උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ සෘද්ධියෙන් ද? ගොඩබිම් මාර්ගයෙන් ද?


මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ අවන්ති රට වේදිස නගරයේ සිටය. උඡ්ජයිනියට නැගෙනහිරින් පිහිටා තිබූ වේදිස නගරය වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෙසෙන් දිස්‌ත්‍රික්‌කයේ බිල්සා නගරය (බේස්‌ නගර්) ලෙස හඳුනාගෙන තිබේ. බෙත්වා හා බේස්‌ යන ගංගා දෙක එක්‌වන ස්‌ථානයේ පිහිටි මෙම භූමිය අද හින්දූන්ගේ පුණ්‍ය තීර්ථයකි. එහෙයින් ලක්‌දිව බුද්ධාගමෙහි මාතෘ භූමිය අවන්තියේ වේදිස නුවර යෑයි කිවහොත් එහි කිසිදු වරදක්‌ නො මැත.

පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වූ මිහිඳු මාහිමියන් හය මසක්‌ තිස්‌සේ දක්‍ෂිණගිරියෙහි සැරිසරමින් ඥතීන්ට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කළ බව සඳහන් වේ. එතනින් වේදිස නුරවට වැඩමවා මව්තුමියට දහම් දෙසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටුවනු ලැබූ බවත්, වේදිසගිරි විහාරයෙහි මාසයක පමණ කාලයක්‌ වැඩසිටි බවත් සඳහන් ය. උන්වහන්සේ ලක්‌දිවට වැඩම කළේ අශෝක රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 18 වැන්නෙහිය යෑයි බොහෝ වංසකථාවල සඳහන් වෙතත්, බෝධිවංශයෙහි දැක්‌වෙන්නේ අභිෂේකයෙන් හත් මසකින් එය සිදු වූ බවයි. මෙම ගමන බු. ව. 236 වැන්නෙහි එනම් ලක්‌දිව තිස්‌ස රජු අභිෂේකය ලබා තුන් මසකට පසු සිදුවූ බව දීපවංසයෙහි සඳහන් ය. ලක්‌දිව රජ කළ මුටසිව රජු මහලු බැවින් තිස්‌සයන් රජ වන තුරු මෙසේ හත් මසක්‌ කල්යල් බලා ඇති බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන කරුණු දක්‌වන සියලුම පුරාතන මූලාශ්‍රයන් උන්වහන්සේ ඇතුළු පිරිස සෘද්ධි බලයෙන් අහසින් ම වැඩි බව කියා තිබේ. එහෙත් ඉතිහාසඳයෝ සාමාන්‍යයෙන් විය යුතු පරිදි උන්වහන්සේ ඇතුළු පිරිස එකල ලංකාව දක්‌වා වැටී තිබූ මාර්ගයන්ගෙන් එකක ගමන් කරමින් මෙහි වැඩම කළේ යෑයි කීමට වඩා කැමැත්තක්‌ දක්‌වති. අතිමානුෂික බලයක්‌ පිළිගැනීම නො ව ඉතිහාසඥයෙකුගේ කාර්ය වනුයේ සාමාන්‍ය ස්‌වභාවික හේතු අනුව යමක්‌ විස්‌තර කිරීමයි. ඉතිහාසඥයන් පවසන පරිදි එකල උත්තර භාරතයේ සිට ලංකාවට පැමිණි හැකි මාර්ග තුනක්‌ තිබිණි.

1. උඡ්ජයිනී සිට දකුණු දෙස මහිස්‌මතියට පැමිණ, ඉන් දකුණට ගමන් කොට නර්මදා හා තප්තී ගංඟාවන්ගෙන් එතෙර ව ගෝධාවරී නදී තීරයෙහි ප්‍රතිෂ්ඨානයට පැමිණිය හැකිය. එමස ගෝධාවරී මුවදොරින් නැව් නැඟ මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන.

2. උඡ්ජයිනි සිට මහිස මණ්‌ඩලය හෙවත් මයිසෝරය හරහා කාවේරි ගඟබඩ ට පැමිණ. ඒ ඔස්‌සේ ගොඩබිම් මාර්ගයෙන් පාණ්‌ඩපයට පහළින් වූ තම්බපණ්‌නියට පැමිණීමට පුළුවන. එතනින් නැව් නැඟ මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන.

3. උතුරු ඉන්දියාවේ සිට සෘජුවම මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණීමට පුළුවන. මගධයේ චම්පා නුවර හරහා ගංඟා නදී මුවදොර පිහිටි තාම්ප්‍රලිප්ත වරායෙන් නැව් නැඟ මෙසේ පැමිණීමට පුළුවන්කම තිබිණි. අශෝක යුගයේ වඩාත් ජනප්‍රිය ව තිබුණේ මෙම මාර්ගයයි.

ලංකාවේ වංසකථා ගැන කෘතියක්‌ රචනා කළ මහාචාර්ය බී. සී. ලෝ මෙම මාර්ගයන්ගෙන් දෙවැනි මාර්ගය ඔස්‌සේ මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවන්න ඇතැයි සඳහන් කරයි. ලංකාවේ උගතුන් බොහෝ දෙනෙක්‌ ද මිහිඳු මාහිමියන් ගොඩබිම හරහා වැඩම කළේය යෑයිද, පාටලී පුත්‍රයෙන් පිටත්වීමේ සිට ලංකාවට පැමිණීමට හත්මසක කාලයක්‌ ගත වූයේ මේ නිසා බවද පෙන්වා දෙති. මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ උඡ්ජයිනීට නිරතදිගින් පිහිටි භාරුකච්ඡයට පැමිණ එතනින් ලංකාව බලා නැව් නගින්නට ඇති බවයි.

අශෝක යුගය පිළිබඳ අද්විතීය පර්යේෂණයක්‌ කළ චින්සන්ට්‌ ස්‌මිත් අශෝක සෙවැල්ලිපිවල තම්බපණ්‌නි යනුවෙන් සඳහන් වන්නේ දකුණු ඉන්දියාවේ තිණ්‌නවැලි ප්‍රදේශය බව හඳුනාගෙන තිබේ. ද්‍රවිඩ දේශය වූ පාණ්‌ඩ්‍ය රටේ ලංකාවට ආසන්නව ම පිහිටි දකුණු ප්‍රදේශය ඉතා පුරාණ කාලයේ පටන් තාම්ප්‍රපර් නමින් හැඳින් වූ බව මහාභාරතය වැනි ග්‍රන්ථයන්හි සඳහන් වේ. හත්වන සියවසේ අග භාගයේ දකුණු ඉන්දියාවට පැමිණි හියුං සාං තෙරණුවෝ පඬිරට තිණ්‌නවැලි දිස්‌ත්‍රික්‌කයට යාබද මලයකුට ප්‍රදේශයෙහි සංචාරය කරමින් මිහිදු මාහිමියන් විසින් කළ විහාරයක හා ඒ අසල අශෝක රජු කළ චෛත්‍යයක නටබුන් තමන් දුටු බව වාර්තා කරති. එසේම දකුණු පාණ්‌ඩ්‍යයෙහි බුද්ධාගම පිහිටුවන ලද්දේ මිහිඳු මාහිමියන් විසින්ය. යන ජනප්‍රවාදයක්‌ ද එහි දී තමන්ට දැනගන්න ලැබුණු බව උන්වහන්සේ සිය භ්‍රමණවෘතාන්තයෙහි සඳහන් කරති.

මිහිඳු මාහිමියන් දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයෙහි යෙදෙමින් කාවේරපට්‌ට නම් නගරයෙහි නැවතී සිටියේ යෑයිද, ඉන්ද්‍රවිහාර නමින් සිල්පදිකාරම් හා මණිමේකලෛ යන දෙමළ කාව්‍යයන්හි හඳහනන් වන්නේ මෙසේ උන්වන්සේ නැවතී සිටි විහාර යෑයි හිස්‌සැල්ලේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. මහේන්ද්‍රගිරි නමින් දකුණු ඉන්දියාවේ පිහිටි කඳුවැටි මිහිඳු මාහිමියන්ගේ නම හා සම්බන්ධ කොට ඇතැම් ලේඛකයන් හඳුන්වා දී ඇත. කෙසේ වුවද සම්පූර්ණ ගවේෂණයක්‌ නො කරන ලද හෙයින් වර්තමාන විශ්වාසයන්ට ඉඩදීමට සිදුව ඇති මෙවැනි ස්‌ථාන රාශියක්‌ දකුණු ඉන්දියාවේ පිහිටා තිබේ. නැගෙනහිරට සාට්‌ස්‌ කඳු පන්තියේ මදුරාසිය (තංජම් දිස්‌ත්‍රික්‌කය) අසල ශිඛරයක්‌ සහිත කොටසක්‌ මහේන්ද්‍රගිරි නමින් ප්‍රසිද්ධය තවද කොමරින් තුඩුව අසල තිණ්‌නවැලි දිස්‌ත්‍රික්‌කයට මායිම් ව පිහිටි කඳු වැටියක්‌ද මහේන්ද්‍රගිරි නමින් ප්‍රසිද්ධය.

ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාපන කටයුතුවලින් පසුව මිහිඳු මාහිමියන් ලාංකීය රහතන් වහන්සේලා සමඟ දකුණු ඉන්දියාවට චැඩියේ ද යන්න මෙහිලා සැලකිය යුතු යි. මිහිඳු මාහිමියන් ලංකාවේ දී කළ කටයුතු ඉක්‌මනින් අවසන් කළ බව වංසකථා වාර්තාවල සඳහන් වන්නේ උත්තිය රජුගේ අටවෙනි වර්ෂයෙහි පිරිනිවන් පෑ කියන ප්‍රවෘත්තිය පමණි. ඒ අතර කාලය තුළ මිහිඳු මාහිමියන් ගැන වාර්තා කිරීමට තරම් ඓතිහාසික සිදුවීමක්‌ නොවු නේද එසේ වූයේ නම් වංසකථාවල සඳහන් නොවූයේ මන්ද යන ගැටලු විස¹ගත යුතුව ඇත. මේ කාලය තුළ මිහිඳු මාහිමියන් හා ලාංකීය භික්‍ෂූන් දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවූ බවට වැදගත් සාක්‍ෂි කිහිපයක්‌ ම හමුවේ. දකුණු ඉන්දියාවේ තැනින් තැන දක්‌නට ලැබෙන බ්‍රාහ්මී සෙල්ලිපිවලින් ප්‍රබල ලෙස විශද වන කරුණක්‌ නම් ලංකාවේ බුද්ධාගම පිහිට වූ ආසන්න කාලයේම බෞද්ධ භික්‍ෂූන් මෙම ප්‍රදේශවල ද බහුල ව විසූ බවයි. මහින්දාගමනයෙන් වසර විසිපහකින් මෙපිට සිට ක්‍රමයෙන් ලියවුණු බ්‍රාහ්මී සෙල්ලිපි දහස්‌ ගණනක්‌ ලංකාවේ ඇත. ඉහත කී දකුණු ඉන්දියානු බ්‍රාහ්මී ලිපිවල ඇතැම් අක්‍ෂර සංකේතයන් ලංකාවේ ලේඛනයන්හි ආභාෂය ලබා ඇතැයි නිගමනය කොට තිබේ. මේ නිසා දෙරටෙහි ම ලිපි එකම සම්ප්‍රදායකට අයත් පිරිසකගේය යන මතයද ගොඩ නැගී ඇත.දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් ලංකාවේ සතුරන් ලෙස සැළකූ හෙයින් දකුණු ඉන්දියාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ලාංකේය භික්‌සූන් වංසකථාවල සඳහන් නො කළේ යෑයි ස්‌මිත් පවසයි. එහෙත් වංසකථා රචනා කළ යුගයේ එවැනි වාර්තා යමක්‌ ඉතිරි ව තිබුණේ නම් මිහිඳු මාහිමියන්ට

ගෞරවයක්‌ පිණිස පවතින එම සිද්ධීන් සටහන් නො කිරීමට තරම් වංසකථාකරුවෝ සාහසික නොවෙති. මිහින්තලා පව්වේ දි මිහිඳු මාහිමියන් සමඟ පිළිසඳර කථාවෙහි යෙදෙමින් තිස්‌ස රජතුමා ස්‌වාමීනි, ඔබ වහන්සේලා කුමකින් පැමිණියේ දැයි විචාළේය. එවිට මිහිඳු මාහිමියෝ "මහරජ, අපි ගොඩින් හෝ ජලයෙන් (න ථලෙන න චාරිනා) නාවෙමු යි පිළිතුරු දුන් හ. ඒ ඇසූ රජතුමා මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස සෘද්ධි බලයෙන් අහසින් පැමිණියේ යෑයි දැනගත් බව මහාවංසය පවසයි.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන විස්‌තර කරන සියලුම මූලාශ්‍ර උන්වහන්සේලා සෘද්ධි බලයෙන් අහසින් වැඩි බැව් කියයි. එසේ සඳහන් කර ඇත්තේ අතිමානුෂික බලයක්‌ ආරෝපනය කිරීම සඳහා නොවේ. එසේ වූවා නම් සංඝමිත්තා රහත් තෙරණියගේ ලංකා ගමන ද සෘද්ධි බලයෙන් අහසින් සිදු වූවක්‌ බව වාර්තා කරනු ඇත. වංසකථාවල සංඝමිත්තාව නැවෙන් හා ගොඩබිම් මාර්ගයෙන් පැමිණියේ යෑයි කීම මදිකමක්‌ ලෙස එකළ නොසැළකු බව පෙනී යයි. ලංකාවට නොපැමිණි හියුං සාං තෙරණුවෝ ද දකුණු ඉන්දියාවේ මිහිඳු මාහිමියන්ගේ කටයුතු ගැන සඳහන් කරන අතරම, උන්වහන්සේ ලංකාවට අහසින් වැඩියේ යෑයි ලියා ඇත. මෙසේ ලියන්නට ඇත්තේ දකුණු ඉන්දියාවේ පැතිර තිබූ විශ්වාස හා ජනප්‍රවාද අනුව විය යුතුය.

මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ මිහිඳු මාහිමියන් ලංකාවට සෘද්ධියෙන් වැඩියේ ය යන මෙම කරුණ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව ඔප්පු වී තිබීමයි. අම්පාර රජගලතැන්න නම් ප්‍රදේශයෙන් සොයාගත් බ්‍රාහ්මී සෙල්ලිපියක මෙසේ සඳහන් වේ. යෙ ඉමා දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරෙහ තුබෙ මෙම ලිපියේ සරළ අර්ථය මෙසේ යි. යමෙක්‌ මෙම දීපයට පළමු ව සෘද්ධියෙන් ආයේ ද (එම) ඉට්‌ඨිය හා මහින්ද තෙරුන්ගේ ස්‌ථූපය යි මෙම ලිපිය උන්වහන්සේලා අපවත්වීමෙන් ආසන්න කාලයක දී ලියන ලද්දකි. මෙවැනි සිදුවීමකට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලෝකයේ කවර රටක වුවද දුර්ලභ හෙයින් මෙම ශිලා ලේඛනය අතිශයින් වැදගත්ය.

මෙම කරුණු අනුව මිහිඳු මාහිමියක්‌ ලක්‌දිවට වැඩම කළේ සෘද්ධි බලයෙන් අහසින්ය යන්න ස්‌ථීර වන්නේය.


රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
කථිකාචාර්ය, රාජකීය පණ්‌ඩිත, දර්ශනපති 
බළපිටියේ සිරිසීවලී හිමි