උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය

ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.

මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.
ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.
විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.
ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.
මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.
පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.
විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ. රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම  ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ.
දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ.
ඉතිහාසය, සොබා සුන්දරත්වය, අපූරු ලෙස එකට එකතු වූ අපේ රටේ පිහිටි ඓතිහාසික පුද බිමක් හැටියට ආඬිගල රාජමහා විහාරය හඳුනාගත හැකිය. මේ සුන්දර පින්බිම දැකබලා ගන්නට, ගවේෂණය කරන්නට ඔබටත් අවස්ථාව උදාවේවා.
සටහන අසංක ආටිගල
2011 දෙසැම්බර් මස 04  | ලංකාදීප කර්තෘ මණ්ඩලය







කැටකාලේ උපරතන හිමි

ලෙනගම්පල රජමහා වෙහෙර

සෝලියස් මැන්දිස් සිත්තරාගේ තවත් කාලාගාරයක්
ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙනෙන තරමේ වෙල් යායයි. එවන් වූ අසිරිමත් ගමක සිට අපි අද රජමහ වෙහෙරක කතාවෙන් ඔබව හමු වෙමු. මල්වාන නම් ඇසූ සැණින් මතකයට නැගෙන්නේ රඹුටන්ය. නමුත් ඒ හුරු පුරුදු මාතෘකාවෙන් බැහැරව මල්වානේ ලෙනගම්පල රජමහා විහාරයේ තොරතුරු සොයා අපි ඇවිද යමු.
ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරිනි. බියගමින් මල්වාන පාරේ පැමිණ එතැනින් මාපිටිගම පාරේ එන විට හමුවන සාරානන්ද මාවතෙන් හැරී මේ විහාරයට ළඟා විය හැකිය.
මල්වාන ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන්වී ඇත. කොස්කොළවත්ත, පිඩදියවත්ත, පාසල්වත්ත, ලෙනගම්පලවත්ත ඉන් කීපයකි. පුරාණ ගල් ලෙනක් විහාරයේ පිහිටි නිසා මේ ප‍්‍රදේශය මල්වානේ ලෙනගම්පලවත්ත නමින් හැඳින්වේ.
ජනප‍්‍රවාදය හා පුරාවෘත්ත කතාවලට අනුව මේ විහාරය එදා වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකි. අනුරාධපුරය සතුරු ආක‍්‍රමණයට පත් වෙද්දී එම ප‍්‍රදේශයෙන් පළා විත් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ආරක්ෂාව සලසාගෙන පසුව සේනා සංවිධානය කොට වළගම්බා රජු යළිත් රජවූ බව කියැවේ. රජු තම ආරක්ෂාව සඳහා රැඳී සිටි බොහෝ ස්ථාන පසුව විහාරාරාම බවට පත් විය. කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් සහිත ලෙනගම්පල රාජමහා විහාරය ද ඒ ඉතිහාස කතාවට නෑකම් කියයි. විශාල ගල් ලෙනට අමතරව තවත් කුඩා ගල් ලෙන් කිහිපයක්ම විහාර බිමේ දැකිය හැකි වේ.
එදා රජ දවසේ ලියැවුණු බව කියන පුරාණ සෙල් ලිපියක් විහාරයේ කලක් පැවැතියත් අද එය දක්නට නැත. ලෙනගම්පල රාජමහා විහාරය අනුරාධපුර යුගයෙන් පසු මහනුවර යුගයට එද්දී ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක හමු වේ. නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරය ඊට හොඳම සාධකයකි. එහි බිත්තියක ඝනකම අඩි හතරක් තරම් වේ. විහාරයේ පෞඪත්වය පූජනීයත්වය විදහාපාන  අයුරින් මේ විහාර ගෙට ඇතුළු වීමට දැවයෙන් කළ යෝධ දොර උළුවහු දෙකකි. මේ දොර උළුවහු දෙකම නුවර යුගයේ පැරණි ලී කැටයම්වලින් අලංකාරය. ලෙනගම්පල විහාරයේ ලී කැටයම් දෙස බලද්දී සිහියට නැගෙන්නේ ඇම්බැක්කේ ලී කැටයම්ය.
නමුත් විහාර මන්දිරය තුළ නුවර යුගයට අයත් යැයි සිතිය හැකි සිතුවම් හෝ බුදු පිළිම කිසිවක් දැකිය නොහැක. දැනට විහාර මැදුරේ ඇති බුදු පිළිම හා සිතුවම් පසු කාලයේ නිර්මාණය කරන ලද ඒවාය. ඒවා සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බව කියැවේ.
පසු කාලය වන විට නටබුන් බවට තිබූ මහනුවර යුගයේ බුදු පිළිම ඉවත් කර අලූතින් බුදු පිළිම හා සිතුවම් කරවන්නට ඇති බවට සිතිය හැකිය.
සෝලියස් මැන්දිස් චිත‍්‍ර ශිල්පියා ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ චිත‍්‍ර අඳින බව අසා එහි ගිය එදා කැලණිය රජමහා විහාරාධිපති හිමියන් සහ හෙලේනා විජයවර්ධන මැතිනිය ඔහු අජන්තාවට යවා වැඩි දුරටත් චිත‍්‍ර පුහුණු කර ගෙන්වා පසුව කැලණිය නව විහාර මන්දිරයේ සිතුවම් ඇඳීමට පෙර ලෙනගම්පල විහාරයේ සිතුවම් හා මූර්ති කරවූ බව පොල්ලමුරේ සිරි සීවලී හිමියෝ අපට පැවසූහ.
ඒ වන විට මේ විහාරය ද කැලණි රජමහා විහාරයේ භාරකාරත්වයේ පැවතිණි. දැනට විහාර මැදුර තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප‍්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් ආදිය පසු තලයේ දැකිය හැකි වේ.
පසුගිය දිනෙක ඔබ හමුවට රජමහා වෙහෙරක කතාවෙන් ගෙන ආ මැද්දෙපොල රජමහා විහාරයෙන් පසු සෝලියස් මැන්දිස් සිත්තරාගෙන් අලංකාර වූ තවත් කලාගාරයක් හැටියට මේ ලෙනගම්පල රජමහා විහාරය හඳුන්වා දිය හැකිය.
විහාර ගෙය ආසන්නයේම පිහිටි පැරණි විෂ්ණු දේවාලය ද විහාර ගෙය තරම්ම පැරණි බව පිළිගැනීමයි.
විහාර බිම අනෙක් බොහෝ අංග මෑත කාලයේ දී එක්වූ ඒවාය. එනමුත් චෛත්‍යය, ගලක නෙළා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව, දේවාල සමූහය, අටවිසි බුදු කුටි, ඝංඨාර කුළුණ විහාරයේ පැරණි බව තව දුරටත් ඉස්මතු කොට දක්වයි.
විහාරයට නුදුරින් ගල් තලාව ආසන්නයේ පිහිටි පැරණි බෝධිය හා සමකාලීන යැයි සිතිය හැකි නුග වෘක්ෂය ද ප‍්‍රදේශවාසීන්ගේ අපමණ පූජා භක්තියට පාත‍්‍ර වන බව පෙනේ.
ඓතිහාසික හා පූජනීය වශයෙන් වැදගත් මල්වාන ලෙනගම්පල රාජමහා විහාරය ලක්වැසි පොදු දනන්ගේ දහම් පිපාසාව නිවන තවත් එක් පින් බිමෙකි. ඉතිහාසය සොයා යන අයට, සිතුවම්, මූර්ති කැටයම් ගවේෂණය කරන කෙනෙකුට මේ සුවිශේෂී කඩඉමකි. මේ පුදබිම දැක බලා ගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා!
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 30  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


සෝලියස් මැන්දිස් ශිල්පියා ඇඳි දේව ප‍්‍රතිමාවක්

මහනුවර යුගයට අයත් දොරටුව    

සුනේත‍්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ

ගණේගම අරමුණපොළ රාජමහා විහාරය
රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැඳුනු මේ ගම් බිම්වල ඇත්තේ සැබෑකොටම ශාන්ත සුන්දර බවකි. සිරිපා අවාරයේ සුමන සමන් දෙවියන්ගේ දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කර ඇති සුප‍්‍රකට ගල්පොත්තාවල රජ මහා විහාරයට නුදුරින් පිහිටි ගණේගම අරමුණපොළ රාජමහා විහාරය හැටියට ප‍්‍රකට මේ විහාරය පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් දෙකක් පමණ රත්නුපර දෙසට වන්නට ප‍්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබේ.
ඓතිහාසික වශයෙන් සලකා බලන කල ගණේගම රාජමහා විහාරය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දුරාතීතයට විහිදේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සඳහන් වේ. නම් පොතේ දෙනවක විහාරය යැයි හඳුන්වන්නේ මේ විහාරයටය. ඉන් පසු කාලයේ විහාර ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ. එම ස්ථානය මෙතැන බවට දැන් විශ්වාස කෙරේ. මේ ද්‍රෝණය ඇති තැන විහාරය පිහිටි නිසා ද්‍රෝණවක්ක නමින් ද මේ ගණේගම විහාරය ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක හඳුන්වා තිබේ.
පළමුවන විජයබාහු රජ සමයේ බොහෝ දුරට ලක්දිව සම්බුද්ධ ශාසනය පිරිහී භික්ෂුන් වහන්සේලා දුර්ලභ කාලයක් උදාවී තිබිණි. විජයබාහු රජු එදා බුරුම දේශයට ගොස් එරටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවාගෙන මෙහි යළි බුද්ධ ශාසනය පිහිටුවීමට ප‍්‍රයත්න දරා ඇත. එසේ වැඩම කළ බුරුම හිමිවරු සිරිපා වඳින්නට යද්දී මේ ද්‍රෝණවක්ක විහාරය උන්වහන්සේලා නිතර නවාතැන් ගත් විහාරයක් විය. එකල ද ශ්‍රී පාදය ජන සමාජයේ අදවන්ව ප‍්‍රකටව, ගෞරවනීයත්වයෙන් පැවතී ඇත. බුරුමයේ ආරම්මන නම් දේශයෙන් වැඩි හිමිවරු එදා නිතර මේ විහාරයේ වැඩසිටි නිසා පසුව අරමුණපොළ විහාරය නමින් ප‍්‍රකට වූ බව වත්මන් විහාරාධිපති සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ.
පසු කාලීනව කෝටටේ යුගයේ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ.
එසේ විහාර කරවද්දී එතුමන් මේ විහාරයේ විහාරගෙයක් කරවා සුනේත‍්‍රා දේවිය නමට පින් අනුමෝදන් කර පූජා කර තිබේ. එය උඩරට පහත රට ගල් වඩුවන් යොදාගෙන ගල් කැටයම් සහිතව ඉතා රමණීයව ගොඩනැගූවකි. උඩරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් පහතරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් එකම තැනකදී දැක බලා ගන්නට ගණේගම අරමුණපොළ රාජමහා විහාරය කදිම තැනෙකි.
මේ විහාරය වටා ගල් කණු 27ක් කැටයමින් යුතුව කරවා තිබේ. බැලූ බැල්මට විහාරය මහල් දෙකකට පෙනුනත් එය දෙමහල් නොවේ. තනි බිත්තියෙන් ඉහළට නැගුනු මේ විහාර ගෙයි උඩුමහල යැයි සිතිය හැකි ප‍්‍රදේශයේ පිටතට පෙනෙන පරිදි විහාර ගෙය වටාම කලා කැටයම් දැකිය හැකිය. ඒවා විශ්ණු දෙවියන්ගේ ‘දස අවතාර’ බව කියැවේ. හයවන පරාක‍්‍රමබාහු රජ සමයේ දේව සංකල්පය ගැඹුරින් සමාජගතව පැවති බව සාක්ෂි ඇතිව තහවුරු කරන්නට ද මේ විහාරය කදිම තෝතැන්නකි.
විහාර ගෙය ආසන්නයේම ඇති කුඩා චෛත්‍යය ද එකලටම අයත් වේ. විශේෂයෙන් මේ විහාර ගෙයි වහළයේ රන් කොත් දෙකක් දැකිය හැකි අතර එනිසා ‘රන්කොත් වෙහෙර’ යැයි පසුකාලයක මේ ඉපැරණි වෙහෙර හඳුන්වන ලදී.
පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ. පසුව ගෙඟ් තිබී සොයාගත් අඩි හතරක් පමණ උසැති ඉපැරණි සමාධි බුද්ධ ප‍්‍රතිමාව විහාර ගෙයි අදත් දැකිය හැකිය. එසේම සුවිසල් සමාධි බුද්ධ ප‍්‍රතිමාව, පැරණි මකර තොරණ, ගල් උළුවස්ස, දකුණු ඉන්දීය ආභාෂය ගත් නාරිලතා රූප ද විහාරයේ කලාත්මක බව, පූජනීයත්වය සේම වටිනාකම ද දෙගුණ තෙගුණ කරන්නට සමත්ව තිබේ.සීගිරි සිතුවම්වල තාර ගෑ පසු යළි මතු කර ගත් ‘මරන්සි’ නම් විදෙස් චිත‍්‍ර ශිල්පියා මේ විහාරයේ ද මැකී ගිය චිත‍්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවාද සාක්ෂි සාධක වෙයි. එකලම මේ විහාරයේ තිබූ ඇත් දළ, රන් රිදී මුතු මැණික් ආදී බොහෝ දේ පෘතුගීසීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
එකල ලංකාවේ බුද්ධ ශාසනය පිරිහී පැවති අතර සිවුරු හැර සිල්වතුන් හැටියට වාසය කළ පිරිසක් ශාසනය සන්තක දේ ආරක්ෂා කර ගෙන ඇති බව කියැවේ. ගණින්නාන්සේලා හැටියට ප‍්‍රකටව ඇත්තේ මේ සිල්වතුන්ය. ඒ අය සිටි තැන් ගණේමුල්ල, ගණේලන්ද, ගණේගම, ගණේවත්ත ආදී කොට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබේ. මේ ස්ථානය ‘ගණේගම රජමහාවිහාරය’ යනුවෙන් හඳුන්වන්නේ එවැනි ගණින්නාන්සේලා මේ ප‍්‍රදේශයේ සිටි නිසාය.වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන් සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ලක්දිව යළි බුදුසසුන ස්ථාපිත කිරීමෙන් පසු පළමුවන රාජසිංහ රජු මේ ගණේගම අරමුණපොළ රජමහාවිහාරය ගම්වරද සමග අනෝමදස්සි නම් මහ තෙරනමකට පූජා කර තිබේ. උන්වහන්සේට වැලිගොඩපළින් හටන්ගල පාරේ කොට්ටමුල්ල නම් රාජමහා විහාරයක්ද රජු පූජා කොට තිබේ. එය වලගම්බා රජු විසින් කැරවූවකි.
80’ දශකය දක්වාම ඒ විහාර සම්ප‍්‍රදායට අනුව ගණේගම අරමුණපොළ විහාරයේ ද අයිතිය පැවතියේ කොට්ටිමුල්ල විහාරයටය. නමුත් දැන් එම විහාරය වෙනම විහාරයක් හැටියට කටයුතු සිදුකරගෙන යන බව සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ. ප‍්‍රධාන ගමන් මාර්ගයට දිස්වන ඉතා රමණීය අවුකන බුද්ධ ප‍්‍රතිමාවේ අනුරුව කරවා ඇත්තේ මේ විහාරයේ වැඩසිටි ගණේගම පියරතන නාහිමියන් විසිනි. එසේම මෑත භාගයේ ඉදිකළ පොළොන්නරු ගල් විහාර අනුරුවද මේ පින්බිමේ දී දැකගත හැකිය.
සෑම වර්ෂයකම රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව සිදුකෙරෙන පිරිත් කටයුතු සිදුකෙරෙන්නේ ද අරමුණුපොළ රාජමහා විහාරයෙනි. මේ විහාරයේ භාරකාර හිමියන් හැටියට ඌව සබරගමුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බදුලෙන රාජමහා විහාරාධිපති පාතකඩ විමලරතන නාහිමියෝ කටයුතු කරති.
පැල්මඩුල්ල නගරය හරහා වන්දනාවේ යන ඔබටත් ඉතා වටිනා ඓතිහාසික පසුබිමකින් පැවත එන ගණේගම අරමුණුපොළ රාජමහා විහාරය දැකබලා, වැඳපුදා, සතුටු සිත් ඇති කර ගන්නට පින් සිතිවිලි පහළ වේවා.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


                              දැව බුද්ධ ප‍්‍රතිමාව                                       

 සුනේත‍්‍රා දේවියට පින් පිණිස කරවූ විහාර ගෙය
 දෙතිස් ඵල බෝධිය


ඉපැරණි කුමර කුමරි බෝධීන් පිහිටි පිළිකුත්තුව රජ මහා වෙහෙර

ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරන ඓතිහාසික පුද බිමකට අපි අද ‘රජමහ වෙහෙරක කතාවෙන්’ ඔබ කැඳවාගෙන යමු.
ලක්දිව ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ පිළිකුත්තුව රජ මහා විහාරය මුල් තැනක් උසුලයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි මේ ඓතිහාසික පින්බිම පිහිටා තිබේ. ගම්පහ - කිරිඳිවැල (231) බස් මාර්ගයේ යක්කල හන්දියේ සිට විහාරයට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. පිළිකුත්තුව විහාර ඉතිහාසය ක‍්‍රි.පු. පළමු වැනි සියවසතෙක් දුරාතීතයට දිවේ. අනුරාධපුර යුගයේ මුල් සමයේ සිටම භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ස්ථානයක් හැටියට පිළිකුත්තුව හඳුනා ගත හැකිය. කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් මේ විහාරය අවට වනගත බිමේ පිහිටා ඇති අතර එයින් ගල් ලෙන් 82ක් දැනට සොයාගෙන තිබේ. මෙපමණ ගල් ලෙන් ප‍්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ දුර්ලභ ස්ථානයක් හැටියට පිළිකුත්තුව විශේෂ වෙයි.
මේ ලෙන්වල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. එසේම අනුරාධපුර, මිහින්තලය ආදී පෞරාණික වෙහෙර විහාරවල පැවතියාක් මෙන් විහාරාරාම සැලසුම් හා උද්‍යාන කලාවක් පිළිකුත්තුවේ පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අදහස් පළ කරති.
මේ ප‍්‍රදේශය පිළිකුත්තුව වූයේ කෙසේද? ඊට මත කිහිපයක් පවතී. අතීතයේ රජවරුන්ට ‘පිළි’ සැපයූ ගම්මානය නිසා පිළිකුත්තුව විනැයි එක් ජනප‍්‍රවාදයකි.
එසේම, පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතුව පිළි කොටුව වී පසුව පිළි කොත්තුව, පිළිකුත්තුව වූ බව තවත් මතයකි.
මේ විහාර ඉතිහාසයට සම්බන්ධ වළගම්බා රජුගේ බිසෝව පරිහරණය කළ පිළි හා රන්, රිදී මුතු මැණික් සඟවා තැබූ ගම ‘පිළි සැඟවූ ගම’ පිළිකුත්තුව වී ඇති බවද ජනප‍්‍රවාදයේ එන මතයකි.
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානම ගොඩනැගිල්ල ලෙන් විහාරයයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගීව වැඩ සිටි බවත් පසුව එය බුදු මැඳුරක් බවට පත්ව ඇති බවත් විශ්වාස කළ හැකිය. එය කටාරම් කෙටූ සුවිශාල ගල් ලෙනකි. මෙහි විශාල සැතපෙන පිළිමයක් සමාධි පිළිමයක්, හා හිටි පිළිමයක් දැකිය හැකිය. මෙහි නුවර යුගයට අයත් සිතුවම් රාශියකි. ඒ අතර වෙස්සන්තර, මහාකප්ප හා ධර්මපාල ජාතක කතා ප‍්‍රකටය.
විහාර ගෘහයට පිවිසෙද්දී දොරටුව අභියස ඇඳ ඇති දොරටු පාල රූප දකිද්දි පෘතුගීසි සමයේ සෙබළුන්ගේ ස්වරූපය සිහියට නංවයි. ක‍්‍රි.පු. පළමුවැනි සියවසට අයත් සෙල් ලිපියක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර මේ සෙල් ලිපි වලින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය. ඒ අනුව අතීතයේ පටන් මේ ප‍්‍රදේශයේ බුදු දහම පැතිරී පැවති බවට පැහැදිලි සාක්ෂි හමු වේ.
පැරණි විහාර ගෙට ආසන්නයේ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කළ කුඩා ස්තූපය නුවර යුගයට අයත් වූවකි. ඊට ඉදිරියෙන් ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිතය. එයින් එකක් ‘කුමර බෝධිය’ වශයෙනුත් අනෙක ‘කුමරි බෝධිය’ නමිනුත් හැඳින්වේ. මෙයින් කඳ මහත්ව තනි කෙළින් උසට වැඩුණු බෝධිය කුමර බෝධියයි. පහළින් අතු විහිද කුඩා බෝධිය ‘කුමරි බෝධිය’ යි.
පිළිකුත්තුව විහාරයේ අසල ගිරි ශිඛරයට නැගීමට ඇති කෙටි අඩි පාර පාමුල පිහිටි තවත් විහාර මන්දිරයකි. එය කරවා ඇත්තේ විහාරයේ වැඩ සිටි යාගොඩ ගුණරත්න හිමිගේ සමයේදීය.
පැරණි ධර්ම ශාලාව අසළින් පහළට ගිය විට කාල පරිච්ජේද තුනකට අයත් ආවාස ගෙවල් දැකිය හැකි දුර්ලභ විහාරයක් හැටියට ද පිළිකුත්තුව රජ මහා විහාරය හඳුනාගත හැකිය.
ඒවා ඉංග‍්‍රීසි පාලන සමය, මහනුවර රජ සමය හා  ඕලන්ද සමයට අයත් ය. ඒ ඒ කාල සමයන්වලට අදාළ විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඒවායින් දැකිය හැකිය.
මේ විහාරයේ ඇති ඉපැරණි කෞතුක වස්තූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පරිහරණය කළ දෝලාව විශේෂ වේ. උන්වහන්සේ ධර්ම දේශනයකට දෝලාවෙන් මෙහි වැඩම කර ඇති අතර ආපසු තිරික්කලයෙන් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත. එය අදත් දැකිය හැකිය. පැරණි පුස්කොළ පොත්, මහනුවර යුගයට අයත් දැව පාලමක්, තොප්පි ගල්ගෙය, මේ ඓතිහාසික විහාරය, නැරඹීට එන ඔබට දැක බලා ගැනීමට පිළිවන.
පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා ඇත්තේ වන ගහනයෙන් ගැවසී ගත් විශාල ගිරි ශිඛරයක් පාමුලය. මේ ස්වභාවික පිහිටීම නිසාම දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් හැටියට මෙය පැවැති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් හැටියටත් ප‍්‍රසිද්ධව තිබේ. දැනට පිළිකුත්තුව විහාරය පූජා නගරයක් කිරීමට කඩිනම් වැඩ කටයුතු සිදු කරගෙන යන බව විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ අපට පැවසූහ. දැනට වාහල්කඩ නිමාකර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිරි ශිඛරය නැගීමට පෙත්මග ඉදිකරමින්ය.
සුවිසල් ගල් කුළු නැග ඉහළට යද්දී යෝධ පුස්වැලද ඔබට දැකිය හැකිය. එසේම හොර, මිල්ල, වල් දෙල්, රුක් අත්තන, හුළං හික්, ගැඩුම, කොළොං, යකඩ මරං, හොර, කළුවර ආදී වටිනා දැව වර්ගද, මී, මාදං. නවාහන්දි, අහු, ඉරිවේරිය, ඇත් දෙමට, තොටිල්ල, මඟුල්කරද, බිං කොහොඹ ආදි වටිනා ඖෂධ වර්ග ද පැළද දැකිය හැකිය. වනගත භූමියක් නිසාම කුරුලූ වර්ග 80 ක් පමණ පිළිකුත්තුව අවට ප‍්‍රදේශයේ ජීවත් වන බව කියැවේ. විශේෂයෙන් පිළිකුත්තුව ප‍්‍රදේශයට ආවේණික ‘ඩුකුලා’ නම් පක්ෂියෙක් පිළිබඳව තොරතුරුද මෙහි ගිය විට ඔබට අසා දැක ගත හැකිය. ඌ හැඞීමෙන් නුදුරු කළදීම ප‍්‍රදේශයේ මරණයක් සිදුවේය යන්න අදත් ගම්වාසීහු විශ්වාස කරති.
පිළිකුත්තුව රාජ මහා විහාරය ඔබ දැක බලා ගත යුතුව, පාරිසරික, ඓතිහාසික අතින් වැදගත් පුද බිමෙකි. විශේෂයෙන් පාසල් දුවා දරුවන්ට, තරුණ ගවේෂකයන්ට පිළිකුත්තුව රජ මහා විහාරය හා ඒ අවට ගම්මානය කදිම තෝතැන්නකි. වඳින්නට, සොයන්නට, නරඹන්නට ඔබටත් පිළිකුත්තුව රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව උදා වේවා!
සටහන හා ඡායාරූප  - අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 යෝධ පුස්වැල


 
                                                                   පැරණි විහාර ගෙය




ඉපැරණි සිතුවම්
විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ සහ විහාරයේ භාරකාර හිමි
නුවර යුගයට අයත් දැව පාලම

දළදා වහන්සේ කලක් වැඩසිටි මඩුකන්ද ශි‍්‍ර දළදා විහාරය

අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙන්නේ මේ ගම්බිම්වල පය ගැසූ විටය. යුද්ධය ගැන ඔවුහු හොඳට දනිති. යුද බිය ඔවුහු හොඳට හඳුනති. ඒබාධක මැද උපන් ගම් හැර නොයා සිටි මිනිස්සු අද ජීවිතයේ සැනසුම් සුව විඳිති.
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අතරින් වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරය ප‍්‍රමුඛස්ථානයක් ගනී. මේ ඉපැරණි විහාරය වවුනියාව ත‍්‍රිකුණාමල ප‍්‍රධාන පාරේ මඩුකන්ද පොලිස් ස්ථානය අසළ පිහිටා තිබේ.
හේමමාලා සහ දන්ත කුමරු ශ්‍රී දළදාව රැුගෙන පැමිණියේ ලංකාපට්ටන නම් අප‍්‍රකට තොටුපළක් වෙතය. මේ ලංකා පට්ටන අප‍්‍රකට තොටුපල පිළිබඳ විවිධ මතවාද පවතී. කෝකිලායි කළපුවේ පිහිටි ලංකාපට්ටන තොටුපල මතවාද අතර සුවිශේෂී තැනකි. අතීතයේ මේ කෝකිලායි ප‍්‍රදේශය හැඳින්වූයේ කැකුළුගම නමිනි. එදා දළදා වහන්සේට කැකුළු මල් පූජාවක් කොට පිළිගත් නිසා මේ ප‍්‍රදේශය කැකුළුගම නමින් පසුව ප‍්‍රකට විය. එතැනින් පසු රුවන්මඩුව, සේම මඩුව, මාමඩුව හරහා දළදා වහන්සේ මඩුකන්ද විහාරය පිහිටි බිමට වැඩම කරවන ලදී. එතැන දළදා මැදුරක් කරවා දළදා වහන්සේ තැන්පත් කරවන්නට ද යෙදිණි. මේ ආකාරයට විමසා බලන කළ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි පූජනීය පෞරාණික පින් බිමක් හැටියට මඩුකන්ද විහාරය හඳුනා ගත හැකිය. මේ සිදුවීම් පෙළ සිදුවූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ලංකාධිපතිව සිටි සමයේය.
මෙතැන් සිට යළි දළදාව කුඩාගලේගම ශ්‍රී දළදා විහාරය, සාලියපුර ශ්‍රී දළදා විහාරය ආදී ස්ථානවලට වැඩම කරවමින් විවිධ ස්ථානවලදී පූජෝපහාර ගරු සත්කාර බුහුමන් දක්වා තිබේ.
එදා මඩුකන්ද ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දේව නම් සෙන්පතියෙකු විසිනි. ඒ සුවිසල් ගිරිශිඛරය විහාරයේ සිට බලද්දී ඉතා නුදුරින්ම පෙනේ. මඩු කන්දේ රජ උයන, රජ වත්ත වශයෙන් ඔහුගේ පහසුව සඳහා පිහිටි විවිධ ස්ථාන අදත් හඳුනා ගත හැකිය.
එදා දළදා වහන්සේ පිළිගන්නට මඩු බොහෝ ගණනක් පිහිටවූ නිසා මඩුකන්ද වූ බවට මතයක් පවතී. එසේම මණ්ඩලාකාර කන්දක් පිහිටි නිසා මණ්ඩලගිරි මඩුලූගිරි, මඩුකන්ද වූ බවටද මතයක් පවතී.
ප‍්‍රකට සෙල් ලිපියක් හැටියට නම් ලද ඓතිහාසික තෝනිගල ශිලා ලේඛනය පිහිටා ඇත්තේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ සිට සැතපුම් 3 ක් එපිටිනි. එදා එම ප‍්‍රදේශයේ විසුවෝ ධාන්‍ය වගාකර ධාන්‍ය රාජ්‍ය ගබඩාවේ තැන්පත් කළහ.
ධාන්‍ය නැවත ලබා ගැනීමේදී ලැබෙන පොලිය ඊට නුදුරින් පිහිටි විහාරයකට පරිත්‍යාග කරන ලද බව කියැවේ. එම විහාරය අනෙකක් නොව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයම බව කිව හැකිය.
දැනට මේ විහාර භූමියේ පිහිටි ඉපැරණි නටබුන් අතර ගලින් කළ විශේෂ ගොඩනැගිලි කැටයම් බොහෝ දක්නා ලැබේ. විහාර බිමෙහි විසිරී පැතිරී ගත් කාෂ්ඨක අව්වට වේලෙන ඒ නටබුන් දෙස බලන කල වවුනියාව වැනි ප‍්‍රදේශයක මෙවන් පෞරාණික පින් බිමක් දකින්නට හැකි වීමම ආඩම්බරයට කාරණයකි.
එදා ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කළ පෞඪ දළදා මාළිගය විවිධ ගල් කැටයමින් අලංකාරය. එසේම ගලින් කළ දැනට නටබුන්ව ඇති විශාල ශීත ශාලාවක්, පැරණි වාසල් දොරටු ගලින් කළ පැරණි පොකුණු හතරෙන් දෙකක් තවමත් මනරම්ව දැකිය හැකිය.
එසේම කැණීම් නොකළ ගොඩනැගිලි රාශියක නටබුන් ගල්කණු සඳකඩපහණ ආසන රාශියක් විහාර බිම පුරා තිබෙනු දැකිය හැකිය. එදා විහාරයට අයත්ව තිබූ පැරණි චෛත්‍යයක් නුදුරින් පිහිටි ගමෙකින් හමුව තිබේ.
දැනට විහාර බිම පිහිටි පැරණි චෛත්‍ය බෝධීන් වහන්සේ විහාර ගෙය වසර 500 කින් මෙපිට ඉතිහාසයක් උරුම ස්ථානයෝය. අතීතයේ මඩුකන්ද අවට ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ”ප‍්‍රාචීන කංගරාජ” යන නමිනි. මෙතැන උතුර හා දකුණ වෙන්වන කඩඉම හැටියට සැලකේ.
අතීතයේ මෑත ඉතිහාසයට එබී බලන කල වසර 30 ක් පැවැති දරුණු යුද්ධයෙන් හොඳටම බැටකෑවේ මේ ප‍්‍රදේශවල පිහිටි සිංහල ගම්මානය. මඩුකන්දද ඉන් එක් සිංහල ගමකි. ඊට අමතරව ඊරප්පෙරියකුලම, මාමඩුව, මහමයිලන්කුලම, කුඩා කච්චකොඩිය මේ අවට අනෙකුත් සිංහල ගම්මාන කිහිපයකි. යුද්ධයේ ගින්නට දැවෙමින් තැවෙමින් පැවැති ඒ යුගයේ කතාව මඳක් අපට සිහිපත් කරන්නට මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිකාරී මුවඇටගම ආනන්ද හිමියෝ අමතක නොකළහ.
”මේ යුද්ධය වවුනියාවට බලපෑවේ 1984 අවුරුද්දෙදි. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් ගුවන් හමුදා ජීප් එකකට බෝම්බ ගැහුවා. එදායින් පස්සෙ වවුනියාවෙන් සටන ඇරඹුණා. එයාලා ගහද්දී අපේ අයත් ගැහුවා. මේ වෙද්දි වවුනියාවෙ සිංහල ගම්මාන 35 ක් තිබුණා. අපි ඉන්න විහාරය අවට මාමඩුව, ඇටඹගස්කඩ, මාමයිලන්කුලම, මහකච්චකොඩිය, නැදුන්කුලම ගම්මානවල මිනිස්සු මේ යුද්ධය නිසා හොඳටම බැට කෑවා.
සමහර මිනිිස්සු මේ ගම් බිම් දාලා ගියා. එහෙම නොගිය අය ගමට ගහද්දි මේ පන්සලේ ඉස්කෝලෙ තියාගෙන අපි ග‍්‍රාමාරක්ෂකයො හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා ආරක්ෂා කළා. එහෙම පියවර නොගත්තානම් මේ මිනිස්සු අද ගම්වල නෑ. එක්කො දාල ගිහින් නැත්නම් යුද්දෙට හොඳට මැදිවෙලා. පන්සලට නම් එල්.ටී.ටී.ඊ. එකෙන් ගැහුවෙ නෑ.
අපිත් ස්වාමීන් වහන්සේලා හැටියට මේ ගමක් ගමක් ගානෙ ගිහින් මිනිස්සුන්ගෙ හිතට හයිය දුන්නා. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් මට වෙඩි තියන්න පපුවට පිස්තෝලෙ තැබුවා. එතන උන්න ත‍්‍රස්තවාදී නායකයෙක් ඒක වැළැක්වුවා. නිතරම එල්.ටී.ටී.ඊ. එකෙන් ග‍්‍රාමාරක්ෂකයෝ මරණවා. බෙලි කපල යනවා. පැහැරගෙන යනවා.  ඕව තමයි අහන්න දකින්න ලැබුණේ. මහකච්චකොඩියෙ එක තැනම මිනිස්සු 36 ක් මැරුවා. කොහොම වුණත් යුද්දෙ අවසන් වෙද්දි අපේ දායක ගම්වල ජීවත් වුණ අයගෙන් 250 ක් විතර යුද්දෙන් මිය ගියා.
මේ සඳහා දායක වුණ හැමෝටම අපි පින් දෙනවා. තව හය මාසයක් ප‍්‍රමාද වුණා නම් ඉතින් අහන්නම දෙයක් නෑ. සාම කාලෙ වෙද්දි සිංහල ගම්මාන 22 ට අඩුවුණා.
මේ වෙලාවෙ පුංචි ඉල්ලීමකුත් තියෙනවා. මේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරය වවුනියාවේ ඉතාම පැරණි පින් බිමක්. මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි.”
පිච්චෙන ගිනි ගහන අවුවේ මද්දහනද ගතවෙමින් තිබේ. ”කෑම ටිකක් කාලම යන්න  ඕනෑ” උන්වහන්සේගෙන් කාරුණික ආයාචනයකි. ඒ ඉල්ලීම පිළිගත් අපි තවදුරටත් කතාබස් කරමින් දිවා ආහාරය ගෙන යළි ආපසු ගමන කඩිනම් කළෙමු.
සටහන ඡායාරූප, අසංක ආටිගල
2011 ඔක්තෝබර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 මුවඇටගම ආනන්ද හිමි


 පැරණි දළදා මැදුර
 පැරණි මුරගල
 කොරවක් ගල

දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර

සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
නූතන දැනුමින් කුරුවල් නොවූ සබරගමුවේ බහුතරය සමන් දෙවිඳුන් අදටත් මහ සමන් දොවොලේ දිවමන්ව වැඩවසන්නේ යැයි විශ්වාස කරති.
එදා නීල පන්දම් සහ කීල පන්දම් එළියෙන් හතර වීදියේ ගමන් ගත් සබරගමුව මහ සමන් දේවාලයේ වීදි පෙරහර, මහ පෙරහර සහ රන්දෝලි පෙරහැර අද ආලෝකයෙන් එකලූ කළ පුළුල් මාවතක ගමන් කළ ද ඒ ද පෙර පරිදිම සතර වීදි සීමාව තුළය.
පෙරහරක් යනු කිසියම් ජන සමාජයක සමාජ ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රකාශනයකැයි සමාජ විද්‍යාඥයෝ සඳහන් කරති. ඒ අරුතින් කිසියම් පෙරහරක් තත් කාලීන සමාජයට අනුගතව රූපාන්තරණය වීම ද යථාර්ථයකි.
ඇතැම් අංග පෙරහරෙන් ගිලිහී යන්නේ ද නවාංග ඊට එක් වන්නේ ද එම සමාජ ආර්ථික සංස්කෘතික  ඕනෑ එපාකම්වලට පිරිමැහෙන ආකාරයෙනි.
කජු කෑමත්, අලි බැලීමත් සබරගමුව ඇසළ පෙරහැර සමග බැඳි අපූරු අත්දැකීම් වෙති. එපමණකුදු නොව එම කරුණු කාරණා දෙක සබරගමුව වාසීන් පරපුරෙන් පරපුරට ගෙන යන සමාජ උරුමයක්ද වේ.
දුරාතීතයේ දී සබරගමුව පෙරහර පොළ පැවැතියේ දික් වීදි හෙවත් ප‍්‍රධාන වීදි දෙකෙන් එකක මග දෙපසය. පොල් අතු සෙවිලි කළ සතියක් පුරා පැවැත්වෙන එම කඩ පොළ දෙව්ලොවක්ම විය. නිත්‍ය විදුලි සැපයුමක් නොවූ වකවානුවල ඒ අඩුව පිරිමැහුනේ යෝධ ජෙනරේටර්වලින්. පෙරහර සමයේ එකී ජෙනරේටර්වලින් උත්පාදිත තාවකාලික විදුලිය ඉතා සුළු මුදලකට අවට නිවෙස්වලට ලබාදීමේ සිරිතක් ද 1970 දශකයේ මුල දක්වා පැවතිණි.
සබරගමුවේ පෙරහරට කජු වෙළෙන්දියන් පැමිණියේ දුර බැහැර සියනෑ කොරළයේ සිටය. කජු තොග රැගෙන ලොරි රථවල පැමිණෙන ඔවුහු උයන්වත්ත සමීපයේ නිවෙසක දෙකක ලැගුම් ගනිති.රැුය පුරා පන්දම් එළියෙන් කජු අළෙවි කරන ඔවුන් සැඳෑ කල එළඹෙත්ම කළු ගංගාවේ වැලි තොට හෝ වෙනයම් තොටකින් දිය නා පෙරළා සිය නවාතැන් පොළට ආවේ ඇත්ගමනිනි. ඔවුන්ගේ මුදාහල වරලස් අග රූරා වැටෙන දිය බිඳු නැවුම් චීත්ත පොට තෙත බත් කරයි.
එදා පෙරහරට පැමිණි අලි ඇතුන් බහුතරය සබරගමුවේම වලව් කීපයකට අයත් සතුන්ය. අලි ඇතුන්ගේ අයිතිය වෙළෙඳ කුලයට හිමි නොවූ තිස් වසරකට පෙර එම අලි ඇතුන් හැඳින්වීම සඳහා භාවිත කළ නම් ගොත් උන්ගේ අයිතිය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට ප‍්‍රමාණවත්ය. 1960 දශකයේ සබරගමුව පෙරහරේ ගමන් ගත් අලි ගහණයෙන් බහුතරය මුද්දුව වලව්වට අයත් අලි ඇතුන්ය.
සෙස්සෝ වේරගම, මොලමුරේ, මාකඳුරේ, ඇලපාත, කිරිඇල්ල ආදී විවිධ වලව් හා බැඳි අලි ඇතුන්ය.
සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කළ අලි ඇතුන් මනා කොට සරසා සිටිය ද සෙසු අලි ඇතුන් පෙරහරට එක් වූයේ උපන් ඇඳුමිනි. ඉඳහිට අලියෙකු සුදු රෙදි කඩකින් නලල් පටයක් පමණක් බැඳ පෙරහැරට එක් කරගත් අවස්ථා එමටය.
ඇත්ගොව්වන්ට විධිමත් ඒකාකාර ඇඳුමක් සැපයීම ඇන්ටන් තෙනන්නකෝන් බස්නායක නිලමේ විසින් හඳුන්වා දෙන ලද වැඩපිළිවෙළකි.
ඒ දිනවල පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් අතරින් වේරගම බස්නායක නිලමේට අයත් ගෝඹරයා නමැති අලියා රුව ගුණ තේජසින් ඔහුගේම ස්වාමියාටම සරි වූවෙකි.
ගත පුරා ඉහිරුණු ගෝඹර නිසා ඌ එනමින් හැඳුන්වුවද උගේ අලි උප්පැන්න සහතිකයේ සඳහන් නම ”ලැබුණා” ය. වේරගම වලව්වේ ඇත් පන්තිය හා මිතුරු වූ අසල වනාන්තරයෙන් බට වල් අලි පැංචෙකු නිතර නිතර ඇත් පන්තියට පැමිණ හීලා අලි නැදිමයිලන් සමග එක පතේ කෑමේ පුරුද්දක් විය.
අවසන මේ එකපතේ කෑම සිය කැමැත්තෙන්ම වූ වේරගම වලව්වේ නතර වීමට තරම් දුර දිග ගියෙන් ලැබුණා යන අනුවර්ත නාමයත් සමග අලි පැංචා සිය කැමැත්තෙන්ම වේරගම අලි පන්තියේ සාමාජිකත්වය ලැබීය.
මුද්දුව වලව්වේ කදිරා, රාමා, රාජා, හුරතලා සහ කපුරි එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල දක්වාම සමන් දේවාල පෙරහර විචිත‍්‍රවත් කළ අලි ඇත් සමූහයට අයත් වූහ.
පසුව 1970 දශකයේ මැද වෙළෙඳපොළ ආර්ථිකයත් සමග අලි ඇතුන්ගේ අයිතිය ද වලව්වලින් වෙළෙඳුන්ට මාරුවිය.
අහවල් වලව්වේ ඇතා අලියා වෙනුවට ඒ අනුව අලූත් අලි පරපුරක් සබරගමුවේ පෙරහරේ 1970 දශකයේ මැද භාගයේ පටන් ගමන් කරති.
බැහැරින් පැමිණෙන අලි ඇතුන්ගේ නවාතැන් පොළ වූයේ උයන්වත්ත නමින් හැඳින්වෙන දේවාලයත් කළුගඟත් අතර පිහිටි තැනි බිම්කඩය. ඊට අමතරව පන්තියේ වත්ත නමින් හැඳින්වූ දේවාලය ආසන්නයේ වදුලූ බිම නමින් කියවෙන පරිදිම අලි ඇතුන්ට වෙන් වූ වාසස්ථානයක් විය.
එකල අලි ඇතුන් දියට ගෙන ගියේ උයන්වත්තට මදක් ඔබ්බෙන් කළු ගෙඟ් තොටුපොළටය. නා පිරිසිදු කළ අලි ඇතුන් හැන්දෑ ගොම්මන ලබත්ම දෙවොල් බිමට ගෙන ආවේ දෝරුව නමින් හැඳින්වූ පටු මංකඩක් ඔස්සේය. වැසි දිනවලට දෝරුව එකම මඩ ගොහොරුවක් බවට පත්වේ. දෝරුව දෙපස උස් ඉවුරු නයි හබරල ගාල්වලින් පිරී පැවතිනි.
ගෝඹරයා හෙවත් ලැබුණා හැටේ දශකයේ මහ සමන් දේවාලයේ පෙරහරේ බස්නායක නිලමේට පමණක් දෙවැනි එසේත් නැතිනම් සම කථානායකයාය.
අතිශය ප‍්‍රතාපවත් චණ්ඩ එම දැවැන්තයා භාරව කටයුතු කළේ කට්ටඩි නමින් හැඳින්වූ ඉතා කුඩා කයක් සහිත වැඩිහිටි ඇත්ගොව්වෙකි. වේරගම ඇත් පන්තියේ ගෝඹරයාට වඩා වැඩිමහල් එමෙන්ම උස් මහත් තවත් අලියෙකු විය.
එහෙත් පුදුමය ඌ කිසිවිටකත් සිය මලයා වූ ගෝඹරයාට ඉදිරියෙන් පෙරහැරේ ගමන් නොකිරීමය. මේ චණ්ඩි අලි මල්ලි තමාට පහර දේ යැයි බියෙන් ඇකිලි ඇකිලි මේ අලි අයියණ්ඩි පියවර මාරු කරන විලාශය එකල කුඩා අපට අපූරු අත්දැකීමක් විය.
ඒ දිනවල අල්ලිසා, සාදිරිස්, සියනේරිස්, සරණපාල, සිරිසේන වැනි නම ගිය අලි ඇත්ගොව්වන් තම තමන් බලා ගන්නා අලි ඇතුන් පිටුපස උල් හෙණ්ඩු අතැතිව ගමන් කළේ රාජකාරිය සහ දේවකාරිය ඉක්මවාලූ භාරඳූර අලි කාරිය පිළිබඳ ගාම්භීර හැඟුම් දනවමනි. තැන නොතැන නොබලා අමු කුණුහරුපයෙන් එකිනෙකාට බැණ වදින ඔවුන් හුණුවල  ඕපනායක වැනි රාජකාරි ගම්වලින් ගෙනවිත් වාහල්කඩ ඉදිරියේ ගොඩ ගසා තිබුණු වඩා හොඳ කිතුල් කොට තම අලියාට ඇතාට හෝ ඇතින්නට තෝරා ගැනීමට සෙසු ඇත් ගොව්වන් සමග නිරන්තරයෙන් බැණ කියා ගත්හ.
ඔවුන්ගේ ඉඟතුර සඟවා තිබූ උල් පිහිවල හරක් අඟින් නිර්මිත මිට නෙක කැටයමින් සරසලාය.
නිදිපොළේ දැවැන්ත වනයක් සහිත ගල්ගමුවේ රාළහාමිට අයත් අලියාගේ ඇත් ගොව්වා ආරච්චි විය. ඔහු අලියා පිට ගමන් ගත්තේ දෙපා දෙපසට නොදා අලි පිට හරහට දෙපා එක් පසකට දමා ගෙනය. ඒ අතර තුර විටින් විට ඇයි යකෝ යැයි උස් හඬින් පවසන ඔහු අනතුරුව ඊට මද ස්වරයකින් කාක්කෝ යැයි එකිනෙකාට නොගැළපෙන පදවැල් දෙකක් එකට අරමුණයි.
පෙරහර ගෙට ගෙවදීමෙන් පසු එළඹෙන්නේ අලි ඇතුන් දේව වන්දනාවේ නිරත වන අවස්ථාය.
පහන් හැඟුම් දැනවෙන අලි වන්දනාකරුවන්ගේ එම බැතිබර දේව වන්දනාව දැක බලා ගැනීමට දුර බැහැරින් පැමිණි මිනිසුන් පවා ? මැදියම පසුවන තුරු උඩ මළුවේ රැඳී සිටිති.
උඩ මළුව දෙපස මඩම් ලෙස හඳුන්වන පැරණි උස් ගෘහයන් මෙන්ම අඟුල් මඩු දෙකේ ද කල් වේලා ඇතිව දරු පවුල් සමග ගාල් වන බහුතරය බොහෝ දුර බැහැරින් පැමිණි උදවියය.දෙවියන් හමුවේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන අලි ඇතුන්ට ඔවුන් අත්පොළසන් දෙති. ඔවුන්ගේ අත්පොළසන්ද වැඳුමේ තරාතිරමටය. ඇතැම් හිතුවක්කාර අලියෙකු දෙවියන් හමුවේ වුව දණ ගැසුවේ අත්ගොව්වාගෙන් කෝටු පාර හත අටක් කෑමෙන් අනතුරුවය.
ඇසළ සැණකෙළි සමයේ දේවාලයේ හාත්පස ඉදිවන සිය ගණනක් වූ සල්පිල් සබරගමුවේ ලොකුකුඩා සැම සිත් චමත්කාරයෙන් පුරවයි.
එම තාවකාලික කඩ සඳහා බිම් කොටස් වෙන්දේසිය දේවාලය අවට පදිංචි ලොකු කුඩා හැමගේ ජීවිතවලට මොනයම් හෝ ආකාරයෙන් බලපෑම් කළේය.
පොල් අතු සහ උණ බම්බුවලින් ඉදි කළ එදා පෙරහැර පොළ විසිතුරු සිතියමක් මෙනි. කළුවර ලීයෙන් කළ අලි වෙළඳාම් සිදු කෙරුනේ සුදු රෙදි උඩු වියන් බැඳී ආකර්ෂණීය වෙළෙඳ කුටිවලය.
දුර බැහැරින් පැමිණි අයිස්ක‍්‍රීම් අළෙවි රථවල ඒකාකාර හඬ අභිභවා මාරක ළිඳේ ධාවනය වන යතුරු පැදියේ හඬ භීතියත් ශෝකයත් දනවමින් පෙරහර පැවැති දවස් පහ පුරා හතර අත පැතිරේ.
එදා මොරටුවේ සිට පැමණි ලී බඩු වෙළෙන්දෝ කඩ පවත්වාගෙන ගියේ සිංහාසනය ඉදිරිපිට කඩපොළවලය. රවුම්කඩය ලෙස හැඳින්වෙන සිංහාසනය ඉදිරිපිට අර්ධ වක‍්‍රාකාර කඩය සඳහා වසරක් පාසා තියුණු තරගයකි. එම කඩය මිලදී ගැනීම පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනයට ද හේතු වන්නක් විය.
මොරටුව වෙළෙන්දෝ රවුම් කඩයට එදා ඉහළම මිලක් වූහ. අපේ පෙරහරේ ඇතැම් චරිත මෙන්ම යොදා ගැනෙන විවිධ භාණ්ඩ උපකරණවල ද අපූර්වත්වයක් පැවතිනි. කොතනැත් තම්මැට්ටම ලෙසින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය සමන් දේවාලයේදී කුරප්පට්ටුව වේ. අප ළමා වීදියේ කුරප්පට්ටුව වාදනය කළේ හෙන්දිරික් ආතා ලෙසින් හැඳින්වූ නොලස වැඩිහිටියෙකුය.
දේවාලයේ මහ දවුල සහ එය බඩ බැඳගත් රත්තරන් හාමි එකිනෙකාගෙන් වෙන් කර ගැනීමට නොහැකි තරමට පරිපූරක භාණ්ඩ සේය.
සක පිඹීම වස්තුහාමි සිදු කරයි. කකුලේ සුව නොවන වනය පිළිබඳ නිතර අවධානයෙන් එය කඩාලන වස්තුහාමි සක පිඹීමට අදාළව එදා කුඩා අපට ඵුස්සදේව යෝධයාටත් වඩා දැවැන්ත චරිතයකි.
සමන් දේවාල පෙරහරේ වැයෙන එකම එක බටහිර වාද්‍ය භාණ්ඩයක් ද වේ. දුරාතීතයේ පටන් පෙරහරේ වැයෙන ට‍්‍රම්පට් පවුලට අයත් එම නළාවට සබරගමුව දේවාලයේ දී බුරම්පේත්තුව යන අපූරු නම පටබැඳිනි.
පොඩි සිංඤෝ, පුුන් සිංඤෝ, ඒබරන් යන එකම පවුලේ සොයුරන් තිදෙනෙකු බුරම්පේත්තුවේ වාදකයෝ වූහ. සෑම රැයකම පෙරහර අවසන් වීම හැඳින්වූයේ ගෙට ගෙවදීම ලෙසිනි.
පඬුරු පිදීම පඬුල්ලෑම විය. පඬුරු සෝදා ගැනීමට බැතිමතුන් දේවාලය පිටුපස ගල් තොටට බසිති. ගල්තොටින් මදක් ඔබ්බෙන් වලව්තොටය. බස්නායක නිලමේවරුන්ගේ නිල නිවහන වූ වලව්ව ඉදිරිපිට පිහිටීම නිසා එය එසේ නම් කළා විය හැක.
පෙරහර පටන් ගැනීමට හෝරා කීපයකට පෙර වලව්ව ඉදිරිපිට කුඩා බිම්කඩ සැඳෑ රඟ මඩළක සිරි ගනියි. නන් දෙසින් පැමිණි නමගිය කලාකරුවන් කරනම් කස්තිරම් මාලක්කම් ගසමින් සිය ඉහළම කුසලතා දක්වන අතර බස්නායක නිලමේ ඇතුළු අවශේෂ ප‍්‍රභූ ජනයා සුව පහසු අසුන්වල සිට ඒවා නරඹති.
කකුල් කෙඩෙත්තුව ඉවසිය හැකි හුදී ජනයාටද අද මෙන් එදත් එම රැුඟුම් විවෘතව තිබුණි. එදා දුර බැහැරින් පැමිණි කලාකරුවන් අතර නිත්තවෙල ගුණයා වැනි මහා කලාකරුවන් සිටි බව අප දැනගත්තේ ඊට දශක ගණනාවකට පසුවය.
දිය කැපීමේ පෙරහර අති ශෝචනීය අත්දැකීමකි. සැණකෙළියක නිමාවත් සමග පෑරුණු සිත් කම්පා දිය කපන දා සබරගමු පෙරහර නරඹන කාගේත් වතක නෙතක කැටයම් වෙයි. දිය කැපීමේ පෙරහර දොවොලින් නික්ම යන්නේ කපුටා හැඬීමටත් පෙර හිමිදිරි පාන්දරය. පානදුර රත්නපුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කර කොටඅඹේගාවා තොටුපළින් කළුගඟ ඉහත්තාවට ගෙඟ් පෙරහර ආරම්භ වේ.
පෙරහර ආපසු ගොඩ වන්නේද මෙම තොටුපොළටමය. එතැන් සිට පෙරහර අව් කූටකයේ ගිනියම් වූ තාර පාරේ ගමන් කරයි. විඩා බර අලි ඇතුන්ගේ දෑස්වලින් කඳුළු කැට වෑහේ. දින ගණනාවක් නෙතු පුරා නින්දක් හෝ ගතට සරිලන දිය කෙලූමකට ඔවුනට ඉඩක් තිබුණේ නැත. කොහොමටත් උෂ්ණාධික සතුන් වූ අලි ඇතුන් මේ නිසාම පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. උන්ගේ ඇස් තෙමා ගලන කඳුළු එවන් කායික පීඩාවක ප‍්‍රතිඵල ලෙස විශ්වාස කිරීමට මිනිසුන් අකමැතිය. ඔවුන්ට අනුව ඒ කඳුලූ පෙරහර අවසන් වූ ශෝකය දරා ගත නොහැකිව හෙළන දුක් කඳුලූය.
දිය කැපීමේ කටයුතු කළු ගඟ ඉහත්තාවේ රත්මල්ඇල්ල ප‍්‍රදේශයේ සිදු කෙරේ. එහෙත් ගඟ දිය වැඩි වීම නිසා හෝ ඔරු අඟුල් ගමන් කිරීමට තරම් ගඟ දිය ප‍්‍රමාණවත් නැති නිසා හෝ දිය කැපීමට භාවිත කරන විකල්ප ස්ථානයක්ද සමන් දේවාලය ආසන්නයේම පිහිටියේය.
දිය කැපූ පෙරහර ගෙට ගෙවදීමෙන් අනතුරුව දේවාභරණ වැඩමවූ හස්තියා පෙරහර පොළේ කඩපිලෙන් කඩපිලට සම්මාදමේ යෑමේ සිරිතක්ද පැවතිනි. දේව කාරිය සිදු කළ හස්තියාට කඩ හිමියෝ උක් දණ්ඩක්, කෙසෙල් ඇවරියක්, අන්නාසි ගෙඩියක් දෙති. ඔවුන් ඇත් ගොව්වන් අත කිසියම් මුදලක් මෙලවීමට ද යුහුසුළු වෙති.
තිස් හතළිස් වසරකට පෙර දිය කැපීමේ චාරිත‍්‍රය නිමා වීමත් සමග සබරගමුව සමන් දේවාල භූමියේ ඇසළ සිරිය සෝදා ගියාක් මෙන් අතුරුදන් වේ.
පෙරහර නිමවා තවත් දින කීපයක් කඩපිල් පවත්වාගෙන යාම ආරම්භ වූයේ 1970 දශකය මැද වෙළෙඳ පොළ ආර්ථිකයත් සමගය. එහෙත් දුරාතීතයේ පෙරහර අවසන් වී ගරායක් නැටුම පටන්ගන්නා ? මැදියම වන විට දෙවොලෙ හාත්පස අමු සොහොනක් බවට පාළුවට ගොසිනි. ආපසු ගම් රට බලා යන වෙළෙන්දෝ කුඩා ලොරි පොඩිවලට බඩු පටවති. අවසන් තත්ත්පරයේ පුටුවක් මේසයක් මිලට ගැනීමට ඒ අතර මොරටුවකු සමග කේවල් කරන්නෙකුගේ හඬ ද ඇසේ.
මේ මහා සැණකෙළිය අවසන් වූවා නොවේද යන තැවුල සිතට වද දෙමින් නෙතට කඳුළු පිරවීමට වෙර දරයි. සිරිත් පරිදි සුපුරුදු රාත‍්‍රී තේවාව ඇසේ. දුර බැහැරින් ආ නැට්ටුවන් බෙරකරුවන් දැන් ඔවුන්ගේම ගම රටවලට ගොසින්ය. ඉතින් ඉතිරි තුන්සිය හැට හතර දවසටම දේවාලයේ ඉතිරි වන්නේ රත්තරන් ආතා, හෙන්දිරික් ආතා, වස්තුහාමි සහ හුරතල්හාමි වැනි වැඩිහිටියන් අතළොස්සක් පමණය. තේවාවේ හඬ සමග මහ දවුල වයන බඩ රත්තරන් හාමිගේ රකුස් පෙනුම සිහිපත් වේ.
කුරප්පට්ටුව හඬවන හෙන්දිරික් ආතාගේ බැල්ම ගුප්තය. කකුලේ වනය කසමින් හක්ගෙඩිය පිඹින වස්තුහාමි එසක් හඬ පොත්ගුල් කඳුවැටියේ හැපී නිම්නාද වන ආකාරය තුමූම විඳ ගනී.
මේ නාද නිමාව අපට තවත් පණිවිඩයක් ද ගෙන එයි. එනම් හෙට සිට පාසල් යළි පටන්ගන්නා අහිමිරි පුවතයි. එහෙත් දේවාභරණ වැඩමවූ හස්තියා සඳහා ගරා යක් නැටුම තවම පටන් ගෙන නැත. පෙරහරේ තවත් යමක් තවමත් අවසන්ව නැතැයි යන තාවකාලික අස්වැසිල්ල කුඩා අපට එදා ලොකු බලාපොරොත්තු ඇති කළ තවත් හෝරාවක් විය.
2011 සැප්තැම්බර් මස 11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 සබරගමුව මහ සමන් දේවාලය