වනයේ සැරිසරන්නන් මෙහි පාමුල ගඩොලින් වට කළ පුදසුනක් මත කොළ අත්තක් කඩාතබා වන දෙවියන් වැඳ යාම නම් අමතක නොකරන බව පෙනේ.
2012 මැයි 09 වෙනි බදාදා, ලක්බිම
නීල ගිරියේ සුලමුල සොයද්දී හමු වූ චූල සීවලී දේවී
සිංහල රාජ්‍ය ඉතිහාසයේ මුල්ම රැජන ලෙස සටහන් වන්නේ අනුලා බිසවයි. අනුරාධපුර රාජධානිය කොට විසූ අනුලා බිසව මරා මහා චූල මහා තිස්ස රජුගේ පුත් කූට කණ්ණ අභය (ක්‍රි.පූර්ව 44 - 22) රජවිය. කූටකණ්ණ තිස්ස අනුරාධපුරයෙහි රජ කරන සමයෙහි ඔහුගේ පුත් භාතිකාභය තිස්ස අතීත රුහුණේ උපරාජයා ලෙස ප්‍රදේශය පාලනය කළේ ය.
වර්තමාන නීලගිරි සෑය ලෙස හඳුන්වන චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත. ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු
රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.
මහනුග්ගල චෛත්‍ය ලෙස ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විශ්වාස කළ මේ චෛත්‍යය ප්‍රදේශයේ ජනතාව ආකාශ චේතිය ලෙස හඳුන්වන බව ද, වංශ කතාවල කියැවෙන රුහුණේ ආකාශ චෛත්‍ය මෙය විය හැකි බවට ද අදහසක් එල්ලාවල මේධානන්ද හිමියන් රචිත ප්‍රාචීන පස්සර - උත්තර පස්සර, සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
නීලගිරිය පිළිබඳ මුල් ම සටහන තබා ඇත්තේ හිටපු පුරාවිද්‍යාඥයකු වන ඒ.ඇම්. හෝකාට් විසිනි. ලාහුගලට ආසන්නයේ ගන වනාන්තරයේ ඇති මේ චෛත්‍ය හා බැඳුණු අතීත බෞද්ධ ආරාමයක් වූ බවට බලවත් සාධක ඇතැයි ද නීල ගිරි හෙල ආසන්නයේ ඇති කටාරම් කෙටූ ලෙන් අතරින් තැනක ලෙන් පූජාව පිළිබඳ ලිපි දක්නට ලැබෙන්නේ යැයි ද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් තම කෘතියෙහි දක්වා ඇත.
වර්තමානයේ නීලගිරි චෛත්‍ය ලෙස ප්‍රකට ස්තූපයේ විශ්කම්භය අඩි 180 කට ආසන්න බව ද, ගඩොලින් කළ ස්තූපය වටා විශාල ප්‍රාකාරයක් පැවැති බවට සාක්ෂි ඇති බව ද ස්තූපයේ ගවේෂණ කටයුතු සිදු කළ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. නිදන් හොරුන් විසින් හාරා ඇති ස්තූපයේ ඉපැරණි යූපස්තම්භය ස්තූපය මුදුනෙහි පවතින බද මේ ස්තූපය වටා විශාල ආරාම සංකීර්ණයක නටබුන් දක්නට ලැබෙන බව ද මහාචාර්ය සෝම දේවයන් ප්‍රකාශ කරයි.
සංස්කෘතයෙහි ‘ආරාම’ යන්නට දී ඇති අර්ථය ‘උද්‍යාන’ යන්නයි. අභයගිරිය මහමෙව්නාව වැනි බෞද්ධ සිද්ධස්ථානයක් නගරයෙන් වෙන්ව භාවනානුයෝගී සංඝයාගේ පරිහරණය සඳහා පවතින්නට ඇත. ස්වභාව සෞන්දර්ය ආගමික වටපිටාව හා බැඳි එකල පැවැති දේශීය සංස්කෘතියේ අගය වඩවන්නට ඇත.
|
නීලගිරි චෛත්‍ය |
|
සියවස් ගණනක් පැරැණි ගල්කොරිය |
|
නීලගිරියෙන් හමු වූ පළමු සෙල්ලිපිය |
නීලගිරිය ලෙස හඳුන්වන මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.
මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.
ස්තූපය පිහිටි බිමෙන් හමුවූ විශාල ප්‍රමණය ක් වූ සිරිපතුල් ගල් පිළිබඳ අදහස් දක්වන රාජ් සෝමදේව ඒවා අතීත සැදැහැතියන් ආරාමයට පූජා කළ ඒවා වන්නට ඇතැයි අදහස් දක්වයි.
ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.
වත්මනෙහි නීල ගිරි සෑය ලෙස හඳුන්වන චෛත්‍ය ඉදිකර ඇත්තේ ශූර තිස්ස නම් රජකු බවට ජනප්‍රවාදයෙහි පවතී. එසේ වුව ද, ක්‍රි.වර්ෂයෙන් 7 - 19 කාල පරිච්ඡේදයේ රජකළ මහා දාඨික මහා නාග රජු ‘ලාහුගලින් දකුණේ නීල ගිරියේ රුහුණු මහා වෙහෙර නැත්නම් රුහුණු විහාරය එසේත් නැත්නම් පාසාන දීපක විහාරය තම අතින් ම කරවිය...” (මහා වංශය විස්තරාත්මක ප්‍රස්ථාවනාව සිංහල පරිවර්තනය - ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ, සිංහල පරිවර්තනය - තිස්ස කාරියවසම් - 2007) යනුවෙන් සඳහනක් මහාවංශයේ වෙයි. මේ රජු මිහින්තලාවෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ද දායක වී ඇති බවට වංශකතා සාක්ෂි දරයි.
එසේ වුව ද හමුවී ඇති පළමු සෙල් ලිපියට අනුව නීල ගිරි චෛත්‍යයේ නිර්මාතෘ භාතිකාභය තිස්ස රජු ලෙස විශ්වාස කළ හැකි බවත් ඒ රජු තම දියණිය චූල සීවලී දේවි කුමරියගේ නමින් විහාර සංකීර්ණය උත්තර සීවල පබ්බත ලෙස නම්කරන්නට ඇති බවත් මහාචාර්ය රාජ් සෝම දේවයෝ අදහස් දක්වති. “යහපතක් වේවා දේවානම් පියතිස්ස රජු ගේ මුණපුරු වූ ද කුට කණ්ණා ගාමිණී අභය ගේ පුත්‍රයා වූද උපරාජ තිස්ස ගේ දියණිය වූ මහාරාජිනී චූල සිවලී දේවි විසින් උත්තර සීවලී පබ්බත විහාරයේ වැඩ වාසය කරන සතර දිසාවෙන් වැඩි භික්ෂු සංඝයා උදෙසා කුඹුරගම වැවේ ඉඩම් බද්ද ද චිත්‍රා වැවේ ඉඩම් බද්ධ ද නගරයේ වැවේ බද්ද ද පිරිනමන ලදී.”
යනුවෙන් රාජ් සෝමදේවයන් හමු වූ සෙල් ලිපි දෙකින් පළමු වැන්න කියවා ඇත. මේ කියවීම අනුව වත්මන් නීල ගිරි චෛත්‍ය ක්‍රි.පූර්ව 22 - කි‍්‍ර.වර්ෂ 7 කාලයේ අනුරාධපුරයේ රජ පැමිණි භාතිකාභය තිස්ස රජු කළ නිර්මාණයක් නම් භාතිකාභය තිස්ස රුහුණේ උපරාජයා ලෙස කටයුතු කරද්දී මේ චෛත්‍ය උත්තර සීවලී පබ්බත ලෙස හඳුන්වන්නට ඇති බව ප්‍රකටවේ. එහෙත් ඉතිහාසයෙන්, ජනප්‍රවාද යෙන් සැඟව සිටි මහාරාජිනී චූල සීවලී දේවී පිළිබඳ ව තොරතුරු සොයා යාම වැදගත් ය.
මේ සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ මහාරාජිනී චූල සීවලී දේවියයි. නගරයේ වැවේ බද්ද සංඝයාට පූජා කිරීමට ඇයට රාජ්‍ය බලය හිමි ව තිබිය යුතු ය. අනෙක් අතින් මහා රාජිනී යන්න තම නම වන චූල සීවලී දේවි යන්නට මුලින් යොදා සෙල් ලිපියක් ප්‍රසිද්ධ කිරීමට ඇය අභිෂේක ලත් රැජනක් විය යුතු ම ය.
මහා වංශයට අනුව ක්‍රි.ව. 36 - 43 කාලයේ චූලාභය රජුගෙන් පසු රාජ්‍යයට නීත්‍යානුකූල හිමිකරුවකු නොවූ තැන සීවලී හෙවත් රේවතී නම් රැජනක් වර්ෂයක් ලංකාවේ රජ කර ඇතැයි හෙළිවේ. මේ සීවලී හෙවත් රේවතී රැජන භාතිකාභය (ක්‍රි.පූර්ව 22 - ක්‍රි.ව. 7) රජුගේ බාල සහෝදරයා වූ මහා දාඨක මහා නාග (ක්‍රි.ව. 7 - 19) රජුගේ පුත් අමණ්ඩ ගාමණී අභය (ක්‍රි.ව. 19 - 29) රජුගේ දියණියයි. ඇයට තම සහෝදරයා වූ චූලාභය (ක්‍රි.ව. 29 - 36) රජුගෙන් පසු රාජ්‍ය හිමි විය. ඇගෙන් රාජ්‍ය උදුරා ගනු ලැබූයේ ආමණ්ඩ ගාමිණී අභය රජුගේ නැඟණිය ගේ පුත් වන ඉළනාග කුමරු විසිනි. මේ කියැවෙන සිවලි හෙවත් රේවතී රැජන ද භාතිකාභය රජුට මුනුපුරු වේ.
කෙසේ වුව ද මහාරාජිනී චූල සීවලී දේවි රැජනගේ රාජ්‍ය වර්ෂය හෝ රාජ්‍ය කාලය පිළිබඳ සටහනක් නැත. සීවලී හෙවත් රේවතී යනු ‘මහාරාජිනී චූල සීවලී දේවි’ මද නැත්නම් ලංකා රාජ්‍ය කළ අභිෂේකලත් වෙනත් රැජනක් ද යන්න තහවුරු කරගත යුතුව ඇත.
මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ මතය වන්නේ මහාරාජිනී චූල සීවලී දේවි’ රැජන භාතිකාභය තිස්ස රජුගේ දියණිය බවත්, ඇය අතීත ලංකාවේ රාජ්‍ය කළ දෙවන රැජන බවත් ය. එහෙත් ඉතිහාසයේ කොතැනක හෝ ‘චූල සීවලී දේවි’ මහා රාජිනිය ගැන සඳහන් නොවීම පිළිබඳ ව හේතු විමසා බැලිය යුතු ය. පැරණි ලංකාවේ රාජ්‍යත්වය කුමරියකට හිමිවී ඇත්තේ නිත්‍යානුකූල අයිතිය සඳහා පිරිමි හිමිකරුවකු නොමැති වීම හේතුවෙනි. භාතිකාභය තිස්ස රජුට පසු රජ පැමිණියේ ඔහුගේ බාල සහෝදරයා වන මහාදාඨක මහා නාග රජු ය.
මහාචාර්ය රාජ්සෝමදේවයන් ගේ මතයට අනුව ඉපැරණි නගරයේ පිහිටි වැව් අතරින් නගරයේ වැව ලෙස සඳහන් ප්‍රධාන වැව වන්නට ඇත්තේ වත්මනෙහි නටබුන් ව ඇති ලාහුගල වැවයි. මේ ප්‍රදේශයේ මතුපිට ගවේෂණයේ දී හමු වූ වළං කටු නිරීක්ෂණයෙන් ඒ ප්‍රදේශයේ නාගරික ජනාවාසයක් පවතින්නට ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටී.
ලාහුගල ඇතුළු එම ප්‍රදේශයේ නටබුන් වී ඇති ලොකු කුඩා වැව් නිරීක්ෂණය කිරීමෙන් අතීත රුහුණේ පැවැති සංකීර්ණ වාරි පද්ධතියක තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇත.
වංශ කතාවල දැක්වෙන කාලායන කණ්ණිකා නම් ප්‍රදේශය ලෙස මෙය හඳුනාගත හැකි බව පවසන මහාචාර්ය සෝමදේවයෝ එවකට මේ ප්‍රදේශය සුවිශේෂ බල ප්‍රදේශයක් ලෙස පවතින්න ඇති බවට ද අදහස් දක්වයි.
“... කාලායන කර්ණිකා නම් තැන මිණි නා පව් නම් විහාරය ද කුඹුක් බන්ධන නම් වෙහෙර ද මහුදු මහා විහාරය ද...” “.... රුහුණු ගම හුවටික කර්ණක නම් තැන චූල නාග නම් විහාරය ද ....” (මහාවංශය 34 පරිච්ඡේදය 89 - 90 පෙළ) සටහනින් මහාචාර්ය සෝමදේවගේ මතය තහවුරු වේ.
මේ හමුවී ඇති ඉපැරණි ක්‍රි.පූර්ව යුගයට අයත් යැයි සිතිය හැකි අපර බ්‍රාහ්මිය අක්ෂරයෙන් ලියැවුණු සෙල්ලිපියෙහි සඳහන් නගරය එම ප්‍රදේශයෙහි ඇති ඉපැරණි වරායත් සමඟ සබඳතා පවත්වන්නට ඇත. වත්මනෙහි නීලගිරි සෑය ලෙස හඳුන්වනු ලබන මේ ප්‍රදේශයේ කැණීම් සිදු කිරීමෙන් අතීත ලංකාව අග්නිදිග ආසියාව හා පැවැති සබඳකම් පිළිබඳව ද, එකල ගෘහ නිර්මාණ ශිල්පය, තාක්ෂණය චෛත්‍ය හා විහාර කර්මාන්තය, වාරි කර්මාන්තය පිළිබඳ ව මෙන් ම ඒ නගර වැසියන් පිළිබඳව ද, මහ වනයෙන් වැසී ගත් අතීත නගරයක අසිරිය ද, ඉතිහාසයෙන් සැඟවී සිටී. ශ්‍රී ලංකාවේ අභිමානවත් ‘මහාරාජිනී චූල සීවලී දේවි’ රැජිනිය පිළිබඳ ව ද තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇත.
මහාචාර්ය සෝමදේවයන් ඇතුළු පිරිසට නීලගිරි චෛත්‍ය ගවේෂණයේදී හමුවූ දෙවන සෙල්ලිපිය පළමුවන ජෙට්ඨ තිස්ස (ක්‍රි.ව. 263 - 273) රජු මේ ස්ථානයට දීමනා පිරිනැමූ බව සාක්ෂියකි. ඒ සෙල්ලිපිය මහාචාර්ය සෝමදේවයන් මෙතෙක් කියවා නැති අතර පළමුවන ජෙට්ඨ තිස්ස රජ දවස වන විටත් මේ විහාර සංකීර්ණය හා නගරය ක්‍රියාකාරීව පැවැති බවට එම සෙල්ලිපිය සාක්ෂි දරයි.
ටෙක්ලා පද්මිණී කාරියවසම්
ඡායාරූප - පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අනුග්රහයෙනි.
2011 අගෝස්තු 21 සිළුමිණ