උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

සිංහලයාගේ ජාතික උළෙල වෙසක්‌ උත්සවයයි


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ 
මහාචාර්ය දයා අමරසේකර

වෙසක්‌ පුන් පොහෝ දිනය බෞද්ධයාගේ පරම පූජනීය දිනයයි. වෙසක්‌ බෞද්ධයාගේ උත්කෘෂ්ට පෝය දිනය බවට පත්ව ඇත්තේ ද එහි ඇති මෙම පරම පූජනීයත්වය නිසාය. වෙසක්‌ දිනයේ මෙම ආගමික වැදගත්කමට අමතරව සිංහල බෞද්ධයන්ගේ ජාතික ඉතිහාසය තුළ ද වෙසක්‌ උත්සවයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකරයන්ගේ මතයයි. වෙසක්‌ උත්සවය සිංහලයාගේ ජාතික උළෙල ලෙස ඔහු හඳුන්වන්නේ අපේ ඉතිහාසයේ ගමන් මග සියුම්ව විශ්ලේෂණය කරමිනි.

ජාතියක්‌ හැටියට ගත්තොත් අපට ආවේණික උත්සව රාශියක්‌ හඳුනාගන්න පුළුවන්. බොහෝ ජාතීන්ට නොමැති සුවිශේෂී අවස්‌ථාවන් රාශියක්‌ මෙසේ උත්සව ලෙස සමරන රටක්‌ අපේ රට. මේ උත්සව රටක්‌, ජාතියක්‌ වගේම පුද්ගලයා තුළත් ඇති කරන බලපෑම සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ කොහොමද?

උත්සව සහ සංදර්ශන කියන්නේ සමාජයක සිටින්නන්ගේ ක්‍රියාකාරකම් ටිකක්‌. මේ ක්‍රියාකාරකම් ඒ රටේ සංස්‌කෘතික පරිසරය අනුවයි හැඩගැසී තිබෙන්නේ. ඒ නිසා අප කුඩා කල සිට හැදී වැඩුණු සමාජ සංස්‌කෘතික පරිසරයෙන් අප ලද අධ්‍යාත්මික හා ආචාර විද්‍යාත්මක බලපෑම පෙන්වන විචිත්‍ර අවස්‌ථා විදියටයි මේ උත්සව තේරුම්ගත යුත්තේ. දෙවනුව උත්සව අපට දෙයාකාරව හඳුනා ගන්න පුළුවන්. පළමුවැනි වර්ගය ජීවිත ප්‍රතිසංස්‌කරණ උත්සව. කෙනකුගේ ජීවිතය අලුත් විදියට සකසා ගැනීමයි මෙහිදී සිදු වන්නේ. මේ අලුත්වීම ඊට භාවිතය වන අයටත් ඔවුන්ගේ ඥතීන්ටත්, අසල්වැසි ලෝකයාටත් නිවේදනය කිරීමට මේ උත්සව පවත්වනවා. ඔවුන් අලුතින් ලබපු තත්ත්වයක්‌ ගැන ඒ අයටත්, ඥතීන්ටත් මුළු ලෝකයාටත් දැනුම්දීමක්‌ මේකෙන් සිද්ධ වෙනවා. විවාහය, වැඩිවියට පත්වීම, මරණය වැනි සිදුවීම් පිළිබඳ මෙබඳු උත්සව දැකිය හැකියි. සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සවයකින් කරන්නේ එකම සිදුවීමක්‌ මූලික කරගෙන මුළු රටම නැවත සකස්‌ වීමකට පිබිදීමට පත් කිරීමයි. සිංහල අලුත් අවුරුද්ද වගේම වෙසක්‌ උත්සවයත් මෙම සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සව දෙකක්‌.

මේ උත්සව අතරේ වෙසක්‌ උත්සවයට තියෙන්නේ ආගමික ස්‌වරූපයක්‌. එයින් කියෑවෙන්නේ වෙසක්‌ ජාතික වැදගත්කමක්‌ නැති නිකම් පෝය දවසක්‌ කියන එකද?

නෑ. වෙසක්‌, පෝයක්‌ වෙන්නේ අනිත් හැම පෝයටම වගේ වෙසක්‌ පෝයදාත් සිදුවුණ සුවිශේෂී සිදුවීම් ටිකක්‌ නිසයි. මුළු ලොව පුරාම බෞද්ධයන්ට වෙසක්‌ කියන්නෙ තෙමඟුල සිදුවුණ දවස. ඒත් ඉන් එහාට ගිය වැදගත් කාරණා කීපයක්‌ වෙසක්‌ ගැන සිංහල බෞද්ධයන්ට තියෙනවා. අපේ රට බහුවාර්ගික රටක්‌ වුවත් අපේ අනන්‍යතාව මේ රටේ අනන්‍යතාව ගොඩනැඟෙන්නෙ බෞද්ධකම තුළින්. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයන්. පෘතුගීසි බලපෑමෙන් සිංහල කොටසක්‌ 1505 පසුව කතෝලික ආගම වැළඳගත්තා. පසුව 1707 තරම් කාලෙක ජුසේ වා ස්‌, ජාකොමේ ගොන්සාල්වේස්‌ වැනි ඔරිතෝරියානු නිකායේ පූජකවරුන්ගේ සමාජ පිරිසක්‌ කතෝලික ආගමත්, ලන්දේසි බලපෑමෙන් තව පිරිසක්‌ කිතුනු රෙපරමාදු ආගමත් වැළඳ ගත්තා. මේ සමග ඉස්‌ලාම් දහම මුස්‌ලිමුන්ගේaත්, හින්දු ආගම ද්‍රවිඩයන්ගේත් උරුමයක්‌ ලෙස පවතිනවා. මෙබඳු තත්ත්වයක තවමත් මේ රටේ ප්‍රධාන ජාතික ආගම ලෙස බහුතරය පිළිගන්නා බුදු දහම මේ රටේ සමාජ ව්‍යqහය තුළ අන් සියලු ආගම්වලට වඩා තදින් මුල් බැස තියෙනවා. ඒ නිසා අපේ ජාතික සම්ප්‍රදාය, ජාතික චින්තනය කියන හැම එකක්‌ම පදනම් වෙන්නෙ බුදු දහමට. අපේ රටේ අනන්‍යතාව බුදුදහමයි. ඒ අනන්‍යතාව ඇතුලෙ අනෙක්‌ ආගමිකයන්ට වැඩෙන්න ඉඩ හසර තියෙනවා. එහෙම නම් වෙසක්‌ අපේ අනන්‍යතාව මූර්තිමත් කරන ජාතික උළෙලයි. ආගමික අර්ථයෙන් පමණක්‌ වෙසක්‌ දිහා බලන එක වැරැදියි. මේක තවත් එක පෝයක්‌ විතරක්‌ නෙමෙයි. 

තුන් හෙළයේ මහා ජාතික මංගල්‍යය ලෙස සිංහල අලුත් අවුරුද්ද සැලකීමටයි අපි පුරුදුව සිටින්නේ. ඒ තැන ඔබ වෙසක්‌ උත්සවයට දෙන්නෙ කුමන පදනමක්‌ මතද?

සිංහල අලුත් අවුරුද්ද අපේ බෞද්ධ සම්ප්‍රදායයේ උත්සවයක්‌ නොවේ. ආකෘතිය අතින් බැලුවහම ඒක හින්දු වෛදික සම්ප්‍රදායන් මුල් කරගත්තු සිංහලයන්ගේ උත්සවයක්‌. අනුරාධපුර ඉඳල නුවර තෙක්‌ අපේ රාජ්‍ය ඉතිහාසයේම බක්‌මහට යෙදෙන අවුරුද්දක්‌ වැනි උත්සවයක්‌ ගැන යාන්තමට අහන්න තියෙන්නෙ නුවර යුගයේ විතරයි. නක්‍ෂත්‍රය මූලික කර ගත්තු මේක බෞද්ධ සදාචාර ධර්මයෙහි අංගුත්තර නිකායේ මංගල වර්ගයේ එන නැකැත් පිළිබඳ විස්‌තර බ්‍රහ්මජාල, නිත්ථායතන සූත්‍රවල එන නැකත පිළිබඳ විස්‌තර බලන විට පේනවා අපේ බෞද්ධ හරයන්ට හුඟාක්‌ දුර බව. අපි නොනගතය කියන කාලය පවා හින්දු වේදයෙහි දැක්‌වෙන්නේ ඉෂ්ට දේවතාවන් සැමරිය යුතු කාලයක්‌ හැටියට. ඉෂ්ට දේවතා සංකල්පය හින්දු සංස්‌කෘතියෙහි එන්නක්‌. මේ කාලය පුණ්‍ය කාලය වුණේ දහනව වැනි සියවසේ බෞද්ධ සම්ප්‍රදායට ගැලපෙන ලෙස ඒක සකස්‌ කළේ ඈපා ලිතේ නිර්මාතෘ ඈපා අප්පුහාමි විසින්. අද අවුරුද්දේ මතුපිටින් පේන ජන ගී, ජන ක්‍රීඩා ඔක්‌කොම ඔය විදියට බලෙන් එකතු වුණ දේවල්. ඉතින් මේක හෙළයන්ට ආවේණික දෙයක්‌ නොවේ. 

වෙසක්‌ උත්සවය අපේ උරුමයක්‌ වුණේ කොහොමද?

අපේ රටේ පැවතුන ප්‍රධාන ජාතික උත්සව කිසිවක්‌ බුදු දහමින් තොරව ඇරැඹුණු ඒවා නොවෙයි. එදා තිබුණ ප්‍රධානතම උත්සවයක්‌ වුණේ අරියවංස සූත්‍ර දේශනා උත්සවය, ගංගාරෝහණ උත්සවය, ගිරිභණ්‌ඩ උත්සවය, වෙසක්‌ උත්සවය, දළදාව වැඩම වීමේ උත්සවයයි. මේ ඔක්‌කොම නිකම්ම ජාතික උත්සව නෙමෙයි. පැහැදිලි ආගමික අරමුණක්‌ මූලික කරගෙත් ඒවා. අපේ මහා වංශයේත්, ඊට පසුව ලියෑවුණ වංසත්තපකාසිනී නම් මහාවංශ ටීකාවේත්, ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, ථූපවංශය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කිසිම ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයක සිංහල අලුත් අවුරුද්දක්‌ වෙනුවෙන් කරන උත්සවයක්‌ ගැන නැහැ. ඒත් ඒ හැම එකකම වෙසක්‌ ගැන උත්සවශ්‍රීයෙන් කළ දෑ ලියා තියෙනවා. 

වෙසක්‌ එදා සිටි සිංහල රජවරු රාජානුග්‍රහයෙන් සැමරූ ජාතික උළෙලක්‌ වුණාද?

අපේ අසහාය සිංහල නරපතියා ලෙස සලකන දුටුගැමුණු මහ රජතුමා තමාගේ රාජ්‍යෙdaදයත් සමග ගතවූ සෑම වර්ෂයකම වෙසක්‌ උත්සව 23 පැවැත්වූවා කියන මහාවංශ සදහන කාටවත් අයින් කරන්න බෑ. ඉන්පසුව රජකළ භාතිය, වෝහාරතිස්‌ස, ගෝඨාභය, ජෙට්‌ඨතිස්‌ස, මුගලන්, දෙවන සේන යන රජවරු වෙසක්‌ අපේ ප්‍රධාන ජාතික උත්සවය ලෙස සලකා උත්සවාකාරයෙන් සමරා තියෙනවා. 

අනික මේ උත්සවය රාජ්‍යත්වය සමග කෙලින්ම සම්බන්ධ වූ බවට තවත් උදාහරණ තියෙනවා. සංඝ සමාජය සමග ගැටුම් ඇති කරගත් සීතාවක රාජසිංහ වෙසක්‌ උත්සවයට යම් බාධක පැනවූ බව අප කියවා තියෙනවා. ඉංග්‍රීසින් වරක්‌ වෙසක්‌ නිවාඩුව අවලංගු කළ බවක්‌ කියවෙනවා. මින් පේනවා වෙසක්‌ අපේ ජන ජීවිතයට තදින්ම බැඳුණු සාමාජික අවස්‌ථාවක්‌ බව. ඒක නිකම්ම පෝයක්‌ විතරක්‌ නෙමෙයි. සිංහල අලුත් අවුරුද්දට මෙහෙම හරවත් ඉතිහාසයක්‌ නෑ. ක්‍රි.පූ. 01 සියවසේ සිට 10 වන සියවස තෙක්‌ වෙසක්‌ උළෙලේ ඓතිහාසික පසුබිම වල්පොල රාහුල හිමියන් ලක්‌දිව බුදු සමයේ ඉතිහාසයේ ලියා තිබෙනවා. 

වෙසක්‌ උළෙල ජාතික උළෙලකට වඩා වෙසක්‌ සැණකෙළියක්‌ ලෙස සැලකීමයි අද දැකිය හැක්‌කේ. මේ සැණකෙළි ස්‌වරූපයට වෙසක්‌ පෝය පත්වුණේ කොහොමද?

මේක ආගමක්‌ හැටියට බුදුදහම නවීකරණය කිරීමට දරනු ලැබූ උත්සාහයක්‌ විදියට හඳුන්වන්න පුළුවන්. ලංකාව යටත් විජිතයක්‌ව පැවතුණු යුගයේ අවසාන කොටස වන විට මේ රටේ මිෂනාරී බලය පැවතුණා. බෞද්ධයෙකු වීම බොහෝ දේ අහිමිවීමක්‌ ලෙස එදා සමාජයේ පිළිගැනීමක්‌ වුණා. මේ නිසා බෞද්ධයන් තුළ යම් පිබිදීමක්‌ ඇති කිරීමේ අවශ්‍යතාව පැවතුණා. එම පිබිදීම ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය තුළ පැවති විචිත්‍ර වර්ණවත් දේවල් ආශ්‍රයෙන් භෞතිකව සිදු කිරීමටත්, ආධ්‍යාත්මිකව සියල්ලන් එකම හැඟීAමකින් ඒකරාශි කිරීමටත් අවශ්‍ය වුණා. 1880 දී ලංකාවට පැමිණි සෙන්පති ඕල්කොට්‌ මේ තත්ත්වය විග්‍රහාත්මකව තේරුම් ගත්තා. පානදුරාවාදය කියවා බෞද්ධයකු වී ලංකාවට පැමිණි ඔහු නිකම්ම ධර්මය දේශනා කරන තැනට ගියේ නෑ. වෙසක්‌ සුබ පැතුම් සැරසිලි, බැති ගී ආදිය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අනුරූපව ඔහු සමාජගත කරා. බෞද්ධයන් ඒකරාශි කිරීමට ෂඩ් වර්ණය සහිත බෞද්ධ කොඩියක්‌ නිර්මාණය කළා. බෞද්ධ පෙරහැර හා දහම් පාසල මෙන්ම රට පුරාම ඉංග්‍රිසියෙන් වැඩ කරන නවීන අධ්‍යාපනය උගන්වන බෞද්ධ කොලීජි ආරම්භ කළා. වෙසක්‌ උළෙල අද තියෙන තත්ත්වයට විචිත්‍ර සැණකෙළියක්‌ වුණේ මෙබඳු පසුබිමක. ඒ සමග වෙසක්‌ නිවාඩුව නැවත ඇති කර ගැනීමටද මේ තත්ත්වය හේතු වුණා. මේක බුදු දහම නවීකරණය වීමක්‌. බුදුදහම අරභයා වෙසක්‌ උළෙල තුළින් ලද නවීකරණයක්‌.

අතීතයේ ඉඳලම පැවතුණු වෙසක්‌ උත්සවයෙන් අපගේ ජීවිතවලට ලැබුණ බලපෑම අපි හඳුනා ගන්නේ කොහොමද?

ඕනෑම උත්සවයකින් ලබන බලපෑම අපිට අංශ තුනක්‌ යටතේ කතා කළ හැකියි. එනම් ආධ්‍යාත්මික, සදාචාරාත්මක හා විනෝදාත්මක වශයෙන්. ආධ්‍යාත්මික වශයෙන් වෙසක්‌ කියන්නේ ප්‍රතිපත්ති හා ආමිස පූජා දෙකම එකට එක්‌තැන් කරන අවස්‌ථාවක්‌. අලුත් අවුරුද්දේ ආධ්‍යාත්මික කාරණා නොනගතය පුණ්‍ය කාලය වෙලාවේ පන්සල් යැම කියන රඟපෑමකට සීමා වනවා. රහමෙර පානය, ගව ඝාතනය සඳහා එක එල්ලේ සමාජ සංස්‌කෘතික බාධක අලුත් අවුරුද්ද තුළ නැහැ. ඒත් වෙසක්‌ පව් බස්‌සන පිනට දිරිදෙන චිත්තවේගී බලයක්‌ ඇති කරන දිනයක්‌. සදාචාරාත්මක පැත්තෙන් බලතොත් මේක මිනිසුන් තුළ ඉබේම සමාජ පාලනය ඇති කෙරෙන දිනයක්‌. අවුරුද්ද මුළුමණින්ම අරක්‌කුවලින් පාලනය කළත් වෙසක්‌දා රහමෙර පානයට පුද්ගලයා අධෛර්යමත් කරන දිනයක්‌. විනෝදාත්මක පැත්තෙන් බලතොත් වෙසක්‌ විචිත්‍ර සැරසිල්ලෙන් පරිසරය බබලවන කාලයක්‌. අවුරුද්ද හදිසි අනතුරු, මිනීමැරුම්, කලකෝලාහල පිරුණු කාලයක්‌ වුණත් වෙසක්‌ ශ්‍රද්ධාව පතුරුවන කාලයක්‌. වෙළෙන්දන්ගේ ආර්ථිකය වඩවාලන අවුරුද්දට වඩා අපේ සිත ගත නිවා පුබුදන ගුණයක්‌ වෙසක්‌ තුළ තියෙනවා. 17 වැනි සියවසේ දී රොබට්‌ නොක්‌ස්‌ අවුරුදු විස්‌සක්‌ මේ රටේ ඉඳපු කෙනෙක්‌. ඔහු පවසන අන්දමට අලුත් අවුරුද්ද සමරන්න පෙර මාර්තු මාසෙ දවසක ශ්‍රී මහ බෝධිය හා ශ්‍රී පාදය මුල් කරගෙන විශාල බෞද්ධාගමික උත්සව දෙකක්‌ පවත්වා තිබෙනවා. ඉන් පේනවා ඒ කාලෙ තිබූ අලුත් අවුරුද්දට පෙර බෞද්ධ ප්‍රබෝධයක්‌ මේ රටේ තිබූ බව. 

දැනට අපේ රටේ පිළිගන්නෙ ක්‍රිස්‌තු වර්ෂ ක්‍රමය. ඒ වගේම ශක වර්ෂවලිනුත් අපේ ඉතිහාසය තුළ කාල නිර්ණය කර තිබෙනවා. වෙසක්‌ අපේ ජාතික උළෙල නම් මේ තත්ත්වයෙහිත් වෙනසක්‌ සිදුවිය යුතුයි නේද?

ඇත්තටම ක්‍රිස්‌තු වර්ෂයක ආරම්භය ජනේරුව විදියට අද අපි පිළිගන්නවා තමයි. මේ ජනේරු උත්සවය ග්‍රීක රෝම සමාජවල පැවතුන සූරිය මංගල්ලයක්‌ ගැන හිතා ගණිතමය චක්‍රයකට අනුව හදාගෙන තිබෙනවා. පසුව සූරිය මංගල්ලය කියන එක ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සිහි කරන නත්තල බවට පත්වෙලා. අද අපි පාවිච්චි කරන ක්‍රිස්‌තු වර්ෂ ක්‍රමය දහතුන් වැනි ග්‍රෙගරි පාප්තුමන් 1582 දී ජුලියානු දින දර්ශනය ලෙස පසුව නම් කරා. එහෙම නම් මේක මුළුමනින්ම සිංහලයාට ආගන්තුක වූවක්‌. අනික ශකරාජ වර්ෂය කියන එකත් හරිම අපැහැදිලි ඉතිහාසයක්‌ තියෙන එකක්‌. සිංහල අලුත් අවුරුද්දට ශකරාජ වර්ෂය පදනම් වන වර්ෂය ලෙසයි ලිත්වල තියෙන්නෙ. මේ ශක රාජ වර්ෂය කුෂාන කියන රාජ පෙළපතට අයිති කනිෂ්ක රජුගේ රාජ්‍යෙdaදයත් සමග ඇරැඹුණා කියා කියනවා. ඒත් කුෂාන කියන්නෙ ශක වංශිකයෙක්‌ නෙමේ අපි මේ කිසිවක්‌ නොවිමසා කව්රුත් හදා දුන්න දේවල් පාවිච්චි කරනවා. ඒ වගේම අපි දැනගන්න ඕන ක්‍රි. වර්ෂ ක්‍රමය ලෝකයේ තියෙන එකම කාල නිර්ණය නොවන බව. මුස්‌ලිම්වරුන් හිඡ්රි වර්ෂ ලෙස ආධ්‍යාත්මිකව පිළිගන්නා තවත් වර්ෂ ක්‍රමයක්‌ තියෙනවා. මේක සැකසී තියෙන්නේ මහම්මත්තුමා මක්‌කම සිට මදීනා තෙක්‌ ගිය හිඡ්රා කියන ශුද්ධ චාරිකාව පදනම් කොටගෙනයි ඒක චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි හදාගෙන තියෙන්නෙ. අපි බෞද්ධයන් හැටියට අපේ ඉතිහාසයේ කිසිදු තැනක ශක වර්ෂ ගැන කියා නැහැ. මහාවංශය ඇතුළු ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රවල කාල නිර්ණය කර තියෙන්නෙ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර ගණන් කරන ක්‍රමයට. එහෙම නම් සම්බුද්ධ පරිනිර්වාණය සිදු වුණේ වෙසක්‌ දවසේ. මහා වංශයට අනුව විජයගේ පැමිණීම සිදු වුණෙත් වෙසක්‌ දවසේ. අපේ ඉතිහාසයේම යුග වකවානු නිර්ණය කරන දවස වෙන්නෙත් වෙසක්‌ දවසයි. 

වෙසක්‌ උළෙල සිංහලයාගේ ජාතික උළෙල බවට පත් කරන්න අපට එයට එකතු කරන්න අලුත් විශේෂාංග තියෙනවද?

පළමුවෙන් අපි වෙසක්‌ ආධ්‍යාත්මික, සදාචාරාත්මක හා විනෝදාත්මක කියන තුන් අංශයෙන් පරිපූර්ණ උළෙලක්‌ කරගන්න ඕන. මා හිතනවා වෙසක්‌ පෝය ලබන මොහොත පවා ඝණ්‌ඨා නාදයෙන් වටිනා අවස්‌ථාවක්‌ කියන පණිවිඩය අපි දෙන්න ඕන. ආමිස ප්‍රතිපත්ති පූජා වගේම පෙරහැර හා දන්සැල් මගින් එකමුතුව සහජීවනය ඇති කරවන්න ඕන. අපේ රටේ ප්‍රාදේශිකව පවතින පෙරහැර තිහක්‌ පමණ තියෙනවා. මේවා වෙසක්‌ මාසය තුළ පණ ගන්වන්න ඕන. දන්සැල තොරණ දැනට වඩා ශික්‌ෂණය හා ක්‍රමික බවකින් යුතුව සකස්‌ කරන්න ඕන. හිතට සැනසිල්ල වගේම ගතට සතුටක්‌ වයස්‌ භේදයකින් තොරව කාටත් ලබාදෙන ගමන් මිනිස්‌සුන්ට මනුස්‌සකම පිළිබඳව හිතන්න වෙසක්‌ දවස හැඩ ගස්‌සන්න ඕන. සිදුහත් කුමාරයා ගහක්‌ යට ඉපදිලා, ගහක්‌ යටදී බුදු වෙලා ගහක්‌ යටදී පිරිනිවන් පෑව, දෙවියකු නොවුණු උතුම් මනුස්‌සයෙක්‌ කියන පණිවිඩය අපට වෙසක්‌ දවසේ දෙන්න පුළුවන්.

* සාකච්ඡා කළේ
පාලිත සේනානායක
2013 මැයි 19 ඉරිදා දිවයින