උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ගලමැටියාව වැව පහළින් කිරිගරුඬ බුදු පිළිමයක්

අප මේ සිටින්නේ ගල්මැටියාවේ වැව් බැම්ම මතය. අක්කර අඩි හත් දහස් හත්සියයක ජල ධාරිතාවක් රඳවා ගත් මේ සුන්දර වැව් කොමලිය වියළි කලාපයේදී මා දුටු සුන්දරම වැව යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම හිත පැහැර ගන්නා අන්දමේ අපූර්වත්වයක් මේ ගල්මැටියාවේ වැව සතුය.
වාන් දොරටුව තිබෙන තැනට වැව මැදින් ගියවිට හිතට දැනෙන්නේ අපූරු මිහිරියාවකි.
‘‘මෙතැන අඩි හතළිස් පහක් ගැඹුරුයි’’
මංජුල කුමාර නමැති තරුණයා පවසන්නේය.
අඩි හතළිස් පහක් යනු එසේ මෙසේ ගැඹුරක් නොවේ. ඉකුත් වූ වස්සානයේ දී රැුයක් දවාලක් නැතිව ඇදහැලූණු මහා වර්ෂාවෙන් එක් රැස් වූ වතුර කඳ සුළු පටු නොවන බව ඉන් පැවසේ.
”මේ වැවේ එකතුවෙන්නේ තනිකරම වැහි වතුර.”
මංජුල කියන්නේ අපේ හිතේ උපන් විමතිය තවත් වැඩි කරමිනි. වේලාව සවස හතරට පමණය. හිරු බටහිර අහසේ සිතිජයට කිට්ටු කරමින් සිටින්නේ හොර ගල් අහුලමිනි.
ගලාඑන්නේ සෞම්‍ය රශ්මියකි. ඒ රැස් වැවට වැටී පරාවර්තනය වෙයි. හිරු රැස සෞම්‍ය වුවද නෙත ගැටෙන ඒ පරාවර්තිත හිරුරැුස නෙතට අමාරුය.
මම ඈත බලමි. ඈතින් පෙනෙන්නේ කන්දකි. ඒක තමා විහාර කන්ද කියන්නේ. ඔය කන්දෙ හැංගිලා නටබුන් තියෙනවා. ගල්කණු ගොඩනැගිලි වල පාදම්වගේ ඒවා.
”වැවේ වතුර අඩුකාලෙට අපේ ගමේ කට්ටිය ඔය විහාරකන්දට යනවා. හැබැයි ඉතින් වල් අලින්ගේ විමානෙ.’’
මංජුල කියන්නේ අපි විහාර කන්දටත් යමුදැයි මා අසතැයි බියෙන් මෙනි.
‘‘මේ හරියෙත් අලි ඉන්නවද ඒ කියන්නෙ..?’’
”ඉන්නවා ඉන්නවා.. මෙලහටත් වැව් පිටියට අලි බැහැල ඇති. අලි තිහක හතළිහක රංචුවක් නිතරම වගේ වැව් පිටියට බහිනවා.”
එහෙත් වැව් පිටිය තිබෙන්නේ අපේ නෙත් වලට හමුනොවන තරම් දුරකය. ඉදිරියෙන් පෙනෙන විහාර කන්දට ඉදිරියේ ඇති අනෙක් කන්දෙනුත් එහා පැත්තේය. ඒ ඉසව්වට යා යුත්තේ වෙනත් මගකිනි. අපි මේ ගල්මැටියාව වැවට ආවේ වැවට එන අලි බලන්නට නොවේ.වැව පාමුල ඇති පන්සල සතු කිරිගරුඬ බුදු රුව දැකීමේ අරමුණිනි. එබැවින් අපි වැව් බැම්මෙන් බැස පන්සල දෙසට පියමං කළෙමු.
පැරැණි රජමහා විහාරය ලෙස නම් කරන ලද මේ පන්සල පළමු වැනි පරාක‍්‍රමබාහු රජසමයේ ඉදිකරන ලද්දකි. යළි නිශ්ශංක මල්ල රජ සමයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද්දකි. එහෙත් නැගෙනහිර බොදු උරුමයට මුහුණ දෙන්නට සිදුවූ සියළු වි්‍යසන වලට මේ විහාරයටද මුහුණ දෙන්නට සිදුවිය. දොළොස්වැනි සියවසේදී එල්ල වූ චෝල ආක‍්‍රමණ හමුවේ මේ පෙදෙස්වල විසූ ජනතාව රුහුණට පලා ගියහ. පන්සල් නටබුන් වූ අතර ඒවා වනයෙන් වැසී ගියේය.
එසේ වැසීගිය පන්සල් බොහොමයකට යළි ජීවය ලැබුණේ ලංකාවට නිදහස ලැබුණායින් පසුවය.
”කැඩිලා බිඳිලා ගිහින් තිබුණු ගල්මැටියාව වැව ප‍්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. 1967 අවුරුද්දෙදී වැව් බැම්ම හදන්න අවශ්‍ය පස් හෑරුවෙ පන්සල් ගොඩැල්ලෙන්. ඔහොම පස් හාරනකොට බැකෝ එකේ කුල්ලට අහුවෙලා මතුවුණේ සුදු පාට බුදු පිළිමයක්. කුල්ලට අහුවුණු අත කොටස කැඩුනත් ඉතුරු කොටස පරිස්සමට අරගන්න පුළුවන් වුණා. අන්න ඒ බුදු පිළිමෙ තමා, අදටත් මේ පන්සලේ තියෙන විශේෂම අංගය. ඒක කිරිගරුඬ බුදු පිළිමයක්.’’ගල්මැටියාව පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ජයපුර ජිනරතන හිමියෝ කියති.
අපි මේ බුදුරුව බලන්නට ගියෙමු. බෝ මලූවට මදක් ඔබ්බෙන් පිහිටි කුඩා බුදු ගෙයක තැන්පත් කර ඇති බුදුරුවෙන් පෙනෙන්නේ අඩක් පමණි. මා සිතුවේ එහි ඉතිරි කොටස කැඞී බිඳී විනාශ වී ගොස් ඇති බවකි.
එහෙත් ජිනරතන හිමි කියන්නේ බුදු රුවෙහි ආරක්ෂාව උදෙසා එහි අඩි හතරක පමණ කොටසක් සිමෙන්තියෙන් ආවරණය කර ඇති බවකි.
1967 දී වැව් බැම්මට පස්ගත් කොටස අද පස් පියුමෙන් සැදි වැවකි. වියළි කාලයට අලි ඇතුන්ගේ පිපාසය පවා නිවාලන මේ පොකුණ අවට භූමියෙහි ඉපැරණි නටබුන් බුදු පිළිම සිරිපතුල්ගල් ගල් කණු ආදී බොහෝ දේ සැඟව තිබේ.
නිසි පරිදි කැණීමක් කළහොත් ඒ නටබුන් ද මතුකරගෙන ගල්මැටියාවේ පන්සලටත් වටිනාකමක් එකතුකරන්න පුළුවන.
මේ පන්සල ගොඩනගන්න ඇප කැපවුණේ කිතුල්ගොල්ලේ ජිනානන්ද හාමුදුරුවෝ. ඒත් කොටි කලබල කාලේ උන්වහන්සේට මෙතන ඉන්න බැරිවුණා. ඒ කාලේ මේ හැමතැනක්ම තිබුණේ කොටින්ගේ පාලනය යටතේ. ජිනරතන හිමියෝ කියති. උන්වහන්සේ මේ පන්සලට වැඩම කළේ 2001 වසරේදීය.
එවකට ජිනරතන සාමණේර හිමියන්ගේ වයස අවුරුදු 14 කි. ඒ කාලෙ අපි හිටියේ කඩාවැටුණු. මඩුවක... හරියකට ආහාරයක්වත් නැතුව මෙතනම වගාකරගන්නා දෙයකින් තමා ජීවත්වුණේ.
ජිනරතන හිමියෝ අතීතය සිහිපත් කරති.
අද වුණත් මේ හාමුදුරුවන්ට සැප පහසුකමක් නැත. පන්සල වටේටම තිබෙන්නේ අන්‍යාගමික නිවෙස්ය. අදටත් පන්සල අවට ගොවි පොළකි. ඒ ගොවිපළ කියන්නේ මේ හාමුදුරුවන්ට පිටතින් ආහාරයක් ලැබෙන්නේ ඉඳහිට බවයි.
කෙසේ වෙතත් උන්වහන්සේ මේ ඉපැරැුණි පුදබිම රැක බලාගනිමින් කරන්නේ උදාර ශාසන සේවයකි. කවදාහරි දවසක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි කැණීම් කළහොත් ඉන් මතුවන අපේ බෞද්ධ උරුමයන්ට විශාල වටිනාකමක් තිබෙන බවනම් කිව යුතුය.
මේ විදිහට අපිව බලල යන්න ආපු එකත් ලොකු පිනක්. ත‍්‍රිකුණාමලේ පැත්තේ එන බෞද්ධ පින්වතුන්ට කියන්න අපේ පන්සලටත් ඇවිල්ල යන්න කියලා. ජිනරතන හාමුදුරුවෝ ඉල්ලීමක් කරති.
ශාන්ත කුමාර විතාන - සේයා රූ ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 ජූනි මස 03 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 සිරිපතුළ
 කිරිගරුඬ බුදුරුව
 පන්සලේ ඇති පොකුණ
ජිනරතන හිමි