ලැබූ ආභාසය තමන් තුළ පිහිටි බොදු සංයමයෙන් ඔපමට්ටම් කර ගනිමින් ඒ මගින් තමනටම සුවිශේෂ වූ විචිත‍්‍රවත් කලා නිර්මාණ බිහිකිරීමට අප සිත්තරන් පොහොසත් විය.
හෙළදිව උතුරේ, දකුණේ, නැගෙනහිර සහ බටහිර මෙන්ම මධ්‍යම කඳුකරයේ සහ වෙරළාසන්න ප‍්‍රදේශයන්හි විසිරී පැතිරී ඇත්තේ බොදු දෘශ්‍ය කලා නිමැයුම් සහිත ඓතිහාසික ස්ථාන රාශියකි. බොදු දෘශ්‍ය කලා වස්තූන් හෙළදිව සංස්කෘතික පරිසරය විචිත‍්‍රවත් කරන්නා වූ ලක්‍ෂණයි.
බොදු සිතුවම් වඩාත්ම දැකිය හැක්කේ රට පුරා ඇති විහාර සහ ආරාම ආශ‍්‍රිතවයි. මින් සමහරක් පැරැණි කල බිහි වූ ඒවාය. මේවා අතර අප පැරණි හෙළ රජ දරුවන්ගේ අනුග‍්‍රහයෙන් බිහි වූ රාජමහා විහාර සුවිශේෂි වේ. බොදු සිතුවමෙන් සැරසී ඇති විචිත‍්‍රවත් වූ පැරණි ස්ථාන රාශියක්ම ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර ඇතුළු පැරණි රාජධානි නගර ආශ‍්‍රිතවය. මේ නගරයන්හි ඇති උසස් කලා නිර්මාණ නිසාම මෙම ස්ථාන ‘‘ලෝක උරුමයන්’’ ලෙස යුනෙස්කෝ ආයතනය විසින් ලොවපුරා සැලකිල්ලට භාජනය කර තිබේ.
අප රට පැරණි බොදු සිතුවම් රාශියක්ම මෙකල දැකිය හැක්කේ ශේෂ වූ කොටස් වශයෙනි. පැරණි ගල් ලෙන් සහ ඓතිහාසික ස්ථානයන්හි මේවා දැකිය හැක. කොටස් වශයෙන් තිබුණ ද ඒ වෙතින් පවා එකල සිත්තරුන්ගේ කලා නිපුනත්වය සහ සෞන්දර්ය ඇගයීමේ හැකියාව මනා ලෙස දෘශ්‍යමාන වේ. 18 හා 19 ශත වර්ෂයන්හි දී මෙන්ම පසුකාලයේ දී බිහි වූ සිතුවම් රාශියක්ම ආරක්‍ෂා සහිතව පවතී. මේවා අතර සෞන්දර්ය රසය සහ ආධ්‍යාත්මික ගුණයෙන් පිරුණ නිර්මාණ රාශියකි.
බහුල වශයෙන් බොදු සිතුවම්හි තේමාව වී ඇත්තේ ගෞතම බුදුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා මෙන්ම ජාතක කතාය. ඒ හැර අප රට ශ්‍රේෂ්ඨ බෞද්ධ රජ දරුවන් සහ සිද්ධීන් සම්බන්ධ තේමා ද හෙළ බොදු සිතුවම්හි දැකිය හැක. ජාතක කතා තේමා වශයෙන් යොදාගත් සිතුවම් අතර වෙසතුරු ජාතකය විශේෂ අවධානයට ලක්වී තිබේ. බුදුරුව ඉතා විචිත‍්‍රවත් අයුරින් චිත‍්‍රගත කර තිබේ. එක් එක් ඉරියව් සහ හස්ත මුද්‍රා යොදා සංකේතාත්මකව බුදුරුව දක්වා ඇත. සීගිරි ලෙන් සිතුවම් පැහැදිලි තේමාවකින් තොර වූ ඒවා වුවත් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් යුක්ත වූ ඒවා ලෙස සැලකිය හැක. එක් එක් විද්වතුන් සීගිරි චිත‍්‍ර පිළිබඳව විවිධ මත සහ තේමා දක්වා තිබේ.
බොදු සිතුවම්හි පෙනෙන විවිධ සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණ සලකා අප රට සිතුවම් ඉතිහාසය කාල හතරකට බෙදා දැක්විය හැකිය.
1. අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානි අගනුවර ලෙස පැවති සම්මත වර්ෂ පූර්ව 3 වැනි සියවස සිට 13 වැනි සියවස දක්වා වූ සම්භාවනීය කාලය.
2. රාජධානී තැනින් තැනට සංක‍්‍රමණය වූ සියවස් 13 සිට 17 දක්වා කාලය.
3. මහනුවර රාජධානී සියවස් 18 සිට 19 කාලය.
4. නූතන කාලය වශයෙන් සලකන 20 වැනි ශතවර්ෂයෙන් ඇරඹෙන කාලය.
සමස්තයක් වශයෙන් ගත් කල හෙළ බොදු සිතුවමින් පෙනීයන්නේ මෙම නිර්මාණ එක් එක් කාලවල දී විවිධ වූ ප‍්‍රවේශ සහ ස්වරූප ගනිමින් විචිත‍්‍රවත් වූ මෙන්ම චමත්කාරජනක සම්ප‍්‍රදායන් බිහිකර ඇති ආකාරයයි. ඒ ඒ සිතුවම්හි රේඛා සැකසුම වර්ණ තේරීම සහ සම්බන්ධීකරණ ඇතුළු සිතුවම්හි යොදා ගනු ලැබූ සංකේත සහ මෝස්තර රටා වෙතින් හෙළ බොදු සිතුවම් පැහැදිලි අනන්‍යතාව දියුණු කරගෙන ඇත. සෞන්දර්ය ගුණයෙන් සපිරි ක‍්‍රමෝපාය උපයෝගී කරගෙන සිතුවමින් දක්වන තේමා මනස්කාන්ත අයුරින් විචිත‍්‍රවත් ලෙස පණගන්වා ඇති ආකාරය ප‍්‍රශංසනීයයි.
සම්භාවනීය කාලය වර්ෂ 1600 පමණ වන්නා වූ හෙළ සංස්කෘතිය සහ සභ්‍යත්වයෙහි උසස් වූ දියුණුවක් ඇතිවුණු අවදියයි. කලාත්මක බවින් ඉතා උසස් වූ සිතුවම් නිර්මාණ මේ කාලයේ දී බිහිවිණ. මිහින්තලේ සහ මහියංගනයේ පැරණි දාගැබ්හි ධාතු ගර්භයන්හි ඇඳි සිතුවම්, දිඹුලාගල, පුල්ලිගොඩ, හිඳගල, වෙස්සගිරිය, සිතුල්පව්ව, කරඹගල, තිවංක පිළිමගේ, කොටියාගලමායිල්ල, ලාහුගල, කොත්ගල්කන්ද, සාස්ත‍්‍රවෙල, කුඩිම්බිගල සහ කණ්ඩලම ගුහා පැරණි සිතුවම් කොටස් රැගත් ස්ථානවලින් කිහිපයකි.
සීගිරි සිතුවම් හැරුණු විට මේ කාලයේ දී බිහිවුණු සිතුවම් සියල්ලම බොදු තේමා සහිත බොදු හැඟීම් ජනිත කරන්නා වූ නිර්මාණ වෙයි. සෞන්දර්යාත්මක සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මෙකල සිතුවම් සම්ප‍්‍රදාය අප රට සංස්කෘතික අනන්‍යතාව මනාව පෙන්නුම් කරයි.
දැනට ආරක්‍ෂා වී ඇති සීගිරි සිතුවම් හැරුණු විට සම්භාවනීය කාලයේ බිහි වූ සිතුවම් රාශියෙන් දැනට ඉතිරිව ඇත්තේ සිතුවම්වල කොටස්ය. මෙකල පැවති දකුණු සහ නැගෙනහිර ඉන්දීය ද්‍රවිඩ පරසතුරු ආක‍්‍රමණ සහ උවදුරු නිසා අනර්ඝ සිතුවම් රැගත් ස්ථාන රාශියක්ම විනාශයට පත්විය. ඒ හැර කාලයාගේ ඇවෑමෙන් ද සමහර සිතුවම් විනාශ වී ඇත. පරසතුරු උවදුරු නිසා පැරණි රාජධානි අතහැර යෑමට සිදු වූ බැවින් කලාත්මක චිත‍්‍ර රැගත් රජමාලිගා විහාර සහ ආරණ්‍ය අතහැර දැමීමට ද සිදුවීම මෙකල බිහි වූ සිතුවම් විනාශ වී යෑමට හේතු විය.
රාජධානී සංක‍්‍රමණය වූ වසර 500ක් පමණ කාලය දේශපාලන වශයෙන් අස්ථාවර එකක් වූ බැවින් පොදුවේ කලා නිර්මාණ බිහිවීමට අවශ්‍ය වාතාවරණයක් නොතිබිණ. කලාකරුවන්ට අවශ්‍ය වූ රාජ්‍ය අනුග‍්‍රහය සහ භික්ෂූන්ගේ සහය සීමා වූ කාලයකි මෙය. එහෙත් මෙම අස්ථාවර කාලයේ දී පවා පෙතිකඩ සිතුවම් නැතහොත් රෙදි මත ඇඳි සිතුවම් සහ පුස්කොළ පොත් දැව කවර මත ඇඳි විචිත‍්‍රවත් වූ මෝස්තර සිතුවම් බිහිවිය. 13 සහ 17 සියවස්වල බිහිවූ මනස්කාන්ත මෝස්තර සිතුවම් රැගත් කම්බ සහිත පුස්කොළ පොත් රාශියක් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කර ඇත.
මෙම කාලයේ අවසාන කොටසේ දී පමණ අප රටට පැමිණි පෘතුගීසි සහ  ඕලන්ද ආක‍්‍රමණිකයන් විසින් ද සිතුවම් රැගත් විහාර ආරණ්‍ය රාශියකට විශාල වශයෙන් අලාභහානි සිදුවිය. 18 වැනි සියවසේ දී පැමිණි බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණිකයන් අතින් ද මේ සමාන විනාශ සිදුවීම නිසා පැරණි කල බිහි වූ විශිෂ්ට වූ බොදු සිතුවම් රැගත් විහාර රාශියක් විනාශයට පත්විය. මහනුවර රාජධානියක් බවට පත්වූයේ 17 සියවසේ ආරම්භයේ දී ය. මෙම ශතවර්ෂය පුරා පෘතුගීසි ආක‍්‍රමණ නිසා බෞද්ධ විහාර සහ බොදු කටයුතුවලට මහත් අවහිර සහ හානි සිදු විය. නමුත් 18 වැනි ශතවර්ෂය මුලදී පමණ වඩාත් ස්ථාවර වූ කාලයක් ගොඩනැගුනේ අප රට අවසාන සිංහල රජුන්වන ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභිෂේකයෙන් පසුය.
1747 දී නායක්කාර රජකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය උදාවිය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ආශ‍්‍රයෙන් මෙම රජු බෞද්ධාගම වැළඳගත් අතර මෙම හිමියන්ගේ අනුශාසනා පරිදි රට පුරා බෞද්ධ පුනරුත්ථාපනයක් සහ ප‍්‍රබෝධයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. විදෙස් ආක‍්‍රමණ නිසා විනාශ වී තිබුණු විහාර රාශියක් ප‍්‍රතිසංස්කරණය කර නව විහාර රාශියක් ද ඉදි කෙරිණි. සම්භාවනීය කාලයේ සිතුවම් සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණයන්ට බොහෝ සෙයින් වෙනස් වූ සම්ප‍්‍රදායක් මෙකල බිහිවිය. ශෛලිගත ලක්‍ෂණ දරන්නා වූ සංකේත භාවිතය බහුල වශයෙන් යොදා ඇති ස්වාධීන වූ සිතුවම් විශේෂයකි මෙකල බිහි වූයේ.
18 සහ 19 සියවස් හා සම්බන්ධ වූ මහනුවර රාජධානිය වශයෙන් පැවති කාලයේ දී විහාරාශ‍්‍රිත සිතුවම් කලාවේ සුවිශේෂි වූ දියුණුවක් ඇතිවිය. මෙම කාලයේ දී බිහි වූ කෘති පැරණි සම්භාවනීය ක‍්‍රමවේදයෙන් බැහැර වී ඇත. මුළුමනින්ම විලාසිතානුගත ශෛලිගත ආකෘතියකින් සමන්විත විය. මෙකල චිත‍්‍ර ප‍්‍රවීණ චිත‍්‍රශිල්පීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘පරිකල්පිත අනුභූතීන්’’ ලෙසටයි. අත්‍යන්තයෙන්ම ස්වාධීන වූ ද පෙර නොවූ විරූ වුව ද සංකල්පිත අපූර්ව මූල ලක්‍ෂණයන්ගෙන් අනූන වූ මෙම අලංකාර චිත‍්‍ර රුචිරූ සෞන්දර්යාත්මක ප‍්‍රවාහයක් ග‍්‍රහණයකොට ඇත. දිවයිනේ විවිධ පළාත්වල ඇති මෙම යුගයේ සිතුවම් විලාසිතානුගත විවිධත්ව රැසකට හිමිකම් කියයි. 19 වැනි සියවස මැදභාගයේ දී පමණ මහනුවර කාලයේ චිත‍්‍ර සම්ප‍්‍රදාය දකුණු සහ බටහිර ලංකා විහාරවලට පැතිරී ගිය ආකාරය පෙනේ. දකුණු හෙළ බිමෙහි විහාරයන්හි මෙකල බිහිවූ චිත‍්‍ර කැපී පෙනෙන සුවිශේෂී ආවේනික ලක්‍ෂණ පිළිඹිබු කෙරේ.
පොදුවේ ගත්කල මහනුවර කාලයට අයත් සිතුවම්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තේ ජාතක කතාය. මේවා තීරු මෙන් බිත්ති පුරා ඇඳීම විශේෂ ලක්‍ෂණයයි. තේමා කාලානුකූලව ඉදිරිපත් කර ඇති අතර චිත‍්‍ර යටින් සිංහලෙන් විස්තර තොරතුරු දැක්වීම ද මෙකල ලක්‍ෂණයකි. පොදුවේ ගත්කල මහනුවර සම්ප‍්‍රදායට අයත් චිත‍්‍ර පැහැදිලිවම ද්විමාන ලක්‍ෂණය ගැනීම විශේෂයෙන් සැලකිය යුත්තකි. ජාතක කතා අතර වඩාත් ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ වෙසතුරු ජාතකයයි.
ආචාර්ය  දයා හේවාපතිරණ
2012 ඔක්තෝබර් මස 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය




අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන

වාර්ෂිකව පොසොන් සමයේ මිහින්තලයට හා අනුරපුරයට රොක්වන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසගෙන් කීයෙන් කී දෙනකු මිහිඳු හිමියන් ආදාහනය කළ තැන ගැන විමසන්නේද. 13 සියවසේ දී රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු සියලූ පුරාණ ආරාමික ඉදිකිරීම් කෙතෙක් දුරට වන වැදී ගියේද මෙරට ඉංග‍්‍රීසි පාලන අවධිය වන විට අවම වශයෙන් මහා ස්තූප පැවැති අභයගිරිය හා ෙඡ්තවනයවත් හරිහැටි හඳුනාගත නොහැකිව අභයගිරිය ෙඡ්තවනය  ලෙසත් ඡේතවනය අභයගිරිය ලෙසත් ව්‍යවහාරයට පත්ව තිබුණි.
19 වැනි සියවසේ අග භාගයේ සිට ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා නටඹුන් ව පැවැති අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම ඇරඹුණ අතර 1860 න් පසු ඉංග‍්‍රීසි රජය විසින් මෙකී පුරාස්ථාන වාර්තා කිරීම සඳහා ඡායාරූප ගැනීමට ලෝටන්ද සැලසුම් ඇඳීමට ජේ ද ස්මිතර් ද කැනීම් හා සංරක්‍ෂණය සඳහා එච්.සී.පී. බෙඞ් ද පත්කරන ලදී. එකල්හි ජනවහරේ තිබූ පරිදි ස්මිතර් විසින් ඔහුගේ ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර ග‍්‍රන්ථයේත් බෙල් විසින් ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඇනුඇල් රිපෝර්ට් ග‍්‍රන්ථයේත් ථූපාරම ස්තූපයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් චෛත්‍යය සංඝමිත්තා සොහොන ලෙසත් හඳුන්වා දෙනලදී.
තව ද පසුගිය කාලයේ දී  ඡේතවන ව්‍යාපෘති බලධාරීන් විසින් ඡේතවන ස්තූප සලපතළ මළුව මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය ලෙස හඳුන්වාදී තිබුණි. එහෙත් මෙම ස්තූප සලපතළ මළුව සුපරීක්‍ෂාකාරී ලෙස මූලාශ‍්‍රය ලේඛන පිරික්සීමේ දී ඉහත කී හඳුනාගැනීම් සාවද්‍ය බව වැටහේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවන් වන මිහිඳු හිමියන් ආදාහනය කරන ලද නිවැරදි ස්ථානය සොයා ගැනීම මෙරට බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත් වන්නේය.
අර්හත් මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළිබඳව වඩාත් විස්තර හමුවන්නේ මහාවංශයේ ය. එහි ටීකාවේ හා අනිකුත් ග‍්‍රන්ථවල ඇති සඳහන්වල මහාවංශයට වඩා වෙනසක් නැත. පළමුව ඒ ථූපාරමය අසළ නොවන බවට ඇති සාධක විමසිය යුතුය. ථූපාරමය ඉදිකිරීම පිළිබඳව මහාවංශයේ හා ටීකාවේ සඳහන් විස්තරයේ එහි නිදන් කිරිම සඳහා සුමන සාමනේරයන් විසින් ගෙන එනලද සර්වඥ ධාතු සහිත කරඬුව පිට තබාගත් ඇතා ථූපාරාම ස්තූපය ඉදිකරන ස්ථානයට ගොස් ඇතුළේ උස ප‍්‍රමාණයට ස්තූපය බඳින තුරු ධාතු බිමට ගැනීමට ඉඩ නොදුන් බවත් ඇතා ස්තූපයට බටහිර දෙසින් බෝධිඝරය ඉදිවන ස්ථානයේ රැඳී සිටි බවත් දැක්වේ. මහාවංශය ඒ පිළිබඳව දක්වන්නේ හස්ති තෙම ථූපාරාම චෛත්‍යස්ථානයෙන් පිටුපස කරන ලද්දා වූ මහේජ වස්තු නම් දේවස්ථානයට ගොස් බෝධිස්ථානයේ නැවතී පෙරදිගට අභිමුඛව සිටි බවය.
මේ අනුව ථූපාරාමයේ බෝධිස්ථානය පිහිටා තිබී ඇත්තේ ථූපාරාම ස්තූපයට බටහිරිනි. සම සතරැුස්වූ ථූපාරාම භූමිය වටකොට පුරාණ ප‍්‍රාකාරයක් ඇති අතර ස්තූපයට බටහිරින් එම සීමාව තුළ ඇත්තේ නටඹුන්ව ගිය එක් ස්මාරකයක් පමණකි. ඊට අමතරව වෙනත් ස්මාරකයක් පිහිටීමට එහි ඉඩක් නැත.
මහාවංශයේ හා එහි ටීකාවේ දැක්වෙන පරිදි මහාමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් පසු හටගත් පළමු අටපල බෝධි අතුරින් එකක් සිටුවා ඇත්තේ ථූපාරාමයේය. ථූපාරාම භූමිය ඇතුළත වෙනත් බෝධිඝර දක්නට නැති නිසාත් මහාවංශයේ හා ටීකාවේ මෙම ස්ථානය බෝධිස්ථානය ලෙස නම් කර තිබීම අනුවත් මේ ස්මාරකය අස්ටඵල බෝධිය සිටවූ ස්ථානය ලෙස නිගමනය කළ හැකිය. ථූපාරම බෝධිඝරය අප විසින් කැනීම් හේතුවෙන්ද බෝධි පරීක්‍ෂිප්ත ව තිබූ වෘතාකාර ගඩොලූ බැම්ම ද ඒ වටා තැන්පත් කොට තිබූ සිරිපතුල් ගල්ද දැනට මතුපිට දක්නට ඇති මාලකයට යටින් වූ පැරණි බැම්මේම පනාබැම්ම වශයෙන් ගඩොලින් කළ මීටර් දෙකක් පමණ ගැඹුරැති බැම්මද හමුවිය. බෝධිය පිහිටි ස්ථානය හාරා ගැලවූ එහි බැම්මේ ගඩොළු කැබැලිවලින් වළ පුරවා තිබුණි. ලැබුණු සාධක සියල්ල අනුව ස්මිතර් දැක්වූ පරිදි මෙය මිහිඳු සොහොන නොවන බව තහවුරු විය.
මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළීබඳ මහාවංශයේ හා එහි ටීකාවේ සඳහන් වන්නේ දේහය මහා විහාරයට ගෙනවුත් එහි පැනඹ මළුවේ තබා තිබී ඉනික්බිති ව නැගෙනහිර දෙස තෙරුන්ගේ බද්ධමාලකයෙහි ආදාහනය කොට එහි චෛත්‍යයක් ද බඳවන ලද බවය. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයේ කළුරිය කළ ආර්යන්ගේ සිරුරු දවනු ලැබූ බවයි. එසේ නම් මිහිඳු හිමියන්ගේ සොහොන සෙවීමේ දී පුරාණ පැනඹ මළුව හා බද්ධමාලකය පිහිටි තැන් හඳුනා ගත යුතුය. තෙරුවන්ගේ බද්ධ මාලකයක් ගැන මහා වංශයේ හා එහි ටීකාවේ ද සඳහනක් ඇත. එනම් අරිට්ඨාදි භික්‍ෂුන් සඳහා උන් වහන්සේ විසින්ම තුම්බරු නම් වූ බද්ධ මාලකයක් බැඳ උපසම්පදා කිරීම සම්බන්ධවය.
ටීකාව එය දක්වන්නේ තමන් විසින් බඳනා ලද තුම්බරු නම් මාලකයෙහි පළමු වරට කර්ම වාක්‍යයෙන් උපසම්පදා කර්මය කළහ මිහිඳු හිමියන් මහමෙව්නාවේ (මහා විහාරයේ) වැඩ වාසය කළේ ශ්‍රී මහා බෝධිය අසළ රාජගෘහයේ බවද පසුව ඉදිකළ කාලපාසාදය එතැනට මඳක් උතුරින් වූ බවද වංශකථාවේ සඳහන් වේ. මහා විහාරය යනුවෙන් එකල අදහස් කර ඇත්තේ විශේෂයෙන් මිහිඳු හිමියන් වැඩ සිටි ආවාසය හා අවට ගොඩනැගිලිය.
ක‍්‍රි.ව. 411 දී පමණ ෆාහියන් හිමි මහා විහාරය පිළිබඳ ව විස්තර කිරීමේ දී තමා රහත් හිමි නමකගේ ආදාහන කටයුතු දුටු බවත් ආදාහනය කළේ විහාරයෙන් ලී 4-5 ක් නැනෙහිර දෙසින් බවත් දක්වයි. ෆාහියන් දේශාටන වාර්තාවේ විමල් බලගල්ල පරිවර්තනයේ එය වරදවා නගරයෙන් නැගෙනහිර යැයි සඳහන් කර ඇත. ලී 4-5 යනු කි.මීටර් එකක පමණ වේ. බොහෝ සෙයින් ෆාහියන් හිමි සඳහන් කරන්නේ මිහිඳු මිහියන් ආදාහනය කළ ආදාහන භූමිය වන විට මෙම ස්ථානය වෙනස් විය හැකි බැවිනි.
පැනඹමළුව යනු වංසකථා විස්තර අනුව මහාවිහාරයේ ලහබත්ගෙය පිහිටි ප‍්‍රදේශයයි. මිහිඳු හිමියන් මහා විහාරයේ පූජනීය ස්ථාන පිහිටන තැන් රජතුමාට දක්වමින් ලෝවාමහාපාය පිහිටන තැනට ගොස් අනතුරු ව ගියේ සලාකය ලබා දෙන ලහබත්ගෙය පිහිටන තැනටය. ලහබත් ගෙය ලෝවාමහාපායට ඉදිරියෙන් (බටහිර දෙසින්) පිහිටා ඇති නටඹුන් ගොඩනැගිල්ල බව මහා බෝධිවංශ ගැටපදයේ මහාවිහාරයේ පූජනීය ස්ථාන විස්තර කෙරෙන සිංහ වික‍්‍රාන්ති සැලැස්මේ පෙන්වා දෙයි. ඒ ශ්‍රී මහා බෝධියට උතුරු දෙස (රුවන්වැලි සෑය දෙසට) ඊට ආසන්නම තැනයි. දීපවංශය ද පැහැදිලිව පවසන්නේ තිස්සමහාරාමයෙන් (මහාවිහාරයෙන්) නැගෙනහිර දෙස තෙරුන් වහන්සේ ආදාහනය කළ වගයි.
තෙරුන්ගේ බද්ධමාලක යනු භික්‍ෂූන් වහන්සේලා පොහොය කිරීමට පෙර ඇවත් දෙසීම සඳහා යොදාගත් ස්ථානය විය යුතුය. දෙපෝයකට වරක් භික්‍ෂූන් වහන්සේලා එක් වී උපෝසථඝරයෙහි දී පාතිමොක්ඛය කියවන අතර විනයට අනුව ඒ සඳහා උපෝසථඝරයට ඇතුළු වීමට පෙර තමා අතින් වරදක් සිදු වී ඇත් නම් එය ප‍්‍රකාශ කොට පිරිසිදු වී ඇතුළු විය යුතුය. එහෙයින් මහාවිහාරයේ පොහොය ගෙය වූ ලෝවාමහාපාය අසළ බද්ධමාලකයක් තිබීම බොහෝ සෙයින් සිදුවිය හැකිය. මාලක යන්නට අර්ථ සපයන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් එය යම් කිසි පූජනීය කටයුත්තක් කරගෙන ගිය මළුවක් හෝ අවකාශයක් බව දක්වා තිබේ.
මේ අතර ෙඡ්තවන විහාර ව්‍යාපෘතියේ නිලධාරීන් විසින් ෙඡ්තවන ස්තූප සලපතළ මළුවේ කැනීම් කිරීමේ දී මීටර් එකක් පමණ ගැඹුරින් ගඩොලූ ප‍්‍රාකාරයක් හා අඟුරු හමුවූ බවත් එ නිසා එය මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය බවත් දක්වා ඇතත් එය පිළිගැනීමට අපහසු හා නිශ්චිත සාක්‍ෂ්‍ය මත නො පිහිටා කරන ලද ඉක්මන් ප‍්‍රකාශයක් බව පෙනේ. ඔවුන් තෙරුන් ආදාහනය කළේ නගරයට නැගෙනහිරින් යැයි සළකා ඇතත් වංශකථා අනුව එය සිදුවී ඇත්තේ නගරයට නොව මහා විහාරයට නැගෙනහිරින්ය.
පිහිටීම අනුව බලන කල ෙඡ්තවන ස්තූපය පිහිටා ඇත්තේ මහිවාහාර මූලස්ථානයට නැගෙනහිරින් නොවේ. ෆාහියන් හිමි රහතන් වහන්සේලා ආදාහනය කළ මළුව යනුයෙන් දක්වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබී ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහයන කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබි ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහනය කළ භූමි වසා දමා සලපතළ මළුවක් සැදුවේ නම් නිහඬව සිටියේ යැයි කිසිසේත් සැලකිය නොහැක්කේ මිහිඳු හිමි ආදාහයන කළ තැන උත්තිය රජු විසින් චෛත්‍යයක් ද ඉදිකොට තිබූ බව සඳහන් වීමෙන් එතැන අති පූජනීය තැනක් සේ සැලකී ඇති බැවිනි.
රජතුමා එසේ කළේ නම් එතුමා ගැන දොස් පවරා ලියා ඇති මහාවංස විස්තරයේ නිසැකවම එය සඳහන් කරනු ඇත. මහාවංශයෙන් දැක්වෙන්නේ එතුමාගේ ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳ සැබෑ මුහුණුවර නොවේ. වංසත්ථප්පකාසිනියේ සඳහන් පරිදි මහසෙන් රජතුමා දිවයින පුරා තිබූ මිසදිටු ආරාම බිඳ දමා ශිවලිංග විනාශ කළා පමණක් නොව ත‍්‍රීකුණාමලයේ (ගෝකණ්ණ) එවැනි දේවාල තුනක් බිඳ දමා ගෝකණ්ණ ආදි විහාර තුනක් ඉදිකළ බවද සඳහන්ය. (මේ අනුව පූජනීයත්වයට පත්ව තිබූ මිහිඳු සෑය පිහිටි ස්ථානය යටකොට ගිහියනගේ පයට පෑගෙන පරිදි සලපතල මළුවක් ඉදිකරන ලද්දේ යැයි සිතිය නොහැකිය.
මහා විහාර භූමියේ මධ්‍යස්ථානය වූයේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයයි. ඒ ශ්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ බටහිරින් පිහිටි රාජගෘහයයි. මේ අනුව විහාරයෙන් නැගෙනහිර යනු බොහෝ සෙයින් පැනඹමළුව තිබූ තැනින් නැතහොත් ශ්‍රී මහා බෝධිය පිහිටි තැනින් නැගෙනහිර විය යුතුය. ලෝවාමහාපායෙන් නැගෙනහිර කෙළින්ම යොමු වන්නේ මල්වතු ඔය බටහිර සීමාවටය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කර ඇත්තේ ලොවාමහාපායට පිටුපස එනම් නැගෙනහිර ස්ථානයක බවය.

අභයගිරි විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග
2012 ඔක්තෝබර් මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ථූපාරාම මහා සෑය
ලෝවාමහාපාය