උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.
කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.
උණුවතුර ළිං පුරාවිද්‍යාවට අයත්වන්නේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නකාරී විය හැකිය. හේතුව මෙතැන භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් තිබීමය. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම තිබේ.
රජමහා වෙහෙර ගැන කියන්නට කලින් අපි උණුවතුර ළිං බලන්නට යායුත්තෙමු. ප‍්‍රවේශපත‍්‍ර කවුළුව ආසන්නයේ ඇත්තේ අපූරු වෘක්ෂයකි. එය ගස් පහක එකතුවකින් සැදුණු අපූරු වෘක්ෂයකි. ඇහැටු, බෝ, නුග, සියඹලා සහ පලූ යන ගස් සියල්ලම එක ගුලියට හැදී වැඞී ඇත්තේ එක ගසක් පරිද්දෙනි. මෙම ගස පාමුල තබා ඇති බුදු පිළිමයට වඳින මිනිස්සු උණුවතුර ළිං කරා යති. චර්ම රෝග ඇතුළු විවිධ රෝගාබාධයනට ඖෂධයක් වන බව කියන මේ වතුර, උණු වන්නේ කෙසේදැයි අපට ප‍්‍රශ්නයක් විය. ළිං හතටම ගොස් එකින් එකෙහි වතුර ගෙන මුහුණු සෝදාගත් විට ඒ වතුර ළිං හතේ උණුසුමේ වෙනස අවබෝධ විය.
”මුළු ත‍්‍රිකුණාමලයටම විශාලම උල්පත් වතුර ළිං තියෙන්නෙ මෙතන. මේ උල්පත් වතුර හුණුගල් සහ ගෙන්දගම් අතරින් මතුවෙන නිසා තමයි උණුසුමට දැනෙන්නෙ.
අපට පැහැදිලි කළේ පන්විල තැන්නේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ භාතික තිස්ස රජමහා විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරති.
භාතික තිස්ස රජමහා විහාරයට අද ඇත්තේ බුදු පිළිමයක් සහ කුඩාම කුඩා ආවාස ගෙයක් පමණකි.
අපි උන්වහන්සේ සමග කතා බහකට එළඹුනෙමු.
”මේ ප‍්‍රදේශයේ ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල කොටි පාලන කාලෙදි ඉවත් කරලා. දැනට ඉතිරි වෙලා තියෙන්නෙ මේ චෛත්‍යය තියෙන ගොඩැල්ල විතරයි. හැබැයි කැනීම් කළොත් තවත් හුඟාක් දේවල් මේ බිමෙන් හම්බවේවි. හාමුදුරුවෝ කියති.
උණුදිය ළිංවලට ඔබ්බෙන් ඇත්තේ තරමක කඳු ගැටයකි. කන්තලේ ප‍්‍රදේශය තෙක්ම විහිදෙන මේ කඳුගැටය ආශ‍්‍රිත වනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී ඔවුන්ගේ කඳවුරු තනාගෙන සිටි මේ කන්ද මුදුනට මුළු මහත් ත‍්‍රිකුණාමලයම අපූරුවට පෙනෙයි.
”රාවන රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලම මේ උණුදිය උල්පත් තිබිල තියෙනව. ජනප‍්‍රවාදෙට කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ අම්මට හැදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් විදිහට රාවන රජ්ජුරුවො මේ ලිං මැවුවයි කියලයි. ඒවගේම වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ කාලෙදි එහි වැඩම කරන භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං හැදුව කියලත් කතාවට කියැවෙනවා.
ඉන්දරතන හාමුදුරුවෝ සඳහන් කරති.
උණු දිය ළිං බලන්නට විශාල පිරිසක් කන්නියාවට එති. කොටි සහ එජාප රජය අතර සාමය පවතිද්දී මාද මෙම උණුවතුර ළිං බලන්නට පැමිණියෙමි. එකල උණුවතුර ළිඳකට ළංවීමටත් දිගු පෝලිමක් තිබිණි.
”දැනුත් සති අන්තෙට හොඳ සෙනගක් එනවා. පුරාවිද්‍යාව ටිකට් කඩන්න පටන්ගත්තට පස්සෙ සෑහෙන මුදලක් හොයාගන්න ඇති. ටිකට් පතේ මුද්‍රණය කරල තියෙන්නෙ ලැබෙන ආදායම මෙතන සංවර්ධනයට යොදවන බව. ඒත් තවම නම් කිසිම දෙයක් කරල නැහැ. වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරු කරන්න පහසුකම් නැහැ. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.
ඉන්දරතන හිමියෝ අවධාරණය කරති.
මේ උණුවතුර ළිං වල හැමතිස්සෙම වතුර තියෙන නිසා සෙවෙල බැඳෙනවා. සතියකට සැරයක් පොලොව සුද්ද කරන්නෙත් අපි. මෙතැන ආරක්ෂා කරන රණවිරුවො එහෙම සුද්ද නොකළොත් මෙතැනට එන අය ලිස්සලා වැටෙනවා.
කි‍්‍ර.ව. 143 - 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරය යළිදු අපට දැකගැනීම සඳහා කැණීම් කටයුතු ඇරඹේ නම් එය ලොකු වාසනාවකි. ඒ පැතුමත් ඇතිව අපි වෙල්ගම් රජමහා විහාරය බලායනු පිණිස පිටත්වූවෙමු.
ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.
2012 මාර්තු මස 25  | ලංකාදීප කර්තෘ මණ්ඩලය



ලොව පළමු චෛත්‍යයට වන්දනා ගමනක්

හිරු අවර ගමනට සැරසේ...එහෙත් වැව් දිය පිසගෙන එන සුළෙඟ් සුවදායි බවත් හාත්පස වැඩුණු අනන්ත තුරු සමූහයත් නිසා ගිනිගත් හිරුගේ සැඩ රැස් දහර ගත දාහයෙන් තෙත බරිත කරන්නේ නැත.

වස්සානය අවසාන වූ බැවින් පරිසරයේ ඇත්තේ කර්කශ වියළි බවක් බව සැබවි. එහෙත් පෙරද කී ලෙසින් සුළඟ ගත නිවාලයි.
සිතද නිවේ. අප මේ පැමිණ සිටින්නේ ලෝකයේ පළමුවැනි චෛත්‍යය පාමුලට බැවිනි.
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.
ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.
සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.
මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......
එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.
අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය.
ගිරිහඬුසෑයේ වත්මන් විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණෝය. අප ගිරිහඬුසෑය වන්දනාවට යන විට එහිමියෝ ත‍්‍රිකුණාමලයේ ආනන්දාරාමයට වැඩම කර සිටියහ. එබැවින් අප සමඟ කතාබහට පිවිසියේ පොඩි හාමුදුරුනමකි.
ගිරිහඬුසෑය ගැන කොතෙකුත් ලිපි පළවෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් පුවත්පත් ලිපියක් ලියනවනම් එහි ලියැවිය යුත්තේ මෙන්න මේ කරුණුයැයි උන්වහන්සේ කතාබහ ආරම්භ කළහ. අපි ඒ කරුණු මෙහි සටහන් කර තබමු.
අග‍්‍රබෝධි රජ්ජුරුවො මේ චෛත්‍යය විශාල කරල හදල රන් ආලේප කරල මැණික් ඔබ්බල වටදාගෙයක් හදල පියස්සක් හදල තිබ්බේ. අද ඒ සියල්ල ගරා වැටිල. අපට  ඕනෙ තිබ්බ විදිහටම මේ චෙත්‍යය හදල රන් අලේප කරන්න. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැමති චෛත්‍යය දැන් තියෙන විදිහට ගඩොල් ගොඩක් වගේ තියන්න. ඒත් රුවන්වැලිිසෑය ලස්සනට හදන්න දීලා තියෙනවා. අපේ ඉල්ලීම ගිරිහඬු සෑයත් හදන්න ඉඩ දෙන්න කියන එක විතරයි. අපේ බෞද්ධ ජනතාව ඒ සඳහා අවශ්‍ය මුදල් අපට පරිත්‍යාගකරයි.
ශාන්ත කුමාර විතාන / සේයා රූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 මාර්තු මස 11  ලංකාදීප කර්තෘ මණ්ඩලය

නිතුපත්පාණ වැව

නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන

සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි.

වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්‍ෂිතය යන වචන කිහිපයයි.
මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්‍ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි.
කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය.
අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි.
උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය.
අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත  හිමියන්ය.
අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ.
සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය.
ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු.
මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි.
ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක‍්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය.
ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි.
සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි.
එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත‍්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත.
ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි.
තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති.
”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන  භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න  ඕන තැනක් විත්තිය”
සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය.
වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක‍්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති.
අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ.
ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි.
සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය.
හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා.
හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත‍්‍රයක් හිතේ ඇඳගත්තෙමු.
බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ  ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය.
අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ.
වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම්  ඕලූ ආදී මල් වර්ග රැසකි.
කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි.
මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි.
එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී.
මගේ හිතට වද දෙන ප‍්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි.
”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”?
”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ”
අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු.
ශාන්ත කුමාර විතාන / සේයාරූ -  සේහාන් වික‍්‍රමසිංහ
2012 ජනවාරි මස 29  | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ගල්ලෙන තුළ තැනූ සක්මන මලූවක්

වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම

බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප‍්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප‍්‍රමුඛ ස්ථානයකි.

සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප‍්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.
උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ.
අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත‍්‍රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී.
ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප‍්‍රසිද්ධ විය.
ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක.
”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?
නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ.
ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක.
ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.
එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති.
ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත‍්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා.
මහියංගණය ප‍්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත‍්‍රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප‍්‍රදේශයට ආවම සැකයෙන් බලන එක  ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා.
ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා.
මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ.
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති.
වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය.
මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද?
සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්‍රඛීල චෛත්‍යයකින් වැසීය.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය.
වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ.
පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග‍්‍රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707  ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප‍්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත.
1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප‍්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප‍්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති.
ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප‍්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප‍්‍රතිසංස්කරණ ඇරැඹීමයි.
එම ප‍්‍රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ.
එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ.
බුදුන් වහන්සේ මියුගුණ පුද බිමට වැඩම කර වසර 2600ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කම් මාලාව මේ මස 7, 8, 9 යන දිනයන්හි පැවැත්වේ. (8 වනදා) දුරුතු පෝය දා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.
2012 ජනවාරි මස 09  | ලංකාදීප කර්තෘ මණ්ඩලය