උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

දළදා වහන්සේ කලක් වැඩසිටි මඩුකන්ද ශි‍්‍ර දළදා විහාරය

අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙන්නේ මේ ගම්බිම්වල පය ගැසූ විටය. යුද්ධය ගැන ඔවුහු හොඳට දනිති. යුද බිය ඔවුහු හොඳට හඳුනති. ඒබාධක මැද උපන් ගම් හැර නොයා සිටි මිනිස්සු අද ජීවිතයේ සැනසුම් සුව විඳිති.
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අතරින් වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරය ප‍්‍රමුඛස්ථානයක් ගනී. මේ ඉපැරණි විහාරය වවුනියාව ත‍්‍රිකුණාමල ප‍්‍රධාන පාරේ මඩුකන්ද පොලිස් ස්ථානය අසළ පිහිටා තිබේ.
හේමමාලා සහ දන්ත කුමරු ශ්‍රී දළදාව රැුගෙන පැමිණියේ ලංකාපට්ටන නම් අප‍්‍රකට තොටුපළක් වෙතය. මේ ලංකා පට්ටන අප‍්‍රකට තොටුපල පිළිබඳ විවිධ මතවාද පවතී. කෝකිලායි කළපුවේ පිහිටි ලංකාපට්ටන තොටුපල මතවාද අතර සුවිශේෂී තැනකි. අතීතයේ මේ කෝකිලායි ප‍්‍රදේශය හැඳින්වූයේ කැකුළුගම නමිනි. එදා දළදා වහන්සේට කැකුළු මල් පූජාවක් කොට පිළිගත් නිසා මේ ප‍්‍රදේශය කැකුළුගම නමින් පසුව ප‍්‍රකට විය. එතැනින් පසු රුවන්මඩුව, සේම මඩුව, මාමඩුව හරහා දළදා වහන්සේ මඩුකන්ද විහාරය පිහිටි බිමට වැඩම කරවන ලදී. එතැන දළදා මැදුරක් කරවා දළදා වහන්සේ තැන්පත් කරවන්නට ද යෙදිණි. මේ ආකාරයට විමසා බලන කළ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි පූජනීය පෞරාණික පින් බිමක් හැටියට මඩුකන්ද විහාරය හඳුනා ගත හැකිය. මේ සිදුවීම් පෙළ සිදුවූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ලංකාධිපතිව සිටි සමයේය.
මෙතැන් සිට යළි දළදාව කුඩාගලේගම ශ්‍රී දළදා විහාරය, සාලියපුර ශ්‍රී දළදා විහාරය ආදී ස්ථානවලට වැඩම කරවමින් විවිධ ස්ථානවලදී පූජෝපහාර ගරු සත්කාර බුහුමන් දක්වා තිබේ.
එදා මඩුකන්ද ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දේව නම් සෙන්පතියෙකු විසිනි. ඒ සුවිසල් ගිරිශිඛරය විහාරයේ සිට බලද්දී ඉතා නුදුරින්ම පෙනේ. මඩු කන්දේ රජ උයන, රජ වත්ත වශයෙන් ඔහුගේ පහසුව සඳහා පිහිටි විවිධ ස්ථාන අදත් හඳුනා ගත හැකිය.
එදා දළදා වහන්සේ පිළිගන්නට මඩු බොහෝ ගණනක් පිහිටවූ නිසා මඩුකන්ද වූ බවට මතයක් පවතී. එසේම මණ්ඩලාකාර කන්දක් පිහිටි නිසා මණ්ඩලගිරි මඩුලූගිරි, මඩුකන්ද වූ බවටද මතයක් පවතී.
ප‍්‍රකට සෙල් ලිපියක් හැටියට නම් ලද ඓතිහාසික තෝනිගල ශිලා ලේඛනය පිහිටා ඇත්තේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ සිට සැතපුම් 3 ක් එපිටිනි. එදා එම ප‍්‍රදේශයේ විසුවෝ ධාන්‍ය වගාකර ධාන්‍ය රාජ්‍ය ගබඩාවේ තැන්පත් කළහ.
ධාන්‍ය නැවත ලබා ගැනීමේදී ලැබෙන පොලිය ඊට නුදුරින් පිහිටි විහාරයකට පරිත්‍යාග කරන ලද බව කියැවේ. එම විහාරය අනෙකක් නොව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයම බව කිව හැකිය.
දැනට මේ විහාර භූමියේ පිහිටි ඉපැරණි නටබුන් අතර ගලින් කළ විශේෂ ගොඩනැගිලි කැටයම් බොහෝ දක්නා ලැබේ. විහාර බිමෙහි විසිරී පැතිරී ගත් කාෂ්ඨක අව්වට වේලෙන ඒ නටබුන් දෙස බලන කල වවුනියාව වැනි ප‍්‍රදේශයක මෙවන් පෞරාණික පින් බිමක් දකින්නට හැකි වීමම ආඩම්බරයට කාරණයකි.
එදා ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කළ පෞඪ දළදා මාළිගය විවිධ ගල් කැටයමින් අලංකාරය. එසේම ගලින් කළ දැනට නටබුන්ව ඇති විශාල ශීත ශාලාවක්, පැරණි වාසල් දොරටු ගලින් කළ පැරණි පොකුණු හතරෙන් දෙකක් තවමත් මනරම්ව දැකිය හැකිය.
එසේම කැණීම් නොකළ ගොඩනැගිලි රාශියක නටබුන් ගල්කණු සඳකඩපහණ ආසන රාශියක් විහාර බිම පුරා තිබෙනු දැකිය හැකිය. එදා විහාරයට අයත්ව තිබූ පැරණි චෛත්‍යයක් නුදුරින් පිහිටි ගමෙකින් හමුව තිබේ.
දැනට විහාර බිම පිහිටි පැරණි චෛත්‍ය බෝධීන් වහන්සේ විහාර ගෙය වසර 500 කින් මෙපිට ඉතිහාසයක් උරුම ස්ථානයෝය. අතීතයේ මඩුකන්ද අවට ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ”ප‍්‍රාචීන කංගරාජ” යන නමිනි. මෙතැන උතුර හා දකුණ වෙන්වන කඩඉම හැටියට සැලකේ.
අතීතයේ මෑත ඉතිහාසයට එබී බලන කල වසර 30 ක් පැවැති දරුණු යුද්ධයෙන් හොඳටම බැටකෑවේ මේ ප‍්‍රදේශවල පිහිටි සිංහල ගම්මානය. මඩුකන්දද ඉන් එක් සිංහල ගමකි. ඊට අමතරව ඊරප්පෙරියකුලම, මාමඩුව, මහමයිලන්කුලම, කුඩා කච්චකොඩිය මේ අවට අනෙකුත් සිංහල ගම්මාන කිහිපයකි. යුද්ධයේ ගින්නට දැවෙමින් තැවෙමින් පැවැති ඒ යුගයේ කතාව මඳක් අපට සිහිපත් කරන්නට මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිකාරී මුවඇටගම ආනන්ද හිමියෝ අමතක නොකළහ.
”මේ යුද්ධය වවුනියාවට බලපෑවේ 1984 අවුරුද්දෙදි. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් ගුවන් හමුදා ජීප් එකකට බෝම්බ ගැහුවා. එදායින් පස්සෙ වවුනියාවෙන් සටන ඇරඹුණා. එයාලා ගහද්දී අපේ අයත් ගැහුවා. මේ වෙද්දි වවුනියාවෙ සිංහල ගම්මාන 35 ක් තිබුණා. අපි ඉන්න විහාරය අවට මාමඩුව, ඇටඹගස්කඩ, මාමයිලන්කුලම, මහකච්චකොඩිය, නැදුන්කුලම ගම්මානවල මිනිස්සු මේ යුද්ධය නිසා හොඳටම බැට කෑවා.
සමහර මිනිිස්සු මේ ගම් බිම් දාලා ගියා. එහෙම නොගිය අය ගමට ගහද්දි මේ පන්සලේ ඉස්කෝලෙ තියාගෙන අපි ග‍්‍රාමාරක්ෂකයො හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා ආරක්ෂා කළා. එහෙම පියවර නොගත්තානම් මේ මිනිස්සු අද ගම්වල නෑ. එක්කො දාල ගිහින් නැත්නම් යුද්දෙට හොඳට මැදිවෙලා. පන්සලට නම් එල්.ටී.ටී.ඊ. එකෙන් ගැහුවෙ නෑ.
අපිත් ස්වාමීන් වහන්සේලා හැටියට මේ ගමක් ගමක් ගානෙ ගිහින් මිනිස්සුන්ගෙ හිතට හයිය දුන්නා. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් මට වෙඩි තියන්න පපුවට පිස්තෝලෙ තැබුවා. එතන උන්න ත‍්‍රස්තවාදී නායකයෙක් ඒක වැළැක්වුවා. නිතරම එල්.ටී.ටී.ඊ. එකෙන් ග‍්‍රාමාරක්ෂකයෝ මරණවා. බෙලි කපල යනවා. පැහැරගෙන යනවා.  ඕව තමයි අහන්න දකින්න ලැබුණේ. මහකච්චකොඩියෙ එක තැනම මිනිස්සු 36 ක් මැරුවා. කොහොම වුණත් යුද්දෙ අවසන් වෙද්දි අපේ දායක ගම්වල ජීවත් වුණ අයගෙන් 250 ක් විතර යුද්දෙන් මිය ගියා.
මේ සඳහා දායක වුණ හැමෝටම අපි පින් දෙනවා. තව හය මාසයක් ප‍්‍රමාද වුණා නම් ඉතින් අහන්නම දෙයක් නෑ. සාම කාලෙ වෙද්දි සිංහල ගම්මාන 22 ට අඩුවුණා.
මේ වෙලාවෙ පුංචි ඉල්ලීමකුත් තියෙනවා. මේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරය වවුනියාවේ ඉතාම පැරණි පින් බිමක්. මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි.”
පිච්චෙන ගිනි ගහන අවුවේ මද්දහනද ගතවෙමින් තිබේ. ”කෑම ටිකක් කාලම යන්න  ඕනෑ” උන්වහන්සේගෙන් කාරුණික ආයාචනයකි. ඒ ඉල්ලීම පිළිගත් අපි තවදුරටත් කතාබස් කරමින් දිවා ආහාරය ගෙන යළි ආපසු ගමන කඩිනම් කළෙමු.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 මුවඇටගම ආනන්ද හිමි


 පැරණි දළදා මැදුර
 පැරණි මුරගල
 කොරවක් ගල

දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර

සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
නූතන දැනුමින් කුරුවල් නොවූ සබරගමුවේ බහුතරය සමන් දෙවිඳුන් අදටත් මහ සමන් දොවොලේ දිවමන්ව වැඩවසන්නේ යැයි විශ්වාස කරති.
එදා නීල පන්දම් සහ කීල පන්දම් එළියෙන් හතර වීදියේ ගමන් ගත් සබරගමුව මහ සමන් දේවාලයේ වීදි පෙරහර, මහ පෙරහර සහ රන්දෝලි පෙරහැර අද ආලෝකයෙන් එකලූ කළ පුළුල් මාවතක ගමන් කළ ද ඒ ද පෙර පරිදිම සතර වීදි සීමාව තුළය.
පෙරහරක් යනු කිසියම් ජන සමාජයක සමාජ ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රකාශනයකැයි සමාජ විද්‍යාඥයෝ සඳහන් කරති. ඒ අරුතින් කිසියම් පෙරහරක් තත් කාලීන සමාජයට අනුගතව රූපාන්තරණය වීම ද යථාර්ථයකි.
ඇතැම් අංග පෙරහරෙන් ගිලිහී යන්නේ ද නවාංග ඊට එක් වන්නේ ද එම සමාජ ආර්ථික සංස්කෘතික  ඕනෑ එපාකම්වලට පිරිමැහෙන ආකාරයෙනි.
කජු කෑමත්, අලි බැලීමත් සබරගමුව ඇසළ පෙරහැර සමග බැඳි අපූරු අත්දැකීම් වෙති. එපමණකුදු නොව එම කරුණු කාරණා දෙක සබරගමුව වාසීන් පරපුරෙන් පරපුරට ගෙන යන සමාජ උරුමයක්ද වේ.
දුරාතීතයේ දී සබරගමුව පෙරහර පොළ පැවැතියේ දික් වීදි හෙවත් ප‍්‍රධාන වීදි දෙකෙන් එකක මග දෙපසය. පොල් අතු සෙවිලි කළ සතියක් පුරා පැවැත්වෙන එම කඩ පොළ දෙව්ලොවක්ම විය. නිත්‍ය විදුලි සැපයුමක් නොවූ වකවානුවල ඒ අඩුව පිරිමැහුනේ යෝධ ජෙනරේටර්වලින්. පෙරහර සමයේ එකී ජෙනරේටර්වලින් උත්පාදිත තාවකාලික විදුලිය ඉතා සුළු මුදලකට අවට නිවෙස්වලට ලබාදීමේ සිරිතක් ද 1970 දශකයේ මුල දක්වා පැවතිණි.
සබරගමුවේ පෙරහරට කජු වෙළෙන්දියන් පැමිණියේ දුර බැහැර සියනෑ කොරළයේ සිටය. කජු තොග රැගෙන ලොරි රථවල පැමිණෙන ඔවුහු උයන්වත්ත සමීපයේ නිවෙසක දෙකක ලැගුම් ගනිති.රැුය පුරා පන්දම් එළියෙන් කජු අළෙවි කරන ඔවුන් සැඳෑ කල එළඹෙත්ම කළු ගංගාවේ වැලි තොට හෝ වෙනයම් තොටකින් දිය නා පෙරළා සිය නවාතැන් පොළට ආවේ ඇත්ගමනිනි. ඔවුන්ගේ මුදාහල වරලස් අග රූරා වැටෙන දිය බිඳු නැවුම් චීත්ත පොට තෙත බත් කරයි.
එදා පෙරහරට පැමිණි අලි ඇතුන් බහුතරය සබරගමුවේම වලව් කීපයකට අයත් සතුන්ය. අලි ඇතුන්ගේ අයිතිය වෙළෙඳ කුලයට හිමි නොවූ තිස් වසරකට පෙර එම අලි ඇතුන් හැඳින්වීම සඳහා භාවිත කළ නම් ගොත් උන්ගේ අයිතිය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට ප‍්‍රමාණවත්ය. 1960 දශකයේ සබරගමුව පෙරහරේ ගමන් ගත් අලි ගහණයෙන් බහුතරය මුද්දුව වලව්වට අයත් අලි ඇතුන්ය.
සෙස්සෝ වේරගම, මොලමුරේ, මාකඳුරේ, ඇලපාත, කිරිඇල්ල ආදී විවිධ වලව් හා බැඳි අලි ඇතුන්ය.
සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කළ අලි ඇතුන් මනා කොට සරසා සිටිය ද සෙසු අලි ඇතුන් පෙරහරට එක් වූයේ උපන් ඇඳුමිනි. ඉඳහිට අලියෙකු සුදු රෙදි කඩකින් නලල් පටයක් පමණක් බැඳ පෙරහැරට එක් කරගත් අවස්ථා එමටය.
ඇත්ගොව්වන්ට විධිමත් ඒකාකාර ඇඳුමක් සැපයීම ඇන්ටන් තෙනන්නකෝන් බස්නායක නිලමේ විසින් හඳුන්වා දෙන ලද වැඩපිළිවෙළකි.
ඒ දිනවල පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් අතරින් වේරගම බස්නායක නිලමේට අයත් ගෝඹරයා නමැති අලියා රුව ගුණ තේජසින් ඔහුගේම ස්වාමියාටම සරි වූවෙකි.
ගත පුරා ඉහිරුණු ගෝඹර නිසා ඌ එනමින් හැඳුන්වුවද උගේ අලි උප්පැන්න සහතිකයේ සඳහන් නම ”ලැබුණා” ය. වේරගම වලව්වේ ඇත් පන්තිය හා මිතුරු වූ අසල වනාන්තරයෙන් බට වල් අලි පැංචෙකු නිතර නිතර ඇත් පන්තියට පැමිණ හීලා අලි නැදිමයිලන් සමග එක පතේ කෑමේ පුරුද්දක් විය.
අවසන මේ එකපතේ කෑම සිය කැමැත්තෙන්ම වූ වේරගම වලව්වේ නතර වීමට තරම් දුර දිග ගියෙන් ලැබුණා යන අනුවර්ත නාමයත් සමග අලි පැංචා සිය කැමැත්තෙන්ම වේරගම අලි පන්තියේ සාමාජිකත්වය ලැබීය.
මුද්දුව වලව්වේ කදිරා, රාමා, රාජා, හුරතලා සහ කපුරි එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල දක්වාම සමන් දේවාල පෙරහර විචිත‍්‍රවත් කළ අලි ඇත් සමූහයට අයත් වූහ.
පසුව 1970 දශකයේ මැද වෙළෙඳපොළ ආර්ථිකයත් සමග අලි ඇතුන්ගේ අයිතිය ද වලව්වලින් වෙළෙඳුන්ට මාරුවිය.
අහවල් වලව්වේ ඇතා අලියා වෙනුවට ඒ අනුව අලූත් අලි පරපුරක් සබරගමුවේ පෙරහරේ 1970 දශකයේ මැද භාගයේ පටන් ගමන් කරති.
බැහැරින් පැමිණෙන අලි ඇතුන්ගේ නවාතැන් පොළ වූයේ උයන්වත්ත නමින් හැඳින්වෙන දේවාලයත් කළුගඟත් අතර පිහිටි තැනි බිම්කඩය. ඊට අමතරව පන්තියේ වත්ත නමින් හැඳින්වූ දේවාලය ආසන්නයේ වදුලූ බිම නමින් කියවෙන පරිදිම අලි ඇතුන්ට වෙන් වූ වාසස්ථානයක් විය.
එකල අලි ඇතුන් දියට ගෙන ගියේ උයන්වත්තට මදක් ඔබ්බෙන් කළු ගෙඟ් තොටුපොළටය. නා පිරිසිදු කළ අලි ඇතුන් හැන්දෑ ගොම්මන ලබත්ම දෙවොල් බිමට ගෙන ආවේ දෝරුව නමින් හැඳින්වූ පටු මංකඩක් ඔස්සේය. වැසි දිනවලට දෝරුව එකම මඩ ගොහොරුවක් බවට පත්වේ. දෝරුව දෙපස උස් ඉවුරු නයි හබරල ගාල්වලින් පිරී පැවතිනි.
ගෝඹරයා හෙවත් ලැබුණා හැටේ දශකයේ මහ සමන් දේවාලයේ පෙරහරේ බස්නායක නිලමේට පමණක් දෙවැනි එසේත් නැතිනම් සම කථානායකයාය.
අතිශය ප‍්‍රතාපවත් චණ්ඩ එම දැවැන්තයා භාරව කටයුතු කළේ කට්ටඩි නමින් හැඳින්වූ ඉතා කුඩා කයක් සහිත වැඩිහිටි ඇත්ගොව්වෙකි. වේරගම ඇත් පන්තියේ ගෝඹරයාට වඩා වැඩිමහල් එමෙන්ම උස් මහත් තවත් අලියෙකු විය.
එහෙත් පුදුමය ඌ කිසිවිටකත් සිය මලයා වූ ගෝඹරයාට ඉදිරියෙන් පෙරහැරේ ගමන් නොකිරීමය. මේ චණ්ඩි අලි මල්ලි තමාට පහර දේ යැයි බියෙන් ඇකිලි ඇකිලි මේ අලි අයියණ්ඩි පියවර මාරු කරන විලාශය එකල කුඩා අපට අපූරු අත්දැකීමක් විය.
ඒ දිනවල අල්ලිසා, සාදිරිස්, සියනේරිස්, සරණපාල, සිරිසේන වැනි නම ගිය අලි ඇත්ගොව්වන් තම තමන් බලා ගන්නා අලි ඇතුන් පිටුපස උල් හෙණ්ඩු අතැතිව ගමන් කළේ රාජකාරිය සහ දේවකාරිය ඉක්මවාලූ භාරඳූර අලි කාරිය පිළිබඳ ගාම්භීර හැඟුම් දනවමනි. තැන නොතැන නොබලා අමු කුණුහරුපයෙන් එකිනෙකාට බැණ වදින ඔවුන් හුණුවල  ඕපනායක වැනි රාජකාරි ගම්වලින් ගෙනවිත් වාහල්කඩ ඉදිරියේ ගොඩ ගසා තිබුණු වඩා හොඳ කිතුල් කොට තම අලියාට ඇතාට හෝ ඇතින්නට තෝරා ගැනීමට සෙසු ඇත් ගොව්වන් සමග නිරන්තරයෙන් බැණ කියා ගත්හ.
ඔවුන්ගේ ඉඟතුර සඟවා තිබූ උල් පිහිවල හරක් අඟින් නිර්මිත මිට නෙක කැටයමින් සරසලාය.
නිදිපොළේ දැවැන්ත වනයක් සහිත ගල්ගමුවේ රාළහාමිට අයත් අලියාගේ ඇත් ගොව්වා ආරච්චි විය. ඔහු අලියා පිට ගමන් ගත්තේ දෙපා දෙපසට නොදා අලි පිට හරහට දෙපා එක් පසකට දමා ගෙනය. ඒ අතර තුර විටින් විට ඇයි යකෝ යැයි උස් හඬින් පවසන ඔහු අනතුරුව ඊට මද ස්වරයකින් කාක්කෝ යැයි එකිනෙකාට නොගැළපෙන පදවැල් දෙකක් එකට අරමුණයි.
පෙරහර ගෙට ගෙවදීමෙන් පසු එළඹෙන්නේ අලි ඇතුන් දේව වන්දනාවේ නිරත වන අවස්ථාය.
පහන් හැඟුම් දැනවෙන අලි වන්දනාකරුවන්ගේ එම බැතිබර දේව වන්දනාව දැක බලා ගැනීමට දුර බැහැරින් පැමිණි මිනිසුන් පවා ? මැදියම පසුවන තුරු උඩ මළුවේ රැඳී සිටිති.
උඩ මළුව දෙපස මඩම් ලෙස හඳුන්වන පැරණි උස් ගෘහයන් මෙන්ම අඟුල් මඩු දෙකේ ද කල් වේලා ඇතිව දරු පවුල් සමග ගාල් වන බහුතරය බොහෝ දුර බැහැරින් පැමිණි උදවියය.දෙවියන් හමුවේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන අලි ඇතුන්ට ඔවුන් අත්පොළසන් දෙති. ඔවුන්ගේ අත්පොළසන්ද වැඳුමේ තරාතිරමටය. ඇතැම් හිතුවක්කාර අලියෙකු දෙවියන් හමුවේ වුව දණ ගැසුවේ අත්ගොව්වාගෙන් කෝටු පාර හත අටක් කෑමෙන් අනතුරුවය.
ඇසළ සැණකෙළි සමයේ දේවාලයේ හාත්පස ඉදිවන සිය ගණනක් වූ සල්පිල් සබරගමුවේ ලොකුකුඩා සැම සිත් චමත්කාරයෙන් පුරවයි.
එම තාවකාලික කඩ සඳහා බිම් කොටස් වෙන්දේසිය දේවාලය අවට පදිංචි ලොකු කුඩා හැමගේ ජීවිතවලට මොනයම් හෝ ආකාරයෙන් බලපෑම් කළේය.
පොල් අතු සහ උණ බම්බුවලින් ඉදි කළ එදා පෙරහැර පොළ විසිතුරු සිතියමක් මෙනි. කළුවර ලීයෙන් කළ අලි වෙළඳාම් සිදු කෙරුනේ සුදු රෙදි උඩු වියන් බැඳී ආකර්ෂණීය වෙළෙඳ කුටිවලය.
දුර බැහැරින් පැමිණි අයිස්ක‍්‍රීම් අළෙවි රථවල ඒකාකාර හඬ අභිභවා මාරක ළිඳේ ධාවනය වන යතුරු පැදියේ හඬ භීතියත් ශෝකයත් දනවමින් පෙරහර පැවැති දවස් පහ පුරා හතර අත පැතිරේ.
එදා මොරටුවේ සිට පැමණි ලී බඩු වෙළෙන්දෝ කඩ පවත්වාගෙන ගියේ සිංහාසනය ඉදිරිපිට කඩපොළවලය. රවුම්කඩය ලෙස හැඳින්වෙන සිංහාසනය ඉදිරිපිට අර්ධ වක‍්‍රාකාර කඩය සඳහා වසරක් පාසා තියුණු තරගයකි. එම කඩය මිලදී ගැනීම පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනයට ද හේතු වන්නක් විය.
මොරටුව වෙළෙන්දෝ රවුම් කඩයට එදා ඉහළම මිලක් වූහ. අපේ පෙරහරේ ඇතැම් චරිත මෙන්ම යොදා ගැනෙන විවිධ භාණ්ඩ උපකරණවල ද අපූර්වත්වයක් පැවතිනි. කොතනැත් තම්මැට්ටම ලෙසින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය සමන් දේවාලයේදී කුරප්පට්ටුව වේ. අප ළමා වීදියේ කුරප්පට්ටුව වාදනය කළේ හෙන්දිරික් ආතා ලෙසින් හැඳින්වූ නොලස වැඩිහිටියෙකුය.
දේවාලයේ මහ දවුල සහ එය බඩ බැඳගත් රත්තරන් හාමි එකිනෙකාගෙන් වෙන් කර ගැනීමට නොහැකි තරමට පරිපූරක භාණ්ඩ සේය.
සක පිඹීම වස්තුහාමි සිදු කරයි. කකුලේ සුව නොවන වනය පිළිබඳ නිතර අවධානයෙන් එය කඩාලන වස්තුහාමි සක පිඹීමට අදාළව එදා කුඩා අපට ඵුස්සදේව යෝධයාටත් වඩා දැවැන්ත චරිතයකි.
සමන් දේවාල පෙරහරේ වැයෙන එකම එක බටහිර වාද්‍ය භාණ්ඩයක් ද වේ. දුරාතීතයේ පටන් පෙරහරේ වැයෙන ට‍්‍රම්පට් පවුලට අයත් එම නළාවට සබරගමුව දේවාලයේ දී බුරම්පේත්තුව යන අපූරු නම පටබැඳිනි.
පොඩි සිංඤෝ, පුුන් සිංඤෝ, ඒබරන් යන එකම පවුලේ සොයුරන් තිදෙනෙකු බුරම්පේත්තුවේ වාදකයෝ වූහ. සෑම රැයකම පෙරහර අවසන් වීම හැඳින්වූයේ ගෙට ගෙවදීම ලෙසිනි.
පඬුරු පිදීම පඬුල්ලෑම විය. පඬුරු සෝදා ගැනීමට බැතිමතුන් දේවාලය පිටුපස ගල් තොටට බසිති. ගල්තොටින් මදක් ඔබ්බෙන් වලව්තොටය. බස්නායක නිලමේවරුන්ගේ නිල නිවහන වූ වලව්ව ඉදිරිපිට පිහිටීම නිසා එය එසේ නම් කළා විය හැක.
පෙරහර පටන් ගැනීමට හෝරා කීපයකට පෙර වලව්ව ඉදිරිපිට කුඩා බිම්කඩ සැඳෑ රඟ මඩළක සිරි ගනියි. නන් දෙසින් පැමිණි නමගිය කලාකරුවන් කරනම් කස්තිරම් මාලක්කම් ගසමින් සිය ඉහළම කුසලතා දක්වන අතර බස්නායක නිලමේ ඇතුළු අවශේෂ ප‍්‍රභූ ජනයා සුව පහසු අසුන්වල සිට ඒවා නරඹති.
කකුල් කෙඩෙත්තුව ඉවසිය හැකි හුදී ජනයාටද අද මෙන් එදත් එම රැුඟුම් විවෘතව තිබුණි. එදා දුර බැහැරින් පැමිණි කලාකරුවන් අතර නිත්තවෙල ගුණයා වැනි මහා කලාකරුවන් සිටි බව අප දැනගත්තේ ඊට දශක ගණනාවකට පසුවය.
දිය කැපීමේ පෙරහර අති ශෝචනීය අත්දැකීමකි. සැණකෙළියක නිමාවත් සමග පෑරුණු සිත් කම්පා දිය කපන දා සබරගමු පෙරහර නරඹන කාගේත් වතක නෙතක කැටයම් වෙයි. දිය කැපීමේ පෙරහර දොවොලින් නික්ම යන්නේ කපුටා හැඬීමටත් පෙර හිමිදිරි පාන්දරය. පානදුර රත්නපුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කර කොටඅඹේගාවා තොටුපළින් කළුගඟ ඉහත්තාවට ගෙඟ් පෙරහර ආරම්භ වේ.
පෙරහර ආපසු ගොඩ වන්නේද මෙම තොටුපොළටමය. එතැන් සිට පෙරහර අව් කූටකයේ ගිනියම් වූ තාර පාරේ ගමන් කරයි. විඩා බර අලි ඇතුන්ගේ දෑස්වලින් කඳුළු කැට වෑහේ. දින ගණනාවක් නෙතු පුරා නින්දක් හෝ ගතට සරිලන දිය කෙලූමකට ඔවුනට ඉඩක් තිබුණේ නැත. කොහොමටත් උෂ්ණාධික සතුන් වූ අලි ඇතුන් මේ නිසාම පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. උන්ගේ ඇස් තෙමා ගලන කඳුළු එවන් කායික පීඩාවක ප‍්‍රතිඵල ලෙස විශ්වාස කිරීමට මිනිසුන් අකමැතිය. ඔවුන්ට අනුව ඒ කඳුලූ පෙරහර අවසන් වූ ශෝකය දරා ගත නොහැකිව හෙළන දුක් කඳුලූය.
දිය කැපීමේ කටයුතු කළු ගඟ ඉහත්තාවේ රත්මල්ඇල්ල ප‍්‍රදේශයේ සිදු කෙරේ. එහෙත් ගඟ දිය වැඩි වීම නිසා හෝ ඔරු අඟුල් ගමන් කිරීමට තරම් ගඟ දිය ප‍්‍රමාණවත් නැති නිසා හෝ දිය කැපීමට භාවිත කරන විකල්ප ස්ථානයක්ද සමන් දේවාලය ආසන්නයේම පිහිටියේය.
දිය කැපූ පෙරහර ගෙට ගෙවදීමෙන් අනතුරුව දේවාභරණ වැඩමවූ හස්තියා පෙරහර පොළේ කඩපිලෙන් කඩපිලට සම්මාදමේ යෑමේ සිරිතක්ද පැවතිනි. දේව කාරිය සිදු කළ හස්තියාට කඩ හිමියෝ උක් දණ්ඩක්, කෙසෙල් ඇවරියක්, අන්නාසි ගෙඩියක් දෙති. ඔවුන් ඇත් ගොව්වන් අත කිසියම් මුදලක් මෙලවීමට ද යුහුසුළු වෙති.
තිස් හතළිස් වසරකට පෙර දිය කැපීමේ චාරිත‍්‍රය නිමා වීමත් සමග සබරගමුව සමන් දේවාල භූමියේ ඇසළ සිරිය සෝදා ගියාක් මෙන් අතුරුදන් වේ.
පෙරහර නිමවා තවත් දින කීපයක් කඩපිල් පවත්වාගෙන යාම ආරම්භ වූයේ 1970 දශකය මැද වෙළෙඳ පොළ ආර්ථිකයත් සමගය. එහෙත් දුරාතීතයේ පෙරහර අවසන් වී ගරායක් නැටුම පටන්ගන්නා ? මැදියම වන විට දෙවොලෙ හාත්පස අමු සොහොනක් බවට පාළුවට ගොසිනි. ආපසු ගම් රට බලා යන වෙළෙන්දෝ කුඩා ලොරි පොඩිවලට බඩු පටවති. අවසන් තත්ත්පරයේ පුටුවක් මේසයක් මිලට ගැනීමට ඒ අතර මොරටුවකු සමග කේවල් කරන්නෙකුගේ හඬ ද ඇසේ.
මේ මහා සැණකෙළිය අවසන් වූවා නොවේද යන තැවුල සිතට වද දෙමින් නෙතට කඳුළු පිරවීමට වෙර දරයි. සිරිත් පරිදි සුපුරුදු රාත‍්‍රී තේවාව ඇසේ. දුර බැහැරින් ආ නැට්ටුවන් බෙරකරුවන් දැන් ඔවුන්ගේම ගම රටවලට ගොසින්ය. ඉතින් ඉතිරි තුන්සිය හැට හතර දවසටම දේවාලයේ ඉතිරි වන්නේ රත්තරන් ආතා, හෙන්දිරික් ආතා, වස්තුහාමි සහ හුරතල්හාමි වැනි වැඩිහිටියන් අතළොස්සක් පමණය. තේවාවේ හඬ සමග මහ දවුල වයන බඩ රත්තරන් හාමිගේ රකුස් පෙනුම සිහිපත් වේ.
කුරප්පට්ටුව හඬවන හෙන්දිරික් ආතාගේ බැල්ම ගුප්තය. කකුලේ වනය කසමින් හක්ගෙඩිය පිඹින වස්තුහාමි එසක් හඬ පොත්ගුල් කඳුවැටියේ හැපී නිම්නාද වන ආකාරය තුමූම විඳ ගනී.
මේ නාද නිමාව අපට තවත් පණිවිඩයක් ද ගෙන එයි. එනම් හෙට සිට පාසල් යළි පටන්ගන්නා අහිමිරි පුවතයි. එහෙත් දේවාභරණ වැඩමවූ හස්තියා සඳහා ගරා යක් නැටුම තවම පටන් ගෙන නැත. පෙරහරේ තවත් යමක් තවමත් අවසන්ව නැතැයි යන තාවකාලික අස්වැසිල්ල කුඩා අපට එදා ලොකු බලාපොරොත්තු ඇති කළ තවත් හෝරාවක් විය.
2011 සැප්තැම්බර් මස 11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 සබරගමුව මහ සමන් දේවාලය

කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම

අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන් තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්‍ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ.
ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක‍්‍රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්‍ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරයේ සිට අපි අද ඔබ මුණ ගැසෙමු.
කොළඹxරත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් මේ පෞරාණික විහාරය පිහිටා තිබේ. මෙහි විහාර ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි. කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය. එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන් කර තිබේ.
කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්‍ෂක පින් බිමක්ය යන හැඟීමයි.
කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්‍ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්‍ෂා කරන්නට සිදු විය.
වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන් විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්, රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ කළේ ජයවීර නම් අධිපතියෙකි.
ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින්   ”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ සිංහල බෞද්ධ ප‍්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය.
මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්‍ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත‍්‍රියේ නිදි සිටිය දී සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ,
”කෝට්ටේ කළාලේ කිසිල්ලේ x දත මැද ගන්න රාළේ” යනුවෙන් පැවසීමය. මෙහි අදහස තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය.
මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේ ආරක්‍ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්‍ෂා කළේය.
දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්‍ෂාවක්, සිරියක්, කාලයේ හැටියට මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්‍ෂාව සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත‍්‍රිම දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ කර ඇති බවත් කියැවේ.
එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ.
තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප‍්‍රසාදය පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්‍ෂූන් වහන්සේලා කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය.
මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ ප‍්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක‍්‍රියා කලාපයක නිතර වුවත් කිසි කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය.
මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය ද මැඩ උඩරට ද ජයගෙන ක‍්‍රිස්තියානි නම, ක‍්‍රිස්තියානි ආගම වෙනස් කොට බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය. ඔහු ශ‍්‍රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත් ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින් තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය.
මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර 43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්‍ෂිතව එදා පැවැති මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය.
එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ.
මේ ඉපැරණි විහාරය පිළිබඳව තොරතුරු සිංහල සංදේශාවලියේ අවසාන වැදගත් සංදේශය වන සැවුල් සන්දේශයේ ද දක්නා ලැබේ. ලංකා රාජ්‍යයත්, බුදු සසුනත් රැුක දෙන ලෙස ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලා සැවුලකු අත සීතාවක සිට රත්නපුර මහ සමන් දේවාලයට යන මේ සංදේශයේ දෙල්ගමුව විහාරය පිළිබඳව ද ලියා තිබේ. මෙහි කතුවරයා අගලියවන්න මුකවෙටිතුමාය. එහි තැනෙක මෙසේ සඳහන් වෙයි:
”උදුලිය සඳකිරණ මිහිපිට හුණු     ලෙසට
සුදු වැලි අතුල වැලි මළුවෙහි        සැදිසුමට
රුදුනත දරණ යුරු පවුරෙනි යුතු    සුමට
වදුම මිතුරු දෙල්ගමුව වෙහෙර     ලැගුමට”
කෝට්ටේ යුගයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් වනගත වූ මේ පෙදෙසට වැඩම කළ කොළඹ සද්ධාතිස්ස හිමියෝ මේ විහාරයේ පැරණි ශ්‍රී විභූතිය ඇතිව යළි ගොඩ නගන්්නට උනන්දු වූහ. අද වන විට දෙල්ගමුව රජමහා විහාරාධිපතිව වැඩ සිටින්නේ ශාස්ත‍්‍රපති මාහල්ලේ විපුලතිස්ස නාහිමියන්ය. මේ ලිපිය සකස් කිරීමේ දී උන්වහන්සේ සහ පොඩි හාමුදුරුවන් දැක්වූ සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
2011 අගෝස්තු මස 11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පුරාණ හත්ථිකුච්චි විහාරය

රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත.
කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.
ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.
දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.
දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.
''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.
ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි.
මෙම සියළු කරුණු සළකා බැලූ විට සිරිසගබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි විහාරය හෙවත් අතීත රාජාංගනය බව පැහැදිලි යැයි පුරාවිද්‍යාඥ මතයකි.
2011 ජූලි මස 27 ලංකාදීප | සජිව විජේවීර
 බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිස`ගබෝ රජුගේ යැයි කියති
 බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිසගබෝ රජුගේ යැයි කියති
 ලෙන් විහාරයෙහි ඇතුලත පිහිටා ඇති මහනුවර යුගයේ සැතපෙන පිළිමය තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
 තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
 උපෝස්ථාගරය
 හිරු සඳු නොදුටු පොකුණ මෙයට කිසිදා හිරුගේ හෝ සඳුගේ ඡායාව වැටෙන්නේ නැත.
 සිරිස`ගබෝ රජතුමා හිස දන්දුන් බව කියන ස්ථානයයට රජු සිහිවීම පිණිස තැනූ දාගැබ පෙනෙන අයුරු
 හිස දන්දුන් ස්ථානය
 පිළිමගෙයක නටඹුන්
 තවත් ගොඩනැගිල්ලක නටඹුන්
 සිරිසගබෝ රජතුමා සිහිවීම පිණිස ඉදිකළ වටදාගෙයක් සහිත දාගැබ
මෙම බෝධිඝරය පිහිටි ස්ථානයේ සිරිසගබෝ රජතුමාගේ දේහය මිහිදන් කැර ඇතැයි කියති. පසෙකින් චෛත්‍යය පිහිටා ඇත.

දෙමටමල් වෙහෙර

ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත.
බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම විහාරස්ථානය ලෙස සැළැකෙන මෙම විහාරස්ථානය කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජු විසින් කරවන ලද ගමිට්ඨවාලී විහාරයැයිද පුරාවිද්‍යාඥයෝ පවසති.
එහෙත් කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ දෙටු සොහොයුරු මහානාග යුවරජු රුහුණට පැමිණ මෙම විහාරය කරවන ලද බවත් දෙටුමල් වෙහෙර පසු කලෙක දෙමටමල් වෙහෙර වූ බවටත් මතයක් ඇත. එමෙන්ම දුටු ගැමුණු කුමරුන් තම මළනුවන් දුටු ස්ථානය වූයෙන් දුටු මල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාය යන්නද එක් මතයකි.
ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් වන මෙම විහාර සංකීර්ණය දාගැබ, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාගාරය හා සම්මන්ත‍්‍රණ ශාලාව යන පංචාවාසයන්ගෙන් සමන්විතව ගොඩනගා තිබී ඇත. කළක් වනගහණයෙන් වැසී තිබූ විහාරය 1974 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත.
2011 ජූලි මස 20 ලංකාදීප | සජිව විජේවීර
 දෙමටමල් විහාරය
 දෙමටමල් විහාරයේ පැරණි චෛත්‍යය
 විහාරයේ බුදුමැදුර ඉදිරියේ ඇති පැරණි සඳකඩ පහණ සහ මුරගල්
 පැරණි බෝධිඝරයක්
 නටඹුන් වූ පැරණි ගොඩනැගිලි
 ඉතා දුර්ලභ මුරගලක්. මෙහි කාන්තා රූපයක්ද ඇත.
විශාල ප‍්‍රමාණයේ බෝසත් රුවක බිදී ගිය හිස කොටස

දඹුල්ල

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633)  සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය.
මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.
එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
2011 ජූලි මස 20 ලංකාදීප | සජිව විජේවීර
 නව විහාර මන්දිරය හා විශාල බුදු පිළිමය
 සෙල්ලිපියක්

 බුදු පිළිමයක්
 බිතු සිතුවම් කිහිපයක්
 සිතුවමට නගා ඇති බුද්ධ රූපයක්
 එළාර දුටුගැමුණු සටන දැක්වෙන සිතුවමේ කොටසක්
  හිඳි පිළිම සමූහයකින් කොටසක්  
 හිඳි පිළිම 
 හිඳි පිළිම 
 කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිලිරුව
 මහනුවර යුගයේ තොරණක් සහිත හිඳි පිළිමයක්
 බිතු සිතුවම් විනාශ වෙමින් ඇති ආකාරය
 ලෙන මධ්‍යයේ පිහිටි කුඩා දාගැබ
 අතීතයේ දඹුලූ විහාරය දිස්වූ ආකාරය
 පැරණි ඡායාරූපයක්
 දඹුලූ විහාරය නවීන සංරක්ෂණ කටයුතු වලට පෙර
 පළමු ගුහාවේ ඇති සැතපෙන පිළිමය
 හිටි පිළිම සමූහය අතරින් කොටසක්.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිරුව