උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

පුරාණ හත්ථිකුච්චි විහාරය

රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත.
කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.
ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.
දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.
දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.
''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.
ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි.
මෙම සියළු කරුණු සළකා බැලූ විට සිරිසගබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි විහාරය හෙවත් අතීත රාජාංගනය බව පැහැදිලි යැයි පුරාවිද්‍යාඥ මතයකි.
2011 ජූලි මස 27 ලංකාදීප | සජිව විජේවීර
 බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිස`ගබෝ රජුගේ යැයි කියති
 බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිසගබෝ රජුගේ යැයි කියති
 ලෙන් විහාරයෙහි ඇතුලත පිහිටා ඇති මහනුවර යුගයේ සැතපෙන පිළිමය තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
 තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
 උපෝස්ථාගරය
 හිරු සඳු නොදුටු පොකුණ මෙයට කිසිදා හිරුගේ හෝ සඳුගේ ඡායාව වැටෙන්නේ නැත.
 සිරිස`ගබෝ රජතුමා හිස දන්දුන් බව කියන ස්ථානයයට රජු සිහිවීම පිණිස තැනූ දාගැබ පෙනෙන අයුරු
 හිස දන්දුන් ස්ථානය
 පිළිමගෙයක නටඹුන්
 තවත් ගොඩනැගිල්ලක නටඹුන්
 සිරිසගබෝ රජතුමා සිහිවීම පිණිස ඉදිකළ වටදාගෙයක් සහිත දාගැබ
මෙම බෝධිඝරය පිහිටි ස්ථානයේ සිරිසගබෝ රජතුමාගේ දේහය මිහිදන් කැර ඇතැයි කියති. පසෙකින් චෛත්‍යය පිහිටා ඇත.

දෙමටමල් වෙහෙර

ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත.
බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම විහාරස්ථානය ලෙස සැළැකෙන මෙම විහාරස්ථානය කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජු විසින් කරවන ලද ගමිට්ඨවාලී විහාරයැයිද පුරාවිද්‍යාඥයෝ පවසති.
එහෙත් කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ දෙටු සොහොයුරු මහානාග යුවරජු රුහුණට පැමිණ මෙම විහාරය කරවන ලද බවත් දෙටුමල් වෙහෙර පසු කලෙක දෙමටමල් වෙහෙර වූ බවටත් මතයක් ඇත. එමෙන්ම දුටු ගැමුණු කුමරුන් තම මළනුවන් දුටු ස්ථානය වූයෙන් දුටු මල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාය යන්නද එක් මතයකි.
ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් වන මෙම විහාර සංකීර්ණය දාගැබ, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාගාරය හා සම්මන්ත‍්‍රණ ශාලාව යන පංචාවාසයන්ගෙන් සමන්විතව ගොඩනගා තිබී ඇත. කළක් වනගහණයෙන් වැසී තිබූ විහාරය 1974 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත.
2011 ජූලි මස 20 ලංකාදීප | සජිව විජේවීර
 දෙමටමල් විහාරය
 දෙමටමල් විහාරයේ පැරණි චෛත්‍යය
 විහාරයේ බුදුමැදුර ඉදිරියේ ඇති පැරණි සඳකඩ පහණ සහ මුරගල්
 පැරණි බෝධිඝරයක්
 නටඹුන් වූ පැරණි ගොඩනැගිලි
 ඉතා දුර්ලභ මුරගලක්. මෙහි කාන්තා රූපයක්ද ඇත.
විශාල ප‍්‍රමාණයේ බෝසත් රුවක බිදී ගිය හිස කොටස

දඹුල්ල

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633)  සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය.
මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.
එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
2011 ජූලි මස 20 ලංකාදීප | සජිව විජේවීර
 නව විහාර මන්දිරය හා විශාල බුදු පිළිමය
 සෙල්ලිපියක්

 බුදු පිළිමයක්
 බිතු සිතුවම් කිහිපයක්
 සිතුවමට නගා ඇති බුද්ධ රූපයක්
 එළාර දුටුගැමුණු සටන දැක්වෙන සිතුවමේ කොටසක්
  හිඳි පිළිම සමූහයකින් කොටසක්  
 හිඳි පිළිම 
 හිඳි පිළිම 
 කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිලිරුව
 මහනුවර යුගයේ තොරණක් සහිත හිඳි පිළිමයක්
 බිතු සිතුවම් විනාශ වෙමින් ඇති ආකාරය
 ලෙන මධ්‍යයේ පිහිටි කුඩා දාගැබ
 අතීතයේ දඹුලූ විහාරය දිස්වූ ආකාරය
 පැරණි ඡායාරූපයක්
 දඹුලූ විහාරය නවීන සංරක්ෂණ කටයුතු වලට පෙර
 පළමු ගුහාවේ ඇති සැතපෙන පිළිමය
 හිටි පිළිම සමූහය අතරින් කොටසක්.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිරුව

මහනුවර

ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.
ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.
එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත.
තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.
සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ,
සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.
මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.
අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.
මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.
දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි
මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ දූපතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑදූ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ.
යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.
උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත.
පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.
දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි.
සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.
2011 ජූලි මස 20 ලංකාදීප | සජිව විජේවීර

 දළදා කරඩුව
දළදා මාළිගයේ නව බුදු මැදුර
වැඩසිටින මළිගයේ රිදී දොරටුව
 දළදා මාළිගය සහ පත්තිරිප්පුව
 රාතී‍්‍ර කාලයේ දළදා මන්දිරිය දිස්වන ආකාරය
වැව හා මාළිගය



 රජ මාළිගාව දෙස සිට බැලූවිට දළදා මන්දිරිය දිස්වන ආකාරය
 මහනුවර උළුපැන් ගේ 
 මගුල් මඩුව 
 මහනුවර රජ මාළිගය

රජ මාළිගයේ ප‍්‍රධාන දොරටුව 
 මගුල් මඩුවේ කැටයම්
 රජ මාළිගාවේ සිවු මැදුරු කව්ළුව

පැරණි ඡායාරූප