උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය


රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට පොළොන්නරුව දක්වා වැටී තිබූ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාවෙන් අනාවරණය වන ශිලා ලේඛන අතර සුවිශේෂී ශිලා ලිපි වර්ගයක් ලෙස නිශ්ශංකමල්ල ගව්ලිපි, ටැම්ලිපි ගණයට අයත් ගාවුත ලිපි ලෙස හැඳින්වීමට හැක.

විශේෂයෙන්ම රුහුණු වැසියන්ගෙන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ බාධාවන්  මෙන්ම එවක රාජ්‍ය තත්ත්වයන් පිළිබඳවත් රුහුණේ මානාවුළුපුරයේ සිට පොලොන්නරුව  දක්වා වැටී තිබූ මාර්ගය පිළිබඳව නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමටත් නිශ්ශංකමල්ල ගව්ලිපි මගින් ලැබෙනා සේවය ඉතා වටිනේය.

මෙම ගව්ලිපි ක‍්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ අක්ෂර සහිතව ශිලාස්ම්භය අවසානයේ ”නිශ්ශංක ගවුවයි”  යනුවෙන්ම කොටවා තිබීම මෙම ශිලා ලේඛන නිශ්ශංකමල්ල රජුගේම බව පැහැදිලිවම හඳුනාගත හැක.ගව්වක් යනු යොදුනෙන් හතරෙන් පංගුවකි. ගව්වෙන් ගව්ව නිශ්ශංකමල්ලයන් විසින් පිහිටවූ මෙම ලිපි මුළු මහත් රෝහණයෙන්ම. විශාල ලෙස සොයා ගැනීමට පසුකාලීනව හැකියාව ලැබුණි.
මෙම ගව්ලිපි විශේෂය පිළිබඳව ප‍්‍රථමවරට අවධානය යොමුකළ ආචාර්ය එඞ්වඞ් මුලර් නම් අබිලේඛනඥයා (Ancient Ceylon 2005p-125) ප‍්‍රථමයෙන්ම ගව්ලිපි දෙකක් පිළිබඳව ඔහුගේ අවධානය යොමුකළේය. ඒවා නම් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැලිගත්ත නම් ස්ථානයෙන් සොයාගත් ගව් ලිපියත්, ඌව පළාතේ බුත්තලට නුදුරු කටුගහගල්ගේ නම් ස්ථානයෙන් සොයාගත් ගව්ලිපිය පිළිබඳව ඔහුගේ Ancient Inscriptions of Ceylon   නම් කෘතියෙන් කරුණු දක්වා ඇත.
තවද නිශ්ශංකමල්ල ගව්ලිපි පිළිබඳව කරුණු සොයා බැලූ දෙවැන්නා වනුයේ පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන ශූරීන්ය. ඔහු කටුගහගල්ගේ සහ යුදගනාව ස්ථානවලින් සොයාගත් ගව්ලිපිවල කරුණු අධ්‍යනය කර කටුගහගල්ගේ ගව්ලිපියේ සංස්කරණයක්, 1933 වර්ෂයේදී ප‍්‍රකාශයට පත්කළ "Epigraphia Zeylanica” අබිලේඛන සංහිතාවේ තෙවැනි වෙළුමේ දක්වා ඇත.

මෙලෙස සුවිශේෂී වූ ගව්ලිපි  මොනරාගල දිස්ත‍්‍රික්කයේ, තිඹිරිගස්ආර, අතලේ, බකිනිගහවෙල වීදිය, තිඹිරිය විහාරය, පොතුබද්දන විහාරය සහ ඉලූක්කාපුදෙන නම් ස්ථාන හයකින් ද මෙම ගව්ලිපි අනාවරණය කරගෙන ඇත.

 නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනය ගැන කියවෙනා ඉතාමත් සුවිශේෂී වූ ගව්ලිපියක් සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරයෙන් ද හමුවේ. මෙම ගව් ලිපියේ පැති තුනක අක්ෂර කොටවා ඇති අතර අක්ෂර කෙටීමේ පහසුවතකා ඉරිරූල් ගසා  ගල්ටැඹ මටසිලිටු කර නිමවා ඇත.

මෙම ගව් ලිපියේ සාමාන්‍යයෙන් අක්ෂරයක ප‍්‍රමාණය අඟල් දෙකේ සිට දෙකහමාර දක්වා විහිදේ. ගව්ලිපියේ විස්තරය මෙසේය.  

 

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය
ගව් ලිපියේ පළමු පැත්ත
1. ශ්‍රීං රුණුරජ
2. යෙහි ඇත්ත
3. වුන් කෙරෙහි
4. කරුණායෙන්
5. කියම්හ ධන
6. ධාන්‍යා දැසිදා
7. සයන් ඇති
8. වැ ජීවත්ව
9. න්නා කැමත්
10. තම්භ මයාර
11. ජයෙහි පිටි
12. රජයෙහි ඇ
13. ත්තවුන් අ
14. තින්නින්ද්‍රපරි
15. භවනොඅසා
16. ලොභිවැඅනු
17. න් ගැත්තට
18. අශා නොකො
19. ටැ බත් කෑ බු
20. ලත් කෑ මත
21. ට උධත නො
22. වැරුණෙනි
23. වවාචොයැ
24. සුවාමි ප
25. ක්‍ෂපාත
26. ගැත්තො යැ
27. යි කියවා
28. මනුෂ්‍ය ආ
29. ත්ම ලැබීම


* ගව් ලිපියේ දෙවැනි පැත්ත
1. දුලීලභයැ දු
2. කින් ලත් ආ
3. මයා අනායෙහි
4. නසන භ ධම්ම
5. නොවෙයි සුව
6. යෙන් ජීවත්
7. වන්නා කැමැත්
8. තම්භයි මෙ
9. අවවාද කි
10. යා පඬි රට දෙ
11. වරැුකැගොස්
12. තුලාභාර නැ
13. ගි පාඬි රජ්ජු
14. රුවන්ගෙන්බි
15. සොවරුන් ඇ
16. තුන් අසුන්
17. ආදි වූ අය
18. ගෙනැ සොලී

විහාරාධිපති දෙනගම ධම්මරතන හිමි 

19. රටින් පඬුරු
20. ගෙනැලක්දි
21. වට අවුත්
22. තුන් රජය
* ගව් ලිපියේ තෙවැනි පැත්ත
1. වට කොටස
2. මනොළ ආදි
3. වූ දුර්ග බලා
4. වදාළ කළිග
5. චක‍්‍රවර්තීන්
6. වහන්සෙ තර
7. ම් කළ නිශ්ශං
8. ක ගවුවයි

* අදහස: යහපතක්ම වේවා. රුහුණු රාජ්‍යයෙහි ජීවත් වන්නා වූ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් කියමි. ධන ධාන්‍ය සහ දැසි දස්සන් සහිතව සියලූ සම්පතින් ආඪ්‍යව ජීවත්වීම ඉතා යහපත් වෙයි. මායා රටෙහි සහ පිහිටි රටෙහි ජීවත් වන්නා වූ අයගෙන් නින්දාවට පරිභවට ලක්වීම උචිත නොවෙයි. ලෝභීව අනුන්ගේ දේවල්වලට ආශා කිරීමද රුහුණු වැසියන්ට නොගැලපෙයි.
බත්කෑ බුලත් කෑ පමණින් උද්දච්ච නොවී රුහැණන් ස්වාමි පක්ෂපාති ගැත්තන් විය යුතුය. මනුෂ්‍ය ආත්මය ලැබීම දුර්ලභ වෙයි. දුකින් ලද ආත්මය අර්ථයක් නොමැතිව ජීවත්වීම යහපත් නොවෙයි යනුවෙන් මේ අවවාද ලබා දී පාණ්ඪ්‍ය රාජ්‍යයට දෙවරක් ගොස් තුලාභාර දී පාණ්ඪ්‍ය රජුගෙන් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදී වූ තමාට අයවිය යුතු ලැබීම් ලබා සොලී රටින් ත්‍යාග ලබාගෙන ලංකාවට පැමිණ තුන් සිංහලයම (රුහුණු, පිහිටි, මායා) පැදකුණුකොට සමනොළකන්ද ආදී වූ දුර්ග  බලා පැමිණි කාලිංග චක‍්‍රවර්තී ස්වාමීන් වහන්සේ පිහිටවූ නිශ්ශංක ගව්වයි.

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ දැනට ඉතාමත් සුරක්ෂිතව ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය පිළිබඳ අදහස් ප‍්‍රකාශ කරනා වතුරුවා රාජමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම ධම්මරතන ස්වාමීන් වහන්සේ,

12 වැනි සියවසේ රාජ්‍ය පාලනය කළ නිශ්ශංකමල්ල රජුගේ කාල සීමාව තුළදී එතුමන් විසින් ගව්වෙන්  ගව්වට පිහිටවූ ගව් ලිපි අතරින් ඉතා වැදගත් ගව් ලිපියක් අද වනවිට සෑම දෙනාටම දැක ගැනීමට හැකි ලෙස වතුරුවා රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබීම විශේෂත්වයක් වෙනවා. මේවායින් එකල සමාජයීය පැතිකඩක් මැනවින් විග‍්‍රහ කෙරෙන අතර රාජ්‍ය පාලනය පිළිබඳව ද වටිනා අදහස් ලබා ගැනීමට ද උපකාරී වේ. ලංකා ඉතිහාසයේ නිශ්ශංකමල්ල ගව් ලිපි පිළිබඳ ගවේෂණයකදී සෙල්ලකතරගම ගව් ලිපියෙන් ද විශේෂ කරුණු සොයා ගැනීමට හැකියාව ලැබීම අප ලද මාහැඟි දායාදයක් වේ.

 ඡායාරූප සහ සටහන - කතරගම විශේෂ රුක්මන් රත්නායක
2013 මාර්තු මස 10  | ලංකාදීප කර්තෘ මණ්ඩලය