උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

බොදු දෑසට වසන් වූ දිවුල්වැවේ සමාධි පිළිම වහන්සේ



"සමාධි පිළිමය කියූ සැණින් ඕනෑම බෞද්ධයකුගේ සිහියට එන්නේ අනුරාධපුර මහමෙව්නා උයනේ සමාධි පිළිමය පිළිබඳවය. අනුරාධපුර සමාධි පිළිමයට සමානව පංචාවාස සහිතව නිසංසල රමණීය හුදකලා වූ පුදබිමක සමාධි පිළිමයක්‌ තිබෙන බව දන්නේ බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනාද?"

පළමුවන ඡේට්‌ඨතිස්‌ස මහරජතුමන් ක්‍රි.ව. 263-273 දී අනුරාධපුර ථූපාරාමයේ සිට ගෙනෙන ලද සෙල්මුවා බුදුපිළිමය එතුමා විසින් කරවන ලද පාචීන තිස්‌ස පබ්බත විහාරයේ මිහින්තලා මාර්ගයේ තැන්පත් කරවන ලද බව මහාවංශයේ සඳහන් වේ. එය නැවත එතුමාගෙ මරණයෙන් පසුව රජ පැමිණි මහසෙන් රජතුමා විසින් පාචීන තිස්‌ස පබ්බතයෙන් ගෙනැවිත් අභයගිරියේ පිහිටුවූයේ යෑයි මහා වංශයේ පවසන ලද පිළිමයක්‌ පිළිබඳව සිංහල බෞද්ධයන්ගේ මහත් විශ්වාසයක්‌ පවතී. මහ ගල් පිළිමය නොහොත් "උරුසිලාපට්‌ටා" නමින් මහා වංශයේ හඳුන්වනු ලබන එම පිළිමය දැනට අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයට අයත් බෝධිඝරයකට අයත්ව පිහිටි බැවින් එය ඉහත සඳහන් වන සමාධි පිළිමය විය හැකි බව ඓතිහාසික තොරතුරුවලට ද අනුව පිළිගෙන තිබේ.

ඉහත කාලයේදී මහමෙව්නා උයනේ සමාධි පිළිමය නමින් වර්තමානයේදී අභයගිරි විහාර සංකීර්ණයට අයත් බව තහවුරු කරගෙන ඇත.

සමාධි පිළිමය සොයාගන්නා ලද්දේ 1886 වසරේදීය. එවිට කැලෑවෙන් වැසී තිබුණ එම ප්‍රදේශයේ පිළිමය බිම පතිත වී තිබී ඇත. සුළු වශයෙන් කැඩී බිඳී තිබුණද බුදු පිළිමයට කලාත්මක වශයෙන් හානි සිදුවී නොමැති අතර සමාධි පිළිමයේ නාසය කැඩී ඇති ස්‌ථානය මාපලගම විපුලසාර හිමි විසින් බදාමයෙන් සකස්‌ කර ඇත.

සමාධි පිළිමය උසින් අඩි 07, අඟල් 09 කි. ධ්‍යාන මුද්‍රdවෙන් සහ වීරාසන ආසන ඉරියව්වෙන් යුතුව නෙළන ලද මෙම සෙල් පිළිමය බුදුරජාණන් වහන්සේගේ මහ කරුණාව හා සමාධි භාවනා ගුණය මතු කිරීමට එහි නිර්මාණ ශිල්පියා ගෙන ඇති උත්සාහය මනාව පිළිබිඹු වෙයි.

බෞද්ධ සංකල්පයත්, මහින්දාගමනයත් සමඟ අනුරාධපුර හා මිහින්තලාවේ බොහෝ ගෘහ නිර්මාණ අංග බිහි වී ඇත. 

මහාවංශයේ කියවෙන පරිදි අනුරාධපුර මිහින්තලා මාර්ගයේ දැනට කහටගස්‌දිගිලිය, කැකිරාව හන්දියෙන් හැරී ගලෙන්බිඳුණුවැව මාර්ගයේ යන විට දිවුල්වැව ඓතිහාසික පුදබිමේ සමාධි පිළිමය පිළිබඳව විමසිය යුතුව තිබේ.

දිවුල්වැව සමාධි බුද්ධ ප්‍රතිමාව ද මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවට සමානය. දිවුල්වැව බුද්ධ ප්‍රතිමාවේ නහය කැඩී ඇත. අන් සියලුම පිළිම ඉරියව් සමානය. මෙම ඓතිහාසික දිවුල්වැව පුදබිමේ පොහොය ගෙය, දාන ශාලාව, ධාතු මන්දිරය, ධර්මශාලාව, පිළිමගෙය, සක්‌මන්මළුව, ගල්තලාවේ පොකුණ, ගල් සොහොන්, බෝධි ඝරය, චෛත්‍යය, වැසිකිළි, කැසිකිළි ආදී විවිධ නටබුන් දක්‌නට තිබේ. මෙම ස්‌ථානය කලක්‌ වල් බිහි වී කැලෑවට යටවී තිබුණ අවදියේ හොරොව්පතාන හිටපු මන්ත්‍රී ඊ. එල්. බී. හුරුල්ලේ මහතා මැදිහත් වී යම් ප්‍රමාණයකට සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතුවලට පිළිසකර කර තිබේ.

ඉන්දියාවෙන් පැමිණි සොයුරු ගල්වඩු දෙපළක්‌ විසින් මෙම දිවුල්වැව පුදබිමේදී සමාධි පිළිම දෙක නෙලූ බවත් පසුව එක්‌ සමාධි පිළිමයක්‌ අනුරාධපුරයට වැඩම කළ බව ජනප්‍රවාදයේ එයි.

මෙවන් වූ දිවුල්වැවේ සමාධි පිළිමය සහිත පූජනීය ස්‌ථානය පිළිබඳව බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධියක්‌ නොමැත. 

එම පුදබිමේ මහ රහතන් වහන්සේලා වැඩ විසූ බවක්‌ යුග දෙකකට අයත් මෙම ස්‌ථානය දෙවන පෑතිස්‌ රජතුමා සහ වසභ රජතුමන් විසින් වැඩි දියුණු කර ඇති බව දිවුල්වැව විහාරස්‌ථානයේ වැඩ වසන කුරුණෑගල තපස්‌ස හිමියන් සඳහන් කරයි. මෙම ඓතිහාසික පුදබිම පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් කර වන්දනාමාන කටයුතුවලට පහසුකම් සලසාදීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වගකීමක්‌ හා යුතුකමකි.

කැකිරාව - සුදත් ඒකනායක
2013 දෙසැම්බර් 01 ඉරිදා දිවයින