උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

නීලගිරි සෑය ‘මහානාග’ ගේද? ‘භාතිකාභය තිස්ස’ ගේද?

  • සත්‍ය අසා දැන ගන්නට මෙහි සිටි ‘උත්තුංග වනස්පතිවරු’ අද කොහිද
එළඹෙන සෑම හිමිදිරියක්ම, පුරාවිද්‍යා වාඩියට බෙහෙවින් කලබලය. පිරිසක් කුස්සියට වැද ආහාර පිසිති. තවත් පිරිසක් කැණීම් භූමියට ගෙන යන ආයුධ-උපකරණ සූදානම් කරති. දවසේ වැඩ ‍ලේඛනය පෙරළා ගෙන නම් ලකුණු කිරීමත් මේ අතර සිදුවෙයි. උදේ හය හමාර පමණ වන විට, මුළු වාඩියම නොසන්සුන්කමින් පීරී යන්නේ ය. කැණීම් වැඩට ලාහුගල ගමෙන් බඳවා ගත් පිරිස හැඩ ඔය තරණය කරමින් වාඩියට එක්රැස් වීම, ඊට හේතුවයි. ඔවුන් එහි එන්නේ බත් ගෙඩි දෙකක් ද බැඳ ගෙන ය. ඉන් එකක් වාඩියේ දීම අනුභව කරති. අනෙක, දවාලට ය.
හැඩ ඔය සැර පරුෂ වන්නට පෙර මෙගොඩට (වාඩියට) කොටුවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටාටා කැබ් රථය, දැන් කාට කාටත් මහාර්ඝ සම්පතකි. කවදාක හෝ ගඟ බසින තුරු එය මිනිස් වාසයකට ගෙන යන්නට පුළුවන්කමක් නැත. එබැවින් වාඩියේ සිට නීලගිරි සෑ මළුවට කැණීම් කණ්ඩායම ප්‍රවාහනය කිරීම එයට පැවරී තිබේ. එහි රියදුරු වන ඩබ්ලිව්. ඊ. එම්. උපාලි මහතාට, දැන් මහ වනය මැදින්, අලි මංකඩවල් පසු කරමින් රිය පැද වීම හොඳට හුරු පුරුදු ය. කැණීම් භූමිය පිහිටියේ, වාඩියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරිනි. උදේ කාලයට ඒ අතරතුර නිතරම පාහේ වන අලි ගැවසෙති. 
‘දවසක් අපි දවල්ට කන්න ඇවිත් ඔන්න ආපහු සෑයට යනවා. පාරේ එක වංගුවක් අයිනේ අලියෙක්. වංගුව හින්දා ඔහොම-මෙහෙම ළඟට එනකල් ඌව දැක්කේ නෑ. දැන් වාහනේ නවත්වන්නත් බෑ. ආපු වේගෙන්ම අනිත් පැත්තට කපලා අපි ගියා. තව ඩිංගෙන් ඌ අපට ගහනවා’, උපාලි සිය කැලෑ අත්දැකීම් මුවට නංවන්නේ, අසන අය තුළ යම් භීතියක් ද ඇති කරවමිනි.
සාමාන්‍යයෙන්, උදේ හත හමාර වන විට කැණීමට යන සියල්ලන්ම නීලගිරි සෑය පාමුල ය. ඉක්බිතිව ඔවුහු වැඩ පටන් ගනිති. කැණීම් භූමියෙහි ෙදෙනිකව 40 කට අධික පිරිසක් සේවයෙහි යෙදෙති. ‘උදේ පාන්දරම, මම වාඩියේ ඉඳලා ට්‍රිප් දෙකක් විතර ගහනවා’, උපාලි කියන්නේ ය.
පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීලගිරි සෑයේ කැණීම් කරන්නට පැමිණියේ 2011 වසරේ ජූලි මාසයේ ය. ඒ, ඊට පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා නීලගිරියට පැමිණ කළ ගවේෂණයෙන් පසුව ය. නීලගිරි සෑය පර්යේෂණ කැණීම් ව්‍යාපෘතියෙහි ස්ථාන භාර නිලධාරියා වශයෙන් පත් කෙරුණු සම්පත් ගුරුසිංහ මහතා, මුලින්ම එහි පැමිණියේ තනිවම ය. 
‘මං මුලින්ම තනිවම ලාහුගලට ආවා. ඊට පස්සේ ලාහුගලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩට සම්බන්ධ වෙලා ඉන්න පද්ම ශාන්ත (ප්‍රාදේශීය සභා මන්ත්‍රී) මහතාත් සමග, ගඟෙන් එතෙර වෙලා පයින්ම නීලගිරියට ආවා. කැණීම් වැඩ පටන් ගන්නේ කොහොම ද?, වාඩිය ගහන්නේ කොහේ ද?, වගේ තොරතුරු මුලින්ම සොයලා බැලුවා. නීලගිරි සෑය ළඟ බොන්නවත් වතුර ටිකක් නෑ. ඉතින් එතැන වාඩියක් ගහන්න බෑ.  පස්සේ අපි මෙතැන ගඟ ඉවුරේ උස තැනක් තෝරා ගෙන වාඩිය ගහන්න තීරණය කළා. මම මුලින්ම එන කොට සෑය වටේටම කැලෑව. අපි ඒවා එළි-පෙහෙළි කරලයි වැඩ පටන් ගත්තේ’, සම්පත් කියයි.
ඉන් පසුව, දකුණු පළාත් පුරාවිද්‍යා ගබඩාවෙන් ලබා ගත් යකඩ බට, ආදිය යොදා, හැඩ ඔය ඉවුරේ වනය මැද වාඩිය ඉදි කෙරුණි. එය ටකරන් වාඩියකි. එහි ඇතුළත ඇත්තේ, බූරු ඇඳන් ය. ලාහුගල ගමට නම් විදුලිය තිබේ. නීලගිරි සෑය ඉසව්වට ඒ පහසුකම් නැත. එබැවින් පුරාවිද්‍යා වාඩියේ රාත්‍රී ආලෝකය පැටේ‍රා්මැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් ය. ඉකුත් පෙබරවාරි මාසයේ පමණ වාඩියේ අයට හරි ඇබැද්දියක් සිදු විය. ඒ, එක් වැහිබර රාත්‍රියක උන් හිටි ගමන් හැඩ ඔය පිටාර ගලා, පුරාවිද්‍යා වාඩිය සහ අවට භූමිය ජලයෙන් යට වීමයි. එදා වාඩිය ඇතුළේ ද අඩි දෙකක් පමණ උසට පිටාර වතුර ය. වාඩියේ ඇත්තෝ, එහි තිබුණු යකඩ බට දමා මැස්සක් සාදා ගෙන, සීතලෙන් හැහෙමින්, මදුරුවන් තලමින් රැය පහන් කළහ. ඉක්බිති ජලය බැස යන තුරු දින කීපයක්ම කැණීම් නතර කිරීමට සිදු විය.
එළඹුණු හිමිදිරිය වන සියොතුන්ගේ කූජනයෙන් ඇළලී ගොසිනි. අපේ මාතලී බණ්ඩාර උදේ පාන්දරින්ම කඹයේ එල්ලී හැඩ ඔයෙන් එතෙරව, එගොඩ ඉවුරේ ගාල්කර තිබුණු වෑන් රථය බලා ආවේ ය. රාත්‍රියේ වන අලි සැරිසැරූ බවට අඩි සලකුණු ඔය ඉවුරේ දක්නට ලැබිණි. ‘මෙතැනත් අලි මංකඩක්. රෑට වල් අලි මෙතැනින් ගඟට බහිනවා. ඒත් අපි ආවාට පස්සේ උන් මීට එහායින් ගඟට බහින්නෙ’, වාඩියේ අයෙක් අප හා පැවසී ය.
හැඩ ඔය දෙපස සරුවට වැවී ඇති ළපටි තණ පත් හා ළදළු, වන අලින්ට නම් රසැති ආහාර ය. එහෙත් මිනිස් වාසයක් නැති, මහ වන මැද තැනූ වාඩියක වෙසෙන මිනිසුන්ට රස මසවුළු කොයින් ද? ඒ කාරණය කෙසේ වුවත්, වාඩියේ හැදෙන ආහාර දිව බොජුන් බඳු ය. එදා උදේ අපි ඒ අත්දැකීම ලැබුවෙමු. ් වන මැද දී නම්, ආහාර පිළිබඳ කාරණාව තරමක් බැරෑරුම් ය.
‘ක්‍රිෂ්ණ, අපි උදෙන්ම ගිහිල්ලා ආපහු එනකොට දවල් දෙක වත් පනී. වාඩියට ඇවිල්ලා දවල්ට කමු. එතකල් ගමන් බඩගින්නට පාන් අරන් යමු’, සම්පත්  යෝජනා කළේ ය.
පෙරදා දහවල් කවුදෝ ගෙනා පාන් ගෙඩි කිහිපයක් ගමනට සූදානම් කෙරිණි. අපි ඔවුන් සමග උදේ ආහාරය ගතිමු. කැකුළු හා‍ලේ බතට, හාල්මැස්සන් මුසු අල කිරි හොද්දකින් ද, කට්ට සම්බලයකින් ද, පුරාවිද්‍යා වාඩියේ ප්‍රණීත උදේ ආහාරය සමන්විතව තිබිණි. ප්‍රථමයෙන්ම නීලගිරි සෑය කැණීම් භූමියටත්, ඉන් පසුව වන මැදින් ගොස් නීලගිරි කන්දේ ගල් ලෙන් නිරීක්ෂණයත් අපේ ගමනේ ඉලක්කය විය.
නීලගිරි සෑයට යාම පිණිස අපට ලැබි තිබුණේ පුරාවිදයා කැබ් රථයේ තෙවැනි ගමන් වාරයයි. පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් වන ආර්. ඒ. ආරියවංශ, සහ රංජන් පුෂ්පකුමාර යන මහත්වරුද අප සමග වූහ. රියදුරු අසුනට අමතරව, රථයේ ඇති එකම අසුනට නිමල් පෙරේරා මහතා නැංවූ අපි, කැබ් රථයේ පසුපසට ගොඩ වීමු. ‘මග දී අලි ඉඳීවි. පරිස්සමෙන්’, පර්යේෂණ සහකාර, පාලිත අත්තනායක මහතා රියදුරු උපාලිට කීවේ ය.
කැබ් රථය දැන්, ඩෝසර්කර හැදූ බොරළු පාර දිගේ වන මැදට ඇදෙයි. වනය මහ අරුම පුදුම ය. එහි රූස්ස ගස් නැත. මිටි පඳුරු සහ කුඩා ගස් කොළන් උදා සුළඟින් නැහැවෙමින් අප දෙස බලා සිටිනු පෙනුණි. වනයේ විසූ රූස්ස වනස්පතිවරු, යුද්ධය පැවති සමයේ අතුරුදන් වූ බව, කැණීම් භූමියට යමින් සිටි ලාහුගල වැසියෙක් රහසින් මෙන් තෙප‍ලේ ය. වනය අතරින් බලන බලන තැන ඇත්තේ, අතීතයෙන් ශේෂ වූ ගල් කණු හෝ වෙනත් ෙශෙලමය නටබුන් ය. ‘මේ පැත්තේ ගල් කොරි කීපයකම නටබුන් තියෙනවා. නීලගිරි සෑය බෞද්ධ ආරාම සංකීර්ණයේ සවි කරන්න, ගල් කණු, සඳකඩ පහන්, මුරගල්, ෙශෙලමය පේසා ආදිය හදලා තියෙන්නේ ඒ ස්ථානවල වෙන්න ඇති’, අවට පරිසරයේ විසිතුරු පෙන්වමින් පාලිත අත්තනායක මහතා කියයි.
කැබ් රථය කමෛන් වනයට ඇදුණ ද, තවම නීලගිරි සෑය නො පෙනෙයි. එහෙත් අතීතයේ පටන්ම, බොහෝ ඈතින් ප්‍රතාපවත්ව නැගී සිටින ‘නීලගිරි කන්ද’ දැන් ඉතා හොඳින් දිස් වෙයි. කන්ද මුදුනේ, හරස් අතට ඉදි කෙරුණු මහා ප්‍රාකාරයක රූපකාය, ඇස ගැටෙන්නේ අඳුරු පැහැ රේඛාවක් පරිද්දෙනි. එය කොතෙක් විශාල ද යත්, කිලෝ මීටර් පහ-හයක් ඈත ලාහුගලට ද දිස්වෙයි. ප්‍රාකාරය කුමක් පිණිස ඉදි කළා ද යන්න තවම කිසිවෙක් නො දනිති.
‘මෙතැන තමයි කොට්ට පැදුරු ගල’, රථය, කොඳු නාරටියක් බඳු ගල් ඇන්දක් නැග, අසීරුවෙන් යන ගමන් කෙනෙක් අපට හඳුන්වා දෙයි. 
‘එතකොට මේක පුරාවිද්‍යා කට්ටිය නිදා ගන්න තැනක් ද?’, අපේ ඡායාරූප ශිල්පී ප්‍රෑන්ක් අසයි. 
‘කොට්ට පැදුරු අරන් මෙහේ ආවොත් ඉතින් වල් අලියි, වලස්සුයි එක්ක තමයි නිදියන්ඩ වෙන්නේ’, තවෙකෙක් හිනැහෙමින් පිළිතුරු දෙයි. නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.
පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 - ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ.  නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.
කැබ් රථය නීලගිරි සෑ මළුවට සේන්දු විය. වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් අප ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. එහි පාමුලට එක් වූ පුරාවිද්‍යා සේවකයෝ යුහුසුළුව කැණීම් කරමින් සිටියහ. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම්  විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. කැණීම් කරන පිරිස දිස් වූයේ කුඩා දරුවන් පරිද්දෙනි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.


2012 මැයි 07 වෙනි සදුදා, ලක්බිම 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි.

ඓතිහසික දීඝවාපී පුදබිම වටා ඉදි කරන්නට ඇතැයි සැළකෙන පරිවාර චෛත්‍යයන්ගෙන් එක් චෛත්‍යයක් මේ සුවිසල් කඳු මුදුන මත පිහිටා ඇතැයි සැළකෙන අතර එකී චෛත්‍ය කාලයාගේ බලපෑමට යටත්ව අද වල් බිහිව නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබේ.
ඓතිහාසික දිගාමඩුල්ලේ අඩ්ඩාලච්චේන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුන්ගේ පාදස්පර්ශය ලද දීඝවාපී මහපන්සල පිහිටා ඇත්තේද මෙකී පරිවාර චෛත්‍යයට සැතපුම් දෙක තුනක් ඈතිනි. දීඝවාපී මහ පන්සල අවට ප‍්‍රදේශයේ පිහිටි පරිවාර චෛත්‍යයක් සහ පුරා වස්තු රැසක් පසුගිය කාලයේ ඩෝසර්වලට අසුවී විනාශවී ගිය අතර එම ප‍්‍රදේශයේ ඉඩකඩම් අබෞද්ධ අසිංහල බලවේග මගින් කොල්ල කා නිවාස පවා තනාගෙන ඇත. මෑත භාගයේ එම ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත වීම නිසා සමහර ක‍්‍රියාකාරකම් අඩපණ විය.
මේ පිළිබඳ අවධානය යොමු කළ උහන සුහදගම සඳනදපුර, 19 තිස්සපුර සුදර්ශනාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, උහන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති විශ්ව කීර්ති ශ්‍රී සමාජ සේවා ශිරෝමනී සාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද මහනාහිමි මෙම පරිවාර චෛත්‍යය ඇතුළත් ඓතිහාසික පින්බිමේ වටිනාකම තේරුම් ගෙන එම භූමිය ඉතා දුෂ්කරව  එළිපෙහෙළි කරගෙන බෞද්ධයන්ගේ චන්දනාමානයට අවශ්‍ය පරිදි ගොඩනගමින් එහි විහාරාධිපතිත්වයද දරමින් කටයුතු කිරීම සැබවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි. සුවිසල් ගල් කන්දක් මත බෞද්ධ නිර්මිත රැසක් මේ වන විටත් එහි ඉදිකර අවසන්ය. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශ ශක්ති දයා ගමගේ මහතා ලංකාව පුරාම චෛත්‍ය සියයක් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇති අතර එහි පළමුවැන්න මේ දීඝවාපී පරිවාර චෛත්‍ය පිහිටි කඳු මුදුනේ ආරම්භ කර තිබේ. මේ වන විටත් එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර මෙහි බොහෝ කටයුතු වලට දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය ලැබී ඇත.
දීඝවාපී මහපන්සලට යන බොහෝ බැතුමත්හු දීඝාවාපී පරිවාර චෛත්‍ය සහිත පින්බිම දැක වැඳ පුදා ගැනීමට අමතක නොකරති. මේ පූජනීය ස්ථානයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන වන්දනා නඩ සඳහා නොමිලේ නවාතැන් දීම සහ නොමිලේ ආහාර පානාදිය ලබාදීමයි. මෙවැනි ස්ථාන ලංකාවේ දුර්ලභය. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මෙවැනි සමාජ සත්කාර්යක් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම ප‍්‍රායෝගිකව අර්ථ ගැන්වීමකි. ”දෙන්න - දෙන්න ලැබෙනවා” තමන් කළ ආනිසංස මෙලොවදීම ඵල දෙනවා”  යන්න ලාංකීය බෞද්ධ සමාජයේ මුල්බැසගත් බෞද්ධ මතයකි. එය සනාථ කරමින් මෙම පරිවාර චෛත්‍යයේ විහාරාධිපති පෝද්දිවෙල චන්දාන්ද හිමියන්ට අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි විය. දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වන්දනාවට පැමිණෙන බොහෝ බෞද්ධ වන්දනා නඩවලට නිරන්තරව මුහුණ දෙන්නට සිදුවන ගැටලූවක් වනුයේ නවාතැන් පහසුකම් සලසා ගැනීමයි. මේ නිසා ඔවුහු අසරණව අතරමංව සිටින කල දීඝවාපී පරිවාර චෛත්‍ය සොයා ඇදෙති. ඒ යන සෑම වන්දනා නඩයකටම තමන්ට හැකි උපරිම අයුරින් නොමිලේ නවාතැන් පහසුකම් පමණක් නොව නොමිලේ ආහාර පානද ලබාදීමට වන්දානන්ද හිමියෝ පියවර ගත්හ.
ඉන් බොහෝ ලෙස සතුටට පත් සමහර වන්දනා නඩ තමන්ට හැකි උපරිම ආකාරයෙන් පන්සලට ආධාර කළෝය. වන්දානන්ද හිමියන් මේ කිසිවක් අපේක්‍ෂා නොකළද, මේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යාමට දිරි දෙනුවස් එලෙස උදව් කළ බව අපට හමු වූ වන්දනා කරුවෝ කීප දෙනෙක්ම පැවසූහ.
පසුගිය සුනාමියෙන් පීඩාවට පත් පාන්ඩිරිප්පුවේ දෙමළ පවුල් සිය ගණනකට සුහදගම පන්සලේ සහ සුදර්ශනාරාමයේ මාස ගණනක් නවාතැන් දුන් චන්දානන්ද හිමියෝ එම කාලය තුළ ඔවුනට අවශ්‍ය ආහාර පාන, බේත් හේත්, ඇඳුම් පැළඳුම් ආදියද නොමසුරුව පරිත්‍යාග කළහ. මේ පිළිබඳ පැහැදුණු බොහෝ දෙනා චන්දනාන්ද හිමියන්ට අනුග‍්‍රහය දැක්වූහ.
මේ ස්වාමින් වහන්සේගේ මෙකී මානුෂික සද්කාරය දෑසින් දුටු සාමය දයාව උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප‍්‍රධානී ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය එම කටයුතු සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළාය. ඉන්පසුව මෙම පරිවාර චෛත්‍ය භූමියේ සංස්කෘතික ශාලාවක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 61ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය පියවර ගත් අතර මේ මුදලින් ඉදිකළ සංස්කෘතික ශාලාව් දයා සරණ දහම් පාසලද පැවැත්වේ.
මෙහි පැමිණෙන බැතිමතුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙන්ම අවට වනයේ වනසතුන්ගේ ප‍්‍රයෝජනය සඳහාද පරිවාර චෛත්‍යයට පිවිසෙන තැන වම් පැත්තේ කුඩා ජලාශයක් ඉදිකර ඇත. විදලමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මේ පින්බිමට විදුලිය ලැබී ඇති අතර වැව සැදීමට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අම්පාර හිටපු දිසාපති, වත්මන් රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය මෙන්ම විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. ඒ හැරුණු විට මෙම පින්බිම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමේදී වන්දානන්ද හිමියන් බරපතළ ගැටලූවලට මුහුණ දුන් අවස්ථා ද ඇත. ඒ එක් අවස්ථාවකදී අමාත්‍ය පී. දයාරත්න මහතා කළ උදව් චන්දානන්ද හිමියෝ මෙන්ම දායකයින්ද කෘතඥතා පූර්වකව සිහිපත් කරති.
නැගෙනහිර පළාතේ තිබිය යුතු මෙවැනි පූජනීය ස්ථාන රැුකගැනීම ඊට දිරිදීම ජාතික යුතුකමක් සේ සළකා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්වීමද සැබවින්ම අගය කළ යුතුය. ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති රංජිත් වීරසූරිය මහතා වෙත ලබාදීමෙන් පසුව මෙහි කඳු මුදුනේ රෝපණය කර ඇති අතර නැගෙනහිරට මුහුණලා ඇති ශාන්තවත් වූ බුදු පිළිමය බුදු දහමේ අනුහස් ලොවට කියාපානු වැනිය.
මෙවැනි ඉපැරණි පුදබිමක් තෝරාගෙන කටු කොහොල් මැදින් ගොස් එය එළි පෙහෙළි කරගෙන දරන ලද උත්හායට සිවිල් ආරක්ෂක බළකායෙන්ද චන්දානන්ද හිමියන්ට ලැබුණේ අගනා සහයකි. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යාත්මික ව්‍යාපෘතිය යටතේ එහි අම්පාර සහ මොනරාගල අණදෙන නිලධාරී කර්නල් තිලකරත්න මහතා මෙවැනි බෞද්ධ වැඩකටයුතු වලදී නිරතුරු සහය පළ කරයි. ඒ අනුව සිය බළඇණියේ දායකත්වය මේ සඳහා ලබාදී තිබීමද පැසසිය යුතුය.
මේ පින් බිමේ ඇරඹුම හා වත්මන් කටයුතු පිළිබඳ අප හා අදහස් පළකළ පෝද්දිවෙල චන්දානන්ද හිමියන්,
මීට වර්ෂ දහයකට දොළහක පෙර මමත් තව භික්ෂූන් වහන්සේලා පිරිසකුත් දීඝවාපි මහ පන්සලට පිටුපසින් තිබූ පල්ලකාඩු කැලෑබද ප‍්‍රදේශයට ගියා. අප ගියේ එහි පුරා වස්තු හා පරිවාර චෛත්‍යය නටබුන් ඩෝසර් කරලා විනාස කරලා තියෙනවා කියලා ලැබුණු ආරංචියට. ඒ ආරංචිය සත්‍යයක් බවට පත් වෙලා තියෙන බව අපි අපේ දෑස් වලින්ම දැක්කා. අපි මේවා ගැන කොච්චරවත් ඉහළට දැනුම් දුන්නත් ඵලක් වුණේ නෑ. එදා සිට තවත් දසවසරකින් පසුව මම එතෙන්ට ගියාම ජල, විදුලි, පහසුකම් සහිත නව නිවාස මාර්ග කුඩා වෙළඳසැල් ආදිය ඉදිවුණු අන්‍යාගමික අර්ධ නගරයක් දැක්කා. මම බොහෝම කම්පාවට පත්වුණා.
ඉතින් මේ පූජනීය ස්ථානයටත් එලෙස සිදුවීමට ඉඩ නොදිය යුතුයි කියලා හිතලයි මෙතැන සංවර්ධනය කිරීම ආරම්භ කළේ. මේ ස්ථානය මට මුලින්ම පෙන්නුවේ දීඝවාපියේ බන්දුල මහතා. මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා මම මේ සෑම තැනකටම එක්කරගෙන ගියා. මේ ගල උඩ නැග්ගම මෙහි ඇති ඓතිහාසික, සමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික වටිනාකම පිළිබඳ මට අවබෝධ වුණා. ඒ එක්කම බන්දුල මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ අපි මෙතන පන්සලක් හදමු කියලා. ඉතින් ඒ අනුව තමයි මම මෙතන වැඩ ආරම්භ කළේ. නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම පක්ෂ විපක්ෂ සියලූම දේශපාලනඥයන් ගම්වැසියන් මේ සඳහා උදව් කළා.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු දීඝවාපි මහ පන්සලටද, අවට ගම් දනව් වලටද රැකවරණයක් ලැබෙන දීඝවාපි පරිවාර චෛත්‍යය ප‍්‍රමුඛ පින්බිම රැකගැනීම සහ ඊට කර උර දීම ඔබ අප සැමගේ යුතුකමකැයි සිතමි. ඊට අනුබල දීමට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් අංක 0773522134 දරන දුරකථන අංකයට කථා කර පෝද්දිවෙල චන්දානන්ද හිමියන්ට හෝ 0632222206 අංකයට කතා කර අම්පාර වත්මන් දිසාපති නීල් ද අල්විස් මහතාට කතාකර විස්තර විමසිය හැක. නවාතැන් පහසුකම් ගන්නට එන අය දින කීපයකට පෙර චන්දානන්ද හිමියන් ඇමතිය යුතුය.
සටහන සහ සේයාරූ  - දිගාමඬුල්ලේ සමන් දිසානායක
2012 අපේ‍්‍රල් මස 02  | ලංකාදීප කර්තෘ මණ්ඩලය





දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර

වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.

කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.
ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරැුණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.
දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.
පුරාවිද්‍යා කැණීම් ඇරඹිණි. හෙමින් සීරුවේ ගොඩගැනුණු අතීතයට අනුව වෙල්ගම් වෙහෙරෙහි නිර්මාතෘ දෙවනපෑතිස් රජු ය. දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් ආරම්භ කළ වෙල්ගම් වෙහෙර බෞද්ධ ජනතාවගේ මුල්ම පුද බිමක්ම විය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ලංකාවට වැඩම කරන්නටත් පෙර පැවති ත‍්‍රිකුණාමලය හෙවත් සිරි ගෝණමල පෙදෙස  බෞද්ධයන්ගේ නිජබිමක්ව තිබී ඇත. මේ අනුව වෙල්ගම් වෙහෙරේ ආරම්භය ක‍්‍රි.ව. පළමු වැනි සියවස බව විශ්වාස කළ හැකිය.
එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.
එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්, විවිධ කැටයම් ආදිය ද විය.
වෙල්ගම් වෙහෙරේ මහා පිළිම ගෙය දෙමළ විහාරයක් බව පෙන්නුම් කරයි. එසේ වීමට හේතුව චෝල අධිරාජයාගේ වෙල්ගම් වෙහෙර කඳවුරේ සේවය කළේ දෙමළ බොද්ධයන් වීමය. ඔවුහු මේ විහාරය ඔවුනගේ ඌරුවට අනුව පිළිසකර කර ගත්තා පමණක් නොව පුද පූජා ද පැවැත්වූහ.
මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවී තිබේ. ඉන් විශාලතම දාගැබ චතුරස‍්‍රයේත් අනෙක් දෙක කඳු වැටිය මතත් පිහිටා ඇත. මේ කඳු වැටියේ තිබෙන දාගැබ් දෙක ඉතාමත් පැරැුණිය. මහ පිළිම ගෙය දෙපස ඇති කුටි දෙකකම බුදු පිළිම තැන්පත් කර තිබිණි. මින් ඇතැම් ඒවා තනා තිබුණේ හුණු ගලිනි. එබැවින් ඒ පිළිම අයත් වන්නේ පස්වැනි සියවසට බව විශ්වාස කෙරේ.
ශෛලමය තාප්පයකින් වටකර ඇති මේ නටබුන් පෙදෙස පුරා සංචාරය කරනවිට හැෙඟන්නේ අප ජීවත්වන්නේ බොහෝ අතීතයක බවය.
ඒ අතීතයේ සැරිසැරූ අපි ඉනික්බිති බෝධි වෘක්ෂය දෙසට ඇවිද ගියෙමු. අනෙකුත් බෝධි වෘක්‍ෂවලට වඩා කුඩා පත‍්‍ර සහිත මේ බෝධිය අපේ හිත්වල ජනිත කරන්නේ අමුත්තකි.
මේ පන්සලේ තිබුණු මුල් බෝධිය 1964 සුළිසුළඟට ඇද වැටුණා. මේ තියෙන්නේ ඊට පස්සෙ රෝපණය කළ බෝගසක්.
වත්මන් විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමියෝ කියති. වෙල්ගම් වෙහෙර කාලයක් අපට තහනම් ප‍්‍රදේශයක්ව තිබිණි. ඒ කොටි සංවිධානය විසින් ස්වකීය පාලනයට මේ පෙදෙස නතුකර ගෙන සිටීම නිසාය වත්මන් නායක හිමියනට පවා ජීවිත තර්ජන එල්ල කළ ඔවුහු පන්සලට මෝටාර් ද ගැසූහ. එවැනි විටෙක පන්සල රකින්නට පැමිණි සෙබළ මුලක්ම ඝාතනය කරනු ලැබිණි. ඒ අතීතයේ සටහන් ඡායාරූප හා පුවත්පත් වාර්තා රැසක් අපට දැකබලා ගනු පිණිස බිත්තියක එල්ලා තිබේ. ඒ ඛේදවාචකය සිදුවූයේ 2000 ජුනි 30 වැනිදාය. ඒ සිද්ධිය එදා "ලංකාදීප”ය වාර්තා කළේ මේ අයුරිනි.
-විල්ගම් වෙහෙර ගමට කොටි මෝටාර් ගසති. පන්සල් වත්තට වැටුණු බෝම්බයෙන් විහාරාධිපති හිමිට බරපතල තුවාල ගම්වැසියෝ හතරක් නසිති”
මේ තියෙන්නේ ඒ තුවාල තමා
වෙල්ගම් වෙහෙර නායක හාමුදුරුවෝ එදා සිදුවූ බරපතළ තුවාලවල සුව වූ කැළැල් අපට පෙන්වති. එහෙත් මේ කොටි තර්ජනවලට බියපත්ව වෙල්ගම් වෙහෙර හැරදා යන්නට නායක හිමියන් සිතුවේවත් නැත. හමුදාවේ රණවිරුවන්ගේ ඇල්ම බැල්ම මැද ඒ හිමියෝ වෙල්ගම් වෙහෙරෙම රැඳී සිටිමින් අපේ නැගෙනහිර බෞද්ධ උරුමය රැක බලා ගත්තෝය.
දැන් යළිත් වතාවක් වෙල්ගම් වෙහෙරේ බෞද්ධ පුබුදුවක් සිදු වෙමින් පවතී. දැන් සමාධි බුදුරුවක් ද ඉදිවෙමින් තිබේ. මේ ප‍්‍රබෝධය සිත් පහන් කරලන බව ද කිව යුතුමය.
සටහන - ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 අපේ‍්‍රල් මස 08 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





සෙල් ලිපි
ලංකාදීප පාඨකයකුගේ අදහස්
Kenath 2012-04-13 22:26:45
දෙමල බෞද්ධයා යන්න ඉතා මෑතකදී ඇතිවෙමින් පවතින මතයකි. එයට තම පුරාවිද්‍යාත්මක පදනමක් නැත.
මෙම මතය නිසා අද උතුරු නැගෙනහිර පවතින ඉපැරණි නටබුන් මේ දෙමල බෞද්ධයා ගොඩනගපු ඒවා බවට දෙවැනි මතයකුත් එයි.
එම මතය සමග එම ප්‍රදේශවල ඇති සිංහල බෞද්ධ නිජබිම් යථාර්තය යටවී දෙමල නිජබිම් බවට පිළිගැනීමක් සිංහලයා විසින්ම ඇතිකර ගැනීමට සිදු වේ.
මෙය ඊලමට බෞද්ධ පදනමක් දෙන අපේ සිංහල බෞද්ධ පදනම පාවාදෙන මතයකි. යථාර්තය නම්, දෙමල බෞද්ධයකු සිටියේ නැත. මේවා අපේ මුතුන් මිත්තන් ගොඩනගපු පුරාණ පුදබිම්ය.
දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා වල් වැදී විනාශ විය, දෙමළ ආක්‍රමණිකයන් ඒවා විනාශ කළේය. ඒවා මත ඔවුන්ගේ කෝවිල් ඉදිකළහ. කලාතුරකින් හමුවෙන දෙමල සෙල් ලිපියක් නිසා නිජබිම් ඔප්පු ලිවිය යුතු නැත.
වැඩ වටින්නේ දෙමල සෙල් ලිපියක් හමුවීම නොවේ. එහි ලියා ඇත්තේ කුමක්ද හා එහි කාල වකවනුයි. බොහෝ දෙමල සෙල් ලිපි සිංහල පාලකයන් විසින් එම ප්‍රෙදේශ වල සිටි දෙමල අයට කියවීමට ලියපු දේවල් මිසක් දෙමල අය බෞද්ධ කමට ලියපු දේවල් නොවේ. දෙමල බෞද්ධයං සිටියානම් අද කෝ දෙමල අයට බෞද්ධ පදනමක්. දෙමල අය සියල්ලෝම හින්දු හෝ කතෝලිකය. සිංහල ප්‍රෙද්ශවල ශතවර්ෂ ගණනක් සිටියද දෙමල අය බෞද්ධයං වී නොමැත. එහෙව් එකේ දෙමල බහුතර පැති වල දෙමල අය විශාල වශයෙන් බෞද්ධ උනායයි කීම විහිළුවක්. දෙමල සංස්කෘතිය හින්දු ඇදහිලි වලට ගහට පොත්ත මෙන් ඇලී ඇත. හින්දු බවින් මෙපිට දමල සංස්කෘතිමය පැවැත්මක් අදත් නැත එදත් නැත. හරියට බෞද්ධ කම ගිලිහුන තැන සිංහල කම නැති වෙනවා වගේ. දෙමල අයට බෞද්ධ ලේබලය ගැහුවම අපේ ප්‍රශ්නේ විසදෙනවායැයි සිතීම විහිළුවක් වෙනවා විතරක් නොව පුරණ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට පහර ගැසීමකි. 
මහාවංශයෙවත් නැති ඒවා තමයි දැන් මිනිස්සු හොයා ගන්නේ!

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.
කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.
උණුවතුර ළිං පුරාවිද්‍යාවට අයත්වන්නේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නකාරී විය හැකිය. හේතුව මෙතැන භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් තිබීමය. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම තිබේ.
රජමහා වෙහෙර ගැන කියන්නට කලින් අපි උණුවතුර ළිං බලන්නට යායුත්තෙමු. ප‍්‍රවේශපත‍්‍ර කවුළුව ආසන්නයේ ඇත්තේ අපූරු වෘක්ෂයකි. එය ගස් පහක එකතුවකින් සැදුණු අපූරු වෘක්ෂයකි. ඇහැටු, බෝ, නුග, සියඹලා සහ පලූ යන ගස් සියල්ලම එක ගුලියට හැදී වැඞී ඇත්තේ එක ගසක් පරිද්දෙනි. මෙම ගස පාමුල තබා ඇති බුදු පිළිමයට වඳින මිනිස්සු උණුවතුර ළිං කරා යති. චර්ම රෝග ඇතුළු විවිධ රෝගාබාධයනට ඖෂධයක් වන බව කියන මේ වතුර, උණු වන්නේ කෙසේදැයි අපට ප‍්‍රශ්නයක් විය. ළිං හතටම ගොස් එකින් එකෙහි වතුර ගෙන මුහුණු සෝදාගත් විට ඒ වතුර ළිං හතේ උණුසුමේ වෙනස අවබෝධ විය.
”මුළු ත‍්‍රිකුණාමලයටම විශාලම උල්පත් වතුර ළිං තියෙන්නෙ මෙතන. මේ උල්පත් වතුර හුණුගල් සහ ගෙන්දගම් අතරින් මතුවෙන නිසා තමයි උණුසුමට දැනෙන්නෙ.
අපට පැහැදිලි කළේ පන්විල තැන්නේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ භාතික තිස්ස රජමහා විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරති.
භාතික තිස්ස රජමහා විහාරයට අද ඇත්තේ බුදු පිළිමයක් සහ කුඩාම කුඩා ආවාස ගෙයක් පමණකි.
අපි උන්වහන්සේ සමග කතා බහකට එළඹුනෙමු.
”මේ ප‍්‍රදේශයේ ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල කොටි පාලන කාලෙදි ඉවත් කරලා. දැනට ඉතිරි වෙලා තියෙන්නෙ මේ චෛත්‍යය තියෙන ගොඩැල්ල විතරයි. හැබැයි කැනීම් කළොත් තවත් හුඟාක් දේවල් මේ බිමෙන් හම්බවේවි. හාමුදුරුවෝ කියති.
උණුදිය ළිංවලට ඔබ්බෙන් ඇත්තේ තරමක කඳු ගැටයකි. කන්තලේ ප‍්‍රදේශය තෙක්ම විහිදෙන මේ කඳුගැටය ආශ‍්‍රිත වනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී ඔවුන්ගේ කඳවුරු තනාගෙන සිටි මේ කන්ද මුදුනට මුළු මහත් ත‍්‍රිකුණාමලයම අපූරුවට පෙනෙයි.
”රාවන රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලම මේ උණුදිය උල්පත් තිබිල තියෙනව. ජනප‍්‍රවාදෙට කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ අම්මට හැදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් විදිහට රාවන රජ්ජුරුවො මේ ලිං මැවුවයි කියලයි. ඒවගේම වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ කාලෙදි එහි වැඩම කරන භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං හැදුව කියලත් කතාවට කියැවෙනවා.
ඉන්දරතන හාමුදුරුවෝ සඳහන් කරති.
උණු දිය ළිං බලන්නට විශාල පිරිසක් කන්නියාවට එති. කොටි සහ එජාප රජය අතර සාමය පවතිද්දී මාද මෙම උණුවතුර ළිං බලන්නට පැමිණියෙමි. එකල උණුවතුර ළිඳකට ළංවීමටත් දිගු පෝලිමක් තිබිණි.
”දැනුත් සති අන්තෙට හොඳ සෙනගක් එනවා. පුරාවිද්‍යාව ටිකට් කඩන්න පටන්ගත්තට පස්සෙ සෑහෙන මුදලක් හොයාගන්න ඇති. ටිකට් පතේ මුද්‍රණය කරල තියෙන්නෙ ලැබෙන ආදායම මෙතන සංවර්ධනයට යොදවන බව. ඒත් තවම නම් කිසිම දෙයක් කරල නැහැ. වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරු කරන්න පහසුකම් නැහැ. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.
ඉන්දරතන හිමියෝ අවධාරණය කරති.
මේ උණුවතුර ළිං වල හැමතිස්සෙම වතුර තියෙන නිසා සෙවෙල බැඳෙනවා. සතියකට සැරයක් පොලොව සුද්ද කරන්නෙත් අපි. මෙතැන ආරක්ෂා කරන රණවිරුවො එහෙම සුද්ද නොකළොත් මෙතැනට එන අය ලිස්සලා වැටෙනවා.
කි‍්‍ර.ව. 143 - 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරය යළිදු අපට දැකගැනීම සඳහා කැණීම් කටයුතු ඇරඹේ නම් එය ලොකු වාසනාවකි. ඒ පැතුමත් ඇතිව අපි වෙල්ගම් රජමහා විහාරය බලායනු පිණිස පිටත්වූවෙමු.
ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.
2012 මාර්තු මස 25  | ලංකාදීප කර්තෘ මණ්ඩලය



ලොව පළමු චෛත්‍යයට වන්දනා ගමනක්

හිරු අවර ගමනට සැරසේ...එහෙත් වැව් දිය පිසගෙන එන සුළෙඟ් සුවදායි බවත් හාත්පස වැඩුණු අනන්ත තුරු සමූහයත් නිසා ගිනිගත් හිරුගේ සැඩ රැස් දහර ගත දාහයෙන් තෙත බරිත කරන්නේ නැත.

වස්සානය අවසාන වූ බැවින් පරිසරයේ ඇත්තේ කර්කශ වියළි බවක් බව සැබවි. එහෙත් පෙරද කී ලෙසින් සුළඟ ගත නිවාලයි.
සිතද නිවේ. අප මේ පැමිණ සිටින්නේ ලෝකයේ පළමුවැනි චෛත්‍යය පාමුලට බැවිනි.
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.
ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.
සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.
මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......
එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.
අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය.
ගිරිහඬුසෑයේ වත්මන් විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණෝය. අප ගිරිහඬුසෑය වන්දනාවට යන විට එහිමියෝ ත‍්‍රිකුණාමලයේ ආනන්දාරාමයට වැඩම කර සිටියහ. එබැවින් අප සමඟ කතාබහට පිවිසියේ පොඩි හාමුදුරුනමකි.
ගිරිහඬුසෑය ගැන කොතෙකුත් ලිපි පළවෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් පුවත්පත් ලිපියක් ලියනවනම් එහි ලියැවිය යුත්තේ මෙන්න මේ කරුණුයැයි උන්වහන්සේ කතාබහ ආරම්භ කළහ. අපි ඒ කරුණු මෙහි සටහන් කර තබමු.
අග‍්‍රබෝධි රජ්ජුරුවො මේ චෛත්‍යය විශාල කරල හදල රන් ආලේප කරල මැණික් ඔබ්බල වටදාගෙයක් හදල පියස්සක් හදල තිබ්බේ. අද ඒ සියල්ල ගරා වැටිල. අපට  ඕනෙ තිබ්බ විදිහටම මේ චෙත්‍යය හදල රන් අලේප කරන්න. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැමති චෛත්‍යය දැන් තියෙන විදිහට ගඩොල් ගොඩක් වගේ තියන්න. ඒත් රුවන්වැලිිසෑය ලස්සනට හදන්න දීලා තියෙනවා. අපේ ඉල්ලීම ගිරිහඬු සෑයත් හදන්න ඉඩ දෙන්න කියන එක විතරයි. අපේ බෞද්ධ ජනතාව ඒ සඳහා අවශ්‍ය මුදල් අපට පරිත්‍යාගකරයි.
ශාන්ත කුමාර විතාන / සේයා රූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 මාර්තු මස 11  ලංකාදීප කර්තෘ මණ්ඩලය

නිතුපත්පාණ වැව