උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සොයන පුරාවිද්‍යා කැණීම්

බුද්ධ චරිතය ගැන විමසීමේ දී කපිලවස්තු පුරය ප‍්‍රධාන ස්ථානයක් ගනී. සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය කළේ, සිය තුරුණු විය ගෙවා දැමුවේ මේ නගරයේය.

එය ශාක්‍යයන්ගේ අග නගරයයි. කපිලවස්තුපුරය හෙවත් කිඹුල්වත් නගරය හිමාලය කඳු පාමුල පිහිටි රමණීය නගරයක් ලෙස බෞද්ධ සාහිත්‍යයට අයත් දීඝනිකායෙහි සඳහන්ව ඇත. භාගිරතී ගංගා තීරයේ කපිලවස්තු පුරය පිහිටි බව අම්බට්ඨ සූත‍්‍රයේ දැක්වේ. තවද සක නම් ගස්වලින් පිරුණු ප‍්‍රදේශයක් ලෙසින් ද එහි සඳහන් වේ.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කෝසල රාජ්‍යයේ ඔක්කාක වංශික රජු විසින් පිටුහවල් කරන ලද කුමාරවරුන් විසින් කපිල මුනිවරයාගේ උපකාරය ඇතිව කපිල වාස්තුපුරය බිහි වූ බව ඉන්දියාවේ ඉතා පැරණි ග‍්‍රන්ථයක් වන සුමංගල විලාසිනියෙහි සඳහන්ව ඇත. මේ පරපුර පසුව ශාක්‍යවංශිකයෝ වූහ. සුද්දෝධන රජතුමා මේ ශාක්‍ය වංශිකයෙකි. ඔහු කෝලිය වංහික මහාමායා දේවිය විවාහ කැර ගත්තේය. මේ විවාහයෙන් උපන් දරුවා සිදුහත් කුමාරයාය.
කපිලවස්තු රාජ්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ පිය පාර්ශවයෙන් සහ මව්පාර්ශවයෙන් අසූදහස බැගින් පවුල් සාමාජිකයෝ සිටි බවට ද මතයක් තිබේ. එසේ නම් කපිලවස්තු රාජධානිය යනු විසල් මහ නගරයක් විය යුතුය.
කපිලවස්තු නගරයේ දැන් කැණීම් ආරම්භ වී ඇත. මේ කැණීමේ විශේෂත්වයක් වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඒ කැණීම් සඳහා සහභාගී වීමයි.
කැණීම් කරන ස්ථානයේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝ මීටර 250ක් ඇතින් පිහිටා ඇත. තිලාරාකෝට් නමින් හැඳින්වෙන මේ ප‍්‍රදේශයේ සිදුහත් කුමරයා විසූ මාළිගාවක නටබුන් ඇතැයි එරට වැසියෝ විශ්වාස කරති. එහි පාදමක් ඇත. සතර දිශාවෙන් දොරටු ඇති එම ගොඩනැගිල්ල සිදුහත් කුමරුගේ මාළිගාවක් යැයි කීව ද එහි ඇති නටඹුන් පිරික්සීමේ දී පෙනී යන්නේ එය කි‍්‍රස්තු වර්ෂ හයවැනි සියවසේ දී පමණ ඉදිකැර ඇති ස්ථානයක් බවයි.
මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා එම ස්ථානය සම්බන්ධයෙන් මෙසේ පවසයි.
‘‘ ඉන්දියාවත් නේපාලයත් එකිනෙක දේශසීමාවලින් වෙන්කරන්නට පෙර කපිලවස්තුපුරය කියන්නේ ඉතා විශාල ප‍්‍රදේශයක්. දැන් එය දෙකඩ වී තිබෙනවා. ඉන්දියාවට කොටසක් හිමිවෙලා නේපාලයට කොටසක් හිමිවෙලා. ඉන්දියාවේ කපිලවස්තු කියන ප‍්‍රදේශයේ පැරණි රාජධානියක නගරයක් තිබූ බවට සාධක හමුවන්නේ නැහැ. නමුත් නේපාලයට අයත් කොටස පිරික්සූ විට පෙනෙනවා එහි නගරයක් තිබූ බව ඉන්දියාවේ පිප්රාවා කියන ප‍්‍රදේශය තමයි ඇතැම් අය පවසන්නේ කපිලවස්තු නගරයේ සිදුහත් කුමාරයාගේ මාළිගාව පිහිටි ප‍්‍රදේශය කියා. නමුත් නේපාලයේ තිලාරාකෝට් කියන ප‍්‍රදේශයේ සුද්දෝධන රජුගේ මාළිගාව තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක දක්නට ලැබෙනවා. මේ ස්ථාන දෙකම පැරණි කපිලවස්තු රාජධානියේ කොටස් බවනම් පැහැදිලියි. ’’
කපිලවස්තුපුරයේ ප‍්‍රධාන මාළිගාව පිහිටන්නට ඇතැයි සිතන ස්ථානය කැණීමට පෙර නවීන තාක්ෂණික උපකරණ ආධාරයෙන් භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ සඳහා භූමියේ අභ්‍යන්තර පිරික්සීමේ යන්ත‍්‍ර භාවිතාකැර තිබේ. ඒ අනුව එහි දැනට දක්නට ඇති ගොඩනැගිලි වලට යටින් තවත් ඉදිකිරීම් කිහිපයක් තිබෙන බව තහවුරු වී ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කපිලවස්තු පුරයේ සුද්දෝධන රාජ මාළිගය පිහිටන්නට ඇතැයි සිතන භූමිය වර්ග කිලෝ මීටර 2.5ක් පමණ වූ දිග පළලකින් යුතු හතරැුස් භූමි ප‍්‍රදේශයක් ලෙස වෙන්කැර හඳුනාගත හැකි බවයි. දැනට එහි ඇති හතරැුස් ගොඩනැගිල්ල කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසේ ඉදිකරනු ලැබූවකි. එය දැනට ශාලාවක් ලෙස භාවිතා කරයි.
මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ මෙතෙක් කරන ලද කැණීම් වලින් මේ ස්ථානය වටා ඉදිකැර තිබූ ප‍්‍රාකාරයක නටඹුන් හමුවී ඇති බවයි. එය එකිනෙක සමීපව සවිකැර තිබූ දැව කණු යොදා සාදා තිබුණකි.
මහාචාර්ය ගුණවර්ධන මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
‘‘ අතීතයේ පටන් නගරයක දක්නට ලැබුණු ලක්ෂණයක් තමා ආරක්ෂිත බැම්මක්. මේ ස්ථානය වටා දැවයෙන් ඉදිවූ ප‍්‍රාකාරයක් තිබෙන බවට පැහැදිලි සාක්ෂි අපට හමුවුණා. දැව කොටස් පොළොවට සවිකළ වළවල් නිශ්චිතව හඳුනාගැනීමට හැකියි. එහි අවශේෂ අනුව සිතිය හැකියි මේ ප‍්‍රාකාරය කි‍්‍රස්තු පූර්ව හයවැනි සියවසට පමණ අයත්වන බව. එය සුද්දෝධන රජුගේ රාජ සමයට නැතිනම් සිදුහත් කුමාරයාගේ කාලයට අයත්වන බව නිගමනය කිරීමේ හැකියාව තිබෙනවා. ’’
අතීතයේ දැවයෙන් ගොඩනැගූ තාප්පයෙන් වටවූ භූමියේ පැරණි මාළිගාව තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති. නමුත් ඔවුන් පවසන්නේ දැන් වර්තමානයේ සුද්දෝධන මාළිගාවයැයි ඇතැම් පුද්ගලයන් විසින් හඳුන්වනු ලබන කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් ගොඩනැගිල්ලට යටින් එම අවශේෂ පිහිටිය හැකි බවයි.
කෙසේ වෙතත් කිඹුල්වත්පුර නගරයේ ඉදිකිරීම් ව්‍යුහය පිළිබඳ යම් තරමකින් අවබෝධයක් ලබා ගැනීමට ද මේ කැණීම් මහෝපකාරී වී තිබේ. එමගින් නගරයේ මංමාවත් සැකැස්ම පිළිබඳ පැහැදිලි සාක්ෂි හමුවී ඇත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ නගරයේ එක් එක් දිශාවට යොමු වූ අඩි 12 ක පමණ පළලකින් යුතු මං මාවත් පද්ධතියක් සෙයාගත හැකි වූ බවයි. නිවසක ගොම මැටි ගා පොළොව සකසන ආකාරයට මේ මාර්ග සාදා තිබී ඇතැයි ද ඔවුහු කියති. එම මාවත් සකස් කැර තිබූ තාක්ෂණය අනුව වසර දෙදහසකට වැඩි කාලයක් ගත වුව ද සාමාන්‍ය පොළොවට වඩා එය වෙනස් ව හඳුනා ගැනීමට හැකි වී ඇත.
‘‘මේ භූමියේ භූ විද්‍යාත්මක ලක්ෂණ සොයා බැලීමේ දී එක්තරා ස්ථානයක යම් තරමකින් පොළොවට ගිලී ගිය ස්ථානයක් දක්නට ලැබුණා. ඒ ස්ථානයේ පොළොව ස්කෑන් කරලා පරීක්ෂා කිරීමේදී පෙනී ගියා වැලි හා රොන් මඩ එතැන තැන්පත් වී ඇති බව. අපි එම ස්ථානයේ කැණීමක් සිදුකළා. එය තරමක් විශාල ප‍්‍රමාණයේ පොකුණක් ලෙස දැනට අනුමාන කරනවා. සාමාන්‍යයෙන් පිහිටි පොළොව හමු වී තිබෙන්නේ අඩි 12 ක් විතර ගැඹුරින්. එය පානීය ජලය ලබා ගැනීමට හෝ ස්නානය සඳහා හෝ භාවිත කරන්නට ඇති. ඒ ගැන අපි ඉදිරියේ දි වැඩිදුර පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. ’’ මහාචාර්ය ගුණවර්ධන මහතා එසේ කීවේය.
දැනට කපිලවස්තු පුරය ලෙස අනුමාන කරමින් සිදුකරන කැණීම් සඳහා භූමි ගවේෂණ කටයුතු සිදුවෙමින් තිබියදී ප‍්‍රාකාරයෙන් පිටත පිහිටි ස්ථානයක් ගැන ද පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබිණි.පොකුණක් ලෙස හඳුන්වන මේ ස්ථානයේ පිහිටි පොළොව හමුවනතුරු කැණීම් සිදුකැර ඇත. එම කැණීමේ දී එක් එක් ස්ථර ලෙස තැන්පත් වූ වැලි, රොන් මඩ, ශාක අවශේෂ දිරාපත් වීමෙන් සෑදුණු පස් දක්නට ලැබුණු බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. තව ද කැණීම් සිදුකරන අවස්ථාවේ දී වරින් වර ජලය මතුවී තිබේ. ඒ ස්ථර අධ්‍යයනය කිරීමෙන් පොකුණ භාවිතයට ගත් කාල වකවානු පිළිබඳ නිගමනය කළ හැකිය යන්න පුරාවිදයාඥයන්ගේ මතයයි.
ප‍්‍රාකාරයේ එක් දොරටුවක් ආසන්නයේ පිහිටි එම ස්ථානය කැණීම් කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එතැන විශාල වශයෙන් යකඩ උණුකරන ලද තැනක් බවයි. ඉන් තහවුරු වන්නේ සුද්දෝධන රාජ සමයේ හෝ ඒ ආසන්න කාලයේ දී කපිලවස්තු පුරයේ යකඩ කර්මාන්තය පැවති බවයි.
තැන තැන විසිරීගිය යබොර මේ ස්ථානයේ සුලබව හමුවී ඇත. ආයුධ තැනීම, කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ තැනීම ආදිය සඳහා මේ යකඩ යොදා ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.
ලන්ඩනයේ ‘ඩර්හම්’ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම්ග් මහතාගේ නායකත්වයෙන් යුතුව බුදුන් වහන්සේගේ ජීවන තොරතුරුවලට අදාල ස්ථානයන්හි සිදුකරන කැණීම්හි එක් පියවරක් ලෙස මේ පරීක්ෂණ කටයුතු සිදුව ඇත.
පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ මෙතෙක් සොයාගත් තොරතුරු අනුව නේපාලයේ තිලාරා කෝට් නමැති මෙම ස්ථානය සුද්දෝධන රජුගේ මාළිගාව හෝ සිදුහත් කුමාර මාළිගයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.
හුදෙක් එය අනුමානයක් පමණක් බව ද බුදුන්ගේ චරිතය හා සම්බන්ධයැයි කියන ස්ථානවලින් හමුවන මෙවැනි නටබුන් හා සාධක බුදුන්ගේ කාලයට ම අයත් දැයි ස්ථිරව නිගමනය කළ යුතු බව ද මහාචාර්ය කනින්හැම් මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය කාලනිර්ණයන් දැනටමත් ආරම්භ කැර තිබේ. තවත් වසර දෙකක කාලයක් මේ කැණීම් සිදුකිරීමට නියමිත බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. එම කාලයේ දී බුදුන්ගේ චරිතයට අදාල ස්ථාන රැුසක් නිශ්චිතව හඳුනාගැනීමටත් හැකිවනු ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
එය නේපාලයට, ඉන්දියාවට පමණක් වැදගත් සොයා ගැනීමක් නොවනු ඇත. එය සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් ම කරන මහතසිතම සේවාවකි.
    ප‍්‍රිශාන්ත ගුණවර්ධන

  2014 මාර්තු මස 06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

නීලගිරි මහා සෑය


අද වන මැද සගවා ගත්... නීලගිරි මහා සෑය...

නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.

මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.

නීලගිරි සෑයේ ඉතිහාසය ක්‍රිස්තූ පූර්ව යුගය දක්වා විහිදෙන අතර ඒ වටා ඇති විහාර සංකීරණ නටබුන්වලින් කියාපාන්නේ ඈත අතීතයේ මෙහි වැඩසිටි මහරහතන් වහන්සේලා ප්‍රමූඛ මහා සංඝරත්නයට සෙවන දුන් අතී පූජනීය ස්තානයක් බවයි.

චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.

ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.

මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.

මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.

ස්තූපය පිහිටි බිමෙන් සිරිපතුල් ගල් විශාල ප්‍රමණය ක් හමුවී ඇත.

ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.

බොහෝ දෙනෙකුට අමතක වූ අපේ උරුමය ගැන මොහොතක් සිතන්න.
අපේ උරුමය